ඉර ගිනි ගනිද්දිත් සුදෝ සුදට හිනා වෙවී
උන්නු හිම මල් සමය නිම වුණා... ( හිම මල් නම දුන්නෙ පොඩ්ඩි... මරණීය හැඟවුම්
කාරකයක් වුණ ලස්සන නමක් නැති සුදෝ සුදු මල් යායකට ඒ නම අගේට ගැළපෙනවා. )
ඉන්පස්සෙ ආවෙ සකුරා මල් සමය..
සකුරා මල් ය කීවට ඒ ගිනිසීරියා මල් යාය...
එහෙමත් නැත්නම් ඇල්බීසියා මල් යාය... වැට මාර මල් යාය කියන්නත් හැකිලු. අහස
අල්ලන්න ඉහළ නැගුණු අතු ඉති දිගට හරිත පැහැයක්වත් නොපෙනෙන්න ළා දම් පැහැයක්
තවරගත්ත පුංචි රෝස පැහැ මල්... වැට දිගට ගිනිසීරියා පය පාමුළ රෝස පෙති ඇතිරිල්ල...
පාගන්නත් ලෝබ හිතෙන..
තවමත් පවුරු පදනම් ඉදි නොවුණු අපේ ගම්
පළාතෙ කටුකම්බි වැටපොටට වාරුව සපයන්නෙ ගිනිසීරියා ගස් බොහෝ විට.. බුලත් කොරටුවල
අනිවාර්ය සාමාජිකයෙක් ගිනිසීරියා වැට.... පොළව සරු කරන්න වගේම බුලත් දළුවලට ඉහළ නැගෙන්න
අත්උදව් දෙන්න...... නියං සායට අභියෝග කරන්න වගේ අහස පුරා බැබලි බැබලි ඉන්න ගිනිසීරියා
මල් සැරසිල්ල මේ තරම් සුන්දර බව දැණුනෙ ජීවිතේ මුල්ම වතාවට..
ඒ විතරක් නෙවෙයි, මේ දවස්වල කොලොම්පුරේ රොබරෝසියා
මල් සමය... උසට නැගුණු ගොඩනැගිලි, හිස් අහස අතරින් පතර සළුපිලි පැළඳගත්ත
සුරංගනාවියො වගේ රෝස පැහැ තුරු මුදුන් හිනා වෙවී ඉන්නවා.. නිරන්තර මල්වැස්සක්
රොබරෝසියා පය පාමුළ. ජීවිතේ අනියත බව ම වුණත් සුන්දර නොවෙද විමසනව වගේ...
''හරි දුකයි... ඉක්මණට මල් ටික අතුගාලා අයින්
කරන එක.. අඩු තරමෙ දවසක්වත් තියෙන්න අරින්න ඕන'' මිතුරෙක් කිව්වේ නගරසභා ඉදලට අහුවෙන
මුදු සුමුදු රොබරෝසියා මල් ගැන ළතැවිල්ලෙන්.
පියවි නෙතින් දකින්න පෙරුම් පුරන හීන ගොන්නෙ
සකුරා මල් සමයත් නැවතිල්ලෙ ඉවසිල්ලෙ බලන් ඉන්න අතරෙ, ගිනිසීරියා මල් යාය,
රොබරෝසියා මල් යාය මොහොතකට ඒ හීනයට අළුත් ඇස් දෙකක් දුන්නා...
ඉතින් ඔන්න අපටත් සකුරා මල් සමය එළඹිලා... ඇත්තටම දෙවොන්දරා සං, නොරිකො සං වගේ ප්‍රේමයෙන් වෙළිලා මල් සමයක අසිරිය විඳින්න තිබුණ නම් කොයි තරම් අපූරුද?
‘‘මේ වතාවෙ
වත් යමු සකුරා බලන්න.. මීට ඉස්සර යන්න හදපු දවස මතක නේද?” දෙවොන්දරා සං කීවේය.
ගිය අවුරුද්දේ
සිද්ධිය සිහි වී මට ලැජ්ජා ඇති විය. මගේ සිත ඔහුගේ වසඟයට පත්වන්නට බෙහෙවින් ළංවී
මා එය මුදවා ගත්තේ එදිනට පසු බව මට සිහි විය. ..........................
.... එහෙත්
එදා රාත්‍රියෙහි, රුප්පාවල හිඳගෙන ගී ගයමින් රමණය කළ නුවරුන් අතර ප්‍රීති ප්‍රමෝද්‍යයෙන්
විසඥ වූ කලක මෙන් නිහඬවම ඔහු සමඟ සක්මන් කරමින් හුන් වේලෙහි අප දෙදෙනා සුපින ලොවක
සැරිසරන්නවුන් සේ පෙනුණද මතු මත්තෙහි කුමක් වෙතත් යොවුන් වියෙහි මට මේසා ආස්වාද
විඳින්ට ලැබීම මහත් භාග්‍යයක් යැයි මම කල්පනා කළෙමි. මාලිගා ප්‍රාකාරය අසල වූ වේ
මග, මුදුණෙහි උනුන් වෙත නැඹුරු වූ අතුපතර ඇති සකුරා වෘක්ෂයන්ගෙන් ගැවසී ගත් දෙපසින්
හෙබියේ, මලින් ගොතන ලද උඩු වියනින් අලංකෘත වූ එකම ලිය මඬුල්ලක් සේ විය. ඔහුගේ හැම
අවයවයකින්ම මමන්නා සේ වූ නිසසල සුවය මගේ ඇඟටද නොදැනුවත්ව වැදී එහි පැතිර යන ලෙසක්
මට දැනුණි. අවුරුදු ගණනාවක්ම සකුරා බලන්ට මා ගොස් තිබුණු නමුත් ඒවායේ සෞන්දර්යය
දෙස මාගේ සිත නියම ලෙස යොමු වූයේ මේ වතාවේ පමණි. සකුරා උත්සවය විනෝද වීමට
අවස්ථාවක් කොට ගත් මුත්අපි මල් නැරඹීමේ ආස්වාදය නොවින්දෙමු.
