පිටු

Tuesday, March 22, 2016

වව්නියාවට සහ....... ඉන් ඔබ්බට....!!!

සේයා - ලාල් ලක්ෂ්මන්

ගිනි ඉහෙන කාෂ්ටකයේ, නිල ඇවිලෙන අහසේ සුදුමැලි ලපයක්ව ලැගුම්ගෙන ඉවසිලි සහගතව කල් මරන සඳවත ය. කෙමෙන් කෙමෙන් අඳුර මෝදු වෙයි. සඳ සුදුමැලි සළු උනාලයි. බැසයන සූර්යයාගේ ගිනියම උකහාගන්නා එ සඳවත‍, ඒ ගින්නෙන්ම ඇවිලෙන්නාක් වැන්න. 

අම්බෙයිකුලම දිය රැළි සරැළි පිස හමන වේදනාබර සුළඟේ හැපෙමින් වුව, අපි කලබල නගරයේ අපිළිවෙලත් කුණු කාණුවල දුර්ගන්ධයත් අමතක කරන්නට වෙර දරමින් සිටිමු. සියලු දුක්ඛ දෝමනස්සයන් හදවතින්ම දරාගත් දැවි දැවී දැල්වෙන, මැරි මැරී උපදින සඳ යායුතු මාවත පෙන්වයි.

ඒ වව්නියාව ය. නවම් පොහොයට පෙර දින ය. රෑ අහර, සයිවර් ය. මසාල තෝස, උළුඳු වඩ, ඉඟුරු තේ සමඟ මුසුවුණු අප්‍රමාණ ළෙංගතුකමින් කුසත් හිතත් පිරී යයි. තිස් වසරක යුද්දයට පවා පොලොවට සමතලා කර දමන්නට බැරිවුණු ‘මනුස්සකම‘ දෑස අබියස දිග හැරෙමින් ඇත.

උදෑසන...................

ගමනාන්තය, කොහෙදෝ නොදන්නා ඉසව්වකි. හිමිදිරිය ඉක්ම යන්නට පෙර කුටියෙන් පිටතට පිවිසෙමි. විසල් දේවස්ථාන කුළුණේ කුරුසියට නුදුරින්ම අහසේ තවමත් පහන් තරුව ය. හුදකලා තාරුකාව, ‘ඉර මඟ එන බව‘ මුමුණන්නාක් බඳුව එකළාව දිලෙමින් පවතී. නිස්කලංක හැඟුමින් පිරී යන සිත අලුත් හුස්මකට ඉව අල්ලන බව දැනේ.

ජීවිතය, නැවතිල්ලේ විඳින්නට ඉස්පාසුවක් නැති නගරය, අවදිවෙමින් තිබේ.

උදා අරුණලු සමඟින්ම අපි වව්නියාවෙන් නික්මෙමු. මහනුවර සිට යාපනය බලා දිවෙන ඒ නයින් පාර ය. පසුවන්නේ ඕමන්තය යි. මාන්කුලම් හන්දියෙන් වමට ය. මල්ලාවි පසුකර වෙල්ලාන්කුලම් හන්දියෙන් යාපනය මාවතට පිවිසෙමු. උතුරු වසන්තයේ හමා ආ සංවර්ධනයේ අංශුමාත්‍ර දැක්මක් හෝ ඇත්තේ නැවුම් තාර ඇතිරිල්ලෙන් වැසී ගත් මං මාවත්වල ය. එය ද ප්‍රධාන මාර්ග පමණි. ඇතුළ් ගම්මානවල තත්වය කාෂ්ටක ය. දුෂ්කර ය. අප ඒ බව අත්දැක ඇත්තෙමු.

සංවර්ධනයෙන් බිඳක් හෝ තම ජීවන අරගලයට වාරුවක් කරගන්නට දරන ප්‍රයත්නය ඒ නයින් මඟ දිගට හමුවේ. වී වේලන්නට කාපට් මාවත ආශිර්වාදයක් වී ඇත්තේ මත්තලට පමණක් ම නොවේ. රියදුරන් පවා ඒ වී වේලිල්ලට හුරු පුරුදුව ඇත්තාක් මෙනි. දීර්ඝව අතුරාලන වී පලස් මඟ හැර යන්නට තරම් සංයමයක්, මනුස්සකමක් රියදුරන් කෙරෙහි ඇත.

‘‘පාර මිනිස්සුන්ට හරි ප්‍රයෝජනයි. වී වේලල, ඔහොමම හවස් වෙද්දි ලොරිවලට විකුණනවා.‘‘ පැහැදිලි කිරීම අපට මඟ පෙන්වන ටෙරන්ස් පියතුමාගෙනි. (සවස ආපසු ගමනේ දී දෑසින්ම ඒ බැව් දකින්නට ද අපට හැකි විය.)

පාර දෙපස එක යාය ට රන්වනට පැසී දිලෙන කෙත් වතු ය. තවත් තැනෙක ගොයම් කපා අස්වනු රැස් කරගත් බව හඟවන ඉපනැල්ල ය. විටෙක ඉමක් නොපෙනෙන කැලෑව ය. බිඳෙන් බිඳ හිරුට දිය උරාගන්නට ඉඩ දී හැකිලී යමින් පවතින වැව්, දිය කඩිති ය. හිරු උදාවත්ම භුමියෙහි කාෂ්ටක බව වැඩි වැඩියෙන් දැනෙන්නට වෙයි. තුන්කාන්සෙන් දාඩිය හලාගෙන බයිසිකල් පැද යන ළමා ළපටින් ය; තරුණ තරුණියන් ය; වැඩිහිටියන් ය. මාර්ග දියුණු වීමත් සමඟ ඉගිල්ලී යන බස් රථ, ටිපර් රථ, වාහනවලට යට වී තැලී පොඩි වී සුන්බුන් වන පා පැදි උතුරුකරේ බහුල බව අසන්නට ලැබිණි. පාරාදීසය පහළ වුව ද දුප්පතාගේ දුක තවත් වැඩි වනු මිස සරණක් නොලැබෙනු ඇත්ද?

ඒ නයින් මඟ දෙපස කළඑළි ගැන් වූ කෝවිල් ය. සුවිසල් දෙව් මැදුරු ය. අඩුවක් නැතිවම හමුදා කඳවුරු ය. කඳවුරු බිමට අයත් බවට කටු කම්බි පොටින් ලකුණු තැබූ භූමි වපසරි, මාවත දෙපස දිගින් දිගටම පෙනේ. ඒ අතරින් පතර දලුලමින් වැඩෙන බෝ පැල ය. බෝපැල මැදිකරගෙන ඉදිවෙමින් පවතින පන්සල් ය.
 
හමුදාව විසින් ඉදිකෙරුණු, සොල්දාදු සත්කාර විඳින්නට ඉඩහසර ලබා දෙන අවන් හල් ය. දියුණුවක පෙර ලකුණු දක්වන කඩපිල් ය. ෂෙල්, බෝම්බ, උණ්ඩ පහරින් කැඩුණු බිඳුණු නිවාස, පැල්පත්, තහඩු මඩු අතර ඉදිවෙමින් පවතින නව නිවහන් ය. අසීරු නමුත් ධෛර්ය සම්පන්න ජීවිතය දලුලමින් පවතී. මඟ දෙපස වන්නේ එවන් ලකුණු ය. ඒත් ඒ ජීවිතය ඇත්තෙන්ම කෙබඳුදැයි, දෑසින් මිස නැවතිල්ලේ විමසා බලන්නට තරම් ඉඩක් නැත. කාලය හරස් ව ඇති බැවිනි. 

සේයා - ලාල් ලක්ෂ්මන්

පළමු නැවතුම...

