පිටු

Friday, July 13, 2012

මැජික් කෝප්පේ මුතු කඳුළු


'' එදාම රාත්‍රියේ මම මගේ මුල්ම කෙටිකතාව ලීවෙමි. මට ඊට මිනිත්තු තිහක් ගත විය. එය මැජික් කෝප්පයක් සම්බ වූ මිනිසෙකු පිළිබ කි‍යැවෙන දුක්බර කෙටි කතාවකි. තමා ඒ කෝප්පය තුළට මුහුණ දමාගෙන හැුවොත් සිය කුළු මුතු බවට හැරෙන බව ඔහුට දැන ගන්නට ලැබෙයි.

හැමදාමත් දුප්පත් වී සිටියත් ප්‍රීතිමත් මිනිසෙකු වූ ඔහු කඳුලක් හෙළුවේ කලාතුරකිනි.

ඒ නිසා සිය කඳුළුවලට තමා ධනවතකු කිරීමට හැකි වනු පිණිස ඔහු තමා දුක්බර කිරීමේ ක්‍රම සොයා ගනියි...... මුතු ගොඩ ගැසෙද්දී ඔහුගේ තණ්හාවද වැඩි වෙයි.

කතාව අවසන් වන‍්නේ පිහියක් අතින් ගෙන, සිය ආදරණීය බිරිඳගේ පණසුන් ශරීරය දෑතේ හොවාගෙන, කෝප්පය තුළට කඳුළු වැටෙන සේ අසරණව වැළපෙමින් මුතු කන්දක් මත වාඩි වී සිටින මිනිසාගෙනි. ''

------------------------------------ef-------------------------------------

ලංකාවෙ අපිත් හරියට මේ මෝඩ මිනිහා වගෙයි කියල මට හිතෙනවා... ස්වභාවික සම්පත්, හොඳ ගුණධර්ම, ඉහළ ශිෂ්ටාචාරයක් තිබුණ අපිත් ඒ හැමදේටම වඩා ධනය, බලය, නිලතල නම්බු නාම, දියුණුව පස්සේ පන්නගෙන ගිහින් දැන් වටිනාම දේවල් අහිමි කරගෙන, ලබා ගත්ත දේවල් භුක්ති විඳින්නත් බැරිව වැළපෙන මේ අසරණ නර පණුව වගෙයි... මුතු හොයාගෙන ගිය ගමනෙදි අපි වැඩියක්ම එකතු කරගෙන තියෙන්නෙ කඳුළු නේද කියල හිතෙනවා අපේ සමාජය ශීඝ්‍රයෙන් පිරිහීගෙන යන හැටි දකිද්දි...

තණ්හාව ශෝකයට මුලයි කියන බුදු වදන සිහි වෙනවා මේ කතාව බලද්දි.. මනඃකල්පිත කතාවක් උණත් හිතන්න ගොඩක් කාරණා තියෙනවා....

මම මේ කතාව උපුටා ගත්තෙ මෙන්න මේ ‍පොතෙන්....

     කෘතිය                    :- සරුංගල් ලුහුබඳින්නා ( The Kite Runner )
     කර්තෘ                     :- ඛලීඩ් හොසෙයිනි
     පරිවර්තනය            :- ගංඟා නිරෝෂණී සුදුවැලිකන්ද
     ප්‍රකාශනය                 :- විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
     මිල                         :- රු. 480

 
තවම පොත කියවන්න පටන් ගත්තා විතරයි.. මුලින්ම පොතේ කවරය.. ඉන්පස්සෙ අනිත් පැත්ත හරවල පිටකවරය... ඊළට මුද්‍රණය ගැන තියෙන විස්තර, කර්තෘගේ වෙනත් කෘති, පෙරවදන් ආදි වූ විස්තර මේ සියල්ලම බලල තමයි කතාව බලන්න පටන් ගන්නෙ....

පොත හරිම රසවත්.. වගේම අර්ථවත් කියල දැනෙනවා... ඇ්ගනිස්ථානයේ මීනා ගැන ලියවුණු පොත කියෙව්වට පස්සෙ ඇ්ගනිස්ථානයෙ ඉන්නෙ මගේ නෑදෑයො වගේ හැීමක් දැනෙනවා.. අන්තවාදී මුස්ලිම්වරුන් නෙවෙයි... තමන්ගෙම මිනිසුන්ගෙ විරුද්ධවාදිකම් සහ ඇමරිකන් ප්‍රහාර හමුවේ අසරණ වන ඇ්ගනිස්ථාන් මිනිසුන්... ඒ අය වෙනුවෙන් වැඩ කරන මීනා වැනි ධෛර්යවන්ත ඇ්ගනිස්ථානුවන්.. මේ අයයි මගේ නෑදෑයො...

aගන් ජාතිකයෙක් ඉංග්‍රීසියෙන් ලියා පළ කළ ප්‍රථම නවකතාව මෙයලු.... මේ නවකතාව චිත්‍රපටයටත් නැගිල තියෙනවලු...

