පිටු

Sunday, March 9, 2014

නැණ පහන් දල්වන තිලැස ගී රස....

ජීවිතය වැඩි වැඩියෙන් ‍අයිති කර ගත හැක්කේ ජීවිතය වැඩි වැඩියෙන් බෙදා ගැනීම මඟිනි.



මහින්ද නාමල් සොයුරාගේ ගේය පද සංකල්පනා සත්සර මියැසියක රඳවන ''තිලැස ගේය ප්‍රසංගය'' 2014 මාර්තු 16 සවස 2.30 ට කළුතර සිරිකුරුස විදුහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන අතර සහෘද ඔබ සැමට ඒ සඳහා ගෞරවයෙන් ඇරයුම් කරමු.

කලමුල්ල සුදුවැල්ලේ ‍කොළකැඳ පුස්තකාලය හෙවත් පියවර පුස්තකාලය සඳහා අරමුදලක් ගොඩනැංවීම වෙනුවෙන් පියවර ළමා හා නව යොවුන් ව්‍යාපාරය- කටුකුරුන්ද ශාඛාව විසින් මෙම ප්‍රසංගය සංවිධානය කරනු ලබයි. එකී අර්ථපූර්ණ ගී දැහැන නොමඳ වින්දනාත්මක අත්දැකීමක් වනු නිසැක ය.

කොලකැඳ පුස්තකාලය



දුප්පත් ළමා ළපටින් එක්සත්ව එක්සිත්ව හාල් මිට, පළා මිට, පොල් ගෙඩිය රැස් කර සිය ශ්‍රමයෙන් වැඩිහිටි දායකත්වයෙන් සැදූ කොළකැඳ ගෙයින් ගෙට ගොස් විකුණමින් වසර ගණනක් පුරා විටින් විට, ටිකෙන් ටික රැස් කළ මුදලින් ඉදි කළ කියවීම් ශාලාව ‍ කොළකැඳ පුස්තකාලය ලෙසින් ප්‍රදේශවාසීන් අතර ප්‍රචලිත වන්නේ එහි ප්‍රමුඛ මූල්‍ය ප්‍රභවය කොළකැඳ අළෙවිය වූ බැවිනි. 




රටක්‍ ලෙස ජාත්‍යන්තරයට අතපාමින්ද, මිනිසුන් ලෙස රජයට හෝ ධනපතීන්ට හෝ අතපාමින්ද හීන දීන වී ඇති සමාජයක මේ දරුවන්ගේ ධෛර්යය අගය කරන්නට වදන් සවිමත් වන්නේ කෙලෙසින් ද? එය සැබවින්ම පරමාදර්ශී සමාජ මෙහෙවරකි.



කලමුල්ල මුහුදු වෙරළ අසබඩ පිහිටි මෙම පුස්තකාලය සුනාමි ව්‍යසනයෙන් පසු ඒ ප්‍රදේශයේ ඉතිරි වූ එකම ගොඩනැගිල්ල වීම ‍ඓශ්චර්යයකි. පසුව ජනතා ආධාර මත කලමුල්ල රිදී මාවතේ ඉදි වී දැන් ළමා, තරුණ, වැඩිහිටි 1000 කගේ පමණ කියවීමේ අවශ්‍යතා සපුරාලයි.



HELP TO READ

වසර අටකට පසුව කොළකැඳ පුස්තකාලයේ අළුත්වැඩියාව, සංවර්ධනය සහ තිරසර පැවැත්ම වෙනුවෙන් අරමුදලක් ගොඩනගා ගැනීමේ සමාජ සත්කාර්යයක අවශ්‍යතාව පැන නැගී ඇත. එකී ව්‍යාපෘතිය Help to Read නම් වේ.

මෙම අරමුදල සඳහා ඔබගේ ‍සහෝදරාත්මක සහය ලබා දෙන්නේ නම් එකී දායකත්වයන් ලංකා බැංකුවේ පියවර ළමා හා නව යොවුන් ව්‍යාපාරය (කටුකුරුන්ද ශාඛාව)  75572895 දරණ ගිණුම් අංකයට යොමු කළ හැකි ය.



මහින්ද නාමල්

වචනය ද  ක්‍රියාව ද දෙකක් නොව එකක්ම වන, තමන් කතා කරන දේ වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින, මගේ ජීවිතයේ හමු වී ඇති අතිශය ප්‍රසන්න, ආදරවන්ත, මානව හිතවාදී මිනිසුන් අතළොස්ස අතර මහින්ද නාමල් සොයුරා සිටින්නේ ප්‍රමුඛස්ථානයේ ය. මා ඔහු දන්නා අතීතය වසර 15 ක් පමණ වුව ද, ඔහුගේ සමාජ ක්‍රියාධර භුමිකාව වසර 25 ඉක්මවන්නකි.

ඔහු කිතුසර පුවත්පතේ ප්‍රධාන සංස්කාරක ය. පියවර නව යොවුන් ව්‍යාපාරයේ අනුශාසකවරයෙකි. ධීවර ප්‍රශ්න, කම්කරු ප්‍රශ්න වැනි විවිධ සමාජ අර්බුදයන්හිදී ක්‍රියාකාරීව පෙරමුණේ සිටින්නෙකි. ළමුන්, නව යොවුන් තරුණ පිරිස්, වැඩිහිටියන්, ගුරුවරුන් ආදි වූ සමාජයේ විවිධ පුද්ගල කණ්ඩායම් වෙනුවෙන් ගමින් ගමට, තැනින් තැනට යමින් දේශන, සාකච්ඡා, ගීත වැඩසටහන් පවත්වන, සැබවින්ම ජීවිතයේ අර්ථය කුමක්දැයි, එහි දිශානතිය කුමක් විය යුතු දැයි වටහා ගත්, එය අන්අයට සරලව පහදා දීමෙහි සමත් අපූර්ව මිනිසෙකි.

