පිටු

Sunday, October 20, 2013

යක්ෂණිය(කගේ) කියවීමක් හෙවත් ආදරණීය වැටලීමක්...



ඉපැරණිම සිතිවිලි
අලුත් හුස්මක් අරගෙන
ඉපැරණි හිතට පිවිසෙයි
අකුරු එහෙ මෙහෙ විසිකර

තැන් තැන් වලින් ඇහිලූ
නන්නත්තාර දුකඳුළු
සන්සුන් ඇසක තනිකර
නින්දෙන් සිනාසෙන්නෙමි.

ඉසියුම් හැඟුම් විරහිත
තනිකං දොසින් ආතුර
මැදියම් දිවිය පැමිණුනි
මැදියම් රැයට පළමුව

හැර දමා දොරගුළු
සිඳ බිඳ දමන්නට
එකදු වළඳක් නැති
පාළු ගෙදරකි දිවියම

ඉකුත් සිසිරයෙ හමුවුණු
රුහිරු මේපල් තුරු පත
සමාදානයෙ සැතපෙන
දෙණකි සිහිලැති හදවත

හිම පියලි පිස පිවිසෙන
පොල්මංකාර හුළඟට
අතීතය පවරමි
සින්නක්කරේට ම

දැන් ඉතින් දහතුන
නපුරුයි කියන්නට
කාටවත් නො හැකිය
නපුරු හිතකට මිස.

එකමත් එක රටක දේශද්‍රෝහී පිටුවහලකු 2013 වසර ආරම්භ කළේ එලෙසිනි. කවි පෙළක දැවටූ හුදකලා සුසුම් අහුරක් අප හිත් මත විසුරවමිනි. ''දැන් ඉතින් දහතුන නපුරුයි කියන්නට කාටවත් නොහැකිය නපුරු හිතකට මිස...." කියමිනි. දහතුන නපුරු නොවන බව සාධක සහිතවම ඔප්පු කරමින් ඔහු සිය කුළුඳුල් නවකතාවේ නවතම මුද්‍රණය ද, ''මගේ ආදරණීය යක්ෂණී" නම් නවතම නවකතාව ද රැගෙන අප හමුවට පැමිණ සිටින්නේ ය. ඔහු නම් වෙඩ්ඩා ය. වැඩ්ඩා ය. ගෙහන්නාවට පිටුවහල් කළ අකීකරු පුත්‍රයා ය.

'' ඉපැරණිම සිතිවිලි.. අලුත් හුස්මක් අරගෙන .. අකුරු එහෙ මෙහෙ විසිකර .. ඉපැරණි හිතට පිවිස ඇත්තේ'' ආදරණීය යක්ෂණියක සමගිනි. සිතුවිලි ඉපැරණි වුව ද යක්ෂණියගේ හද ගැස්ම නැවුම් ය. ''ඉසියුම් හැඟුම් විරහිත......... තනිකං දොසින් ආතුර ........ මැදියම් දිවිය පැමිණුනි ........ මැදියම් රැයට පළමුව'' යනුවෙන් ලියූව ද, කියූව ද යක්ෂණියගේ ජීවන අන්දරය සියුම් ය. ගැඹුරු ය. මැදියම් දිවිය පැමිණුන ද ඉසියුම් හැගුම් විරහිත යැයි පැවසීම, යක්ෂණිය සමග ගැවසුණු අයෙකුට නම් කිසිසේත්ම එකග විය නොහැකි සම්පප්‍රලාපයකි.

'' හිම පියලි පිස පිවිසෙන... පොල්මංකාර හුළඟට.... අතීතය පවරමි....... සින්නක්කරේට ම'' අතීතය සින්නක්කරේට පැවරූ හිම බිදිති වියැකී ගිය වසන්තයේ වුව ඒ අතීත මතක සුවද, මතක උණුසුම දැවටී නැතැයි සහතික කොට කියන්නට යක්ෂණීට වුවද නොහැකි ය. අතීතයෙන් පළා යා හැක්කේ කාට ද? අතීතය යනු ම වර්තමානයේ සින්නක්කර හිමිකරු නොවේ ද? ''තැන් තැන්වලින් ඇහිලූ නන්නත්තාර දුකඳුළු'' ආදරණීය යක්ෂණී ගෙත්තම පුරාම එබිකම් පාමින් සිටින්නේ යැයි මම සිතමි. ඒ නන්නත්තාර දුකඳුළුවල ඉතිහාස කතාව, වර්තමානය, අවිනිශ්චිත අනාගතය යක්ෂණී අප හමුවට නොගෙනෙතැයි සහතික විය හැකි ද?



නපුරු නොවූ දහතුනේ හතුරු නොවී පෙමාතුර වූ ''ආදරණීය යක්ෂණී'' කොතරම් හදවතට සමීප වීද යන්න පිළිබදව මතක සටහනක් එක් කර තැබීම මගේ අපේක්ෂාව ය.  ‘‘මගේ ආදරණීය යක්ෂණී” යනුම සාංසාරික පටලැවිල්ලකි. ඒ පටලැවිල්ල යම් තරමකින් හෝ ලිහා ගනු පිණිස ය මගේ මේ වෑයම.

මේඝවන්න වේගා ඉතිහාසඥයෙකි. තමා උපන්බිමේ ප්‍රබන්ධාත්මක ඉතිහාසය අභිබවමින් සැබෑ අතීතය සොයා යන්නට උත්සාහ කිරීමේ වරදට ජීවිතයෙන් වන්දි නොගෙවා, ජීවිතය රැකගන්නට පිටුවහල්ව ප්‍රංශයේ දිවිගෙවන්නෙකි. සංකීර්ණ සංක්‍රාන්ති සමයක ඔහුට මුණ ගැහෙන ප්‍රේමය ''නේත්‍රබිම්බා ''ය.  ආදරණීය යක්ෂණී වන්නී ඈ ය. වේගා සමග අතිමහත් ප්‍රේමයෙන් බැදුණද සැබවින්ම ඇය අන්සතු ළඳකි. සිත්තර චිත්තබානු‍ගේ ප්‍රිය භාර්යාව ය. ඔවුන් වෙසෙ‍න්නේ එංගලන්තයේය. නීතියෙන් සිරගත කළ නොහැකි අතිශය ස්වභාවික මානුෂීය හැඟීම් සමුදායකට පියාපත් ලැබීම  හේතුවෙන් වේගා හා නේත්‍රබිම්බා ගතින් සිතින් ආත්මීයව එක්තැන් වූ නිමේෂයක වර්තමානය තුළ දිග හැරෙන අතීත ආදර අන්දරය, අතීත ජීවන අන්දරය ''මගේ ආදරණීය යක්ෂණී'' ය. අතීතය ‍කොතරම් දුරාතීතයකට දිව යන්නේද යත් එය විජය සනුහරය තම්බපණ්නියට ගොඩ බැසීමටත් එපිට අතීත සුවඳක් ඉව කරයි.

‘‘මම මලක් වී සිටියෙමි. දැන් මම නගරයක් වෙමි.’’ ( 390)

''ලිලැක් මුවදොර නිවහන '' වේගා සහ නේත්‍රබිම්බාගේ ආදරණීය පටලැවිල්ලට පංගුකාරියක් වෙන්නැයි කරන නිහඬ ඇරයුමක් වැන්න. ඉදින් ඒ ඇරයුම ඉවතලිය නොහැකිය. අපිදු ජීවිතයට, ප්‍රේමයට, මනුෂ්‍යත්වයට මහත්සේ ඇලුම් කරන බැවිනි. සැබවින්ම ලිලැක් මුවදොර නිවහන යනු ඔවුන්ගේ අභිෂේක  ලත් ප්‍රේමයේ සොඳුරු සුයාමයයි.  ලිලැක් මල් සුගන්ධය මෙන් දෝරෙ ගලා යනුයේ අනුරාගයේ සෞන්දර්ය යි. ප්‍රේමයේ උත්කර්ශය යි. මේ ආත්ම දෙකක ශරීර සංචාරය අහම්බයක් නොවන බව පැහැදිලි වන සාධක ලිලැක් මුවදොර නිවහන පුරාම හමුවේ.

''මං කල්ප කාලාන්තරයක් බලාගෙන හිටියෙ මෙන්න මේ රාත්‍රිය උදාවෙනකල්. ඔයාගෙ උණුහුම ඉස්මත්තෙ සැතපිලා මේ මහ රෑට මුහුණ දෙන්න. ආදරය තියෙන තැනක අන්තරාවකට මුහුණ දෙන එක සැහැල්ලුයි. මට දැනෙනවා දැන් මගේ මරණයට වුණත් අර්ථයක් තියෙනව කියල...''

නේත්‍රබිම්බා පවසන්නී ය. අයිෆල් කුලුණේ විස්මිත විදුලි දාංගලය දෙස බලමින් සිටින අතර ලිලැක් මුවදොර නිව‍හනේ සංවාදය නිම වන්නේ මෙලෙසිනි.

''මේ නිදා ගන්න කළින් අපි අර කරදහි ටික පුච්චමු.''
මම ඈ උරහිසින් මෑත් කර, ජනෙල් කණ්ඩිය අයිති කර ගතිමි. අයිෆලය දෙස නො බලා ඈ දෙස බැලුයෙමි.
''මං ඒව පිච්චුව'' (33)

පිච්චුවැයි කීව ද ''තටු ලැබුණු කරදහි'' යනු ඒ දැවී හළුවී නොගිය සුන්දර ප්‍රේම පත්‍ර ගොන්නය. සැබවින්ම ඒ නේත්‍රබිම්බාගේ අධ්‍යාත්ම විවරණය වන්නේ ය. ප්‍රේම පාරමිතාව වන්නේ ය. විටෙක ප්‍රේමණීය කන්දොස්කිරියාවක් වන්නේ ය. ආදරය අයදින ආයාචනාවන් ය. කේන්තිය ගුලි කොට දමා ගසනා වදන් කඩුකිණිසි ය. සදය උපහාසය කැටි වූ කතන්දරය. විටෙක වේදනාවෙන් කීරි ගැහුණු සිතක ළතැවිල්ල ය. සැබවින්ම ඉරිසියාව අවුලුවන පෙම්පත් සමූහයකි. මාස ගණනකට පසු අතපත් වන කරදහි එකින් එක අප නෙත් අබියස දිග හැරෙන පරිච්ඡේදය නිම වන්නේ නේත්‍රබිම්බාව කළින් දැක තිබුණු බව දැන ගත්තේ ද පසුව බව වේගාට සිහිපත් වීමෙනි.