Thursday, July 12, 2012

තනි තරුවක් නිවී දිලෙයි....



තනි තරුවක් අහස් ගැබේ
දිලී නිවෙයි නිවී දිලෙයි
දිලිහි දිලිහි නිවෙයි දිලෙයි.....

කෑලි කපන ගණ අුරේ
බියකරු බව මකාලන්න
මුසලබව මකාලන්න
අපමණ වෙහෙසක් දරමින්

දිලී නිවෙයි නිවී දිලෙයි
දිලිහි දිලිහි නිවෙයි දිලෙයි.....

නොහැකි නමුත් අුරු තිරය
ඉරා දමා එළිය දෙන්න
සැව නොයා වළා අතර

දිලී නිවෙයි නිවී දිලෙයි
දිලිහි දිලිහි නිවෙයි දිලෙයි.....

පැවරුණු කාරිය අකුරට
ඉටු කරමියි සිතා සිතින්
තනි තරුවක් අහස් ගැබේ

දිලී නිවෙයි නිවී දිලෙයි
දිලිහි දිලිහි නිවෙයි දිලෙයි.....

උසස් පෙළ නාට්‍ය හා රංග කලාව හැදෑරුව නිසා නාට්‍ය පිස්සුවක් හැදිලා තිබුණා.. අපේ ගම් පළාත්වල වේදිකා නාට්‍යයක් දකින්න ලැබෙන්නෙ හාවා හ දකින්නා වගේ තමා... ඉතින් ඒ අඩුව මකා ගන්නත් එක්ක වේදිකා නාට්‍ය අත් පිටපත් ‍කියෙව්වා ගොඩාක්...  හෙන්රික් ඉබ්සන්ගේ Public Enemy ( ජන හතුරා ) කියෙව්වම දැණුනු හැීම් තමයි මේ විදියට  කවියක් විදියට සටහන් උණේ... කවියට යටින් මම මෙහෙමත් ලි‍යල තියෙනවා....

'' ඔහු සමාජ සාධාරණය ඉල්ලා ලෝකය හමුවේ හ නැගුවේය. ලෝකයා සවන් වසා ගත්හ. දෙනෙත් වසා ගත්හ. එනමුත් ඔහු කිසිවිටක පසුබට නොවීය''

මේ වගේ දිලෙන තරු මහ‍ ගොඩක් ඕනෙ දැන් අපේ ලෝකයට... එහෙම නේද? 

Wednesday, July 11, 2012

ආසියාවෙ අසිරි ද මේ දිස් වෙන්නේ





ළපටි කැකුළු මල් අකලට පර වෙන්නේ
දිළිු කුසේ ගිනි නිරතුරු දැල්වෙන්නේ
අසරණ ලේ කුලින් බිම නැහැවෙන්නේ
ආසියාවෙ අසිරි ද මේ දිස් වෙන්නේ





( බස් රේඩියෝ බ්ලොග් සතිය වෙනුවෙන් හැමදාම නිර්මාණයක් පළ කරන්න ඕන කියල හිතුවා.. පරණ කවි පොත් දෙකකුත් හොයා ගත්තෙ ඒ නිසයි. ඒත් හැමදාම අහන්න දකින්න ලැබෙන දේවල් නිසා හිත නොසන්සුන්.... අපේ රට මේ යන්නෙ මොන වගේ අනාගතයකටද? ප්‍රේම කවි ලිය ලියා සන්තෝෂ වෙන්න බැරි ගතියක් දැනෙනවා.....

