පිටු

Tuesday, July 23, 2019

“මේ නිර්මාණ තුළ අපේ ජීවිතත් එය ජීවත් කරවූ හුස්මත් තියෙනවා...”



එක තිතක් එතැන් සිට... මටසිලිටි සිහිනයනි.

රෝද පුටුවකට සිර වූ ජීවිතයකට අත්තටු පැළැන්දිය හැකි යැයි ඔබ සිතනවාද? දෙපයින් ඇවිද සැබෑ කරගන්නට හැකි හීන පවා උකසට තබන ලෝකයක, සීමාකම් සහිත දුෂ්කර ජීවිතයක උපදින අසීමිත වූ හැඟුම් සමුදායන්ට කවියෙන් සහ සිතුවමින් පණ දෙන අපූරු සොයුරෙක් සහ සොයුරියක් මට හමුවුණා, කොත්මලේ ප්‍රදේශයෙන්. අගනුවරට කොත්මලේ බොහෝ දුර විය හැකියි. නමුත් නවීන තාක්ෂණය ප්‍රමුඛ වූ විශ්ව ගම්මානය තුළ තවදුරටත් කිසිවකු දුරස්ත වන්නේ හෝ ආගන්තුක වන්නේ නැහැ. මුහුණුපොත ප්‍රමුඛ සමාජ මාධ්‍ය, මානව පැවැත්මට සිදුකළ සාධනීය බලපෑම් අතර, කැලේ පිපි මල්වල රුව ගුණ, සුවඳ ලෝකයා හමුවට ගෙන ඒමට විවර කළ සියදහසක් වූ නව දොරටු විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. 

ඔහු කවියෙක්. නමින් ගයාන් ඉන්දුල කොඩිතුවක්කු. මුහුණුපොත මෙන්ම කවි පත්ඉරු අතරත් නිරන්තරයෙන් හමුවන කවිය සමඟ හෘදයාංගමව ගනුදෙනු කරන නිර්මාණකරුවෙක්.

ඇය සිත්තරාවියක්. සිතුවම් කලාවට වගේම සාහිත්‍යයටත් ළැදි අපූරු රසිකාවියක්. ඇය නමින් වරුණි ගයානි කොඩිතුවක්කු.

නිකිණි මහ ඇරඹෙන්නෙම මේ සොහොයුරාගේත් සොහොයුරියගේත් නිර්මාණ කාර්යයන් සහෘද සමාජයට තිළිණ කරමින්. නැගණිය වරුණි  කොඩිතුවක්කුගේ කුළුඳුල් ඒකපුද්ගල සිතුවම් දැක්ම “එක තිතක් එතැන් සිට” නමින් අගෝස්තු 01 දින උදෑසන 9.00 සිට පසුදින ප.ව. 7.00 දක්වා ත්, සොහොයුරු ගයාන් ඉන්දුල කොඩිතුවක්කුගේ දෙවන කාව්‍ය සංග්‍රහය ‘‘මටසිලිටි සිහිනයනි‘‘ කෘතිය එළිදැක්වීම අගෝස්තු 02 වන දා  සවස 3.00ටත් කොලඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සිදුකෙරෙනවා. මෙම සංවාද සටහන පන්හිඳත්, තෙලිතුඩත් ඒකාත්මික වන එකී සුවිශේෂී මොහොත වෙනුවෙනි.



“එක තිතක් එතැන් සිට’’ සිතුවම් දැක්ම සමඟ අප හමුවන වරුණි සමඟ මුලින්ම කතා කරමු.

1.         වරුණි කොහොමද සිතුවම් කලාව ඔබේ ජීවිතයට සමීප වෙන්නෙ?