මහින්ද නාමල් සොයුරා ලේඛකයෙකි. කවියෙකි. ගේය පද රචකයෙකි. ‘‘අපේ කාලයේ යාග ගී” නම් වන ඔහුගේ මුල්ම කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත්වන්නේ 1989 වසරේ දීය. ‘‘විනිවිද” ගේය පද සංග්‍රහය ගොඩගේ ප්‍රකාශනයකි. ‘‘සෙනෙහසේ නවාතැන”, ‘‘සොඳුරු නව යෞවනය” නව යොවුන් විය නිවැරදි මං ගැන්වීමේ අරමුණින් සම්පාදිත කෘති ය. ‘‘නිදිකුම්බා මල්” යොවුන් නව කතාවකි.



නමුත් මේ සියලු හැකියාවන් යහපත් සමාජයක් වෙනුවෙන් සිදු කරන මෙහෙවරට දායක කර ගනු මිස එයින් බැබළෙන්න‍ට, පවතින්නට කිසිදු උත්සාහයක් නොදරන්නෙකි. සැබවින්ම ඔහු නොවි‍කිණෙන මිනිසෙකි. එලෙසින්ම මනුෂ්‍යත්වය නොවිකුණන මිනිසෙකි.  

ඔහු කළුතර ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේ ආචාර්යවරයෙකි. එහි ශිෂ්‍ය නායක මණ්ඩලය සමග කළ රළ තරණය චිත්‍රපටය, දූතිකාවෝ වේදිකා නාට්‍යය, විකල්ප මාධ්‍ය භාවිතාවක අවැසිතාව අවධාරණය කරමින් කළ සවිකල්ප වැඩසටහන ගුරු භුමිකාවට නව අරුතක් සපයන ලද බව නොකිවමනාය. සිය ගුරු දිවියේ 25 වන වසර සමරමින් අර්ථපූර්ණ යමක් කරනු රිසියෙන් Help to Read ව්‍යාපෘතියට සමගාමීව තම ගේය පද සංකල්පනා සරණිය රැගෙන ඔහු අප හමුවට පැමිණෙන්නේ ය.

තිලැස ගී රස...

''දැන් හැදෙන ළමයින්ගෙ කිසි චාරයක් නෑ.."

''මේ ළමයි හරි මෝඩයි.. ප්‍රශ්නවලට මුහුණ දෙන්න ධෛර්යයක් නෑ..''

''මේ නම් අන්තිම නරක කාලයක්..සමාජය ගන්න දෙයක් නෑ.. අන්තෙටම පිරිහිලා..."

චෝදනා නගනු ද, යෝජනා කරනු ද විනා , යහපත් සමාජ වෙනසක් වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට කිසිවෙක් නැත. ක්‍රියාත්මක වන්නට තැනක් නැත. ධෛර්යයක් හෝ උවමනාවක් නැත. බහුතර සමාජය අලස නිද්‍රාවක ය. එවැනි සමාජ වටපිටාවක නිහඬ නමුත් ඵලබර ගමනක යෙදෙන කිතුසර කණ්ඩායම, සහ පියවර නව යොවුන් ව්‍යාපාරය සැබවින්ම ‍ඓශ්චර්යයකි. එකී සමාජ මෙහෙවරේ කලාව සහ සාහිත්‍යයට ලැබෙනුයේ ප්‍රමුඛ ස්ථානයකි. එයිනුදු ගීතය සුවිශේෂ ය. මහින්ද නාමල් සොයුරාගේ අදහස්, සංවාද, ගේය පද සංකල්පනා හරහා මම ද ජීවිතය අත්දැක ඇත්තෙමි. අත්විඳ ඇත්තෙමි.  එය මට ජීවිතය දකින්නට අළුත් ඇසක් වූ බව නිසැක ය. හදවතට අළුත්හැඩයක් ලබා දෙමින්, වෙනස් ගමනක් සඳහා ජීවිතයට  අත්තටු පැළැන්දූ බව සිහිපත් කරනුයේ ස්තුතිපූර්වකව ය.



ඉදින්, ඔහු‍‍ ගේ ගේය පද සංකල්පනාවන්ගෙන් හැඩ වන තිලැස ගේය ප්‍රසංගය අර්ථපූර්ණ අත්දැකීමක් වනු නොඅනුමානය. යහපත් සමාජයක් පිළිබදව වන අපමණක් අපේක්ෂා පෙරදැරි කරගනිමින් නොනිම් අරගලයක නිමග්නව සිටින නාමල් සොයුරාගේ ගී පද රචනාවන්හි සෞන්දර්යාත්මක ගැඹුර නිර්ණය කිරීමට ‍‍වෙහෙසීම නිරර්ථක වෑයමකි. වඩා වැදගත් වනුයේ ඔහු එමගින් සමාජගත කරන්නට උත්සාහ කරන, සංවාදගත කරන්නට උත්සාහ කරන ජීවිතාර්ථය, සමාජාර්ථය ග්‍රහණය කරගැනීම ය.

