පිටු

Friday, April 12, 2013

එක්, ප්‍රේම කතාවක් ඉකිබිදී.......





''යුග ස්ත්‍රී''  අනුරාධා නිල්මිණී සොයුරියගේ කුළුදුල් කවි එකතුවයි.

''යුග ස්ත්‍රී'' කරලියට වැඩි මුල්ම දවසේ මහජන පුස්තකාලයේදීම ඈ මට හමු විය. ඒ 2011 බක් මහේ 30 ‍වන දා මකරන්ද සාහිත උළලේ දී ය. ඒ මුල්ම දිනවල පිටුවෙන් පිටුව යුග ස්ත්‍රීයගේ කදුල..... සුසුම... සමග මම ද ඒකාත්මික වීමි. ඈ මගේ සිත් ගත්තාය. ඈ මගේ සිත කම්පනය කළාය. ඈ මගේ සිත කියවූවාය.  

 එවන් වූ යුග ස්ත්‍රී ඇසුරු කර වසර දෙකක්ම ගෙවී ගොසිනි. 

අද මෙන් එකල බ්ලොග් ලිවිල්ලක් නොවීය. අන්තර්ජාල ඇසුරක් නොවීය. එනිසාවෙන්ම සිත් ගත් මේ කවි එකතුව ගැන කිසිදු සටහනක් නොලියැවිණි. 

පොත් අල්මාරියේ සකසුරුවමට තැන්පත්ව ගිමන් නිවන්නට ගමේ නොගොස් ''යුග ස්ත්‍රී'' මා සමගම කොළොම් පුරේ නවාතැනේ පොත් අතරට මැදි ව හුදකලාව සිටියාය. එසේ නැවතී බලා හිදින්නේ යම් විටක, යම් කටයුත්තකට අවැසි විය හැකි........ යම් විටක හදවත ස්පර්ශ කළ යුතු යැයි මා සිතන පොත පතය.... 

මේ දවස් ගෙවෙන්නේ සාංකාවෙනි. ළතැවිල්ලෙනි. 

හදවතේ ඇතුළු ගැබටම පිවිස සියුම් හද වෙණ තත් පිරිමැදිය හැකි අළුත් කවියක් ඉව අල්ලමිනි. 

පෙරදා සැදෑවේ නවාතැනේ අතරමංව හුදකලාව සිටින පොත් එකතුව අත පත ගා හදවතේ සාංකාවට පිළියමක් සොයන විට ''යුග ස්ත්‍රී'' හිනැහෙමින් බලා සිටියාය. '' මට හැකි ඔය හිත තේරුම් ගන්න'' කියන්නාක් මෙනි.



අහඹු ලෙස පිටු පෙරළන අතර මේ කවියේ නෙත ද, සිත ද නතර විය.

ප්‍රේම කතාව

සති, මාස, අවුරුදුය ගණින්නට
හමුවීම්, වෙන්වීම් කිසිත් නැත
ආදරය කළා යැයි කියන්නට
නෑකමක්, නමක්, හදහනක් නැත...

අවාරේ හදවතක පිළිසිදී
එහිම වැතිරී දිනෙක මිය ඇදී
මතකයන්, අමතකව යා නොදී
එක්, ප්‍රේම කතාවක් ඉකිබිදී.......

මගේ සාංකාවේ.... ළතැවිල්ලේ නිධාන කතාව මේ කවිය තුළ ගොනු වී ඇතැයි මට සිතේ... නෑකමක්, නමක්, හදහනක් නැති වුවත්, මතකයන් අමතක නොවන අකල් වියෝවක් කොතරම් වේදනාවක් ද?

මීට වඩා අපූරු කවි ''යුග ස්ත්‍රී'' තුළ බොහෝ ඇත. ඒ කවි කියවා අනුරාධා ස්ත්‍රීවාදිනියකැයි අවි අමෝරා ගත යුතු නැත. ස්ත්‍රී පුරුෂ දෙපසේම විවිධ අත්දැකීම්, ඒ හරහා මතුවන සමාජයීය හද ගැස්ම ඇගේ කවිය තුළ හමු‍ වේ.

