පිටු

Monday, June 9, 2014

හිත ඇහැරිලා..


 
හිත ඇහැරිලා.. ඒත් ඇහිපිය නිදි.. එහෙම වෙනව නේද?
මගේ සතිඅන්තය ගෙවෙන්නෙ ගමේ, තනියෙන් ඉන්න අපේ ගෙදර.

ඉරිදා උදේ පහන්වෙන්නෙ මට එහෙමයි. පාන්දර හතරහමාරට පහට පුරුද්දට හිත ඇහැරෙනවා. ඒත් ඇහිපියි නිදි... ඇහිපිය අරින්නෙ දැන් මේ ඇති කියල හිතටම හිතුණු වෙලාවට තමයි... ඇස් වහගෙන හිටියත් හිත සැරිසරනවා. ගමන් වියදම් නැහැනෙ.. ඕන අහක ගිහින් එන්න පුළුවන්.... එහෙම ඉද්දි ඇහෙනවා කුරුලු කිචි බිචි... ලේන් ටිං ටිං... හරක් පැටවුන්ගෙ උම්බෑ... හීතල හුළං රැලි කවුළු තිර අස්සෙන් රිංගනවා.. ‘‘කම්මැලියා නැගිටිනවා” කියන්න වගේ... වටේම ඉර එළියෙන් නැහැවිලා කියල දැනෙද්දි මං හෙමිහිට ඇස් අරිනවා.. කොට්ටෙ ළඟම තියෙනවා පොතක්.. බොහෝ වෙලාවට කවි පොතක්. උදෙන්ම කවියක්.. නැත්නම් පොතකින් පිටුවක් දෙකක්... ඒක හරි ලස්සන වැඩක්...

ඒ වෙලාවට අනේක වාරයක් හිතෙනවා තනිකඩ ජීවිතේ කොයි තරම් නිස්කලංකද? සැහැල්ලුද? කියලා...

නිලමෙ අත්තගෙ දෙවෙනි දුව හැමදාම උදේට හරක් ටික කැන්දන් යන්නෙත් මේ වෙලාවට.. ‘‘ හා යං පුතා.. ඉතින් කිව්වම අහල ඉක්මණට යන්කෝ... හා හා ඔය මල් පාත්ති පාගන්න එපා.. මෙහෙන් මෙහෙන්...” ගෙට ගෙවැදිලා ගත වුණු මුල්ම රාත්‍රිය පහන් වෙන මොහොතෙ මේ හඬට පුදුම වෙලා මං ඇඳෙන් පැනල ගිහින් ජනෙල් තිර අස්සෙන් බැලුව මතකයි... ඒ පවුලෙ කවුරුත් හරකුන්ට කතා කරන්නෙ දරුවන්ට වගේ... ඒ දරුවො ටික මගේ මල්පැලත් පාගගෙන මිදුල මැද්දෙන් දුවන එක තමයි වෙලාවකට හිතට අමාරු... ඒත් කටක් ඇරල මොනවත් කියන්නැහැ මම කවදාවත්ම... දරුවන්ගෙ දාංගලේ එහෙම තමයිනෙ...

‘‘ලොකූ එන්න තේ බොන්න...” ලොකු නංගි කතා කළාම තමයි ඔන්න මම සයනාසනාරූඪ සමාධියෙන් බැහැර වෙන්නෙ.
මගේ නිදන කුටියෙ කවුළුවෙන් බැලුවම පේන මානෙ තියෙන්නෙ ලොකු නංගිගෙ ගේ. මං මේ තරම්ම චණ්ඩියෙක් වෙලා ගෙදර තනියෙන් ඉන්නෙ ඇත්තටම ඒ ලොකු නංගිගෙ හයියෙනුත් තමයි... එයා මට දෙවෙනි අම්ම වගේ...

ඉරු රැස් අඟිලි තුඩගින් කිතිකවයි කොපුලක්
චූටිකි බටිති මුවගින් දිග හැරෙයි තනුවක්
කවුළු තිර සසැලි සසැලි එබිකම් කරයි සුළඟක්
සිහිලැල් පවන් රැල්ලක රැඟුමක කෝපි මල් සුවඳක්...

ලැසි ලැසිව සිතුවිලි සැරිසරක්....
අලසව පියැවෙනා දෙනෙතක්...

අහා සුව සහනය ... හුදකලා සයනය....
 