මෙකී ගී ප්‍රසංගයට තෝරා ගෙන ඇති ගීත බොහොමයක් ළමා විය, නව යෞවනය, තාරුණ්‍යය ඉලක්ක කොට ගෙන ඇත. එසේ වන නමුදු එය වඩාත් වැඩිහිටි මනස, හදවත පුබුදු කරවන ගීතමය පෙළහරක් වනු ඇත. ගීතය ගැයෙන්නේ ඒ පිළිබඳව වන පූර්විකාවක් ද සමගය.

නූතන තාක්ෂණය සමග වල්මත් වී ඇති යෞවනයට, ඒ සමග වන ජීවිත ගණුදෙනුව දැනුවත්ව සිදු කළ යුතු කාර්යයක් බවත්, එය මනුෂ්‍යත්වය දිනවන්නක් විය යුතු බවත් සිහිපත් කරන ගීතයකි මේ.

මිනිසත්කමේ හඩ ඔබට ඇසේ නම්...
සෙල්ෆෝන් එකෙන් ඉයර් ෆෝන් එකෙන්
අයි පොඩ් එකෙන්
ඵල ලැබුවට කම් නෑ
මිනිස්කමේ හඬ ඔබට ඇසේ නම්
ලැප්ටොප් එකෙන් නෝට් බුක් එකෙන් ටැබ්ලට් එකෙන්
ඵල ලැබුවට කම් නෑ
මිනිස්කමේ ගුණ ඔබට දැනේ නම්

සයිබර් ආකාසෙන් ඵල ලැබුවට කම් නෑ
මේ මහා පොළවේ පය ගහලා ඉන්නවානම්
ඩිජිටල්කරණය වු වාණිජ ලෝකේ
පිරිපුන් මිනිස්කම් සොයනා
යෞවනයන් යෞවනියන් වී අපි
සත්තරණයකට පාලමක් තනමු

ඔබේ හැකියාවන් මිල කෙරුවත් ඔබ
ඔබේ උගත්කම මිල කෙරුවත් ඔබ
මිල කරන්නෙපා ඔබේ මිනිස්කම
පෙරුම් පුරා ලද උතුම් මිනිස්කම
දුලභ වු අමිල වු ඔබේ මිනිස්කම

ඔබේ මිනිස්කම විකුණන්නේ නැතිනම්
ටෙලර් කාඞ් එකෙන් ඊ පර්ස් එකෙන් ඩිජි කෑෂ් වලින්
ගණුදෙනු කෙරුවට කම් නෑ
ඔබේ මිනිස්කම විකුණන්නේ නැතිනම්
ඊ කොමර්ස් වලින් ඊ බෑන්ක් වලින් ඊමේල් වලින්
ගණුදෙනු කෙරුවට කම් නෑ
ඔබේ ආත්මෙට ලන්සු තියන් නැතිනම් 

අරාබිකරයේ මිලාන වූ මල රිසානා නමින් ලියැවී ඇති මේ ගීතය ඉස්ලාම් නීතියට ඇඟිල්ල දිගු කරන, නමුත් ඇය ඒ ඉරණමට තල්ලු කළ  අප දේශයේ පවතින අන්ත දරිද්‍ර, අන්තඅගතිගාමී සමාජක්‍රමය පහසුවෙන් අමතක කර දමන අප හෘද සාක්ෂියට තට්ටු කර යථාර්ථය අභිමුඛ කරවන්නට උත්සාහ කරන්නකි.

රිසානා රිසානා
අපේ හදවත රිදවනා
මතකයනි ඔබ සොයුරියේ
සදා අප හද රිදවනා

ඔබේ හිස වෙන් කෙරූ හේතුව
අරාබියේ නීතිය නොවෙයි
හිසට පොල් අතු බඩට ලූණු කැඳ
රට කරන අය සඟවනා

නොදරුවන් නොරටට යවන්නට
මව්පියන් හට සිදුවෙනා
රටක් සව්දිය පුරන්නේ
මිනිස්කම මියැදුනු නිසා

පාසල, අධ්‍යාපනය, ගුරුවෘත්තිය පිළිබඳව වන පූජනීය හැඟීම් වියැකී අන්ධකාරයට ඇදී යන සමාජයකට පහනක් දල්වන්නට දරන උත්සාහයක් මේ ගීතය තුළ ඇතැයි සිතේ.

මදහස පපා ... හිස අත ගගා
මුල් පොත කියු අම්මා
අපේ හිස නමා ... බැති සිත පුදා
වඳිමු පාසල් අම්මා

පියවර නගා .. දුව පැන නැටූ
ඔබේ සෙවනතේ
දූවිලි පවා ... අත්තටු නගා
ඉගිලෙන්නටා ... අප හුරුකෙරු
වේවැල පවා අප හදවතේ
දිවි ඇති තුරු
පූජනීයයි අම්මේ

පැය පහ අපේ .. සමකර බෙදු
ඔබේ සෙවනතේ
සීනුව පවා .. අපේ සිහිනයන්
නිති පණ පෙවු .. ඔබ සෙවනතේ
ගුරුමව් පියෝ අප හදවතේ
දිවි ඇති තුරා
පූජනීයයි අම්මේ

ළමාවිය මහත් ව්‍යසනයන්ට මුහුණ දුන් මෙතරම් අවාසනාවන්ත යුගයක් තවත් නැතැයි සිතේ. බාල අවධියේ විවාහ වූ ළමා මව්වරු දෙදහසක් පමණ උතුරු මැද පළාතේ සිටින බව හෙළි වූයේ මෑතකදීය. එය ජනජීවිතයේ සාමාන්‍ය අංගයක් විය හැකි නමුත් දරුවන්ගේ පැත්තෙන් කොතරම් අසාධාරණයක් ද? බාල වියේ නොදැනුවත් පෙම් සබඳතා හරහා ද, දැරිවියන් දූෂණයට ලක්වීම තුළින්ද ළමාමව්වරුන් බිහි විය හැකිය. ළමා මවකගේ සිතුවිලි විවරණය වන අයුරින් ලියැවුණු මේ ගීතය එකී ඛේදවාචකය අප වෙත සම්මුඛ කරවයි.
           