සිතුවම් කලාව කියන දේ මට සමීප වෙන්නේ මගේ ජීවිතේ අසීරුම කාලෙකදි. ඒ කියන්නේ මම කුඩා අවධියේම. මම චිත්‍ර අඳින්න මුලින්ම යොමු වෙන්නෙ පාසලේදී. ඇත්තම කිව්වොත් මම පාසලේදී  විෂයක් විදිහට චිත්‍ර තෝරා  ගන්නේ අනෙකුත් සෞන්දර්ය විෂයන් වුණ නැටුම්, සංගීත විෂයන් එක්ක වැඩ කරන්න ප්‍රායෝගික අසීරුකම් රැසක් මට තිබුණ නිසා. මුලින් එහෙම වුණත් කල් යද්දි චිත්‍රය කියන දේ ඇතුලෙ මට මාවම අධ්‍යයනය කරන්න හැකි වුණා. මං තුළ හිර වෙලා ,තෙරපිලා තියෙන පීඩනය එළියට දැම්මේ චිත්‍රය තුළින්. චිත්‍රයක් ඇඳලා ඉවර වුණාම දැනෙන නිදහස මට වෙන කිසිම දේකින් ලැබෙන්නේ නෑ. අදටත් මට චිත්‍රයක් අඳින්න හිතෙන්නෙ හිතට ලොකු පීඩනයක් ,දුකක්, වේදනාවක් දැනුණ වෙලාවට. ඒ විදිහට බලද්දී  චිත්‍රය කියන දේ මගේ ජීවිතයට සෑහෙන්න සමීපයි. 

2.         ඔබගේ සිතුවම්කරණයට බලපෑම් කළ පුද්ගලයන් හෝ සිතුවම් ආරක් තියෙනවද?

මාව චිත්‍ර කලාවට මුලින්ම යොමු කලේ මගේ මගේ පාසලේ චිත්‍ර ගුරුතුමිය. ඇය තිලකා පොඩි මැණිකේ ගුරුතුමිය. ඇය සාමාන්‍ය පෙළ දක්වා මට චිත්‍ර  විෂය ඉගැන්නුවා. එතනින් එහාට මට මේ සම්බන්ධයෙන් වැඩිදුර ඉගෙන ගන්න ලැබුණෙ නැහැ. මම දකින සහ මට අත්හදා බැලිය හැකි සෑම දෙයකින්ම මම චිත්‍රය පිළිබඳ අධ්‍යයනය කලා තනියෙන්ම. කුඩා දරුවෙකුගෙ සිතුවමකින් පවා මට ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් එය උකහා ගන්න එක මගේ පුරුද්දක්. කොහොම වුනත් වැංගෝ ගේ සහ ෆ්‍රීඩා කාලෝගේ චිත්‍රවලට මම දැඩි කැමැත්තක් දක්වනවා. ඒ අධ්‍යයනයන් එක්කම චිත්‍රය තුළ විවිධාකාරයේ ආරයන් අත්හදා බලමින් ඉන්නවා. මගේ සිතුවම් එකම රටාවකට සීමා වෙලා නැහැ කියලයි මට හිතෙන්නෙ.  විවිධ ආරයන් තියෙනවා. මම ඒ විවිධත්වයට කැමතියි. ඒ හැම ආරයක් තුළම මම සිතුවම කියන දේ විඳිනවා.

3.         ඔබේ චිත්‍ර නිර්මාණ අතර ස්ත්‍රීයට විශේෂ තැනක් හිමිවන බව පේනවා. ඒ වගේම හුදෙකලාව සිතුවම්වල ප්‍රමුඛ තේමාවක් වී ඇති බවත් පැහැදිලියි. ඒ ඇයි? පැහැදිලි කරන්න පුළුවන්ද?