කවිකම වෘත්තීය කරගත් කවියකු බැරලයක් වීමේ කතාව ''බැරල් හෙවත් හුස්ම ගන්නා හාස්කම්'' ය. ආරක්ෂක කපොල්ලකදී මාර්ග හරස් කර ඇති බැරල් සමූහයක අතරමංව සිටින සිහිය අවතැන් මොහොතක, කවිකම වෘත්තීය බව කීමේ අවංකකමට ප්‍රතිඋත්තරය ලෙස ලැබෙන දරුණු කම්මුල්පහරක්ද සමග  ඔහු එතෙක් පැමිණි ගමන් මගෙන් පිටතට විසි වීමේ ප්‍රතිඵලයක් ලෙස චිත්තභානු හමු වේ. චිත්තභානු හමුව යනු නම නොදන්නා කපුකටින කුවේණියක ඇස ගැටීමේ සංසාරික  පටලැවිල්ලක ආරම්භය වන්නේය. නේත්‍රබිම්බාගේ ආදරණීය වැටලීමේ පදනම වැටී ඇත්තේ හුස්ම ගන්නා බැරලයක් තුළින් වීම කොතරම් පුදුමයක්ද? නමුත් ඒ බව අපට අනාවරණය වන්නේ පසුව ය. වේගා මෙන්ම අපිදු අන්දමන්ද වන මේ සංසාරික පටලැවිල්ලේ නිශ්චිත ආරම්භය ''බැරල් හෙවත් හුස්ම ගන්නා හාස්කම්'' ය. කාංසා හිතට කංසා ධුම අස්වැසිල්ල සමග  වේගාට සිහිපත් වන උදාන වාක්‍යය ‘‘සහෝදරයා ජොයින්ට් එකක් ඔතාගෙනම සංසාරය ළිහා ගනිමු.” යන්නයි. එකී උදාන වාක්‍යයේ සැබෑ උරුමක්කාරයා හීමිටියා ය.

‘‘හී මිටියා නම් වූ හීන තෝරන්නා ” යනු ඔහුගේ කතාව ය. ඔහුගේ කතාව පමණක්ම නොවේ. එය ලාංකීය ඉතිහාසයේ විප්ලවීය රතු ලකුණ වන වාමාංශික පක්ෂයට දුන් අතුල් පහරක් වැන්න. පක්ෂයේ නායකත්වයද, ක්‍රියාකලාපයද, වාර්ගික ගැටලුව සම්බන්ධ ඔවුන්ගේ ස්ථාවරයද නිර්දය විවේචනයකට යොමු කරන්නකි. හාස්කම වන්නේ නිර්දය විවේචනය වුව සදය උපහාසයෙන්  ඔපමට්ටම් කරන ඒ වචන ලාලිත්‍යය ය. විප්ලවීය ගති ලක්ෂණ යනු කලකදී කැපී පෙනෙන්ට පළදින ඔටුන්නක් පමණක්ම ද? එය මිනිසත්භාවය ඉක්මවා ජාතිවාදී, පුද්ගලවාදී පටු ආකල්ප සන්තර්පණයට යොමු වන්නේ නම් සැමට සම හිමිකම් ලැබෙන සමාජවාදී සමාජයක් යනු සිහිනයක්ම නොවේද? හීමිටියාගේ කතා වස්තුව මෙන්ම දුර්ගඡායා කතා වස්තුව ද විප්ලවීය පක්ෂයන් මෙන්ම විප්ලවීය පුද්ගලයන් ද මෙම ප්‍රශ්න කිරීමට ලක් කරයි.

‘‘අහක සිටි හීමිටියකු ගැන චිත්තභානුට සිහිපත් කර දීමෙන් නොනැවතී, ඔවුන් දෙදෙනා මුණගස්වන ලද්දේද, බිම්සරා හෙවත් හාරත හේරාට හීමිටියා පංගනාතු කළේ ද වෙන කවුරුවත් නොව වේගා ය. එනම් හීමිටියා ගැන මෙතෙක් කතාව කියාගෙන ආ ‘මම’ ය. ” (157)

එතෙක් අනාමිකව සැඟවී සිටි කථා නායකයා මුල්ම වතාවට වේගා නමින් අප හමුවට පැමිණෙන්නේ මෙහිදී ය.

ඉදින් වේගා, නේත්‍රබිම්බාගේ ආදරණීය වැටලීමක ප්‍රතිඵලයක් ලෙස බර්මිංහැම් ගුවන්තොටින් එගොඩ වී ඇගේ නිවහනට පිවිසෙන්නේ ‘‘දෙසැම්බර තිමිර මගහැරි” සීතලෙන් සීත වුණු සීත සමයේ ය. සැබවින්ම ඒ චිත්තභානු ඇතුළු පිරිසගේ කොළපත්‍ර අරගලය සදහා දායක වනු පිණිස ය. පිටුවහල් ජීවිතවල වේදනාබර අසිරියද දෙසැම්බර තිමිර අතරින් ගලා ඒ. නේත්‍රබිම්බා සහ චිත්තභානු අතර ගෘහස්ත සීතල යුද්ධයක ඉඟි බිඟි ද, ඇය වේගා වෙතට තල්ලු කර දමන රැහැන් ශක්තිමත් වනු ද දෙසැම්බර තිමිර අතරින් සියුම්ව නිරීක්ෂණය වෙයි.

ආර්ය වංශයේ අයිතිය යුරෝපීය පසුබිම තුළ සොයා යන විජය සනුහරයේ පුනරාගමනය චිත්තබානු සහ හත්සියයක පිරිස ද යන්න පිලිබදව සංකා මතු වන්නේ ‘‘ත්‍රොකදෙරෝවට වට වැස්සෙන් ”ය. ‘‘කුළු මී පිළිරූ පරිශ්‍රයේදී ” නේත්‍රබිම්බා සහ වේගා අතර ප්‍රේමය කෙමෙන් තහවුරු වන අතරම, වේගා සහ හත්සියයක පිරිස අතර ලියවිලි අරබයා වන එකඟත්වයද තහවුරු වන බව පෙනේ. දේශපාලනික අරමුණු අතර හුදකලාවම සක්මන් කරන ප්‍රේමය පිළිබදව විටක ඇති වන්නේ සාංකාවකි. වේදනාවකි.

අතීතයට ඇදී යන නේත්‍රබිම්බා සහ කුවේණිය අතර සබදතාව හෙළිවන්නේ ‘‘තඹ පැහැ සුසුම්” තුළ ගොනු වන කුවන්නා පිළිබදව නේත්‍රබිම්බාගේ වෘත්තාන්තයේදී ය. ‘‘තුලාවෙල්ලියට අතුරු පාරක්” යනු ඉතිහාසඥයෙකු ලෙස වන්නි සිංහලයන් පිළිබදව වේගා කළ දීර්ඝ කාලීන ගවේෂණයක පුවත්පත් වාර්තාව ය. එංගලන්තයේ සිට ප්‍රංශය දක්වා උමං දුම්රියෙන් යනෙන අතරතුර ඒ පිළිබදව නේත්‍රබිම්බා සහ වේගා අතර මතුවන සංවාදය ‘‘උම්මග්ග සංසාරයේ” කැටි වී ඇත. නේත්‍රබිම්බා කතෝලික සිංහල පියෙකුගේත්, වන්නි සිංහල අම්මා කෙනෙකුගේත් දියණියක බව හෙළිදරව් වන්නේ උමං දුම්රියේ ඇගේ සිතුවිලි විවරණයේදී ය. නමුත් වේගාට නම් එය තවමත් රහසකි.

විප්ලවීය සිහින දුටු සාම්ප්‍රදායික ස්වාමිපුරුෂයකුගේ  කුටුම්භයක සිරගතව දිවි ගෙවූ දුර්ගඡායා වසර විසිපහකට පසු එයින් විමුක්තිය ලබා වේගා හමුවේ දිග හරින ඇගේම කතාව ‘‘දුර්ගඡායා කැඩපත” ය. එය වඩාත් ප්‍රබල රූපකයක් වන්නේ එය නේත්‍රබිම්බාගේ වත්මන් විවාහ දිවිය පරාවර්තනය කරන කැඩපතක් ද වන බැවිනි. ගෙහන්නාව යනු ක්‍රිස්තුන් වහන්සේගේ ජීවන අත්දැකීම සමග ගත් කල ආත්මීය හුදකලාව, වේදනාව, අත්හරිනු ලැබීම, පාවාදීම, බිය, සංකාව යන මේ සියලු හැගීම් හි සංකලනයකි. නමුදු ගෙත්සමනිය යනු මල් උයනකි. ‘‘ගෙහන්නාවක සිසිලස ” ගෘහස්ත සීතල යුද්ධයට නේත්‍රබිම්බාගේ ප්‍රතිචාරය හෙළිදරව් කරන්නකි. කොටින්ම ඇගේ අභිනව ප්‍රේමය සිය ස්වාමිපුරුෂයා ඉදිරියේ විවෘතව ප්‍රකාශ වන අවස්ථාව ය. වේගා නේත්‍රබිම්බාගේ හදවත තුළ නිශ්චිත හිමිකරුවකු බවට පත් වූයේ කවදාද? කෙලෙසින්ද? ඒ මන්ද? යන්න ගෙහන්නාවක සිසිලසේදී මතුවන්නේ සියුම් කම්පනයක්ද සමගිනි. නේත්‍රබිම්බා නිදි නොමැති දිගු රෑ  යාමයන් හි ලියූ කවියක් වේගා අත තබන්නේ ඔහු ආපසු පැරීසියට නික්ම යන්නට සැරසෙන මොහොතේ ය.

‘‘මේක මං ලිව්වෙ අරගෙන ගිහින් පැරිසියෙදි කියවන්න.”

අතුපතර විහිද ගත් තුඟු රූස්ස ගසක් යට
මං කුඩා අවැදගත් කවියක් ය..

පිටු පෙරලගනු නොහෙන විසල් දිවි පොතක් ළඟ
මං අකුරු ඇදව ගිය කවියක් ය...

ඇස් දහස් ගණනකින් ලොව දකින හිතක් ළඟ
මං මගෙම ඇස උපන් කඳුලක් ය...

ඒ කඳුල මග හැරී රෑ අහසෙ පුරාවම
මං සොයා යන නගුල් තරුවක්ය...

‘‘ඔයා කවි  ලියන්න පටන් ගත්තෙ කොහොමද? මං අහන්නෙ ඔයා අඳින එකයි ලියන එකයි දෙකම කර ගෙන ආවෙ එකට ද වගේ ප්‍රශ්නයක්...” ඔහුගේ ප්‍රශ්නය නන්නාඳුනන සුසුමක්ව විත් ගෙල සිර කරලීය. ( 361)

හුස්ම ගන්නා බැරලයක් සමග චිත්තභානු නිවසට පිවිසි අතීත දිනක් පිළිබද මතකය නේත්‍රබිම්බා වේගා ඉදිරියේ සිහි කැදවයි. ඔහු ඇගේ හදවතේ සදාකාලික ආරම්මණය බවට පත් වු දිනය එදින ය. මේ හෙළිදරව්ව හදගැස්ම ද නවතින තරම් අතිශය සංවේදී අවස්ථාවකි.

‘‘.........ඔය අතරෙ එයා භානුට කිව්ව එයා ගත්ත නිශ්චිත තීන්දුවක් ගැන..”
‘‘ ඒ මොකක්ද?”
‘‘ එයා කිව්වා එයා ඒ මොහොතෙ ඉදල කවි ලියන එක නවත්වනව කියල. මේ නන්නාඳුනන කවියා වෙනුවෙන් මගේ හිතේ උපන් වේදනාව ඇඟ පුරාම විදුලි කෙටුව. මං ඒ මොහොතෙ මාව ම පොරොන්දු කර ගත්තා මං අඳින එක නවත්වල ලියනව කියල. අඩු ගාණෙ මං කවි ලියන්න පටන් ගන්නව කියල...”
වේගා හිනාවුණේ නැත. මම හිනාවුණෙමි. ( 364)

පැරිසියෙදි නේත්‍රබිම්බා සහ වේගා අතර ප්‍රේමය උත්කර්ෂයට නැංවෙන්නේ ලිලැක් මුවදොර නිවහනේදී ය. ‘‘හිරුත් එක්ක පරක්කු වෙමින් ” ආ සුන්දර ගමනක කෙළවර ය.