එක් නැවතුමක ජීවිතය බෙදා හදාගනු පි‍ණිස වන මඳ විරාමයකි. ‘මුලංකාවිල් දෙව් මැදුර‘ ය. දෙව් මැදුරු බිමේ ‘කුඩා පොල් අතු මැදුරු‘ කිහිපයකි. ඒ වනාහී දරුවන්ට නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන පන්ති කාමර බව පැහැදිලි ය. පසෙක වන්නේ ළදරු පාසල යි.

දෙව්මැදුර පිටුපස අවතැන් කඳවුරක දක්නට ලැබෙන කුඩා තහඩු නිවාස දෙකකි. නිල ලැගුම් ගෙය අත්හැරි ආනන්ද කුමාර් පියතුමා තම නිවස්නය කොට ගෙන ඇත්තේ ඒ කුඩා තහඩු නිවසයි. ‘‘Father of Nature’’. කුමාර් පියතුමන්ව එබඳු හෘදයාංගම ‘නාමකරණයක’ රඳවන්නේ, අපට හමුවන තවත් තරුණ පියතුමෙකි. විවාදයක් නැත. සැබවින්ම ඒ ‘‘සොබාදහමේ පීතෘවරයෙකි’’. වේට්ටියක් සහ කමිසයකින් සැරසුණු ඔහු අප හමුවට පැමිණ සිටින්නේ නිදහස් නිරුවත් දෙපතුළිනි. විසල් පලුගසක සෙවණේ අපි දැන හඳුනා ගනිමු. කතා බස්, ආගිය තොරතුරු ගැන ය.


සේයා - ලාල් ලක්ෂ්මන්

පියතුමා විසින් අමුත්තන් පිළිගැනෙන කුටිය ද, පුස්තකාලය අවකාශයද, සාලය ද ලෙස භාවිත කෙරෙන තහඩු කුටියට පිවිසෙන්නට ඇරයුමකි. බුදු දහම, හින්දු දහම, ඉස්ලාම් දහම, කිතු දහම එකලෙස ම ගරු බුහුමන් ලබන බවට සලකුණු කුටිය පුරාම ය. හැම දහමකම හරය පිරිපුන් මනුස්සකම වෙත අප ඔසවා තබන බව වටහා ගත නොහැකි සමාජයකට කුමන දහමකින් වුව පලක් වෙද? නමුත් සොබාදහම සමඟ ඒකාත්මිකව දිවි ගෙවන පියතුමා තුළ නම් සැම දහමකම උතුම් බව තහවුරුව ඇති වග අතිශයින් පැහැදිලි ය.

කුඩා තහඩු කුටියෙහි වරිච්චි බිත්ති සැරසී ඇත්තේ යුද්ධය අතරතුර ජීවිත පරිත්‍යාග කළ දෙමළ පියතුමන්ලා ගේ සේයා රූ වලිනි. දුෂ්කරම අතීතයක පීඩිත ජනතාව අත් නොහැරි ධෛර්යසම්පන්න මිනිසුන්ගේ ජීවිත පරිත්‍යාගයන්හි මහා ප්‍රේම පාරමිතාව ඒ සෑම සේයා රුවක් සමඟම බැඳී පවතී.

සේයා - ලාල් ලක්ෂ්මන්

1985 වසරේ ‘‘තරුණ අය ගැන කල්පනාවෙන් ඉන්න.‘‘ කියමින් එක් අතෙක බයිබලය ද, අනික් අතෙහි කොන්තයද ගෙන අතුරුදහන් වූ මේරි බැස්ටියන් පියතුමා ගේ සේයා රුව ය. එතුමන් ඝාතනය කළ චෝදනාව එල්ල වූයේ ආරක්ෂක අංශ වෙත ය. කාලයේ වැලි තලාවෙන් වසා දැමූවද යුක්තිය ඉටුනොවූ තවත එක් අයුක්ති සහගත මනුෂ්‍ය ඝාතනයකි.

යාපනයේ අල්ලෙයිපිඩි පිලිප්නේරි දේවස්ථානයේ සේවය කරමින් සිටියදී 2006 අගෝස්තු 20 වන දින අතුරුදහන් වූ ජිම් බ්‍රවුන් පියතුමාගේ අධිෂ්ඨානපූර්වක බැල්ම තවත් සේයා රුවක ඇඳී ඇත. යුද්ධයේ බියකරුම දිනවල අල්ලෙයිපිඩි ප්‍රදේශයේ ජනතාවට එම ප්‍රදේශයෙන් පිටත්වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලීම හේතුවෙන් පියතුමා සහ නාවික හමුදාව අතර විරසකයක් පැවති බව ද, එතුමාට නාවික හමුදා නිලධාරියකු තර්ජනය කළ බව ද, පියතුමාව අවසන් වරට දැක ඇත්තේ නාවික හමුදා මුරපොල අසලදී බව ද ප්‍රකට කතාවකි. නමුත් අදටත් සිදු වූයේ කුමක්ද කිසිවෙක් නොදනිති. පරීක්ෂණ නැත.

2009 මැයි මස යුද්ධය අවසානයේදී හමුදාවට භාර වූ ජනතාව අතර සිටි ෆ‍්‍රැන්සිස් ජෝසප් පියතුමාටද සිදුවූයේ කුමක්දැයි කිසිවෙකු නොදනී. ඒ වෙනුවෙන් අධීකරණයේ නඩුවක් පවරා ඇතත් තවමත් තීන්දුවක් නැත.

පියතුමන්ලාගේ ඉරණම එබඳු නම් සාමාන්‍ය මිනිසුන් ගැන කවර කතා ද? බොහෝ ජනමාධ්‍යෙව්දීන්, සමාජ ක්‍රියාධරයන්, සාමාන්‍ය වැසියන් යුද්ධය අතරතුරත්, ඉන් පසුවත් අතුරුදහන් වූ බව, මරා දැමුණු බව නොදන්නේ කවුරුන්ද? ඔවුන් වෙනුවෙන් යුක්තිය සාධාරණය ඉටුවිය යුතු ය. ඒ ජාත්‍යන්තරය සැනසීමේ අදහසින් හෝ ඡන්ද මංකොල්ල කෑමේ අරමුණින් නොව මනුෂ්‍යත්වයේ නාමයෙනි. මේ බිම ඉපදුණු කාටත් ජාති, ආගම් භේදවලින් තොරව නිරුපද්‍රිතව නිදහස්ව දිවි ගෙවීමේ අයිතිය ඇති බවට අනාගත පරපුරට ලබා දෙන නිශ්චිත සහතිකයක් ලෙසිනි.

‘‘අපිට හුරු පුරුදු නැති ෆාද කෙනෙක්? ’’ මේරි බැස්ටියන්, ජිම් බ්‍රවුන්, ෆ්‍රැන්සිස් ජෝෂප්, කරුණාරත්නම් ආදී වූ පියතුම් සේයා රූ අතර ජීවිත කතාව හමුනොවූ මේ ‘පිය චරිතය’ කවුද? අපි අතර සිටින සොහොයුරෙක් විමසයි. ඔහුගේ සාවධානය අගය කටයුතු වේ. එය අපට අලුත් ඉතිහාසයක තතු කියයි.

‘‘ඒ ජෝන් ලොරාට් ෆාද. චන්ද්‍රිකා ආණ්ඩුව කාලෙ යුද්දය ඇවිළෙද්දි අවතැන් වුණු මිනිස්සු එක්ක පලෙයි ඉඳල යාපනේ ගිය ගමනට ඒ ෆාද සම්බන්ධ වුණා. මං එතකොට සහෝදරතුමෙක්. බිෂොප් එක්ක මම නැවතුණා. අපට යන්න විදියක් තිබුණෙ නැහැ. යන්න එන්න බැරි වයසක අය අනූවක් විතර රැක බලාගන්න සිද්දඋණා. ලොරාට් පියතුමා වතුර විස වෙලා වමනෙ ගිහින්ම අනාථ කඳවුරකදි මැරිල තිබුණා. මම බේරුණෙ අර වයසක මනුස්සයො එක්ක මට රැඳෙන්න සිද්දවුණ නිසා. ඔය කතාව මතක් කරන බිෂොප් නිතරම මට මෙහෙම කියනවා.