 
උදෑසන සුපුරුදු වතාවත්වලින් පස්සෙ ගේ, මිදුල අතුපතු ගාල හෙම ආයෙමත් සාලෙ පැදුරක් දාලා, නැත්නම් පුටුවක් අරගෙන සමාධිගත වෙනවා... පොත් එක්ක.. නැත්නම් රාවය එක්ක.. එහෙමත් නැත්නම් ලියවිල්ලක් එක්ක... ඉදිරි දොර මුහුණ දාල තියෙන්නෙ පෙරදිගට... ඉර එළිය ලෝබ නැතිවම ගේ හැමතැනම ඇවිදිනවා.. හුළඟ උණත් එහෙමයි..

තනියෙන් ඉන්න අපේ ගෙදර අවට වැඩිපුරම තියෙන්නෙ ගහකොල, දකුණු අත පැත්තෙන් පටු ගුරු පාර, ඉන් එපිට බුලත් කොටුවක්.. ඉදිරියෙන් තව නිවෙස් දෙකකට යන පුංචි පාරක්.. ඉන් එපිට පේන මානෙ ගහකොල විතරමයි.. ගෙවල් තියෙන්නෙ ටිකක් ඈතින්...  වම් පැත්තෙන් ලොකු නංගිගෙ ගේ පොඩ්ඩ. ගේ පිටිපස්සෙ පතහ.. ළඳු කැලෑව.. මේ අතර මැද බාගෙට හැදුණු හුදකලා ගෙයක්.. ඒ ගේ මැද්දෙ හුදකලා තරුවක්...
දැන් ඉතින් හිතේ සිත්තමක් ඇඳෙන්න ඇතිනෙ.. ‘වස පාලුයිනෙ..’ කෙනෙකුට හිතෙන්න පුළුවනි.. ඒත් මම නම් ඒ පාලු නිස්කලංක ගතියට හරිම ආදරෙයි...

නමයෙ දහයෙ පන්තිවල ඉද්දි තමයි මම මුලින්ම ජයසේන ජයකොඩිගෙ අරලිය මල් ආරාමය, උපේඛා පොත් බැලුවෙ.  ඒ පොත් කියවද්දි හිතුණා අනේ මටත් උපේඛා තෙරණියට වගේ ආරාමයක් හදාගෙන නිසංසලේ ඉන්න ඇත්නම් කියල.. ගොළු දයාපාල ගැන බයක් නොහිතුණාම නෙවෙයි... දැන් ගෙදරට වෙලා නිසංසලේ ඉද්දි හිතෙනවා මං පෙරුම් පිරුව ඒ අසපුව නේද මේ කියල... මගේ නිවන මගේ පැල්පතයි...

ඉස්සරහ වත්තෙ පොල්ගහක බෙනවල ගිරා රංචුවක් ඉන්නවා... උන්ගෙ දාංගලෙත් බලා ඉන්න ආසයි... ඒ හරියෙ නිතරම ඉන්නවා කොට්ටෝරුවෙකුත් පොල් ගස්වලට කොට කොට... හොට නොපැටළෙන බව ටක්කෙටම දන්න නිසා වෙන්න ඇති, ඒ කොට්ටෝරුවා නිතරම පොල් ගස්ම තෝර ගන්නෙ. යාළු ගිරවුන්ට ගෙවල් හදල දෙන්නෙ මේ කොට්ටෝරුවා වෙන්න ඇති.... කුලිය කීයක් අය කරනවද දන්නෙ නෑ....
චූටික්කො, බට්ටිච්චො, මයිනො, බත්කූරො, සමනල්ලු මේ වෙලාවට නිදහසේ සැරිසරනවා... හරියට මගේ හිත වගේ... ගොඩක් වෙලාවට පොතපතින් මගේ නෙත, හිත උදුරගන්නෙ මේ යාළුවො තමයි.
තනියෙන් ඉන්න අපේ ගෙදර ටෙලිවිෂනයක්, රේඩියෝවක්, කොම්පියුටරයක් මේ මොනවත්ම නැහැනෙ.. ඒ හින්දා පොතපත, සොබාදහම, මිනිස්සු එක්ක හෘදයාංගම ගනුදෙනුවලට ඕන තරම් වෙලාව තියෙනවා ගමේදි...