නැලිවිලි ගී මම කියන්නේ කොහොමද
ඊයේ පෙරේදත් මව් තුරුලේ උන්
ලේ කිරි කරලා පොවන්නේ කොහොමද
කිරි සුවඳත් තව මගේ මුවේ

සෙල්ලම් ගෙදරට යන්න ඉතිං මට
පුංචි දුවේ උඹ නිදිය ගනින්
කිව්වට නුඹ හට දුවේ කියා මං
මටත් කියන්නේ පොඩි දෝණියි තව

ඉක්කා එක්ක උඹ ගාලූ යවන්නලූ
ගුඩුස් අරින්නත් දන් නැතිලූ
අම්මෙක් වෙන්නේ ඔහොමද ඇහැව්වට
හරි උත්තරයක් මං දන්නෑ

පාසල් විය නිම වී සමුගෙන යන සිසු දරු දැරියන් වෙත ගුරු හදවතක ආශිර්වාදය පිරිනැමෙන අපූරු ගීතයකි මේ. ජීවිතය, මනුෂ්‍යත්වය පිළිබදව වන නොනිම් ආදරය එකී පදවැල් තුළ පණ ගැහෙන්නේ නොවේද?

පා සිඹින මල් දරුවනේ
පා නඟා යනු මැන ඉතිං
ජීවිතය වෙත ආදරෙන්
ජීවිතය වෙත ආදරෙන්

නුඹ නුඹ මැ නොව ලෝකයයි
නුඹව හැදු වැඩු සැම දෙනයි
දිවි ගෙවුම නම් පී‍්‍රතියෙන්
ඒ ලොවට පෙම් කිරිමයි

ඔබේ හද බිම වැපිරු බීජුවට
පොහොනි කර මල් ඵල දරනු මැන
කොහේ කොතැනක හෝ හිඳී මම
එමල් ඵලවල සුවඳ දෙනු මැන

සමුගැනිමක් නොවේමැයි මේ
අප සිටියි අපෙ හදවතේ
සත්‍යයේ හසරැල්ල නැගෙනා
තැනදි ඔබ මා මූණ ගැසේ...

තිලැස ගේය ප්‍රසංගයේ සත්සර මුසුව ගරු ඇන්ටන් ජයනන්ද පියතුමාගෙනි. හඬ මුසුව ගරු ඇන්ටන් ජයනන්ද පියතුමා, ශෂිකා සොයුරිය, කළුතර ශුද්ධවු පවුලේ කන්‍යාරා‍මයේ සිසු දැරියන් සහ මට්ටක්කුලිය දේවස්ථාන සංඝයේ ගායනා කණ්ඩායම විසිනි.

ඉතින් එන්න, අප හා එක්වෙන්න. ගීතයක රස විඳින්න. ජීවිතය අළුතෙන් කියවන්න.  



කිතුසර වෙබ් අඩවියට පිවිසෙන්න.... http://kithusara.org/sinhala/


යොවුන් පියවර මූණුපොතේ පිටුවට .... https://www.facebook.com/ypiyawara

Friday, March 7, 2014

පුංචි සිත්තරීගේ අභිනිෂ්ක්‍රමණය



 
By joshua miels

ඈ සිත්තරී. පුංචි සිත්තරී. 

ආධුනික කියන්නත් බැරි තරමට ආධුනික ඒ පින්සල් පහරවල් වෛවර්ණයි. ළාමකයි. මල් පෙති උඩ හිරු කිරණ දඟ කරන පිණි බින්දු, සමනල්ලු, ගහකොල, ඇලදොල, සුරංගනාවො, පුංචි පැංචන්ගෙ සිඟිති හිනා ඇගේ සිත්තම්වල සැහැල්ලුවෙන් සැරිසැරුවා. 

........

එක්තරා දවසක්.. අහසත් වලාකුළුවලින් බරවෙලා තිබුණු..

ඈ උන්නෙ චිත්‍රාගාරයක.. චිත්‍රයෙන් චිත්‍රයට පියමනිමින්. චිත්‍රයෙන් චිත්‍රයට කතාවක් මවමින්..

''මොකද හිතෙන්නෙ ‍මේ චිත්‍රය ගැන'' ඈ හැරී බැලුවා.

සිත්තරා.. මහා සිත්තරා.. 

ඒ සිත්තම්වලට පණපෙවුණු හදවත ඇස්දෙකට අරගෙන ඔහු උන්නා හිනැහි හිනැහී... පුංචි සිත්තරීගෙ ඇස් ආයෙත් නැවතුණා සිත්තම ළඟ. පපුව ගිඩි ගිඩි ගගා ගැහෙද්දි. 

වැලිතලාවක වැටුණු බෝපත.. එය කහ පැහැතියි. ඒත් ඒ කසාවර්ණය දුඹුරු පැහැයට හැරෙමින් තිබුණෙ. යාංතමට එක් කොණකින් කොළයේ ජීවය දැවෙමින් දුඹුරු නාරටි දැල මතු වෙමින් තිබුණා. ඒ බෝපත තමයි මතු වෙලා ඇලුණෙ ඇස්වල වැඩියක්ම. තැනින් තැන දූවිල්ලට‍ම හැරිල ගිය බෝපත්වල ලකුණු තිබුණා. ඈතින් බොඳ වෙලා පෙණුනා ඇත් පවුරක සේයාවක්... අහසයි.. ඇත් පවුරයි යා වෙලා වගෙයි....

