පිටු

Thursday, February 8, 2018

අතීතයෙන් මතු වෙන පරණ වැඩ ( නොව පැරණි වන රමණි)

දරුවන්ගේ සිනා මුහුණු රැගත් පින්තූරයක් 


හැමදාමත් කියනව වගේ ළක්‍රිවී ( ළමා ක්‍රියාකාරී වීරයෝ) කියන්නෙ මගේ දෙවැනි අම්මා. ළක්‍රිවී වැඩවලින් ඈත් වෙලා ටික කලක් වුණත් එන්නෙයි කියන ඕනම අවස්ථාවක ලංකාවෙ ඕනම තැනකට තාමත් දුවනවා. ඒ බැඳීම තාම එහෙමමයි. අලුත් අධ්‍යක්ෂ පියතුමා සම්මේලනයට උදව් කරන්න අක්කේ කියල කළ ඉල්ලීම නිසා පරණ ලිපි ගොනු අවුස්සද්දි කාලයේ වැලිතලාවෙන් මැකිල යන්න නියමිත මතක සටහන් ගොඩක් හමුවුණා.

මේ ‘පැතුම්‘ මිට ඉන් එකක්. දවස ආරම්භයට, උත්සවයක ආරම්භයට, හැම ආහාර වේලකටම පළමුව, රෑ නින්දට පෙර පැතුමක් කරන එක ළක්‍රිවියෙ සිරිතක්. 2011 වාර්ෂික අනුශාසක සම්මේලනයට මං හැදුව පැතුම් ටිකක් හමුවුණා. හිතුණා ඒ ටික පළ කරන්න. සාමාන්‍යෙයන් අනුශාසක සම්මේලනය බක් මාසයේ සති අන්තයක් අල්ලල බ්‍රහස්පතින්දා සැඳෑවේ ඇරඹිලා ඉරිදා උදෑසන අවසන් වෙන්නෙ. මේ පැතුම් හදල තියෙන්නෙ ඒ අනුව.    

සම්මේලන වේදිකාවක...
  
වාර්ෂික අනුශාසක සම්මේලනය - 2011
- පැතුම් -

ඉදිරිපත් කිරීම :-
ජාතික ළමා කමිටු නියෝජිත එකමුතුව

බ‍්‍රහස්පතින්දා රාත‍්‍රී ආහාර පැතුම
( අපි සියලූ දෙනාම සන්සුන් වෙමු. දෑස් වසා ගනිමු. අපේ මනස හදවත මේ ප‍්‍රාර්ථනාව සඳහා එක්තැන් කර ගනිමු. )

ගරු මර්සලින් ජයකොඩි පියතුමාගේ සටහනක්

‘‘ මා දිනපතාම දුටු අතක් තිබුණා, මා බාල කාලේ.
ඒ අතේ නියපොතු ගෙවිළා වළං හෝදලා.... මාපට ඇඟිලි හරහට දිගට කැපිලා පලා ලියලා..... තැන තැන දැවිලා පාට වෙලා..... ඉන් ඉඳහිට ඉඳුල් සුවඳකුත් ආවා....
එහෙත් ඊට වඩා සුවඳබර අතක් මට වෙන තිබුණේ නෑ.
ඒ අම්මාගේ අතයි.
ඒ අතින් බත් කන කොට මොන රසක් ද? ’’

( සුළු වේලාවකට දෑස් වසා ගන්න.)

මේ මොහොතේදී........ අප වෙනුවෙන්ම කැප වෙලා වැය වෙලා,.... දහදිය කඳුළු හෙළල විඩාපත් වුණු,....... රුළි ගැහුණු,...... නහරවැල් ඉල්පුණු අපේ ආදරණිය අම්මලා තාත්තලාගේ, සියලූම ආදරණීයයන්ගේ මුහුණු දෑත දෙපා ආදරයෙන් සිහිපත් කරමු.  නව යෞවනයේ අපට......... ඊට වඩා සුවඳවත් දෑත්, වටිනා ජිවිත තිබිය හැකිද? අම්මාගේ දෑතේ රැඳුණු ඉඳුල් ඔබට සුවඳක්ද?......... තාත්තාගේ දහදිය ඔබට සුවඳයිද?........... සෑම ආහාර වේලක් සමගම සුවඳවත් දෑත්, අමිල දහදිය කඳුළු රැඳී ඇති බව කිසිදා අමතක නොකරමු.
කුසගින්නේ දැවෙන හිතකට එවන් සෙනෙහෙබර රැකවරණයක් වන්නට ප‍්‍රාර්ථනා කරමු.

ගරු මර්සලින් ජයකොඩි පියතුමා

 
බ‍්‍රහස්පතින්දා දින නිමාවේ පැතුම
( අපි සියලූ දෙනාම සන්සුන් වෙමු. දෑස් වසා ගනිමු. අපේ මනස හදවත මේ එක්තැන් කර ගනිමින් මේ ගීතයට සාවධානව සවන් දෙමු. )

මගෙ දුවේ නුඹ අවදියෙන් නම් ( ගීතය වාදනය කිරීම )

 ‘‘ දොර ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් ඔබටමයි. ’’

අපේ සිත් සතන් අහුරා ගෙන වැට කඩුළු බැඳගෙන පවතින සීමාවන් ගෙන්, තණ්හාවන්ගෙන්  මිදිල එළියට ආවොතින් අපට ජීවිතයේ සැබෑ අරුත හමුවේවි. ජීවිතයේ සුන්දරත්වය හමු වේවි. නමුත් මේ නිදහස අපේ හදවතට, මනසට දිනා ගැනීම සැබවින්ම විශාල අභියෝගයක්... 
ඒ අභියෝගය ජය ගන්නට හැකි නම්, අපට හැකි වේවි හදවතින්ම සිනාවෙන්න.. මේ පොළව කොතරම් සුන්දරද යන්න පසක් කර ගනිමින්.....

‘‘ ලොව දුන්නු දේවල් අද අපට - හෙට ලොවට පෙරළා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරේ නම් - මුළු ලොවම ඔබටත් ආදරෙයි...’’
මුළු ලොවේම ආදරය දිනන දුවෙක් පුතෙක් වෙන්න ඔබට හැකියි.. ඔව් ඔබට හැකියි...

විඩාබර දවසක අවසන නිදි දෙව්දුවට සෙනෙහසින් ඔබව සුවපත් කරන්නට දයාබර ඇරයුමයි මේ...  ඔබ සැමට සුබ රාත‍්‍රියක්....


සිකුරාදා උදෑසන ආහාර පැතුම
( අපි සියලූ දෙනාම සන්සුන් වෙමු. දෑස් වසා ගනිමු. අපේ මනස හදවත මේ එක්තැන් කර ගනිමින් මේ ගීතයට සාවධානව සවන් දෙමු. )

පිණබිඳු මුතුමල් සැනකෙළියේ ( ගීතය වාදනය කිරීම )



වාර්ෂික අනුශාසක සම්මේලනයේ අරුණු කිරණ මැදින් උදාවුණු පළමු දවසයි මේ.... ජීවිතය විඳින්නට ඒ සඳහා අප දූ දරුවන් යොමු කරන්නට සුවිශේෂ කැඳවීමක් ලත් අප සැම ඒ සඳහා පන්නරය  ලබන වාසනාවන්ත දවසේ ඇරඹුමයි මේ...

අප විසින් කළ යුතු මෙහෙවර අති විශාලයි. ඒ වගේම අති විශේෂයි. ඒ සඳහා අපේ සිත් දිරිමත් වේවායි ප‍්‍රාර්ථනා කරමු.

ජීවිතය වින්දනය කරන්නට අවස්ථාවක්, හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නැති සියලූ දෙනා අපි සිහිපත් කරමු. ඒ සැමගේ නැණ පහන් දැල්වේවා... දිවි මග ආලෝකමත් වේවා....

අද දවසේ අප සැමගේ ශ‍්‍රමය සවිය මතු අනාගතයේ ඉසුරු සදන්නට.....
අද දවසේ අප සතු යුතුකම් ඉටු කොට ජීවිතයේ ඵල නෙළා ගන්නට......
මේ උදෑසන ආහාර වේල අපට ශක්තියක්ම වේවා කියා ප‍්‍රාර්ථනා කරමු. 

 සිකුරාදා දිවා ආහාර පැතුම
( අපි සියලූ දෙනාම සන්සුන් වෙමු. දෑස් වසා ගනිමු. අපේ මනස හදවත මේ ප‍්‍රාර්ථනාව සඳහා එක්තැන් කර ගනිමු.)

