පිටු

Thursday, May 18, 2017

පමා වී සමා අයදින මසිත අසරණය...

ඉටි පහනක් දල්වා ගත් දරුවෙක්...
පින්තූරය ලාල් ලක්ෂ්මන්

‘‘තරංගි නංගි ලිව්ව සුධාකරන්ගෙ කවිය ගැනත් මං කතා කරන්න කැමතියි විපුලි කතා කළ තැනින් චුට්ටක් එහාට.  වරදකාරී හද රිදුම, දැන් මේ හෘද සාක්ෂිය රිදෙන එක නම් හොඳයි. රිදුන්නැති එක ලොකු ගැටළුවක් තමයි.  පසුව හෝ රිදෙන එක හොඳයි. මම මේ කවියට ආදරය කරන්නෙ මුල්ලිවයික්කාල්වලින් පසුව හෘද සාක්ෂියක සටහනක් විදියට. අපි දන්නවා මුල්ලිවයික්කාල් කියන්නෙ අපේ රටේ සංකේතයක්.

යුද්ධය ආරම්භ වන මුල්භාගයේ මට මතකයි අපේ රටේ කවියො, ගීත රචකයො මහා මානව දයාවකින් ඒ ගැන ලිව්වා. හැබැයි යුද්දය අවසන් වුණායින් පස්සෙ ඒ ප්‍රේම කවි හුඟක් නැති වුණා. ප්‍රේමයත් මට පේන්නෙ නන්දිකඩාල් කලපුවෙ ගිලුණා වගේ. මොකද එතකන් අපට පේනවා උතුරු දකුණු ප්‍රේම ගීත තොගයක්. පිච්ච මල් සුවඳ ගැන, 83 ගැන අපේ මහා කවියා රත්න ශ්‍රී කියනවා ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන්, රත්න ශ්‍රී ගෙ සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී.. ඒවා විශිෂ්ට නිර්මාණ. හැබැයි ඒ නළලේ තිලක තියන කිරිල්ලි නැතිවුණායින් පස්සෙ ගීතයක් උපදින්නෑ. නළලේ තිලක තියන කිරිල්ලිව එහෙට ගිහිල්ල හමුවුණාම ( ඈ නඩේසන්ගෙ බිරිඳ. ඈ සිංහල කාන්තාවක්) ඇය හමුවුණාම එදා ඇතිවෙනවනෙ කම්පනයක්. ඒ කම්පනයෙන් ඒ ගීතය ලියවෙනවා. නමුත් ඊට වඩා ප්‍රබල කම්පනයක් ඇති වෙන්න ඕන නැද්ද ඒ නළලේ තිලක තියන කිරිල්ලි යුද්ධය අවසානයෙදි අහිමි වුණාම. එතකොට අපට කොච්චර කම්පනයක් ඇති වෙන්න ඕනද? එතනදි ලංකාවෙ කවි සිත, කලා සිත එක තැනක ගල්වෙනවා.

මේ කවියට මං කැමති වෙන්නෙ අන්න ඒ ගල් හිත දැන් ටික ටික හරි බුරුල් වේගෙන එනවා කියන අදහසින්. ඒක හොඳයි. ඒක අවශ්‍යයි. සංහාරයෙන් පසු ලියවෙන කවි කියල සත්හඬේ කවි පිටුවක් යනවා. ඒකෙ විවිධ අර්ථයන් තියෙනවා. මෙතනදි මේ සුධාකරන් කියන දෙමළ දරුවා, යෞවනයා ගැන හිතල තමයි ඇය මෙහෙම කියන්නෙ.

දෑස් ගැඹරෙහි කෙවෙන මැතිරිල්ල
විස හී සර හිතේ ඇමිණිල්ල
දෙදරවා ළය මවා කැළඹිල්ල
උදුරගනු ඇයි මෙලෙස සැනසිල්ල...

තරුණයව යුද්ධයට පසු දකිනකොට, ‘අනේ මේක ඉවරයි‘, ‘යුද්දෙ ඉවරයිකියල අපි යම් සැනසිල්ලක උන්නනෙ, ඒ සැනසිල්ල උදුරගන්නවා. ඇත්තටම එහෙම සැනසෙන්න පුලුවන්කමක් නෑ මේක අස්සෙ. මෙලෝ සැනසිල්ලක් නෑ. මොකද යුද්දයට හේතු වෙච්ච කාරණා තාමත් එසේම තියෙනවා. ඒ බවට සාක්ෂිකාරයො තමයි දැනට ඉතුරු වෙලා උතුරෙ ඉන්න හැම කෙනෙක්ම. ඒ නයින් පාර දිගේ ගිහිල්ල නටබුන් බැලුව කාගෙවත් සැනසිල්ල කැඩුණෙ නෑ. දකුණෙ ඉඳන් උතුරට ගිය ආතල් කැඩුන්නෑ. ඒගොල්ලන්ට ආතල් ම තමයි ලැබුණෙ ඒ පාර දිගේ ගිහිල්ලා. 

නමුත් ඒ පාරෙන් එහාට ගිහිල්ල සුධාකරන්ල හමුවෙනකොට, අනූදාහක් වැන්දඹුවො හමුවෙනකොට ඇත්තටම ආතල් කැඩෙනවා. ඒගොල්ලන්ව හමුවෙන්න ඕන, එතකොට තමයි මේක කැඩෙන්නෙ. දැනෙනවා ඒ ප්‍රශ්න එහෙම ම තියෙන බව. ආයෙ අපට යුද්ධයක් එන්න පුලුවන්. උදුරගනු ඇයි මෙලෙස සැනසිල්ලදකුණේ සමාජය, සිංහල සමාජය යම් සැනසිල්ලක් ලැබුව නම් ඒ සැනසිල්ල උදුරගන්න සැනසිල්ලක් බවට පත්වෙනවා මේකට අදාළ ඊළඟ වැඩ ටික උනේ නැත්නම්. ඒ නයින් කාපට් පාරෙ නටබුන් හෝ ඒ විශිෂ්ට ජයග්‍රහණයේ සැමරුම්, සුන්දරත්වය බලන්න යන මිනිහෙක් කිසිවක් දකින්නෙ නෑ. නමුත් කවියෙක්ට ඒ දුර යනකොට එයාට දකින්න පුලුවන් බොහෝ දේ තියෙනවා.‘‘

- මහින්ද නාමල් - තරු ඇස් රහස් කතිකාවේදී (2016.06.05 මීගමුව)


වරදකාරී හද රිදුම
==========

සුධාකරන්

දෑස් ගැඹරෙහි කෙවෙන මැතිරිල්ල
විස හී සර හිතේ ඇමිණිල්ල
දෙදරවා ළය මවා කැළඹිල්ල
උදුරගනු ඇයි මෙලෙස සැනසිල්ල...