මිදුලෙ පුංචි තීරුවක දවල් කුමාරි මල් පිපිලා තියෙනවා ලස්සනට... මේ දවස්වල සීනියාස්, තාරකා මල් නැහැ. පහුගිය නියඟෙට පිච්චිලාම ගිහින්.. ඒත් ආයෙම තැනින් තැන ජීවිතේ අහුලගෙන නැගිටින බවට ලකුණුත් තියෙනවා.. හැම සතිඅන්තෙම මිදුල උදළු ගාන්න තියෙන කම්මැලිකමට උඳුපියලිය වැවෙන්න ඇරලයි තියෙන්නෙ.. මේ දවස්වල ගෙයි පිටිපස්සෙ උඳුපියලිය තීරුව උඩට සුදු පාට තේක්ක මල් වැටිල තියෙනවා. හරියට මුතු කැට වගේ... ලස්සනයි... තේක්ක මල් පොකුරු පොකුරු පිපුණම හැබෑම ලස්සනක් තියෙන්නෙ. බිම වැටිල තියෙන පුංචිම පුංචි තේක්ක මලක් අතට අරන් බලන්න. හරි අහිංසක පාටයි...

තනිකඩ ජීවිතෙත් වෙලාවකට ඒ තරම්ම අහිංසකයි.. සරලයි.. සුන්දරයි...

පෙත්තෙන් පෙත්ත ඇහැරෙන මල් එක්ක හිනා වී
පිටුවෙන් පිටුව පෙරළෙන පොතකට පමා වී
ඉරු එබිකම් පාන අහස ට මුවා වී
හිතුමතේ සිතුවිලි දසඅතේ සරා වී

නිසංසල සිහින පොකුරක්
නිරන්තර නිවන් හැඟුමක්....

අහා සුව සහනය .... හුදකලා නිවහන....
 


මහගෙදරින් සමුඅරන් මං මගේ හුදකලා නිවහනට ආවෙ 2012 උඳුවප් මාසෙ නත්තලට. ඒ දවස්වල නිදන කාමරේට විතරයි දොරක් තිබුණෙත්.. දැන් නම් ගේ හතරවටින්ම වැහිලා... මුල්ම කාලෙ අම්මා ආවෙ නැති දවස්වලට මට රෑට නින්ද යන්නෙම නැති තරම්... එක එක සද්ද ඇහෙනවා. ගැස්සිලා ඇහැරෙනවා. අන්ධකාරෙ මැද්දෙන් භුත හෙවණැලි පේනවා. හෙලවුණ හිත නිශ්චල වෙලා, ඒ හෙවණැල්ල මැකිල යනකල්ම මං ඇස් ඇරගෙන බලන් ඉන්නවා.  හොල්මන් බය නැති කරගන්නෙ එහෙමයි. හොල්මනක් නෙවෙයි කියල ස්ථිරෙටම දැනෙනකල් ඒ දිහාම බලන් ඉන්න ඕන... පුංචි කාලෙත් මං එහෙම බලන් ඉඳල තියෙනවා.

සමහර දවස්වලට, කියවන්න හරිහමන් පොතකුත් නැති වුණාම හරි පාළුවක් දැනෙනවා.. අන්න ඒ වෙලාවට හිතෙනවා හුදකලා සයනයට තව කොට්ටයකුත්, ඒ කොට්ටයට හිස තියාන සුන්දර හදවතක් තියෙන මනුස්සයෙකුත්, ඒ මනුස්ස ශරීරය ඇතුළෙ ගැහෙන උණුහුම් පපුවක ගැස්මකුත් තිබුණ නම් අපූරුයි නේද කියල....

රෑ මැද ඇසෙන හඬ නිදි සුව බිඳින සඳ
භීත සිතුවිලි සිහින වැටකඩුලු බඳියි හද
උණුහුමක් නොහඳුනන සීත ඇතිරිලි වුවද
රාත්‍රිය මෙතරම්ම දිගු මන්ද අසන්නෙද...

සීතලම සයනයක උණුසුම් සිහිනයක්
ප්‍රේමයම හිලව්වට අයදිනා පෙම් හිතක්..........

අහෝ සන්තාපය .... හුදකලා සයනය
 
 
 
මිදුලෙ තණකොල වැවෙන්න ඇරියෙ හැමදාම මිදුල උදළුගාන්න බැරි නිසා. ඒත් දැන් තණකොල වැවිලා... තණකොල කපන යන්ත‍රේ මට උස්සගන්න බැරි තරම් බරයි.. ඒ වැඩේට ධෛර්යය උපදවා ගන්න හරිම අමාරුයි. මිදුල වටෙන්ම ළඳු කැලේ කරදඬු උස්වෙවී උස්වෙවී ගේ වටකරගෙන සතුරු සේනාවක් වගේ අවි අමෝරන් ඉන්නෙ. හැමදාමත් මල්ලිට කරදර කරන්නත් බැහැනෙ. උදළු පාරවල් දෙකක් ගහද්දි මට හති. පුරුදු නෑ ඒ වැඩ... අතට හුරු පෑන, පින්සල, යතුරු පුවරුව මිස කැත්ත, උදැල්ල නෙවෙයිනෙ.