''අධ්‍යාමිකත්වය වුණත් ක්ෂය වෙන දෙයක් කියලයි මට හිතෙන්නෙ. අවසානෙ ඉතිරි වෙන්නෙ ශුන්‍යත්වය.. නිවන කියන්නෙ ඒකට ද මන්ද? 

ඒත් අපි තාමත් හිර වෙලා ඉන්නෙ......... උපදින්නෙ මැරෙන්නෙ ඒ හිර ගේ ඇතුළෙමයි. ඒ හින්දම සංසාරෙ දිගයි.. දිගම දිගයි... 

ඈත ඇත් පවුරෙන් එහා ජීවිතයක් තියෙන බව දැනෙනවා. හරියටම පැහැදිලි නෑ. බොඳවෙලා. ඒත් එතෙන්ට යන්න පුළුවන්කමක් නෑ. පුළුවන් වුණත් ඕනකමක් නෑ... සමහරවිට සංසාරෙ කෙළවර තියෙන්නෙ එතනින් එහා පැත්තෙ වෙන්න ඇති...''

පුංචි සිත්තරීගෙ කටහඬ වෙව්ලුවා. ස්වර බිඳුණා විටින් විට. ඒත් ඈ කිව්වෙ මෙතෙක් සිත්තම් සමාධියෙන් පහළ වූ සිතුවිලි... ඈ හෙමිහිට මහා සිත්තරාගෙ ඇස්වලට එබුණා. ඔහු උන්නෙ සිත්තමේ ඇලිලා.

''දන්නෙ නෑ .. මට හිතුණු දේවල්...'' ඈ ආයෙත් හෙමිහිට කිව්වා. වරදක් කළා වගේ පසුතැවීමක් දැනෙමින් තිබුණා.

දිගු හුස්මක් මුදා හැරි මහා සිත්තරා ඈ වෙත හැරුණා.

'' සමහර විට වෙන්න ඇති. නිර්මාණකරුවට නොපෙනෙන පැති  රසිකයො අල්ලගන්න වෙලාවල් තියෙනවා.'' 

ඇයට සැනසුමක් වගේ හැඟීමක් දැණුනා. 

''චිත්‍රවලට ගොඩක් කැමතියි වගේ නේද?'' ඔහු ඇහුවා. එවෙලෙ ඒ ඇස්වල අමුතු දිලිසීමක් තිබුණා.

''මං අඳිනවා.. නෑ මං කිව්වෙ...'' ඇය ඉක්මණින් මුල් වචන මකල දැම්මා.  ''මං අඳින්න කැමතියි....'' 

............

මහා සිත්තරාගෙ කට කොණ නැටුවෙ ඔච්චමට වගේ. ඔවුන් උන්නෙ විහාරමහාදේවියෙ සීතල සිමෙන්ති බංකුවක. අධි සීතලෙන් හිරි වැටිල තිබුණෙ ඇගේ හිත. 

''මේ මොනවද මේ... මොන්ටිසෝරි බබාලට හොඳයි.'' 

මහ සිත්තරාගෙ දෑතින් නොසැලකිල්ලෙන් ‍අතහැරී යන  සිත්තම්වල කුරුල්ලො ඉකිබිඳින්න ගත්තා. මල් මැළවුණා. තුරුලතා වියැලිලා අහස කළු වුණා. සුරංගනාවො ලැජ්ජාවෙන් ඇකිළුණා. 

ඇගේ සිත්තම් එකින් එක පෙරළා බැලූ ඔහු විඩාපත් බවක් පළ කරමින් දෑත් දෙපසට දිගු කරල දිගු ඈනුමක් ඇරියා. ඒ හා සමඟ හමා ආ පල්වුණු මීවිතක දුර්ගන්ධය මිහිරි සුවඳක් වගේ පුංචි සිත්තරීගෙ හිත කුල්මත් කළා.

''යමු මා එක්ක'' මහා සිත්තරා නැගී සිටියා. ඉකිබිඳින සිත්තම් බංකුව මත එහෙමම තියෙද්දි ඈ ඔහු පසුපස ඇදුණා.

.................

ඉන්පස්සෙ පුංචි සිත්තරීට ඉර, හඳ පෑව්වෙ ඒ සිත්තර කුටියෙ ඇතුළෙ.  දාවලේ කැන්වසය මත දුවන මහා සිත්තරාගෙ පින්සල් පහරවල් අපූරු සිත්තම් මැව්වා. අනුරාගයේ පින්සල් පහර රාත්‍රිය වර්ණවත් කළා.
පුංචි සිත්තරී උන්නෙ තුන්හිතම පුරෝගෙන. හිනා වෙවී.. හිනා වෙවී.. දවස පුරාම... 

තේ හැදුවෙ, බත් ඉව්වෙ, රෙදි හේදුවෙ, සායම් හේදුවෙ, පින්සල් හේදුවෙ, මීවිතට අඩුකුඩුම සරි කෙරුවෙ  හිනා වෙවී.. හිනා වෙවී.. දවස පුරාම...

ඒත් පුංචි සිත්තරීට සිත්තම් අමතක වු‍ණේ නැහැ. ඈ දවස් ගාණක් සිත්තමක දැහැන්ගත වෙලා උන්නා.. ඒ සිත්තම පුරාම තිබුණෙ ප්‍රේමය.. ඉමක් නිමක් නැති ප්‍රේමය... ඇගේ හිත පිරිල තිබුණෙත් ඒ ප්‍රේමය.. 

