පිටු

Thursday, June 1, 2017

කසුන්මය සත්‍යය නිමැවූ ප්‍රේමය...


මට ඈ මුල්වරට හමුවන්නෙ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයෙදි. ශ්‍රවණ පොත් සැකසීමේ කටයුත්තකට පොත් කියවීම සඳහා යොදාගත් හමුවක් එය. මගේ දුරකථන ඇමතුම අනුව මා එහි යන විට ඈ ගේට්ටුව අසලම බලා සිටියා... ඇගේ සිනහව මඟ බලා සිටියා. ඇගේ වත මඬල දැල්වෙමින් තිබුණා. ඒ මා දෑසින් ඈ දුටු පළමු දවස. ඒත් ඇය නම් මාව බොහෝ වර දකින්නට ඇති හදවතින්.

ඉතින් ඒ අපේ අහසෙන් එන සත්‍යා.... ලොකු හදවතක් ඇති පුංචි කෙල්ල සත්‍යා නිර්මාණී...


සුදු සැරයටිය අත නැතිව උන් ඈ මගේ අත අල්ලාගෙන ඉතාම හුරුබුහුටිව මා ඇගේ කුටියට කැඳවාගෙන ගියා. දොරටුව ඉදිරිපස පාවහන් ගළවා තබා කුටිය තුළට වන් සත්‍යා පුටුවක් ඇද මට වාඩිවන්නට සලස්වා ඇය ඇඳෙන් වාඩි ගත්තා. එදා දවස පුරාම අපි පොත් කියවීමට වඩා කළේ අපේ කියවීම... එදිනෙදා වැඩකටයුතු කිරීමේදී, පරිගණකය හැසිරවීමේදී වගේම කතා බහේදිත් ඇය දක්වන දක්ෂතාව, හුරුබුහුටිබව අත් දහසක්, නෙත් සහසක් පරදන තරම්...



නෙළුම් යාය බ්ලොග් මංගල්ලෙ ඉවර වෙලා ටික දවසකින් මට ඇමතුමක් එනවා. ඒ සත්‍යාගෙන්.

‘‘අක්කෙ ඔන්න අපේ වෙඩින් එක එනවා. ජුනි 04 වෙනිදා දිනය වෙන් කරල තියාගන්න. ඔයා එන්නම ඕන...‘‘

ඉතින් අපේ ඒ සත්‍යා අද දවසේ මනාලියක් වෙනවා...

මේ පෙම් හුටපටය ගැන ඉඟි බිඟි දැනිල තිබුණ වුණත් මම ටක්කෙටම දැනගත්තෙ එදා නේවාසිකාගාරයෙදි ඈ හමුවුණ දවසේ. අපේ හදවත් බැඳෙන්නෙ මුලින්ම දකින දසුනත් එක්ක ඇතිවෙන ආකර්ෂණයට. ඊට වඩා මේ ප්‍රේමය ගොඩක් ගැඹුරු වෙන්න ඕන අනිවාර්යයෙන්ම රුව දකින්නට ඉඩක් නැති හදවත් ස්පර්ශ වන බැඳුමක්නෙ.

‘‘ආදරය කොහොමද?‘‘ මම සත්‍යාගෙන් ඇහුවා.

‘‘සුන්දරයි නේද?‘‘ ඈ පෙරළා මගෙන් ප්‍රශ්න කරනවා. සිලි සිලි සිනාවක් එක්ක.. ‘‘ප්‍රේමණීයයි.‘‘ ඇය නැවතත් උත්තර දෙනවා.

‘‘නංගි කොහොමද ඔයාට කසුන් මල්ලිව හමුවුණේ..?‘‘

‘‘මම 2005 රත්මලානෙ අන්ධ විද්‍යාලයට ආවා. එතනදි තමයි කසුන් අයියව මුණගැහෙන්නෙ. දැන අඳුනගත්ත දා ඉඳලම අපි හොඳ යාළුවෝ...‘‘


‘‘ඉතින් කොහොමද ඒ යාළුකම ආදර සම්බන්ධයක් වුණේ?‘‘

‘‘2011 උසස් පෙළ ලියල ඉවර වෙලා මම අයිටී කෝස් එකක් කළා. ජපුර කැම්පස් එක ළඟ තමයි නැවතිලා හිටියෙ. මගෙ හැම වැඩකටම උදව් කළේ එයා, මගේ ආරක්ෂකයා, සහායකයා, මඟපෙන්වන්නා. ඔක්කොම එයා තමයි...