මිනිසුන් උඩවැඩ

වැට පැන්නෙ
දැන දැනමයි
වැරදිලා නෙ‍වෙයි
වරද්දපු හින්දා....

හොයාගෙන ගියෙ
කවදාවත්ම
හම්බවෙන්නෙ නැති දෙයක්
තාම හොයනවා
උප-නුපන් ගෑනු හැමෝම

ලේ ගලන තොල් අගින්
පිටවෙන්නෙ නෑ
වචන.....
නෙමේ ඇත්ත
තිත්ත ඇත්ත!

ඒත්,
දූවිල සරොම් ඉඹ ඉඹ
පුජනන මැසිම
තවම වැඩ...!

කළාලෙත්
මහපොළවෙත්
ඇතිරිල්ලෙත්
එකම දේමයි...
''මිනිසුන් උඩ වැඩ
වැළපෙන වත මත
මිය ගිය සද වත
නොබිදී මුනි වත "

''........... විටක මිතුරන්ව සතුරු කර ගන්නා, විටෙක සතුරන්ව මිතුරු කර ගන්නා ඒ අපූරු ගැහැණියට මම කැමතිය. කිසිවක් ම‍ගේ නොවේය යන සිතුවිල්ල තුළම සියල්ල අත හැර යන්න සූදානමින් සිටින තෙතබරිත ඇස්වලටත් මම ප්‍රිය කරමි. මහා හයියෙන් අඩා සැණින් ගල් වන හිතටත්, මිටියාවත සිට මුදුනත විනිවිදින සිතුවිලිවලටත් මම ඇලුම් කරමි.

ලෝකය හා සකල විධ ගැහැණුන් අතර ගණුදෙනුව එයමය.

යුගස්ත්‍රී වෙනුවෙන් වෙනත් පූර්ව කියැවීම් අවැසි යැයි නොසිතමි. මේ සියලු වේදයන් මා කම්පනය කළ ඒවාය. එක්කෝ මගේ නැතහොත් තව කාගේ හෝ හුස්ම ය. ''

අනුරාධා තම කවි‍යේ ආත්මය හදුන්වා දෙන්නේ එලෙසිනි. 



'' එක් අතකින් ඇගේ කවිය කස පහරක් වැනිව රිදුම් දෙයි. තවත් අතකින් එම රිදුම්, තැළුම්, පෙළුම් නිවන ස්නේහී ඖෂධයක් වෙයි...''

පසුවදනෙහි ලා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන් අනුරාධාගේ කවිය අරුත් දක්වන්නේ එලෙසිනි.

යුග ස්ත්‍රී පිළිබදව සොයා අන්තර්ජාලයේ සැරිසරන විට මෙම සබැදි හමු විය. වැඩි දුර තොරතුරු අවැසි නම් කියවා බලන්නැයි ඉල්ලමි. කවි කිහිපයක් ගැන හෝ මගේ අදහස් ලියා තබන්නට බැරි තරමට සිතට වෙහෙසය. ''මේ මම ආදරය කරන කවි එකතුවක්'' බව ලියා තබන්නට කැමැත්තෙමි. 


http://www.silumina.lk/punkalasa/20120325/_art.asp?fn=ar12032510
http://www.dinamina.lk/2011/03/16/_art.asp?fn=f1103162&p=1
http://www.divaina.com/2011/08/04/sarasavi%204.html
http://www.divaina.com/2012/02/09/sarasavi%205.html
 


Thursday, April 11, 2013

සිහින දැකපු පාප් වහන්සේ






දේව ධර්මාචාර්ය ජේසු නිකායික ගරු ඇලොයි පීරිස් පියතුමා විසින් ඉංග්‍රීසි බසින් ලියා ඇති   Fr. Frank's Confessions ( Seven Days from His Diary ) කෘතිය එළිදැක්වීම 2013 මාර්තු මස 25 වන සඳුදා සවස 3.00 මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පැවැත්වුණා.. 