මහා සිත්තරාගෙ ඇහැ ගැටෙනකල් ඒ චිත්‍රය.. ‍ගේ පුරාම, ඈ පුරාම නින්නාද දිදී රැව් දුන්නෙ ඒ ප්‍රේමය. 

''මේ මොකක්ද මේ? ... මේ චිත්‍රෙ පුරාම ඉන්නෙ මං..... ඕනම කෙනෙකුට තේරෙනවා... පිස්සුද?'' ඔහු ගිගිරුව අහස වගේ. ඈ කඩා වැටුණා වැස්ස වගේ. 

ඉන්පස්සෙ ඇගේ පින්සල්වල මකුලු දැල් බැඳුණා. සායම් ඵලකය අළු බඳුන උණා. කුස්සියෙ දුම් වළලුවල එතිලා දුක්මුසු සුසුම් හිස් අහසට පාවෙලා ගියා.. රාත්‍රිය කටු අනින්න ගත්තා. 

................

දවසක්.. මීවිත ගලා යන රැයක.. චිකන් ඩෙවල් සුවඳක් කුස්සියෙන් නික්මිලා ආලින්දය හරහා අලස ගමනින් පාවෙලා ගියා.

සිත්තර මිතුරු හිනා හඬ ඇගේ සවන්කුහරවල හැප්පිලා හදවත දෙදරුම් කෑවා.  

'' ඇත්තටම ගෑණුන්ට බුදු වෙන්න බැරි ඇයි බං..'' ඒ අසංයම වාක්‍ය ඛණ්ඩයේ තැන තැන අවකල් මත්බවක් රැඳී තිබුණෙ...

''ගෑණුන්ට  බුදුවෙන්න බැරි ....'' ඒ මහා සිත්තරාගෙ හඬ. ''උන්ට බුදු වෙන්න බැරි, අතාරින්න පුරුද්දක් නැති හින්දා... අල්ලගත්ත කිසිදෙයක් අතාරින්නෙ නෑ. කූඩැල්ලො වගේ එල්ලිලාම ඉන්නවා..'' එහෙම කියල ඔහු මහා හයියෙන් හිනැහුණා. හරියට කුස්සියට ඇහෙන්න වගේ.

ටික්ස්..... ගෑස් ලිප ගිනි දැල්ල හංගගත්තා.

...................

ඈ හෙමිහිට පිටුපස දොරින් පිටවුණා. ඇගේ අත රැඳුණ මල්ලෙ පින්සල් කිහිපය මකුළු දැල් අතරින් එබිල බැලුවා... සායම් ඵලකය සැනසුම් සුසුමක් හෙළුවා. ගල් ගැහුණු සායම් ටියුබ උණුහුම් වෙවී, උණුහුම් වෙවී දියවෙන්න ගත්තා. 

ඉතින් ආව වගේම ඈ යන්න ගියා. 

තවත් කල්ඉකුත් වුණු බෝපතක් දූවිලි පොළවට එකතු වුණා.

Wednesday, February 26, 2014

සුබ මංගලම්....


දසවසකට එපිට අතීතයේ දවසකි. නිස්කලංක රාත්‍රියකි. පොල්වත්ත දෙව්අ‍රණ මධ්‍යස්ථානයේ පැවති ළ.ක්‍රි.වී.  ජාතික කමිටු හමුවක පළමු රැය ය. ලංකාව හතරදිග් භාගයෙන් පැමිණි ළෙංගතු සිනා මුහුණු දක්නට ලැබිණි.

'' අපි එක කණ්ඩායමක් විදියට වැඩ කරද්දි නමින්, ගමින් විතරක් දැන ගැනීම විතරක් මදි. ඊට එහා ගිය ගැඹුරු අවබෝධයක් එකිනෙකා ගැන තියෙන්න ඕන. අපි ආරම්භයක් ගනිමු. අපි අපි ගැන කතා කරමු. අපේ ජීවිත ගැන කතා කරමු.''

පියතුමා වැඩසටහන් පෙළගැස්ම හදුන්වා දුන්නේය. තුණ්ඩු ඇදීම මගින් අධ්‍යාත්මික ජීවන පංගුකාරිත්වයට අයෙකු තෝරා ගැනීමට අවස්ථාව සැලසිණි. සමාන අංක හමුවුණු අයට සමීපව කතා කරන්නට අවැසි තරම් කාලයක් ලැබිණි.

මට හමුවුණේ ඇය ය. ස්වර්ගීය සැලසුමකට නතු වූ දෛවෝපගත හමුවක් ම විය හැකි ය.

අපි එළිමහනට පිවිසියෙමු. එය තාරකා දිදුලන සිහිලැල් රාත්‍රියකි. දෙව් අරණ ගෙමිදුලේ වූ විසල් අඹ ගස පාමුල තණ නිල්ලෙහි වාඩිගත් අපි ජීවිතේ පළමු වතාවට එකිනෙකාගේ දෑස් දෙස විමසිල්ලෙන් සැලකිල්ලෙන් බැලීමු.

සිනාවෙහි, කතාවෙහි, හැසිරීමෙහි සංයමය නිරන්තරයෙන් බිඳගන්නා දාංගල් කෙල්ලක ලෙසිනි ඇය මා සිතේ නැවතී සිටියේ. ඉන්පෙර සැබවින්ම ඈ මසිත දිනූ යුවතියක් නොවීය.