ස්වර්ණලතා කිරිවත්තුඩුව මහත්මියගේ තිලකසිරි ළමා කෘතියෙන් උපුටා ගත් කොටසක්
‘‘ අපිට හාල් හම්බ වෙන්නෙ කොහෙන්ද ළමයි ’’
‘‘ කඩෙන් ටීචර් ’’
ළමුන් බොහෝ දෙනෙකු දුන් පිළිතුර මතක් වෙන විට තිලකසිරිට තවමත් සිනා යයි. එදා පුෂ්පා ටීචර් ද සිනාව මැඩ ගත්තේ ආයාසයෙනි.
‘‘  ඕක තමයි අපි කාටත් වැරදුණේ. අපි දන්නේ කඩෙන් හාල් ලැබෙන එක විතරයි. බැරි වෙලාවත් එහෙ හාල් නැති උණොත් අපිට මොකද වෙන්නෙ ?’’
‘‘ බඩගින්නෙ ඉන්ඩ ’’
‘‘ අපි පුළුවන් තරම් මහන්සි වෙන්න  ඕනේ  අපි කන බොන දේවල් අපිම වවා ගන්ඩ. ඔය ළමයි දන්නවනේ පරාක‍්‍රමබාහු රජ්ජුරුවන්ගෙ කාලෙදි අපේ රටින් හාල් පිටරට යැව්වා කියන එක. ඒත් අද අපි හාල් පිටරටවල් වලින් ගෙන්නා ගන්නවා. අපි ඒකට ලැජ්ජා වෙන්ඩ  ඕනෙ නේද? ඔය ළමයි ගෙවල්වල ඉඩ තියෙන හැටියට මොනවා හරි ඉන්දන්න මහන්සි වෙන්න  ඕන. වවන මිනිහා තමයි දිනන්නෙ......’’
තිලකසිරි තම එළවළු පාත්තිය සකස් කළේ එදාම සවසය.
( සුළු නිහඩතාවයක් )

මේ ආහාර වේල අපට ලැබෙන්නෙ, ඉන් අපගේ කුසගිනි නිවෙන්නෙ වගා කරන මිනිසුන්ගේ දහඩිය මහන්සිය නිසා... වස විසෙන් තොර පෝෂ්‍යදායී ආහාර වේලක් වෙනුවෙන් අපිත් සුළුවෙන් හරි ගෙවතු වගාවට යොමු වෙමු. ඒ පිළිබඳව අරමුණු අධිෂ්ඨානයන් සිතේ පෙළගස්වා ගනිමින් මේ ආහාර වේල භුක්ති විඳිමු.

ගෙවතු වගාවේ යෙදෙන ළමුන් පිරිසක්

 සිකුරාදා රාත‍්‍රී ආහාර පැතුම
( අපි සියලූ දෙනාම සන්සුන් වෙමු. දෑස් වසා ගනිමු. අපේ මනස හදවත එක්තැන් කර ගනිමින් මේ පැතුමට සහභාගි වෙමු. )

යාපනය තිරුනෙල්වේලි ග‍්‍රාමයේ ඉපිද එහිම හැදී වැඩුණු සිවරමණි 1991 වසරේ දී ඇයට වයස අවුරුදු 21 ක් වෙද්දී සිය දිවි නසා ගත්තාය. ඇය විසින් ලියන ලද මෙම කවියේ ඇයට ජීවිතය එපා කරවූ හේතු සාධකද සැඟවී ඇති බව නිසැකය.

යුධ සමයෙ රාත‍්‍රිය සමග එන පීඩනය
අපේ දරුවන් අකාලයේ වියපත් කරනු ඇති....
පුංචි  කුරුල්ලන් බඳු ඔවුන්ගේ සොඳුරු වූ උදෑසන බිඳ දමයි..
මග හරස් කොට දමා ඇති ලේ වැකුණු මුහුණ නැති මළ සිරුරු....

ඔවුන්ගේ සිනා කෙළි කවට හඩ තාප්ප බිත්ති පවා පුපුරවන සුළුයි
ඉතින් ඒ අපේ දරුවන් දරුවන්ම නොවෙයි මින් මතු...

තරු පිරුණු රැයේ නිහඩ බව තුවක්කුවක වෙඩි හඩෙන් පිපිරවෙයි
ළමා කතන්දර සියල්ලෙහි හරි අරුත මැරී වැටෙනු ඇත ඒ සමග....

ඉතිරි වූ පුංචි දහවලෙහි ඔවුහු
ළපටි තල් ඇටවලින් වේල් කරත්ත නොසාදති - තාච්චි නොපනිති..
අමතක වී ගොස්ය ළමා කෙළිදෙල......

දැන් ඔවුහු බත් කූරන්ගෙ තටු දෙකම කඩා ගෙන පුළුස්සා සතුටු වෙති
කෝටු කැබලිති තුවක්කු මෙන් මානා ගෙන
සතුරන්ය සිතා ගත් යාළුවන් මරා දා සිනා සෙති......

ඒ අපේ දරුවන්ගෙ ළමා කෙළි සෙල්ලම්ය...
යුධ සමයෙ රාත‍්‍රිය සමග එන පීඩනය විසින් දැන්
අපේ දරුවන් අකල්හිම වියපත් කර තිබේ....

යුද්ධයට ආ වඩන... යුධ ජයග‍්‍රහණයෙන් ප‍්‍රීති ඝෝෂා නගන අප කොතෙක් දුරට යුද්ධය නිසා පීඩාවට පත් වන පූංචි දරුවන්, අසරණ මිනිසුන් පිළිබඳව සංවේදීද? සාගින්නට... වේදනාවට.... වෛරයට... කලකිරීමට ජාති ආගම් කුල භේදයක් නැත... අපි අවුළුවන්නේ මේ ගිනි දැල් නම්  ඒ නොමිනිස්කමම මිස අන් කිසිවක් නොවේ...

මේ මොහොතේදීත් උපන් ගම් බිම් අහිමිව, කඳවුරුවල නැත්නම් තාවකාලික නිවාසවල දිවි ගෙවන උතුරු නැගෙනහිර ජනතාව ගැන අපට හැඟීමක් ඇත්ද?

අදටත් ලොව පුරා පවතින ගැටුම් නිසා කොතෙක් නම් දූ දරුවන් පීඩාවට පත් වෙනවාද? ඒ කඳුළු, වේදනා, ලංකාවේ වුවත්, ලිබියාවේ වුවත්, සෝමාලියාවේ වුවත් එහි කටුක බවේ වෙනසක් වේද? එවන් දූ දරුවන් සිත්හි මෙනෙහි කර ගනිමින් ඔවුන්ගේ ජීවිතවලට සතුට සැනසුම් උදා වේවා කියා ප‍්‍රාර්ථනා කරමින් රාත‍්‍රී ආහාර වේල සඳහා නික්ම යමු,  මේ බිමේම ඉපිද අකල්හි අප අතරින් සමුගත් සිවරමණි සොයුරියද සෙනෙහසින් සිහි කරමින්.......

විඩාබර මව්වරු දරුවන් සමඟින්... පින්තූරය අන්තර්ජාලයෙනි. 

සිකුරාදා දින නිමාවේ පැතුම
( අපි සියලූ දෙනාම සන්සුන් වෙමු. දෑස් වසා ගනිමු. අපේ මනස හදවත එක්තැන් කර ගනිමින් දින නිමාවේ පැතුමට සහභාගි වෙමු. )

          මේ සුන්දර රාත‍්‍රියට තරු එළියට හඳ පානට.......... මේ තරමට පෙම් කරන්න කියා දුන්නෙ ඔබමයි...
          කවුද කියා දුන්නෙ ඔයාට ?
          හොඳයි කියන්න බලන්න ?
          ම්ම්ම්...... ඔයාගෙ ආදරය...
          ම්ම්.... හරියටම හරි.... ඒත් මගේ ආදරය නම් නෙවෙයි...
          එහෙනම් ?
          ඔයාලගෙ ආදරය...
          ඒ කියන්නෙ ?
          අම්මගෙ තාත්තගේ... ඉඳන් මේ මුළු විශ්වයේම ආදරය .... ඒ ආදරය තමයි මට ජීවිතය දුන්නෙ... මේ තරම් ආදරණීය ජීවිතයක් මට දුන්නේ.....
          හ්ම්... අපි කාටත් එහෙමයි නේද ?
          ලස්සන දවසක නිමාව....
          ඇත්තමයි...
          ඔයාට සුබ රාත‍්‍රියක්...
          ඔයාටත් එසේම වේවා...