මකුළු දැල් කඩාගන්නෙ ප්ලාස්ටික් පුටු දෙක තුනක් එක පිට තියලා ඒ උඩ නැගල.. හරිහමන් උසක් තියෙන එකක්යැ... දවසක කොන්දක් කඩාගෙන තමයි මකුළු දැල් කැඩිල්ල අහවර වෙන්නෙ...

විදුලි බල්බ ටිකක් ගෙනත් තියාගෙන සති දෙකකට වැඩියි.. මගේ අත පොවන මානෙන් ඉහළ ඇති වැඩක් නිසා තවමත් විදුලි බල්බ ටික පෙට්ටිවලමයි... අහෝ දුකකි..

සමන්පිච්ච මල්වැල බිම දිගේ අතු විහිදනවා බලන් ඉන්න බැරිකමට නාරාසනෙන් වළවල් හාරල, ඉනි හතරක් ඉන්ඳවල, ලණු ඇදල පුංචි අත්වාරුවක් හදල දුන්නා. පිච්ච වැල් හීන්සීරුවෙ අතින් අල්ලල ලණුපොටකට වාරු කරල තිබ්බා. ලබන සතිය වෙනකල්වත් ඒ අත්වාරුව අල්ලන් ඉඳියි කියල හිතන්න අමාරුයි.. දැනටමත් ඉණි හතර බිම ද දන්නෙ නැහැ. පුරුෂ ධෛර්යයෙන් කළ යුතු වැඩ.. හිතේ හයිය තිබුණට ශරීර කූඩුවෙ හයිය නැති හැටි හැබෑටම...    

මේ වගේ තනිහිතේ හයිය මදිවෙන වැඩපල මතක් වෙද්දි නම් හිතෙනවා ගෙදර උන්දෑ කෙනෙක් නැති එකේ පාඩුව කියල.

ලන්ද ගේ වට සැදී අවි අමෝරාගෙන
සියුමැලි දෑත සවි සරදමට උරගාන
පුරුෂ බල නොතරම්ද තනිකමට සවිගේන
හිත අගිහ කොනහමින් නිරතුරුම දොස් නගන

සැහැල්ලුව කොතරම්ද හුදකලා ජීවිතේ
සැහැල්ලුව එතරම්ම බරකි තනි මාවතේ




 
ඔය වගේ සිතුවිලි අතර සැරිසරද්දි තමයි මේ කවි සංකල්පනාව ලියවුණේ... ඒක කවි කතාවක්ම කරන්න හිතුණෙ හුදකලා ජීවිතේ අභියෝගයක් තියෙනවා වුණත් මං මෙහෙම ජීවත් වෙන්න හරිම කැමතියි කියල කියන්නත් එක්ක.

ඉස්සරම තනිකමට පෙම් බැන්දෙ හිත් වේදනා දරාගන්න බැරිකමට.. දැන්නම් තනිකමට පෙම් බඳින්නෙ තනිකඩ ජීවිතේ තියෙන නිස්කලංකකමට, සැහැල්ලුවට..  තනිකම භාවනාවක් වගේ විඳින්න පුළුවන්.. සමාධියක් වගේ දැහැන්ගත වෙන්න පුළුවන්..
තනි ජීවිතේ අමාරුකම් නැතිවම නෙවෙයි.. ඒත් හුදකලාවයි, බන්ධනයයි තරාදියෙ දාලා කිරල බැලුවත් තවමත් බර වැඩි වෙන්නෙ හුදකලාවටම තමයි.
මං මේ තනිකඩ ජීවිතේට හරිම ආදරෙයි...

Thursday, June 5, 2014

හිතේ නැවතුණු කතාවක්...



By Sathish Welan
‘‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත හමුදාකරණය සහ අපේ අනාගතය” කියල චන්ද්‍රපාල කුමාරගේ නීතිඥ මහත්මයගෙ කතාවක් අහන්න ලැබුණා මෑතකදි. ඒ කතාවෙදි කියවුණේ ලංකාවේ හදිසි නීතිය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතේ ආරම්භය ගැන.. ක්‍රියාකාරිත්වය ගැන.. එහි වර්තමාන තත්වය ගැන.... පොදු ජනතාවගෙ ඇස්වලට වැලි ගහල සම්මත කර ගන්න පණතක් විදියට තමයි ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත හැඳින්නුවෙ... ‘බොහෝ අවස්ථාවල එය ක්‍රියාත්මක වෙන්නෙ මානව හිමිකම් උල්ලංඝනය වෙන අමානුෂික මුහුණුවරකින්.. ලංකාවෙ නීතිය වල්වැදීමේ තවත් දරුණු පැතිකඩක් මේ.... අපි එයට එරෙහි විය යුතුයි..’ ඒ තමයි කතාවෙ සාරාංශය...

මේ කතාව යන අතරෙ මට මතක් වුණේ මෑතක කියවපු නවකතාවක්.. එය ඉන්දීය නවකතාවක පරිවර්තනයක්.


 


සුපුරුදු විදියට පොත අතට අරන් කවරය බලල පසුකවරයට ඇස් දිව්වා.

‘‘... රොහින්ටන් මිස්ට්‍රිගේ A fine Balance කෘතිය පාඨක අවධානයට යොමු වූ, ජාත්‍යන්තර ප්‍රසාදයට ලක් වූ මහඟු කෘතියකි. 1970 මැදභාගයේ ඉන්දියාවේ පැවති දේශපාලනික, සමාජික තත්ත්වය මේ නවකතාවෙන් පිළිබිඹු වේ.

දේශපාලන කැළඹීම නිසා ඉන්දියානු රජය හදිසි නීතිය පනවයි. අසමාන ගතිපැවතුම් හා අසමාන සමාජ තත්වයන් ඇති පුද්ගලයෝ හතරදෙනෙක් එකම නිවසක එක්ව ජීවත් වෙති. ඔවුන්ගේ ප්‍රාර්ථනා, සුන් වූ බලාපොරොත්තු, ඔවුන්ගේ ඉරණම, සිදුවීම් මේ සියල්ල නොසිතූ අයුරින් එක්ව බැඳෙන්නේ කිසිවකුට නොකිව හැකි පරිද්දෙනි. මිස්ට්‍රිගේ කතාව ජීවමානය. අමතක කළ නොහැකි චරිතයක් ඔහු මවා දක්වයි. දයාව, හාස්‍යය හා ප්‍රතිවේදය ගැබ්ව ලියැවුණු මෙම නවකතාව හොඳින් නිර්මාණය වී ඇත. එය අපේ යුගයේ සිටින ප්‍රතිභා ශක්තියෙන් පරිපූර්ණ නවකතාකරුවෙකුගේ බලවත් නිර්මාණයකි.”

ඉන්පස්සෙ ඉතින් පොතේ පළමු පිටුවේ ඉඳන් ඉදිරියට.... එහෙම යද්දි තමයි මේ කොටස මුණගැහුණෙ..

‘‘ මේ පොත අතට ගෙන සැප පුටුවක හිඳින ඔබ පොත කියවා ඇතැම් විට සතුටක් විඳිය හැකියැයි ඔබ සිතනු ඇත. කතාවේ අවාසනාවන්ත සිදුවීම් කියවූ පසු ද ඔබ හොඳින් ආහාර ගනියි. ආශාවන් හා එයින් පලායාම පිළිබඳව අතිශයෝක්තියෙන් වර්ණනා කර ඇතැයි ඔබගේ අසංවේදී බව නිසා ඔබ කතුවරයාට චෝදනා කරයි. එහෙත් මේ ශෝකාන්තය කල්පිතයක් නොවේ. සත්‍යයකි.”

-          Honor de Balzac, Le Pere Goriot -

ඉතින් කතාව කියවගෙන යද්දි මේ කල්පිතයත් නොවේ සත්‍යයක්ය කියන කාරණය හරියට හිතට වධ දුන්නා, සමාජය මේ තරම්ම දුෂ්ට ද කියල හිතෙද්දි දැඩි කම්පනයකුත්, මිනිස්සුන්ට මේ තරම්ම දුක් විඳින්න පුළුවන්ද කියල හිතෙද්දි අප්‍රමාණ කණගාටුවකුත් දැණුනා....
ඒත් ඒ තරම්ම දුක්කන්දරාවක් දරාගෙනත් හිනාවෙන් ජීවිතේට මුහුණ දෙන්න පුළුවන් මිනිස්සු ඉන්නව නේද කියල හිතෙද්දි මනුෂ්‍යත්වය ගැන මහා ආදරයකුත්, දයාවකුත් ඇති වෙන එක වළක්වන්නත් බැහැ...
 