කසුන් අයිය මට කිව්වා, මගෙ හිතේ ඔයා ගැන කැමැත්තක් තියෙනවා කියල. මටත් දැනිල තිබුණෙ. අපි ගොඩක් කල් ඉඳන් දන්නවනේ. ඉතින් මට ආපහු හිතන්න දෙයක් තිබුණෙ නෑ.. ‘‘

‘‘එයා ඔයාට ගැළපෙනවා කියල තීරණය කළේ කොහොමද?‘‘

‘‘කසුන් අයියා ගොඩක් හොඳයි. මාව තේරුම් ගත්ත කෙනෙක්. අයියට ටිකක් පේනවා. මට පේන්නෙම නැහැනෙ. මොන දේ කරන්න ගියත් එයා මුලින්ම හිතන්නෙ මං ගැන. මගේ හැම වැඩකටම උදව් වෙනවා. මගෙ ඉගෙනීම් වැඩවලටත් උපදෙස් දෙනවා. නීති රීති දාන්නෙ නැහැ. මං වැරැද්දක් කරනවනම් ඒ ගැන කියල දෙනවා. අනිත් ආදරවන්තයො අතර තියෙන සැකය, අවිශ්වාසය වගේ දේවල් අපි අතර නැහැ.

පුරුෂාධිපත්‍යය ඔලුවෙ තියන් ඉන්න කෙනෙක් නෙවෙයි. නොදන්න දෙයක් තියෙනවනම් මගෙනුත් අහනවා. දෙයක් කරන්න කළින් මටත් කියනවා. මගේ සතුට වෙනුවෙන් තමයි හැමදෙයක්ම කරන්නෙ. දැන් අර ප්‍රී ෂූට් එක අයිය කැමති වුණේම නැහැ. ඒත් මං ආස නිසයි  කැමති වුණේ. ඔක්කොම වැඩ ඉවර වෙලා මගෙන් අහනවා.. ‘ඔබට සතුටුයිද දැන්...‘ කියල..‘‘

ඇය හිනැහේ... මම ටිකක් බරපතල ප්‍රශ්නයක් ඈ හමුවේ තැබුවා.

‘‘ආදරය කරන කාලය වගෙ නෙවෙයි විවාහය. සංකීර්ණ බැඳීමක්. ඒ ජීවිතය ගැන මොකද හිතෙන්නෙ?‘‘

‘‘ඒකත් අලුත් අත්දැකීමක් වෙයි. අපි දෙන්නා ඒ ගැනත් සැලසුම් කරල තියෙන්නෙ. ඇනෙක්ස් එකක් ගනිද්දි වුණත් අයිය බැලුවෙ මගේ පහසුව. එයා මං ගැන හිතලයි හැම වැඩක්ම සැලසුම් කරන්නෙ. ඒ නිසා විවාහ ජීවිතේ ගැන මට බයක් දැනෙන්නෙ නැහැ.‘‘

ඉතින්,


ආදරණීය කසුන් මල්ලී, සත්‍යා නංගී මේ ආදරය, විශ්වාසය, තේරුම්ගැනීම හැමදාමත් ඔබ අතර පවතීවා!!! සුබ මංගලම් !!!


23 comments:

  1. මගේ සිතත් සතුටු කල එක් වීමක්. ඔවුන්ට ජයම වේවා.

    ReplyDelete
  2. සතුටුදායක කතාවක් අස්සේ මෝඩ ප්‍රශ්න අහනවට තරහ වෙන්න එපා ඔන්න. දැනගන්න අහන්නේ.

    ඇත්තටම පේන්නෙම නැති කෙනෙකුට අයිටී කරන්න පුළුවන් විදිය මොකක්ද ? මං කිවේ ඉන්ස්ටන්ට් අවුට්පුට් එකක් ටැන්ජිබල් නැහැනේ ප්‍රින්ට් එකක් මිසක්. පාස්වර්ඩ් එකක් ගැහුවම හරිද වැරදිද වගේ හැම දෙයක්ම විෂුවල් නේ. මං පොඩ්ඩක් ගූගල් එකෙත් බැලුව හරිහැටි සොයාගන්න බැරි වුණා. පුළුවන් නම් තරහ නැතිව කියල දෙන්න.

    ReplyDelete
    Replies
    1. අපි ඇස් දෙකින් බලල කරන වැඩ කොටස එයාල කරන්නෙ ශ්‍රවණයෙන්. ඒ පරිගණකයේ තියෙනවා තිරය කියවන විශේෂ මෘදුකාංගයක්. ( Screen reader software ) ඇහෙන දේ අනුව තමයි වැඩ කරන්නෙ. ඇත්තටම සත්‍යා නංගි හරි වේගවත්ව පරිගණකය හසුරුවනවා. එයා බ්ලොග් කියවන්නෙත්, ලියන්නෙත් පරිගණකයේ අනිත් වැඩ කරන්නෙත් ශ්‍රවණයෙන්...