‘‘You are still alive. You should be a ringing bell throughout that entire life. ’’

ඔවුන් පවසන්නේ මෙය යි. ‘‘ඔබ තවමත් ජීවතුන් අතර. ඔබ ඒ සීනුව ඔය ජීවිතේ පුරාවටම නාද කරමින් සිටිය යුතුයි.’’ ජීවිතේ පුරා ම සීනුව අවදි කරමින් සිටිය යුතු වක්‍රෝත්තිය ‘මතකය අවදි කරමින්, පීඩිත ජනතාව වෙනුවෙන් හඬ නඟමින් සිටිය යුතු’ වීම ය. ආනන්ද කුමාර් පියතුමාට කිසිවක් අමතක නැත. ඔහුට ඇත්තේ තවමත් පණ ගැහෙන මතකයකි. පියතුමා මෙසේ සිය ප්‍රාණ පරිත්‍යාගී මිත්‍රයා මෙනෙහි කරයි.

‘‘ලොරාට් ෆාදව මරල දැම්ම නෙවෙයි. වතුර විසවෙලයි මැරුණෙ. ඒ නිසයි ඒ ගැන වැඩිය නොකියවෙන්නෙ. ඒත් පැහැදිලිවම ඒ මරණෙත් ප්‍රාණ පරිත්‍යාගයක් තමයි.’’

දීර්ඝ කතාව අවසානයේ නැඟෙන දීර්ඝ සුසුම් වැලකින් පුංචි කුටිය පවා සැලී යයි. ජීවිතය පුදුමාකාර ය. අත්හරින්නට හෝ අල්ලාගන්නට සිදුවන්නේ කුමන අවස්ථාවකදී ද? කුමක් උදෙසා ද? පූර්ව නිශ්චයන් ජීවිතය අබියස පරාජිත ය. කුමක් වුව ජීවිතයෙන් පළායන්නට නොව සැබෑ මිනිසුන් ලෙස ජීවත් වන්නට මහා ධෛර්යයක් අවැසි බව නම් නිසැක ය. 

සේයා - ලාල් ලක්ෂ්මන්

මුලංකාවිල් ප්‍රදේශය ද යුද්ධයේ නීරස වධගාවිනාවන්ට කාලයක් තිස්සේ නිරාවරණය වූ ප්‍රදේශයකි. අප්‍රමාණ දුක්ඛ වේදනාවන්ගෙන් පිරි ජීවිත කතන්දර හැම ගෙමිදුලක් ගානේම වන බවට සැකයක් නැත.

‘‘අපි ඉතුරු වුණා. දැන් ඉතින් මැරෙන්න බැරිකමට ජීවත් වෙනවා. ’’

තරුණ වැන්දඹුවන්, තරුණ තරුණියන්, වයස්ගත මව්පියන් සමඟ කතා බහ කරන විට බොහෝ දෙනෙකු තුළින් මතුවන්නේ එවැනි අදහසක් බව ආනන්ද කුමාර් පියතුමා පවස යි.

1992 වසරේ ඉරණතිව් දූපතේ සිට ජීවිතය සොයා පළා ආ දමිළ පවුල් 175 ක් දැන් පවුල් 300 ක් බවට වැඩෙමින් ඉරණමාදා නගර් නම් තාවකාලික ගම් පියසක තවමත් දිවි ගෙවනුයේ තම උපන් බිමට යාමේ ප්‍රාර්ථනාවන් එලෙසම සිත් තුළ රඳවා ගනිමිනි. නාවික හමුදාව භාරයේ පවතින ඒ දූපත අවට අවසර ගෙන ධීවර කටයුතු කිරීමේ අවස්ථාව උදා වී ඇත ද තවමත් තම ගම්බිම් වෙත යාමේ අවසරය ඔවුනට හිමි වී නැති බව පවසන විට සිය බැටළු රැළ කෙරෙහි සැබවින්ම කණස්සලු වන්නාවූ සැබෑ එඩේර පිය ලකුණු ආනන්ද පියතුමාගේ වතෙහි ද සලකුණු වේ.

‘‘දරුවන්ට හරි, ජීවිතේ ගැන අලුත් බලාපොරොත්තු දෙන්න ඕන. ධෛර්යය දෙන්න ඕන. ඒක අපි කළ යුතුම දෙයක්. ඕනම වෙලාවක එන්න. මෙහෙ නැවතිලා මිනිස්සු එක්ක වැඩ කරන්න. අර මිෂන් හවුස් එකම නිකම් වහල දාලා තියෙන්නෙ.. ’’ඒ ආදරණීය ඇරයුම අපට ය.

අපි පියතුමාගෙන් සමුගනිමු. නැවතත් ගමන ඇරඹි ඇත. ගමනාන්තය ඇත්තේ තවත් බොහෝ දුරිනි. 


සේයා - ලාල් ලක්ෂ්මන්

ගමනේ ඉතිරි අඩ තවත් සටහනකින්.... 

Thursday, March 17, 2016

නෙළුම් යායෙදි හමුවෙමු.

fr.aliexpress.com

අම්මගෙ අම්මා ( අපි කියන්නෙ ලොකු අම්මා..) බලන්න මහ ගෙදර යන්නෙ වෑ කන්ද උඩින්.. වටරවුමෙන් තාර පාරක් තිබුණත් වෑ කන්ද උඩින් වැටුණු ගුරු පාරෙ මේ ගමන යන එක මං හරිම ආස වැඩක්. එකාතකින් ඒ මං ආසම කරන ගම්මැද්දෙ පුංචි චාරිකාවක්..

චූටි මිමීවත් චැලියේ තියාගෙන වෑ කන්ද උඩින් මහ ගෙදර ගිය දොහක වැව පුරාම නෙළුම්, ඕලු, මානෙල් පිපිලා තිබුණා.. චූටි මිමීට ඕන වුණා මල් කඩන්න... ඒත් වැවට බැස්ස කාලයක් මතක තිබුණෙ නැහැ..

‘‘මල් කඩන්න බෑ මැණික ඈත නෙ තියෙන්නෙ. මඩ ඇති එරෙයි. ගිලෙයි..‘‘

මල් කඩන්න බහින්න කම්මැලිකමට, මඩ ගෑවෙනවට අකමැත්තට මම ඇයට සමාවට කාරණා දාහක් කිව්වා. නමුත් ඈ නෙවෙයි සැලුණෙ. ඇයට මලක් ඕනමයි. ඉතින් මැයි ගස් හෙවණක පුංචි මොටෝව ගාල් කරල පරිස්සමින් උඩටම වෙලා ඉන්න කියල අවවාද අනුශාසනා ටිකකුත් කරල, ඈත මෑත බලල මං වැවට බැස්සා.. 

වැඩිය දුර නොයා අත දිග මානෙන් නෙළුම්, ඕලු මල් කීපෙකුයි නෙළුම් කොල දෙක තුනකුයි කඩන් ආයෙම උඩට නැග්ගා. චූටි දෝණි පරිස්සමට තිබ්බ තැනම එහෙමම ඉන්නවා. ඒත් ඇගේ ඇස් නොඉවසිල්ලෙන් දිලිහෙනවා. අත් දෙකම මං දිහාට දිගු වෙලා..

ඇය මල් ටික අතට ගත්තෙ හරිම ආසාවෙන්... එච්චරටම සිඟිති හිතක් එළිය කරන්න නෙළුම් මලකට පුලුවන් ද?

..................

මෑතක ඉඳන් හැම තැනම කසු කුසු. බ්ලොග් අවකාශයෙත් නෙළුම් මල් යායක්ම පිපෙනවලු.

පහුණු සන්දියෙ සයිබර් සැණකෙලි, අවුරුදු උත්සව, සයිබර් චාරිකා, බ්ලොග් සම්මාන උළෙල මේ හැම සයිබර් මංගල්ලයක්ම නොපෙණුනා නොදැණුනා සේ උන්නෙ.. එකක් කම්මැලිකම.. අනික නොදන්නා සංගෙදි අස්සෙ එකෙල මෙකෙල වෙන්නට තිබුණු අකමැත්ත.. පාඩුවේ පැත්තකට වෙලා ඉන්න තියෙන වැඩි කැමැත්ත...

මෙදා වංගියෙ නම් නෙළුම් කයිය මගාරින්න බැරි තත්වයක් තියෙන්නෙ. එක හේතුවක් සයිබරයෙ අකුරු අමුණන බොහෝ දෙනෙක් දැනටමත් මහ පොළව මත දැන හඳුනා ගත් සොඳුරු සිතැත්තන් වීම.. මේ නෙළුම් මල් පුප්පන වැඩේටත් එයින් කීපදෙනෙක්ම සෑහෙන්න මහන්සි වෙද්දි අහක බලන් ඉන්නත් බැහැනෙ. ඉතින් පළමු වතාවට නෙළුම් කයියෙ අසිරි සිරි බලන්න එන්නයි හිතන් ඉන්නෙ.

නෙළුම් සුවඳක් අරන් යන්නට සයිබර් සංහිඳ නෙළුම් යායෙදි හමුවෙමු... 

මාතලන්ගේ අඩවියෙන්

Thursday, March 10, 2016

නොනිමි ජීවිත කතාවක්...





ඒ 2005 වසරේ බක් මාසය. ළක්‍රිවී ( ළමා ක්‍රියාකාරී වීරයෝ ) වාර්ෂික අනුශාසක සම්මේලනයේ ගී රස වින්දන වැඩසටහන සඳහා ඇරයුම් කර තිබුණේ කුමාරදාස සපුතන්ත්‍රී ට. ඔහු ගේ ගීත වැඩි සංඛ්‍යාවක් ගායනා කළ ප්‍රවීණ ගායකයකුට ගී ගැයුම් සඳහා ඇරයුම් කළත්, අවුරුදු සමයේ වැඩිපුර මුදලක් හරිහම්බ කර ගැනීමට ඇති බැවින් පැමිණීම අපහසු බව කියා තිබුණා. අපි බොහොම දුප්පත් විදියට වැඩ කරගෙන ගිය ළමා සංවිධානයක්. විශාල මුදලක් ගෙවීමේ හැකියාවක් තිබුණෙ නැහැ. අවසන සපූ, දීපිකා ප්‍රියදර්ශනී පීරිස් සමඟ අප වෙනුවෙන් මග්ගොන ළමා නිවාසයට පැමිණියේ කිසිදු අයකිරීමකින් තොරවම. 

( මේ අතුරු කතාවක්.... සෑම වසරකම සම්මේලනයේ දී ළමුන් කැටුව යන අනුශාසකවරුන් වෙනුවෙන් අපි ගී පොත් පිංචක් තිළිණ කරනවා. අප ළමා ව්‍යාපාරයේ ගීත, ළමා ගීත, ජීවිතය අරුත් ගන්වන ගීත, විනෝදාත්මක ගීත ආදී වශයෙන් ඒ පොත් පිංච හරවත්, රසවත් ගීතයන්ගෙන් පුරවන්නට ගී තිළිණය ලබා දීම ආරම්භ වූ 1999 වසරේ සිට ම බොහෝ දෙනෙක් අපමණ වෙහෙසක් දැරූවා. 

2002, 2003 වසරවල ගීත තේරීමෙන් සහ චිත්‍ර ඇඳීමෙන් එයට සහය වූ මම 2004 සිට 2011 දක්වා එහි සම්පූර්ණ වගකීම භාරගෙන කටයුතු කළා. ගීත තේරීම, චිත්‍ර ඇඳීම, පිටු සැකසීම මාතින් සිදු වූ ප්‍රමුඛ කාර්යයන්.  මුල් කාලයේ රෝනියෝ කිරීමටත්, පසුකලෙක ඩුප්ලෝ කිරීමටත් රෑ නිදිවරමින් ළක්‍රිවී කාර්යාලයේ ගත කළ කාලය සැබවින්ම සුන්දර මතකයක්...)


2005 වසරේ ගීත පොත සකස් කරද්දි සමීර අයියාගෙන් මල් වරුසා කැසට් පටය මවෙත ලැබුණා. එහි දීපිකාගේ ගීතවලට මා වශී වුණ තරම්!!!!  එවර ගීත පොතේ මල් වරුසා කැසට් පටයෙන් පොන්ත නෝනගෙ කොණ්ඩේ, විකසිත හසරැළි ගීත ලැගුම් ගත්තා. ගී පොතේ පසුකවරය සැකසුණේ කාගෙ නෙතකට ගී ලියන්නද ගීතයෙන්.

ඒ වන විටත් සම්මේලනයේ ගී රස වින්දන වැඩසටහනට දීපිකා සම්බන්ධ කරගැනීම සම්බන්ධව අදහසක් හෝ මතු වී තිබුණෙ නැහැ. ඇය පැමිණීම අහම්බයක්. එය සුන්දර අහම්බයක්. සපුගේ කතා බහත්, දීපිකාගේ ගැයුමත් රස විඳ අවසානයේ තේ පැන් සංග්‍රහය අතරතුර දීපිකා කියූ දෑ තවම මතකයි...

‘‘අහම්බෙන් වුණත් මේ වැඩේට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මං ගොඩක් සතුටු වෙනවා. මං පුදුම වුණා ගීත පොත දැක්කම. ඇත්තටම මගේ මල්වරුසා කැසට්පටයෙ වටිනාම සින්දුව සුනිල් මාධව ලියපු ‘කාගෙ නෙතකට ගී කියන්නද‘. ඒත් ඒ ගැන මාධ්‍යවලවත්, සමාජයේවත් අවධානයක් යොමු වුණේ නැහැ. ඔයාල ඒ ගීතයේ වටිනාකම තේරුම් අරන් තියෙන එක ගැන මට සතුටුයි..‘‘
  
කාගෙ නෙතකට ගී ලියන්නද
කාගෙ සවනට ගී කියන්නද
මේ මහා දෙරණේ
අහෝ මිනිසුන් අන්ධවී ඇත

නැතිව පිළිසරණේ

මගේ ගීතය තබා එන්නෙමි
නාඳුනන සොහොයුරන් සිරවූ
අඳුරු සිර කුටියේ
හැඟුම් යටකළ පවුරු අබියස
යකඩ දොර අතරේ


මගේ ගීතය – තබා එන්නෙමි
වට රවුම් මැද – මල් උයන් ළඟ
සාපලත් නගරේ
නිරාහාරව වැතිර සිටින
දිළින්දන් අතරේ


මගේ ගීතය තබා එන්නෙමි

දුප්පතුන් වෙනුවෙන්ම දිවිදුන්
සොහොයුරන් සිරසේ
සැබෑ මිනිසුන් සදා වැතිරෙන
සොහොන් කොත් අතරේ


ගායනය – දීපිකා ප‍්‍රියදර්ශනී
ගේය පද- සුනිල් මාධව පෙ‍්‍ර්මතිලක
සංගීත නිර්මාණ - රෝහණ වීරසිංහ



පීටර් අයියාගේ කැමරා ඇස 2016.03.10

මේ අතීත කතාව මතකයට නැගුණේ අද සුනිල් මාධව ප්‍රේමතිලක වෙනුවෙන් පැවති උපහාර උත්සවයෙදි ඒ ගීතය ගැනත් කියවුණු නිසා. එවන් වූ උපහාර උළෙලක් සංවිධානය කරන්නට වෙහෙස මහන්සි වූ සැමට ස්තුතියි කළ යුතු යි. පසුකාලීනව ඔහු දැරූ මතවාද, ලියූ කියූ දේවල් සම්බන්ධව වාද විවාද තිබුණත් පුවත්පත් කලාවටත්, සාහිත්‍යයටත්, සමාජයටත් සුනිල් මාධවයන් සිදුකළ සේවය අපි කෘතවේදීත්වයෙන් සිහිපත් කිරීම, අගය කිරීම වැදගත්. 