''මං ඔයාට පොඩ්ඩක්වත් ආස නැහැ ඒ දවස්වල. මහ පණ්ඩිත ආඩම්බර කෙල්ලෙක් කියල මං හිතන් උන්නෙ." මා ගැන ඈ සිත ඇඳී පැවතියේ එබඳු සිත්තමක් බව පසුකලෙක ඇය සිහිපත් කළේ කොක්සන් සිනාවක් සමග ය.

එය හුදු කතාබහක් පමණක් නොවුණි. හදවතේ වාන් දොරටු මුළුමනින්ම හැර දැමුණි. 

නම, ගම, පවුල, ළ.ක්‍රි.වී.ය, පරිසරය, දේශපාලනය සමග දිගට ඇදී ආ කතාබහ ප්‍රේමය අබියස සමාධිගත වූයේ නොසිතූ විරූ ලෙස ය. ළ.ක්‍රි.වී.ය ළමුන් හා බැදී පැවතුණු බැවින් යෞවන ප්‍රේමයට නිරන්තර සංයමය රැකගන්නට සිදු වේ. ආදර කතන්දර අඩුවක් නොවූවත් ඒ ගැන එළිපිට කතාබහ සිදු නොවූ තරම් ය. නමුත් ඒ නිස්කලංක රාත්‍රියේ හද දොරටු විවර කරන්නට කිසිදු බාධාවක් නොවිණි. ඉතින් අපි අපේ ප්‍රේම කතාව දිග හැර ගතිමු.

ඉරණම්සහගත ලෙස එකී කතාව ගෙතී තිබුණේ එකම ලතාවකට ය.

සිත් බැඳී තිබුණේද, බිඳී තිබුණේද, රිදී තිබුණේද එකම විදියට ය. එකම කඳුලකි. එකම සුසුමකි. එකම රිදවුමකි. අප සිත් නොබිදෙන මිත්‍රත්වයකින් බැදෙන්නට එයම ප්‍රබල හේතුවක් වූවා විය හැකිය. රෑ මැදියමත් මැදිහත්ව අපේ කතා අසා සිටියේය.

කොක්සන් සිනාවකට නිහඬ හසරැල්ලක් කදිමට යා වී තිබුණි. ගැඹුරට පෑහි තිබිණි. එදවස ඇරඹී වර්තමානය හරහා අනාගතයට ඇදී යන අප මිත්‍රත්වය සැබවින්ම දිව්‍යමය  අසිරියකි. 



මනුෂ්‍යත්වය පිළිබඳව දුර සිට ගනු ලබන පූර්ව නිගමන කොතරම් අසාධාරණ ද? අයුක්ති සහගත ද? අනෙක් අතකින් මනුස්සකම යනු කොයියම්ම මොහොතක හෝ සිය ඓශ්චර්යයෙන් විකසිතව ලොවක් එළිය කළ හැකි දීප්තිමත් තාරකාවක් නොවේද?

ඇගේ සමාජ විෂය කාන්තාව, දේශපාලනය වන විට මගේ සමාජ විෂය ළමුන් හා නව යෞවනය සමග බැඳී පැවතිණි. ඇය උද්ඝෝෂණ, පෙලපාලි, පිකටින්, කාන්තා ප්‍රශ්න, කම්කරු ප්‍රශ්න හා ගැටෙන විට මම ළමුන්, නව යෞවනය, දෙමව්පියන්, කලාව සාහිත්‍යය සමග නිස්කලංක ගමනක යෙදුණෙමි. නමුත් අපේ මිතුදමට එයින් කිසිදු බාධාවක් නොවීය. මේ ගෙන්දගම් පොළවේ විඩාපත් වන සිත සනසා ගන්නට ඇගේ නිවහන මට සෞම්‍ය ‍ස්නේහයේ නවාතැනක් ම විය.

ඉදින් මැදින් මහේ පළමුවැනිදා මගේ ආදරණීය යෙහෙළිය මනාලියක ලෙස පුදසුන අබියසට පිවිසෙන්නී ය.  


ආදරණීය කුමී....... ලෝකයම ගැන ස්නේහයෙන් දුව ඇවිද්ද හිතකට කුටුම්භය කුඩා වැඩි වේවි ද? එය එසේ නොවේවා. ඒ මගේ පැතුමයි. 

සුවිසල් ප්‍රේමයක පෙළහර නව යුගදිවියටත් ආශිර්වාදයක් ම වේවා..


......''''''''''......



( මැදින් මහේ පළමුවැනිදා ‘‘තරුරසී”  ගේ දෙවෙනි උපන්දිනය යි.  නමුත් ඒ වෙනුවෙන් විශේෂ යමක් ලියා තබන්නට අවකාශ නොලැබෙනු ඇත. මටත්, තරුරසීට ත් ආදරය, ධෛර්යය දුන් සැමට හදවතින්ම තුති. ) 

Sunday, February 23, 2014

රූප රාමුවක ඇමිණුනු හිත


ස්ටෙප්ස් නිම්නයද මේ ....!!!!
නැහැ.. එය නොවෙයි.. එවැනිම වූ හරිත නිම්නයක්... නිම්නය මැද හුදකලා අසුනක්.. එමත හුදකලා නොවූ හදවත් දෙකක්...

ප්‍රේමයෙන් ඇවිළී ගිය හදවතින් ඇය... ප්‍රේමයෙන් නිවී ගිය හදවතින් ඔහු...

