මම දක්ෂ
කවිකාරියක් නම් නෙවෙයි... ඒත් පුංචි කාලෙ ඉඳලම කවියට මගේ ලොකු ඇල්මක් තිබුණා.. ඒ
නිසා මගේ අතිනුත් කවි නොකවි අනන්ත ලියවුණා.. ලියැවෙනවා... කවිය නිසා තෑගි ලබපු, සම්මාන
ලබපු, ප්රශංසා ලබපු, කවියෙන් අනිත් අයව සතුටු කරපු මම, කවියක් නිසාම අප්රමාණ
හිත් වේදනාවකුත් විඳල තියෙනවා... කෙටියෙන්ම කියනවනම් කවියක් නිසා ජීවිතේ ඇණගෙන
තියෙනවා... ඉතින් කවිය එක්ක මගේ තියෙන්නේ අපූර්වාකාර බැඳීමක්.. කොයි තරම් හිත
රිදුණා උණත් කවියට තාමත් මම ආදරෙයි.... ජීවිතයයි කවියයි එකට යා වෙලා ආව ගමනේ එක්
එක් අවස්ථාවන් මේ කවි පිටුවට එක් කරන්න මම හිතුවා.. ලියපු කවි, රස වින්ද කවි, කවි
ගැන කවියො ගැන මගේ අදහස් මේ පිටුවට අනාගතයේ දී එක් වේවි..... කවියට ඇළුම් කරන
ඔබත් මා එක්ක එක් වේවි.... ඒ කවි කතා අතර මගේ ඉරණමේ හැරවුම් ලක්ෂයක් වුණු කවි පද
කිහිපයත් ඔබට හමු වේවි.... ඒක කවදා කොහොම ලිය වේවිද නම් මම දන්නෙ නැහැ...
පුංචි කාලෙ
පුංචිකමට ලියූ කවි......
දෙකේ තුනේ
පන්තිවල ඉද්දි මට මතකයි උදෑසන, මුහුද ගැන කවි ලිව්වා.. ඒවායෙ පද නම් හරියටම මට මතක
නැහැ... මුහුද ගැන ලියපු කවි පන්තියේ අන්තිම පදය ජීවිතයත් මුහුද වගේ කියන අදහස මතු
කරන්නක් වුණා... පන්ති භාරව හිටිය ටීච මාව ළගට කැන්දල ඇහුවා පොතකින් බලලද ලිව්වෙ
කියලා... මට මතක හැටියට පොතකින් බැලුවෙ නම් නැහැ... ඒත් ඒ වගේ අදහසක් ඒ තරම් පුංචි
කාලෙක හිතට එන්න විදියක් නැහැනෙ... ඒ නිසා කොහේදි හරි කියවපු මතකයක්වත් තියෙන්න
ඇති.... හෝඩියෙ පන්තියට ගිහින් අ යනු ආ යනු ලියන කාලෙත්, අම්ම පස්සෙන් ගමේ
පුස්තකාලෙට ගිහින් කතන්දර පොත් වල පින්තූර බලන, අකුරු එකතු කර කර කියවන පුරුද්දක්
මට තිබුණා... ඒ නිසා කොහේ හරි පොතකින් ඇවිත් හිතේ ඇලවුණු අදහසක් මුහුද කවි
පන්තියෙදි එළියට පනින්න ඇති.....
උදෑසන ගැන
මා අතින් ලියවුණු කවි පන්තියත් අගය කෙරුණා පන්ති කාමරයෙදි.. යාන්තමට මතකයි.. ඒත්
ඒකෙ එක පදයත්වත් මතක නම් නැහැ...
ඉන් පස්සෙ
මට මතක තියෙන කවිය තමයි.... ඉස්කෝලෙ යන්න බැරි පුංචි ළමයෙක් ගැන ලිව්ව කවියක්.. ඒ
අදහස නම් ආවෙ අපි ඉස්කෝලෙ යන පාරෙ තිබුණ කොහු මෝලෙ ළමයි නිසයි... කොහුමෝල්
ජීවිතෙත් සමහර වෙලාවට අහිකුණ්ටික ජීවිතයක් වගේ තමයි.. අම්මල, තාත්තල කොහු මෝලෙන්
කොහු මෝලට යද්දි දුවා දරුවන්ටත් ඒ පස්සෙන් යන්න වෙනවා... ඒ නිසා ඉගෙනුමෙන් දුරක්
යන්න ඒ දරුවන්ට ලැබෙන ඉඩ කඩ හරිම අඩුයි... අම්මල, තාත්තල ආදරෙන් දරුවන් රැක බලාගෙන
ඉන්න රත්තරන් පුංචි පවුල් කොහු මෝල්වල ඇත්තේ අතේ ඇගිලි ගණනටත් අඩුවෙන්... බිදුණු,
විසිරුණු නෛතික හරි සෙනෙහවන්ත හරි බැම්මක් නැති පවුල් අප්රමාණයි... කාගෙ හරි
හෙවණක වැටිලා යාන්තමට කාල ඇදල ඉන්න අසරණ දරුවො හිග නැහැ... ඒ පුංචි කාලෙ මට කොහු
මෝල් ජීවිතේ තේරුණේම නැහැ... කොහු මෝල් ළමයින්ව අපි ගණන් ගත්තෙ නැහැ... එහෙම උණේ පන්ති පරතරය ගැන හැගීමක් නිසා නම්
වෙන්න බැහැ... ඒ ළමයින්ගෙ අපිළිවෙලයි, අපිරිසිදුකමයි නිසා වෙන්න ඇති... අද නම්
එහෙම දරු රෑනක් උණත් ළගට අරන් තුරුළු කර ගන්න තරම් දයාවක් හිතේ ගොඩ නැගිලා
තියෙනවා....