රාත්‍රී සුබ පැතුමක පින්තූරයක් 


 සෙනසුරාදා රාත‍්‍රී ආහාර පැතුම

කන්න දෙනව නම් අපිට බොන්න දෙනව නම් අපිට
මොන කෙං ගෙඩිය ද තව  ඕන කියන්නේ... //

ඇද්ද බොලංලා උඹලගෙ බඩ ගෙඩිය විතරක් පිරුණොත්... වගේ වගක් ඇද්ද උඹලට කුස පොත්ත පිට කොන්දට ඇලිල සුදහගින්දරේ පිච්චි පිච්චි ජීවත් වෙන මිනිස්සු ගැන...
අනේ අනිච්චං... මහ ලොකුවට දේශනා කොළාට ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ... බොලල්ල හිතන්නෙත් තමන්ගෙ බණ්ඩි ගෙඩිය ගැන විතරයි...

අනේ ඇත්තට කන බත් පතට ළෙංගතුකමක්, ඒ බත් පතට කඹුරපු මිනිස්සු ගැන ගවුරවයක් නැතිව, ළුැණු ගෙඩියක් සුද්ද කරල දෙන තරමටවත් බත් පත වෙනුවෙන් දාඩිය කඳුලක් හෙලන්නෙ නැතිව බත් වේලක් අතට ගන්න එකත් පාපයක් බොලං....  ඕං කිව්වා....

‘‘ ඒ කතාවෙත් හිතන්න වටිනා දෙයක් තියෙනවා... අපේ මේ ආහාර වේල වෙනුවෙන් කැප වූණූ වැය වූණු හැම දෙනාම ආර්ථික කමිටු සභාපති අයියා ඇතුළු ආහාර අංශය,  පුංචි අම්මා ඇතුළු කෑම උයන අම්මලා, ආහාර සඳහා මූලිකව වෙහෙසුණු සැම, මිල මුදලින් දායක වුණු සැම ස්තූති පූර්වකව සිහි කරමින් මේ සමුළු බිමේ අප එක්ව රස විඳින අවසන් රාත‍්‍රී භෝජනයට  සන්තොසින් නික්ම යමු.


 සෙනසුරාදා රාත‍්‍රී දින නිමාවේ පැතුම
( අපි සියලූ දෙනාම නැගී සිටිමු. සන්සුන් වෙමු. දෑස් වසා ගනිමු. අපේ මනස හදවත මේ ප‍්‍රාර්ථනාව සඳහා එක්තැන් කර ගනිමු. )

දැන් රාත‍්‍රී කාලයයි...
තාරකා ඇසිපිය නිසල වෙයි...
නෙත් අගින් බේරී පිණි වැටෙයි
සුළෙඟ් සුසුම් රැල් සීතලයි
සොහොයුරනි දැන් අප ඉතින්
සමුගත යුතුව ඇති වෙලාවයි.............

ආ ගමන හරි දුෂ්කරයි
අප විටෙක ඇද වැටුණා සැබැයි
එහෙත් නතරව එතැන
වැළපිය යුතු නොවෙයි - අප යා යුතුයි

රළක් නම් මුහුදේ
නිදා නොඉඳියි වෙරළකට මුහුණ දෙයි
සඳත් කඳු මුදුනට ඇවිත්
තම නිම් වළල්ලෙන් සමුගනියි

බලන් රණ ගොස නැගෙන තැන
ඒ ජීවිතේ පෙරමුණයි
ඉතින් සමුගන්නට කාලයයි
වහා අප එහි යා යුතුයි...

ඇසක් තටු අකුළා ගුළි වෙමින්
අඩන්නට වාගේ හදයි
නමුත් සොහොයුර අපට අකැපයි
ඔව් - කඳුළු සීතල වැඩියි
එළිය හඳුනන රෑ කුරුල්ලෙක්
උදෑසනකට අඩ ගසයි
මෙතෙක් තුඩ ගෑ තිත්ත පළවැල
හොට ඇරී බිම පතිත වෙයි

හෙට පිපෙන මල් අද රෑ
කට කොණින් හිනැහෙනවා පෙනෙයි
ඉවසන්න ඒවා පිපෙයි
දත් පෙනෙන්නේ තවමත් ටිකයි

හෙටත් අද වගෙ නම් ඉතින්
අප කොහේ හෝ තැන තැන ඉඳියි
නමුත් ඒ ඇත්තක් නොවෙයි
අප මුණ ගැහෙයි - හෙට මුණ ගැහෙයි
කොහේදී හරි නොවෙයි හෙට අප
එකම තැනකදී මුණ ගැහෙයි....

‘‘ සත්තකින්ම ළ.ක‍්‍රි.වී. අම්මාගේ හෙවණේදී අප හෙටත් නිසැකවම මුණ ගැහෙයි. ඔබ සැමට සුබ රාත‍්‍රියක්... ’’



Tuesday, February 6, 2018

තවත් ආදිත්‍ය කෙනෙක්!


( කරළියෙන් එපිට කතා )

උසස් පෙළ කරලා මම පූර්ණකාලීන සමාජ සේවයයි කළේ. ඒ කාලෙ ඉතිං දැන් වගේ අර කෝස් මේ කෝස්වලට පැන්නිල්ලකුත් නෑනෙ. නිදහස උපරිමයෙන් තිබුණා. උසස්පෙළ කරද්දි වුණත් පොදු වැඩවලින් අයින් වෙලා උන්නෙ නැහැ. ටියුෂන්වලට ජීවිතේ කැප කරල තිබුණෙත් නැති නිසා කාලය ගෙවුණෙ සැහැල්ලුවෙන්.

දහම් පාසල, තරුණ සමිතිය ඇරුණම වැඩියෙන්ම කාලය වෙන් කළේ ළක්‍රිවියට. ( ළමා ක්‍රියාකාරී වීරයෝ) ඔය අතර මහජන බැංකුවෙ තාවකාලික පදනමින් රැකියාව ලැබුණත් සති අන්තය වෙන්කළේ පොදු වැඩවලට. ගමේ පල්ලියෙ ළමා සමිතියක් කරනවට අමතරව දිසාවෙ, පදවියෙ වැඩත් කළා.  ඒ කාලෙ ළක්‍රිවියෙ අපිට මඟ පෙන්වන්න ඉතාම හොඳ, දක්ෂ අක්කල අයියල පිරිසක් හිටියා. එයාල සාහිත්‍ය කලාව ඇසුරු කළ, දේශපාලනිකවත් ප්‍රගතිශීලී අදහස් දැරූ ඉතාම දක්ෂ, අවංකව වැඩ කළ තරුණ තරුණියො. අපිව රැකබලාගත්තෙ දරුවො ගානට. ඒ නිසාම එයාල ගැන අපේ හිතේ අප්‍රමාණ ගෞරවයක් ඇති වෙලා තිබුණෙ.

මේ විදියට ළක්‍රිවීත් කරමින් සරසවියටත් ආවට පස්සෙ කට්ටියට ඕන වුණා මාව බැඳීමක පටළවන්න. මොකද මං උන්නෙ ප්‍රේමය ගැන වගේ වගක් නැති විදියට. ( එහෙම තමයි අනිත් අය හිතුවෙ. ඒත් ඔය හැම කාලෙකම මගේ හිතේ එක එක විදියෙ මළ ඉලව් තිබුණා. බොහෝ වෙලාවට ඒකපාර්ශවීය පෙම් කතා.) අපිත් එක්ක වැඩ කළ අයිය කෙනෙක් උන්නා. බොහොම තැන්පත්, හරිම හිත හොඳ, ප්‍රතිපත්තිගරුක පරමාදර්ශී චරිතයක්. හොඳ ගායකයෙක්. එයාගෙ සින්දු අහන්න අපි හරිම කැමතියි ඒ දවස්වල. එක කාලයක් අපි ගම්වල අනුශාසකවරුන්ගෙ ගෙවල්වල පැදුරු සාද කළා. ඒක ටිකක් වෙනස් විදියක වැඩසටහනක්. හොඳ ගීත තෝරගෙන ඒ ගීතවලට හැඳින්වීමක්, ගීත ගැන සංවාදයක් එක්ක තමයි ඒ වැඩසටහන කළේ. ඒ අයියා අපේ වැඩේ ප්‍රධාන ගායකයා.

එයාව මගෙ ජීවිතේට සම්බන්ධ කරන්න ගොඩක් අයට උවමනා වුණා. බැලු බැල්මට ඒකෙ කිසි වැරැද්දක් තිබුණෙත් නැහැ. ( වැරැද්ද තිබුණෙ මගෙ හිතේ. ) අපේ අම්ම, තාත්ත වුණත් කට පුරෝල පුතේ කියාගත්ත ගමන්. ලොකු බෑණා කරගන්නෙ බොහොම කැමැත්තෙන් උන්නෙ. ඒ අයියගෙ අම්මා නැති වෙලා. තාත්තා විතරයි උන්නෙ. මාව දැක්කම ඒ තාත්තගෙත් මූණ ආදරෙන් උතුරල යනවා. එයා මගේ අත්දෙකෙන්ම අල්ලන් කතා කරන්නෙත් පුදුම ආදරේකින්. අනේ මගේ ලොකු ලේලි කියල හිතෙන්න ඇති. අපේ පවුල්වල නිහඬ එකඟතාවක් තිබුණා මේ බැඳීමට. ඒත් ඉතින් මට හිත හදාගන්නම බැරිවුණා.