සීමිත පිරිසක් සහභාගිව සිටියේ... සුපුරුදු නිම් නොවන හසරැල්ල සමග සිනා මවන ඇලොයි පියතුමාගේ ළගන්නා කතා බහ නිසා උත්සව ශාලාවේ හිස් බවත් මැකී ගියා... පිළිගැනීමේ කතාව කළේ සමාජ හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ, නීතිඥ  ගරු අශෝක් ස්ටීවන් පියතුමා... උත්සව සභාව මෙහෙයවුවේ තාර්සියස් ප්‍රනාන්දු මහතා...

මේ කෘතිය ලිවීම ඇරඹිලා තිබුණෙ 2011 වසරෙදි. ඇලොයි පියතුමා සිහින දකින ශුද්ධෝත්තම පියතුමෙක් ගැනයි කෘතියේ කියවෙන්නෙ. කෘතියට පසුබිම් වුණු අතීත සිද්ධි පියතුමා විස්තර කළේ හිනැහෙමින්.. ඒ බොහෝ කාරණා වතිකානුවට, රෝමයේදී දේවධර්මය සම්බන්ධව කළ දේශනවලට, එහිදී මතු වූ ගැටලුවලට සම්බන්ධයි... කතාව අවසානයේ පියතුමා මේ විදියට කිව්වෙ සැනසිලිදායක හඬකින්...

'' මට සතුටුයි.. මගේ ඇස් පියවෙන්න කලින් සභාවේ නව ගමන දකින්න හැකි වීම ගැන... මගේ පාප් වහන්සේ .... මං සිහින දැකපු පාප් වහන්සේ තමයි මේ ඉන්නේ...'' 

ගරු ඇලොයි පියතුමා


අනතුරුව පැවති විවෘත සංවාදයේ දී මතු වු කරුණු කිහිපයක් ‍මේ...

නව පාප්තුමාගේ පත්වීමත් එක්ක මේ ඇති වෙන වෙනස්කම්වලට 
 වතිකානු‍වේ රාජ්‍ය දෙපාර්තමේන්තු ඉඩ දෙයිද? පළමුවෙනි ජුවාම් පාවුළු පාප්තුමාට වුණ දේ වෙයිද?
 
'' දරිද්‍රයන්ට ළං වීම, අල්පේච්ඡතාව ඉතාම හොද ප්‍රගතිශීලී ලක්ෂණ... නමුත් එය පමණක් ප්‍රමාණවත් නැහැ සභා නවෝදයකට... අපෝස්තලික තානාපති සේවයට කෝටි ගණන් වියදම් කරනවා.. වතිකානුව තුළ වගේම ඉන් පිටතත් බොහෝ සභා නායකයින් ගත කරන්නෙ සුඛෝපභෝගී ජීවිත... අන්ත දිළිඳු මනුස්සයගෙ ඉදන් සභාවට එකතුවෙන සල්ලිවලින් මෙවැනි ජීවිත ගත කිරීම කොයි තරම් සාධාරණද? වතිකානුව ඇතුළත සිදු වෙන දූෂණ, වංචා නවත්වන එක ලේසි නැහැ. ඒවාට අරක් ගත් අය ඉන්නවා.. ඔවුන් ඉවත් කිරීම පහසු නැහැ... 
 
වෙනසක් අවශ්‍යයි... නමුත් පැහැදිලි දැක්මක් ඇතිව.. ඉක්මන් නොවී වෙනස්කම් කළ යුතුයි... 