සුනිල් මාධව මට දැණුන මිනිසෙක් වුණේ මුලින්ම පත්තර පිටුවල හමු වූ ලිපිවලින්, සත්‍යවාදියකුගේ දින පොත තුළින්. පසුව හඬනු මැන නිදහස, මිනිසෙක්, සැබෑ කවියෙකුගේ කතාව, අන්ධකාරයේ දරුවා (කැරොලිනාගේ දින පොත) ඔහුගේ සාහිත්‍ය මෙහෙවර තුළින්.

මහජන පුස්තකාල ශාලාව පිරී පිටාර ගලන්නට නන් දෙසින් පැමිණ සිටි සහෘදයන් ඔහුගේ මනුෂ්‍යත්වය සහ දීර්ඝකාලීන පුවත්පත් කලාවේ මෙහෙවර වෙනුවෙන් නිහඬ සාක්ෂියක් වුණා. 

............

තවත් හරි අපූරු කතාවක් තියෙනවා. 2005 වසරේ සුනිල් මාධව ලියූ ගීතය රැගත් ගී පොත මුද්‍රණය කර දුන්නෙ බර්නි අයියා. ( ඩෙවොන් ගල්හේන )  කිසිදු අයකිරීමකින් තොරව. ළක්‍රිවියට දෙන තෑග්ගක් විදියට. පුවත්පත් කලාවට සුනිල් මාධව අපූර්ව සොඳුරු මනුෂ්‍යයකු වන්නේ යම් සේ ද, ළක්‍රිවියට බර්නි අයියාත් එවැනිම අපූරු සහෝදරයෙක්. මඟ පෙන්වන්නෙක්. තම යෞවනය, තාරුණ්‍යය ඔහු කැප කළේම ළක්‍රිවිය හරහා ළමුන් සහ අප වැනි යොවුන් ජීවිත ගොඩනගන්නට..

ඉතින් එදා ඒ ගී පොත නොමිලයේම මුද්‍රණය කර දුන් බර්නි අයියා මෙදා සුනිල් මාධව ප්‍රේමතිලකයන්ගේ ‘‘නොනිමි ජීවිත කතාව‘‘ පොතත් කිසිදු ලාභයක් තබා නොගෙනම ඉතා කෙටි කලකින් මුද්‍රණය කරදුන්නා. ( මල්ටි කෙයා ප්‍රින්ටර්ස් )



මේව හරිම දෛවෝපගත සිදුවීම් කියලයි මට හිතෙන්නේ....

Wednesday, March 2, 2016

ඔව්!!! ඒ සමනල්ලු සිරිපාදේ නොයති,



ලේ ඉහුණු බිම්කඩක
මල් රොන් සුණු සුවඳ
ඉව කරනු කෙලෙසක...
දූවිලි ෂෙල් වැකුණු
අතු ඉති කටු තුඩු මත
මලක් වුව නොපිපීම
කවර නම් අරුම ද...

කාෂ්ටක මඟ දිග
අඳුරු ළඳු දෙනි මැද
කුමක් නම් සොයන්නෙද
ඒ පුංචි සමනල්ලු...

අත් නොහැරි අත්බවෙක
අතරමඟ විසිකෙරුණු
දුෂ්කර ම ජීවිතය
හැර නොයා දිනන්නට
කියා දෙන දුයිෂෙන්
කවුරුන්ද?
පියාපත් එපමණ ම
සවි ඇද්ද?

නන්දිකඩාල්
කලපුවෙන් ඔබ්බට
කය දුෂ්කර ප්‍රාර්ථනාව*
මුමුණන්නෙද නිහඬවම
රෑනින් රෑන සැරිසරන
ඒ පුංචි සමනල්ලු...


සේයා - ලාල් ලක්ෂ්මන්


නවම් පොහොය දා අපි වව්නියාවේ ඉඳන් වලෙයිපාඩු දක්වා දුර ගමනක් ගියා. කඩිනම් දුෂ්කර ගමනක්. ගියා නොගියා සෙයින් ගිහින් ආ ගමනක්. දරුවන් වෙනුවෙන් ආදරය අරන්... 


පල්ලවරායම්කට්ටුව හන්දියෙන් හැරුණු තැන සිට අබලන් ගුරු පාර දෙපස දිගටම රෑන් රෑන් පුංචි සමනල්ලු උන්නා. සුදු පාට, කහ පාට, අලු පාට සමනල්ලු. නිමක් නැතිවම.. දිගටම.. පේන මානෙක මලක් නොවුණට, මඟ දිගටම සමනල් රංචු. හරියට අපිව පිළිගන්න වගේ, එහෙමත් නැත්නම් අපට පේන්න වගේ... එහෙමත් නැත්නම් මොනවදෝ නැති වුණ දෙයක් හොයනවා වගේ...

මට තාමත් මතක් වෙනවා, ඒ පුංචි සමනල් රංචු...


.......

*කය දුෂ්කර ප්‍රාර්ථනාව කියන්නෙ ජේසුගේ දුක් විඳීම සිහිපත් කරන උච්ච ස්වරයෙන් ගැයෙන විලාප ගී ගායනාවක්. ජේසුතුමන්ව පාවා දීමේ සිට මරණය දක්වාම වන සිදුවීම් එකින් එක මෙහිදී ගායනා කරනවා. ඒ මරණයට අපත් වගකිව යුතු නේද කියන පසුතැවීම සහ සමාව යැදීමේ පශ්චාත්තාපී කොටසකුත් එයට ඇතුළත්. කය දුෂ්කර ප්‍රාර්ථනාව ගද්‍යමය ගායනාවක්. කවි ගායනාවක් නෙවි. ඒක තමයි විශේෂත්වය. 



මෙය ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා රචනා කළ දේශනා නවයේ පසම් පොතෙහි එන්නක්.
කය දුෂ්කර ප්‍රාර්ථනාව යූ ටියුබයෙන් අසන්න, මෙන්න ලින්කුව.....

 අතීතයේ අපේ ගම්වලත් චතාරික සමයට (පාස්කු කාලයට) පසම් ගායනා කෙරුණා. රැයක් එළිවන තුරු පසම් ගායනා කිරීම පුංචි අපට නම් ජේසුගේ දුක් විඳීම, මරණය මෙනෙහි කරන දුකින් පිරුණු රැයකට වඩා අසිරිමත් අපූරු රැයක් වුණ බව මතකයි.. ඒ ගැන වෙනම ලියන්න ඕන..

සේයා රූ - ලාල් ලක්ෂ්මන්







Tuesday, March 1, 2016

නිසල විලකි ඔබ, හිඳිමි නිවිල්ලේ...



සරා සසර ගව් සිය දුර සපැමිණ
නුරා සුසර මල් හී සර විදිමින
දරා සුනෙර සදිසිව නෙක අණවින
අරා ගැඹර හද ඔබම ය සසොබන...

සසල හදකි මේ දැවුණ නිදැල්ලේ
උදුල සඳකි මළ දවස මුළුල්ලේ
පතළ කුළුණු ගුණ පිරුණු සෙවිල්ලේ
නිසල විලකි ඔබ, හිඳිමි නිවිල්ලේ...