‘‘අනේ මට ඉතින් එහෙම හිතෙන්නෙ නෑනෙ. මට දැනෙන්නෙ සහෝදරයෙක් විදියට විතරමයි.‘‘ මේ ගැන කතා කළ අයට මං කිව්වෙ එහෙමයි.

‘‘මොකක්ද අනේ ඔය හිත, ඕක ටිකක් වෙනස් කරගන්නකො‘‘ කියල අපේ අම්මත් කිව්වා. ඒත් මට බැරිවුණා.

මේ අතරවාරෙ අපි දෙන්නගෙ කසාදයක් ගැන කතා කළ අපේ ළක්‍රිවියෙ සහෝදරයකුට ඒ අයිය කියල තිබුණෙ මෙන්න මෙහෙම කතාවක්.

‘‘නංගි දැනටමත් ගමනක් යන්න පටන් අරගෙන. එයාගෙ ජීවිතේ ඉදිරිය තියෙන්නෙ මෙහෙ. මං එයාව බැන්දොත් එයාව ගමට හිරවෙනවා. ඒක කරන්න හොඳ නෑ. අපි මේ ගමන යන්න එයාට ඉඩදෙන්න ඕන.‘‘

මමත් ඒ උත්තරය බොහොම සතුටින් බාරගත්තා. සමහරවිට එයා එහෙම නොකිව්ව නම් හැමෝගෙමත් කැමැත්ත නිසා ඒ විවාහයට මමත් කල්ගිහින් හරි කැමති වෙන්නත් තිබුණා. හැමදේම වෙන්නෙ හොඳටයි කියනවනේ.  ඒ අයියා හිටියෙ අපේ නගරයෙනුත් ඈත නගරයක, ඉනුත් ගොඩාක් ඇතුළක පිහිටි ගමක. එයාලට විශාල ඉඩමක් වගේම විශාල කුඹුරු යායකුත් තිබුණා. ඒ  කුඹුරුවල වැඩ කරන්න වෙයි කියන බයත් මට තිබුණා. මං ඉතින් පොත් කියවන්න මිස කුඹුරු වැඩ කරන්න හිතන් උන්නෙත් නැහැනෙ.

කසාදෙ නොකෙරුණාට අපේ බැඳීම් නැතිවුණේ නැහැ. අපේ ගෙදර විශේෂ අවස්ථාවල ඒ අයියටත් ආරාධනා කළා. මගෙ කවි පොත ජනගත කළ ගමේ උත්සවයටත් එයයි, නෝනයි දෙන්නම ආවා. ඒ විතරක් නෙවෙයි කොළඹ තිබුණු පොත ගැන සාකච්ඡාවට ඒ තරම් දුර ගෙවාගෙන එයා ආවා. සියලුම වැඩ අවසන් වෙලා යන්න ලෑස්ති වෙද්දි
‘‘මේ නංගිට පුංචි තෑග්ගක් මගෙන්‘‘  කියල මගෙ අතේ සුදු කවරයක් තිබ්බා. ඒකෙ මුදලකුත් එක්ක පොඩි සටහනක් තිබුණා.


27.01.2018
‘‘ආදරය ඔයා බෙදාගන්න, පුළුල් කරන විදිය....
              හෙමිහිට විඳගන්නවා.
              බෙහෙවින් අගය කරනවා.
මගේ ජීවිතයේ කොටසක් ඔයා ඉටුකරනවා.‘‘
මගේ සුපැතුම්
............. අයියා...

ඒ ඇස්වල දිලිහෙන අවංක සතුටක් මං දැක්කා. ඒ සතුට සහෝදරියකගේ ජයග්‍රහණයක් වෙනුවෙන් වෙන්න පුළුවනි. ස්වපරිත්‍යාගයක ප්‍රතිඵල දකින පෙම්වතෙක්ගෙ නිරාමිස සතුටක් වෙන්නත් පුළුවනි. කොහොමවුණත් මට හිතුණෙ ‘ඒ තවත් ආදිත්‍ය කෙනෙක් නේද?‘ කියලයි. 

Tuesday, January 30, 2018

70 දශකයේ පොඩි මල්ලි ඇවිත්...

( කරළියෙන් එපිට කතා )
පරාක්‍රම මහතා සභාව අමතමින් - සේයා රුව ලාල් ලක්ෂ්මන්

27 සෙනසුරාදා සවස වෙලාව දෙකට විතර ඇති. මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ  ලාල් අයියයි, මමයි දේශද්‍රෝහියා කතාබහට ලකලෑස්ති වෙමින් පෝස්ටර් වගයක් එල්ලමින් උන්නෙ. ශාලාවෙ දොරටුව විවෘත වෙලා ඇතුළට පැමිණි පුද්ගලයා මම සැනෙකින් අඳුනගත්තා. ඒත් මේ එයාමයි කියල හිතන්න හිත පෙළඹුණේ නැහැ. ඒක වෙන්න බැරි දෙයක් කියල දැනන් උන්න නිසා. ඔහු ඉන්නෙ බොහෝ දුර බැහැර. අනික මං විශේෂයෙන් ආරාධනයක් කරලත් නැහැ. ‘වෙන කෙනෙක් වෙන්න ඇති.‘ කියල හිතමින් මම පෝස්ටර් වැඩේම එල්ලිලා උන්නා.

ඒ අතර ඔහු හෙමිහිට මා අසලටම පැමිණියා. මම සිනාවකින් ඔහුව පිළිගත්තා.

‘මට කම්මැල්ලවීර තමයි මේ වැඩේ ගැන කිව්වෙ. විමුක්ති ක්‍රිස්තියානි දැක්මක් තියෙන නවකතාවක් කියල. ඒ ගැන මගෙත් උනන්දුවක් තියෙන නිසා වැඩේට සහභාගි වෙන්න හිතුණා.‘‘

ඔහු ඉතාම හෙමිහිට වචනයෙන් වචනය ඇමිණුවා.

‘‘මේ මහත්තයා...?‘‘ සාංකා සිත නිරවුල් කරගන්න මම තාවර වෙමින් ඉද්දි,

‘‘මම පරාක්‍රම කොඩිතුවක්කු. ඔයාද ඕතර්‘‘ ඔහු මගෙන් ඇහුවා. අප්පච්චියේ මාව උස්සල පොළවෙ ගැහූ ගාණයි. ඔහු බව හිතුවත් ඒ බව පිළිගන්න හිත මැලි වෙමින් තිබුණෙ ඒ මොහොතේ 70 දශකයේ විශිෂ්ට කවියා මගේ මේ ආධුනික වැඩේදි දකින්න කොහෙත්ම බලාපොරොත්තුවක් නොතිබුණ නිසා. ඉතින් ඉක්මණින්ම ඔහුව වාඩි කරල මමත් ළඟින් වාඩි වෙලා කතා බහ කළා.

පරාක්‍රම කොඩිතුවක්කු කවියා කොළඹ කිට්ටුව පදිංචියට ඇවිත්. අවුරුදු 15 කට පස්සෙයි මේ කොළඹ සාහිත්‍ය කටයුත්තකට සහභාගි වෙන්නෙ  කියල ඔහු කිව්වා. පොතක් ගන්න තියෙනවද ඇහුවම මම ඉක්මණින් පොතක් අත්සන් කරල ඔහු අත තිබ්බා. කොයිතරම් ප්‍රතික්ෂේප කළත්  බලෙන්ම මා අත මුදල් තැබුවා. ‘‘එහෙම හොඳ නෑනෙ කියමින්.‘‘

මං වැඩවල යෙදිලා ඉන්න අතර ඔහු පොත කියවන බව මා දැක්කා. ලද අවසරයකදි,

‘‘මම මේ පිටු දෙක තුනක් කියෙව්වා. භාෂාව හරිම ලස්සනට හසුරුවල තියෙනවා. කවි බසක් තියෙන්නෙ.‘‘ ඔහු කිව්වා. දෙයියනේ ඉතින් එහෙම කිව්වෙ පරාක්‍රම කොඩිතුවක්කු කවියා නේද කියල මට හිතුණා.