පළමුවෙනි ජුවාම් පාවුළු පාප්තුමත් වෙනසක් බලාපොරොත්තුවෙන් වැඩ කළ කෙනෙක්.. නමුත් එතුමා නිදි පැදුරේම මරණයට පත් වෙලා තිබුණා. එය හෘදයාබාධයක් කියල කිව්වත්, ඒ මරණය අභිරහසක්... අළුත් පාප්තුමාට ජීවිත අවදානමක් ඇති‍වෙන්න පුළුවන්. එවැනි දෙයක් නොවේවා කියල අපි ප්‍රාර්ථනා කරමු.. යාච්ඤා කරමු. 

සභාවට වෙනසක් අත්‍යවශ්‍යයි. අපි සුබවාදීව වෙනස්කමක් බලාපොරොත්තු වෙමු.. 

නව පාප්තුමා විමුක්ති දේව ධර්මයට එතරම් කැමැත්තක් නැහැ නේද?

විමුක්ති දේව ධර්මය කියන්නෙ මාක්ස්වාදය නෙවෙයි. මාක්ස්වාදයටත් ‍පෙරයි බයිබලය තුළ විමුක්තිය ගැන කතා කරන්නෙ.... විප්ලවය, අරගලය කියන වචන එක්ක අවි ගැනීම, හිංසාව මතක් වෙනවා... විමුක්ති දේව ධර්මය ගැන පාප්තුමාගේ අපැහැදීම මේ අදහස් එක්ක ගොඩනැගුණ දෙයක් වෙන්න ඕන... එය නිවැරදි විය යුතුයි. 

දුප්පතුන්ගේ විමුක්තිය ගැන හිතනවනම් අල්පේච්ඡතාව විතරක් මදි... දුප්පතුන්ගේ විමුක්තිය වෙනුවෙන් වැඩ කරන්න ඕන... 

බයිබලීය විමුක්ති දේව ධර්මය උගත් අය අද ලංකාවෙ නැහැ. ගිහි අයටත් මේ දැනුම දෙන්න ඕන.. බයිබල් අධ්‍යයනයට අවස්ථා හදල දෙන්න ඕන.... එවිටයි සභාව වැරදි මග යද්දි ජනතාව‍ට ප්‍රශ්න කරන්න පුළුවන් වෙන්නෙ... 

සභාව කියන්නෙ ජනතාව.. අපි ජනතාවට වග කියන්න ඕන. ඒ බව අළුත් පාප්තුමා තේරුම් අරන් තියන බව පේනවා.. ඒ හින්දයි මුලින්ම ජනතාවට කිව්වෙ තමන්ට ආශිර්වාද කරන්න කියල.. තමන් වෙනුවෙන් යාච්ඤා කරන්න කියල.... 

මේ අතර සභාව සිනා ගැන්වුණ ප්‍රශ්නයක් පියතුමාට යොමු වුණා...

උපත්පාලනය, ගබ්සාව, සමලිංගිකත්වය.. මේ කාරණා ගැන ෆාදගේ පාප් වහන්සේ මොනවද හිතන්නෙ?

අපි හොයා ගන්න ඕන බයිබලය තුළින් මේ වගේ ප්‍රශ්නයක් දිහා ජේසු බලන්නෙ කොහොමද කියල. ඒ ප්‍රේමයේ දෑසිනුයි අපිත් බලන්න ඕන. ජේසු හැම වෙලේම නීතියට වඩා මනුෂ්‍යත්වය, ප්‍රේමය උත්තරීතරයි කියන තැන ඉදලයි වැඩ කළේ...
සභාවෙන් නැගුණ අදහසක්...

'' අවජාතක දරුවෙකුව පිළිගන්න සමාජය සූදානම්ද? පියෙකු නැති දරුගැබක් එක්ක අසරණ වන ගැහැණියකට සමාජය තුළ රැකවරණයක් තියෙනවද?  අවජාතක දරුවෙකුට කතෝලික ඉස්කෝලෙකට යන්න පුළුවන්ද? සමාජයේ ඔලුව කෙළින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන්ද? එහෙමනම් අපි කොහොමද ගබ්සාව එපා කියන්නෙ... 

