පිටු

Wednesday, July 18, 2012

අනේ පුංචි සෝරබ්ලා වෙනුවෙන් ඔබත් එන්න...



සරුංගල් ලුහුබින්නා ( The Kite Runner ) කියවා අවසන් කළේ දින කිහිපයකට පෙර... තාමත් හිත කම්පනයකින්, සංවේගයකින් පිරිලා.. ඒ කම්පනය අළුත් වෙනවා හය හතර නොතේරෙන දරුවො දූෂණය කළ, විනාශ කළ ප්‍රවෘත්ති ඇහෙද්දි, දකිද්දි.....

සෝරබ් කියන්නෙ මේ කතාවෙ ප්‍රධාන ළමා චරිතය.. තලේබාන් කැරලිකරුවන් අතින් එයාගෙ දෙමව්පියො මැරෙනවා... කැරලි නායකයෙක් තලේබාන් කොල්ලකරුවන් කිහිපදෙනෙක් අතින් මේ දරුවා ලිංගික අතවරයන්ට ලක් වෙනවා... එය පුංචි සෝරබ්ගේ ජීවිතය කොයි තරම් උඩුයටිකුරු කළාද? වෙනස් කළාද යන්න තේරුම් ගන්න පොත බලන්නම වෙනවා...

මේ වගේ පුංචි සෝරබ්ලා දැන් දැන් අපේ ලක්බිමෙත් ඕනෑ තරම්.... අහන්න දකින්න ලැබෙන්නෙ සිද්ධි කිහිපයක් පමණයි.. ඒත් කාගෙවත් ඇසට නොපෙනී අසරණ වන සෝරබ්ලා කොයි තරම්ද? ලිංගික වශයෙන් අපහරණය පමණක්ම නෙවෙයි,

දරුවන්ව අගය නොකිරීම
නින්දා අපහාස කිරීම
ඔවුන්ගෙ දක්ෂතා මතු කර ගන්නට, වර්ධනය කර ගන්නට අවස්ථාව ‍ලබා නොදීම
නිදහසේ ළමා විය සතුටින් ගත කිරීමට ඉඩ නොදීම
දෙමව්පියන්ගේ මහා පැතුම් බර දරුවන් පිට තැබීම
සතුට, ආදරය, රැකවරණය පිරුණු පවුලක් තුළ ජීවත් වන්නට ඇති අවස්ථාව අහිමි කිරීම
දරුවන්ට සුවසේ ජීවත් වීමට ඇති ස්වභාවික පරිසරය විනාශ කර දැමීම
දරුවන්ට ඇති ආදරය නිසා වෙළපළෙන් මිල දී ගන්නා වසවිස පිරුණු ආහාර පාන ලබා දීම

මෙකී නොකී බොහෝ දේවල් දරුවන්ගේ පෞරුෂය, ළමා වියේ සුන්දරත්වය  දුබල කරන්නට බලපාන ප්‍රබල කාරණා....

ළමා හිංසනය පිටුදැකීමේ ළමා පා ගමන

ඉතින් විවිධාකාරයෙන් දරුවන්ගේ ජීවිතවලට බලපාන අපරාධයන්ට ‍එරෙහිව සමාජය අවදි කරන ළමා පා ගමනක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ළමා ක්‍රියාකාරී වීරයෝ ( ළ.ක්‍රි.වී. ) ව්‍යාපාරය එක්ව සංවිධානය කරනවා....

දිනය               :-          2012 ජූලි මස 21 වනදා

වේලාව           :-          පෙ.ව. 8.00

ස්ථානය          :-          කොළඹ ගුණසිංහපුර බස් නැවතුම ඉදිරිපිට ක්‍රීඩා පිටියේ සිට ටෙක්නිකල් හන්දිය,                                 මරදාන, පුංචි බෙරැල්ල හරහා ශාන්ත ලූක් දේවස්ථානයට ( බොරැල්ල, කොළඹ 08 -                              ඇක්වයිනාස් ඉදිරිපිට )

ඉතින් මේ පණිවිඩය දන්නා හුනන අය අතරේ බෙදා හරින්න කියල ආදරයෙන් ඉල්ලනවා.. හැකි අය අපේ දරුවන් එක්ක පා ගමනට එක්වෙන්න.

ඔයාල හිතයි මේකට මගේ ඇති සම්බන්ධය මොකක්ද කියල..  මම ශ්‍රී ලංකා ළමා ක්‍රියාකාරී වීරයෝ ව්‍යාපාරයේ ( කෙටියෙන් කියන්නෙ ළ.ක්‍රි.වී. කියලයි ) ළමයෙක් විදියට වසර 5 කුත්, ළමුන් කැටුව යන  අනුශාසක කෙනෙක් විදියට ගම් පළාතෙත්, ජාතික මට්ටමෙත් වසර 15 කුත් සේවය කරල තියෙනවා.. ජාති, ආගම් කිසිදු භේදයක් නැතිව සියලුම ළමුන්ට විවෘත වෙන ළ.ක්‍රි.වී.ය මට මගේ දෙවෙනි අම්මා වගේ...  ළමයින් ගැන විශාල ආදරයක්, වගකීමක් මගේ හිතේ ගොඩනැගිල තියෙන්නෙ ඇත්තටම මේ ළ.ක්‍රි.වී. කටයුතු නිසයි...

6 comments:

  1. බොහොම අගෙයි පෝස්ටුව..
    පා ගමනට නම් එන්න වෙන එකක් නැහැ..
    කොහොම උනත් හොඳ වැඩක්..:)

    ReplyDelete
  2. පා ගමන අති සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමි..
    ජයවේවා!!!!!!

    ReplyDelete
  3. අඳුරට නොබැන ඉටිපන්දමක් පත්තු කිරීම හොඳ නේ .

    ReplyDelete
  4. ඔයාලගේ පා ගමනින් කියන්නට යන පණිවුඩයට සැමගේ සිත් යොමුවේවා. පා ගමන සාර්ථක වේවා කියලා හදවතින්ම පතනවා අක්කේ :)

    ReplyDelete
  5. මේවගේ හොඳ වැඩ කරන්න ශක්තිය ධෛර්‍යය වැඩි වැඩියෙන් ලැබේවා..

    ReplyDelete
  6. මේවැනි ක්‍රිකාරී වැඩසටහන් මගින් ලමා ලොව විකසිත කරවන්නට බලධාරීන්ට ඇස් ලැබේවා..

    ඔබේ උතුම් ක්‍රියාවට අපේ සුබ පැතුම්...

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...