මේ කතාවෙ ප්‍රධාන චරිත කිහිපයක්ම තියෙනවා. ඒ අතර වැඩියෙන්ම අපට මුණ ගැහෙන, හිත් කම්පනය කරවන, විටෙක හිනා ගස්වන, විටෙක කඳුළු පුරවන අපුරු යාලුවො තමයි දිනා දලාල්.. ඊශ්වර් දර්ජී.. ඕම්....මනෙක්..... අමතක නොවන හිතේ ඇඳුණු චරිත.... අසමාන ගති පැවතුම් ඇති එකම නිවසක ජීවත් වෙන හතර දෙනා තමයි මේ...
 
දිනා නව යෞවනයෙදිම පියා අහිමිව එකම සොහොයුරාගෙ අණසක යටතෙ හැදෙන වැඩෙන නිදහස් අදහස් තියෙන අපූරු කෙල්ලෙක්. ඇයට හමුවන සිහිනමය ප්‍රේමය  රස්ටම්. එක වහළක් යට කූඩු වුණත්  බොහෝ සුන්දර ප්‍රේම කතාවන් වගේම මේ ආදර බන්ධනය, විවාහ බන්ධනය කෙළවර වෙන්නෙත් අනපේක්ෂිත විදියට. හදිසි අනතුරක් නිසා සිදුවන රස්ටම්ගේ මරණයත් එක්ක.
 මහා නගරයක, මහල් නිවාසයක, කුලී ගෙදරක ඇය තනිවෙනවා. ඉන්පස්සෙ ජීවිතය ගැටගහගන්න දිනා දරන්නෙ අපමණ වෙහෙසක්.
ඇය ඇණවුම් භාර අරගෙන ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඇගේ ටේලර්ලා දෙන්න විදියට තමයි අපට ඊශ්වර් දර්ජී, ඕම් මුණ ගැහෙන්නෙ. මාමයි, බෑණයි.... කුල පීඩනය තදින්ම බලපැවැත්වෙන ඈත ගම්මානයකින් පැමිණෙන මේ දෙන්නා කොයි තරම් කටුක කඩඉම් පහු කරල තියෙනවද කියන එක අදහාගන්නත් බැරි තරම්. කුල ක්‍රමය මේ තරම්ම අමානුෂික විදියට මිනිසුන්ව පීඩාවට පත් කරනවද? ස්ව උත්සාහයෙන් දියුණු වුණ සාමාන්‍ය මනුස්සයෙක් වුණු ඕම්ගෙ තාත්තා නාරායන්ව බිලිගන්නෙත් කුල මාන්නයට එකතු වුණු දේශපාලන බලපුළුවන්කාරකම.. අවසානයේ ඕම් ලිංගික බෙලහීනයෙක් කරල, හිඟන්නෙක් බවට පත් කරන්නෙත් ඒ බලපරාක්‍රමයමයි....

දිනා ඇගේ කුලී නිවසින් එක් කාමරයක් කුලියට දෙනවා, ඇගේ පාසල් වියේ මිතුරියකගේ පුතෙකුට. ඒ තමයි මනෙක්.
සුන්දර කඳුකරයෙන් මහා නගරයට පිවිසිලා එකී නගරයේ ජීවන අරගලයන්ට මැදි වෙන මනෙක්... යටත් විජිත පාලනයේ ප්‍රතිඵලයක් විදියට බෙදී වෙන්වන සමාජයක පීඩාව හිසින් දරාගෙන ජීවත් වෙන මනෙක්ගේ මව්පියන්...  විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය අරගලවල ඉදිරියෙන් සිටින, ඒ නිසාම පොලිස් අත්අඩංගුවේදී මිය යන අවිනාශ්... මනෙක් හරහා අපට හමුවන පුද්ගලයින් කිහිප දෙනෙක්... 

අවිනාශ්ගේ මරණයත්, ඔහුගේ පවුලේ අය මුහුණ දුන් අවාසනාවන්ත ඉරණමත් දැන ගන්නා මනෙක් සිය දිවි නසාගන්නවා. ඒ තමන්ගෙ මිතුරා ගෙන ගිය ජීවන අරගලය තේරුම් නොගැනීමේ, යම් තරමකින්වත් එයට සහනයක්, සහායක් නොදීමේ පසුතැවිල්ල හිතේ දරාගෙන....