සමලිංගිකත්වයට යොමු වීම මානසික වගේම ජීව විද්‍යාත්මක හේතු නිසා ඇති වන තත්ත්වයක්.. සමහර විට තමන්ට එයින් මිදෙන්න අවශ්‍ය වුණත් මේ වගේ ඇබ්බැහිවීම්වලින් මිදෙන්න අමාරුයි... ඒක වරදක් කියල කියන්න අපිට තියෙන අයිතිය මොකක්ද?  ''
පියතුමා ඒ ගැන බෙදා ගත් අදහස්... 

වෙන රටවල අවජාතක ළමයි කියල කොටසක් නැහැ. '' I am single parent child " දරුවෙකුට බය නැතිව එහෙම කියන්න පුළුවන්.. නමුත් අපේ රටවල එහෙම නැහැ. ඒ නිසා කාන්තාව ‍ලිංගික භාණ්ඩයක් කර ගැනීම වළක්වන්න ඕන... කාන්තාවන්ට ලිංගික අධ්‍යාපනය ලැබෙන්න ඕන. අනවශ්‍ය දරු ගැබක් ඇති වෙන්න කළින් එය වළක්වා ගන්න විදිය තරුණියන්, යුවතියන් දැනුවත්ව ඉන්න ඕන.. අද පාසල් දැරියන් පවා මේ ගැන දැනුවත් වීම අවශ්‍යයි. 

මගේ පාප්වහන්සේට සමලිංගිකයන් දැන්වීමක් පෙන්වනවා... ඒකෙ තියෙනව මෙන්න මෙහෙම... '' අපි අස්වාභාවික නොවෙමු." මේ තමයි මනුෂ්‍යත්වයේ විවිධත්වය.. මගේ පාප් වහන්සේ ඒ විවිධත්වය පිළිගන්නවා... 

මෙම සාකච්ඡාවෙන් දින කිහිපයකට පසුව සමාජයීය හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ගරු අශෝක් ස්ටීවන් පියතුමා මෙවැනි සටහනක් මූණුපොතේ පළ කර තිබුණා... 

DEAR POPE FRANCIS. 

Please close all the Vatican Embassies everywhere in the world which ruin lots of money of the poor people and use that money for the poor in the world. I am sure you will agree with me that CHRIST needs no official state ambassadors to spread HIS good news except HIS baptized brothering.

ඉරිදා පූජාවට සහභාගි වෙද්දි ශුද්ධෝත්තම පියතුමා වෙනුවෙන් යාච්ඤා කරන අවස්ථාවක් තියෙනවා... ඒ මොහොතෙදි වෙනදට වඩා හදවතින්ම මතු වන හැගීමෙන්, ආදරයෙන් යාච්ඤා කරන්න හිතෙනවා... ඒ කියන්නෙ මේ වෙනසට මගේ හිතත් එකගයි... දුප්පතුන්ගේ පාප්වහන්සේ සිහිනයක් නොවේවා කියලයි මමත් ප්‍රාර්ථනා කරන්නෙ. 

පළමුවෙනි ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා මේ වෙද්දිත් ආ‍න්දෝලානාත්මක චරිතයක් බවට පත් වෙලා.. ඒ පිළිබදව විවිධ අදහස් පළ වෙනවා... එය මල් වෙඩිල්ලක් සේ ක්ෂණික දීප්තියක් ඇති කර නිවී ‍යා යුතු නැති බවයි මම හිතන්නෙ.. ඒ නිසාම මමත් හිතනවා ඉක්මන් වීම හොද නැහැ කියල... වෙනසක් කරන්න ශක්තිමත් පදනමක් ඕන... මිනිසුන් දිනා ගන්න ඕන... 

මතුපිට සරල වෙනසකින් පමණක් දුප්පතුන්ගේ දේව රාජ්‍යය බිහි වෙන්නේ නැහැ... ඊට අභ්‍යන්තර වෙනසක් අවශ්‍යයි. එය දවසකින් දෙකකින් ඉටු කළ හැකි දෙයක් නෙවෙයි...

