පිටු

Tuesday, September 2, 2014

හදවතක මිදුම වූ.... කවියක විඳුම...



සොඳුරු ආලේපන ගැල්වුවද, කෙතරම් හැඩ වැඩ වූව ද මේ ගෙන්දගම් පුර අඟනගේ දහවල් ගිනියම, දුහුවිල්ල, කන්කරච්චලය දැරීම නම් පහසු නැත. එය එසේ වන නමුදු සිය කුළුඳුල් කාව්‍ය එකතුව විසල් බෑගයක තැන්පත් කොටගෙන, අගනුවර ගිනිගත් දහවලක පොත් හළෙන් පොත් හළට පාද සක්මනේ යෙදෙන කවි මානවකයකු මෑත දිනෙක මට හමුවිය. එක් අතකින් සෝබර දසුනකි. තවත් අතකින් කවියට අනුරාගී හදින් නේක දුක් උහුළන කවි හිත් පිළිබඳ සෙනෙහස දල්වන්නකි.

.............

මෑත පළ වූ කවි පොත් රැසක්ම මා සතු ය. අතවත් නොතබා උහු හුදකලාවම පසුවෙත්. කවි පොතක් අතට ගන්නට නම් හිත බෙහෙවින් නිස්කලංක විය යුතුය. යාන්ත්‍රික ජීවිතය තුළ අහිමිව ඇත්තේද ඒ සංහිඳියාවම ය. උණුසුම් කෝපි කෝප්පයක් සමඟ ගේ ඉදිරිපිට සිමෙන්ති පඩියේ වාඩි වී උදෑසන හෝ සැඳෑ පවනැල්ලක පහස විඳිමින්, එසේත් නැතිනම් සඳ පහන් රැයක හුදකලාවම  කවි පොතක දැහැන්ගත වන්නට ඇත්නම් අපූරු ය. මසකට වරක්වත් අහසට පුරහඳ හිමි වේ. නමුත් කරුමයට එවැනි නිස්කලංක දවස් ජීවිතයට උදා වීම අතිශයින් විරලය.
...........

කවිය ගැන ලියන්නැයි ඇරයුම් ලැබේ. නමුත් කවියට අත තබන්නට මම බිය වෙමි. ඒ කවිය විඳින්නට මිස කවි ලියන්නට හෝ කවියකට විවරණ සපයන්නට මා පොහොසත් නැතැයි සිතන බැවිනි. කවියට කොතරම් නම් පෙම් කරන්නේද එබැවින්ම කවියට අවැඩක් වන ඉස්පිල්ලක් පාපිල්ලක් තරම හෝ මාතින් ලියැවේය යන සිතුවිල්ල කවි පොතක් ගැන ලියන්නට පෙළඹෙන සිත උදාසීන කරවයි.

...........

මගේ කවි කතා එබඳු ය.

අපමණ කවි ලියවුණද, අපමණ කවීන් සිටියද, කවි පොත් එළිදැක්වුණද කවියේ සැරිසැරුම අගනුවර ආශ්‍රිත හුදකලාව ම සිදුවන කාර්යයක් බවට පත්ව ඇතැයි සිතේ.  නූතන කවිය සමාජගත වීම අතිශයින් මන්දගාමී ය. උපතට, විපතට, සතුටට, දුකට, කෙතට, කමතට,ගමනට බිමනට, වෙහෙසට අස්වැසිල්ල, වැඳුමට, පිදුමට, අරගලයට මෙකී නොකී සැමෙකට කවි කියූ, ලියූ පරපුරක වර්තමාන ඛේදවාචකය.....

..........


කවි පොත් නොවිකිණෙන බවද සුලබ අදහසකි. එවැනි වකවානුවක කවියට නෑකම් කියන අපුරු පොතක් ඇහැ ගැටිණි. ඒ ආධුනික සහ ප්‍රවීණ කවීන්ගේ කවි එකතුවක් පිළිඳව දයාර්ද හදවතකින් විමසා බැලූ කාව්‍ය විමර්ශන කෘතියකි.  කවි පොත් පවා නොවිකිණෙන සමයක,  කවිය ගැන මෙවන් විවරණයක් කෘතියක් ලෙස පළ කරන්නට කාලය, ශ්‍රමය කැපකිරීම ප්‍රශංසා කටයුතු නොවන්නේද? එකී විවරණයත් බොහෝ දුරට ආධුනික කවීන්ගේ කාව්‍ය නිර්මාණ දෙස අවධානය යොමු කරවන්නක් වූ කල!!!! 

2012 වසරේ මකරන්ද සාහිත්‍ය උළෙලේදී ජනගත වූ ‘‘මකරන්ද කව් සරණිය, තෙවැනි වෙළුම ට පෙර කී විවරණය සපයන්නේ ජයසිරි අලවත්ත විසිනි. ඒ ශ්‍රමයේ මුද්‍රිත ඵලය ‘මකරන්ද කාව්‍ය විමංසා කෘතියයි. මේ පිළිබඳව අදහසක් ලියා තැබිය යුතු යැයි සිතුණේ එකී ශ්‍රමයට සහ කාව්‍ය ළැදි හොඳ හිතට ගරු කිරීමක් වශයෙන් පමණක් ම නොවේ. ආධුනික කවීන්ගේ මෙන්ම, කාව්‍ය රසිකයින්ගේ ද අවධානයට ලක් විය යුතු කෘතියක් යැයි සිතන බැවිනි.

සමිත බී අටුවබැන්දෑල, විජය නන්දන පෙරේරා, ජයන්ත නිමල්සිරි, රුවන් බන්දුජීව, නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්ට්, ළහිරු කිතලගම, යනූෂා ලක්මාලි, විපුලි නිරෝෂණි හෙට්ටිආරච්චි, දේ.වි. ගාල්ලගේ... මේ මකරන්ද කාව්‍ය විමංසා කෘතියට තෝරා ගත් නිර්මාණවල හිමිකරුවන්ගෙන් කිහිපදෙනෙකි.  කවි, කිවිඳියන් 53 දෙනෙකුගේ නිර්මාණ 70 ක් අඩංගු මකරන්ද කාව්‍ය සරණියෙන් කතුවරයාගේ විමසුමට බඳුන් වන්නේ කාව්‍ය නිර්මාණ 31 ක් පමණි. ඒ ඔහුගේ පෞද්ගලික විඳීම තුළ සිදු කළ තෝරාගැන්මක් බව පෙරවදනේ සඳහන් වෙයි. ඔහු ලියා ඇත්තේ ඔහුට ‘වැදුණු කවි පිළිබඳව ය. ඒ වැදීම හුදු වැදීමක් ම නොව හෘදයාංගම විඳීමකි.

කතුවරයා කවියේ හොඳ හෝ නරක විනිශ්චයට ලක් කරන්නට ඉක්මන් නොවෙයි. ඒ වෙනුවට ඔහු කවියේ පදයෙන් පදය විමසමින් ඒ පිළිබඳව තම විඳීම අප වෙත ගෙන එයි. ඒ විඳීම තුළ අගය කළ යුතු තැන අගයයි. විඳිය යුතු තැන රස මතුකරයි. සදොස් තැන පෙන්වයි. නිදොස් වන්නට අදහස් ගෙනෙයි. නිර්මාණය උසස්තලයට පත් කරන්නට යෝජනා ගෙනහැර දක්වයි. දෙන්නම් බැටේ විචාර කලාවෙන් බැහැරව අතිශය හෘදයාංගම අයුරින් ඔහු මෙකී කටයුත්ත සිදු කරයි.

කවියේ සෞන්දර්යාත්මක භාව ප්‍රකාශනය මතු නොව, එතුළින් මතුවන සමාජ විග්‍රහය කෙරෙහිද කතුවරයා අපගේ අවධානය යොමු කරවයි. ඔහු කාව්‍ය විවරණය සමඟම වර්තමාන සමාජයේ පැවැත්ම සම්බන්ධ විවරණයකටද මග පාදා ගනියි. යහපත් සමාජයක් පිළිබඳව කතුවරයා තුළ දැල්වෙන අපමණක් අපේක්ෂාවන් පිළිබඳව එකී විමසුම් ඇස අපට ඉඟිකරයි. එනිසාම මෙය හුදෙක් කාව්‍ය විමසුමක් පමණක්ම නොවී ජීවිතය සහ සමාජය පිළිබඳ විමසුමක් බවටද පත් ව තිබේ.

හයහතර දන්නා කාට වුව කියවා තේරුම් ගත හැකි සරල බසක් භාවිත කර තිබීම ද අගය කළ යුතු ය. කවිය පිළිබඳව වන විමසුකමට මහා භාෂා හරඹ අවැසි නොවේ. එය කාව්‍ය රස වින්දනයට බාධාවක් මිස අත්වැලක් නොවේ. කතුවරයා ඒ පිළිබඳව මනා අවබෝධයෙන් සිය විඳුම ලියා දක්වා ඇත.

ජයසිරි අලවත්තගේ මකරන්ද කාව්‍ය විමංසා කෘතිය කවි ලියන, කවි කියවන සැමගේ අවධානයට ලක්විය යුතු කෘතියකැයි සිතමි. කවියට ඇලුම් කරන, කවිය විඳින්නට කැමති, නමුත් කවි තේරුම් ගන්නට අපහසු යැයි මැසිවිලි නගන පාඨකයන්ට කවිය විඳින්නට අවැසි මගහසර තෝරා පහදා ගන්නටද මෙමගින් යම් රුකුලක්, මගපෙන්වීමක් ලැබෙනු ඇත.

මගේ විඳීමේ පහසුව තකා මෙලෙස යෝජනා කරනු  කැමැත්තෙමි.

කවිය පිළිබඳ විවරණය සැපයීමට පෙර සම්පූර්ණ කවියම මුද්‍රණය කොට තිබුණේ නම් අගනේ ය. මේ විවරණය තුළ අපට හමුවන්නේ තැනින් තැන විමසුමට බඳුන් වන කවියේ කොටස් ය. මකරන්ද කව් සරණිය අත පොවන මානයේ නොවන්නේ නම් සමස්ත කවිය පිළිබඳව අදහසක් ලබා ගැනීම අසීරුය. කවිය ඇස ගැටෙන්නට සලස්වා අනතුරුව එකී කවිය පිළිබඳව විමසුම පළ කළානම් මැනවයි සිතේ.

කවියේ මාතෘකාව සහ නිර්මාණකරුගේ නම ද ඇතුළත් පටුනක් වී නම් තවත් අගනේ ය.

2012 වසරේ පළ වූ කාව්‍ය එකතුවක් බැවින් මේ විවරණය සපයන්නට පමා වූවා වැඩි යැයි සිතේ. මේ වන විට ඒ කවි පිළිබඳ මතකය රසික සිත්මතින් හේදී ගොස් තිබෙන්නටද ඉඩ ඇත. පමාවට බලපෑ හේතු කාරණා, ප්‍රායෝගික ගැටලු පෙරවදනේ සඳහන් වන බැවින් සහෘද හදවතේ සමාවට ඉඩක් වෙන්වනු ඇත.

කෙසේ නමුත් මෙලෙස කවිය ගැන තම විඳුම ලියා තබන්නට සිතීම වාසනාවකි.  සියල්ල රුපියල් සත තුළින් තීරණය වන මෙවන් සමාජයක කවිය පිළිබඳව වන එකී ලියැවිලි කෘතියක්ව පළ කරන්නට කාලය ශ්‍රමය කැප කිරීම ම ඓශ්චර්යයකි.  ජයසිරි අලවත්ත සහෘදයාට මාගේ ප්‍රණාමය....

ඔහු මකරන්ද කාව්‍ය විමංසා කෘතිය හරහා මෙබඳු පැනයක් නගනු මට ඇසේ. මට දැනේ.

කවියට පෙම් බඳින අප වත්, කවිය වෙනුවෙන් කවියේ උන්නතිය වෙනුවෙන් පෙනී නොසිටින්නේ නම් ලාංකීය කවියට කාගේ පිළිසරණක්ද?

මකරන්ද කාව්‍ය විමංසා
ජයසිරි අලවත්ත
නැණිල ප්‍රකාශන

රු. 250.00 

Thursday, August 21, 2014

තිලක සිත ....... ජීවිතය කතන්දර ලෙස


කහපාට ආදරය  වත්පොත මත වරින් වර සැරිසරනු දිටිමි. ආදරය කහපාට වන්නේ කෙසේද? මෙතරම්ම පිරිසක් මේ කහපාට ආදරයට ඇලුම් වන්නේ මන්ද? සොයනු රිසින් වත්පොතේ සටහන් වූ මං ලකුණු ඔස්සේ මම නිධාන කතාව සොයා ගියෙමි.

හමුවූ නිධානය ‘තිලක සිතය.

ඒ වියුණු සටහනකි. ( බ්ලොග් අඩවියකි. ) කහපාට ආදරය මසිත දිනා ගත්තේය. එබැවින්ම අතරින් පතර තවත් සටහන් කිහිපයක් කියවා බැලීමි. රස ය. අතීතකාමයෙන් මෙන්ම, මනුෂ්‍යත්වයේ අසිරියෙන් මත්වන්නට රිසි වන්නාවූ සිත් පැහැර ගැනීමේ හැකියාවක් තිලක සිතට ඇත. අතිශයින්ම සරල ය. එහෙයින්ම සිත්ගන්නා සුළුය. එතැන් සිට මම තිලකසිතෙහි නිත්‍ය රසිකාවියක් වීමි.

මේ සිදුවීමට මසක් ඉක්මෙන්නටත් මත්තෙන් රංගිගෙන් සිහි කැඳවීමකි.

‘‘තරූ, අපේ තිලකෙගෙ පොත එනවා. තිලක සිත. අගෝස්තු 08 වෙනිදා. දිනේ වෙන් කරල තියාගන්න. එදිනට යන්නෙමැයි සිත ගිවිසා ගත්තේ ඒ මොහොතේය.
...........


තිලක සිත එළිදැක්වූ දවස කිසිදා මතකයෙන් බැහැර නොවන්නකි. ඔව්නි, දෙව්නි දියණියන් තිලක ජීවිතය, තිලක සිත පොත මෙන්ම උළෙලද හැඩ කළෝය. පහන් දැල්වීමට ඇරයුම් ලැබූවන් පිළිබඳව කෘතවේදීව කළ විවරණයන් බෙහෙවින් සංවේදීය. මනුස්සකමේ සොඳුරු සුවඳ යාවී තිබිණි. එකී විවරණයන් කෘතියේ අන්තර්ගත කතාවලින්ම උපුටා ගත් බව පසක් වූයේ පොත කියවන අතරතුරය.

සහෝදර බ්ලොග්කරුවන් වන නලින්, ඉවාන්, සුධීක දැන හඳුනාගන්නට ඉඩ ලැබිණි. මාලතී සමඟ දීර්ඝ අල්ලාපසල්ලාපයකට ඉඩ දෙමින් රාත්‍රිය පමාවූ දවසකි.
............

තිලකසිත, තිලකසිරි ඒකනායකගේ ය. ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවකු වුව ද පුවත්පත් කලාවේදියකු ලෙසද කලක් සේවය කර ඇත. කතුවරයාගේ ළමාවිය, පාසල් අවධිය, සරසවි දිවිය, පවුල් ජීවිතය, මෙන්ම රැකියා ජීවිතය තුළ ඔහු ලැබූ අත්දැකීම්ද, ඔහු ම කියන පරිදි දශක හතරහමාරක ජීවිත ගමනේ ඇසු දුටු දෑද කෙටි කතන්දර ලෙස මෙහි අන්තර්ගත ය.

තිලක සිත ගැන මතක සටහනක් තැබීම යුතු යැයි හැඟුණේ, එය සහෝදර බ්ලොග්කරුවකුගේ කෘතියක් නිසාම නොවේ. මනුස්සකම් ගැන අපුරු පාඩම් රැසක් කියාදෙන සරල සොඳුරු කෘතියක් වන බැවිනි. එක හුස්මට කියවිය හැකි කෙටි කතන්දර ගොන්නකි. තිලක සිත කෘතිය, කතුවරයා විග්‍රහ කර ඇත්තේ ද ‘‘ජීවිතය......... කතන්දර ලෙස යනුවෙනි.

‘‘මගේ දැලි රැවුල ළමාවියේ මතක ඇසුරින් ගෙතුණු කතාවකි. මුහුණේ දැලිවලින් සිත්තම් කරගන්නා රැවුල පෙන්වමින් නිවැසියන් පිනවන පොඩිත්තෙකි. ඔහු සවස වැඩ ඇරී පැමිණෙන පියා සොයා දිවෙන්නේද  ඒ මුහුණේ මතුවන සිනා දකිනු කැමැත්තෙනි. නමුත් ලැබෙන්නේ බැනුම් වරුසාවකි. ඉකිබිඳිමින් හඬා වැටෙන පොඩිත්තා මවගෙන් විමසනුයේ අපුරු පැනයකි. ‘‘කවද හරි මගේ මූණෙ ඇත්තටම රැවුල ආවොත් එදාටත් තාත්ත මට බනියිද? 

ඒ පොඩිත්තා කවුදැයි අමුතුවෙන් කියන්නට අවැසි නැත. නුදුරු දිනෙක චූටි උක්කුන් සීයා වන්නට නියමිතව සිටින්නේද ඔහු ම ය. රහස දැනගන්නට තිලක සිතේ ‘චූටි උක්කුන් අයියා කියවිය යුතුය.

ශ්‍රී පාන් බාගේ, අමරා සමග ට්‍රිප් එකක්, ලෝක රස්තියාදුකාරයා, ගුරුතරුව, වට්ටක්කා එවැනිම ළමා වියේ මතක ඇසුරින් ලියැවුණු රසවත් කතා කිහිපයකි.

අතීතයට, ගමට, පවුලට, මනුෂ්‍යත්වයට ඔහු දක්වන ළැදියාව අප සමාන හදවත් ඇත්තවුන් බව නැවත නැවතත් සිහිපත් කරවයි. සොඳුරු සිතැත්තියගේ උපන්දිනය, බත්පිඟන් තුන, රිදී පහන් වැට, ලොකු අක්කා ඒ බවට නිදසුන්ය.

වෘත්තීය ජීවිතයේ අත්දැකීම් ඇසුරින් ලියැවී ඇති තුන්වැනි දේශකයා, අමුත්තා, කැස්පියන් හඳ.... රසවත් කතන්දර ය. ඇසු දුටු සිදුවීම් ඇසුරින් ලියැවී ඇති අම්මා අම්මා, පහුවෙලා හමු වූ තාත්තා, කහපාට ආදරය..... ජීවිතය, මනුෂ්‍යත්වය ගැන සෙනෙහස දල්වයි.

සරසවි ජීවිතය ඇසුරින් ලියැවී ඇති කතා විටෙක හාස්‍යයද, තවත් විටෙක රිදුමද කැඳවයි. කතුවරයාගේ සරසවි දිවිය ලාංකීය සමාජයේ ප්‍රබලතම භීෂණ යුගයකට සමපාත වීම මත ගෙතෙන කතා අහිමි වූ වටිනා තරුණ ජීවිත ගැන මහත් කම්පාවක් ඇති කරයි.  



ඔවිනි සහ දෙවිනි කතුවරයාගේ ජීවිතයට මෙන්ම තිලක සිත බොහෝ කතාවලටද ජීවය දුන් දේවදූතිකාවෝය. දෙදෙනාගේ ළමාකම මැනවින් මතුවන චිත්‍ර සටහන් කෘතියට ගෙන එන රමණීයත්වයද අපූරුය. ඔවිනි ගේ දඟකාරකම් සමඟ මව්පිය දූ දරු සම්බන්ධතා ගැන මනෝ සිත්තමක් මැවෙන අවසන් කතාව බෙහෙවින් මගේ සිත් ගති.

‘‘ඔයා බත් කෑවද? එකී කතාවේ මාතෘකාවයි. දඟකාර දියණියකගේ සහ පියෙකුගේ ආදර බැම්ම ගැන කියැවෙන සංවේදී සිදුවීම් කිහිපයක් එහි ඇතුළත් ය.

‘‘මීට අවුරුදු දෙක තුනකට කළින් දවසක් මම දාඩිය දමා තිබූ කමිසය ගළවා පුටු ඇන්දේ එළා පත්තරය කියවමින් සිටියෙමි. ඊළඟ පුටුවට ළමා පත්තරයක් සමග පැමිණි ඔවිනි මා කළ ලෙසම පුංචි ටී ෂර්ටය ගලවා පුටු ඇන්දේ දමා පත්තරය කියවන්නට පටන් ගත්තාය.

‘තාත්තෙ, තාත්තෙ ඊළඟට ඇගේ කරච්චලය පටන් ගත්තාය.

‘තාත්තා දන්නවද වැඩක්. මෙහෙම ෂර්ට් එක ගලවාගෙන නිදහසේ ඉන්න පුලුවන් මේ ගෙදරින්ම තාත්තටයි මටයි විතරනේ. මටත් තව ටික කාලෙකින් එහෙම ඉන්න බැරි වෙනවා.

ගැහැණු ළමයින් වයසින් වැඩෙන කතාව ඇය දුටු සුන්දර විලාසය ඒ විදිහ ය. ඇයගේ අලුත් උපන්දිනයක් එළඹෙන විට මට සතුටක් සේම බර කල්පනාවක්ද හිතට එන්නේය. අපි හැමෝම ආපහු වතාවක් ළමා වියට අතින් අල්ලාගෙන යන්නට සිටින්නේ ඇයයි. ඒ තව අවුරුදු කීයකටද?

269-270 පිටු

‘‘...... කියන්න පුතේ මොකක්ද ඕනි ඔයාට. අනිද්දනේ බර්ත් ඩේ එක?

ඇය මහා පුදුම ප්‍රශ්නයක් මගෙන් ඇසුවාය.

‘‘තාත්තේ කාටවත් තුවාල වෙන්නැති පොඩි බෝම්බයක් කීයක් විතර වෙයිද?

දෙයියනේ මේ කෙල්ල අහන්නේ මොකක්ද? මම තෝන්තුවාවට පත්වීමි.

‘‘මොකද මොකද පැටියෝ එහෙම එකක් ඉල්ලන්නෙ?

‘‘නෑ, ඔය තාත්තගේ ලැප්ටොප් එකට ගහන්න හිතෙනවා මට පුංචි බෝම්බෙකින්.

270 පිටුව

මව්පියන්ගේ ආදරය, අවධානය, ඇගයීම දරුවන් කොතරම් නම් බලාපොරොත්තු වෙනවාද? ඒ තැන පරිගණකය, දුරකථනය හෝ අන්වස්තුවක් හෝ පුද්ගලයෙක් අයත් කර ගැනීම කොතරම් මානසික පීඩනයක් දරුවකු තුළ ගොඩනගනු ඇත්ද? ඔවිනිගේ බෝම්බ කතාව දුටු සැණින් මා සිතුවේ ඒ ගැන ය.  

අතීත මතක අවුස්ස අවුස්සා රසවත්ව ගොතන්නට තිලකසිරි හපනෙකි. ඒ වගට තිලක සිත සාක්ෂි ය. මතකයන් කොතරම් දීර්ඝ වුවද එය කෙටි කර, අතීතය වර්තමානය මනාව පාස්සමින් පාඨකයා වෙහෙසපත් නොකරන කතන්දර ශෛලියක් ගොඩනගා ගන්නට කතුවරයා සමත්ව ඇතැයි සිතේ.

මේ කතා ගොන්න තවත් ඔපමට්ටම් කළ හැකි යැයි මම සිතමි. බොහෝ විට අප බ්ලොග් සටහන් පළ කරනුයේ ලියූ ‍සැනෙන්, සංස්කරණයකටහෝ නැවත කියවීමකට හෝ බඳුන් නොකරමිනි. බ්ලොග් කලාව තුළ මේ ක්ෂණික බව, ඉසියුම් නොවන බව එතරම් ගැටලුවක් නොවේ. නමුත් එකී ලිපිම මුද්‍රිත මාධ්‍යයට එන විට මීට වඩා සැලකිල්ලෙන් සංස්කරණය විය යුතු යැයි සිතමි. 

අතීතය රහ කරන්නට, අතීත කඳුලකින් වුව සහනශීලී සිනාවක් වර්තමානයට ගෙනෙන්නට, මනුස්සකමේ අසිරියෙන් දෑස තෙත් කරගන්නට, කතා ගොත ගොතා සිනා මවන්නට රිසි පාඨකයින් තිලකසිතට මනාපය පිරිනමනු ඇතැයි සිතමි. සරලව, රසවත්ව කතන්දර ශෛලියෙන් ගොඩනගන බොහෝ ජීවිත අත්දැකීම් පාඨකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා කැඳවීමට සමත්ය.

මිල රු. 400 කි. කර්තෘ ප්‍රකාශනයකි.
...............

බ්ලොග් අඩවියක පළවන ලිපි මුද්‍රිත මාධ්‍යයෙන් නැවත එළිදක්වන විට එම කෘති හඳුන්වන්නේ  Blook නමින් බව තිලක සිත එළිදැක්වීමේ උළෙලේ අශෝක ඩයස් මහතා කළ කතාවෙන් දැනගන්නට ලැබිණි. මේ පිළිබඳව වත්පොතේ ඇතිවූ සංවාදයකදී පැතුම් කියා තිබූ පරිදි මින් පෙර එවැනි පොතක් පළ වී ඇත. ඒ   c-u-l-t.බ්ලොග්  අඩවියේ පළ වූ ලිපි ඇතුළත් කොට චින්තන ධර්මදාස එළිදැක්වූ  Cult කෘතිය ය. තවත් බ්ලූකයක් ළඟදීම එළිදකින බව දැනගන්නට ඇත. ඒ ඉසිවර පරපුරේ සංවේදී වෛද්‍යවරියක වන බෝධිනී සොයුරියගේ අනිත් කොන කෘතිය ය. තරුරසීත් මුද්‍රිත කෘතියක්ව දෝතට ගැනීමේ සිහිනයක් සිතෙහි දළුලන්නේ මේ මං ලකුණු ඔස්සේ ය.

ලංකාවේත් අනාගතයේ දිනෙක බ්ලූක් සම්මාන උළෙල ක් පැවැත්වෙනු ඇතැයි සිතිය නොහැකිද? එසේ වේවායි පතමු.


Tuesday, August 19, 2014

ප්‍රේමයේ දිව්‍යමය හුස්ම ගෙන ඔබ එන්න.


කඨෝර ගී  රැල්ලකින් කන්අඩි දෙදරවමින්, ඉන් නොනැවතී එක සීරුවට හූ තලමින් ඉගිල්ලී ආ පුද්ගලික බස් රථය අගනුවර බස්නැවතුමට ගාල් වූයේ මහත්වූ ස්වාමිභක්තියෙන් ආලෝලනය වූ බලුපැටියකු හීන්සීරුවේ කූඩුවට ගාල්වෙන්නාක් වැනි සංයමයකිනි.  අවසන් මගියා ව නිස්කාන්සුවේ  බස්රථයෙන් බසින මා දෙස රියදුරු හෙලූයේ නෝක්කාඩු බැල්මක් බව වටහා ගන්නට තරම් මගේ සිත සිහිබුද්ධියෙන් පසුවූයේ නොවේ.

මේ සිහිනයෙන් ද? හැබැහින් ද? නිනව්වක් නැත. මම හෙමිහිට ඇවිද යමි. නාගරික දාංගල් හුළඟට කෙහෙරැලි නිරාවරණය වනුයේ වසර ගණනාවකිනි. නිශ්චිතව ම ගණනය කළහොත් වසර හතරකි. කල්ප කාලයක් සේ ගෙවුණාවූ නිමේෂයක් බඳු වසර හතරකි. ඇහිපිය එසවීම අසීරු ය. එතරම්ම අව්කාස්ටකය නුහුරුය. ආගන්තුකය. කෙහෙරැල් මෙතරම්ම නටන්නේ ප්‍රීතියෙන්ද, නොරිස්සුමින්ද නොදනිමි.

අවසන් වතාවට කොළඹ පයගැසූදා මුරුගසං වරුසාවක් ඇද හැලුණා මට මතක ය. කොළඹ ම සේදී ගිය තරමි. පළමු යුධ ජයග්‍රහණ සැමරුම් පෙරපුහුණුවට අගනුවරට පැමිණි සොල්දාදුවෝ තැන් තැන්වල කූඩාරම්වලට ගාල් වී නිමක් නැතිව ඇද හැලෙන වැස්ස දෙස බලා සිටියහ. ගාලු මුවදොර පිටිය කෙළවරක වේදනාවෙන් දැවෙන ඇස්දෙකකින් පිටාර ගලන කඳුළු වැස්සකි. ඒ කඳුළු වැස්සේ හිමිකාරිය මේ මම ම නොවුණිද?  සැබවින්ම එදා මට අවැසි වූයේ ජාතිවාදී උන්මාදයෙන් පුපුරු ගසන මේ කොදෙව්වම දැවී හළු වී යන සේ සාප කරන්නටය. නමුත් නොනැවතී ගලන කඳුළු වැස්සක හේදි හේදී  මා බලා උන්නා පමණි.

කෝවලන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා කෑ ගසන්නට මා කන්නගී නොවුණි. ප්‍රාතිහාර්ය පාන්නට තරම් ශක්තිමත් ප්‍රේමයක් මා සතු නොවුණිද? සන්තකයේ වූ ප්‍රේමණීය ස්මරණයන්ගෙන් පළා යනු පිණිස  මා එදා උඩරට මැණිකේ දුම්රියට ගොඩ වී ඇත්තේ සදාකාලිකව හද මත මිදෙනු පිණිස මතක සම්භාරයක් රැස් කරගෙන බව පසක් වූයේ දිනෙන් දින සීතලට ගල්ගැහෙන හදවත හුරුපුරුදු උණුසුමක් සොයා අප්‍රමාණව ළතවෙන අතර ය.

එදා මා අගනුවර හැරගියේ නැවත කිසිදිනක අගනුවර දකිනු රිසින් නම් නොවේ. නමුත්, පූර්ව නිශ්චිත නිගමන ජීවිතය සම්බන්ධයෙන් සැමවිටම සාධාරණ නොවන බව අදහාගන්නට සිදුවන අවස්ථාද එළඹේ.

හරියටම ඉන් වසර හතරකට පසුව....  

භූගත ජීවිතයෙන් මිදෙන්නට අවැසි වූයේ ඇයිදැයි සිතන්නට නොවෙහෙසෙමි. තර්කයක් නැත. ඔබේ සිංහල කවි පද ඇමිණු ඇරයුම්පත මා හුදකලා කඨෝර අන්ධකාරයෙන් එළියට ඇද දමා ඇත. මේ සිංහල කවි පද කියවන කිසිවකුත් ඔබ උපතින් දෙමළ යැයි නොඅදහනු ඇත. දෙමළ වුව, සිංහල වුව කිම? මේ සියල්ල ඉක්මවූ මනුෂ්‍යත්වයකින් ඔබ නිරන්තරව දැල්වී උන් බව පමණක් හද මත කෙටී ඇත. සදාතනිකව නොමැකෙන ලෙසිනි.  


‘‘අපි ජීවතුන් අතර..........

එන්න... අත්වැල් බැඳගන්න
ජීවිතය වෙනුවෙන් ජීවිතය පුද දුන්
නොමැරුණු මිනිසුන් සමඟ
අත්වැල් බැඳගන්න... ඔබ එන්න...
මළගිය මිනිසුන් අතරින් මිදී
ප්‍රේමයේ දිව්‍යමය හුස්ම ගෙන
ඔබ එන්න...

ජූලි 23 සවස 3.00 ට - විහාරමහාදේවී එළිමහන් රඟබිමට.....

( උත්තරා ඔයා එන්නම ඕන.... ආදිත්‍ය වෙනුවෙන් විතරක්ම නෙවෙයි ලෝකය වෙනුවෙන්, ආදරය වෙනුවෙන් ඔයා එන්නම ඕන...)


ඇරයුම්පත අගිස්සේ ලියා තිබිණි. මීන වරල් සේ සැලෙන ලෙලෙන ඒ අතකුරු නිර්මලා ගේ ය. 



- නිමාවක් නොවේ මේ ඇරඹුමක් පමණි... -

Wednesday, August 6, 2014

එළිසබෙත් බැහැදැකීම......

Artist: Corby Eisbacher

ගාබ්‍රියල් දූත තෙම
මංගලම් කියන්නට
ආවෙ නෑ තාම
අඳුර කැන්දා කුටියට
වසා දැම්මා කවුළුව
කාලෙකට කළින් මම....

නිදි නොනිදි තුන්යම
දුටු නේක සිහිනතර
සුදු පියුම හොඬින් ගත්
සුසුදු ඇත් පොව්වෙක්
උන්නෙ නෑ එළිසබෙත්‍‍....

කිරි හීන බොඳ වුණේ
අකලටම...............
කොයි දරුවත් මට
මගේ දරුවෙක්
හිත හදාගත්තා මම
අන්තිමට....

ඇත්ත එළිසබෙත්,
ඔයා කිව්ව හැමදාම
නිදිවදින්න නම්
එකයි කොයි පිරිමියත්..
ඒ වුණත්,
තුන්හිතම කූද්දන ප්‍රේමයක්
කුස දරන හීනයට තානයක්
ඇත්තෙ නෑ හැම පිරිමියෙක් ළඟම
ඒ නිසයි
තනි යහන තනිකඩව 
තවම.....

ඇඹරැල්ලා මාළුවයි
පොලොස් ඇඹුලයි
පරිප්පු තෙම්පරාදුවට
කලවම් පලා මැල්ලුමයි
කෙහෙල් කොලයේ එතූ
බත්පත
අරන් ආ‍වා උදහැනැක්කෙම
අතිජාත මිත්‍ර ස්නේහයට
උත්තමාචාරය උත්තරීතර
කුස ඔත් දරු කළලයද
ඉල්පුණා ‍මෙනි ප්‍රේමයෙන් බරව...

ඉතින්, එළිසබෙත්
අම්මලා වෙන්න හැකි නෙවැ අපට
එකම දරු පැටියෙකුට.............



2014.08.06

Friday, August 1, 2014

Walking Path



‘‘ඇයි මේ නාට්‍යයට මේ තරම්ම ක්‍රවුඩ් එකක්... කාලෙකින් ඩ්‍රාමා එකකට මේ තරම් සෙනගක් ඉන්නව දැක්කෙ.

සුපැහැදිලි ඉංග්‍රීසියෙන් කතාව ඇරඹූ නාගරික ඉහළ මධ්‍යම පාන්තික හැඩරුව දැරූ මැදිවියේ කත මගේ සිංහලයට අනුගත වෙමින් එවර කතාව ඇරඹූයේ සිංහලෙනි.

‘‘මං හිතන්නෙ මේ නමට තියෙන ආකර්ශණය වෙන්න ඇති... අගනුවර වටා ඇවිදින මං තීරුවල නිතර දකින වර්ගයේ බාල මහලු තරුණ රූපකායන් නිරීක්ෂණය කරමින් මම පැවසීමි.

‘‘ම්... ඒක තමයි, මමත් ආවෙ වෝකින් පාත් ගැන මෙයාල මොනවද කියන්න හදන්නෙ කියල බලන්න. ඒක කොයි තරම් හොඳ වැඩක්ද? මිනිස්සුන්ට නිදහසේ ඇවිදින්න පුළුවන්නෙ. මේගොල්ලො හොඳ දේටත් ගහනවනෙ...  ඈ පැවසූයේ නොරිස්සුමිනි. එවැනි කුතුහලයකින් හෝ නොරිස්සුමකින් පැමිණියවුන් තවත් වේදැයි මම හාත්පස දෙනෙත් යැව්වෙමි.

ඒ අමුතුම අමුතු ලොවකි. වින්දනයෙන් එහා ගිය සක්‍රිය සමාජ දායකත්වයක් එබඳු ප්‍රේක්ෂක පිරිසකගෙන් ලැබිය හැකි දැයි මසිත මගෙන් ම විමසයි.

අප සිටියේ ලයනල් වෙන්ට් රඟහලේ ආලින්දයේ වූ සෝපාවෙහි අසුන් ගෙන ය. හරියටම පසුගිය 26 වන දා පස්වරු හත ආසන්නයේ ය. ජයම්පති ගුරුගේ අධ්‍යක්ෂණය කළ Walking Path වේදිකා පෙළහර දකිනු රිසියෙනි.

.............................

තිර රෙදි දෙපසට ඇදී යත්ම විවර වූ වේදිකාව මුළුමනින්ම නිල්පැහැයෙන් යුතුය. අහස් නිල හෝ සයුරු නිල සිහිකැඳවන ඒ දීප්තිමත් නිල තවදුරටත් ලාංකීය පොළව මත නෙත්සිත් සනහන වර්ණයක් පමණක්ම නොවන බව ක්ෂණිකව සිහිපත් වේ.

තනි සුදු පැහැයෙන් සැරසුණු නළිනිලියන් මළවුන්ගේ ලොවක් සිහි කැඳවන සුළු ය. නීලාවකාශයක සැරිසරන මළවුන් මෙනි. සියලුම වේදිකා භාණ්ඩ, රංග භාණ්ඩ පවා සුදු පැහැයෙනි. සොහොන් බිමක හිස් බව මතුකරන  නිර්මාණ සැලසුමකි.

නාට්‍යය ඇරඹෙන්නේ 2009 වසරේ මැයි මාසය සිහිගන්වන දර්ශනයකිනි. යුධ ජයග්‍රහණයෙන් උදම් වූ සාමාන්‍ය මිනිස් සමූහයක් අවි අත දැරූ සොල්දාදුවන් සමග විජයග්‍රහණය සමරන අයුරිනි. නිදහස් සහ කෙළිලොල් ස්වභාවයක් දරන එකී මිනිස් සමූහය ඇවිදින මං තීරුවල දිවීමෙහි නිරත අය නිරීක්ෂණය කරනුද, ක්‍රමයෙන් එකී දිවීමට හවුල් වන අයුරු ද, ඒ සමග සමූහයේ පැවැත්ම වෙනස් වන අයුරුද ක්‍රමිකව ගලායන රංග කාර්යය තුළ නිරූපණය වේ.

දෙබස් නැත. අභිරූපණ රංගනයක් මෙනි. සංගීතය භාෂාවෙහි අඩුව සපුරමින් රංග කාර්යයට අත්වැල් සපයයි. ඒ අතර හිනැහෙන, වැළපෙන, සුසුම්ලන හඬ පමණක් ම සවන් ගැටේ.

අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වන රංගය නිරන්තරයෙන් අප අත්දකින සමාජ යථාර්ථයට අවදිවන්නට කරන නිහඬ ඇරයුමකි.

පශ්චාත් යුධසමය තුළ ස්ථාපිත සමාජය, ඇවිදින මං තීරු හරහා ගොඩනැගෙන නව සංස්කෘතිය තුළ සංකේතගතව නිරූපිතය.  නව තාක්ෂණය සමග මිනිස් ජීවිත හුදකලා වන අයුරු, මානව සම්බන්ධතා දුරස් වන අයුරු, ඒකාකාරී රාමුවක ජීවිත සිරගත වන අයුරු වේදිකාව මත දිගහැරේ.

එය හුදෙක් ඇවිදින මං තීරු පිළිබඳ කතාවක් පමණක් ම නොවේ. සමස්ත ලාංකීය සමාජයේ වර්තමාන පැවැත්ම පිළිබඳව වන කතාවකි. තවදුරටත් සාමූහිකව සද්භාවයෙන් එකමුතුවීම, ක්‍රියාකාරී වීම, අදහස් හුවමාරුව සිදු නොවේ. නවීන තාක්ෂණය පුද්ගලයා වඩ වඩාත් හුදකලා සත්වයකු බවට පත්කරවන අයුරු පෙනෙයි.

එකී සමාජය තුළ ප්‍රේමය, මිත්‍රත්වය, කරුණාව, දයාව වැනි මානුෂික වටිනාකම් පවා අඩු ලංසුවට වෙන්දේසි වෙන බව අවබෝධ කරගන්නටත් එයට එරෙහිව පෙළගැසෙන්නටත් වේදිකා පෙළහර පමණක් ප්‍රමාණවත් නොවන බව හැඟෙයි.    

යුද්ධය නිමාවීමෙන් පසු සියලු යසිසුරින් පිරි සමෘද්ධිමත් සිහිනයක ඇලී ගැලී සිටින ජනතාව මිලිටරි සපත්තු පහරින් තිගැස්සෙයි. පීඩාවට පත්වෙයි. පහර කයි. මියැදෙයි. සිතූ පැතූ නිදහස සිහිනයක් බව පසක් කරගන්නා ඔවුන් නිහඬවම වැල යන අතට මැස්ස බඳින යුරු පෙනෙයි. දැනෙයි. මළමිනී මතින් පනිමින් පවා ඔවුන් නිහඬවම මළවුන් සේ දිව යයි. එරෙහිව නැගී සිටින අල්පතර මනුෂ්‍යත්වය පවා මර්දනයට ලක් වේ.