මාවිල් ආරු නෙත් වසා ලූ ඇසිල්ලේ
නොනිදා රෑ තුන්යමේ තුන් සිතම දැවිල්ලේ
දුරකථන සුසුමටත් ඇසිපියන් සෙවිල්ලේ
සුසුම් ගිනි මැවී ඇස් බොඳවුණා ඇසිල්ලේ...

ඇමිණිලා තිබූ හිත සොල්දාදු හදවතක
නිවී යුද ගිනි සිනා මැවෙන දින ගැන්නාට
උතුරුකර ගිනි හුළඟ මුසුව ආ විලාපෙක
කඳුළු කැටි කැටි වැටී ළය තෙමුණි සීරුවට...

කාකි නිල කබායේ තරු කුමට මගෙ ලොවට
හදේ තෙත මුදනු මිස ගිනි හුළඟ නිවෙන්නට
දිනපතා මතුරනා ජපමාල පන්තියට
ඉහිරුණිද මෙත් සිහිල අවි දැරූ දෑතකට...

ඒත් මට දැනෙන්නෙම වැරදියි වගේ මම...  

ඇද වෙවී මුව ඇදෙන සිනා ඉර බියකරුය
ගින්දරයි ඇසේ තෙත ලෝ දියක පෙරහුරුය
සන්සුන්ව දිගු කරන සුරත සීතල දැඩිය
පමා වී සමා අයදින මසිත අසරණය...


තරු ඇස් රහස් 42-43 පිටු


ඒ කතාවෙන්ම තවත් කොටසක්...


‘‘කාලය ඉක්මගිහින් නිසා අපි කතාබහට ඉඩදෙමු. මම තවත් කවි කිහිපයක් ගැන කතා කරන්න හිතුවා. නමුත් කාලය ඉක්ම ගිහින් නිසා එය අත්හරිනවා. මම කතා කළේ එක් විෂය ධාරාවක කවි නිසා ඉතාම පෞද්ගලික අනුභූතියක් ගැන කතා කරන්න හිතුවා. අපට මේ සමාජයෙන් වෙන්වෙන්න බෑ කියන එක පෙන්වන පුංචි කවියක්.

මැයි මහේ මල් වැස්ස අදත් ඇද හැලෙනවා
ගාලු මුවදොර පිටියෙ ඔබත් ඇති හිතෙනවා
ඇසිල්ලක හෝ ඒවි දෑස් මඟ බලනවා
අපි අපේ නොවන බව ඒත් හිත දන්නවා

මේක අතිශය පෞද්ගලික කාරණයක්. ගාලු මුවදොර පිටියෙ විජයග්‍රහණයේ යුද සැමරුම තමයි තියෙන්නෙ. පෞද්ගලික සම්බන්ධයක් තියෙන තමන් ආදරය කළ කෙනෙක් එතන ඉන්නවා. සොල්දාදුවෙක්. නිමිත්ත තමයි ඒක. ඇසිල්ලක හෝ ඒවි දෑස් මග බලනවා. ඇය යනවා ගාලු මුවදොර පිටියෙ මේ සැමරුම බලන්න. එයා යන්නෙ යුද ජයග්‍රහණය සමරන්න නෙවෙයි. එයා ආදරය කළ කෙනා ඇසිල්ලක හෝ මේ පෙරෙට්ටුවෙ ගමන් කරයි, දකින්න ලැබෙයි වගේ බලාපොරොත්තුවක්.

රුහිරු කඳුළැලි ගඟක පාවෙලා ආ ජයට
ආ වඩන සැමරුමක නැගුණ වෙඩි හඬ සැරට
විඩාපත් වත පිපුණි වැහි අඳුරු අහස යට
නිලැති නිල ඇඳුමෙ තරු දිලිසුණා ස්නේහයට...

මේ යන ආදරවන්තිය දන්නවා මේක විජයග්‍රහණයක් නෙවෙයි. ඒ නිසා මම එන්නෙ නෑ මේක බලන්න නෙවෙයි, පෞද්ගලික ජීවිතේ කාරණා අස්සෙ ඇයට ඔහුව දකින්නත් ඕන. මං කියන්නෙ මේ දෙක අතර තමයි මනුෂ්‍යත්වය තියෙන්නෙ. මනුෂ්‍යත්වයේ ගැටුම තියෙන්නෙ. ඇය එය බලන්න යන්නෙ මහ විජයග්‍රහණයට ආවඩන්නියක් ලෙස නෙවෙයි. මං මෙතනදි කියන්න උත්සාහ කළේ අතිශය පෞද්ගලික අනුභුතීන් පවා සමාජයේ පොදු අත්දැකීමෙන් තොරව විවරණය කරන්න බෑ කියන එක. ‘මම කියන්නෙ මුළු සමාජයමයි. ඒකෙන් තොරව ‘මම කෙනෙක් හොයනවනනම්  අපිට ඇත්ත මම කෙනෙක් ලැබෙන්නෙ නැහැ. ‘‘


Wednesday, April 26, 2017

නුඹේ සිහිනය මගේ සිහිනය පරාජිත නැහැ පුතේ


ළදරු ජේසු වඩාගෙන සිටිනා මරියාවන්ගේ දසුනකි.

( බාලොලි ලොලි කියලා ගීතය පිළිබඳව http://jesustodaysl.org වෙබ් අඩවියට ලියූ ලිපියකි. )

ගැහැනියක ස්වකීය ජීවිතයේ ලබා ගන්නා උත්තරීතරම පදවිය මව් පදවිය බවට විවාදයක් නැත. ඇය ජීවිතයේ ලබන උතුම්ම සම්පත ඇගේ දරුවන් නොවන්නේද? ඇය ද එබඳුම අම්මා කෙනෙකි. නමුත් සාමාන්‍ය මවකගේ වගකීමෙන් එහා ගිය විශ්වීය වගකීමක් භාරගන්නට ඇයට සිදුවිය. ‘‘මේ මම ස්වාමින්වහන්සේගේ දාසිය වෙමි. ඔබ කී වචනය ලෙස මට සිදුවේවා.‘‘ කියමින් ස්වර්ගීය කැමැත්ත මේ මහපොළව මත යථාර්ථයක්ව ජනිතකිරීමේ වගකීමට උර දුන් ඇය කිසිවිටෙක ඒ වගකීම පැහැර නොහැරියාය.