Tuesday, April 2, 2013

තාත්තලාටම ඇයි හෘදයාබාධ




මං පුංචි කාලෙ ඉ‍‍ගෙන ගත්ත, නොමැකෙන්නම හිතට කා වැදුණු කාරණාවක් මේ.. 

ළ.ක්‍රි.වී. යෙ ( ළමා ක්‍රියාකාරී වීරයෝ ) වසරක තේමාවක් තියෙනවා ''සලකමු මව්පිය බැතියෙන් සැමදා'' කියල. පුංචි කාලෙ මේ තේමාව ක්‍රියාත්මක වුණ අවුරුද්දක තාත්තලගෙ ආදරය ගැන කියා දුන්න පියතුමෙක් ඇහුවා මෙහෙම ප්‍රශ්නයක්...

'' ඇයි වැඩිපුර තාත්තල හාට් ඇටෑක්වලින් මැරෙන්නෙ..?''

''අම්මලට හාට් ඇටෑක් හැදෙනව අඩුයි... හාට් ඇටෑක් නැත්නම් හෘදයාබාධවලින්, පපුවෙ අමාරුවලින් වැඩිපුරම මිය යන්නෙ තාත්තල...'' 

අපි පුංචියි... හාට් ඇටෑක් කියන වචනෙ ගැනවත් තේරුමක් තිබුණෙ නැහැ.. ඒ හින්ද දෙන්න උත්තරයක් හිතට ආවෙත් නැහැ... 

''තාත්තල ගොඩක් මහන්සි වෙලා වැඩ කරන හින්ද?'' එක් ළමයෙක් කිව්වා මතකයි...

'' අම්මල හිතේ දුක, කේන්තිය කෑ ගහල අඬල දොඩල පිට කර ගන්නවා... ඒත් තාත්තල හැමදේම හිතේ හිර කරගෙන තනියම විඳවනවා... දරුවො උණත් වැඩිපුර ආදරේ අම්මට, ළං වෙන්නෙ අම්මට, හැමදේම කියන්නෙ අම්මට... ඉල්ලීම් ඉදිරිපත් කරන්නෙත් අම්මට.. 

ගොඩක් වෙලාවට තාත්තා දරුවන්ගෙන් ඈතයි... තාත්තව අපි දකින්නෙ සැරපරුෂ කෙනෙක් විදියට.. ඉතින් පවුල ඇතුලෙ තාත්ත තනිවෙනවා.. තනියම ගොඩක් දේවල් දරා ගන්නවා.. ඒ පීඩනය දවසක පිපිරෙන්නේ හෘදයාබාධයක් විදියට වෙන්න පුළුවන්... ඉස්සර කියන්නෙ ළය පැලිල මැරුණා කියල... ළය පැලෙනව කියන්නෙ මේ විදියෙ මරණයකට තමයි... 

තාත්තට ළං වෙන්න.. තාත්තව තේරුම් ගන්න උත්සාහ කරන්න... තාත්තටත් දැනෙන්න ආදරය කරන්න... වැඩ ඇරිල ආවම ළගට ගිහින් කතා කරන්න. මහන්සිද අහන්න... තා‍ත්තේ ‍තේ එකක් හදල දෙන්නද අහන්න... තාත්ත එක්කත් කතා කරන්න... එයාටත් ඇහුම්කන් දෙන්න. තාත්තල අම්මල වගේ ආදරේ පිටට පෙන්නනව අඩුයි. ආදරේ තියෙන්නෙ හිත ඇතුළෙ. ''

තවත් බොහෝ දේ පියතුමා කියා දුන්නා මතකයි... තදින්ම හිතට වැදුණෙ තාත්තට ආදරේ කරන්න, තාත්තට ඇහුම්කන් දෙන්න, තාත්තව තේරුම් ගන්න කියපු කතාව..