‘‘කවදාහරි මට පුතෙක් හම්බ වුණොත් මම හිරු කියල නම දානවා..”  (388)

කුළුමී පිළි රූ පරිශ්‍රයේදී සුසුමක් සමග හිතට එබෙන නේත්‍රබිම්බාගේ දාරක ස්නේහය නිශ්චිත ප්‍රාර්ථනාවක්ව මතු වන්නේ මෙහිදී ය. අතිසංවේදී එළඹුමකි. මෙහිදී හිරු යනු සංකේතාත්මකයැයි සිතේ. අතීත යක්ෂ ගෝත්‍රික වන්දනාවේ සූර්ය නමස්කාරය ප්‍රමුඛ විය. රාවණා යනු සූර්ය වංශික යන අරුත දරන බව අරිසෙන් අහුබුදු මතයයි. ඒ අනුව ගත් කල නේත්‍රබිම්බා සහ හිරු අතර සම්බන්ධතාවයද, ඇගෙන් උපදින දරුවෙකුට හිරු ලෙස නම් තැබීමට සිදු කරන ප්‍රාර්ථනය ද ලාංකීය බිමේ සැබෑ හිමිකරුවන් නැවත එම උරුමය සොයා එන බවට පෙර ලකුණක් වැන්න.

සියල්ලෙහි කූටප්‍රාප්තිය ‘‘අන්ධකාරෙ කෝපි කෝප්පෙක” සැඟවී ඇත.

‘‘ කුවන්නා කියන්නෙ දෙමළ ගෑණියෙක්ට ” (399)

කෘතියෙහි මුඛ්‍ය ධාරණාව අප වෙත අවධාරණය කරනුයේ කුමක්ද යන්න ඉතා පැහැදිලිව අවසානයේ වචනවලට නගා ඇත්තේ එලෙස ය. මව්බිමේ ප්‍රබන්ධාත්මක ඉතිහාසයෙන් සඟවන සැබෑ අතීතය හාරා පාදා බැලීමේ දී විජය සනුහරයේ ආගමනයටත් පෙර සිට දමිළ ජනතාව මෙහි දිවි ගෙවූ බව ද, ඔවුන්ට සැබවින්ම මේ බිමේ හිමිකමක් ඇති බව ද සාහිත්‍යමය, සෞන්දර්යාත්මක ගුණය නොනැසෙන සේ මතවාදීව ඉදිරිපත් කරන්නට කතුවරයා සමත් වී ඇත. යක්ෂ ගෝත්‍රය යනු දමිල සම්භවයක් සහිත ජන කොටසක් බව දැනෙන්ට හැගෙන්නට සලස්වයි. අතීතයේ ඉන්දියාව සහ ලංකාව එකම බිමක් ව පැවතීම, පසුව වෙන් වුවද දකුණු ඉන්දියාව ලංකාවට වඩාත් සමීපව පිහිටීම යන කරුණු සලකා බලන විට මේ මතය පහසුවෙන් බැහැර කළ නොහැකි ය.

විජයාවතරණයට පෙර ලංකාවේ ජීවත් වූ දියුණු, අභිමානවත්, ශක්ති සම්පන්න ජන කොටස යක්ෂ ගෝත්‍රය බවට අවිවාදාත්මක ය. රාවණා, කුවේණි සම්බන්ධ කතා පුවත් වුව ද එයට නිදසුන් ය. නිසැකවම ආර්ය වංශිකයනට ඔවුන්ගෙන් ප්‍රබල බලපෑමක් එල්ල වන්නට ඇත. ආර්ය වංශික බල අරගලය තුළ ඔවුන්ගේ අයිතිය තහවුරු කිරීමට  නිජබිමේ සැබෑ හිමිකරුවන් රාක්ෂයින්, ම්ලේච්ඡයින් ලෙස ඉතිහාසයෙන් බැහැර කරලීම දැනුවත්ව සිදු කළ දේශපාලනික කුමන්ත්‍රණයක් වීමට ඉඩකඩ වැඩි ය. එය සැබෑ අතීතයට පිටුපෑමකි. සැබෑ අතීතය යටපත් කිරීමකි.

‘‘අතීතය යනු ඉතිහාසය යැයි වරදවා නො ගන්න. මට අනුව ඉතිහාසය හැම විටම ප්‍රබන්ධයකි. නොඑසේ නම් කවන්ධයකි. ඉතිහාසය, අතීතය තරම් අවංක නැත. ඉදින් නිකලාසුවන් පිය මැන ආයේ ඉතිහාසය දෙසින් නොව අතීතය දෙසින් බව මම පවසමි. එසේ වතුදු මා නිවහන ඉදි කර තිබුණේ ඉතිහාසය මත ය.” ( 159)

‘‘හැම දරුවෙකුටම ඉතුරු වෙන්නෙ ඇත්ත ඉතිහාසයක් නෙවෙයි ප්‍රබන්ධ ඉතිහාසයක්....” ( 290)

‘‘... ඔයා කොහොමද මේ දේවල් ටක්කෙටම කියන්නෙ.”
‘ඔන්න ඕකනෙ. අපි කිව්වොත් ප්‍රබන්ධ. මහාවංශක්කාර මහානාම හාමුදුරුවො කිව්වොත් කිරි ගහට ඇන්න වගේ. ඕකනෙ කිසිදෙයක් කියන්න බැරි. කොටින්ම ඉපදිච්ච රටේ ජීවත් වෙන්නවත් බැරි.” ( 292)

‘‘ඔහුගේ කතාවල තර්කයක් තිබේ. ඇත්ත හොයා ගන්නට නම් අවම වශයෙන් සමාජයක් වශයෙන් තර්ක කිරීම‍ට අප පුරුදු පුහුණු විය යුතුය. එවන් සමාජයක් ගොඩ නැගෙන්නට ඉඩ සලසනු විනා මෙවන් මිනිසුන් සංත්‍රාස ගන්වා ස්වයං පිටුවහලට තල්ලු කිරලීමෙන් රටක් වශයෙන් යා හැකි දුර කොතරම් ද?” (276)

බැලු බැල්මට ප්‍රේම කතාවක් ලෙස දිස් වූව ද ‘‘මගේ ආදරණීය යක්ෂණී” යනු බරපතල දේශපාලනික කියවීමකට නතු කර ගත යුතු නවකතාවකි. එය ජාත්‍යන්තර දේශපාලනයේ සිට ලාංකීය දේශපාලනය හරහා  සමාජය, පවුල, පුද්ගලයා දේශපාලනිකව තේරුම් ගන්නට ඇරයුම් කරන ප්‍රබන්ධයකි. අපි සියල්ලන් දේශපාලනික සත්වයන් වන්නා සේම, ධනවාදයට කිරුළු පළදවන අවස්ථාවාදී දේශපාලනයේ  ගොදුරු වන බව ද පිටු පෑ නොහැකි සත්‍යයක් සේ අප මත කඩා වැටේ. වේගාගේ ඉතිහාස ගවේශනය ද, නේත්‍රබිම්බාගේ අතීත ආවර්ජනා ද, චිත්තභානු සනුහරයේ අරගලද, පිටුවහල් ජීවිතවල වේදනාබර අසිරිය ද, බලය කේන්ද්‍ර කර ගනිමින් ගොඩ නැගෙන දේශපාලන ඉතිහාසය සමාජය සහ පුද්ගලයා වෙත එල්ල කරන ප්‍රබල බලපෑම වටහා ගන්නට මග පෙන්වයි. බහුතරයේ බලය රැක ගැනීමේ අවශ්‍යතාව පරිදි සුලුතරයේ හිමිකම්, අයිතීන් ඉතිහාසයෙන් අතු ගා දැමෙන බව පැහැදිලිව දක්වයි. ‘‘ඉතිහාසය ප්‍රබන්ධයකි. මට අනුව කවන්ධයකි.”  කතුවරයා නොපැකිළව පවසයි.

වේගා යනු මව්බිමේ සැබෑ අතීතය ලෙස සංකේතීකරණය කළ‍හොත්, චිත්තභානු යනු ආක්‍රමණික බලලෝභී, ධනලෝභී ආර්ය පරපුර සංකේතවත් කරන්නකි. නේත්‍රබිම්බා යනු සිය අයිතීන්, හිමිකම් අහිමිව ගිය පීඩිත සුළුතරය ය. වේගා සහ ‍ නේත්‍රබිම්බාගේ ප්‍රේමය යනු සැබෑ අතීතය, සැබෑ අයිතිය සොයා යාමේ විප්ලවය ය. හිරු ලෙසින් නම් තැබීමට පුත්‍රයකු පිළිබදව නේත්‍රබිම්බා තුළ වන ප්‍රාර්ථනය අලුත් අහසක්, අලුත් පොලවක්, අලුත් සමාජයක් පිළිබදව පවතින සුවහසක් අපේක්ෂාවන් ය. ඒ යක්ෂණි කියවීමේ දී මා තුළ උපදින සිතුවිලි ය.

නවාලි බෝම්බ සිද්ධිය නවකතාව තුළ දෙවරක්ම මතු වේ. චිත්තභානුගේ සිත් හැරීමට ද, කොලොම්බස් පක්ෂය අත් හැරීමටද නවාලි සිද්ධිය මුල් වී ඇති බව පෙනේ. මෙය හුදකලා සිදුවීමක් නොව, තේමාත්මකව ගත් කල යුධවිරෝධි මතවාදය තහවුරු කරන අතරම අහිංසක දරුවන්, අසරණ මිනිසුන් බිල්ලට ගන්නා යුද්ධය කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බව අතිශය සංවේදී එළඹුමකින්  අවධාරණය කරන්නකි. ත්‍රස්තවාදීන් ලෙස මරා දැමෙන්නේද, සරණාගතයින් ලෙස ගාල් කරන්නේ ද උපන් බිමට සැබෑ හිමිකමක් ඇති මිනිසුන් නොවේද යන පැනය අප තුළ මතු කරයි.

‘‘....... යාපනේ නවාලිවල ශාන්ත පීතර දෙව් මැදුරට බැරල් බෝම්බ දාපු කතාව. මුල්පිටේ තිබුණ පින්තූරෙ හිටියෙ කියා ගන්න බැරි තරම් ලස්සන, පුංචි ගවුම් පොඩිත්තකින් සැරසුණ පුංචි දෙමළ කෙල්ලෙක්. බෝනික්කියක් වගේ. දේවදූතියො දැකල නැති කෙනෙක්ට වුණත් ඒ රෑපෙ දැක්කම හිතා ගන්න පුලුවන් දේවදූතියන්ගෙ හැඩතල. නමුත් මේ පුංචි පැටික්කි උන්නෙ මැරිල. අර බෝම්බෙ වැටෙන වෙලේ දෙතොලෙ තිබ්බ ලස්සන හිනා පොද, දෙතොලෙ ඒ විදිහට ම මිදිල. මගේ පපුව මොහොතක් නැවතුණා... ඇත්තටම. මං වම් අතින් පපුව පොඩි කර ගත්තා මොහොතක්..” (120)

පිටුවහල් ජීවිතවල අපමණක් කතන්දර විටින් විට යක්ෂණී පිටු අතරින් මතු වන්නේය. ආර්ථිකමය, ‍සමාජමය හෝ දේශපාලනමය වශයෙන් වේවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිටුවහල් වීම යනුම ප්‍රබල දේශපාලනික සංසිද්ධියකි. දේශපාලනික දඩුවමකි. දේශපාලනික අත්වැරැද්දකි.