By Larry Mullins and Joan Batson Mullins
ග්‍රේබියල් දේව දූතයා යොවුන් මරියාට දර්ශනය වූ අවස්ථාව  - ඇය දේව පුත්‍ර ජේසුගේ මව වීමට තෝරා ගෙන ඇති බව ප්‍රකාශ වෙන්නෙ මේ අවස්ථාවෙදි....

මානව විමුක්තිය උදෙසා මනුෂ්‍යත්වය ගෙන පැමිණෙන්නාවූ දේව පුත්‍රයා කුස දැරීමේ වගකීම එකසිතින් බාර ගත් ඇය කෙබඳු නිර්භීත ගැහැනියක් විය යුතු ද? පියෙකු නැති දරුවකු කුස දැරීම බරපතල සමාජ අපරාධයක්ව තිබියදී පවා ඒ සා ධෛර්යයක් පෙන්වීම සැබවින්ම විස්මිතය.  ඇය එතරම්ම දේව ආදරයෙන්, මානව දයාවෙන් පිරිපුන් ධෛර්යවන්ත ගැහැනියක විය.

ඈ මරියාවන්ය. ජේසුස්වහන්සේගේ ආදරණීය අම්මා ය.

බාලොලි ලොලි කියලා පිදුරු ගොඩේ තියලා
නැළෙව්වා නුඹ විශ්මයෙන් මම රුදුරු ඒ රෑ යාමේ
මතක පොත පෙරළේ දිව්‍ය සිත මතුයේ
නුඹේ සිහිනය මගේ සිහිනය පරාජිත නැහැ පුතේ
පරාජිත නැහැ පුතේ...

අධිරාජ්‍යයක නියෝගයක් පිළිපදිනු පිණිස ජන සංගණනයක් වෙනුවෙන් දුර බැහැර ගෙවා නාඳුනන කුඩා නගරයකට ආගන්තුකයින් ලෙස ඔවුහු පැමිණියහ. ඒ වනවිටත් විළිරුදාවෙන් පෙළෙමින් සිටි ගැබිණි මරියා සහ ඇයගේ ස්වාමිපුරුෂයා වූ ජුසේ වෙනුවෙන්  කිසිදු නවාතැන්පළක ඉඩකඩ නොවුණි. අවසන කුඩා ගවහලක් සිය පුතුගේ තිඹිරි ගෙය කොටගත් ඇය ඒ කටුක එලෙසින්ම විස්මිත රැයේ සිය පුතු නළවන්නට ඇත්තේ කොතරම් දයාර්ද්‍ර හදින් විය යුතු ද? එලෙසින්ම සිය පුතුගේ අනාගත මෙහෙවර පිළිබඳ සුවහසක් සිහිනයන්, අපේක්ෂාවන් මෙන්ම සාංකාවන්ද ඈ සිත තුළ පෙරළි කරන්නට ඇත.

ජන සංගණනය සඳහා බෙතේලෙහෙම් නුවරට එන ගැබිණි මරියතුමිය කොටළුවකු පිට නැගී
ඇයගේ ස්වාමිපුරුෂයා ජුසේතුමා සමඟින්

කුසට නුඹ ආ දා පටන් අපමණක් නින්දා
මාත් සමඟින් දරා ගත් පුත
මාත් එන්නම් නඟිමු මේ හෙල
කඳුළු කුමටද මයෙ පුතේ
බලාපන් ඇස් දෙක මගේ
දිරිය දිළිසෙන අරගනින්
නුඹේ මෙහෙවර නිම කරන් 

.... මම ඒ මොහොත සිතෙහි ඇඳ ගනිමි. ලේ වැකි සිරුරින්, කුරුසියේ බරින් පීඩිතව ඇදෙන තරුණ ජේසු පසෙකින් ගමන්ගන්නා මරිය මව්තුමියගේ රුව වේදනාවක් ජනිත කරයි. දරන්නට අසීරු වේදනාව ළය තුළම සිර කරගෙන ඇය ස්වකීය පුත්‍රයාට ධෛර්යය දෙන්නීය.....   

තම පුතු කුස පිළිසිඳි දා සිට ඈ මුහුණ දුන්නේ ගැහැනියකට, මවකට උහුළා විඳ දරාගත හැකි ඉරණමකට නම් නොවේ. දරුවකු කුස දරන බව දැනගත් විට විවාහ බස් දී සිටි තරුණයා ජුසේ පවා රහසින් ඇය අත්හැර දමන්නට සිතීය. ඒ වැළකුණේ දිව්‍යමය මැදිහත්වීමකින් බවට සුභාරංචිය පවසයි. පිළිසිඳගැන්මේ සිට කල්වාරි ගිරි හිස කුරුසියෙහි මරණය දක්වාද, ඉන්පසුවද තම පුත්‍රයාගේ ජීවිතය හා බැඳී සිටි මරිය මාතාව ඒ ධර්මදූත මෙහෙවර සාක්ෂාත් කරගන්නට අපමණ මෙහෙවරක් ඉටුකළාය. ඇගේ මව්ගුණය දිව්‍යමය වන්නේ, මහත් ඉවසීමෙන්, කැපවීමෙන්, දරාගැනීමෙන්, නොපසුබස්නා හැඟීමෙන් ඈ සිදුකළ මෙහෙවර තුළය. 

ජීවිත අරගල හමුවේ පසුබස්නා තම දරුවන්ට මෙලෙස ධෛර්යයක් වන්නට අද අපේ මව්වරුන්ට හැකියාවක් ඇත්ද? ස්වාර්ථය පසෙකලා සමස්ත සමාජය වෙනුවෙන් මෙහෙවරක නියැලෙන තම දරුවන්ට ආශිර්වාද කරන්නට අද අපේ මව්වරුන් පෙළඹේවිද? අප ගැඹුරින් සිතා බැලිය යුතුය. 

නොදැන උන් පුතුනේ සඳුන් ගස තැලුවේ
සුවඳ ගව් සිය පැතිරෙනා බව
මම දනිමි පුතුනේ
නුඹ මැරී වැටෙතත් බීජයක් ලෙස මැයි
දළු දමා මහ ගසක් වන බව
මම දනිමි පුතුනේ...