හදිසියෙම මේ මතකය අළුත් වුණේ ඊයෙ හැන්දෑවෙ සිදු වුණ දෙයක් නිසා.. ළ.ක්‍රි.වී. කාර්යාලයේ වැඩ කරන නංගියෙකුගේ තාත්තා හදිසියෙම නැති උණා.. වැඩ ඇරිල කෝච්චියට දුවන අතරෙ මේ පණිවිඩය ලැබුණම මං හිතුවෙ අප්‍රේල් පළමුවෙනිදා රැවටීමක් කියල.. ඒත් කතාව ඇත්ත කියල දැණුනම මමත් ආපහු හැරිල ඉස්පිරිතාලෙටම ගියා...

ලංකාව හතරවටේ ළ.ක්‍රි.වී. පවුලේ බොහෝ පියවරුන්ගෙ අවමංගල්‍යයන්ට සහභාගි වෙලා තිබුණ උණත් මේ මරණය හිතට දැනෙන්න බලපෑව කාරණා කිහිපයක්ම තියෙනවා... 

පාස්කු නිවාඩුවට පස්සෙ බලංගොඩ ඉදල දුව ඇරලවන්න ආව තාත්තා ළ.ක්‍රි.වී. කාර්යාලය ඇතුළෙදිමයි අවසන් හුස්ම පොද පිට කරල තියෙන්නෙ... මේ පළමු වතාව අපි එවැනි අත්දැකීමකට මුහුණ දුන්න. 

අනික දූලා හතර දෙනෙක්ගෙ තාත්තා කෙනෙක්අවුරුදු 53 දි මේ නොඑන ගමන් යන්නෙ.. එක දුවෙක් විතරයි විවාහක. මරණය දැන ගත්ත ගමන් මගේ හිතට ආවෙ කෙල්ලො තුන්දෙනා... මොන දේ උණත් ජීවිතේට මුහුණ දෙන්න ඕන තමයි. නමුත් මුලදිම මේ තත්ත්වය බාර ගන්න එකම කොයි තරම් අමාරුද? 

ගල්ගැහිල වගේ කඳුලක්වත් හෙලන්නෙ නැතිව, කා එක්කවත් කතා නොකර ඉස්පිරිතාලෙ බිත්තියට වාරුවෙලා හිටිය ඒ තාත්තගෙ දෙවෙනි දූ දකිද්දි මටත් හිතා ගන්න බැරි උණා මොකද කරන්න ඕන කියල... 

ඒ තාත්තා දැනගෙන ඉඳල නැහැ.. තමන්ට හැදෙන්නෙ හෘදයාබාධයක් බව. එක් වතාවකුත් මේ වගේම පපුවෙ කැක්කුමක් හැදිල තිබුණත්බෙහෙත් බීල තියෙන්නෙ ගෑස්ට්‍රයිටීස් කියල. අසනීප ගණන් අරගෙනත් නැහැ.... 

නොදැනුවත්කමත්, ‍නොසැලකීමත් මේ වගේ ඉක්මන් සමුගැන්මකට හේතුවක් උණාද? 

ඒ වගේම දූල ගැන මොන තරම් බලාපොරොත්තු කන්දරාවක්, බරක් හිතේ තියෙන්නත් ඇද්ද? 

පිරිමි අයට වැඩි පුර හෘදයාබාධ ඇති වෙන එකට වෛද්‍ය විද්‍යාත්මකව බලපාන වෙනත් හේතු තියෙන්නත් පුළුවනි. ඒත් අතීතයේ දවසක පියතුමා කියා දුන් කාරණයත් බලපානව ඇති කියල මට හිතෙනවා... 

කොහොම උණත් ඒ කතාව මට මගේ තාත්තව තේරුම් ගන්න, ළං වෙන්න, ආදරේ කරන්න මග පෙන්නුවා... 

තාත්තලට තනි‍ වෙන්න නොදෙන්න අපි එයාලට ළං වෙන්න, තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන...