පිටු

Monday, March 17, 2014

මල් සමය කොයි වේලෙ නිම වේවිදෝ...




ඉර ගිනි ගනිද්දිත් සුදෝ සුදට හිනා වෙවී උන්නු හිම මල් සමය නිම වුණා... ( හිම මල් නම දුන්නෙ පොඩ්ඩි... මරණීය හැඟවුම් කාරකයක් වුණ ලස්සන නමක් නැති සුදෝ සුදු මල් යායකට ඒ නම අගේට ගැළපෙනවා. )

ඉන්පස්සෙ ආවෙ සකුරා මල් සමය.. 

සකුරා මල් ය කීවට ඒ ගිනිසීරියා මල් යාය... එහෙමත් නැත්නම් ඇල්බීසියා මල් යාය... වැට මාර මල් යාය කියන්නත් හැකිලු. අහස අල්ලන්න ඉහළ නැගුණු අතු ඉති දිගට හරිත පැහැයක්වත් නොපෙනෙන්න ළා දම් පැහැයක් තවරගත්ත පුංචි රෝස පැහැ මල්... වැට දිගට ගිනිසීරියා පය පාමුළ රෝස පෙති ඇතිරිල්ල... පාගන්නත් ලෝබ හිතෙන.. 

තවමත් පවුරු පදනම් ඉදි ‍නොවුණු අපේ ගම් පළාතෙ කටුකම්බි වැටපොටට වාරුව සපයන්නෙ ගිනිසීරියා ගස් බොහෝ විට.. බුලත් කොරටුවල අනිවාර්ය සාමාජිකයෙක් ගිනිසීරියා වැට.... පොළව සරු කරන්න වගේම බුලත් දළුවලට ඉහළ නැගෙන්න අත්උදව් දෙන්න...... නියං සායට අභියෝග කරන්න වගේ අහස පුරා බැබලි බැබලි ඉන්න ගිනිසීරියා මල් සැරසිල්ල මේ තරම් සුන්දර බව දැණුනෙ ජීවිතේ මුල්ම වතාවට..

ඒ විතරක් නෙවෙයි, මේ දවස්වල කොලොම්පුරේ රොබරෝසියා මල් සමය... උසට නැගුණු ගොඩනැගිලි, හිස් අහස අතරින් පතර  සළුපිලි පැළඳගත්ත සුරංගනාවියො වගේ රෝස පැහැ තුරු මුදුන් හිනා වෙවී ඉන්නවා.. නිරන්තර මල්වැස්සක් රොබරෝසියා පය පාමුළ. ජීවිතේ අනියත බව ම වුණත් සුන්දර නොවෙද විමසනව වගේ...


''හරි දුකයි... ඉක්මණට මල් ටික අතුගාලා අයින් කරන එක.. අඩු තරමෙ දවසක්වත් තියෙන්න අරින්න ඕන'' මිතුරෙක් කිව්වේ නගරසභා ඉදලට අහුවෙන මුදු සුමුදු රොබරෝසියා මල් ගැන ළතැවිල්ලෙන්.

පියවි නෙතින් දකින්න පෙරුම් පුරන හීන ගොන්නෙ සකුරා මල් සමයත් නැවතිල්ලෙ ඉවසිල්ලෙ බලන් ඉන්න අතරෙ, ගිනිසීරියා මල් යාය, රොබරෝසියා මල් යාය මොහොතකට ඒ හීනයට අළුත් ඇස් දෙකක් දුන්නා... 

ඉතින් ඔන්න අපටත් සකුරා මල් සමය එළඹිලා... ඇත්තටම දෙවොන්දරා සං, නොරිකො සං වගේ ප්‍රේමයෙන් වෙළිලා මල් සමයක අසිරිය විඳින්න තිබුණ නම් කොයි තරම් අපූරුද?  


‘‘මේ වතාවෙ වත් යමු සකුරා බලන්න.. මීට ඉස්සර යන්න හදපු දවස මතක නේද? දෙවොන්දරා සං කීවේය.

ගිය අවුරුද්දේ සිද්ධිය සිහි වී මට ලැජ්ජා ඇති විය. මගේ සිත ඔහුගේ වසඟයට පත්වන්නට බෙහෙවින් ළංවී මා එය මුදවා ගත්තේ එදිනට පසු බව මට සිහි විය. ..........................

.... එහෙත් එදා රාත්‍රියෙහි, රුප්පාවල හිඳගෙන ගී ගයමින් රමණය කළ නුවරුන් අතර ප්‍රීති ප්‍රමෝද්‍යයෙන් විසඥ වූ කලක මෙන් නිහඬවම ඔහු සමඟ සක්මන් කරමින් හුන් වේලෙහි අප දෙදෙනා සුපින ලොවක සැරිසරන්නවුන් සේ පෙනුණද මතු මත්තෙහි කුමක් වෙතත් යොවුන් වියෙහි මට මේසා ආස්වාද විඳින්ට ලැබීම මහත් භාග්‍යයක් යැයි මම කල්පනා කළෙමි. මාලිගා ප්‍රාකාරය අසල වූ වේ මග, මුදුණෙහි උනුන් වෙත නැඹුරු වූ අතුපතර ඇති සකුරා වෘක්ෂයන්ගෙන් ගැවසී ගත් දෙපසින් හෙබියේ, මලින් ගොතන ලද උඩු වියනින් අලංකෘත වූ එකම ලිය මඬුල්ලක් සේ විය. ඔහුගේ හැම අවයවයකින්ම මමන්නා සේ වූ නිසසල සුවය මගේ ඇඟටද නොදැනුවත්ව වැදී එහි පැතිර යන ලෙසක් මට දැනුණි. අවුරුදු ගණනාවක්ම සකුරා බලන්ට මා ගොස් තිබුණු නමුත් ඒවායේ සෞන්දර්යය දෙස මාගේ සිත නියම ලෙස යොමු වූයේ මේ වතාවේ පමණි. සකුරා උත්සවය විනෝද වීමට අවස්ථාවක් කොට ගත් මුත්අපි මල් නැරඹීමේ ආස්වාදය නොවින්දෙමු.

වීදියෙන් විසිර ආ විදුලි එළිය නිසාදෝ නොහොත් සල්පිල්වල දල්වා තිබූ පහන්වල එළිය නිසාදෝ ළා දළු පැහැයෙන් යුත් මල් පෙති සඳ රැසින් ඔප් නැගුණු කලක මෙන් ශ්වේත වර්ණ කාන්තියක් විහිදුවේය. මා වරක්දුටු උකියො එ සකුරා සිතුවමක් මට සිහි විය. ඒ චිත්‍රයේ මල්වලින් සුදු කැලුම් විහිදුණේ කෙසේද යනු මට මෙතුවක් කල් විසඳිය නොහැකි රහසක් සේ පැවතුණි.

‘‘අර උකියො එ සිතුවම මතකද? ඉබේම මගේ මුවින් පිට විය.

‘‘ඔව් මාත් හිත හිතා හිටියෙ ඒක තමයි. හඳ පායනවද කියල මම කීප සැරයක් බැලුවා. මේ මල්වලට යන්තම් එළියක් වැටුණත් ඒක පිළිබිඹු වෙලා විහිදෙනවනේ... ඔහු පැවසුවේය..

මළවුන්ගේ අවුරුදු දා - එදිරිවීර සරච්චන්ද්‍ර

වෙහෙසකර සති අන්තයක කඩිමුඩි දිවිල්ලක සිටියා උණත් සීනු මල් යාය මට මඟ හැරුණෙ නැහැ. සීනු මල් කියන නම පුංචි කාලෙ අපිම හදා ගත්තු නමක්. නළා මල් කියලත් කියැවුණා ඒ කාලෙ. ගම්මු කියන්නෙ නම් වල් ළූණු පඳුරු කියලයි. වෙනත් නම් ඇති සමහර විට. අව්වට කරංගෑටි වෙලා වියළිලා ගිය මහපොළවෙ ජීවිතය ගැන නිමක් නැති අපේක්ෂා මේ යැයි කියන්න වගේ රෝස පාට මල් හැමතැනම. බලන්න ලස්සනයි. හිටි හැටියෙ කොළපාට දිගටි පත්‍ර මතුවෙලා, ඒ අතරින් ලා දළු පැහැ සිහින් නාලයක් මතු වෙලා, ඒ අග රෝස පැහැ මලක් පිපුණෙ ඉර හඳටත් රහසින් වගේ...  



සතියකට වතාවක් දෙකක් පමණක්ම වතුර පොදක් වැටෙන ගෙමිදුලේ වතුසුද්ද පැළයෙ කුළුඳුලේ ම මල් පිපිල.. අපමණ සතුටක් දැණුන හිතට.  ලොකු නංගි අතින් ඉන්ඳපු පැළයක් ඒ.. 2012 උපන්දිනයට රීට නැන්දා දුන්නු විලාට් අඹ පැලයත් මල් පොකුරු පුරෝගෙන.. 

වසන්තය ළඟ ළඟම එන බව හිත මුමුණනවා......

ජපානයේ සකුරා මල් සමය ව‍ගේ අපටත් සංස්කෘතියක් තිබුණ නම් කොයි තරම් අපූරුද මල් හා බැඳුණ. මගේ හිත හීන දකිනවා. 

සියලු යහ පැවතුම්, සෞන්දර්යාත්මක වින්දනයන් වළපල්ලට යමින් ‍තියෙන කාලයක එවැනි සිහින දැකීමත් අස්වාභාවික බව නොදැනෙනවා නෙවෙයි. 

ඒත් ඉතින් හීන දකින්න කාගෙ නම් තහනමක්ද?


ඇහැළ මල් සමය... රොබරෝසියා මල් සමය......... එරබුදු මල් සමය... 

තව කොයි තරම් මල් සමයන් උපද්දන්න හැකිද? කරන්න තියෙන්නෙ ටිකක් මහන්සි වෙලා එවැනි තුරු යායකට පණ දෙන එකයි... මිනිස් ප්‍රාණයක අගය පොට්ටකාසියක අගයටත් පහළ ගිය කාලයක, සොබාදහම වෙනුවෙන් ඒ හැටි නැහෙන්න කවුරුත් ඉදිරිපත් වේය කියල හිතන්නත් අමාරුයි... 

ඒත් සොබාදහම මිනිස්සු තරම් අකාරුණික නැහැ... 

ඒ නිසාම මල් සමය කොයි‍කවරදාවත් නිම වෙන්නෙ නෑ...

Friday, March 14, 2014

ආයෙමත් ආයෙමත් ආදරෙන්...



''මං ඉන්නෙ බොටුව මිරිකගෙන.. '' ඈ කිව්වෙ ඇස් ගිනි පුපුරු කරගෙන.. එල්ලයක් නැතිව ඒ ඇස් ඈතට විසිවෙලා තිබුණෙ.. කොහෙදෝ නොදන්න ඈතක..

''කාගෙද ?'' මං ඇහුවෙ කණස්සල්ලෙන්.. රවුම් ඇස් කරකවල හිනාවෙලා ''ආදරේ හරි සුන්දර හැඟීමක්'' කිය කියා හිටිය ඈ වෙනස් වෙලා.

''මගේ.. මගේ ම හිතේ.. මට ඕන මේ හිත මරල දාන්න..'' එහෙම කියද්දි ඇගේ ඇස්වල තෙතමනයක් මතු වුණා. කටහඬත් බිඳුණා. 

''ඇයි ‍එහෙම කියන්නෙ..''

''පණ වගේ ආදරය කරන මිනිස්සුන්ටම වධ දෙන මෙහෙම හිතක් මොකටද?...'' හදවත් ගිනිකන්ද පුපුරල ඇස් අගිස්සෙන් ලෝදිය ගැලුවා සීරුවට දිය ඇල්ලක් වෙලා. 

''මේ හිත හරි දුෂ්ටයි.. ඉරිසියාකාරයි.. ඉවසීමක් ඇත්තෙම නෑ.. ඒ හින්දම විඳවනවා.. අනිත් අයටත් වධ දෙනවා.. වැඩියක්ම ආදරය කරන අයටමයි රිද්දන්නෙ...'' 

''ආදරේ එහෙම තමයි.. ආත්මාර්ථකාමීයි. ඉරිසියාසහගතයි. කවුද කියන්නෙ ආදරේ හරිම අහිංසක පිවිතුරු සුන්දර දෙයක් කියල.. ආදරේ හරි නපුරුයි. විශේෂයෙන්ම අයිති කර ගැනීමේ තෘෂ්ණාවෙන් පිරුණු ආදරයක්..'' ‍කොහෙදෝ පොතක තිබුණු අදහසක් හිත අස්සෙන් එබිකම් පාද්දි මං කිව්වා... 

'' ඒ වුණත් මට ‍එහෙම වෙන්න ඕන නෑ... මට ඕන ආදරය වෙනුවෙන් ඉවසන්න. කැපවෙන්න. මට අයිති නැති වුණත් කමක් නෑ සතුටින් ඉන්නව දකින්න... මට... මට... ඕන එහෙම වෙන්න.... ඒ වුණත්... මට රිදෙනවා.. ඉරිසියා හිතෙනවා.. කේන්ති එනවා.. මට තේරෙන්‍ නෑ කොහොමද ඒකෙන් මිදෙන්නෙ කියල...''

ඇගේ ඇස් මගෙන් ඉල්ලන්නෙ උත්තරයක් බව දැණුනත් මං නිරුත්තර උණා... මටත් උත්තරයක් උවමනා ප්‍රශ්නයක් ළඟ බණදේශනා වලට කළ හැකි දෙයක් නැති බව මං දැනන් උන්නෙ අත්දැකීමෙන්මයි... මං හෙමිහිට ඇගේ අතකින් අල්ලගත්තා... මගේ ඇස්වලින් නිමක් නැති දයාවක් ගලා යනවා වගේ හැඟීමක් මට දැණුනෙ.. ඒ  දයාව ඈ ගැන වගේම මා ගැන.. අපි ගැන.. අපි හැමෝම ගැන... තෘෂ්ණාවෙන් ජීවිතය එක්ක පොරබදන අපි හැමෝම ගැන....

ජීවිතය අල්ල ගන්න ඕන තැන එතැන නෙවෙයි කියල මට හිතෙමින් තිබුණා. 

ඈ මගේ උරහිසේ හිස තියාගත්තා. ඉකිබිඳුම සිහින් සුසුමක් වෙලා, කඳුළු වැස්ස හීනී කඳුළු දෙපේළියක් වෙලා, කඳුළු දෙපේළිය ඇස්වල තෙතමනයක් වෙලා, ඇස් අගිස්සෙන් දීප්තියක් මතුවෙන තුරුම අපි කතා නොකර උන්නා.. කාලයත් සමාධිගත වුණු නිසල අවකාශයක මගේ උරහිසින් හිස මෑත් කර ගත් ඈ හෙමිහිට හිනැහුණා... 

''ජීවිතයට ඉඩ දෙන්න ඕන.. ආදරයට නිදහස දෙන්න ඕන... එහෙම නේද?'' ඈ මගෙන් ඇහුවෙ හිනාවෙලා.

අතීතයෙත් මේ වගේම දවසක, මේ වගේම හද රිදුමකට සාත්තු සප්පායම් කළ හැන්දෑවක මම කතාව නිම කළේ මේ වචනවලින්ම නේද කියල මතක් වෙද්දි මටත් හිනා බෝ වුණේ ඉබේම...  




Tuesday, March 11, 2014

ඉතිං අපි තටු ගසමු!! අහස තවමත් දුරයි.......


දයාබර තරු අක්කා වෙත,

ලෝකෙ අපිට ඕනෙ විදිහට කරකැවෙන්නෙ නැති වුණත් ලෝකය එක්ක කවමදාවත් තරහ වෙන්න එපා . ඔයා සංස්කෘතිය ඇතුළෙ හිර වෙලා. නිදහස් වෙන්න ඕනෙ කරන හැම දෙයක්ම ලැබිලා තියෙද්දිත් ඔයා හිර වෙලා. හරියට යතුරක් අතේ තියාගෙන, දොරක් ළඟට වෙලා.. එපිට ලෝකය දිහා යතුරු හිලෙන් බලන, පුංචි දැරියක් වගේ. මම ඔයාට කවදාවත් හිනා වෙනවා නෙවෙයි. ඔයාගෙ කඳුලු වලට පුංචි හේතුවක් දෙනවා.

මිනිස්සු ප්‍රති සංස්කෘතික වෙන්න දඟලන්න ඕනෙ නැති වුණත්, තමන්ගෙ සතුට තියෙන තැන හොයාගෙන යන්න සංස්කෘතිය බාධාවක් නම් ඒක ඉරා දමන්නම ඕනෙ. හිතේ සතුට හොයාගන්න වෙනස් විය යුතු තැන් වෙනස් කරන්න බය වෙන්න එපා. තමන් මේ ලෝකට කොයි තරම් වැරදි කෙනෙක් වුණත්, තමන්ගෙ හෘද සාක්ෂිය තමන් වැරදි නෑ කියලා කියන තුරු තමන්ගෙ සතුට විනාශ කරගන්න එපා.

මම සතුට හොයාගෙන යාම නතර කළා. සතුට ගැන හිතන බලාපොරොත්තුවත් නතර කළා. මම ජීවිතය නිදහස් කළා. දැන් මගෙ වටපිටාවෙම තියෙන්නෙ සතුට විතරයි. ඒක පුළුවන්නම් උත්සාහ කරලා බලන්න. මම හිතන්නෙ ඔයාටත් හරියන්න ඉඩක් තියෙයි.

එදා ඔයාගෙන් මිදිලා, මම මහජන පුස්තකාලෙ ඉඳන්, දිගටම පාර දිගේ ටවුන් හෝල් එකත් පහු වෙනතුරු පයින්ම ඇවිදගෙන ආවා. ඒ වෙලාවෙ මම වට පිට ඉන්න හැම කෙනෙක් දිහාම බැලුවා. මට ඕනෙ වුණේ ඒ අය මාව නොදකින්නයි. ඒ හැමෝම සුන්දර සැන්දෑව ලස්සන කරගනිමින් හිටියා.. පෙම්වතුන්ගෙ අතේ එලුලුණු පෙම්වතියො, උයන් බංකු වල තමන්ගෙ පෙම්වතාගෙ උරහිසේ හිස තියාගෙන ඉන්න යුවතියො.. කෙළි දෙලෙන් පසුවෙන ළමයි.. හිනාවෙන අම්මලා තාත්තලා.. මගේ හිත ඇතුළෙ ඉරිසියාවක් ඇති කළා. ඇයි අපිට වෙලාව නැති වුණේ කියලා මම මගෙන් ම අහ ගත්තා.

ප්‍රති ආදේශකයක් අහලකවත් නැති සෞන්දර්යවාදියෙක් ළඟ හිටියා නම් ඒ හැන්දෑවෙ සුන්දරකම වචන වලින් කොහොමවත්ම ලියන්න බැරි වෙන්න තිබුණා. ඒත්, ඔයා හිතනවාද මම එදා දැකපු චරිත හැමදාම එතැනට ඇවිත් විනෝද වෙනවා ඇති කියලා. නැහැ. අද එතැන ඇත්තෙ වෙනත් අය.

තමන්ට ඕනෙ විදිහට කැරකෙන ලෝකයක අපි අපේ ජීවිත ගළපන්න දරන වෙහෙස දන්නෙ අපිම විතරයි. සමහරු තමන්ගෙ වෙහෙස ගැන පසු තැවිලි වේවී ජීවත් වෙනවා. තවත් සමහරු තමන්ගෙ ජීවිතයෙ වෙහෙස ගැන නොදැනම මිය යනවා. තවත් අය විවේක ගන්න කාලය හොයනවා. එහෙත් අකීකරු කාලය මහ නරක විදිහට ඔරලෝසුව කරකව කරකව , කැලැන්ඩරය පෙරළවනවා.

ඔයා හුඟක් ඇවිද්දා. දැන් වෙහෙසයි. ඒත් නවතින්න අවසරක් නැහැ. මට පෙනෙනවා සිහින ගොඩක් අහසෙ තියෙක බව. අහස තවමත් දුරයි. ඒත් අපිට සතුටු වෙන්න පුලුවන් කාරණාවක් තියෙනවා. තරු තියෙන්නෙ අහසෙ නිසා.. තටු ගහන්න තරූ!! දුර අහසට ඉගිල්ලෙන්න.. ඈතම තියෙන ඔයාට වටිනම තරුව පොළවට අරන් එන්න උත්සාහ කරන්න . ඒත් සතුට කියන දේ එතැන නැතිව තමන් ළඟ තියා ගන්න උත්සාහ කරන්න.

පරදිනවාට බය නැති හැමෝම දවසක දිනනවාමයි.. මැරිච්ච මිනිස්සුන්ව නැගිට්ටවන්න බැරි වුණත් මැරිච්ච හිත්වලට පණ පිඹින්න දෙවියන් වහන්සෙ අපට කියා දීලා තියෙනවා. ඒත් මේ දේව දූතයන්ටත් අමාරු කාලයක්.

කොහොම වුණත් හැම කාලෙකම අහසට ඉහළින් පායපු සුන්දරම තරුවේ නාමයෙන්...
ඔහුගේ නාමයට ප්‍රශංසා වේවා!!

සුබ උපන් දිනයක් තරු අක්කී..


මම ස්නේහයෙන් නේහා!!

Sunday, March 9, 2014

නැණ පහන් දල්වන තිලැස ගී රස....

ජීවිතය වැඩි වැඩියෙන් ‍අයිති කර ගත හැක්කේ ජීවිතය වැඩි වැඩියෙන් බෙදා ගැනීම මඟිනි.



මහින්ද නාමල් සොයුරාගේ ගේය පද සංකල්පනා සත්සර මියැසියක රඳවන ''තිලැස ගේය ප්‍රසංගය'' 2014 මාර්තු 16 සවස 2.30 ට කළුතර සිරිකුරුස විදුහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන අතර සහෘද ඔබ සැමට ඒ සඳහා ගෞරවයෙන් ඇරයුම් කරමු.

කලමුල්ල සුදුවැල්ලේ ‍කොළකැඳ පුස්තකාලය හෙවත් පියවර පුස්තකාලය සඳහා අරමුදලක් ගොඩනැංවීම වෙනුවෙන් පියවර ළමා හා නව යොවුන් ව්‍යාපාරය- කටුකුරුන්ද ශාඛාව විසින් මෙම ප්‍රසංගය සංවිධානය කරනු ලබයි. එකී අර්ථපූර්ණ ගී දැහැන නොමඳ වින්දනාත්මක අත්දැකීමක් වනු නිසැක ය.

කොලකැඳ පුස්තකාලය



දුප්පත් ළමා ළපටින් එක්සත්ව එක්සිත්ව හාල් මිට, පළා මිට, පොල් ගෙඩිය රැස් කර සිය ශ්‍රමයෙන් වැඩිහිටි දායකත්වයෙන් සැදූ කොළකැඳ ගෙයින් ගෙට ගොස් විකුණමින් වසර ගණනක් පුරා විටින් විට, ටිකෙන් ටික රැස් කළ මුදලින් ඉදි කළ කියවීම් ශාලාව ‍ කොළකැඳ පුස්තකාලය ලෙසින් ප්‍රදේශවාසීන් අතර ප්‍රචලිත වන්නේ එහි ප්‍රමුඛ මූල්‍ය ප්‍රභවය කොළකැඳ අළෙවිය වූ බැවිනි. 




රටක්‍ ලෙස ජාත්‍යන්තරයට අතපාමින්ද, මිනිසුන් ලෙස රජයට හෝ ධනපතීන්ට හෝ අතපාමින්ද හීන දීන වී ඇති සමාජයක මේ දරුවන්ගේ ධෛර්යය අගය කරන්නට වදන් සවිමත් වන්නේ කෙලෙසින් ද? එය සැබවින්ම පරමාදර්ශී සමාජ මෙහෙවරකි.



කලමුල්ල මුහුදු වෙරළ අසබඩ පිහිටි මෙම පුස්තකාලය සුනාමි ව්‍යසනයෙන් පසු ඒ ප්‍රදේශයේ ඉතිරි වූ එකම ගොඩනැගිල්ල වීම ‍ඓශ්චර්යයකි. පසුව ජනතා ආධාර මත කලමුල්ල රිදී මාවතේ ඉදි වී දැන් ළමා, තරුණ, වැඩිහිටි 1000 කගේ පමණ කියවීමේ අවශ්‍යතා සපුරාලයි.



HELP TO READ

වසර අටකට පසුව කොළකැඳ පුස්තකාලයේ අළුත්වැඩියාව, සංවර්ධනය සහ තිරසර පැවැත්ම වෙනුවෙන් අරමුදලක් ගොඩනගා ගැනීමේ සමාජ සත්කාර්යයක අවශ්‍යතාව පැන නැගී ඇත. එකී ව්‍යාපෘතිය Help to Read නම් වේ.

මෙම අරමුදල සඳහා ඔබගේ ‍සහෝදරාත්මක සහය ලබා දෙන්නේ නම් එකී දායකත්වයන් ලංකා බැංකුවේ පියවර ළමා හා නව යොවුන් ව්‍යාපාරය (කටුකුරුන්ද ශාඛාව)  75572895 දරණ ගිණුම් අංකයට යොමු කළ හැකි ය.



මහින්ද නාමල්

වචනය ද  ක්‍රියාව ද දෙකක් නොව එකක්ම වන, තමන් කතා කරන දේ වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින, මගේ ජීවිතයේ හමු වී ඇති අතිශය ප්‍රසන්න, ආදරවන්ත, මානව හිතවාදී මිනිසුන් අතළොස්ස අතර මහින්ද නාමල් සොයුරා සිටින්නේ ප්‍රමුඛස්ථානයේ ය. මා ඔහු දන්නා අතීතය වසර 15 ක් පමණ වුව ද, ඔහුගේ සමාජ ක්‍රියාධර භුමිකාව වසර 25 ඉක්මවන්නකි.

ඔහු කිතුසර පුවත්පතේ ප්‍රධාන සංස්කාරක ය. පියවර නව යොවුන් ව්‍යාපාරයේ අනුශාසකවරයෙකි. ධීවර ප්‍රශ්න, කම්කරු ප්‍රශ්න වැනි විවිධ සමාජ අර්බුදයන්හිදී ක්‍රියාකාරීව පෙරමුණේ සිටින්නෙකි. ළමුන්, නව යොවුන් තරුණ පිරිස්, වැඩිහිටියන්, ගුරුවරුන් ආදි වූ සමාජයේ විවිධ පුද්ගල කණ්ඩායම් වෙනුවෙන් ගමින් ගමට, තැනින් තැනට යමින් දේශන, සාකච්ඡා, ගීත වැඩසටහන් පවත්වන, සැබවින්ම ජීවිතයේ අර්ථය කුමක්දැයි, එහි දිශානතිය කුමක් විය යුතු දැයි වටහා ගත්, එය අන්අයට සරලව පහදා දීමෙහි සමත් අපූර්ව මිනිසෙකි.

මහින්ද නාමල් සොයුරා ලේඛකයෙකි. කවියෙකි. ගේය පද රචකයෙකි. ‘‘අපේ කාලයේ යාග ගී” නම් වන ඔහුගේ මුල්ම කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත්වන්නේ 1989 වසරේ දීය. ‘‘විනිවිද” ගේය පද සංග්‍රහය ගොඩගේ ප්‍රකාශනයකි. ‘‘සෙනෙහසේ නවාතැන”, ‘‘සොඳුරු නව යෞවනය” නව යොවුන් විය නිවැරදි මං ගැන්වීමේ අරමුණින් සම්පාදිත කෘති ය. ‘‘නිදිකුම්බා මල්” යොවුන් නව කතාවකි.



නමුත් මේ සියලු හැකියාවන් යහපත් සමාජයක් වෙනුවෙන් සිදු කරන මෙහෙවරට දායක කර ගනු මිස එයින් බැබළෙන්න‍ට, පවතින්නට කිසිදු උත්සාහයක් නොදරන්නෙකි. සැබවින්ම ඔහු නොවි‍කිණෙන මිනිසෙකි. එලෙසින්ම මනුෂ්‍යත්වය නොවිකුණන මිනිසෙකි.  

ඔහු කළුතර ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේ ආචාර්යවරයෙකි. එහි ශිෂ්‍ය නායක මණ්ඩලය සමග කළ රළ තරණය චිත්‍රපටය, දූතිකාවෝ වේදිකා නාට්‍යය, විකල්ප මාධ්‍ය භාවිතාවක අවැසිතාව අවධාරණය කරමින් කළ සවිකල්ප වැඩසටහන ගුරු භුමිකාවට නව අරුතක් සපයන ලද බව නොකිවමනාය. සිය ගුරු දිවියේ 25 වන වසර සමරමින් අර්ථපූර්ණ යමක් කරනු රිසියෙන් Help to Read ව්‍යාපෘතියට සමගාමීව තම ගේය පද සංකල්පනා සරණිය රැගෙන ඔහු අප හමුවට පැමිණෙන්නේ ය.

තිලැස ගී රස...

''දැන් හැදෙන ළමයින්ගෙ කිසි චාරයක් නෑ.."

''මේ ළමයි හරි මෝඩයි.. ප්‍රශ්නවලට මුහුණ දෙන්න ධෛර්යයක් නෑ..''

''මේ නම් අන්තිම නරක කාලයක්..සමාජය ගන්න දෙයක් නෑ.. අන්තෙටම පිරිහිලා..."

චෝදනා නගනු ද, යෝජනා කරනු ද විනා , යහපත් සමාජ වෙනසක් වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට කිසිවෙක් නැත. ක්‍රියාත්මක වන්නට තැනක් නැත. ධෛර්යයක් හෝ උවමනාවක් නැත. බහුතර සමාජය අලස නිද්‍රාවක ය. එවැනි සමාජ වටපිටාවක නිහඬ නමුත් ඵලබර ගමනක යෙදෙන කිතුසර කණ්ඩායම, සහ පියවර නව යොවුන් ව්‍යාපාරය සැබවින්ම ‍ඓශ්චර්යයකි. එකී සමාජ මෙහෙවරේ කලාව සහ සාහිත්‍යයට ලැබෙනුයේ ප්‍රමුඛ ස්ථානයකි. එයිනුදු ගීතය සුවිශේෂ ය. මහින්ද නාමල් සොයුරාගේ අදහස්, සංවාද, ගේය පද සංකල්පනා හරහා මම ද ජීවිතය අත්දැක ඇත්තෙමි. අත්විඳ ඇත්තෙමි.  එය මට ජීවිතය දකින්නට අළුත් ඇසක් වූ බව නිසැක ය. හදවතට අළුත්හැඩයක් ලබා දෙමින්, වෙනස් ගමනක් සඳහා ජීවිතයට  අත්තටු පැළැන්දූ බව සිහිපත් කරනුයේ ස්තුතිපූර්වකව ය.



ඉදින්, ඔහු‍‍ ගේ ගේය පද සංකල්පනාවන්ගෙන් හැඩ වන තිලැස ගේය ප්‍රසංගය අර්ථපූර්ණ අත්දැකීමක් වනු නොඅනුමානය. යහපත් සමාජයක් පිළිබදව වන අපමණක් අපේක්ෂා පෙරදැරි කරගනිමින් නොනිම් අරගලයක නිමග්නව සිටින නාමල් සොයුරාගේ ගී පද රචනාවන්හි සෞන්දර්යාත්මක ගැඹුර නිර්ණය කිරීමට ‍‍වෙහෙසීම නිරර්ථක වෑයමකි. වඩා වැදගත් වනුයේ ඔහු එමගින් සමාජගත කරන්නට උත්සාහ කරන, සංවාදගත කරන්නට උත්සාහ කරන ජීවිතාර්ථය, සමාජාර්ථය ග්‍රහණය කරගැනීම ය.

මෙකී ගී ප්‍රසංගයට තෝරා ගෙන ඇති ගීත බොහොමයක් ළමා විය, නව යෞවනය, තාරුණ්‍යය ඉලක්ක කොට ගෙන ඇත. එසේ වන නමුදු එය වඩාත් වැඩිහිටි මනස, හදවත පුබුදු කරවන ගීතමය පෙළහරක් වනු ඇත. ගීතය ගැයෙන්නේ ඒ පිළිබඳව වන පූර්විකාවක් ද සමගය.

නූතන තාක්ෂණය සමග වල්මත් වී ඇති යෞවනයට, ඒ සමග වන ජීවිත ගණුදෙනුව දැනුවත්ව සිදු කළ යුතු කාර්යයක් බවත්, එය මනුෂ්‍යත්වය දිනවන්නක් විය යුතු බවත් සිහිපත් කරන ගීතයකි මේ.

මිනිසත්කමේ හඩ ඔබට ඇසේ නම්...
සෙල්ෆෝන් එකෙන් ඉයර් ෆෝන් එකෙන්
අයි පොඩ් එකෙන්
ඵල ලැබුවට කම් නෑ
මිනිස්කමේ හඬ ඔබට ඇසේ නම්
ලැප්ටොප් එකෙන් නෝට් බුක් එකෙන් ටැබ්ලට් එකෙන්
ඵල ලැබුවට කම් නෑ
මිනිස්කමේ ගුණ ඔබට දැනේ නම්

සයිබර් ආකාසෙන් ඵල ලැබුවට කම් නෑ
මේ මහා පොළවේ පය ගහලා ඉන්නවානම්
ඩිජිටල්කරණය වු වාණිජ ලෝකේ
පිරිපුන් මිනිස්කම් සොයනා
යෞවනයන් යෞවනියන් වී අපි
සත්තරණයකට පාලමක් තනමු

ඔබේ හැකියාවන් මිල කෙරුවත් ඔබ
ඔබේ උගත්කම මිල කෙරුවත් ඔබ
මිල කරන්නෙපා ඔබේ මිනිස්කම
පෙරුම් පුරා ලද උතුම් මිනිස්කම
දුලභ වු අමිල වු ඔබේ මිනිස්කම

ඔබේ මිනිස්කම විකුණන්නේ නැතිනම්
ටෙලර් කාඞ් එකෙන් ඊ පර්ස් එකෙන් ඩිජි කෑෂ් වලින්
ගණුදෙනු කෙරුවට කම් නෑ
ඔබේ මිනිස්කම විකුණන්නේ නැතිනම්
ඊ කොමර්ස් වලින් ඊ බෑන්ක් වලින් ඊමේල් වලින්
ගණුදෙනු කෙරුවට කම් නෑ
ඔබේ ආත්මෙට ලන්සු තියන් නැතිනම් 

අරාබිකරයේ මිලාන වූ මල රිසානා නමින් ලියැවී ඇති මේ ගීතය ඉස්ලාම් නීතියට ඇඟිල්ල දිගු කරන, නමුත් ඇය ඒ ඉරණමට තල්ලු කළ  අප දේශයේ පවතින අන්ත දරිද්‍ර, අන්තඅගතිගාමී සමාජක්‍රමය පහසුවෙන් අමතක කර දමන අප හෘද සාක්ෂියට තට්ටු කර යථාර්ථය අභිමුඛ කරවන්නට උත්සාහ කරන්නකි.

රිසානා රිසානා
අපේ හදවත රිදවනා
මතකයනි ඔබ සොයුරියේ
සදා අප හද රිදවනා

ඔබේ හිස වෙන් කෙරූ හේතුව
අරාබියේ නීතිය නොවෙයි
හිසට පොල් අතු බඩට ලූණු කැඳ
රට කරන අය සඟවනා

නොදරුවන් නොරටට යවන්නට
මව්පියන් හට සිදුවෙනා
රටක් සව්දිය පුරන්නේ
මිනිස්කම මියැදුනු නිසා

පාසල, අධ්‍යාපනය, ගුරුවෘත්තිය පිළිබඳව වන පූජනීය හැඟීම් වියැකී අන්ධකාරයට ඇදී යන සමාජයකට පහනක් දල්වන්නට දරන උත්සාහයක් මේ ගීතය තුළ ඇතැයි සිතේ.