වීදියෙන්
විසිර ආ විදුලි එළිය නිසාදෝ නොහොත් සල්පිල්වල දල්වා තිබූ පහන්වල එළිය නිසාදෝ ළා
දළු පැහැයෙන් යුත් මල් පෙති සඳ රැසින් ඔප් නැගුණු කලක මෙන් ශ්වේත වර්ණ කාන්තියක්
විහිදුවේය. මා වරක්දුටු උකියො එ සකුරා සිතුවමක් මට සිහි විය. ඒ චිත්‍රයේ මල්වලින්
සුදු කැලුම් විහිදුණේ කෙසේද යනු මට මෙතුවක් කල් විසඳිය නොහැකි රහසක් සේ පැවතුණි.
‘‘අර උකියො එ
සිතුවම මතකද?” ඉබේම මගේ
මුවින් පිට විය.
‘‘ඔව් මාත්
හිත හිතා හිටියෙ ඒක තමයි. හඳ පායනවද කියල මම කීප සැරයක් බැලුවා. මේ මල්වලට යන්තම්
එළියක් වැටුණත් ඒක පිළිබිඹු වෙලා විහිදෙනවනේ...” ඔහු පැවසුවේය..”
මළවුන්ගේ
අවුරුදු දා - එදිරිවීර සරච්චන්ද්‍ර
වෙහෙසකර සති අන්තයක කඩිමුඩි දිවිල්ලක සිටියා
උණත් සීනු මල් යාය මට මඟ හැරුණෙ නැහැ. සීනු මල් කියන නම පුංචි කාලෙ අපිම
හදා ගත්තු නමක්. නළා මල් කියලත් කියැවුණා ඒ කාලෙ. ගම්මු කියන්නෙ නම් වල් ළූණු පඳුරු
කියලයි. වෙනත් නම් ඇති සමහර විට. අව්වට කරංගෑටි වෙලා වියළිලා ගිය මහපොළවෙ ජීවිතය
ගැන නිමක් නැති අපේක්ෂා මේ යැයි කියන්න වගේ රෝස පාට මල් හැමතැනම. බලන්න ලස්සනයි. හිටි
හැටියෙ කොළපාට දිගටි පත්‍ර මතුවෙලා, ඒ අතරින් ලා දළු පැහැ සිහින් නාලයක් මතු වෙලා,
ඒ අග රෝස පැහැ මලක් පිපුණෙ ඉර හඳටත් රහසින් වගේ...
සතියකට වතාවක් දෙකක් පමණක්ම වතුර පොදක්
වැටෙන ගෙමිදුලේ වතුසුද්ද පැළයෙ කුළුඳුලේ ම මල් පිපිල.. අපමණ සතුටක් දැණුන හිතට. ලොකු නංගි අතින් ඉන්ඳපු පැළයක් ඒ.. 2012
උපන්දිනයට රීට නැන්දා දුන්නු විලාට් අඹ පැලයත් මල් පොකුරු පුරෝගෙන..
වසන්තය ළඟ ළඟම
එන බව හිත මුමුණනවා......
ජපානයේ සකුරා මල් සමය වගේ අපටත්
සංස්කෘතියක් තිබුණ නම් කොයි තරම් අපූරුද මල් හා බැඳුණ. මගේ හිත හීන දකිනවා.
සියලු
යහ පැවතුම්, සෞන්දර්යාත්මක වින්දනයන් වළපල්ලට යමින් තියෙන කාලයක එවැනි සිහින
දැකීමත් අස්වාභාවික බව නොදැනෙනවා නෙවෙයි.
ඒත් ඉතින් හීන දකින්න කාගෙ නම් තහනමක්ද?
ඇහැළ මල් සමය... රොබරෝසියා මල් සමය......... එරබුදු
මල් සමය...
තව කොයි තරම් මල් සමයන් උපද්දන්න හැකිද? කරන්න තියෙන්නෙ ටිකක් මහන්සි
වෙලා එවැනි තුරු යායකට පණ දෙන එකයි... මිනිස් ප්‍රාණයක අගය පොට්ටකාසියක අගයටත් පහළ
ගිය කාලයක, සොබාදහම වෙනුවෙන් ඒ හැටි නැහෙන්න කවුරුත් ඉදිරිපත් වේය කියල හිතන්නත්
අමාරුයි...
ඒත් සොබාදහම මිනිස්සු තරම් අකාරුණික නැහැ...
ඒ නිසාම මල් සමය කොයිකවරදාවත් නිම වෙන්නෙ නෑ...