කොහුමෝලෙ
ළමයින්ට ආස නැති උණත් අපි කොහු බත් කන්දට නම් ආස උණා... කොහු මෝලෙ අබලන්
ගේට්ටුවෙන් ඇතුල් වෙලා, මට්ට වල ළගින් ඇවිත් කොහු බත් කන්ද නැගල අනිත් පැත්තෙන්
වැව ගාවින් පාරට ගොඩ වෙන්න අපි පුරුදු වෙලා හිටියා.. ඒක කෙටි පාරක්.. ඉස්කෝල ඇරිල පයින්
එන්න ලැබෙන අහඹු අවස්ථාවකදි තමයි ඒ කෙටි පාරෙන් ආවෙ... කොහු බත් කන්දට නැග්ගම
උඩින් අහස නිල් වියනක් වගේ... වම් පසින් තාර පාර.. ඊට එපිටින් රතු නෙළුම් පිපිණු
වැව.. දකුණු පැත්තෙන් ඈතට විහිදෙන කුඹුරු යාය.. කාලෙන් කාලෙට මේ සිත්තමේ වර්ණ
වෙනස් උණා... ඒත් ඒ හැම කාලෙකම අමුතු ලස්සනකුත් තිබුණා....
කොහු බත්
කන්ද පුරා ඒ මේ අතට පාරවල් විහිදිලා තිබුණා.. කොහු මෝලෙ ගැහැණු මිනිස්සු ලොකු කොහු
බත් කූඩා ඔලුවෙ තියාගෙන කන්ද උඩට ඇවිත් හලල ආයෙම බැහැල ගියේ හිනාවක්, සතුටක් නැති
හිස්ම හිස් මුහුණුවලින්... ඒ කොහුබත් කූඩා නිසා කන්ද පුරාම තව පුංචි පුංචි කදු
හැදිලා තිබුණා.. සමහර වෙලාවට අපි මේ කදු අතරෙ හැංගි මුත්තං කළා...
අද කාලෙ
වගේ නම් මේ කොහු බත් කදු ගාණෙ යන්න ළමයින්ට හීනෙන්වත් ඉඩක් ලැබෙන්නෙ නැහැ... දූෂණය
කරල මරල දාලා කියල අහන්න ලැබේවි... ඒ වාගෙ සිද්දි ඇහෙද්දි, දකිද්දි හිත කීරි
ගැහිල යනවා... අපේ පුංචි කාලෙ කොයි තරම් නිදහස්ද, නිස්කංලකද, ආරක්ෂිතද කියල
හිතෙනවා....
අයියෝ ඔන්න
ඉතින් කවි කතාව දිග වැඩි උණා....
කොහු
මෝල්වල ඉන්න කාගෙත් ඇදුම් පැළදුම් දුඹුරු පාටයි.. අවපැහැ ගැන්විලා.. ගොමස්කඩ
වෙලා... ඒ ඇදුමක හැබෑ පාට මොන වගේද කියල හිතා ගන්නවත් බැරි තරම්.... අව පැහැ
ගැන්වුණු ජංගි කොට, රෙදි කෑලි, ගවුම් කොට ඇද ගත්ත පුංචි ළමයි ඒ කොහු මෝලෙත් ඕන තරම්
හිටියා... හිමිදිරියට කොහු මෝලෙන් පිටවෙලා ඉස්කෝලෙ යන ළමයි අතරට එක් වෙන්න තරම්
වාසනාවන්ත උණ ළමයිනුත් හිටියා... මට හොදටම
මතක තියෙන්නෙ එක පුංචි ගැහැණු ළමයෙක් සමහරදාට කම්බි වැටේ එල්ලිලා... නැත්නම් අබලන්
ගේට්ටුවෙ එල්ලිලා ඉස්කෝලෙ යන ළමයි දිහා බලන් උන්න හැටි... සමහර විට ඒ ළමයා ඉස්කෝලෙ
යන වයසෙ නෙමෙයි වෙන්නත් ඇති... ඒත් හතරෙ, පහේ පන්තියෙදි ලියවුණු කවියට පාදක උණේ
නම් ඒ පුංචි ගැහැණු ළමයා...
කඩමළු වූ
චීත්තයක් නිතරම ඉණ දැවටෙන්නේ
දුක්බර පෙනුමකුයි
නිතරම දෑස් කොණේ දිස්වන්නේ
පාසල් යන
ළමුන් වෙතටයි නිතර දෑස යොමු වෙන්නේ
......................................
කොටස්
තුනක් තිබුණ කවි පන්තියෙ දැන් මගේ මතකෙට එන්නෙ ඔය ටික විතරයි ඔන්න... ආයෙම කවි
කතාවකින් හමු වෙමු....