මදහස පපා ... හිස අත ගගා
මුල් පොත කියු අම්මා
අපේ හිස නමා ... බැති සිත පුදා
වඳිමු පාසල් අම්මා

පියවර නගා .. දුව පැන නැටූ
ඔබේ සෙවනතේ
දූවිලි පවා ... අත්තටු නගා
ඉගිලෙන්නටා ... අප හුරුකෙරු
වේවැල පවා අප හදවතේ
දිවි ඇති තුරු
පූජනීයයි අම්මේ

පැය පහ අපේ .. සමකර බෙදු
ඔබේ සෙවනතේ
සීනුව පවා .. අපේ සිහිනයන්
නිති පණ පෙවු .. ඔබ සෙවනතේ
ගුරුමව් පියෝ අප හදවතේ
දිවි ඇති තුරා
පූජනීයයි අම්මේ

ළමාවිය මහත් ව්‍යසනයන්ට මුහුණ දුන් මෙතරම් අවාසනාවන්ත යුගයක් තවත් නැතැයි සිතේ. බාල අවධියේ විවාහ වූ ළමා මව්වරු දෙදහසක් පමණ උතුරු මැද පළාතේ සිටින බව හෙළි වූයේ මෑතකදීය. එය ජනජීවිතයේ සාමාන්‍ය අංගයක් විය හැකි නමුත් දරුවන්ගේ පැත්තෙන් කොතරම් අසාධාරණයක් ද? බාල වියේ නොදැනුවත් පෙම් සබඳතා හරහා ද, දැරිවියන් දූෂණයට ලක්වීම තුළින්ද ළමාමව්වරුන් බිහි විය හැකිය. ළමා මවකගේ සිතුවිලි විවරණය වන අයුරින් ලියැවුණු මේ ගීතය එකී ඛේදවාචකය අප වෙත සම්මුඛ කරවයි.
           
නැලිවිලි ගී මම කියන්නේ කොහොමද
ඊයේ පෙරේදත් මව් තුරුලේ උන්
ලේ කිරි කරලා පොවන්නේ කොහොමද
කිරි සුවඳත් තව මගේ මුවේ

සෙල්ලම් ගෙදරට යන්න ඉතිං මට
පුංචි දුවේ උඹ නිදිය ගනින්
කිව්වට නුඹ හට දුවේ කියා මං
මටත් කියන්නේ පොඩි දෝණියි තව

ඉක්කා එක්ක උඹ ගාලූ යවන්නලූ
ගුඩුස් අරින්නත් දන් නැතිලූ
අම්මෙක් වෙන්නේ ඔහොමද ඇහැව්වට
හරි උත්තරයක් මං දන්නෑ

පාසල් විය නිම වී සමුගෙන යන සිසු දරු දැරියන් වෙත ගුරු හදවතක ආශිර්වාදය පිරිනැමෙන අපූරු ගීතයකි මේ. ජීවිතය, මනුෂ්‍යත්වය පිළිබදව වන නොනිම් ආදරය එකී පදවැල් තුළ පණ ගැහෙන්නේ නොවේද?

පා සිඹින මල් දරුවනේ
පා නඟා යනු මැන ඉතිං
ජීවිතය වෙත ආදරෙන්
ජීවිතය වෙත ආදරෙන්

නුඹ නුඹ මැ නොව ලෝකයයි
නුඹව හැදු වැඩු සැම දෙනයි
දිවි ගෙවුම නම් පී‍්‍රතියෙන්
ඒ ලොවට පෙම් කිරිමයි

ඔබේ හද බිම වැපිරු බීජුවට
පොහොනි කර මල් ඵල දරනු මැන
කොහේ කොතැනක හෝ හිඳී මම
එමල් ඵලවල සුවඳ දෙනු මැන

සමුගැනිමක් නොවේමැයි මේ
අප සිටියි අපෙ හදවතේ
සත්‍යයේ හසරැල්ල නැගෙනා
තැනදි ඔබ මා මූණ ගැසේ...

තිලැස ගේය ප්‍රසංගයේ සත්සර මුසුව ගරු ඇන්ටන් ජයනන්ද පියතුමාගෙනි. හඬ මුසුව ගරු ඇන්ටන් ජයනන්ද පියතුමා, ශෂිකා සොයුරිය, කළුතර ශුද්ධවු පවුලේ කන්‍යාරා‍මයේ සිසු දැරියන් සහ මට්ටක්කුලිය දේවස්ථාන සංඝයේ ගායනා කණ්ඩායම විසිනි.

ඉතින් එන්න, අප හා එක්වෙන්න. ගීතයක රස විඳින්න. ජීවිතය අළුතෙන් කියවන්න.  



කිතුසර වෙබ් අඩවියට පිවිසෙන්න.... http://kithusara.org/sinhala/


යොවුන් පියවර මූණුපොතේ පිටුවට .... https://www.facebook.com/ypiyawara