පිටු

Monday, June 12, 2017

සුළු ඉඩක් වෙන් කර දිය හැකි නම් පමණක් ඔබ අසල...

"VLADIMIR VOLEGOV. ගේ සිතුවමක් - 

මේ තණ නිල්ල
ඒ එදා ඔබ පයට පෑගුණු
තණ පලසම ද?
තෘණ පතින් පත දැවටී
සිලිලන පිනි කැටිති
ඔබේ ළය පෑරී ගලා ආ
කඳුළක හැඩය ගති...

තුරු අගිසි මත ඉසිඹුලන
රූරා හැලෙන සඳ වතුර
ළා දළු පත් සසලවා
සුසුම් ලන නළ රැලි

එදත් මේ ලෙසම සසැළුණිද?
ජීවිතය අයදින සරින්,

වැව් දිය සරැලි බිඳි බිඳී
නගනා මුණු මුණුව
ඒ එදා මැදියමේ
‘දිය කර හරිමි ජීවිතය මී විතක‘
ඔබ පැවසූ වදන්
නිහඬව අසා උන්නෙද?

ඒ එදා ඔබ අද කොහිද?
ඒ එදා මමම ද අද මෙතැන
ඔබ ද නැත,
මම ද ඒ එදා උන් මා නොවේ

කාලය ඉක්ම යයි
වේදනාවේ ගං දියෙහි එති එතී
රළු රළ සුලි සමඟ හැපි හැපී
යනු මිස එනු නැති
සන්තුෂ්ටියේ සේයා
අන්ධ අඳුරට මුහු වෙවී..

කියන්න මට,
ජීවිතේ දුර්ග කඳු වැටියෙන් ඔබ
මරණයේ මිටියාවත කෙලෙසින්ද
සෙවූ සැනසුම් හමුවිණි ද?
මී විතක් තරමින්ම ඉමිහිරි
මත් බවේ මායාවක්ද එය?

එක් වරක් දෑත දිගු කර
කැඳවනු හැකිද මා එහි
සුළු ඉඩක් වෙන් කර
දිය හැකි නම් පමණක්

ඔබ අසල... 

19 comments:

  1. බෑනේ... ඉඩ නෑ හිහි
    අපූරුයි ඉතිං...

    ReplyDelete
    Replies
    1. ඉඩ නැත්නම් ඉතින් මේ පැත්තෙම ඉන්න එක හොඳයි...

      Delete
  2. අගෙයි ලස්සනයි

    ReplyDelete
  3. එන්න
    එක් වරක් නොව
    සිය දහස් වාරයක්
    ඉඳුරාම දනිමි මම්
    එක දෙයක්
    ඔබද එදා උන් ඔබ නොවේ

    ReplyDelete
    Replies
    1. ‘‘ඔබ ද නැත,
      මම ද ඒ එදා උන් මා නොවේ‘‘

      Delete
    2. අපුරු තර්කයක්..හුස්ම වැටෙන ලතාවක්..

      Delete
  4. ශෝකාකූල මුත් සිත නිවන ඔබේ කවි

    ReplyDelete
    Replies
    1. ශෝකාකූල භාවයේ කෙළවර නිවීම නම් තියෙන්නෙ කොයි තරම් හොඳද බින්දි...

      Delete
  5. ශෝකාකූල මුත් සිත නිවන ඔබේ කවි

    ReplyDelete
  6. හුදෙකලාවක මිහිරියාව, බලාපොරොත්තුව, පරිසරය, මී විත, අතරේ මැදිවුන මම. ලස්සනයි .

    ReplyDelete
  7. හරිම ලස්සනයි අක්කෙ.. වේදනාවකින් ලියූ බවක් දැනෙනවා...

    ReplyDelete
  8. මේක කියෙවුවම දැනෙන හැගීම වචන වලින් කියන්න අමාරුයි
    ගොඩක් ලස්සනයි අක්කෙ...

    ReplyDelete
  9. //එක් වරක් දෑත දිගු කර
    කැඳවනු හැකිද මා එහි
    සුළු ඉඩක් වෙන් කර
    දිය හැකි නම් පමණක්

    ඔබ අසල...// පියකරුයි.
    කවදාවත් ඉටු නොවෙන
    බලාපොරොත්තුවක්

    ReplyDelete
  10. අපූරු සුන්දරත්වයක් කැටි වුන පද පෙළක් නංගි

    ReplyDelete
  11. කඳුලකට, මී විතකට කොහෙද නිශ්චිත හැඩයක්.අවස්ථාව අනුව හැඩ ගන්වා ගන්නවා මිසක.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...