''ප්‍රේමය ගැහැණියගේ ජීවිතයම වන නමුදු, ප්‍රේමය පිරිමියාගේ ජීවිතයෙන් කොටසක් පමණක්ය'' යන කියමන මගේ ආදරණීය යක්ෂණී විටින් විට සිහිපත් කර දෙයි. නේත්‍රබිම්බා‍ තම ප්‍රේමය වෙනුවෙන් සියල්ල කැපකිරීමට සූදානම් ය. චිත්තභානු තම බිරිඳට පෙම් කරයි. නමුත් ඒ ඇල්මැරුණු ආදරයකි. සිය අරමුණු කරා යන ගමනේදී ඔහුට තම බිරිද වුව පහුරක් මිස ගමන් සගයෙක් නොවේ. විවාහක යුවළගේ දෑතට ඇදෙන සිතුවිලි කෘතිය පුරාම විටින් විට හමු වේ.

‘‘චිත්තීන්ට ඔම්ලටයක් වුව මෙන්න මෙයාකාර ඉසියුම් කැටයම් දැමිල්ලකි. එහෙත් සකල නිමැවුම් කට අරින කල්හි අවසන් වන බව මම දැන සිටියෙමි. එක් අතෙකින් මට මෙය ඉමහත් වේදනාවක් විය. මගේ ස්ත්‍රී නිමිත්තේ ලියාපදිංචිය ඇත්තේ ඔහුගේ නමට ය. එපමණක් නොව ඔහු එකී පර්චස් ඇබ්බිත්තට පමණක් නොව මගේ සමස්ත සර්වාංගයට ම ආදරේ වූයේ විය. මගේ වේදනාවේ නිමිත්ත පවතින්නේ මෙකී කරුණේ විය හැකි ය.” (345)

නමුත් නේත්‍රබිම්බා වේගා සහ තමා අතර හදවත් පෑහීම, සිතුම් පැතුම් ගලා යෑමේ සමාන්තරභාවය හදුනාගෙන ඇති ආකාරය තටු ලැබුණු කරදහියක සඳහන් ය. ප්‍රේමයේ උත්කර්ශය නම් අන්‍යෝන්‍ය අවබෝධය, ගෞරවය, පිළිගැනීම, ඇගයීම ම නොවේ ද? පුරුෂමූලික ආසියාතික සමා‍ජයේ කාන්තාවට නොලැබී යන අතිමහත් වස්තු සම්භාරයද එයම නොවන්නේද?

‘‘කාට නොතේරුණේ වුව ‘මම’ යන ප්‍රාණයේ තේරුම ඈත ගහක් ගලක් තේරුම් ගෙන ඇතැයි මම සිතමි. තේරුමක් නැති සිතුවිල්ලක් යැයි නො කියන්න. අසමාන, අසමබර, අසීලාචාර, නොගැ‍ලපෙන ශරීර කූඩු දෙකක් ඇතුළත ටක්කෙටම සමපාත වන හදවත් දෙකක පිහිටා තිබීම ඔබ විග්‍රහ කර ගන්නේ කොහොමද?” (57)

වේගා නේත්‍රබිම්බා කෙරෙහි ප්‍රේමයෙන් පසු වුව ද විටින් විට සිය අරමුණු හා ප්‍රේමය අතර වන හැලහැප්පීම් පිළිබදව සාං‍කාබරිත වන බව ද පෙනේ. ආරම්භයේ සිට අවසානය දක්වා ගලා යන ඔවුන්ගේ ප්‍රේමය තුළ නේත්‍රබිම්බාගේ පරිපූර්ණ මැදිහත්වීම සැබවින්ම ආදරණීය වැටලීමක් ලෙස පෙනෙන්නට ඇති අතර, වේගා එයට දක්වන්නේ නිහඬ  අනුකූලතාවයකි. ඇල්මැරුණු අනුකූලතාවයකි. විටෙක දැනෙනු‍යේ හැගෙනුයේ වේගාට ප්‍රේමය වනාහී අත්‍යවශ්‍ය නොවන අමතර සුන්දර කරදරයක් ලෙසිනි. විටෙක වේගා නේත්‍රබිම්බා කෙරෙහි දක්වන ඇල්ම ආකර්ශණීය ආලය ඉක්මවා ගිය ගැඹුරු සෙනෙහසක් බව ද පෙනේ. එය වචනවලින් ඉස්මතු නොවන්නකි.  කෙසේ නමුත් නේත්‍රබිම්බාගේ හදවත තේරුම් ගැනීම තරම් වේගා ගේ හදවත තේරුම් ගැනීම පහසු නැත. මුනිවතට පැවරූ ඒ හෘද අභ්‍යන්තරය එළිදකින්නේ කලාතුරකිනි. ඔහු ප්‍රේමය සහ ලිංගිකත්වය එකිනෙක බද්ධ කරන්නේ අපූර්වාකාරයෙනි. ආදරය සහ අනුරාගය අතර අසිරිමත් බන්ධනයක් මැවෙන ලෙසිනි.

‘‘ඉදින්,
ප්‍රේමයේ පරම ප්‍රාර්ථනය තුළ පවතින්නේ මෛථුන්‍යයික අභිලාෂය බව මම ඇයට කීවෙමි.
ප්‍රේමයේ පරම අභිලාෂය ලෙස හැදින්වෙන්නේ ලෛංගික උත්කර්ෂය බව මම ඇයට කීවෙමි.
ප්‍රේමයේ පරම උත්කර්ශය බවට පත්වන්නේ ඒකාත්මික සුරතාන්තය බව මම ඇයට කීවෙමි. ” (393-394)

වේගාට ලිංගිකත්වය යනු අනන්‍ය වූ වටිනාකම් සහිත වෙනම සංස්කෘතියකි. ප්‍රේමණීය සංස්කෘතියකි. එය ලිංගික වලිප්පුව නිසා මතු වන නව සිද්ධාන්තයක් නොවේ. ලිංගිකත්වයේ විශ්වීය සෞන්දර්යය තුළින් මතු වන්නක් බව සිතීම සාධාරණ ය. නමුත් මේ ලිංගික ආකර්ෂණය නිමා වූ තැන ප්‍රේමයද අවසන් ගමන් යා දැයි මසිත සැකයක් පැන නැගේ.

නේත්‍රබිම්බාගේ පියා සිංහල කතෝලික ය. මව සිංහල බෞද්ධ ය. වේගා සිංහල බෞද්ධ ය. නේත්‍රා සිංහල කතෝලික ය. නිබ්බ සිංහල බෞද්ධ ය. ඔහුගේ බිරිද සිංහල කතෝලික ය. ප්‍රේමය අබියස ජාති, ආගම්, කුල ගොත් යනු අවැදගත් සීමා පවුරු බව මෙයින් ඉගි කළ ද, යථාර්ථය නම් එයට බොහෝ දුරස්ත බව අමතක කළ නොහැකි ය.

කෘතියෙහි මතු වන ස්ත්‍රී අධ්‍යාත්මය හෘදයාංගම ය. කාන්තාවගේ අධ්‍යාත්මික ප්‍රබලත්වය කුවේණී, අල්ලිරාණී චරිත පිළිබදව කරන විවරණයෙන් මතු කරලයි. එසේම කාන්තාවගේ දේශපාලනික, සමාජමය ප්‍රබල දායකත්වය පුරුෂමූලික ඉතිහාසය තුළ උවමනාවෙන්ම යටපත් කර ඇති බවට ද ඉගි කරයි.  පුරුෂමූලික සමාජය තුළ පීඩනයට, වේදනාවට ලක් වන ස්ත්‍රී චිත්තය නේත්‍රබිම්බා සහ දුර්ගඡායා ඇ‍සුරේ තේරුම් ගැනීම පහසු ය. විවාහය නමැති නෛතික බන්ධනය තුළ ගැහැණියට තම අනන්‍යතාවය අහිමි වීම කොතරම් ඛේදවාචකයක් ද? ‘පවුල අසමත් සමාජ සංස්ථාවක්’ ය යන කතුවර‍යාගේ මතය මෙම නවකතාව තුළින්ද ඉස්මතු වේ. ‍ඓතිහාසික දේශපාලන අසමත්භාවයන්හි මූලයන් සොයා යන කතුවරයා විවාහ සංස්ථාවේ අසමත්භාවයට හේතුපාදක වන මූලයන් සොයා පහදා දීමට සාහිත්‍යමය වෑයමක් දරන්නේ නම් එය අධ්‍යාත්මික කාරණාවක් නොවන්නේද?

වෙඩිවර්ධන‍‍ගේ නවතම කෘතියේ ද, බත්තලංගුණ්ඩුව නවකතාවේ දී මෙන්ම මහත් උත්කර්ෂයෙන් ‘මත් සංස්කෘතිය’ වර්ණනයට ලක් කෙරේ. බත්තලංගුණ්ඩුවේ පළතුරු, ගංජා අතර නිමැවුණු මේ මත් සංස්කෘතිය,  නානාප්‍රකාර මීවිත නාමකරණයන්ගෙන් විචිත්‍රව ආදරණීය යක්ෂණී තුළ ද හමු වේ.

‘‘බොන්නෙවත් සිගරට් බොන්නෙවත් නැතුව ඉන්නට එපාය. කැමති දේ නොකර ලබන්නා වූ කෙහෙල්මල් සතුට කුමක්ද?” (102)

‘‘ඔහු මා නිවසේදීම සිහි විසංඥ වන තුරු මධු ඔඩමක ලැග හිඳීම පිලිබදව මට ඇත්තේ සතුටකි. මධ්‍යසාරය ඔහු ජීවිතයේ සාරය හා මුසු කරලන්නේ ය. ඒත් අසංවරව ය.” (191)

‘‘ඔහුගේ බේබදුකම ගැන ඉදින් නම් මට සමාජීය කාරණාවන් නැත. ඒ ගැන මට තිබෙනුයේ සෞඛ්‍යමය කාරණාවන් පමණි.” (194)

නේත්‍රබිම්බාගේ ආදරණීය අවසරය ලැබුණද, මීවිත ඇසුර මට අනුව බරපතළ සෞඛ්‍යමය කාරණාවක් මෙන් ම බරපතළ සමාජීය කාරණාවකි. එබැවින් ම මත් සංස්කෘතිය මෙතරම් උත්කර්ෂයෙන්, විචිත්‍රත්වයෙන් වර්ණනය කිරීම අත්‍යවශ්‍ය දැයි මම සිතමි. පමණ දැන, පදම දැන බොන මධු සංස්කෘතික මිනිසුන් අවම බව ලාංකීය සමාජය විමසන විට මැනවින් පැහැදිලි වන කරුණකි. මිනිසත්බවේ උදාරත්වය මධු බඳුනක දියව යාම ඛේදවාචකයක් නොවන්නේ ද?

‘‘මගේ ආදරණිය යක්ෂණී” භාෂාව බත්තලංගුණ්ඩුව  භාෂාව තරම්ම සුන්දරය. නැවුම් ය. කාව්‍යාත්මකය. බත්තලංගුණ්ඩුව අභිබවන තරමට බැරෑරුම් ය. ඉසියුම් ය. සෑම වාක්‍යයක්ම නැවුම් ම නැවුම් ප්‍රවේශයකි. අසිරිමත් ය.  උපුටා දැක්වීම අසීරු වන්නේ ද එහෙයිනි. මෙලෙස වදන් ගොනු කරලන්නේ කෙලෙසද?  මහත් විස්මයකි. විස්මකර්ම වැඩකි. මට මෙහි හමු වන්නේ අමුතුම අමුතු වාක්‍ය රටා ය.  වේදනාව කැටි ගැසුණු වාක්‍ය, කදුළු ඉකිබිදින වාක්‍ය, අනුරාගයෙන් කිතිකැවෙන වාක්‍ය, සෙනෙහස ගලා හැලෙන වාක්‍ය, අපහාසය උපහාසය ඉගි බිගි පාන වාක්‍ය, සිනහව දෝරෙ ගලන වාක්‍ය ... තව බොහෝ වාක්‍ය  රටා ඇත. ඔහු වචන මවන්නෙකි. කිසිදු බියක් සැකක් නැතිව අන්‍ය භාෂාවන්හි වචන ද සිංහල කටහුරුවට, හිත හුරුවට ගළපන්නේය. ස්කයිපීය, ඩිම්පලීය, ඔම්ලට්ටුව, දොමෙසිලය, සැලියුටක්.. නිදසුන් ය. සිහින, කතන්දර ඉදිරිපත් කිරීම තුළ අධියථාර්ථවාදී ස්වරූපයක් ඇති මුත්, එය මුලික තේමාවට හානියක් නොවේ.  කවියෙන්, නාටකීය සංවාදයන්ගෙන්, කතන්දරවලින් යක්ෂණීයට ලැබී ඇති දීප්තියද අතිමහත්ය.

යක්ෂණී තුළ නොතේරෙන වචන ද අප්‍රමාණ ය. මහා සිංහල ශබ්දකෝෂය පෙරළන්නට සිදු වූ අවස්ථා ද ඇත. අන්‍ය සංස්කෘතීන්ට අයත් වචන හා පසුබිම තේරුම් ගන්නට වදන් පහසුවක් තිබියේ නම් වටිනාකම කියා නිම කළ නොහැක.

මංජුල වෙඩිවර්ධන යනු කිතුනු සංස්කෘතික පසුබිමක් සහිත ලේඛකයෙකි. ඒ බව ‘‘මගේ ආදරණිය යක්ෂණී“ තුළින් ද පැහැදිලි වේ. යම් අවස්ථාවල සිංහල බෞද්ධ වේගාගේ මුවින් ද අමු ම අමු ක්‍රිස්තියානි සංස්කෘතික කාරණා එළිදැකීම චරිතයේ විශ්වසනීයත්වයට පටහැණි ය. වේගා සිංහල බෞද්ධ බව කතුවරයාට ද අමතක වූ අවස්ථා ඇති බව පෙනේ.

‘‘මගේ ආදරණිය යක්ෂණී”  අන්තර්ගතය සේම ආකෘතිය ද සෞන්දර්යයෙන්ද, ලාලිත්‍යෙයන්ද, විවිධත්වයෙන්ද පොහොසත් ය.සියලුම පරිච්ඡේද අනන්‍ය වූ සුන්දර නාමකරණයෙන් පෙනී සිටියි. තටු ලැබුණු කරදහි යනු කවිය සහ ප්‍රේමය මුසු වූ හසුන් සමුදායකි. නවවෙනි පරිච්චේදය එකම උල්පතකින් ඇරඹී සමාන්තරව ගලා බසිනා ගංගාවන් දෙකක් මෙනි. එහි එන තුලාවෙල්ලියට අතුරු පාරක් යනු ඓතිහාසික ගවේශන ලියවිල්ලකි. උම්මග්ග සංසාරෙ යනු උමං දුම්රියකින් එංගලන්තයේ සිට පැරිස් දක්වා එන ගමනේ උක්ත ලිපිය මුල් කර ගනිමින් වේගා සහ නේත්‍රබිම්බා අතර වන සංවාදයකි. තඹ පැහැ සුසුම් තුළ නේත්‍රබිම්බා කුවේණීය පිළිබදව ඉදිරිපත් කරන ඓතිහාසික කතාවද, වේගා සමග ඒ සම්බන්ධයෙන් ඇති වන සාකච්ඡාව ද ඇතුළත්ය. සොදුරු නම්වලින් පෙනී සිටිය ද පරිච්ඡේද අතර ඇත්තේ පටලැවිල්ලකි. සුපුරුදු ලෙස මුල මැද අග පිළිවෙලට ගලා යන පරිච්ඡේද සැකැස්මක් නොමැත. ඒවා එකින් එක බැදෙන්නේ සියුම් හුයකිනි. සමහර විට ඒ සියුම් හිය එකම එක වාක්‍යයකි. විවේකීව, හිතෛශීව යක්ෂණී ඇසුරු නොකළහොත් මේ පටලැවිල්ල ලිහා ගැනීම අසීරුය.

‘‘මගේ ආදරණීය යක්ෂණී” පිළිබදව රාවය පුවත්පතේ පළ වූ ලිපියක අදහස් දක්වන  සුදර්ශන සමරවීරද පවසනුයේ වෙඩිවර්ධනගේ නවකතාව මුලසිටම සෙමෙන් කියවිය යුතු කෘතියක් බව ය.

‘‘... පෘෂ්ඨීය වියමන යනු ප්‍රබන්ධයේ වාග්මය මතුපිටට යැයි සරලව සිතමු. එවිට අමරකීර්තිගේ කුරුලු හදවත පාඨකයා ආකර්ෂණය කර ගන්නා සරල රූපකාත්මක බසකි. පෘෂ්ඨීය වියමන මෙසේ විය යුතු යැයි ඒකමිතියක් නැත. උදාහරණයක් ලෙස මංජුල වෙඩිවර්ධනගේ මගේ ආදරණීය යක්ෂණී පෘෂ්ඨීය වියමන සහ අර්ථකාරක ගුණයෙන්ද සෑහෙන සංදිග්ධතා පෙන්වන්නකි. එහෙත් එය විශිෂ්ඨ නවකතාවකි. අමරකීර්තිගේ නවකතාව ඉක්මණින් කියවා සෙමෙන් යළි කියවිය යුතු නවකතාවක් වන අතර වෙඩිවර්ධනගේ නවකතාව මුල සිටම සෙමෙන් කියවිය යුත්තකි. නිශ්ශංක විජේමාන්නගේ තාරා මගේ දෙව්දුව ව්‍යුහ සංරචනය අතින් මේ නවකතා දෙකට මැද තැනක පිහිටයි. එහෙත් මේ නවකතා තුනම අඩුවැඩි වශයෙන් එකම තේමාත්මක මාන වෙත ඉලක්කයට වෙඩි තබයි. සිංහල ප්‍රබන්ධ කතාවේ ව්‍යුහ සංරචනයේ මේ විවිධත්ව විසිතුරු බව එකම වසරක කලවං වීම සිංහල නවකතාවේ විශිෂ්ටත්වයගැන බලාපොරොත්තු ලියලන්නකි.”

‘‘ජාතිකවාදී කිචි බිචි ගුවනතක කුරුලු හදවත ‘‘ ලිපිය
සුදර්ශන සමරවීර
රාවය 2013.10.13

විටෙක කතාව ඉදිරිපත් කරන්නේ වේගා ය. තවත් විටෙක නේත්‍රාය. උත්තම පුරුෂයෙනි. තවත් විටෙක බැහැර කිසිවකු කතාව කියන්නාක් මෙනි. ප්‍රථම පුරුෂයෙනි. මෙය ද සාර්ථක ආකෘතික අත්හදා බැලීමකි.

සමස්තයක් ලෙස ගත් කළ සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයේ මෑත ඉතිහාසය තුළ බිහි වු සුවිශේෂ නවකතාවක් ලෙස ‘‘මගේ ආදරණිය යක්ෂණී”   දැක්විය හැකි ය. කතුවරයාගේ මුල්ම නවකතාව වන බත්තලංගුණ්ඩුව අභිබවන නව්‍යත්වයකින්, සුවිශේෂත්යකින් පිරිපුන් ය. නමුදු බැරෑරුම් ය. ඉතිහාසඥයින් මුසුප්පු විය හැකි, දේශප්‍රේමීන් කුලප්පු විය හැකි ආන්දෝලනාත්මක කෘතියක් වීමේ පෙරලකුණු ඇත.

‘‘ මා උපන් මගේ ආදරණීය මව්බිමට ගොඩබසින්නට ඉඩ ලද කෙදිනක හෝ මම අල්ලිරාණිය ලුහුබදින්නට සිහින දකින්නෙමි. ”  වේගා ( මංජුල වෙඩිවර්ධන ) පවසයි.

‘‘මා උපන් මගේ ආදරණීය මව්බිම” ඇස කඳුලු උපදින අතිශය සංවේදී වැකියකි. දේශප්‍රේමී, දේශද්‍රෝහී මිනුම් සීමාව කොතරම් පටු වී ඇත්ද? බලලෝභී වී ඇත්ද? අදූරදර්ශී වී ඇත්ද? අසංවේදී වී ඇත්ද? යනු තවදුරටත් මගේ ආදරණීය මව්බිම යනු මගේම ද යන්න සැකසහිත ය. මව්බිමේ සැබෑ අතීතය සොයා යාම යනු ම දඩුවම් ලැබිය හැකි වරදකි. පිටුවහලෙනුත් පිටුවහලට පළවා හරින්නට තරම් වරදකි. එවන් අවිචාරවත් සමයක මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටින්නට යම් ලේඛකයකුට, කලාකරුවකුට හැකි වන්නේ නම් එය ම ආශ්චර්යයකි.

ඉදින්, බොහෝ දේශප්‍රේමී වෙඩි උණ්ඩ ඔබ වෙනුවෙන් සූදානම් වනු ඇත. එබැවින් වෙඩි නොවදින කබායක් නිතර පළදින ලෙස වෙඩි තියන කවියාට ආදරයෙන් සිහිගන්වමි.


Sunday, October 13, 2013

සමනල පියාපතක පිනි බිඳුවක්...


පූර්විකාව

ඈත ආකාශයේ සරන සාඩම්බර රාජාලියකු අහස මෙතරම් සුවිසල් යැයි නිම් ඉම් නැති ගගන පුරා හිතුවක්කාරීව සැරිසරමින් මට ඔච්චම් කරමින් හිඳී. හිටිවනම පාත් වී හිස් මුදුනට සීරුවෙන් තුඩ තබා කොනිස්සයි. මොලය පෑදෙන පිණිස ලු. ඉස්පිල්ලක්, පාපිල්ලක් වෙනස් වුව ද කඳුලු පිරෙන ඇස් දෙකක් හිමි බව නොදැන නොවේ.

රිදවන්නට හෝ පළිගන්නට නොවන බව දනිමි. සෙනෙහසිනි.

කෝෂයෙන් මිදුණ සැණින් අරුණැල්ලෙ තටු පිරිමදින සමනලියක බව අමතක වීද? සුළං කෝඩයකටවත් අසු වී නැති සමනල පියාපත් ඉහිට පිනි වැස්සකින් තෙත් වුණා පමණි. එයම පිටාර ගලන කඳුළු ගක් කොටගෙන කාලයක් තටු හකුළාගෙන විස්සෝපයෙන් පසු වූයෙමි. ඔලමොට්ටලකමක හැටි!!!  ජීවිතේ විස්මිත සුන්දරත්වය ද ඒ ඔලමොට්ටලකම් ම ය.

ඉදින්, සමනල පියාපතක දැවටුණ පිනි බින්දුවක් ගැන ලියා තබමි. ඇහැකණ පියාගෙන සිටින්න යැයි රාජාලියාගෙන් කාරුණිකව ඉල්ලමි. ඈත අහසේ සරන්නට තරම් පියාපත් සවි වූ දිනෙක නිසැකව ම ඔබ සොයා එමි. සූදානම් ව සිටින්න.  අඩු නැතිව දැඩි දඬුවම් දෙන වඩු මඩුවකි මගේ හදවත. මඩු පල්ලියේවත් ඉතින් ඔබට සරණක් නම් නැත.  

මේ හාත්පස දැවටෙමින් කිචි බිචි ගාමින් නිරන්තරයෙන් කතන්දර අයදින ළාමක කිරිල්ලියන් වෙනුවෙනි.

............................


‘‘නංගා.. කොහෙද ඉන්නෙ...

‘‘ඔෆිස් එකේ...

‘‘දැන් ඕෆ් වෙනව නේද?

‘‘ඔව්... ”

‘‘මම හෙඩ් ක්වාටර්ස් ඉන්නෙ.. තව ටිකකින් කටුනායක යනවා.. ඔයාට මා එක්ක යන්න පුළුවන්...”

උත්තරා මොහොතක් කල්පනා කළාය. කල්ප කාලෙකට පසු ආ ඇමතුමකි. දුරකතන තිරයේ සටහන් වූ අංක දහයේ හුරුවට ආත්මයම තිගැස්සුණ බව සැබෑය.  ජීවිතයේ කලක් පණ දෙවැනි කොට පෙම් කළ මිනිසාය ඒ... ජීවිතයේ ලැබූ සුපිරිසිදුම, අව්‍යාජම ආදරයේ උල්පතය ඒ.... සත්‍යය එය විය නොහැකි වුවත් අදටත් උත්තරා එය අදහන්නීය. එය සත්‍යය ම වී නම් වලව් පෙලපතක කුලවන්ත දරුවන්ට මවක් වීමට ඉඩ තිබුණු බව සිහිපත් වන විට මුවගත් මද සිනාවකි. සිත පුරාමත් මද සිනාවකි. ඒ සරදමට ය. හිත් දෑළවරින් හැගුම් දෙගොඩතලා ගලනුයේ  වගවාසගම් විමසා නොවේ. කොතරම් කරුමයක් ද? ආයෙම සිහිනෙකින්වත් සිංහල බෞද්ධ කුල කුමරෙකු කෙරෙහි පෙමක් ඇති නොවේවා යැයි ඇය ඉත සිතින් පතන්නී ය.

කෙසේ නමුත් ඒ අතීතයේ දවසක... අතීතයෙන් ආ ළෙංගතු ඇමතුමකි.

‘‘ හා මං එන්නම්.... කොතනද ඉන්න ඕන...” දෙවරක් හිතන්නට අවැසි නැත.  ඇයට ඔහු විශ්වාස ය. ඒ අවසන් හමුවීමෙන් පසුව වසර ගණනක් ඉකුත් වී ඇතත් අදටත් ඒ විශ්වාසය බිඳී නැත.

‘‘ලේක්හවුස් එක ළග ඉන්න..”

‘‘ හා ”

ලේක්හවුසිය පාමුළ බෝගන්විලා මල් පඳුර අසල කල්පයක් බලා උන්නා සේ දැණුනු මුත් අඩ හෝරාවකට වඩා නොඉක්මිණි. ‘‘ආදරයේ පළමු පාඩම බලා හිඳීම ” සන්තියාගෝ නම් සැරිසරන්නා හිතේ පැලපදියම් කළ ආප්තෝපදේශයකි. ජීවිත කාලය පුරාමත් කළේ ඒ පළමු පාඩමේ නැවතී බලා හිඳීම වන බැවින් සන්තාපයක් හිතේ අහුමුල්ලක හෝ නොවූ බව සැබවි. පළමු පාඩමෙන් ඔබ්බට යන්නට තවමත් නොහැකි වූ බව ද සත්තකි. තනිමග රස්තියාදු ගැසීම නුහුරු කටයුත්තක් නොවුණත්, තනිවම මග කොණක නැවතී හිඳීම නුහුරුම කටයුත්තක් බැවින් උත්තරාගේ හිත තිබුණේ නොසන්සුන්ව ය.

හීන් සීරුවේ පාවී ආ පියාසර නිලදරු මෝටර් රථය දෙපා මුල ම නතර විය. උත්තරා පිටුපස අසුනට බර වූවාය. ඉදිරි අසුනේ උන් ඔහු ද රියෙන් බැස විත් පිටුපස ආසනයටම බර විය. සද්දන්ත කුලයේ හස්තිරාජයකු මෙනි.  නමුත් දිලිසෙන ඇස් දෙක අයිති අවිහිංසක ළමා වියකට ය. තරු දිලිහෙන නිලැති නිල ඇඳුම වෙනුවට සැහැල්ලු කමිසයකි. ඔහු හිස අසුන් ඇන්දේ රඳවා ගත්තේ දෑස් ඈ වෙත ම යොමු ව තිබිය දී ය. එහි දැවටී තිබුණේ මහා හිස් බවකි. හුදකලාවකි. තෙතමනයකි. ඔහු වමතින් නළල පිරිමැද ගත්තේ අසීමිත හිස කැක්කුමක විඩාව නෙතින් පළ කරමිනි.

‘‘ඇයි?” ඇය ඇසුවේ මුවින් නොවේ. දෙනෙතිනි.

කිසිවක් නොපවසාම ඔහු විදේශ ගමන් බලපත්‍රය සමග ගුවන් ප්‍රවේශ පත්‍රය ඈ අත තැබීය. උත්තරා හීන්සීරුවේ එය පෙරළා බැලුවාය.

‘‘අවුරුදු දෙකක පුහුණුවකට යන්නෙ... ඇමරිකාවට... ” ඇගේ වමත දැඩිව ග්‍රහණය කර ගත් සුරත උණුසුම්ය. ළෙංගතු ය.

‘‘ඇයි කළින් නොකිව්වෙ..” එවැනි පැනයක් අසන්නට නිල අයිතියක් නැති බව දැන දැනම රිදුණු හිත පිට පැන්නේය. ඇය හිස ඔසවා ඒ දෑසෙහි ඇලුණාය. ඇසින් ඇස උතුරා ගලා හැලුණේ සෙනෙහසම ය. හදවතේ හිමිකමක් තමන් සතු වුව ද, අන්සතු ශරීර කූඩුවක ඇස්වලින් පිට පනින ස්නේහ ගංගාවක කිමිදී මියැදී යන්නට උත්තරාට හිත හදා ගන්නට බැරි ය. ඈ ඉවත හැරුණේ එබැවිනි.

‘‘හදිසියෙ හැමදේම ලෑස්ති වුණේ... මං ඊයෙ හිගුරක්ගොඩ ඉඳල ආවෙ... ඔයාව මතක් වුණා.. කියන්න විවේකයක් තිබුණෙ නෑ... කොහොමටත් මං ඔයාට නොකියා ඒ තරං දුර ගමනක් යන්නෙ කොහොමද? ” නෙත කකියමින්, කොපුල් නලියමින් දුක පිටාර ගලන්නට සැරසෙනු උත්තරාට දැණිනි. වේගයෙන් ඇදී යන රථ කවුළුවෙන් එපිට සියල්ල බොඳ මීදුමකින් වැසී ඇතුවාක් මෙනි.  

‘‘සමහර විට මේ අපේ අවසන් හමුවීම වෙන්න පුළුවන්... ඒ හින්ද මට ඔයාව දැකලම මේ ගමන යන්න හිතුණා..”

සුසුමක් පාවී අවුදින් හිත මත පතිත වෙයි.

‘‘ මං එද්දි ඔයා බැඳල තියේවි.... බඳින්න.... අම්ම කෙනෙක් වෙන්න.... මිනිහ කවුරු උණත් කමක් නෑ.. ඔයා වගේ කෙනෙක් අම්ම කෙනෙක් වෙන්නම ඕන. එහෙම නැත්නම් ඔයා මේ ලෝකෙට කරන්නෙ අසාධාරණයක්..”

ඔහු නිතර මුමුණන සුභාශිතය යළිදු සිහිපත් කරවයි. අකාරුණික ලෙස  සිහින මියැදෙන්නට ඉඩ හැරි ඇගේ සිහිනවල සිටි ඇගේ දරුවන්ගේ තාත්තා ම  ඇයට මාතෘත්වයේ උත්තරීතර බව සිහි ගන්වයි.  උත්තරා බුම්මා ගත්තා ය. වෙන දිනක නම් වචනවලින් අඩව්වක් අල්ලන්නට එයම ඇති ය. නමුත් ඒ මොහොතේ එවැන්නකට පවා හිත හදා ගත නොහැකි තරමට ඈ අනපේක්ෂිත වියෝ වේදනාවෙන් විඩාබරව උන්නාය.  

ඉදින් ඒ අවසන් හමුවීමටත් සිව්වසක් ඉකුත් වී ඇත. ඇගේ මාතෘ සිහිනය ද සදාකාලයටම උකුත් වී ඇත.

.....................................

පසුවදන

සමනල් පියාපත්වල ලියැවුණු කතා දහසක් ඇතත් මෙතෙක් නොලියූ කතාවක් ලියන්නට සිතුවෙමි. එකී කතාවේ වග උත්තරකාරිය උත්තරා ය.
එය මුල, මැද, අග මැනවින් ගළපාලිය හැකි කතාවකි. මක්නිසාද යත් මේ වන විටත් ඒ අන්දරය නිමා නොවූ ජීවිත වන්දනාවේ නිමි කතාවක් වන බැවිනි. මතු සම්බන්ධ නොවන බව ඉර හඳ සේ විශ්වාස බැවිනි. 

ජීවිතයේ අතිසුන්දරම ප්‍රේම පාරමිතාව දැන් දැන් දෙවැනි තැනට වැටෙමින් පවතින්නේ වුව, කාලයේ වැලි තලාවේ මිහිදන්ව යා නොදී මතක මන්දිරයේ රැක ගත යුතු සුන්දරම ස්නේහ අන්දරය එය වන බව උත්තරා නිතර නිතර පවසන්නී ය..

දෑතේ දසැඟිලි ඉක්ම වූ වසර ගණනක් පුරා දිවෙන, අතක ඇඟිලිවලින් මිනිය හැකි සොඳුරු හමුවීම් කිහිපයකට සීමා වුණු ඒ ප්‍රේම පුරාණය සිහිවන හැම විටකම දිස්නෙ දෙන පිනිබින්දු  මාලයක සිහිලසින් ඈ වෙළී යන්නී ය. ඒ සිහිලසම විටෙක ඇගේ නෙතු අග කඳුලක්ව මෝදු වන්නේ ය.


ඉදින් මේ ... ඒ කතාව ය. ඔබ දකින්නට රිසි නම් මට ලියා තබන්නට හැකි ය. 

Thursday, October 3, 2013

'මේ සොඳුරු දඩබිමෙහි'....සැරිසරන මගේ අධ්‍යාත්මය







ගිටාර් මහත්තයා වෙත සෙනෙහසිනි...



ඒ ඔබම ය. නිසැක ය. ඒ ඔබම යැයි මම සිතමි. නිමේෂයකට නෙත ගැටුණ ද, සදාකාලයටම හිතේ ඇඳි රුව හඳුනා නොගන්නට තරම් මම අවාසනාවන්තියක නොවෙමි. ''තරින්ද මායාබණ්ඩාර කදුරුවින්න''... තවමත් මට නම් ඔබ ගිටාර් මහත්තයාම ය.

මුල්ම වතාවට ඔබට ලියන්න යැයි බල කරන හිත වාව ගන්නට අපොහොසත් වෙමි. මේ මුල්ම වතාව මෙන්ම අවසාන වතාව ද වන බවට මම මගේ සිතට ම පිළිණ දෙමි. ඉදින් වෑ කණ්ඩියේ කුඹුක් සෙවණේ හිඳ අකුරු කරමි. 

ඈතින් අපට අහිමිව ගිය අපේ වැව් තාවුල්ල පෙනේ. ගස් මණ්ඩිය අතරින් එබිකම් කරන ඔබේ සිහින පාරාදීසය දෙස මම නෙත් නොසලා බලා හිදිමි. එය අපට අකැප සිහින පාරාදීසයකි. නමුත් ඒ ඔබේ සැබෑ වූ සිහිනය වන බැවින් අහිතක් හිතන්නට හිත නොනැමේ. වන බූටෑවෙන් වැසී නටබුන් වී ගිය ඔබේ නවාතැන  ඇස විස තවරයි. හදවත රිදුම්‍ දෙයි. මා ජීවිතයේ සියල්ල අත්පත් කර ගත්තේත්, එලෙසින්ම අහිමි කර ගත්තේත් ඒ සුන්දර කුටිය තුළ දී බව අමතක කරලන්නේ කෙලෙසින්ද? ( අවුල් වියවුල් පිරි ඒ අතීතය ඔබට අමතක වී ඇතැයි මෙතෙක් කෝප සිතුවිල්ලෙන් පසු වීමි. සමාවෙන්න.  වෑ කණ්ඩිය මත දී මොහොතකට උපැස් යුවලින් මිදුණු දෑසෙහි වූ තෙතමනය මගේ හදවතට සමාන්තරව ගලා යන අතීත මතක දහරාව ඔබේ හද තුළ ද සරැලි නංවන බවට නිහඬ සාක්ෂියකි. )  ඒ ඔබේ කබානාව මෙන්ම අද මගේ හදවත ද නටබුන් වී ගිය පාලු අම්බලමකි. 

ඔබ ආවේ සිහිල් පවනැල්ලක් ලෙසිනි.  ඉමිහිරි මල් සුගන්ධයක් මෙනි. එය විචිත්‍ර සිහිනයකි.  ගිටාරයත් ,ඔබත්, ඔබේ ගී හඬත් මා කැඳවා ගිය දුර... ඒ සිහිල් මන්ද මාරුතය තුළ මෙතරම් සැඩ කුණාටුවක් සැඟවී ඇතැයි මම සිහිනෙනුදු නොසිතුවෙමි. 

ආසියා පැසිපික් කලාපයේ පරිසරය සුරැකීමේ විශිෂ්ඨතම හෝටල් ව්‍යාපෘතියට හිමි සම්මානය ඔබේ සිහින පාරාදීසයට..... කුමන විහිළුවක්ද? ගමේ මිනිසුන් පරිසරයේ කොටසක් නොවේ යැයි සිතන්නේ නම් එම සම්මානය සාධාරණ විය හැකිය. නමුත් අපට අහිමි වූ දෑ කොතරම් ද? අපට අහිමි වූ දෑ මුදලට විකිණෙන අයුරු දැක දැක ජීවත් වන්නට සිදු වීම ම කොතරම් අපරාධයක් ද? පුරන් වී යන කුඹුරුවල විලාපය නෑසූකන්ව, ලියදි උඩින් පැන පැන සොච්චම් පඩියකට හෝටලයට කඹුරන ගමේ කොලු කෙල්ලන් සොබාදහමට අයිති නැති ද? ඔවුන්ගේ ශ්‍රමයට වටිනාකමක් නැතිද?

සම්මාන උත්සවය දා හෝටල් බිමේ දී ඔබත්, ඔබේ රුවැති බිරිඳත් හමු වූ බව මාලනී මට පැවසුවාය. වේදනාවට එක් වූ ඉරිසියාවකින් හිත දැවී ගිය බව සැබෑවකි. කම් නැත. හිත හදා ගනිමි. ඔබේ සුවඳත්, රුවත් කැටි වූ අනර්ඝතම සම්පත මා ළඟ ය. ජීවිතයේ අමිල සම්පත අහිමිව ඇත්තේ ඔබට මිස මට නොවේ යැයි හිතුවක්කාරී මායාමය රැවටිල්ලක සිත සිර කර තබමි. ( මාලනී නොව අද ඈ මෙලනි නිල්ගල්ආර ය. ඔබේ හෝටල් ව්‍යාපෘතිය ගමේ අහිංසකියකට අත් කර දුන් ඉරණම. )

''අපිට වෙච්ච විනාසෙ තව කාටවත් වෙන එක වලක්වන්ඩ මට පුලුවන් තරමින් වැඩ කරනවා. මට ඒ වෙච්ච දේවල්වලට මුහුණ දීලා නැගිටින්ඩ හයියක් තිබුණ හින්ද මං අද මෙහෙම ඉන්නවා. ඒත් කරදරේ වැටිල නැගිටින්ඩවත් හයියක් නැතුව විනාස වෙලා යන අය ‍නේද වැඩි..?'' ඈ නිතර පවසන්නීය. 

අපහාසය ද, උපහාසය ද, වේදනාව ද, කෝපය ද කැටි වූ ඇගේ වදන් නිරතුරු මා අසල රැව් දෙන්නේය. මසිත දවන්නේ ය. පෙළන්නේ ය. රිදවන්නේ ය. 

'' ඔන්න ඕකටයි වත්සලා ධනවාදය කියන්නෙ. දුප්පතුන්ගේ අයිතිය සූරාකාල බලවත්තු රජකරන ක්‍රමේ... ඕක තමයි ‍ගෝලීය ධනවාදය... උඹල අපි ඔක්කොම මේ කුණාටුවට අහු වෙච්ච ක්ෂුද්‍ර පාණියො. ගැළවීමක් පේන තෙක් මානෙක නෑ.... 

ඉස්සර බයිබලෙයි, තුවක්කුවයි ඉස්සර කර ගෙන ඇවිත් අපිව කොල්ල කෑවා.. බලහත්කාරෙන්. දැන් අපිව කොල්ලකන්නෙ අපිටත් නොදැනීම... බොහොම ආදරෙන් ඔලුවත් අතගාල... කෙස් ටික උගුල්ලන්නෙ මොලෙත් ඇදිල එන්නම...  

අර උඹේ ගිටාර් මහත්තයා, මායා කියන්නෙත් රූකඩයක්.. එයත් විකිණුන බඩුවක් විතරයි මේ ක්‍රමය ඇතුළෙ... පක්ෂ විපක්ෂ මැති ඇමතිගොල්ලො, අර සංවිධාන, මේ සංවිධාන... මේ ඔක්කොම... පන්සලේ හාමුදුරුවො පවා.... රූකඩ විතරයි... මේ රූකඩ නටවන නූල් සූත්තරේ තියෙන්නෙ බලවත්තු අතේ... 

අද දේශපාලනය කියන්නෙත් මිනිස්සුන්ගෙ යහපත වෙනුවෙන් වැඩ කරන එකට නෙවෙයිවත්සලා. තමන්ට වාසි වෙන විදියට ආර්ථිකය පාලනය කර ගන්න මිනිස්සුන්ගෙ මෝඩ කතිරෙන් ලැබෙන බලය පාවිච්චි කරන එකට... 

සල්ලි තණ්හාවටයි... බල තණ්හාවටයි ලෝක බලවතුන්ගෙ රූකඩ වෙලා අපිව විනාස කරන්නෙ අපේම මිනිස්සු වත්සලා.... '' 

මාලනී කියූ බො‍හෝ දේ තේරුණු අතීත මිත්‍රත්වයට ඉව කරන මට දැන් මෙලනි නිල්ගල්ආර කියන බොහෝ දේ නොතේරෙන බව ඇත්තකි. නමුත් එහි යම් සත්‍යයක් ඇතැයි මට සිතේ. ඒ සත්‍යය වෙනුවෙන් අරගල කරන්නට තරම් හයියක් මට නැත. ඔබ වෙනුවෙන් උපන් අසීමිත ප්‍රේමය විසින් මා තටු සිඳුනු දුර්වල ගැහැණියක බවට පත් කොට ඇත. එය මගේ ම වරද ය. මගේ වරද පමණක්ම ය. 

මේ ලියන්නේ කිසිවක් තෝරා පහදා දෙන්නට නොවේ. එවැන්නක් කිරීමට තරම් මා කවුද? මේ ලිවීමෙන් මගේ සිත නිදහස් කර ගත හැකි වනු ඇතැයි සිතමි. විශ්වාස කරමි. සියල්ල විකිණෙන ලොවක නොවිකිණි සිටින්නට කාටවත් හැකියාවක් නැති බව පිළිගනිමි. නමුත් මින් ඉදිරියටවත් අසරණ මිනිසුන්ගේ ජීවිත උගසට තබා කරන සෙල්ලමේ හවුල්කාරයෙක් නොවන්නැයි  ආදරයේ නාමයෙන් ඉල්ලමි. 

තෙරුවන් සරණයි.

මං වත්සලා




වත්සලාත්, ගිටාර් මහත්තයා ත් මට හමුවන්නේ සනත් බාලසූරිය විසින් රචිත ‍''මේ සොඳුරු දඩබිමෙහි'' නවකතාවෙනි. දඩබිම කිවූ පමණින් බියකරු, කම්පනීය හැඟුමක් ඇති වනු වැළැක්විය නොහැකිය. අහිංසකයින් බිලි ගන්නා රුදුරු වනමෘගයින්, දඩයක්කාරයින් සරනා ගන අඳුරු වනාන්තරයක් සිතෙහි මැවේ. එවැනි දඩබිමක් සොඳුරු යැයි පවසනුයේ කෙලෙසින්ද?  ගන වනයක වුව දිව්‍ය විමනක රුසිරු මවනා තුරුලිය, මල්ගොමු, දිය දහරා, සාමුව, සමනල් රැගුම් එකී සුන්දරත්වය අරුත් ගන්වන්නේද? නමුත් එකී සුන්දරත්වය පවා අන්ධකාරයේ ග්‍රහණයට හසුවීමේ අවදානමෙන් මිදී නැතුවා  නොවේද?  ''මේ සොඳුරු දඩබිමෙහි'' නවකතාව ගෝලීය ධනවාදය නම් වන නිර්දය දඩයක්කාරයාගේ යටිකූට්ටු ක්‍රියාකලාපය පාඨකයා වෙහෙසට පත් නොකරන සුන්දරතාවයෙන් විවරණය කරන්නකි. 