මනුෂ්‍යත්වය, යුක්තිය, සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින ඕනෑම අයකු පවතින සමාජ, දේශපාලන, ආගමික අධිපතිවාදයට එරෙහි ද්‍රෝහියකු සේ හංවඩුගැසීම අදටත් අඛණ්ඩව සිදුවන්නකි. තරුණ ජේසුට කුරුසියේ මරණය උරුමවනුයේ අන්කිසිවක් නිසා නොව එකල පැවති සමාජ, දේශපාලන, ආගමික අධිපතිවාදයට ඔහු පෙන්වා දුන් මානව විමුක්තිය පිළිබඳ පණිවිඩය දරන්නට නොහැකි වීම හේතුවෙනි. ඒ වටා රොද බැඳි මිනිසුන් තම පැවැත්මට අභියෝගයක් වන බව ඔවුන් වටහා ගත් හෙයිනි. නමුත් සඳුන් ගස තලා දැමූවට එහි සුවඳ විහිදෙනු වළකනු හැකිද? තලන්නට තලන්නට වානේ පන්නරය ලබන්නා සේ, තලා පෙලා දමන විට වඩ වඩාත් සඳුන් සුවඳ පැතිරෙන්නා සේ පීඩිත ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ජේසුස් වහන්සේ ගෙන ගිය දූත මෙහෙවර තවදුරටත් මුවහත් වන්නට විය. එය මරාදැමීමෙන් වුව නවත්වනු හැකි වූ ගමනක් නොවීය.

ජේසුතුමාගේ ගෝලයකු වන ජුවාම් සහ මග්දලාහි මරියා සමඟ කල්වාරිය නඟින මරියතුමිය

ජේසුතුමන් මරාදැමීමෙන් පසුව බියපත්ව, තැන තැන සැඟව සිටි සමූහයාට ඉක්බිති ශක්තියක් වූයේ ද මරියාවන්මය. සෙනග රොක් වූයේ ඈ වටා ය.

කඳුළු කුමටද මයෙ පුතේ
බලාපන් ඇස් දෙක මගේ
දිරිය දිළිසෙන අරගනින්
නුඹේ මෙහෙවර නිම කරන් ....

කුස පිළිසිඳි දා සිට ම, මෙලොව එළිය දුටු දා සිටම තම පුතුට පැවරී ඇති විශේෂ දූත කාර්යයට ඔහු සූදානම් කරන්නට ඇත්තේ මරියාවන් විසින් බවට සැකයක් නැත. මරියතුමියගේ උදානගීතය මැනවින් විමසා බලන විට, තම පුතුට පැවරෙන කැඳවීමේ කාර්යභාරය කුමක්ද, එහි බරපතල බව කෙබඳුද? ඒ සඳහා තමාට පැවරී ඇති සමාජ වගකීම කුමක්ද යන්න පිළිබඳව ඇය මනා අවබෝධයකින් පසු වූ බව පැහැදිලිය. මව සහ පුතු අතර වූ මේ සුවිශේෂ බැඳීම, අන්‍යෝන්‍ය අවබෝධය, දිරිගැන්වීම මානව විමුක්තිය වෙනුවෙන් ජේසු තරුණයා ගෙන ගිය අරගලයට පන්නරයක් වන්නට ඇති බව නිසැකය.

යට කී සියලු ජීවන අරුත්, සමාජ දේශපාලනික අරුත් මනාව කැටි වන සේ මේ ගීතයෙහි අධ්‍යාත්මය වදන් බවට පත් කළේ මහින්ද නාමල් සොයුරා විසිනි. මහින්ද නාමල් විසින් රචිත, ගරු ඇන්ටන් ජයනන්ද පියතුමාගේ ස්වර සංරචනයෙන් අරුත් ගැන්වුණු, විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් හඬින් ගැයෙන මේ ගීතය හුදු ගීතයක අරුත ඉක්මවා, විශ්වීය හැඩරුවක් ගන්නේ එහි එන මානව විමුක්තිය පිළිබඳ පරිණත දැක්ම සමඟිනි. එය මරිය මව්තුමියගේ පාර්ශවයෙන්, එසේත් නැත්නම් පීඩිත මිනිසුන්ගේ අරගලය වෙනුවෙන් ස්වකීය පුත්‍රයා කැප කළ අම්මා කෙනෙකුගේ පාර්ශවයෙන් ලියැවී තිබීම වඩාත් හෘදයාංගම අපූර්වත්වයක් ජනිත කරයි.

ගීතයකට ජීවිතයක් ඇත. අනන්‍ය වූ ආත්මීය සුවඳක් ඇත. පද පෙළ අරුත, ස්වර සංයෝජනය, ගැයුම තුළින් මතුවනුයේ එකී ආත්මීය අනන්‍යතාවයය. එය විටෙක හදවත නිවා සනහාලන මිහිරි සුවයකි. භාවනාවකි. තවත් විටෙක හද මනස කම්පනය කරමින්, බුද්ධි කලම්බනයක් ඇති කරමින් ප්‍රඥාව දල්වාලන්නකි. ‘‘බාලොලි ලොලි ‘‘ ගීතය මේ සියලු රුව, ගුණ. සුවඳ කැටි කොටගත් සමාජ වගකීම විසින් මෙහෙයවන ලද අධ්‍යාත්මයකින් පැන නැඟි අපූර්ව නිර්මාණයක් බව මගේ හැඟීම ය.

ගායනය - විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද රචනය - මහින්ද නාමල්
තනු නිර්මාණය - ගරු ඇන්ටන් ජයනන්ද පියතුමා



Tuesday, April 25, 2017

ඒ පෙම් යුවළ සහ මම



ඒ පෙම් යුවළ සහ මම
තද බද දුම්රිය මැදිරියේ හරි මැද
රිදී කණුවක දැවටීගෙන...
තුන්කාන්සෙන් ගලන
දාඩිය බිඳිති පිස දම දමා
මම...

‘මේ මෙතැන හරි දාඩිය
ඉන්නට අමාරුයි මට‘
මුමුණයි ඈ හෙමිහිට
සුදු සැරයටිය මිටි කොට අතට...

දිග හැර අත්වාරුව
ඇන මැන පා පුවරු සීමාව
ඔහු අමතයි ඇයට...