මේ ගැන සරලවම කිව්වොත් මම 'හුදෙකලා ස්ත්‍රියක්'. සමහර විට මටත් නොදැනීම එය මගේ සිතුවම්වලින් කියවෙනවා වෙන්න ඇති. කොහොම වුණත් මගේ ජීවිතේ මුහුණ දෙන්න වුණු අභියෝග අතරේ ස්ත්‍රියක් වීම නිසාම මුහුණ දෙන්න වුණ අභියෝග වගේම හුදෙකලාව තුළ ජීවිතය ඉදිරියට තල්ලු කරගෙන යාම පිළිබඳව මුහුණ දෙන්න වුණු අභියෝග මට මානසිකව දැඩිව බලපෑවා. චිත්‍ර ඇඳීමෙන් ඒ මානසික පීඩනය පිට කලා වගේම, මම එහි තිබෙන සුන්ද‍රත්වය අත්විඳීමටත් යොමු වුණා. දැන් මම ඉතා සතුටින් ජීවිතයේ හුදෙකලාව විඳිනවා, ඒ නිදහස මට ලැබුණේ සිතුවම්කරණය හරහා ලැබුනු පන්නරය මගින්.


4.         සොහොයුරා කවියට සමීප වෙද්දි, ඔබ සිත්තමට පෙම් බඳිනවා. කවිය සිත්තමක් ද? සිත්තම කවියක් ද? තෙලිතුඩ සහ පන්හිඳ අතර වන සබැඳියාව ඔබ දකින්නෙ කොහොමද?

කලාව කියන දේ මිනිස් හදවත සංවේදී  කරනවා. කලාව තුළින් විය යුත්තේද එයයි. මගේ සොහොයුරා සමාජය ආමන්ත්‍රණය කරන්නෙ කවියෙන්. මම සිතුවමෙන්. ඒත් අප දෙදෙනාම කරන්නෙ කලාව තුළින් අපේ හදවත්වල 'නිවීම' හොයාගෙන යන ගමන් ඒ නිවීමේ තියෙන සුන්දරත්වය අනෙක් අය හා බෙදා ගැනීම. මම විශ්වාස කරන්නේ තෙලිතුඩක් සහ පන්හිඳක් එක් වුණ තැන මිනිසෙකුගේ හදවතේ අභ්‍යන්තරයම ස්පර්ශ කරන්න  පුලුවන් කියලා.

...............*......................



“මට සිලිටි සිහිනයිනි” කාව්‍ය සංග්‍රහය සමඟ සහෘද සංවාදයකට එළඹෙන ගයාන්ගේ හඬට සවන් දෙමු.

1.         ‘‘විරාමයකට පසුව හමුවෙමු.කියූ ඔබ දෙවන කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් දිගු විරාමයක් ගත්ත නේද?

මගේ පලමු කාව්‍ය සංග්‍රහය මීට අවුරුදු හතරකට උඩදීයි පලවුණේ. ඒ කවි පොතට මං හිතුවාටත් වඩා සාර්ථක පාඨක ප්‍රතිචාර ලැබුණා. ඉන්පසු මට අවශ්‍ය වුණේ දෙවැනි කාව්‍ය සංග්‍රහයකට ඉක්මනින් යනවාට වඩා  පුළුවන් තරමින් සාහිත්‍ය විෂය ගැන, කාව්‍යකරණය ගැන මීට වඩා හැදෑරීමක් කරන්න. වැඩිපුරම වෙලාවක් ගත්තෙ කියවීමට. ඒකට මං ලොකු කාලයක් ගත්තා. ඔය අතරෙ ලියවෙච්ච කවි ටිකක් එකතු වුණා. ඉතින් මට හිතුනා, ඒ කවි එකතුවක් විදියට එළිදක්වන්න දැන් තමයි හොඳම කාලය කියලා. "මට සිළිටි සිහිනයිනි " එළිදකින්නේ ඔය විරාමයේදි මට දැනුණු දේවල මට රිදුණු දේවල්වල ප්‍රතිඵලයක් විදියටයි.

2.         ඔබ අඛණ්ඩව කවි ලියනවා. කවිය සමඟ ජීවත් වෙනවා. මේ බැඳීම ගොඩනැගෙන්නෙ සහ පවත්වාගන්නෙ කොහොමද?