      Delete
    2. It's a special talent; I believe, I'd not do one tenth of what she/ he does with computer if I don't see it. even with two good eyes I'm far behind in this compared to these two. Inspiring!

      Delete
    3. /It's a special talent; I believe, I'd not do one tenth of what she/ he does with computer if I don't see.../

      Belittling Kasun & Sathya's abilities is furthest from my mind but naturally if you loss one sense other senses will develop exceptionally to compensate. That's the natures way of assistance to cope with life.

      Delete
    4. Ravi: දැන් රවීගේ සෙන්සර් අවුල්වීම කොහොමද මේකෙන් විග්‍රහ වෙන්නේ.... කියලා මම මේ කම්පනා කරන්නේ...... ඒ ඒ ඒ ඒ ඒ

      :D

      Delete
  3. දෙපලටම සුබ පැතුම් මගෙන්...

    ReplyDelete
  4. රන්රසින් මල් මඟට පිවිසෙන යුවතිපති හට ජයමවේවා!!!
    දෙව් වරින් බැඳි දෙසිත් සැමදා මල් වැසින් නැහැවී තෙමේවා!!!
    සෞසිරින් ලැබ සියළු සම්පත් සිත් තුටින් සැම කල් රැඳේවා!!!
    ඉක්මනින් තුන්පත් රැලක් වී ඉස්තරන් දිවියක් ලැබේවා!!!

    කසුන් අයියට වගේම මගේ යෙහෙලියට සියළු සැප සම්පතින් පිරි, සුබම සුබ යුග දිවියක් වේවා!!!

    ReplyDelete
  5. සුබ පැතුම් !!!!!!!!!!!!

    ReplyDelete
  6. සුභ පැතුම් නිර්මාණි නංගී.

    ReplyDelete
  7. ඔබ දෙදෙනාටම සදාදර සුබ පැතුම්!

    සහභාගිවීමට නොහැකිවීම ගැන කනගාටුයි. අපේ ලොකු නෝනා එයි මටත් එක්ක...:)

    ReplyDelete
  8. නව යුවතිපතින්ට හද පිරි උණුසුම් සුබ පැතුම්...!

    ReplyDelete
  9. නෙළුම් යායෙදි මමයි දුමියි එද්දි මේ දෙන්නා ගිහිල්ලා. කතාබහ කරන්න තිබ්බ අවස්ථාව ඒ නිසා නැති වුණා. මොනා වුනත් සුභ පැතුම්....

    ReplyDelete
  10. තරූ අක්කේ මමත් එනව 4 මටත් හරි ආසයි ඔයත් එක්ක කතා කරන්න.. මේ දෙන්න ගෙ ආදර කතාව හරිම ලස්සන එකක්. පාසල් කාලෙ ඉඳන් හරිම රසවත්ව ගලාගෙන ඇවිත් අද කිරුලු පැලඳුවා. මටත් හරිම සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ඇවිත් මතක් කරලා කියන්න මම තමයි බ්ලොග් වල කටකාරී කියල :)) (තව එකක් රහසෙන්.. ඔය තරූ ට ටිකක් ඇහෙනව හොරයි.. ඒක නිසා කියන එක හෝල් එක දෙක වෙන්න කෑ ගහල කියන්න .. :)))

      Delete
    2. //එක හෝල් එක දෙක වෙන්න කෑ ගහල කියන්න .//

      අන්දරේ ගේ බිරිඳ සහ රජ මෙහෙසියගෙ කථාව වගේද?

      Delete
    3. අහු වෙය මට ඔය කළණේ...

      අනිවාර්යයෙන් නංගි... මම කතා කරන්නම්... අපි එනවුන්ස් කරල අහන්නම්කෝ කෝ කටකාරි කියල.. මට ඔයාව මතකයි එෆ්බී ඉන්නවනේ...

      Delete
  11. ජ ය වේ වා !!!!

    ReplyDelete
  12. මෙවර නෙලුම් යාය නිසා තමා මට මේ දෙන්නාගේ බ්ලොග් එක මුණ ගැහුනේ.ඔන්න තරූ අක්ක නිසා ඒ දෙන්න ගැන ගොඩක් දෙවල් දැන ගත්තා.මගෙනුත් එයාල දෙන්නට වාසනාවන්ත යුග දිවියකට පැතුම් !

    ReplyDelete
  13. මේ දෙන්නම මට හමු උනේ මේ වතාවේ නෙලුම් යායේදී...සුබ පැතුම්....

    ReplyDelete
  14. සෞඛ්‍යමය හේතු මත මට එන්න බැරි වෙයි නංගී.ඒත් හදවතින්ම සුභපතනව

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...