ඉතාම සුළු චරිතයක් වුණත් හිතේ ඇඳෙන විදියට නිර්මාණය කරන්න කතුවරයා සමත් වෙලා තියෙනවා. නිවාස කුලී එකතු කරන්න එන ඊබ්‍රහිම්ගෙ දුෂ්ටකමට හිතේ තරහක් ඇති වනු වෙනුවට ඒ දුෂ්ටකම පිටුපසින් තියෙන ඔහුගේ අසරණකම ගැන අනුකම්පාවක් ඇති වෙන්නෙ. ස්වභාවයෙන්ම දුෂ්ට වී අන්‍යයන් පෙළිමත්, අසරණකම නිසා අන්‍යයන් දුකට හෙලීමත් පැහැදිලිව හඳුනාගන්න හැකි තරමට කතුවරයා මනුෂ්‍යත්වය විනිවිද දකිනවා. එලෙසින් දකින්න අපේ හදවත මනස අවදි කරනවා...

දේශපාලන බල අරගල නිසා ඉන්දියානු රජය පනවන හදිසි නීතියෙන් මිනිසුන් කොයි තරම් පීඩාවට පත් වෙනවද කියන කාරණය මේ නවකතාව පුරාම විටින් විට මතුවෙනවා. දේශපාලන සටකපට කම්, රැවටිලි, නැළවිලි මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ මොන තරම් අමානුෂික විදියට ද? ඒත් මේ මිනිසුන් මනුෂ්‍යත්වයේ තෙතමනය නොසිඳගෙන ඒ සියල්ලට මුහුණ දෙන ආකාරය.. විටෙක හාස්‍යයක්, විටෙක වේදනාවක්, විටෙක දැඩි ආවේගයක් ජනිත කරන සුලුයි...
 
නගර අලංකරණය මුවාවෙන් දුප්පතුන් පිටු දකින විදිය, මුඩුක්කු පැල්පත් විනාශ කරන ආකාරය කියවෙද්දි මෑතභාගයේ ලාංකීය සමාජය මුහුණ දුන් එවැනි අත්දැකීම් සිහියට නැගෙන එක වළක්වන්න අමාරුයි.
කෘතියෙන් කියවෙන්නෙ හැත්තෑව දශකයේ ඉන්දියාවේ සමීප රූපයක් වුණාට, එය විසිඑක්වෙනි සියවසේ ලාංකීය සමාජයට කොයි තරම් දුරට සමාන වෙනවද කියල පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට දැනෙන්න ගන්නවා... ‘‘ඉන්දියාවෙ තරම්ම දරුණු තත්ත්වයක් ලංකාවෙ නැහැනෙ” කියල ඕනම නම් හිත හදාගන්නත් පුළුවන්... ඒත් අපි මේ යන්නෙ ලෝකෙම ධනවත්තු වගේම අන්ත අසරණ දිළින්දොත් ඉන්න අසිරිමත් අනාගතයකටද කියල මට නම් හිතෙනවා.
 
ඉන්දියාවෙ විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල තත්ත්වය මීට වඩා වෙනසක් නැහැ. ධනවාදයට අත්වැල් අල්ලන දේශපාලනය දුප්පතුන්ගේ කුසගින්දර, හිත් ගින්දර නොසලකා හරිනතාක්කල් මෙවැනි ඛේදවාචක නිමක් නොවේවි...

පොත වැසු පසුත්... හිත කතාබහක... මං දන්නෙ නැහැ ඔබටත් එහෙම වේවිද?

දුකක්, කම්පනයක් එක්කම මනුස්සකම ගැන අපමණ දයාවකිනුත්, ජීවිතය ගැන උද්‍යෝගයකිනුත් හිත පිරිල යනවා....
 
Rohinton Mistry
 
Rohinton  Mistry – A Fine Balance
‘’සමබරතාවය’’
පරිවර්තනය - චිත්‍රා අයි පෙරේරා
ප්‍රකාශක - විදර්ශන
මිල - රු. 750.00

( පොතේ හිමිකරු ඉසුරු…. පොත ලබා දුන් බාසුරු…. සොයුරන්ට තුති. )

Monday, June 2, 2014

ඒ මගේ පණ...

by Katie m. Berggren


"ඒ මගේ පණ... කවදා නම් ඇස් දෙකට දකින්න ලැබෙයිද?"
- විප්‍රවාසී පුතෙකුගේ ආදරණීය මවක ඇස කඳුලින්.... -
 
පාට එරන්වන් පුතුනේ
ඈත දුරක වහන් උණේ
දෑසෙ කඳුළුම ය නිතිනේ
කාට කියම් මෙදුක අනේ..