‘එන්න මේ මෙතැනට
හරි සනීපයි මෙතැන
හුළං හමනව ජයට‘

දිගු කොට සුදු සැරයටි මිට
කැඳවයි ඈ පා පුවරු අගිස්සට
ඒ රිදී කණුවට...
ඉනික්බිති ඒ පෙම් යුවළ
ඉසුරුමුණි ප්‍රේමය පරයන
සිනා ඉහිරුණු මුහුණු
හරව හරවා ඒ මේ අත...

‘ඔහ්... බලාගෙන ඔය ඔතන
හරිම අවදානම්‘
හිතින් හිත හිත මම
දාඩිය බිංදු පිහ පිහ
තදබද මැදිරියේ හරි මැද
රිදී කණුවේ එල්ලීගෙන
තනියම....

( කෝච්චි කවි )

Sunday, April 9, 2017

පොරොන්දු දේශයේ අවතැන් මරියාවෝ...


පොරොන්දු දේශයේ අවතැන්
මරියාවන්ගෙ සුසුමින් ගිනියම්ව
කේපාපිලව් අහසට ගතු කියත්
මහී මාතාවෝ...
දැවි දැවී ගිනිගත් සුළඟින්
ඉරිතැලී මිහි මව් ළය
නංවා දූලි වළාවෝ
විරුද හඬ නංවත් නිහඬවම...

මල්වර දියණියන්
වහං කොට ඉටි තිරයෙන්
දැළි රවුළු ඇදි යොවුනන්
මුවා කොට මව් සෙනෙහෙන්
පුරුස බල සිඳී ගිය පණ කෙඳි
ගැට ගසනු වස් මියැදෙනා තුරු
සිය බිම්කඩ ඉල්ලා සටන් වදිත්
මරියාවෝ...

පතරංග පවුරු පදනම්
කටුකම්බි අට පොටින්
වහංගු කළ අපේ නිජ බිම්
දකින්නට වරක් තබන්නට අඩියක්
අටවාගන්නට පැලක්
මිහි මවුන් සහවාසයෙන්
ලබා අස්වනු නිවාලන්නට
පැටවුන්ගෙ කුසගිනි
ඉඩක් දෙන්නැයි ඉල්ලා
හඬා වැළපෙත් මරියාවෝ...

අට්ටාල මත නැගුණු මව් ඇසගින්
නොනැවත ගලා හැලෙනා කඳුළු ඇලි
මේ මගේ පුතු ය... මේ මගේ දූ ය...
කෝ කොයිද ඒ දරු
‘‘මී පුප් නොලදිම් - දරු ද නොලදිම්
රන් කැටි පුතා කෝ කොයි‘‘
පේදුරු තුඩුව සිට දෙවුන්දර දක්වාම
රෑ දිවා පෙන්ව පෙන්වා දරු රූ
හඬා වැළපෙත් මරියාවෝ...

හෙරොද්, පිලාත් රජ මැති ඇමති
ඒ ලේ කඳුළින්ම සෝදා දෑත් 
පිසදා ධවල පිළියෙන්
පඬුපුල් අසුන් මඟහැර
සිහසුන් අරා වැජඹෙත්...
පතිනි මවු පියොවුරෙන්
මදුරා පුරය ගිනිගත් බැව්
උහු අමතක කරත්...

පින්තූරය අන්තර්ජාලයෙනි.

‘‘අපිට යේක වෙන මොනා එපා. අපේ දරුවන්ට ළමායින්ට මොකද වුණේ කියන්න. අපේ ඉඩම් ටික ආපහු දෙන්න. ඒ ඇති. අපිට දුක තමා විඳල පුරුදු. අපේ ඉඩම ලැබුණ නම් කෝම හරි ජීවත් වෙනවා.‘‘

කේපාපිලවු යුදහමුදා මූලස්ථානය අසල සත්‍යග්‍රහයේ නිරත මව්වරු... 2017.04.07  - ජීවිත කාලයක කඳුළු සමඟ ගත කළ එක් දිනක්... 


Wednesday, April 5, 2017

මාල ගිරවු පේලි ගැසීලා නව අවුරුදු ගීත ගයනවා...


බක් මාසය උදා වෙද්දිම  අවුරුදු ගීත ඇහෙන්න ගන්නවා. කොහාගේ ගැයුම වගේම මේ අවුරුදු ගීතත් අමුතු අසිරියක් මවනවා. අපූරු හැඟුම් ගේනවා. අතීත මතක අවුස්සනවා. නිතර ඇහෙන, මගෙත් සිත් ගත් අවුරුදු ගීත 10 ක් අද තරුරසියට එකතු කරන්න හිතුණා.

01 මී අඹ අත්තේ කොහෝ කොහෝ දොළොස් මහේ මගුල් දොහේ

මේ ගීතය එන්නෙ චංචල රේඛා චිත්‍රපටයේ. ගයන්නෙ මිල්ටන් මල්ලවාරච්චි සමග නීලා වික්‍රමසිංහ.. ගාමිණි ෆොන්සේකා අයිය විදියටත්, නදීකා ගුණසේකර නංගී නැත්නම් දං චූටි විදියටත් රඟපාන මේ චිත්‍රපටියට මං හරිම කැමතියි. ‘කීන දං මිටක්‘, ‘හස කැළුම් උදාවේවා එදා සේ‘ වගේ ලස්සන සින්දු කීපයක්ම තියෙනවා. අපි පුංචි කාලෙ අම්මගෙ මහ ගෙදර වත්තෙ තිබුණා මහ විසාලෙට අතු පතර පැතිරුණු කජු ගස් තුන හතරක් එක යායට. දෙකක් රතු කජු පුහුලං, දෙකක් කහ කජු පුහුලං. ගස් හතරෙ රස හතරක්, පුහුලංවල හැඩ හතරක්. අපි සෙල්ලම් ගෙවල් දාන්නෙ ඒ කජු ගස් යට. කජු වාරෙයි, අවුරුදු කාලෙයි එන්නෙ එකටම. ඒ කාලෙට කජු අහුලන්න ලේසි වෙන්න මේ කජු යාය යට මිදුල වගේ එළිපෙහෙලි කරල තියෙනවා. ඒ නිසා සෙල්ලමට ලේසියි.  විශේෂයෙන්ම සර්ප බියත් මේ සුද්ද කිරිල්ලට හේතුවක්.  