ඕනෙම මනුස්සයෙක් ජීවත් වෙන්නෙ අරමුණක් බලාපොරොත්තුවක් හිතේ තියාගෙන. ඒත් ඒ කිසිවක් නැති මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා. ඉතින් මං හිතන්නේ සාහිත්‍යයෙන් මිනිස්සුන්ට නිවෙන්නත් සැනසෙන්නත් පුළුවන්. මං ඒක අත්වින්දා සහ අත්විඳිමින් ඉන්නවා. මට අනුව කවිය මගේ හිත නිවාගන්න ලැබුණු සාර්ථකම මෙවලමක්. ජීවිතේ දුෂ්කරතාවලට මුහුණ දෙන්න පන්නරය දෙන සංවේදී  මාවතක්.  මට කවියක් ලියල ඉවර උනාම පුදුමාකාර සැනසීමක් දැනෙනවා. ඉතින් මං ඒ සැනසීමට දැන්  ඇබ්බැහි වෙලා.

3.         මට සිලිටි සිහිනවලට අද සමාජය තුළ වලංගුභාවයක් තියෙනවා කියල ඔබ හිතනවද?

සිහින දකින්න තියා හිතන්න ඔලුවක් තියෙන, දැනෙන්න පපුවක් තියෙන කිසිම මනුස්සෙකුට මේ රටේ මේ මොහොත කිසි ප්‍රසන්න හඟීමක් ඇති කරයි කියල මං හිතන්නෙ නෑ. ඒත් අපි ඒ කියලා හීන දකින එක අතෑරියොත් තත්වය මීටත් වඩා දරුණු අතට හැරේවි. ඉතිහාසයේ අපි මීටත් වඩා දරුණු තැන්වලින් ගොඩ ඇවිත් තියෙනවා. හැබැයි එහෙම වෙලා තියෙන හැම මොහොතකම අපි සමාජයක් විදියට එකට ඉඳලා තියෙනවා. දැන් සමාජය ඉතා දරුණු විදියට කොටස්වලට කැඩිලා බිඳීලා ගිහින්. ඉතින් මේ රටට සැබෑ කර ගන්න ලොකූ හීනයක් තියෙනවා ආදරයෙන් සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන. මං නිතරම ඒ හීනය දකිනවා.



4.         ඔබේ නැගණිය සිතුවමට සමීප වෙද්දි, ඔබ කවියට පෙම් බඳිනවා. පන්හිඳ සහ තෙලිතුඩ අතර පවතින සහෝදරත්වය ඔබ අර්ථ දක්වන්නෙ කොහොමද?

මං හිතන්නේ කවිය හා සිතුවම අතරෙත් එක්තරා සහෝදර බැඳීමක් තියෙනවා කියලයි. මේ විෂයන් දෙකම ලෝක ඉතිහාසයේ ඉතා දීර්ඝ කාලයක් මනුෂ්‍ය හෘදසාක්ෂියට, රසාස්වාදනයට, ආධ්‍යාත්මයට වඩාත් ප්‍රබලව ආමන්ත්‍රණය කල මාධ්‍යන් දෙකක්. මං ගොඩක් සතුටු වෙනවා අපි දෙන්නට මේ නිර්මාණ ක්ෂේත්‍ර හරහා දකින්නාට, අසන්නාට, ආමන්ත්‍රණය කිරීමට හැකිවීම ගැන. එය කොතරම් දුරට සාර්ථකද අසාර්ථකද යන්න තීරණය කිරීම සහෘද සමාජය සතු කාර්යයක්. ඒත් මේ නිර්මාණයන් තුළ අපේ ජීවිතත්, එය ජීවත් කරවූ හුස්මත් තියෙනවා ...

2019.07.21 අනිද්දා පුවත්පතේ පළ වූ සංවාදයකි. 

4 comments:

  1. මටසිළිටි සිහිනයක්
    සැබෑවී මතු දිනෙක
    එක තිතක් එතැන් සිට
    ඉරක් වෙයි අනන්තෙට!

    ReplyDelete
    Replies
    1. මමත් එක් වෙන්නම් ඒ පැතුමට...

      Delete
  2. Replies
    1. එනවද චිත්‍ර ප්‍රදර්ශනය බලන්න?

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...