මූලික කතාව සහ සංවාද මණ්ඩපයේ කෙටි අදහස් දැක්වීම් අවසානයේ පරාක්‍රම කොඩිතුවක්කු කවියාත් කතා කළා. ඔහු දැක්වූ අදහස් මගේ මතකයට අනුව මෙහෙමයි. ( මගේ අවාසනාවට ඒ වෙද්දි රෙකෝඩරය ඕෆ් වෙලා කතාව පටිගත වෙලා නැහැ. )

පරාක්‍රම මහතා සභාව අමතමින් - සේයා රුව ලාල් ලක්ෂ්මන්

‘‘අවුරුදු පහළොවකට පස්සෙ මම මේ කොළඹ සාහිත්‍ය වැඩකට ආවෙ. මහපොලවෙ වැඩ කරන අය බොහොම අව්‍යාජව කතා කරන බව දැනුණා. ගොඩක් සතුටුයි මේ කතා බහට සම්බන්ධ වෙන්න ලැබුණට.

මගේ තාත්තා බෞද්ධ. අම්මා කතෝලික. තාත්තා මාව අම්මට හොරෙන් පන්සල් එක්ක ගියා. තාත්තා නැති වෙලාවට අම්මා මාව පල්ලියට අරන් ගියා. තාත්තා බීල ආවම මගේ බෙල්ලෙ එල්ලල තිබ්බා බොරලික්කම්, මාල කඩල දාලා අම්මටත් ගහල රණ්ඩු කළා. මේ හින්දා ඒ පුංචි කාලෙම මම ඉල්ලුවෙ එක දෙයයි ‘අනේ මාව මේ බුදුන්ගෙනුයි, ජේසුගෙනුයි බේරල දෙන්න කියල.

මේ සාකච්ඡාවට සහාභාගි වුණ කාන්තාවො හැමෝම වැඩවල යෙදිලා ඉන්න අය. ඒ බව එයාලගෙ කතා බහෙන්ම පෙනුණා. ඒ කතා හරිම නිර්ව්‍යාජයි. ගෑනු අය මෙහෙම සමාජය එක්ක වැඩ කරන එක බොහොම හොඳ දෙයක්. මං කාලෙකින් මේ වගේ කාන්තා සහභාගිත්වයක් දැක්කෙ.‘‘

මීට අමතරව පරාක්‍රම මහත්තයා  දැක්වූ අදහස් මට අමතක වුණා නම් එදා සංවාදයට සහභාගි වූ අය එකතු කරන්න. මා ලියූ දේවල් නිවැරදි කරන්න ඇත්නම් එයටත් අවස්ථාව තියෙනවා. 

ඔහුගේ අලුත්ම කවි පොත, ළඟ ඇති මුත් තාම කියවන්න නොහැකිවුණ..

Thursday, January 25, 2018

දේශද්‍රෝහියාගේ හෘදය හා පුජකයෙකුගේ හෘදය (ආත්ම විවරණයක්)



මා දන්නා තරමින්  මිනිස් හදවතක් සාර්ථකව විවෘත කළ හැක්කේ  හදවත් සැත්කම් කරන ශල්‍ය  වෛද්‍යතුමෙකුට පමණකි. තරංගි අක්කා (පුරුදු ලෙසම ඈ අමතන්නට අවසර!) කිනම් ආකාරයේ වෛද්‍යවරියක්ද? ඇය  දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය  මා ඉදිරියේ විවෘත කර ඇත. පොත කියවා හමාර කළද මම බොහෝ වෙලාවක් ඒ දෙස නිසලව බලා සිටියෙමි. ඒ දේශද්‍රෝහියාගේ නිර්මල හදවත, නිර්මල මරිය නිකායිකයෙකුගේ (එතරම් නිර්මල නොවූ) හදවත හා සංවාදයක් අරඹා ඇති සෙයකි. මම නිහඬවම අසා සිටියෙමි.

විමුක්ති දේව ධර්මය යනු වත්මන් ශ්‍රි ලාංකීය කිතුනු සභාව තුළ ඉතා දැඩිව සහ පුළුල්ව මුල් ඇදගත් දේව ධාර්මික කතිකාවතක් නොවේ. හැත්තෑව දශකයේ සහ යුද්ධය ඇරඹි මුල් සමයේ මීට වඩා පුළුල් ලෙස එය සාකච්චාවට සහ භාවිතයට බඳුන් වූ බව මා අසා ඇත. එනමුදු එහි වටිනාකම සහ අවශ්‍යතාවය අදටත් අප රටට වලංගු බවයි මගේ නම් හැඟීම.  එම ධාර්මීක ජානරය ගැඹුරින් අධ්‍යනය කළ ඇලෝයි පිරිස් පියතුමන්, මහින්ද නාමල් සොයුරු වැනි කිහිප දෙනෙකු හෝ තවමත් අප අතර ජීවත් වීම සැබවින්ම භාග්‍යයකි. එවැනි සොඳුරු “දහම් පාසැලක” ඇසුරක්‌ නොලැබුනේ නම්, තරංගි අක්කාගේ අතින් මෙම නව කතාව  නොලියවෙන්නට ඉඩ තිබුණි.

ඉතින් මා නම්, අන් කිසිවකටත් වඩා නව කතාවෙන් අල්ලා ගන්නට තැත් කළේ එම දේව ධාර්මීක යටි පෙළයි. කතෝලික සභාව හුදෙක් ආයතනයක් (institute) ලෙස ලඝු කළ නොහැක. නමුත් ක්‍රි. ව. 313න් පසු, රෝම අධිරාජ්‍යය තුළ  ආගම, රාජ්‍ය යාන්ත්‍රනයේම කොටසක් වූවායින් ඉක්බිති,  ආයතනික ගති ලක්ෂණ ඕනෑවටත් වඩා එතුළට රිංගා ගත්තේය. එදා සිට අද දක්වා, සැබෑ ක්‍රිස්තු ධර්මයේ ආධ්‍යාත්මය පසෙක ලා, ආයතනය පමණක් රැක ගැනීමේ පුහු ප්‍රයත්නයන් කිතුනු සභාව තුළ දක්නට ඇති බව නොරහසකි. එම  දේව විරෝධී ක්‍රියාවලියට මාද අඩු වැඩි වශයෙන් සහභාගී වූ බව මාගේ හෘද සාක්ෂිය අදටද මට අවලාද කියයි. (මාගේ හෘදය එතරම් නිර්මල නොවන බව මා මුලින් කීවේ එබැවිනි.) විශේෂයෙන්ම අවසන් යුධ සමයේ සිදුවෙමින් පැවති දහස් සංඛ්‍යාත මරණ හමුවේ මුනිවත රැකීම හෙවත් බියගුළු, කුහක නිහඬතාවයක් රැකීම මට අද ඉසුලුම් නොදේ. “ආදිත්‍ය ගේ වගේ හදවතක් මටද තිබුණානම්...” යයි පොත කියවෙන අතරතුර සිතුනේ එක වරක් පමණක් නොවුයේ එහෙයිනි.

මානුෂීක මෙහෙයුම නමින් දෙපාර්ශවය විසින්ම සිදු කරමින් පැවති අමානුශිකකම්වලට මා එකදු වචනයකින්වත් ප්‍රසිද්ධියේ විරුද්ධ වී නොමැත. කිසිදු දේශනාවක ඒ ගැන සෘජු  සඳහනක් කළා යයි මට ආවර්ජනය නොවේ. මා පියතුමෙකු වී වසරක් ගත වෙන්නටත් මත්තෙන් නිල වශයෙන් යුද්ධය අවසන් විය. නමුත් මැණික් ෆාම් ඇතුළු කඳවුරු තුළ ජීවිත පරඬල රැක ගැනීමේ යුද්ධය, ඉන් පසුවත් වසර බොහෝ ගණනක් පැවතිනි. අදටත් තම ගම බිම් වලට යාගත නොහැකිව සිටින්නන්ගේ ගණන සුළු නොවේ. නමුත් දේශද්‍රෝහියෙකු වීමේ උවමනාවක් මට කිසිසේත්ම නොතිබිණි. “මොනවා උනත් යුද්ධෙ ඉවර වෙනවනේ” යන සිතුවිල්ල මා තුළ තිබූ බවනම් හොඳ හැටි මතකය. මානුෂීය මෙහෙයුමේ ප්‍රචාරණයේ බලගතුකම කෙතරම්ද කිවහොත් පූජකයෙකුගේ සංවේදී හදවතක් පවා හීලෑ කර, නිහඬ කර තබා ගැනීමට එය සමත් විය.

තරංගි අක්කා, ඒ අමතක කළ නොහැකි  වුවත් මා විසින් වළ දමා තිබූ අතීතය, නැවත ගොඩ ගෙන ඇත. නව කතාව තුළ ආදිත්‍ය අතුරුදහන් කළේ (හෝ මරා දැමුවේ) කවුරුන්දැයි අපට හරියටම කිව නොහැකි වුවත්, මා තුළ සිටිනා ආදිත්‍ය ව යුද සමය තුළ අතුරුදහන් කර දැමුවේ මා විසින්ම බව නව කතාව පසක් කර දුන්නේය.