දුලා පුළුලු හද මැදුර කොයින්දා
බලා හිඳිමි මඟ එනු කොයිබින්දා
හෙලා ඇසග වැහි දුකඳුර සින්දා
පළා යම් කෙලෙස, නොහිම් පෙමින්දා...


...................

( තරුරසීට සුබ උපන්දිනයක්... මම තරුරසී වුණේ නම් බොහෝ කලින්.. මගේ තනියට තරුරසී බ්ලොග් අඩවිය ඉපදිලා අදට අවුරුදු හතරයි... )


Thursday, February 18, 2016

අනවසර කුඹල් ගෙය


අනවසර කුඹල් ගෙය
සාලේ හරි මැද ම
පොකුරු වීදුරු පහනේ
පළිඟු  මිණි වැලක
එල්ලීගෙන...

මුතු  දිලෙන දිස්නයේ
අමුතුවට
අඳුරු රළු දුඹුරු පෑයට
අනවසර කුඹල් ගෙය
සාලේ හරි මැද ම...

එසවෙනා කොසු මිට
රොස් සිතින
සැණෙන් විළිබරව
හැකිළීගෙන

මැටි කුටිර කවුළුවෙන්
එබීගෙන
ළෙල දෙන සිඟිති ඇස්
සිනා අහුරක් අයදින
හිස් කුසින් නැගෙන දෙස්
ඉවසන...
අම්ම, අප්පා කොයිද
මඟ බලන..




Tuesday, February 16, 2016

බම්බු වෙදා ගේ සිට ධර්මිෂ්ඨ සමාජයට



නාට්‍ය කලාව අපේ ජීවිත එක්ක මුලින්ම පැටලෙන්නෙ මොන්ටිසෝරියෙදි මට දැනෙන විදියට. මගේ මුල් ම මතකය තමයි ගමරාළ දිව්‍ය ලෝකෙ ගිය හැටි රඟදැක්වූ ආකාරය. ටීච තමයි ඒ දිව්‍ය ලෝකෙන් ආව අලියා වුණේ. එයා රෙද්දකින් තමන්ව වහගෙන අත හොඬවැලක් විදියට පෙන්නුම් කළා. ගමරාළ පිටිපස්සෙන් වැටිල දිව්‍ය ලෝකෙ යන්න අලියගෙ නැට්ටෙ එල්ලුණු ගැමියො අතර මාත් උන්නා.
ඉන්පස්සෙ දහම් පාසල, ළක්‍රිවී (ළමා ක්‍රියාකාරී වීරයෝ) සමිතිය, තරුණ සමිතිය, පාසල් සාහිත්‍ය සමිතිය, උසස් පෙළ නාට්‍ය කලා විෂය ධාරාව නාට්‍ය කලාවට තිබුණු ඇල්ම වැඩි කළා. 

පුංචිම සන්දියෙ වැඩියෙන්ම රඟ දැක්වුණේ බම්බු වෙදා. 

මම බම්බු වෙදායා.. මම රටේ වෙදායා
ඕනම ලෙඩකට දෙන්නේ එකම කසායා.. 

ඇයි දොම්පෙට යන පාර අහපු හැටි..

දොම්පෙට යන පාර කොයි බදෝ.. මාමේ මට කියාදෙනවදෝ
බතල හොඳට බැහැල තියෙනවා.. හාරනකල් ටිකක් ඉන්නවා...

මහදැනමුත්තගෙ කතන්දර, අන්දරේ සීනි කෑව හැටි ඔය වගේ හාස්‍ය රසයෙන් පිරුණු කතන්දරනෙ පුංචි කාලෙ අපි වැඩියෙන්ම රඟ දක්වන නාට්‍ය. ඒවයෙ නිෂ්පාදක, අධ්‍යක්ෂක, නළු නිලියො, ප්‍රේක්ෂකයො ඔක්කොම අපි තමයි. මට  නිතරම සිද්දවුණු අලකලංචියක් තමයි වේදිකාව මත හාස්‍යය උත්පාදනය වෙන අවස්ථාවල හිනාව නවත්ත ගන්න බැරි වීම. ඉතින් කොයිතරම් දක්ෂ නිළියක් වුණත් වේදිකාව පිටිපස්සට දුවලා හිනාව ඉවර කරගෙන එන්න සිද්ද වුණා.



ඔහොම ආව නාට්‍ය ඇල්ම වැඩි දියුණු වුණේ ළමුන් කැටුව යන අනුශාසක කෙනෙක් විදියට ළක්‍රිවියට සම්බන්ධ වුණාම. ළමුන් එක්ක වැඩ කරන්න අපි නාට්‍ය ජවනිකා, රංගනයන් උදව් කරගත්තා. ළමුන් වෙනුවෙන් පැවැත්වූ වාර්ෂික සන්නිවේදන වැඩමුළුවෙ එක් වරුවක්ම වෙන් වුණේ නාට්‍ය කලාව ගැන කතා බහට සහ නාට්‍ය කරන්න. ඉතින් අපිත් නොදැනිම නාට්‍ය ශිල්පියො වෙනවා මොහොතකට හරි.

සමීර නිශ්ශංක ( දැන් මීගමුව මාරිස්ටෙලා විදුහලේ නාට්‍යාචාර්ය), ක්‍රිශාන්ත ද සේරම් (  නාට්‍යෙව්දී, බිංගිරිය ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථීකාචාර්ය) සහෝදරවරුන් මුල් වෙලා අපි දෙවරක් ළක්‍රිවියෙ ජාතික මට්ටමින් නාට්‍ය වැඩමුළු පැවැත්වුවා. දිගටම වැඩමුළුවලට සම්බන්ධ වෙන්න නොහැකි වුණත් පහසුකම් සපයන්නියක් විදියට ඒ වැඩමුළුවලට උදව් වුණ නිසා එයිනුත් යම් අත්දැකීම් ලැබුණා. ඇත්තටම නාට්‍ය ගැන පිස්සුවක් වෙන තරමට ඇල්මක්. ඒත් අනිත් වැඩ අතර ඒ ඇල්ම යටපත් වුණා.

නාට්‍ය එක්ක ළක්‍රිවියේ තිබුණු බැඳීම ‘‘බාලයන් තුළින් නව ලොවක්‘‘ කියන ළක්‍රිවි දැක්මත් එක්ක බද්ධ කරගනිමින් නාට්‍ය කලාවත් එක්ක ඉදිරියටම ගිය දෙන්නෙක් තමයි ශානක මල්ලි (වෙන්නප්පුව), ජූඩ් මල්ලි. ( කුලියපිටිය) එයාල අද ඉන්න තැන ගැන ඇත්තටම සතුටුයි. රාජකදළුවෙ ලංකා ත් මේ මොහොතෙ මතක් වෙනවා. 


අවුරුදු පහකට විතර එපිට ශානක මල්ලිටත්, ජූඩ් මල්ලිටත් මහා ඕනෑකමක් තිබුණා ළක්‍රිවිය එක්ක නාට්‍ය කණ්ඩායමක් පටන්ගන්න. විශේෂයෙන්ම එයාල ලබා ගත්ත දැනුම ළක්‍රිවියත් එක්ක බෙදාගන්න. ‘‘අපිට මේ ගමන එන්න මුල් අඩිතාලම දැම්මෙ ළක්‍රිවිය. ඒ නිසා අපි ලබාගත්ත දේවල් ළක්‍රිවියත් එක්ක බෙදාගන්න එක අපේ යුතුකම.‘‘ එහෙමයි එයාල නිතරම කිව්වෙ.