කජු ගස්වල අතු බිමට නැවිලා, ඒ අතු අපේ සෙල්ලම් ගෙවල්වල ආසන වෙනවා. අපේ වාහන වෙනවා. අපේ ඔන්චිල්ලා වෙනවා. ඉස්කෝල නිවාඩු නිසා මේ කජු අතුවල ඔන්චිල්ලාත් බැඳෙනවා. ඒ පුංචි කාලෙත් මට ‘‘මී අඹ අත්තේ‘‘ සින්දුව කට පාඩම්. ඒ සින්දුව කිය කියා ඔන්චිලි පැද්ද තාම මතකයි. මොකද චිත්‍රපටයෙත් එනවා දර්ශනයක් අයියා නංගිව ඔන්චිලි පද්දවන. අපට ඉතින් අයියල හිටියෙ නැහැ. 

මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොලොස් මහේ මගුල් දොහේ
රබාන රත්වෙන නැකත් වෙලාවට නලාව පිඹහන්
කොහෝ කොහෝ

ගිරා නිලෙන් දිලි ගොයම් ලියද්දේ උඩින් උඩින් වර පෙත්තප්පූ
හෝරාවෙන් නොනගතේ මැවෙද්දෙන් නෑගම් එනවද පෙත්තප්පූ
ගම් මැද්දේ සරු අවුරුදු දා //
පංච වඩම් පළඳා

ඉහ තෙල් ගානා ආදර අතකින් ඉහෙන් බහින උවදුරු දුරුවී
නෙත් දෙක වාගේ අයිය නගාලට පින් පලදේ අවුරුදු ජයවී
එක මව් කුසයේ උපදීවා //
මතු මතු සංසාරේ



02. නාඬන් පුංචි හිරමණේ ඇවිදින් මෙන්න වසන්තේ

මේ ගීතය ගැන  ලියූ සටහනක් මෙන්න මෙතන ඇති තීර්ථය බ්ලොග් අඩවියේ.   ගීතය ලියා තියෙන්නෙ අපේ ප්‍රවීණ කිවිවර රත්න ශ්‍රී විජේසිංහයන්. මම කැමතිම මේ ගීතයේ පද ගැළපුමට...



03. කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ

අප්‍රේල් මාසය ලැබූ දා ඉඳන් අනිවාර්යයෙන් ඇහෙන ගීතයක්. මේ ගීතය නෑහෙනවනම් ලොකු අඩුවක් වගෙත් දැනෙනවා.

කොහෝ කොහෝ
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන් පදේ
උඹට ඇහෙනවදෝ

කජු නාඹර රස මී අඹ
ගස් යට වැහි වැහලා
කොහෝ අන්න අර බලපන්
මී වද පැණි පිරිලා

රබන් හඬට බඹරු නටන
ලස්සන ගම් මැද්දේ
කොහෝ උඹත් ගී කියපන්
සිංහල අවුරුද්දේ

පද රචනය - අජන්තා රණසිංහ
සංගීතය - සනත් නන්දසිරි
ගායනය - සනත් නන්දසිරි / සුජාතා අත්තනායක




04. නීල කොබෙයි රෑන ඇදී වී අහුලන ඉපනැල්ලේ

නීල කොබෙයි රෑන ඇදී
වී අහුලන ඉපනැල්ලේ
මාල ගිරවු පේලි ගැසීලා
නව අවුරුදු ගීත ගයනවා...

වක්‌කඩ ළඟ දිය සුළියේ
තිත්ත පැටව් කලබලයේ
ඒ තාලෙට වරල් සළාලා
නව අවුරුදු නැටුම් නටනවා...

ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
ගසුයි වැලුයි මලින් පිරෙනවා
ගම්මානෙට අවුරුදු එනවා...

නා වැටියම දළු දමලා
නා අතු අග මල් පිපිලා
බාල ලියන් ටිකිරි හිනාවේ
රිදී එළිය ගමට ගෙනාවේ...

පද - මහගම සේකර
තනුව සහ ගායනය - පණ්ඩිත් ඩබ්
.ඩී. අමරදේව




05. කොහෝ මල්වාරම් ගැයෙනා උදේ 

මං හිතන්නෙ වැඩිම අවුරුදු ගීත සංඛ්‍යාවක් ගයා ඇත්තෙ එච්.ආර්. ජෝතිපාලයන්. ඒ අතරින් මේ ගීතයට මං වඩා කැමතියි. මේ ගීතයට සමූහ නර්තනයක් ඉදිරිපත් කළා අපි ළක්‍රිවි වාර්ෂික අනුශාසක සම්මේලනයකදි මග්ගොන වින්සෙන්ති ළමා නිවාසයෙදි. එක දවසින් පුහුණු වෙලා, රෙදි හැට්ට ඇඳන් කළ ඒ නැටුම නිසා මේ ගීතය විශේෂයෙන් හිතේ ඇඳිල තියෙනවා. 


06. බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස ඉද්ද පනා මල් කැන් පිපිලා..

මේ ගීතයේ රිද්මයත්, පද ගැළපුමත්, ගැයුමත් ගැමි සිරියාවක් අරන් එන්නෙ.

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස ඉද්ද පනා මල් කැන් පිපිලා..
සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ලද නැද්ද කනෙයියනි රොන් හැදිලා..

බැද්දට මල් වරුසාවක් වැහැලද.. නිල් කොල පිට ඒ මල් පොද ඉහිලද..
පාර වටේ ඇති සේරම ගස් සරු සාර හැඩයි ගෙඩි හට දැනිලා..
පේර දිඹුල් පලු වීර ඉදී එන වාරෙ වගෙයි මේ පැණි පිරිලා...
බැද්දට පැණි වරුසාවක් වැහැලද ගස් වල ගෙඩි පැනි වැස්සට තෙමිලද...

රෑන ගිරා සැලලිහිණි කුරුල්ලන් සීනු හඩින් රස ගී ගයලා...
තාන තනා තම් තාන කියා එලි මහන වටේ කැරකී නටලා...
බැද්දට ගී වරුසාවක් වැහැලද.. ගී පොද මේ හොට අස්සට පෙරිලද..

ගායනය: අමිතා වැදිසිංහ සහ පියසිරි විජේරත්න
පද රචනය: හෙන්රි තෙන්නකෝන්
තනුව: පියසිරි විජේරත්න
මුල් ගායනය: පියසිරි විජේරත්න සහ රංජනී පොල්ගම්පොල




07. අවුරුද්දක් ගෙවුණු තැනේ පරණ වෙච්ච බොළඳ ලියා

එඩ්වඩ් ජයකොඩිගෙ ගීතයක් මේ.. මම කළින් අහල තිබුණෙ නැහැ. අවුරුදු ගී ගැන සොයා බලමින් ඉද්දි අහම්බෙන් ඇස ගැටුණෙ... ගී අරණ බ්ලොග් අඩවියෙන් ඔබටත් අහන්න පුලුවනි.