සිස්ටර් සෙව්වන්දි නැවත මුතු ඇල්ලේ ගියාය. ඈ පරාජය වූයේ නැත. පැවිදි ජීවිතය තුළම නැවත ජීවිතය සොයා යන්නීය.  කවුරුන් කෙසේ අර්ථකථනය කළද, කතුවරිය ගේ අවසන් වදන් පෙළ මා කියවා ගන්නේ එලෙසිනි. මාද මුතු ඇල්ල සොයා ගමන් කළ යුතුය. සැබෑ ධර්මය, සැබෑ ආධ්‍යාත්මය, සැබෑ නිදහස නම් වූ මෙලොවම තිබෙනා දේව රාජ්‍යය සොයා, බියගුළු බවින් මිදී නික්ම යා යුතු ය. මේ දැන්, මෙතැන, සැම තැන, සැම දින  ඒ නික්මයාම සිදුවිය යුතුමය. විමුක්තිය ලබන්නට නම්, නික්ම යා යුතුමය.


ශානිල් ජයවර්ධන (නි.ම.නි.) පිය 


Tuesday, January 16, 2018

කාලීන සමාජ දේශපාලන සංවාද සහිත ආදර වියමනක්

සීතා රංජනී 
( රාවය පුවත්පතේ පළ වූ ලිපියකි. )


දශක කිහිපයක් ම, ඝාතනය වෙනුවට ජීවිතය රකින්නැයි හඬ නගන්නට අපට සිදු විය. අවිචාරය වෙනුවට විචාරයට ඉඩ දෙන්නැයි කෑ ගසන්නට අපට සිදු විය. අත්තනෝමතිකත්වය වෙනුවට විවිධත්වයට ගරු කරන්නැයි කියන්නට අපට සිදු විය. යුද්ධය වෙනුවට ජනජීවිත රකින්නැයි බලපෑම් කිරීමට අපට සිදු විය. දේශපාලන බල ලෝභය නිසා නිර්ලජ්ජිත ලෙස උල්ලංඝණය කෙරුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගන්නට පාරට බසින්නට අපට සිදු විය.  මිනිස් ජීවිතයේ වටිනාකම් සුණු විසුණු නොකරන්නැයි මොර ගසන්නට අපට සිදු විය.

තමන්ගේ දහමේ හරය නොදත්තවුන්ගේ අමනෝඥ හැසිරීම් නිසා ආගමික අන්තවාදයේ ගිනිදැල් වරින්වර ජන සමාජය වෙලාගනී. ජාතිවාදී, ගෝත‍්‍රවාදී, කුලවාදී මෙන්ම ධනවාදී කුහකකම් නිසා මිනිස්කම කොන් කිරීම තුරන් කිරීමට නොහැකි වී තිබේ. ස්තී‍්‍ර පුරුෂ වශයෙන් මිනිස්කම ලොකු කුඩා කිරීමේ මනෝ විකෘතීන් සුවපත් කළ නොහැකි වී තිබේ. මිනිස් ජීවිතයේ යහපත වෙනුවෙන් ගන්නා සියලූ පියවර එක්කෝ දේශද්‍රෝහිත්වයට බැරවේ. එක්කෝ මිලිටරි මානසිකත්වයට යටවේ. සියල්ලට ඉදිරියෙන් ඇත්තේ නැතිනම් සියල්ල මෙහෙයවන අදිසි හස්තය දේශපාලන බලලෝභිත්වය මිස වෙන කිසිවක් ම නොවේ. අද, අලූත් ව්‍යවස්ථාවක් ගැන කතා කරන්නවුන් වෙඩි තබා ඝාතනය කළ යුතුයැයි කියන්නේ, මිනිස් ලෙයින් ම මහ පොළොව තෙත් කොට සියල්ල විසඳීමට උර දුන් උන්ය. එවන් ඉතිහාසයක සාක්‍ෂිකරුවන් වූ අප වර්තමානය ද සාක්‍ෂිකරුවන් කොට අනාගතය ද සාක්‍ෂියට කැඳවමුද? මෙම ලැජ්ජාවෙන් අත් මිදෙන අනාගතයක් වෙනුවෙන් දැනුම්වත් සමාජයක් ගොඩනගන්නට සාහිත්‍යයට, කලාවට කාර්යභාරයක් ඇති බව අමතක කළ හැකිද?

අපගේ සමාජ දේහය උඩු යටිකුරු කළ අත්දැකීම් සමුදායක් අප ඉදිරියේ තිබිය දී ඒවා තමන්ගේ නිර්මාණ අත්දැකීම් බවට පත් වන්නේ අඩුවෙන් බව බැලූ බැල්මට පෙනේ. අතරින් පතර එකක් දෙකක් නිර්මාණ සඳහා ඒවා අත්දැකීම් බවට පත් වී නිර්මාණාත්මකව ප‍්‍රකාශයට පත් වුවත් ඒවා ප‍්‍රමාණවත් නොවන ගොහොරුවක අප ජීවත් වේ. තරංගනී රෙසිකා ප‍්‍රනාන්දු (තරුරසී) ගේ ප‍්‍රථම නව කතාව වන ‘‘දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය’’ කෘතියට පාදක වී ඇති අත්දැකීම් පරාසය කෙටි වුවත්, එය, පැහැදිලි සමාජ දේශපාලන දැක්මක් සහිත නිර්මාණාත්මක වියමනක් වී තිබීම සතුටට කාරණයකි.

‘‘දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය’’ නවකතාවට පාදක වන්නේ 2005 වසරේ සිට අවසන් යුද්ධය සමය දක්වා කෙටි කාල පරාසයකි. කිතුණු විමුක්ති දේවධර්ම පාඨමාලාවක වැඩ මුලූ කිහිපයක ආගම සහ ජීවිතය කේන්ද්‍ර කොට ගෙන ඇති වූ සාකච්ඡාවල දී මතු වූ කරුණු කාරණා කතුවරියගේ සමාජ දේශපාලන දැක්ම වශයෙන් ඉදිරිපත් වේ. නැතහොත් ඇයගේ සමාජ දේශපාලන දැක්ම, තරුණ පැවිදි සහෝදරියක් වන සෙව්වන්දි සහ ආගම ගැන ලිබරල්වාදී දැක්මක් ඇති, යුද්ධය වෙනුවට සාමකාමී සමාජයක් පතන තරුණයකු වන ආදිත්‍ය අතර ගොඩනැගෙන සම්බන්ධය හරහා ඉදිරිපත් වේ. මිනිසුන්ගේ අයිතිවාසිකම්, යුද්ධයෙන් ජීවිතයට වන විනාශය ගැන දේවධර්ම පාඨමාලාවේ සංවාද හරහා නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමක් දක්නට ලැබේ. ඇයගේ නව කතාවේ කාල පරාසය කෙටි වුව ද, මිනිස් ජීවිතයට එරෙහිව සිදු වූ අවිචාරවත් කි‍්‍රයා සම්බන්ධ අතීත සිහි ගැන්වීම් දේවධර්ම පාඨමාලාවේ දේශකයන් වන පූජකවරුන් හා වරියන් මඟින් අවස්ථාවෝචිතව සිදු වේ. ආදිත්‍ය අතුරුදහන් වූ පසු ඔහු ගැන සොයා බලන්නට ඔහුගේ ගමට යන තරුණ පැවිදිවරියගේ ගමන් විස්තරවලින් ද එවැනි සිදුවීම් ඇතුලූ කර ගෙන ඇත. 83 කලූ ජූලිය පිළිබඳ මතකය, 88/89 භීෂණය, පූජකවරුන් හා පූජකවරියන් ඝාතනය වීම් ඇතුලූ සිදුවීම් එම අතීත මතකවලට ඇතුළත්ය. සමාජ දේශපාලන පසුබිමක පිහිටා ප‍්‍රබන්ධ කර ඇති නවකතාවේ වියමන තරමක් නැවුම් ආදර කතාවක් වීම විශේෂය.

බයිබලයේ පේ‍්‍රම ගී කොටසේ වගන්ති නව කතාවේ පරිච්ඡේද ආරම්භයට යොදා ගෙන වියා ඇති තාරුණ්‍යයක් දිස්වන වියමන තුළ, දේවධර්ම පාඨමාලාවට එක්වන තරුණ කණ්ඩායම මෙන්ම එහි දේශකයන් වන ඉතා ම ජ්‍යෙෂ්ඨ පූජකවරුන් සහ පූජකවරියන්ගේ දේශනවලින් ද තාරුණ්‍යයක් දිස්වේ. ඔවුන් උගන්වන්නේ සාම්ප‍්‍රදායික ආගමික කාරණා ම නොවේ. පාඨමාලාවට සම්බන්ධ වන ආදිත්‍ය කිතුණු ආගමිකයකු නොවන අතර බුත්තල ජනතාව වෙනුවෙන් කැප වූ මයිකල් රොද්‍රිගු පියතුමා ඇසුරේ අත්දැකීම් ලැබූ තරුණයෙකි. ඔහු සියලූ ආගම්වල දර්ශනයන් පිළිගන්නා, ආගම මිනිසාගේ ජීවිත පීඩාවෙන් මුදවා ගැනීම සඳහා යොදා ගත යුතු බව පිළිගන්නා තරුණයෙකි. ආගම්වලට බෙදී සිටින සමාජයකට වඩා අනාගමික සමාජයක් වඩා යහපත් විය හැකිය යන විප්ලවීය අදහස පිළිගන්නා තරුණයෙකි. එමෙන්ම නව තරුණ  අදහස් නිසා පමණක් නොව වඩා ඉදිරිගාමී දැක්මක් ඇති ජ්‍යෙෂ්ඨ පූජ්‍ය පක්‍ෂයේ ද අදහස් අනුව, ආගම මිනිසාට ආදරය කරන්නට උගන්වන, මිනිසාට සේවය කරන්නට ඇති දෙයක් බව පිළිගැනීමක් කෘතිය පුරා ප‍්‍රකාශිතය. එය කිතුණු දහමට පමණක් සීමා නොවන ආකාරයක් පෙන්නුම් කරන අතර ම, කිතුණු ආගමික සංස්ථාවන් තුළ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් ප‍්‍රාණ පරිත්‍යාගීව සේවය කළ පූජකවරුන් සහ පූජකවරියන් ගැන අගය  කිරීමක් ද අන්තර්ගතය. 

සීතා රංජනී

තරංගනීගේ නව කතාවේ කේන්දී‍්‍රය චරිත වන සෙව්වන්දි පැවිදි සොයුරිය සහ ආදිත්‍ය නම් මිනිස්කම අගයන තරුණයා අතර පලූදු කළ නොහැකි බැඳීමක් ඇති වන්නේ
, වැඩමුලූ කිහිපයේ දී තරුණයා දක්වන අදහස් සහ පෞද්ගලිකව ලෝගුව තුළ බැඳීමට යටත් කළ තරුණියගේ ජීවිතය ප‍්‍රශ්න කිරීම හරහාය. වතාවත් සහ පුරුදුවලට යටත් කළ ජීවිතයකට වඩා මිනිසුන්ට සේවය කරන ජීවිතයක්, හඬක් නැති මිනිසුන්ගේ ජීවිතවලට කටහඬක් විය හැකි ජීවිතයක්, තරුණයාගේ වටහා දීම වෙයි. සත්‍ය වශයෙන් ආගමික ජීවිතයකින් සිදු විය යුත්තේ එය බවට හැඟවීමක් කෘතිය තුළ කැපී පෙනෙන නමුත් තරුණයා තරුණ පැවිදිවරියට ඊට එහා ආදරණීය ජීවිතයකට ද හැඟවීම් කරයි. පැවිදිවරිය එයින් වෙන්වීමට තීරණය කරන්නේ, තරුණයා අතුරුදහන් වූ පසු වැඩි වැඩියෙන් ඔහු දැනෙන්නට වූ නිසාය. එහෙත් පැවිදිවරියක් ලෙස ම ඇය අවසානයේ මුතුඇල්ලට යන්නට තීරණය කරන්නේ අතුරුදහන් වූ ඔහුගේ කැමැත්ත අනුව, පීඩිතයන්ට සේවය කිරීමෙන් ඔහුගේ ආකල්පයන්ට දායක වීමටය.

පරස්පරතාව වන්නේ තරංගනී විසින් ගොඩනගන ආගමික සහජීවනය අගයන දැනුවත් තරුණ කණ්ඩායම තුළින් ද අවසානයේ ආදිත්‍ය ප‍්‍රතික්‍ෂෙපයට ලක්වීමයි. කෘතියේ දී කතිකාවට ලක්වන මිනිස්කම, සහජීවනය, ජනවාර්ගික අයිතීන් සියල්ලට වඩා එම තරුණ කණ්ඩායම ද යටත් වී ඇති බව පෙනෙන්නේ, රටේ දේශපාලනයේ ආධිපත්‍යය බවට පත් යුදවාදී මානසිකත්වයකටය. තරුණ කණ්ඩායම කිසිදු භේදයකින් තොරව, මුතුඇල්ලේ අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන ධීවර ප‍්‍රජාවට සහාය වීම සඳහා ද එක්වේ. නමුත් තීරණාත්මක මොහොතේ, එනම් ප‍්‍රබන්ධයට අනුව අවසන් යුද්ධය සමයේ, ජනවාර්ගික අයිතීන් වෙනුවෙන් කටයුතු කරන ආයතනයක සේවය කරන ආදිත්‍ය ඩොලර් නිසා කතා කරන්නෙකුය යන චෝදනාවට ලක් වන්නේ දැනුවත්යැයි හැෙඟන එම තරුණ කණ්ඩායමෙන්මය. කතාව තුළ ගමෙන් ප‍්‍රතික්‍ෂෙප වීම ආදිත්‍යය රිදවූ එකක් බව ප‍්‍රකාශ වුවත්, යථාර්ථයට අනුව, බුත්තල වැනි ගමකින් ඔහු දේශද්‍රෝහියකු බවට පත්වීම පිළිගත හැකි වුවත් එකට වැඩ කරන අය අතරින් ඒ සා දරුණු ප‍්‍රතික්‍ෂෙප කිරීමකට ලක්වීම පිළිගැනීම තරමක් දුෂ්කරය.

කෙසේ වුවත්, විශාල අත්දැකීම් සම්භාරයක් සහිත සමාජ දේශපාලනික යථාර්ථයක කෙටි කාලයක් පසුබිමට ගෙන, තරංගනී රෙසිකා විසින් ගොතන ලද මෙම ආදර වියමනට, ගැලපෙන ප‍්‍රමාණයෙන් කාලීන සමාජ දේශපාලන සංවාද ඇතුළත් වුව ද එහි ඇති නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම නිසා එක දිගට කියවීමට කැමැත්තක් ඇති වේ. අතීතය වර්තමානය අතර දෝලනය කරමින් කරන ප‍්‍රබන්ධය තව දුරටත් පිරිපහදු වූවානම් සුදුසු බව යෝජනා කළ යුතුය. සමස්තයක් වශයෙන්, කිවිඳියක වන කතුවරිය බයිබලයේ සාහිත්‍යමය කියවීමකින් ද සන්නද්ධව තම වියමන කර ඇති කාව්‍යමය භාෂාව නිසා, තව දුරටත් පිරිපහදු වූ නිමාවක් ඉල්ලන කෘතිය ගැන පාඨකයාට පැහැදීමක් ඇති වන බව කිව යුතුය.

ප.ලි.

‘දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය‘ පිළිබඳ කතිකාවක් 2018 ජනවාරි 27 සෙනසුරාදා සවස 2.30 ට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වේ. බ්ලොග් සහෘද සැමටත් ආදරයෙන් ඇරයුම් කරමි.


Friday, December 22, 2017

අමුතු රැයක පුංචි තරුවක කතාව


මම පුංචි තරු කැටයක්.. මිලියන, බිලියන, ට්‍රිලියන ගණනින් සහස් සුවහස් තරු පංතීන් අතර පියවි ඇහැටත් නොපෙනෙනා තරම් පුංචි ම පුංචි තරු කැටයක් නම් මොකක්ද? ඔබ හිතාවි. නමුත් මට මං ගැන හරිම සුවිශේෂී හැඟීමක් දැනෙනවා. ඒ එදා රැයේ ඒ අහසෙ ක්ෂුද්‍ර ඉඩක් මටත් වෙන් වෙලා තිබුණ නිසා.