තරින්ද මායාබණ්ඩාර කදුරුවින්න සමනල් හිතක් හිමි සොඳුරු තරුණයෙකි. ඔහු ජාත්‍යන්තර සංචාරක සමාගමක සේවය කරන්නෙකි. මහවැවේ තාවුල්ල සහ ඉන් එපිට ගන වනය මැදි කරමින් ඉදි කරන හෝටල් ව්‍යාපෘතියක මුල් පෙලේ නිර්මාණකරු ලෙස ඔහු නිල්ගල්ආර ගමට පැමිණෙන්නේ ගිටාරය ද අතැතිව ය. හෝටල් ව්‍යාපෘතියට දැඩි ලෙස විරුද්ධ වුව ද, ගැමියන් ''ගිටාර් මහත්තයා'' සමග ළෙංගතු වේ. සිනාවෙන්, කතාවෙන්, ගීතයෙන්, උදව් උපකාරවලින් ඔහු ගැමියන්ගේ සිත් දිනා ගනී. විටෙක සිත විපිළිසර වුව ද මායා අවංකවම විශ්වාස කරන්නේ හෝටල් ව්‍යාපෘතිය නිසා ගම දියුණු වී ගැමියන්ට සෙත සැලසෙනු ඇති බව ය. හෝටල් සංකීර්ණය ඉදි කිරීමට එරෙහිව ඇති වන විරෝධතා රැල්ල, ඒ සමග ගැමි ගොවි දිවියේ සිදු වන වෙනස්කම්, තරුණ ජීවිත මුහුණ දෙන සංකීර්ණ ගැටලු, ධනවාදී පැවැත්ම තහවුරු කරන පාලන තන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය.. අන්තවාදී නොවන මැදිහත් බවකින්, සාහිත්‍යමය ගුණය නොනැසෙන සේ ඉදිරිපත් කිරීමට කතුවරයා සමත් වී ඇත. 

'' මේ කැලෑ වැවුණු කඳු වැටියත් එක්ක තියෙන මහවැව, ඒකට ඇමිණිලා ඈතට යන මේ ගමේ වටපිටාව, අර ඈත අහසෙ මායිමට යනකං මිදුණු මීදුම් වලාකුළු වගේ පේන කඳු පන්ති හරිම ලස්සනයි. ඒත් මට කියන්ඩ මේ ලස්සන බලන්ඩ ඉවසිල්ලක් තියෙන, ඒකට පුරුදු පුහුණු වුණු කී දෙනෙක් මේ පළාතෙ ඉන්නවද? ලස්සන විඳිනව කියන්නෙ නිකම්ම නිකං දෙයක් නෙමේ මිස්. ඒක සංස්කෘතික දෙයක්. ඒක වෙනස් සංස්කෘතියක්. ඇත්තම කියනවනම් අපි මේ වැවේ, කැලෑවෙ, ගමේ තියෙන ලස්සන විකුණන්ඩ තමයි යන්නෙ. ඒ ලස්සන බලන්ඩ වෙලාවක් තියෙන, ඒක විඳින්ඩ දන්න, ඒකට සල්ලි තියෙන අයට. අපි විකුණන්ඩ හදන්නෙ ලස්සන නම්, අපි ඒ ලස්සන දේවල් විනාස කරයිද? ...''
( පිටු අංක 92-93)

මායා අවස්ථා කිහිපයකම හෝටල් ව්‍යාපෘතිය සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් කරන තර්කය මෙය ය. සුන්දරත්වය විඳින්නට නිදහස, අවබෝධය ඇති සමාජයක් නිර්මාණය කරනු වෙනුවට, නැතිබැරි මිනිසුන්ගෙන් උදුරා ගන්නා ජීවන අයිතීන්ඇති හැකි මිනිසුන්ට අළෙවි කිරීම කොතරම් සාධාරණද? 

ජන සමාජයක් දියුණු වන්නේභෞතික සංවර්ධනයෙන් පමණක් ද?  නිදහසත් ඉක්බිති සංතෘෂ්ටියත් දිනා ගැනෙනා ප්‍රඥාවන්ත සමාජයක් බිහි කිරීමට භෞතික සංවර්ධනයට පමණක් හැකි ද? සංවර්ධනයේ ප්‍රතිඵල භුක්ති විදීමේ වරම හිමි වන්නේ සීමිත පිරිසකට පමණක් නම් බහුතරය ජීවත්වන්නේ අසීමිත පීඩාවක සිරගතව නම් එය කොතරම් අසාධාරණයක් ද? සහෘද මනස මෙවැනි ප්‍රශ්න කිරීමකට යොමු කරන්නේ ‍වාර්තාමය ස්වරූපයකින් නම් නොවේ. මැනවින් ගැළපී ගලා යන සිද්ධිදාමයක් තුළින් නිරායාසයෙන් මතුවන කම්පනයක් ලෙසිනි.   

ධනවාදය සමග යාවජීව මිත්‍රත්වයෙන් අත්වැල් බැඳ ගන්නා බලලෝභී, ධනලෝභි දේශපාලන හස්තය බහුජාතික සමාගම්වල අරමුණු සාධනය වෙනුවෙන් තම ජනතාවගේ හිමිකම් පාවා දීම වර්තමානයේදීත් අඛණ්ඩව සිදුවන්නකි. පොදු සමාජ ක්‍රියාකාරකම්වලදී පවා පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් පුද්ගල ප්‍රතිපත්ති වෙනස්වන ආකාරය ආගමික නායකයින්ගේ, පක්ෂ විපක්ෂ දේශපාලකයින් ගේ, මාධ්‍යවේදීන්ගේ ක්‍රියාකාරකම් තුළින් පැහැදිලි වේ. බත්පැකැට්ටුවට, මත්පැන් වීදුරුවට මුවා වී තම හිමිකම් පාවාදෙන පීඩිත පන්තියේම මිනිසුන් අදත් අප අවට කොතරම් ද? 

''මේ සොඳුරු දඩබිම'' ගැමි සුවඳින් පිරිපුන්ය. ඒ ගැමි සුවඳ මතුවන්නේ ගැමි ගොවිදිවිය හා සොබාදහම සමග ඇති ඒකාත්මික බැඳීමෙනි. එය කතුවරයාගේ සුලලිත භාෂා කෞෂල්‍යයේ මහිමයෙන් ඔපවැටෙන්නකි. මා මෙහිදී ගැමි සුවඳ ලෙසින් හඳුන්වන්නේ ගැමියන්ගේ ගුණයහපත්කම්, සටකපටකම්, මෝඩකම් සියල්ලෙන් සමන්විත අටලෝදහම සමග මුසු වූ අල්පේච්ඡකර දිවිපෙවෙත ය. එය මෙකී නවකතාව තුළ මැනවින් නිරූපිත ය. ගිටාර් මහත්තයාව ආදරයෙන් පිළිගන්නා ගැමියන් සීමන් මුදලාලි පාතරැටියකු ලෙස, පිටගංකාරයකු ලෙස පිළිකෙව් කරයි. නමුත් උඩරට පාතරට භේදයකින් තොරව, කුලමල භේදයකින් තොරව අවසන දුප්පතුන් තව තවත් දුප්පත්කමේ පතුළට ඇද වැටෙද්දී ආගමික ආයතන, දේශපාලන ආයතන, ගමේ ප්‍රභු පන්තිය පවා සිටින්නේ හෝටල් පාලනාධිකාරිය පැත්තේ ය. එනම් ධනවාදයේ ඔඩොක්කුවේ ය. ළතැවිල්ලත්, පරාජයත්, පීඩනයත් හිමි දුප්පතුන්ට ය. 

''මේ සොඳුරු දඩබිම'' ප්‍රේමයෙන් වියුක්ත වන්නේද නොවේ. හෝටල් ව්‍යාපෘතිය සමග ගමට පැමිණෙන මායා, විජේන්ද්‍ර ඉතා පහසුවෙන් ගැමි තරුණියන්ගේ සිහින කුමාරවරු ලෙස අබිසෙස් ලබති. එකී සිහින නිසාම උඩුයටිකුරු වන තාරුණ්‍යය වත්සලා, මාලනී, සුගතේ වැනි චරිත තුළින් නිරූපණය වේ. 

''මේ සොඳුරු දඩබිම'' තව තවත් සොඳුරු වන්නේ රමණීය බස්වහර නිසාවෙනි. බස සරල ය. වැඩි වශයෙන් සංවාදමය ස්වරූපයක් ගනී. නවකතාකරුවා තුළ සැඟවී සිටින අපූරු ගේය පද රචකයකුද ඉස්මතු ‍වේ.
චරිත සහ සිදුවීම් නිරූපණයේදී කතුවරයා දක්වන මධ්‍යස්ථභාවයද අගය කටයුතු ය. අන්තවාදී නොවීම, ප්‍රචාරකවාදී නොවීම කෘතිය තුළින් මතු කරන සමාජ යථාර්ථය ග්‍රහණය කර ගන්නට පහසුවකි. 

දේශපාලන පොරපිටියේ නොහික්මුණු දුහුවිල්ලෙන් වැසී පැවති සනත් බාලසූරිය සොයුරාගේ සාහිත්‍යමය, සෞන්දර්යාත්මක ප්‍රතිභාව මෙලෙසින් ජනසතු කිරීම සතුටට කරුණකි. එය නැවත යටපත් වන්නට නොදී අඛණ්ඩව පවත්වා ගැනීම සාහිත්‍යයට මතු නොව සමාජයේ යහපැවැත්මට ද සිදු කරන සෙත්ශාන්තියකි.

''මේ සොඳුරු දඩබිමෙහි''  සැරිසරන විට, බලහත්කාරයෙන් අත්කර දෙනු ලැබූ පිටුවහල් ජීවිතයේ හුදකලාව සාහිත්‍යමය විප්ලවයකට ආශිර්වාදයක් වී ඇතැයි සිතෙන සිතුම වළක්වාගත නොහැකි ය.

පසුවදනෙන් උපුටා දක්වමි.

''... තොප වනාහී සාහිත්‍යයික කැරැල්ලකට අවතීර්ණ ව සිටිනා ‍දේශද්‍රෝහියෙකි. එහෙයින් තොපේ ආයුධ බිම නො තබන්නැයි ද, කිසිවිටෙක යටත් නොවන්නැයි ද මම තොපට අණ කරමි. හිතුවක්කාරී ලෙස යළි ලිවිසැරිය අතැර දැමුවහොත්, දිවිසැරිය ද අවසන් කරනුව, මම තොපට වෙඩි තියමි. ''

මංජුල වෙඩිවර්ධන