අවුරුද්දක් ගෙවුණු තැනේ පරණ වෙච්ච බොළඳ ලියා
පෑල දොරින් පිටමං වී අතීතයට යන්න ගියා
අවුරුද්දක් ලබන තැනේ නැවුම් අඳුන් තිලක තියා
ඉදිරි දොරින් ගෙට ගොඩවෙයි නව අවුරුදු ටිකිරි ලියා

උතුම් සිරින් මල් පිපුණේ
හිතින් හිතක් ඇද බැඳුණේ
සිරි දෙව්දුව කැඳවා ගෙන
වාසනා කුමරිය එන දා අවුරුදු මංගල්ලේ

නැවුම් සුවඳ මුසු පවනේ
පවුම් වටින හෙළ දෙරණේ
පෙරමග යන ලකුණු පෙනේ
වාසනා කුමරිය එන දා අවුරුදු මංගල්ලේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - රෝහණ බැද්දගේ
තනුව - රෝහණ වීරසිංහ


08. මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු

මෙය වෙනස්ම ගීතයක්.. බක් මාසය නිමිත්ත වුණත්, අවුරුදු සංකේත භාවිත වුණත් අවුරුදු අසිරිය ගැන ගැයෙන්නක් නෙවෙයි.  මේ ගීතයෙන් කියවෙන්නෙ 71 කැරැල්ල අවස්ථාවේ දිවි දුන් තරුණ ජීවිත ගැන...

එරබදු අතු නැමී රෑ හුළඟේ හැපෙන
ගඟ බඩ නුඹේ උණු ලේ පුසුඹම දැනෙන
හිමිහිට පුංචි රතුමල් පෙති දිග හැරෙන
මේ බක්‌ මහෙත් ඉවුරෙන් අත වනනු මැන

ඒ බක්‌ මහේ රෑ හඳ දියවෙන කලට
නුඹේ සිරස පාවී ආවා තොටට
තියුණු නිවුණු සීතල දෑසෙහි රුවට
ඇවිළුනා පැතුම ගිනි දැල්ලක ලෙසට

අවියෙන් වනසන්න බෑ උතුම් අරමුණු
හඬගා කියන නුඹේ හඬ අහසේ හැපෙනු
ඇසුණා ඒ හඬේ නෑ මිය ගිය ලකුණු
මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු

ගායනය - නන්දා මාලනී
පද රචනය - නන්දන වීරසිංහ
සංගීතය රෝහණ වීරසිංහ



09. මේ අවුරුදු කාලේ හිනාවෙයං රාළේ

මං මේ ගීතයෙ ආසම යෙදුම ‘‘තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ‘‘




10. නෑගම් යන යාළුවනේ යාපනේට ඇවිත් යන්න

මම මේ ගීතය තෝරගත්තෙ බක්මහේ අස්වනු මංගල්‍යය සිංහල ජනවර්ගයාගේ උත්සවයක් පමණක් නොවන නිසා. ලෝකය පුරා මේ සූර්ය මංගල්‍යය විවිධ ආකාරයෙන් සමරනවා වගේම විශේෂයෙන් අපේ රටේ සිංහල ජනතාව වගේම දමිළ-හින්දු ජනතාවත් අලුත් අවුරුද්ද සමරනවා. අපි හැමෝම වෙනුවෙන් මම මේ අවසන් ගීතය තෝරගත්තා. ගීතය අහන්න වෙන්නෙ නම් ගී අරණ බ්ලොග් අඩවියෙන් 

නෑගම් යන යාළුවනේ යාපනේට ඇවිත් යන්න
මිතුරු සුවඳ අලුත් වෙන්න අලිමංකඩ පැන වඩින්න
අලිමංකඩ පැන වඩින්න

යාපනයේ පොත් ගුල ළඟ කඳුළු බිඳක් තියා එන්න
යාළුවනේ අලුත් පැතුම් දලුලනවා හිත පිරෙන්න

තල් අරණේ ගිනි නිවන්න
සිනා වතක් මටත් දෙන්න
සිනා වතක් මටත් දෙන්න

සිනහවකට මඟ කියන්න
එන්න කඳුළු බෙදාගන්න
එන්න කඳුළු බෙදාගන්න

නෑගම් යන යාළුවනේ යාපනේට ඇවිත් යන්න
මිතුරු සුවඳ අලුත් වෙන්න අලිමංකඩ පැන වඩින්න
අලිමංකඩ පැන වඩින්න

යාපනයේ පොත් ගුල ළඟ කඳුළු බිඳක් තියා එන්න
යාළුවනේ අලුත් පැතුම් දලුලනවා හිත පිරෙන්න

හීන් හිරුට හිනාවෙන්න
යුද දුම පිසලන්න ඔන්න
යුද දුම පිසලන්න ඔන්න

කවි එළිවැට බිඳන් එන්න
ඒ අවි බිම තියමු ඔන්න
ඒ අවි බිම තියමු ඔන්න

නෑගම් යන යාළුවනේ යාපනේට ඇවිත් යන්න
මිතුරු සුවඳ අලුත් වෙන්න අලිමංකඩ පැන වඩින්න
අලිමංකඩ පැන වඩින්න

යාපනයේ පොත් ගුල ළඟ කඳුළු බිඳක් තියා එන්න
යාළුවනේ අලුත් පැතුම් දලුලනවා හිත පිරෙන්න

ගායනය ප්‍රදීපා ධර්මදාස සහ හේමන්ති රණසිංහ
පද රචනය - නිලාර් එන්. කාසිම්
තනුව හා සංගීතය - නවරත්න ගමගේ

.................


මේ අලුත් අවුරුදු ගීත බොහොමයක් රස විඳිද්දි පැහැදිලිව පේන්න තියෙනවා සොබාදහමේ වසන්ත අසිරියත් එක්ක අලුත් අවුරුදු ප්‍රීතියත් එක්තැන් කරල බොහොම උද්‍යෝගිමත් හදින් කියවෙන ගීත බව. 

ඒත් මේ සංකීර්ණ සමාජ, ආර්ථික වටපිටාව ඇතුළෙ අද අවුරුද්ද ස්ථානගත වෙන්නෙ කොතැනද කියල අලුතින් හිතීමක් ඇති කරන ගීතත් අවශ්‍යයි. අලුත් අවුරුද්ද ගැනත් අලුත් ගීත ලියවෙන්න කාලය හරි කියල මට හිතෙනවා... 