ළමා අපචාර පිටුදැකීමේ පා ගමනක් ළමුන් සමග ජූලි මස 21 වන දා කොළඹ දී පවත්වන්නට සූදානමක් පවතිනවා. වැඩි විස්තර පසුව දන්වන්නම්. හැකි අය සහයෝගය ලබා දෙන්න. ළමුන්ගේ ආයාචනාවන් විදියට පෝස්ටර් සහ බැනර් සහා යොදා ගත හැකි පාඨ ලියා දෙන්න පුළුවන් නම් හරිම වටිනවා . )

Tuesday, July 10, 2012

හිමි අහිමි



හීන් හිනා මලක් අරන් නුඹ ආ ස නෙත් මානෙට
හසරැල්ලක් මුව මත්තේ සෙනෙහෙ සිතින් ඇතිරෙනවා
දෙනෝ දහක් නෙත් එසවී කුහුල් බැලුම් රවන විට
අසරණ සුසුමක් ඇවිදින් සිත පත්ළේ හිර වෙනවා

මුවින් නොකිව් වදන් සිතේ තෙරපී කුලක් උණාට
දොඩමළු නෙත් ඒ වෙනුවට දහක් වදන් මුමුණනවා
අත් පටලා එකම මගක කිසි දින පිය නොමැන්නාට
අපේ දෙසිත් සෙනේහයෙන් බෝ දුර ගමනක් යනවා

දෝරෙ ගලන කුළු ගක් නෙත් බැම්මේ සිර උණාට
 නුඹ අබියස සිත පත්ළේ පැතුම් දහක් පූදිනවා
අහස පොළව කිසිම දිනක සෙනේහයෙන් එක් නොවුණට
නුඹෙ සෙනෙහස වැසි පොදක්ව අහසින් මා වෙත එනවා..




( 1996 ඇහැල මහේ 07 වෙනිදා ලියැවුණු කවියක්... අවුරුදු 16 ක් ගෙවිලා.. පුදුමයි )

Friday, July 6, 2012

කුමුදු මලේ සිරියා... සඳ කාන්ති වැදී සෞම්යා්...




වසත් කල සිහිනෙක
නිසල වැව් තලයක
දියට තුරුළුව
පිපි කුමුදු මල නුඹ......

හිරුත් ගිනිගෙන දැවෙන
ගිම්හානයේ කතරක
හිතුවක්කාර වී වැඩුණ
විස කටු පුර මම.....

මැදියම් හීනෙක තැවරුණ
සෙනෙහෙ සුවට ලොබ කළත් සිත
මේ වැලි කතර මැද හි
කුමුදක් රකින්නේ කෙලෙස මම.....

මේ බොහොම කාලෙකට ඉස්සර ලියවුණ කවියක්.. 1999 වසරේ නොවැම්බර් මාසෙ 12 වෙනිදා හරියටම කියනවනම්.. හේතුවක් ඇතිවම ලිව්වත් නෙවේ.. මේ කවිය පිටිපස්සෙ කිසිම නිධාන කතාවකුත් නැහැ... 2000 දි විතර අපේ ළ.ක්‍රි.වි. යෙ ( ළමා ක්‍රියාකාරී වීරයෝ ළමා සංවිධානය ) කවි කිවිියො 10 දෙනෙක් එකතු වෙලා පුංචි කවි පොතක් පළ කළා ‍'' සෙනෙහසේ නවාතැන'' කියල.. ඒ කවි පොතටත් මේ කවිය ඇතුළත්.. සෙනෙහසේ නවැතැන සැරසුණෙත් මගේ චිත්‍රවලින්... කොයි තරම් අහිංසක ප්‍රයත්නයක්ද ඒක..

අපි වෙනුවෙන් ඒ කවි පොත මුද්‍රණය කළ බර්නි අයියට ගිය මුදලවත් ලැබුණෙ නැහැ.. කාලයක් යනකල් ඒ අයියගෙ ගෙදර අපේ කවි පොත් ගොඩ ගහල තිබුණා... එදා කවි කිවිියන්ගෙන් ඉ හිට හරි අදටත් කවියක් ලියන්නෙ මම විතරමද මන්ද ? ඔන්න අපේ කවියටයි, කවියන්ටයි අත් වෙන ඉරණම....

හදිසියෙම මේ කවිය මට මතක් උණේ මග්ගොන වැඩසටහනට ගිය වෙලාවෙ දැක්ක කුමුදු මල් විලක් නිසා... අපි සෙනසුරාදා උදේ ළමුන් කණ්ඩායමත් එක්ක පරිසර චාරිකාවක් ගියා... මේ චාරිකාව පා ගමනින් සොබාදහම රස විඳිමින් ගිය සුන්දර ගමනක්...... මග්ගොන ළමා නිවාස බිමේ තැන තැන ජලාශ, පොකුණු, බිම් මට්ටමට බැපු හතරැස් ළිං තියෙනවා.. මේ සමහර පොකුණුවල මානෙල්, ඕලු වගේ මල් පිරිලා... එක් පොකුණක් පිරිල තිබුණෙ කුමුදු මල්වලින්.. පොල් අතු අග්ගිස්සෙන් හිරු එළිය පෙරී වැටෙන ඒ උදෑසන මේ පුංචි පොකුණ හරිම සුන්දරව පෙණුනා...

'' ෆාද.... මේ තියෙන්නෙ කුමුදු මල්''  අපට මග පෙන්වපු මේරියස් පියතුමාට මම කිව්වා..

'' ආ...... ඇත්තද.. මේද කුමුදු මල්.... මම දැනගෙන හිටියෙ නැහැනෙ... ෂා.... '' පියතුමා හදවතින්ම කුමුදු මල් අසිරිය වින් .. මේ තරම් පරිසරයට ආදරය කරන, පරිසරය විඳින්න කැමති වෙනත් පියතුමෙක් මට හමුවෙලා නැහැ... මර්සලින් ජයකොඩි පියතුමාත් පරිසරය විඳින්න ඇත්තෙ මේ වගේම ආදරයකින් ‍ගෞරවයකින් වෙන්න ඇති කියල මට හිතෙනවා...

'' මට මේ කුමුදු විල දැක්කම මතක් වෙන්නෙ... සැලළිහිණි සංදේශයේ කවියක්..''

පෙරව සඳ කිරණ පිපි කුමුදු මල්       වටින්
පරව තඹර පෙති ගිලි දිය තලා          පිටින්
තරව සිහි ඇතිව පරතෙරට යන        අටින්
කරව පියාසර සකි කොන්ත ගං    තොටින්



උසස්පෙළ පන්තියෙ සිංහල උගන්වපු සෝමා මිස් හරිම ලස්සනට මේ කවිය පහදල දුන්නා..

'' සැළලිහිණියා සංදේශයත් අරගෙන පියාසර කරද්දි එයාට කොන්ත ගං තොට මුණ ගැහෙනවා... ඒ සඳ එළිය දෝරෙ ගලා යන රාත්‍රියක්. හැම තැනම කුමුදු මල් පිපිල තියෙනවා... ස එළියෙ පිපුණු කුමුදු මල් පේන්නෙ හරියට හ රැස් පොරවගෙන ඉන්නව වගේ.. හ එළියත් සුදු පාටයි.. කුමුදු මලුත් සුදු පාටයි... ජල තලාව මතුපිට පරවුණු නෙළුම් මල්වල පෙති විසිරිලා තියෙනවා... හ එළිය ගලන රැයක ළා රත් පාට නෙළුම් පෙති විසිරුණු ජල තලාවක සුදු පාට කුමුදු මල් පිපිල තියෙද්දි කොයි තරම් අපූරුද?

මේ ලස්සනට වශී වෙන සැළලිහිණියාට එතන නවතින්නත් හිතෙන්න පුළුවන්... ඒ නිසා කවියා කියනවා එතෙර වෙනවයි කියන ස්ථිර අධිෂ්ඨානය ඇතිව කොන්ත ගං තොටින් පියාසර කරන්න කියල... ''

කවිය විස්තර කරල මිස් ඒක අපූරුවට අපේ නව යොවුන් ජීවිතවලටත් ගලපල දුන්නා.. සුන්දරත්වයට, බාහිර ඔපයට ආකර්ශණය වෙන එක හරිම ස්වභාවික දෙයක්.. ඒත් ඒ නිසා තමන්ගෙ ජීවිත අරමුණු අමතක කරල දාන්න එපා.. ස්ථිර අධිෂ්ඨානයක් ඇතිව ජීවිත ගමන ඉදිරියට යන්න කියල...

මේ කවියෙ ඊටත් වඩා ලොකු ගැඹුරක් තියෙන බවත් පෙන්වල දුන්නෙ සිංහල ගුරුතුමියමයි...... ඒ තමයි සියල්ල අනියතයි කියන ජීවන සත්‍යතාවය. ඒ නිසා ලෞකික සුන්දරත්වයට ඇලීම් ඇති කර ගන්න එක නිෂ්ඵල දෙයක්.... ලෝකයේ සුන්දරත්වය විින්න ඕන... නමුත් අනවශ්‍ය ලෙස මනසින් හදවතින් අල්ලා ගැනීම නොකළ යුතුයි... මේ කවියේ ගැඹුරු ධාර්මික අරුත එයලු....
 

Wednesday, June 27, 2012

ඔබ නැතිව ඉන්න බැරි තරමට.....




ඔබ නැතිව ඉන්න බැරි තරමට..... 
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට....
ඔබ නොදැක ඉන්න බැරි තරමට ... 
සිත ඔබම සොයනවා දවසම... 





මටත් පුදුම පොත් උණක් තියෙන්නේ.. ඒක හරිම සුන්දර උණක්..

පොතක් අතේ නැතිවම මට ජීවිතේම හිස් වෙලා වගේ දැනෙනවා.. ඒ නිසා මගේ ළ කියවන්න පොතක් නම් නැති වෙන්නෙම නැහැ... කෙල්ලන්ගෙ බෑග්වල ලිප්ස්ටික්, සෙන්ට් වගේ දේවල් වරදින්නෙ නැහැ නේ.. ඒත් මගේ බෑග් එකේ නම් පොතක් වරදින්නෙ නැහැ. සෑහෙන කාලෙක ඉල එකතු කර ගත්ත පොත්වලින් අල්මාරියක් පිරුණෙ මේ පොත් උණ නිසාම තමයි.... බෝඩිමෙත් පොත්... කාර්යාලයේ කබඩ් එකෙත් ‍පොත්...

මගේ ජංගම පුස්තකාලයෙ සාමාජිකයො හැම තැනම විසිරිලා ඉන්නවා... අපේ ළමා සංවිධානයෙ යාළුවො, මගේ පවුලෙ අය, දුම්රියේ යාළුවො, කාර්යාලීය සගයන්, බෝඩිමේ ඇන්ටි සහ බෝඩිමේ මගේ සහායිකාව.... තව මම නොදන්නා මේ අයගෙ යාළුවො.... මේ හැමෝම මගේ ජංගම පුස්තකාලෙ සාමාජිකයො....

කවුරු හරි මගේ පොතක් කියෙව්වම මට හරිම සතුටක් දැනෙනවා... '' ධර්ම දානය උතුම්ම දානය '' කියනව‍නේ... හො පොතක් කාට හරි කියවන්න දෙන එකත් ඒ ළින් යන පුණ්‍යකර්මයක් කියල තමයි මට හිතෙන්නේ....

සූජීව ප්‍රසන්න ආරච්චිගෙ පොත් විතරක්ම කියවන්න හුරු වෙලා හිටිය මොරටුව මල්ලියෙක් විවිධ පොත් කියවන්නත්, පඩි ගත්තදාට පොතක් මිල දී ගන්නත් හුරු කරන්න පුළුවන් වීම ගැන මට අදටත් සතුටක් දැනෙනවා...... මගේ '' පොලියානා'' කියවල ජීවිතේ ගොඩාක් කටුක අවස්ථාවන්වලදි හිනා වෙලා ජීවිතේට මුහුණ දෙන්න උත්සාහ කරන අය දැක්කම මට ලොකු සතුටක් දැනෙනවා....

මේ හැමදේටමත් වඩා අති දුෂ්කර ජීවිතයක් ගත කරන මගේ ලොකු නංගි මම මිල දී ගත්ත පොත් කියවල ජීවිතයට ලබා ගන්න ධෛර්යය ගැන මට සතුටක් දැනෙනවා.... එයා කුලී වැඩ කරල ඉතිරි කර ගන්න මුදලින් මගේ උපන්දිනයට අරන් දෙන පොත මම ගන්න පොත් සීයකට වඩා මට වටිනවා....

මගේ පොත් පිස්සුව ගැන දන්න නිසාම මගේ උපන්දිනයට මට වැඩිපුර පොත් ලැබෙනවා... ඒ වගේම මමත් මට පොත් තෑගි කර ගන්නවා... මගේ උපන්දිනයට, නත්තලට, අවුරුද්දට මම මටම පොතක් තෑගි දෙනවා.... මුල පිටුවෙ ලස්සන සිතුවිල්ලක්, කවියක් ‍එහෙම ලියල.... ( ටිකක් විතර පිස්සු නේද? )

සැප්තැම්බර් මාසෙ පොත් ප්‍රදර්ශනය මගෙන් මග හැරෙන්නෙම නැහැ... නිවාඩු දවසක උදෙන්ම ගියාම දවසම හිතේ හැටියට ඇවිදල පොත් ටිකක් අරගෙන හවහට තමයි ආපහු යන්නෙ... පොත් ප්‍රදර්ශනේට නම් තනියෙන්ම යන්න තමයි මම කැමති.... හිතේ හැටියට පොත් අතර රස්තියාදු වෙන්න පුළුවන් එතකොටයි....

මේ තරම් පොත් ගැන කියන්නෙ ඇයි කියල ඔයාලට හිතේවි ... මට හිතුණා මට කියවන්න ලැබෙන පොත් ගැන... මගේ පොත් අත්දැකීම් ගැන ඔයාලත් එක්ක බෙදා ගන්න... 


සමහර පොත් එක්ක පැටලිලා අතීත මතකයන් දිග හැරෙනවා... 


සමහර පොත් ජීවිතේ පහන් එළි දල්වනවා... 


සමහර පොත් ඔහේ කියවල දානවා... 

කොහොම වුණත් පොතක් කියන්නෙ අළුත් ලෝකයක්.... ඒ අළුත් ලෝකෙ සිහිබුද්ධියෙන් සැරිසරල ජීවිතයට අර්ථයක් එක් කර ගන්න පුළුවන් නම් හොයි... එහෙම නේද? 

Thursday, June 21, 2012

සක්මන් භාවනාව



යොවුන් වැඩසටහනක් වෙනුවෙන් අපි මග්ගොන මැසනද් ‍යොවුන් පියසට ගිය බව කළින් පෝස්ට් එකක මම ලිව්ව ඔයාලට මතක ඇති....

ඉතින් සෙනසුරාදා උදෑසන ආරම්භ උණේ සරල සක්මන් භාවනාවකින්... 

( අපේ මේ භාවනා හිත් එක්තැන් කර ගන්න, අළුත් අරමුණක් ජීවිතේට එකතු කර ගන්න අපිම හදා ගත් සරල භාවනාවන්... ‍ඒ නිසා භාවනාව ගැන ගැඹුරු අදහස් මෙයින් බලාපොරොත්තු නොවෙනවනම් හොදයි...)

භාවනාව මෙහෙයවූයේ ගරු මේරියස් පියතුමා.. මම ඔයාලට කළිනුත් කිව්වනෙ බටපුරු හෙ‍වණේ භාවනා මධ්‍යස්ථානය ගැන... මෙතන ඉහට උඩින් බට අතු වියනයි... නිල් අහසයි.... පයට තණනිල්ල... ගස් කොට, කුඩා කොන්ක්‍රීට් කැට තමයි ආසන වෙන්නෙ...

( පාවහන් ගළවා පැමිණෙන ලෙස අපට කළින්ම උපදෙස් ලැබී තිබුණා... උදේ හතේ කණිසමට තණබිස්සේ පිණිකැට වේලිලා නැහැ. නිරුවත් දෙපයට දැණුනෙ අපූරු සීතලක්... අනේ ඉතින් මේ වගේ සැප විින්න අපේ කකුල් පින් කරල නැහැනෙ... හැමදාම රබර් සපත්තු, සෙරෙප්පුවල හිරකාරයෙක් වෙලා.... ඒ වෙලාවෙ හුළත් හරිම සනීපයි... හුස්ම ගන්න බයකුත් නැහැ.... වටපිටාවෙ ගහකොල පිරිලනෙ.... ගන්න හුස්ම අතිපිරිසිදු බව නැහැතුඩුවලටත් දැනෙනවා..... )


පියතුමා භාවනාවට පිවි‍සුණේ මේ විදියට... පුරුදු තැන්පත් සරල ස්වරයෙන්...

'' මහපොළව පාගන්න ලැබිම භාග්‍යයක්.....

 ඊයා කියන්න ඕනෙ නැහැ............. ඈක්ක කියල හිතන්න ඕනෙ නැහැ........

මහපොළවේ තියෙන කටුක බව, සීතල, උණුසුම මේ හැමදේම අපි විින්න ඕන....

ඒක තමයි ජීවිතය. ....

අපි පුරුදු වෙලා ඉන්නෙ නිතරම සෙරෙප්පු දාගෙන ඉන්න....
ගෙදරදි සෙරෙප්පු දාන්න ඕනෙ නැහැ... ‍ගෙදර වටපිටාව අපි පිරිසිදුවට තියා ගන්නවනම් කිසිම අපහසුතාවයක් නැතිව අපට නිරුවත් දෙපයින් ඇවිදින්න පුළුවන්නේ.... හැකිතාක් පොළව පාගන්න...
දෙපතුල් උණත් ඕනෑවට වඩා හුරතල් කරන්න ඕනෙ නැහැ...

දෙපය නිදහස්ව ඇවිදින එකෙන් දෙපයේ නිලවල තෙරපුමක් ඇති වෙනවා... එයින් ස්නායු උද්දීපනය වෙලා සුවදායකබවක් ඇති වෙනවා...

මහ පොළව පාගන්න ලැබෙන එක භාග්‍යයක් වෙන්නෙ ඒ නිසයි....''


'' අපි මේ ඉන්නෙ කළුතර දිස්ත්‍රික්කයේ.... ලංකාවේ වැඩිම ආරණ්‍ය සේනාසන සංඛ්‍යාවක් තියෙන්නෙ කළුතර දිස්ත්‍රික්කයේ... බොහෝ වෙලාවට ආරණ්‍ය සේනාසනයක් බිහි වෙන්න අවශ්‍යම කරුණු තුනක් තියෙනවා...

v  පොඩි කඳු ගැටයක් තියෙන්න ඕන..
v  කන්ද වහගෙන ලස්සන වනපෙතක් තියෙන්න ඕන...
v  ආසන්නයෙන් ගලා යන දොළ පාරක් තියෙන්න ඕන...

වනවාසී යෝගීන් වහන්සේලා අතින් ගොඩක් හො පොත් ලියවෙන්නෙ සොබාදහමත් එක්ක, සතා සීපාවා එක්ක එතුමන්ලගේ තියෙන  සමීප සම්බන්ධතාවය නිසා... තැන්පත් සරල ජීවන රටාව නිසා....
මේ ආරණ්‍ය සේනාසනවල සක්මන් මළු තියෙනවා... අඩි 03 ක් විතර පළලයි... වනවාසී භික්ෂුන් වහන්සේලා භාවනා කුටිවල නිතරම භාවනාවේ යෙදිල ඉන්නවා... ඒ අතර සක්මන් මළුවත් එතුමන්ලාට වෙනස් ඉරියව්වකින් භාවනා කරන්නට, භාවනා කළ කරුණු මෙනෙහි කරන්නට උදව් වෙනවා.... මේ මොහොත නිහැියාවේ රසය අත්දකින මොහොතක්.... සොබාදහමත් එක්ක ඒකාත්මික වෙන මොහොතක්.....

( ආරණ්‍ය සේනාසන ගැන, වනවාසී භික්ෂුන් වහන්සේලාගේ ජීවන රටාව ගැන දැනුමැත්තෙක් ලියනවනම් ආසයි කරුණු දැන ගන්න...)

කණ්වල එක එක දේවල් ගහගෙන, කන් අඩි පැලෙන සද්ද බද්දවලට හුරු වෙලා ඉන්න කොල්ලො කෙල්ලො මේ නිහැියාවේ රසයත් විින්න පුරුදු වෙනව නම් හොයි.... අද අපි යොමුවෙන්න සරල සක්මන් භාවනාවකට....''

භාවනාව තුළ මේ ව‍ගේ කරුණු ටිකක් පිළිපදින්න අපි එක වෙමු....

·         ඇවිදිමු තැන්පත්ව.... කලබලයකින් තොරව.. සෙමින් දෙපා තබමු.
·         කවුරුවත් දිහා නොබල ඉමු.. ඇස් හමු වෙන්නට බැහැ.
·         ඇවිදින අතරේ බොහෝ දේ හමු වේවි... ඒ සියල්ල පසුකර යන්න.... නමුත් අමතක නොවන, නිතර ඔබේ සිත අවදි කරන යමක් වේ නම් ආපසු ගොස් එය අතට ගන්න.
·         ඒ තුළින් ජීවිතය දකින්න උත්සාහ කරන්න. ජීවිතයට අරුතක් එක් කර ගන්නට උත්සාහ කරන්න.
·         ඒ දෑතට ගත් දෙය පල්ලියේ අල්තාරය මත තියෙන කුරුසිය ළගින් තියන්න.... පුංචි යැදුමක් පැතුමක් කරන්න.
පියතුමාගේ මේ කතාවෙන් පස්සෙ අපි නිහවම සක්මන් භාවනාවට පිවිසුණා... ඔන්න දැන් ලියන්නෙ සක්මන් භාවනාවේ මගේ පෞද්ගලික අත්දැකීම ............

ඔන්න මගේ භාවනාත්මක අත්දැකීම

ඇත්තම කියනවනම් මුලින්ම හෙමින් පා තියන්න අමාරු උණා... ඇයි ඉතින් උදේ නැගිට්ට වෙලේ ඉන් කෑම හදන්න, බත් බින්න, අස් කරන්න, අතු ගාන්න, ලෑස්ති වෙන්න, කෝච්චියට දුවන්න... 
කෝච්චියෙන් බැහැපු වෙලේ ඉන් අටහමාරට කළින් ඇිල්ල තියා ගන්න දුවන්න..... ඔය වගේ දුවන ජීවිතයක්නෙ තියෙන්නේ.... ඉතින් හෙමිහිට පොළවට නොදැනෙන්න ඇවිදින එක ලේසි නෑ... ටික වෙලාවක් ගියා .... දඩිබිඩි ගමන් විලාසය සන්සුන් කර ගන්න...