ඉතින් මුල්ම සාකච්ඡාවන් හෙම කරලා ළක්‍රිවී අනුශාසකවරුන් එක්ක අපි වැඩේ පටන්ගත්තා. පළමු හමුවීම් තිබුණෙ ආඬිඅම්බලම සමාජ හා සාමයික කේන්ද්‍රෙය. ෆාද තිස්ස බාලසූරියගෙ මධ්‍යස්ථානෙ. ආරම්භක පියවරට ශක්තියක් වුණු එවකට ළක්‍රිවී ජාතික අධ්‍යක්ෂ ගරු ජෝ කුරේ පියතුමාවත් ආදරයෙන් සිහිපත් කළ යුතුයි. ආර්ථීක ගැටලු විසඳගන්න ගරු මේරියස් පියතුමා සහය දුන්නා. ප්‍රභාත් අයියා, පෝල් මල්ලි, මම ඇතුළුව විස්සකට එහා පිරිසක් එකතු වුණා. අපි නමකුත් දාගත්තා. ඒ තමයි ‘‘තලෙන්තු නාට්‍ය කණ්ඩායම‘‘ 

ජීවිතයට ලැබී තිබුණු තලෙන්තු කොයි තරම් වුණත් අපිට දිගටම තලෙන්තු නාට්‍ය කණ්ඩායම එක්ක ඉන්න බැරි වුණා. "අක්කා රඟපෑවෙ නැතත් කමක් නෑ. ලියන්න පුලුවන්නෙ. අක්ක අපි එක්ක ඉන්න." එයාල කිව්වෙ එහෙමයි. මමත් ආරම්භයෙදි පුදුමාකාර උද්‍යොගයකින් තමයි නාට්‍ය වැඩමුළුවට ආවෙ. ඒත් ටික දවසක් යද්දි ගමේ යන්න තියෙන සති අන්තය අහිමි වෙන බව දැනෙද්දි මගේ හිත පසුබාන්න ගත්තා. මාස ගණනක් ගතවෙද්දි එකිනෙකා හැලිලා නාට්‍ය කණ්ඩායමට ඉතිරි වුණේ කිහිපදෙනෙක්. 

නමුත් ශානක සහ ජූඩ් මල්ලිලා කිසි විටක තමන්ගෙ උත්සාහය අත්හැරියෙ නැහැ. ක්‍රමයෙන් ළක්‍රිවියට බාහිරින් තරුණ පිරිසක් මේ නාට්‍ය කණ්ඩායම එක්ක අත්වැල් බැඳගත්තා. ඉන්පස්සෙ කණ්ඩායමට නමක් තිබුණෙ නෑ. නමුත් එයාල දිගටම වැඩමුළු පැවැත්වුවා. අභ්‍යාස කළා. නිර්මාණ කළා. හෙමින් හෙමින් නමුත් බොහොම සාර්ථක ගමනක් ඉදිරියට ආවා. නාමල් ජයසිංහ සහෝදරයා අත්වැල් බැඳගැනීම නාට්‍ය කණ්ඩායමට ලොකු ආශිර්වාදයක් වුණා. මරදාන ළක්‍රිවි කාර්යාලය ඒ වෙනුවෙන් පහසුකම් සපයන නවාතැනක් වුණා. වත්මන් ළක්‍රිවී ජාතික අධ්‍යක්ෂ ගරු නිලූෂන් පියතුමා ඇතුළු ජාතික කාර්යාලය ලබා දෙන සහයත්, නිර්මල මරිය නිකායේ ප්‍රාෙද්ශාධිපති ගරු රොහාන් සිල්වා පියතුමාගේ දිරිගැන්වීමත් නාට්‍ය කණ්ඩායම මහත් කෘතවේදීව සිහිපත් කරනවා.

ඉතින් ඒ නමක් නැතිව ආව නාට්‍ය කණ්ඩායම Unnamed Theater Group නමින් දැන් කෙටි නාට්‍ය දැක්මක් පවත්වන්න සූදානම් වෙනවා. ඒ පෙබරවාරි 18 වෙනිදා සවස 3.30 ට සහ 7.00 බොරැල්ල පුංචි තියටර්හි දී.. 


ජූඩ් ක්ලෝඩියස් ගේ  ‘‘දාහක් දෙනවකෝ“, ‘‘ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනගමු.‘‘, සමන්ත පරණලියනගේ ගේ ‘‘කිරිඅම්මා අවතාරය‘‘, ප්‍රදීප් ඇරෑගම ගේ ‘‘ආණ්ඩුවෙන් රස්සාවක්‘‘කෙටි නාට්‍ය ඒ අතර වෙනවා.  Unnamed Theater Group සමඟ කළ සංවාදයක් මේ. 

1.   මොකක්ද මේ Unnamed Theater Groupකියන්නේ?

දැනට අපි දකින බහුතර නාට්‍ය කණ්ඩායම් බොහෝ වෙලාවට කිසියම් අධිකාරියක් මගින් මෙහෙයවමින් යන්නක්. එක පුද්ගලයකු වටා හෝ සංවිධානගත ආයතන ව්‍යුහයක් තුළට ඒකරාශිවීමක්. Unnamed Theater Group මේ තත්ත්වයෙන් ඈත් වුණ එකක්. නාට්‍ය කලාව තමන්ගේ ප්‍රකාශන මාධ්‍ය කරගත්ත තරුණ තරුණියන් පිරිසක් තමයි මේකෙ ඉන්නේ. ඒක මෙහෙයවන්න කවුරුත් නැහැ. ඒක පවතින්නේ එකිනෙකාගේ වැඩ කිරීමේ උවමනාව මත. අපේ එකතුවේ පදනම වෙන්නේ ඒකම තමයි.

2.   මේ නමක් හදාගන්න කරන වැඩක් ද? නමක් නැතිව වැඩක් කරන්න පුලුවන් වාතාවරණයක් මේ මොහොතෙ ලංකාවෙ තියෙනවයි කියල ඔබ හිතනවද?

නමක් හදාගැනීමේ උවමනාවක් අපට නැහැ. නමුත් අපේ ප්‍රකාශන මාධ්‍ය වන නාට්‍ය කලාවත් එක්ක වැඩ කිරීමේ, අපේ සමාජ කියවීම බෙදා හදාගැනීමේ උවමනාවක් අපට තියෙනවා. ඒකට නමක් අවශ්‍ය වෙන්නෙ නැහැ. නමක අවශ්‍යතාව මතුවෙන්නෙ අපි කරපු නිර්මාණ ටික සමාජය ඉදිරියට අරන් යන්න ඕන වුණාම. මොකද වැඩේට වඩා නම වැදගත් කියල හිතන සමාජයක් මේක. කසාදයක් කරගන්න ගියාම කුලේ මොකක්ද? පරම්පරාව කොයි වගේද? ජාතිය, ආගම මොකක්ද කියල හොයන රටක නිර්මාණකරුවන්ට වුණත් එවැනි මිනුම්දඬුවලින් බේරිලා ඉන්න අමාරුයි. කොතරම් හොඳ නිර්මාණ කළත් අපෙත් ජාතකේ හොයයි නේද?

අපි එකතුවක් විදියට අවජාතකව බිහිවුණේ. මේ නිර්මාණ ටික ප්‍රේක්ෂාගාරයක් ඉදිරියට ගෙන යාමේ උවමනාව දැඩි නිසා මේ අවජාතක දරුවට නමක් දෙන්න උවමනා වුණා. ඉතින් අපි බොහොම උජාරුවට නමක් දාගත්තා. ඒ තමයි Unnamed Theater Group.

3.   නමක් නොතිබුණාට මේ වෙද්දිත් ඔබ සම්මානිත නාට්‍ය කණ්ඩායමක් ?

ඔව්. ඒක හරි.