ඒ අතර රණ විරුවන්ව පිදුම් ලැබූ සොල්දාදුවන් කම්කරුවන් ව, උද්‍යාන පාලකයන් ව මහමගට ඇද වැටෙයි. දැඩි මානසික පීඩනයක සිරගතවූ ඔවුන් ද අප සේම පවතින ක්‍රමයේ සිරකරුවන් නොවේද යන ගැටලුව සිත මතුවෙයි.

කුමන සංවර්ධන ඓශ්චර්යයන් සිදුවුවද දරිද්‍රයාගේ තැන වෙනස් වී නැති අයුරු උද්‍යානය අමදින කම්කරුවාගේ ජීවිතය තුළින් නිරීක්ෂණය වේ.  

මෙකී නොකී තවත් බොහෝ සමාජ සංසිද්ධීන් මෙම නාට්‍යය තුළ ප්‍රේක්ෂකයාට අබිමුඛ වේ. විටෙක සිනා මතු වුව ද, සිනහවට වඩා  වැළපිය යුතු තත්වයක් නොවේදැයි සිතේ. සිනහ විය යුත්තේ අප අපටම නොවේද? Walking Path ගැන කියන්නේ කුමක්දැයි දකිනු රිසින් පැමිණි යම් අයෙකු වේ නම් Walking Path හරහා කතා කරන සමස්ත සමාජය පිළිබඳ ඛේදාන්තයට යම් තරමක හෝ අවදි වූවා නම් එය සතුටට කරුණකි.

වේදිකා නාට්‍යයක ගුණාගුණ විවරණය කරන්නට තරම් නාට්‍ය හා රංගකලාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් හෝ හැදෑරීමක් මා සතු නොවේ. මේ ලියූවේ Walking Path හි සැරිසැරුමෙන් මට දැණුනු හැඟුණු අදහස් පමණි. ආරම්භයේ සිට අවසානය දක්වා නෙත සිත වේදිකාව මත අලවා තබා ගැන්මට නාට්‍යය සමත් විය. එය නාට්‍යය හා සක්‍රීයව බැඳුණු සැමට සමානව බෙදී යා යුතු ප්‍රශංසාවක් යැයි සිතමි.
 
 

Walking Path වේදිකාව මත රඟ දැක්වෙන අතර ලයනල් වෙන්ට් රඟහලේම චන්ද්‍රගුප්ත තේනුවර විසින් 1983 කළු ජූලි අත්දැකීමට සමගාමීව වාර්ෂිකව පවත්වන දෘශ්‍ය කලා ප්‍රදර්ශනය ද පැවැත්විණි. එය ඉහත නාට්‍යෙයන් ප්‍රකාශිත අදහසම තවත් කලා මාධ්‍යයකින් කියාපෑමකි. සමස්ත සමාජයේ මුනිවත බිඳ හැර යථාර්ථයට අවදි කරනු පිණිස මෙකී කලාකරුවන් දරන වෑයම අගය කළ යුතු ය.

එක් මූර්ති ස්ථාපනයක් එකපිට එක තැබූ ගඩොල් කුළුණු මත මිනිස් හිස් ය. එකී මිනිස් හිස්වල ඇස් කන් නාසා තිබුණද මුව නැත. එනයින්ම ගොලු ය. අප එහි ගොඩවැදුණු සන්ධ්‍යාවේ එකී ගොලු බව සමස්ත කලාගාරය පුරාම විහිදී පැතිරී ගල් ගැහී තිබූ බවක් හැඟිණි.

අනෙක් මූර්තියේ හිස නැති සෙබලෙකි. ඒ සෙබළාට මුවා වී කඩු පොලු ගත් මැර අත් රැසකි. සෙබලා සිටින්නේ අපේ ආරක්ෂාවට නොව එකී මැර සේනාවේ ආරක්ෂාවට බව තේනුවරයන් පවසයි. එය පැහැදිලි සත්‍යයක් බවට මෑතකාලීන බොහෝ අත්දැකීම් සාක්ෂ්‍ය දරන්නේ නොවේද?


නමුත් මෙකී සියලු ප්‍රයත්නයන් කේන්ද්‍රගත වන්නේ කොළඹ මූලික කොටගෙනය. යම්තමින් කුසපොත්ත රවටාගෙන, ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති බලා නින්දට යන සාමාන්‍ය ජනතාව දැනුවත්භාවයෙන් පුබුදුවන්නට සාමාන්‍ය මිනිසුන් අතරටද යා හැකි මාධ්‍ය කලා භාවිතාවක් පිළිබඳව සිතිය යුතු කාලය එළඹ ඇතැයි සිතේ. නොඑසේ නම් සිදුවනුයේ බහුතරය එකම රැල්ලකට ගසාගෙන යන වන විට උඩුගම් බලා පිහිනන අල්පතරවුන් පවා රැල්ලට හසු වී තැලී පොඩි වී, ගිලී යන අන්දම බලා තැවි තැවී සිටීමට විය හැකි ය.

..............................

නාට්‍යය නිම වන විට රාත්‍රිය ය. ත්‍රී රෝද රථයකින් ආපසු එන ගමනේ දුටු කොළඹ අසිරිය සැබවින්ම සුන්දර ය. විහාරමහාදේවිය පහන් වැටකින් ඒකාලෝක ව තිබිණි. මදඅඳුරු අහස පසුබිම් කොටගෙන පුරහල ධවල පැහැයෙන් බැබළෙයි.

නමුදු ඒ සුන්දරත්වය විඳිනු හැකි කොතරම් අල්පතර පිරිසකට ද?

කෘතිමව මවන්නාවූ මෙකී සුන්දරත්වය වෙනුවෙන් අප විසින් දැරිය යුතු පිරිවැය කොතරම් ද?

මේ අසිරිමත් කොදෙව්වේ බහුතරය එකී පිරිවැය වෙනුවෙන් අසීමිත ජීවන බරක් උහුලන දරිද්‍රභාවයේ ගිලී සිටින ජනතාවක් නොවේද?