සරැලි ය මුදු කෙහෙරැල්ලේ
අතැඟිලි පටලා ලොල්ලේ
පිරිමදිනුව සැනසිල්ලේ
කෙදිනද හිත ළතැවිල්ලේ..

කල්වරි පාමුල ඉතිනේ
මව්මරි ළය සෝ දුකිනේ
ඇවිළුණු ගිනි දළුලමිනේ
දැවුණි ද මා හද පුතුනේ..

දහසක් මව් ඇස කඳුලා
පිසිනුව තම දිවි හකුලා
පුද කළ මපුතුන් විපුලා
මට රන් කඳෙකි ය උදුලා....

මවුන් ළමැද ගිනිලමිනා
රජ මැති වැජඹෙත යෙහෙනා
මෙවන් මව්බිමක ඉතිනා
කෙලෙස වේද දෙවි කරුණා...

මරියාවන් සේ බැතිනී
උදාන ගීයක් ගොතමී
පුතු එන පෙර මඟ බලමී
දෑසෙ කඳුළු පිස හරිමී....

Monday, May 26, 2014

රිදුම් දුන් ‘‘වේ” කවි...


 

 
අන්න ඒ සහතිකය
පුංචිම සන්දියෙ
ඉස්ඉස්සිල්ලම අත රැඳුණු
වටිනාම සහතිකේ

සර්වෝද සිඟිති පාසල් අතර
ලංකාවෙන් පළමු තැන
සිඟිති ගෙවිලියන්ගෙ නැටුමට...

ගොවි නැටුමෙ ඉස්සරහම උන්නෙ මං

නෙවෙයි වෙන්න ඇති මිටි හින්දාම නම්
ළා තැඹිලි චීත්තෙ උන් හංසයා මෙන්
බටිති පා පොඩි හැඩට තියන්නැති මං....

දැන් ඉතින් ඉතිරි
මතකය ම පමණි....

කවි ලිව්ව හපනිට ලංකාවෙන් තුන්වැනියට

දුන්නු සහතිකයෙ තනියට
පොත් ගොන්නකුත් ලැබුණා දෝතට ...
පිප්පි ත් උන්නෙ එතන හුරුබුහුටියට
නැව් නගින්නට ඉස්සර...

‘‘
පිප්පී.. ලොක්කී ලටපට සපයන්නී පටකම්බිලි සැවැන්දරාගේ දෝන දිග මේස් කැකුලී..”
පිප්පි යන්නම ගියේ පුංචිම සන්දියේ
සහතිකය වේ කුසට රස බොදුන් වී තියේ...

‘
බිහිදොර අබියස’ කලා උළෙල
නම විතරම ද මට හිමි...

සිංදුවක් හෙම අහන්නෙම නැද්ද
ගීතයක අගය දන්නේ ම නැද්ද
ගී ලියා සරසවි බිමේ දිනුම් ලද
සහතිකය තලු මැරුවෙ කුසගින්දරෙන් ම ද?

පුරාගෙන සපැමිණි හීන කන්දම දිය වෙවී

ගෙවුණු සරසවි දිවියෙ අවසාන වසරෙදි
ලියා තැබූ පොත සීගිරි කුරුටු ගී හා බැඳී
කා දමන්නට දුකක් හිතුණාද වේයනී.....

පාසැල් සන්දියේ සුරුවිරු මතක

දහම් පාසලේ ළ.ක්‍රි.වී.යෙ සහතික

දුක තමයි ඒත් හිත හදාගත හැක
ඇයි ගිල දැම්මෙ මගේ කවි පොත....

නව යෞවනේ සුන්දරම හීනවල
පාට ගත් අතකුරින් ලියූ කවිපද අතර
දැවටී තිබුණාද රසබර යමක්
මෙතෙක් ආ ජීවිතේ මට ම මඟ හැරී ගිය....

අනියත ලෝ දහම දැන උන්නත් බණේ
නොගැලූ කඳුලකිය දැවි දැවී ඇස් කොණේ
අනේ වේයනේ ඇයි කළේ මේ විනේ

මතක හදවත තබා සමරුපත් ගිලිහුණේ....
 
 
 

 

2014.05.23