විසල් තැන්න පුරා දිගෑදී සිටින දිගු අන්ධකාර සෙවණැලි.. සැනෙකින් ඔවුන් ඒ තුළ ගිලී යාවි දැයි අවිනිශ්චිත බියක්... නමුත් නිම්නය පුරා නිසොල්මන්ව වැතිරී සිටින උණුසුම් අව්රැල්ල.. සන්සුන් ඉරියව්වක සිල්වත් දැහැනක...

නිම්නය පුරා නිම්නාද නගන ගී හඬක්... වි‍ටෙක ළයාන්විතයි.. විටෙක තියුණුයි...

ගයන්නේ ඇය.. වයන්නෙත් ඇය.. ගයන්නෙත් වයන්නෙත් හදවතින්මයි ඇය..

ඈ වෙත ම දැල්වුණු ඔහු ‍දෙනෙත.. හිත පත්ළම එක මිටට ගත හැකි තරමට පැහැදිලි නිසල විල් දියක්...

නිම්නය පුරා ගලා ගිය ඇගේ හඬ කෙමෙන් කෙමෙන්... සෙමෙන්.. සෙමෙන් මන්ද ස්වරයකට අනුගත වෙමින් ඈත අවකාශයේ හුදකලාවට මුහු වී සැඟවී යනවා... ප්‍රේමණිය වූ මුනිවර සංයමයකින් ඔහු සුරත ඈ හිස මත.... ඒ නෙත් තුළ සරැලි නංවන ස්නේහය,

ඈ නිසාද?

ඇගේ ගීතය නිසාද?

ඇගේ ප්‍රේමය නිසාද?

සෙමින් පෙමින් ඇදී එන ඔහු සුරතට මැදිවන ඇගේ වමත.... ඇහිපිල්ලමක දුරක් පමණයි තුරුළු වන්නට පුළුල් පපුතුරට.. නමුත් ඇය සෙමින් තම අතැඟිලි මුදා ගන්නවා... නෙතින් ගිළිහෙන කඳුළු සීරාවක් කොපුල් නිම්නය දිගේ නැවතුමක් නො‍දකින නිසොල්මන් ගමනක...

''එපා..'' ඉකියකින් මිදුණු සුසුමක් සමඟ ඇගේ වෙව්ලුම් ස්වරය...?

''ඇයි?''

''දන් නෑ... ඔයා හොඳයි.. හුඟක් හොඳයි.. ඇත්තමයි ඔයා හොඳ කෙනෙක්...''

ඒ හාම සිහින් ඉකිබිඳුමක් මන්ද ස්වරයෙන් ඇරඹී හාත්පස නිස්කලංකය කලම්බනවා... දෙඅතින් මුහුණ වසාගන්නා ඈ කඳුළු වැස්සක දිය වී යනවා...

''ඇයි මේ?'' හැමදාමත් වගේ අදත් ඔහුට කියවන්න බෑ ඇගේ හිත...

'' දන්නෑ.. මං හොඳ නෑ... මං හොඳ කෙනෙක් නෙවෙයි.'' ඉකිබිඳුම අතරින් මතුවන හද බිඳුම..

.............................

සදාතනිකව හිත අල්ලගත් රූප රාමුවක් එය...

සදාතනිකව හිත කළඹන කඳුලක් එය...

උනුන් කෙරෙහි සුවිසල් ප්‍රේමයක් හද දරා සිටියදීත්, උනුන් සිත් හඳුනා ගන්නට නිමේෂයක නැවතුමක් නොලැබූ අතීතයකින් උරුම වූ කඳුලක් එය...

‘‘ඔයා නිසයි මේ හැමදේම..” එවදන් කඳුලක දවටා  ඔහු වෙත දමා ගැසිය හැකිව තිබියදීත් ඇය එසේ නොකළේ ඇයි? ඔහු විත්තිකරු කොට විත්තිකූඩුවට නංවනු වෙනුවට නිදොස් කොට නිදහස් කර සියල් වැරදි තමා මත ම පවරාගෙන සදාකාලික දණ්ඩනයට යටත් වුයේ ඇයි?

එය ද නිර්මල සිතක උපදින ප්‍රේමයේ ස්වභාවය..

එවන් වරදකාරී හෘදය රිදුමකින් ජනිත වන්නවූ කඳුළු වැස්සකට හදවතේ වාන් දොරටු විවර කිරීමට ඉඩ හරින්නේ නැහැ මම නම් කවදාවත්ම...

ඒ ප්‍රතිඥාව මගෙන් මට ම...


.................................


‘‘ආදරය කියන්නෙ සදාකාලික ගවේෂණයක්” ඒ බව මම දැන සිටියා ජීවිතයෙන්ම.

ඒත් ලැකාන් එලෙස කියා ඇති බව මා හා පැවසුවේ වෙන කෙනෙක්... ආදරය හඹා යන සදාකාලික ගවේෂකයෙක්.. එකකට එකක් සම්බන්ධ නැති, නැත්තෙත් නැති මේ සිතිවිලි විවරණය අමුණමින් ඉන්න අතරෙ...

ඒ සදාකාලික ගවේෂණයේ අවසන් ප්‍රතිඵල ය සැනසුම ද? නැතිනම් රිදුම ද? 

කුමක් වුවත් ඒ තමයි ජීවිතය.... 

ජීවිතය සොයා සැරිසරන නොතිත් ආශාවෙන් පිරුණු අප වැන්නවුන්ට ඒ සදාකාලික ගවේෂණයෙන් බැහැරව සිටිය හැකිද? 

සිටිය හැකි වුවත් ඉතින් එවැනි ඇල්මැරුණු ජීවිතයක් කුමකටද?