පසුගිය වසර කිහිපය තුළ අපි කරපු නිර්මාණ පෙන්වා ගැනීමේ වේදිකාව බවට පත්වෙන්නෙ යෞවන හා රාජ්‍ය නාට්‍ය උළෙලවල් දෙක. අපි ඉදිරිපත් කළ හැම නිර්මාණයක්ම වගේ ඇගයීමට ලක් වුණා. ‘‘ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනගමු.‘‘ නාට්‍යය 2013 යෞවන නාට්‍ය උළලේදී හොඳම නිෂ්පාදනය, හොඳම පිටපත, හොඳම අංගරචනය, හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම නළුවා, නාට්‍ය උළලේ තුන් වන ස්ථානය ආදී ලෙස සම්මාන ලබා ගත්තා. මෙම නාට්‍යයම 2014 රාජ්‍ය නාට්‍ය උළලේ හොඳම පිටපත, හොඳම නිෂ්පාදනය, දෙවෙනි ස්ථානය ඇතුළු සම්මාන 6 ක් දිනාගන්නවා.

ඒ වගේම ‘‘කිරි අම්මගෙ අවතාරය‘‘ නාට්‍යය 2015 යෞවන සම්මාන උළලේ හොඳම නිළිය, හොඳම නිෂ්පාදනය ඇතුළු සම්මාන 03 ක් ලබා ගත්තා. ‘‘දාහක් දෙනවකෝ‘‘ නාට්‍යය 2015 යෞවන සම්මාන උළලෙදි හොඳම පිටපත, හොඳම අංග රචනය, හොඳම වේදිකා පරිපාලනය ඇතුළුව සම්මාන 04 ක් දිනාගන්නවා. 

සම්මාන බලාපොරොත්තුවෙන් වැඩ කළා නෙවෙයි. නමුත් අපේ මහන්සිය යම් ඇගයීමකට ලක්වීම සතුටක්.

4.   18 වෙනිදා පුංචි පුංචි නාට්‍ය එකතු කරගෙන පුංචි රඟහලේ කෙරෙන වැඩේ මොකක්ද?

මේ මාසෙ 18 වෙනිදා අපි මේ කරපු නිර්මාණ කිහිපය වේදිකාගත වෙනවා. සම්මාන උළෙලකින් ලැබෙන සම්මානයකින් කුල්මත් වෙලා, ඒ වැඩේ එතනින් නතර කර දැමීමේ උවමනාවක් අපිට නෑ. කවුරුවත් අපට අනුග්‍රහය දක්වයි කියල බලාගෙන ඉන්නෙත් නැහැ. මොකද අපේ උවමනාව වුණේ මේ නිර්මාණ ප්‍රේක්ෂාගාරයක් වෙත ගෙන යාම. එහෙම නොවුණොත් වසර ගණනාවක අපේ සාමූහික කැපකිරීමෙන් වැඩක් නැති වෙනවා.

මේ සමාජයෙ ජීවත් වෙද්දි අපිට දැණුනු රිදුණු තැන් තියෙනවා. ඒ ගැන අපට කියවීමක් තියෙනවා. ඒ රිදුම, ඒ කියවීම තමයි මේ නිර්මාණ හරහා එළියට එන්නෙ. සමාජයත් එක්ක අපේ කියවීම ගළපගන්නෙ කොහොමද, ගැළපෙන්නෙ කොහොමද, අපට එකට ගමනක් යන්න පුලුවන්ද කියල ප්‍රායෝගිකව අත්හදා බලන්න තමයි මේ සූදානම.

පෙබරවාරි 18 වෙනිදා බොරැල්ල නාමෙල් මාලනී පුංචි රඟහලේ අපි කළ කෙටි නාට්‍ය හතරක් වේදිකාගත වෙනවා. ‘‘දාහක් දෙනවකෝ“, ‘‘කිරිඅම්මා අවතාරය‘‘, ‘‘ආණ්ඩුවෙන් රස්සාවක්‘‘ සහ ‘‘ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනගමු.‘‘එන්න, ඇවිත් බලන්න, අපිත් එක්ක එකතුවෙන්නකියන ඇරයුම කරන්න කැමතියි.

5.   ලංකාවෙ නාට්‍ය කලාව පවතින්නෙ අගනුවර කේන්ද්‍ර කරගෙන, මේ තත්ත්වය වෙනස් විය යුතුයි නේද?

වේදිකා නාට්‍ය දැඩි උවමනාවෙන් බැලීමේ පුරුද්දක් අපේ රටේ මිනිස්සුන්ට නැහැ. කෙටි නාට්‍ය සම්බන්ධයෙන් තත්ත්වය තවත් බරපතලයි. කොළඹ තත්ත්වයත් ඒකයි. කොළඹින් පිටට ගියාම එහෙම පිරියක් වත් නැහැ. මේ තත්ත්වය වෙනස් කිරීම නිර්මාණකරුවන්ට විතරක් කරන්න පුලුවන් කාරණාවක් නෙවෙයි. ඒකට මුලු සමාජයක් සූදානම් විය යුතුයි.

අපි දියුණු නාට්‍ය කලාවක් පවතිනව කියන රටවල සමාජ තත්ත්වය ඒ විදියයි. ලෝකයේ බිහිවුණු ශ්‍රේෂ්ඨ නාට්‍යකරුවන් නාට්‍ය පෙන්නුවේ එහෙම සමාජයකට. ඒ නිසයි ඒ නිර්මාණ සමාජ පිළිගැනීමට සමාජ අවධානයට ලක්වෙලා ඒ විශිෂ්ඨත්වයට පත්වෙන්නෙ. ලංකාවෙ සමාජය තාම එතෙන්ට පරිණාමය වෙලා නැහැ. සමහර විට එතෙන්ට එන්න අපට සෑහෙන කාලයක් යාවි. ඒ යුගය එන තෙක් අපි මේ මොහොතේ වැඩ කළ යුතුයි. නැත්නම් ඒ අවස්ථාව තවත් ප්‍රමාද වේවි. අද අපි කරන දේ උපරිමයෙන් කළාම ඇති. ඒකට කොළඹ ද, කොළඹින් පිට ද කියන එක ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. දිගටම අපි හැමෝම වැඩ කරනවනම් කොළඹින් පිටතත් නාට්‍ය බලන ප්‍රේක්ෂාගාරයක් හැදේවි. ඒ වෙනුවෙන් ඉදිරි වැඩපිළිවෙලක් සම්බන්ධව අපිත් හිතමින්, සාකච්ඡා කරමින්, සූදානම් වෙමින් ඉන්නවා.

6.   Unnamed Theater Group ඉදිරි ගමන කොහොම වේවිද?

ලොකු සැලැස්මවල් අපට නැහැ. අනික නිර්මාණ කිරීමේ හදිස්සියකුත් නැහැ. එකතුවක් විදියට අපි කොච්චර කල් වැඩ කරනවද, නොකරනවද කියල තීරණයකට ඇවිල්ලත් නැහැ. ඒ මොනව වුණත් මේ මොහොතේ වැඩ කිරීමේ දැඩි උවමනාවක හැමෝම ඉන්නවා. ඒකට හැමදෙනාම තමන්ගේ උපරිමය ලබා දෙමිනුත් ඉන්නවා. එකිනෙකා කරන කැපවීම මත තමයි අපේ ඉදිරි ගමන තීරණය වෙන්නේ. ඒක මේ අපේ එකතුවේ ඉන්න සාමාජිකයින්ගෙ කැපවීම පමණක් නෙවෙයි. නිර්මාණ අගය කරන, නිර්මාණ කළ යුතුයි විශ්වාස කරන, ඒ නිර්මාණ සමාජගත කළ යුතුයි කියල හිතන හැමෝගෙම වගකීමක්, කැපකිරීමක්. ඒ කාරණා මත තමයි අපේ ඉදිරිය තීරණය වෙන්නේ.