ඒ ය හරි අමුතු නිස්කලංක රැයක්. ඒ නිස්කලංකකම ඇතුළෙ දිලිහි දිලිහි තිබුණා අමුතු අසිරියක්. ඒක හැමදාම අල්ලල නතර කරගන්න තරම් හිතෙන අමුතු චමත්කාරයක්. එතෙක් ගැඹුරු නිද්‍රාවක ගිලිල උන්න සුවිසල් තරුවක් හිටි ගමන් මහා ආලෝකයකින් ඇවිළෙන්න ගත්තා. ඒ ආලෝක කිරණ දීප්තිමත් කිරණ ගංඟාවක් වෙලා මහ පොළවට ඇදෙන්න ගත්තා. මගේ කණාමැදිරි කිරණ බැල්මත් ඒ ආලෝක දහර දිගේ පෘථිවි තලය දිහාටම ඇදුණා. මහ පුදුමයක්... බලගතු අධිරාජ්‍යයක වැඩිය කාගෙවත් ඇල්මක් බැල්මක් නොවැටුණු නගරයක්. ඒ නගරයේ සතුන් ගාල් කළ පුංචි මඩුවක්. ඒ පුංචි මඩුවෙ කෑම ඔරුවක වියළි තණ පියලි සයනාසනය කරගෙන සුව සේ නිදා ඉන්නා පුංචි බිළිඳෙක්... තරු කිරණ නැවතුණේ ඒ සිඟිති මුහුණට හාදුවක් දෙමින්... වෙහෙසපත් දිළිඳු මවක්, පියෙක්. නමුත් ඒ මුහුණුවල බලාපොරොත්තුවක සේයා දැවටිලා.
අහස පුරා තරු අතරින් කිමිදිලා ආ සුරදූතයින් ගීතයක් ගැයුවා.

‘‘ස්වර්ගයෙහි දෙවියන්ට මහිමය වේවා ! මේ මිහිතලය මත සියලූම ජනතාවට සාමය වේවා !’’


මේ විදියට ගයමින් දේවදූතයො මුලින්ම ගියේ තමන්ගෙ බැටළු රංචු රැකබලාගනිමින්, සීතලේ ගැහි ගැහී කයිකතන්දර කියමින් තණබිම්වල වාඩිලාන උන්නු දුප්පත් එඬේරු ළඟට. පීඩිත ජනතාවට විමුක්තියේ මග හෙළි පෙහෙළි කරන ගැළවුම්කාර දේව පුත‍්‍රයා උපන් බව කියන සුබ පණිවිඩයයි දේවදූතයන් එඬේරුන් වෙත අරන් ගියේ. ඒ දුප්පත් මිනිස්සු තමන් වෙනුවෙන් ගැළවුම්කාරයෙක් උපන්නා කියන සුබාරංචිය භාරගත්තෙ අප‍්‍රමාණ සතුටින්. ලහි ලහියෙ ඒ බිළිඳා සතප්පල තියෙන ගව මඩුව පැත්තට එඬේරුන් දිවගියා.

ඒ වෙද්දිත් අධිරාජ්‍යවාදය එක්ක එකතු වුණු ආගමික අන්තවාදයන් මහපොළව ගිලගෙන තිබුණෙ. එහෙව් කාලෙක ගැළවුම්කාර දේව පුත‍්‍රයෙක් ලෝකයට එවන්න දෙවියන්ට හිතුණ නම් ඒක පුදුම වෙන්න කාරණයකුත් නෙවෙයි. ලෝකෙ අස්සක් මුල්ලක් නෑර සිද්දවෙන අකටයුතු නිතරම මටත් පෙනුණා. ඒත් මං වගේ පුංචි තරුවක් ඒ වෙනුවෙන් මක්කරන්නද? ආලෝකවර්ෂ දාස්ගාණක් ගෙවුණත් බල අරගලවල පැටලෙන, ආගමික අන්තවාදයන් එක්ක ඇවිළෙන මිනිස්සුන්ට මනුස්සකම ගැන වැටහීමක් ඇති වෙන එකක් නෑම කියලයි මට එදා හිතුණෙ.

මිනිසුන්ගෙ ගැළවීම වෙනුවෙන් උපදින මෙසියස්වරයා දාවිත්ගෙ නුවර උපදින, දාවිත්ගෙ පරපුරෙන් පැවත එන කෙනෙක් කියන එකයි ඒ දවස්වල ජුදා ආගම ඇදහූ ජනතාවගෙ විශ්වාසය වුණේ. බිළිඳාගෙ තාත්තා ජුසේ වඩුරාලත් දාවිත්ගෙ වංශයෙන් පැවත ආ කෙනෙක්. ඒ නිසානෙ ජන සංගණනයට දාවිත්ගෙ පෙළපතට අයිති නුවර වුණ බෙත්ලෙහෙමට යන්න වුණෙත්. ගව මඩුවට ඇවිත් බිළිඳා බැහැදැක්ක එඬේරුන්ට මේ ඉතිහාස කතාත්, ආගමික විශ්වාසයනුත් ටක්කෙටම මතක් වෙන්න ඇති.

තවත් පුදුමයක්... සුවිශේෂ තරු එළිය දැක්ක පෙරදිග රජවරු තිදෙනෙකුත් බිළිඳා බැහැදකින්න තෑගි බෝග අරන් දුර බැහැර ගෙවාගෙන බෙත්ලෙහෙමට ආවනෙ. ඒ රැය මහ පුදුම රැයක් කියන්නෙ මං ඒ නිසයි. ඒ උපත පුදුමාකාර උපතක් කියන්නෙ මං ඒ නිසයි. ස්වර්ගයත්, මිහිතලයත්, අහස්තලයත් එක වගේ උද්දාම වුණු රැයක්. සතා සීපාවුන්ටත්, දුප්පත් එඬේරුන්ටත්, රජවරුන්ටත්, දේව දූතයන්ටත් ඉඩතිබුණු වැදුම් ගෙයක්. ඉතින් ඒ අලූත්ම අලූත් උපතක් නෙවෙයිද? ඒ පුංචි ගවමඩුව ඇතුළෙ තිබුණු සාමය, සතුට, සංහිඳීම, සමානාත්මතාව ඒ තරම් පරමාදර්ශී උපතක් තවත් තියෙනවද?


තරාතිරමක් නොබලා මිනිසුන් ඒකරාශි කරන්න පුලූවන් ඒ අධ්‍යාත්මික බලවේගයටයි හෙරොද් උණත් බයවුණේ. අවුරුද්දක් වයස සියලූම පිරිමි දරුවන් කඩුගාන්න කුරිරු ආඥාවක් නිකුත් කරන්න ඔහු පෙළඹුණෙත් ඒ නිසයි. තරුත් කඩාවැටුණු අඳුරු කාලයක්. ලෞකික බලපරාක‍්‍රමය හැමදාම පවතින දෙයක් නෙවෙයි. ඒ නිසාම ඒ බලය රැකගන්න අප‍්‍රමාණ මහන්සියක් දරන්න වෙනවා. ඒ රැකගැනීම කියන්නෙම අයුක්ති සහගත, අසාධාරණ, සැහැසිකම්වලට  තෝතැන්නක්. එදත් අදත් ඒක එහෙමමයි.

ඊටත් වසර ගණනාවකට පස්සෙ කල්වාරි කඳු මුදුනෙ කුරුසයක ඇණගහල මරල දාන්නෙත් එදා ඒ කඩුගාලා විනාශ කරල දාන්න බැරිවුණු විමුක්තිදායක සුබාරංචියම තමයි. ඒ ගවමඩුවක උපන්න බිළිඳාම තමයි පසුකලෙක ගම්නියම් ගම් සැරිසරමින් දුප්පතුන්, අසරණයින්, රෝගීන්, සමාජයෙන් කොන්වූවන් එක්ක ලෞකිකත්වයෙන් එහා තියෙන අධ්‍යාත්මික විමුක්තිය ගැන කතා කළේ.  ධනය, බලය, ආගම නිසා අන්ධ වූ මිනිස්සුන්ට, තමන්ගෙම අන්තවාදයන් මිස මනුස්සකම තේරුම් නොගන්න මිනිසුන්ට තමන්ගෙ රාජ්‍ය බලයට, ආගමික බලයට තර්ජනයක් විදියට පෙනුණු ඒ තරුණයාගේ විප්ලවය අදත් නොබිඳී ඉදිරියට යනවා. ඒ දෙවියන් බලාපොරොත්තු වුණු අධ්‍යාත්මික රාජ්‍යය තවමත් මේ මහපොලවට හුඟක් දුර නිසා.


එදා වගේම අදත් නිවි නිවී දැල්වෙන මං වගේ ක්ෂුද්‍ර තරුවකට වුණත් හිතෙන්නෙ අනේ එදා ඒ ගව මඩුව ඇතුළෙ තිබුණු නිවන සමාජයේ හැම තැනකම තියෙනවනම් කොයි තරම් අපූරුද කියලයි. අද නත්තල්ය කියල සමරන මේ සරුවපිත්තල වෙස් නැටුම නම් එදා ඒ ගවමඩුවෙ සිදුවුණු බිළිඳු උපන්දිනය කියන අධ්‍යාත්මික මංගල්ලය අහලකින්වත් තියන්න බෑ. 



( 2016 වසරේ නත්තල වෙනුවෙන් කිතුසර පත්තරයට ලියූ ලිපියක්. )