ඉන්පස්සෙ ඉතින් හිත දුවනවා... ළමයි ටික එකම හරියෙ ගැවසෙන්නෙ.. ඒ මදිවට සිමෙන්ති පඩියක් උඩ තුන් හතර දෙනෙක් එක පෙළට වාඩි වෙලා.... මේ මොන විකාරද කියල හිතෙනවා ඇති.... අඩුම තරමෙ මේ ටික වෙලාවටවත් නිදහසේ ඉන්න ඕනෙ... අනිත් අයගෙ වැඩ ගැන නොහිතා.... එහෙම හිතල මම ශාලාවෙන් අනිත් පැත්තට ගියා... ඒ පැත්තෙ මමම විතරයා.... මල් ගස් ඇරුණම එක දිගට විහිදුණු තණපියස.....

මම හෙමිහිට ඇවිදගෙන ගියා... ඔන්න දැන හිත ටික ටික සන්සුන්... මෙහෙම සැහැල්ලුවෙන් ඇවිදගෙන යන කොට... තුත්තිරි ගහක් හමු උණා... මම ඒ තුත්තිරි ගහ පහු කර ගෙ‍න ගියා... ඒත් මෙන්න තුත්තිරි ගහ මගෙ හිතේ ඇලවිලා....

''......... මේ තුත්තිරි ගහ තුත්තිරි මල් යායක් වෙන්න පුළුවන්... තුත්තිරි මල් යායක් දුරට දකින්න ලස්සනයි... ඒත් කවුරුවත් ඒ මැදට යන්න කැමති වෙන්නෙ නැහැනෙ... තුත්තිරි ඇනෙනවා.. ඒක මහා දුකක් නොවුණට කරදරයක්... තුත්තිරි ඇළුණම ගලවන එක එපා වෙනවා. ඒ විතරක්ද ගලවල දාන දාන තැන පැළ හැදෙනවා.... අපේ හිත්වලත් මේ වගේ තුත්තිරි ගස් පැළවෙන්න පුළුවන්... තරහ, කලකිරීම, නොරිස්සුම, උදාසීන ගති, ඊර්ෂ්‍යාව..... මේ වගේ තුත්තිරි ගස්... මේවා විගහින්ම ගලවල දාන්න ඕන... නැත්නම් මමත් මේ ලෝකෙ අසුන්දර, අප්‍රසන්න තැනක් කරන්න දායක වෙනවා.... ''

මගේ හිත මට කියනවා.... '' ඔයාගෙ හිතෙත් මේ දවස්වල තුත්තිරි ගස් කීපයක් තියෙනවා නේද? ඉක්මණින්ම ඒවා ගලවල දාන්න...''

හිතත් එකක් සංවාදයක යෙදෙමින් මම ඉදිරියටම සක්මන් කළා... මෙන්න තණකොල අතරින් පුංචි සුදු මොට්ටු වගයක් එබිකම් කරනවා... මම හෙමිහි‍ට පාත් වෙලා බැලුවා... චූටි බිම්මල් කිහිපයක්... පාවහන් පැළි දෙපයින් දඩිබිඩියෙ දිව්වනම් මේ පුංචි සොබාදම් දරුවො මගේ පයට පෑගිලා පොඩි වෙලා යනවනේ.... ජීවිතේ සරල සුන්දර කාරණා කොයි තරම් නම් මග හැරිල යනවද මේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක....

මම ආපසු හෙමිහිට එන ගමනෙ අර මගෙ හිතේ ඇලවුණු තුත්තිරි ගහත්, තවත් තුත්තිරි ගස් කිහිපයකුත් ගලව ගත්තා.... පුංචි පල්ලියට ගිහින් කුරුසිය ළ ඒ තුත්තිරි ගස් තිබ්බා.... හිතින් ජේසූට මෙහෙම කිව්වා....

හෘදයෙන් සාන්තදාන්ත වූද....බැහැපත් වූද ජේසුනී
අපගේ හෘදයන් ඔබගේ දිව්‍ය හෘදෙට සමාන කළ මැනව.....

'' ආදර ජේසූනී, තුත්තිරි ගස් ගලවල දාලා ම‍ගේ හිත පිරිසිදුව තියා ගන්න මට උදව්වෙන්න....''