Sunday, April 2, 2017

උන්මාද පෙම්වන්ති මා...!!!


‘‘ඔබ දිවි ගෙවූයේ ලොව ම වෙනුවෙනි
මා දිවි ගෙවූයේ ඔබ ම වෙනුවෙනි,



මා සුරත ඔබ දෑතින් ගිලිහුණ
ඒ අවසන් තත්පරය...
හද ගැඹර විවරව ඔබ දෑසින් ගලා ආ ප්‍රේමය
මා දෑස විනිවිද හද පත්ළ කැළඹූ
ඒ අවසන් නිමේෂය...
කෙලෙස නම් අමතක කරන්නද?

සිඳු සදිසි
අප්‍රමාණ ප්‍රේමයක් අබියස
මගේ කුරා කුහුඹු පෙම
කෙසේ නම් ප්‍රාතිහාර්ය පාන්නද?

ඉදින්,
ඔබ රකින්නට මට බැරි විය.
නමුදු,
ඒ ඔබේ උත්තරීතර දිවි ගමන
මට උරුම කර දුන් පන්නරය
සදා රැකගන්නට මට හැකිය...
ඒ වෙනුවෙන් දිවි ගෙවන්නට මට හැකිය...‘‘


පෙම්වත,
ඉදින් මා උන්මාදනීය පෙම්වන්තියකැයි
ඔබ කී වදන් සනාථ නොවන්නෙද?






‘‘අයියේ, තීර්ථයෙන් අලුත් සින්දු ටිකක් කරන්න හදනවා. ඔයාගෙනුත් සින්දුවක් ඉල්ලනවා, ලියන්නකො මීනට හරි දුමාල්ට හරි සින්දුවක්...‘‘ මම කීප වතාවක් මංජුල අයියාට ඇවටිලි කළෙමි.

ඔහු උන්නේ බොංචි ගෙදරට සිර වී ගෙන, අන්දරාලා ජිජැක්ලා සමඟ අතීතයේ කරක් ගසමිනි.


‘‘මොන සින්දුද බොල, මං මේ හිරවෙලා ඉන්නෙ...‘‘ එසේ කීයේ වරක් දෙවරක් නම් නොවේ. ඒ අතර හිටිවනම දිනක,

‘‘අඩේ මෙන්න අද සින්දුවක් ලියවුණා. මේක අර මීනා කෙල්ලට නම් මරුවට තියෙයි. මේ වචන ලියවෙද්දි මට මැවුණෙම මීනාගෙ හඬ...‘‘ කෙටි පණිවිඩයක් ලැබිණි.

පසුගිය වප් මහේ 04 වැනි දා ඒ ගීතය මේලයක ඇමිණී අප වෙත ආයේය.

‘‘කල්වාරිමය මොහොතක - මීනා ප්‍රසාදිනීට‘‘ යනුවෙන් මේලය නම් වී තිබිණි.


කල්වාරි සංසාර ගිරි දුර්ගයේ
සංතාප ගී ගයන
උන්මාද පෙම්වන්ති මා.....
උන්මාද ආදරේ
සංතාන අඩවියේ හංගා නොහංගා
සංතාප ගී ගයන
උන්මාද පෙම්වන්ති මා

අළු අඳුරු අහසකට පුළුවන්ද
මුදු ප්‍රේමයක ඔබව සතපන්න
පය ලකුණු කන්දරාවක මතක බිඳ දමා
මට හැකිය ඔය දෙපය සිපගන්න...

එක නිහඬ මොහොතකට පුළුවන්ද
ඔය කුරුසියෙන් ඔබව මුදවන්න
මට හැකිය සංසාරයක් බරට තටු මවා
ඔබ රැඟෙන ඈතකට ඉගිලෙන්න...

මංජුල වෙඩිවර්ධන
2016 ඔක්තෝබර් 04

ඉදින් එකී ගී පද මෙසේ ගීතයක්ව නිමැවිණි. ඒ තීර්ථයේ සහෘදයන්ගේ ඉමහත් පරිශ්‍රමයෙනි. 



මංජුල වෙඩිවර්ධනයන්ගේ ගේය පද කාව්‍යය හමු වූ තැන් සිට ගීතයක් වන තුරුම, එය දැකුම්කළු සංගීතමය දෘශ්‍ය සිත්තමක් වනතුරුම අතිමහත් ශ්‍රමයක් දැරුවේ දිමුතු ය. දිමුතු ප්‍රදීප් පෙරේරා ය. ගීතය වෙනුවෙන් නැහුණේ ඔහු ය.

තීර්ථය ත්‍රිමූර්තියේ නලින් මංචනායක සේම ප්‍රියංක සමරකෝන් සොයුරෝද ඒ වෙනුවෙන් කැප වී සිටියහ.

නාලක අංජන කුමාර අප මියැසි සහෘදයා දින කීපයක්ම ගීතයේ ස්වර රටා සියුම්ව ඔප් නංවන්නට කාලය, ශ්‍රමය කැපකළේය.

මීනා ප්‍රසාදිනී ආත්මයෙන්ම ගීතයට හඬ මුසු කළාය.

මේ සංගීතමය දෘශ්‍ය සිත්තමේ නිමේෂයෙන් නිමේෂය සියුම්ව එක්තැන් කරමින් පද රටාවට, ස්වර සංකලනයට අපූර්වත්වයක් එක්කරන්නට මහත් උවමනාවෙන් කැපවුණේ සංජීව දේවප්‍රිය සමරකෝන් සොයුරාය. ඔහු තීර්ථයේ නිල ඡායාරූප සහෘදයාය.

එහි මුල්ම හඬ පටය ඇසුණු දා මෙන්ම මුල්ම මියැසි දෘශ්‍ය සේයාපටය දුටු දාද ඇස කඳුළු නැගිණි. ප්‍රේමය අරභයා ලියැවුණු සොඳුරු, හෘදයාංගම  ගීතයක් වනු ඇතැයි සිතමි.

තීර්ථයේ කුළුඳුල් ගීත නිර්මාණය ඔබද ආදරයෙන් වැළඳ ගනු ඇතැයි සිතමි.



තීර්ථයේ සුමිතුරෝ


සංජීව දේවප්‍රිය සමරකෝන් - මියැසි දෘශ්‍ය සල රූ නිමැවුම්කරු