Friday, September 6, 2019

සිස්ටර් සෙව්වන්දි කපාල කන්ද පාමුල තනිවේ !

Eugene De Blaas Painting.


දමිත් කේතක මුහුණුපොතේ තැබූ සටහනකි.

"දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නම් කෘතියේ අකුරු මේ දූපතට වඩා බෙහෙවින්ම විශාලය....

පල්ලියේ සංස්ථාපිත යේසුස් සොයා යන්නියකට, සිය ඕලාරික පැවිදි සංස්කෘතිය තුළ වැඩිය ලංවීමට අවසර නැතිවන පරිද්දෙන්, එදා ගලීලයේ ඇවිද ගිය ශ්‍රේෂ්ඨ තරුණයා, ඔහුගේ සැබෑ ස්වරූපයෙන් දෙවන වරටත් මාංශ ගතව සිටියදී හමුවේ....

දොස්තොව්ස්කි දුක් වේදනා තුළින් ක්‍රිස්තු ආත්මයට සමීප වීම කී යම් සේද, ලතින් ඇමරිකාවේ උපන් දේව ධාර්මික විමුක්ති සෙවුම තවමත් ක්‍රිස්තු සමග මිනිසාගේ රාජ්‍ය අලලා බඳිමින් පවතින පාලම යම් සේද, මේ කෘතියේ "ආදිත්‍ය" ලෙසින් පල්ලියේ දොරකඩ ළඟ පෙනී සිටින සැබෑ යේසුස් සමග තුන්වන ලෝකයේ දුක්ඛිත ශ්‍රී ලංකාව නම් මිනිස් රාජ්‍යය බැඳ පාලමකින් යා කෙරේ....මේ ආදිත්‍ය නම් තරුණයාට පිළිවෙලක් සොයා ගත නොහැකි පරිද්දෙන් ආදරය කරන සෙව්වන්දි නම් කිතුණු කන්‍යා සොහොයුරියක ඔහුට "චණ්ඩි ජීසස්" යැයි නම් තබයි....

එහෙත් ජේසුස් ක්‍රිස්තුලා එන්නේ කුරුසිය උරුම කරගෙනමය.... ක්‍රිස්තුලා එන්නේ අතින්, පයින්, කසෙන්, දම්වැලෙන් ගුටි කා, වධ කණුවේ ගැට ගැසී සිටින්නටය....ක්‍රිස්තුලා එන්නේ ඇණ පහර කන්නටය....එසේ හෙයින් ආදිත්‍ය නම් වන මේ කථාවේ ප්‍රථම පුරුෂයාද එසේමැ යයි....

මග්දලේ මරියාට වඩා විෂය බද්ධ සදාචාරයකින් යුතුව සමාජය ප්‍රණාම කරන සිස්ටර් සෙව්වන්දි කපාල කන්ද පාමුල තනිවේ....ඇතැම් විට ඈ යේසු පුතුට කුස දුන් මහා මරියා වන්නටද පුලුවන... "Mary did you know" නම් ගීයට චිත්‍රපටයකින් උපුටා අලවන ලද එක් දර්ශනයක යේසුස් වහන්සේ සිය මව් මරියා අතින් පැන් බොන අතරතුර කෙළිලොල් ලෙස ඇයට වතුර විදින්නා සේම, ආදිත්‍ය සිස්ටර් සෙව්වන්දිට වතුර ඉසින ගමන් "තමුසෙව දැක්කාම අම්මා දැක්කා වාගේ" යැයි කියයි....එසේ හෙයින් ඈ ඇතැම් විට මව් මරියා වන්නටද පිළිවන....

ක්‍රිස්තුලා එන්නේ ගුටි කා, අසන අයගේ නහර සීතල වන වධ වේදනා විඳ, මොර දී මැරෙන්නටය....ඒ උනත් ඒ ක්‍රිස්තුලාටම "උත්ථානයද" හිමි බව හෙරෝද්ලා, අන්නස් සහ කයාපස්ලා, සහ පිලාත් ලා අමතක කරති.... උත්ථානය ප්‍රත්‍යක්ෂය තුළ දකින දෙයක් හෙයින්, සිස්ටර් සෙව්වන්දිද ඇයගේ "චණ්ඩි ජීසස්" ගේ උත්ථානය දකියි.....ආදිත්‍ය සමග ඇය යළි කථා බස් කරයි....

උත්ථානය සමග ස්වර්ගීක සිරුරක් දරන යේසුස් ශුද්ධාත්මයේ ගින්නෙන් සිය අග්නි බව්තීස්මය ලබන්නට සහ ඉන් මතු සිය වචනය රැගෙන සෑම රාජ්‍යයකටම යන්නට සිය සගයන්ට අණ දී, පිළිරූ මෙහි තබා නික්ම ස්වර්ගයට යයි.... ඉන් පසුව ජෙරුසලමේ ගෘහයකදී, පෙන්තකොස්ත දිනයේ ශුද්ධාත්මයේ අග්නිය තමා වෙත වගුරුවන ලද කල්හි, අපෝස්තලික සගයන් ලෝකයේ නන් දෙසට වචනය රැගෙන යන්නා සේ සිස්ටර් සෙව්වන්දිද වචනයක් රැගෙන නික්ම යන්නට තීරණය කරයි....ඇය රැගෙන යන්නේ කුමන වචනයද, කවර පසුබිමකටද යන්නට නිශ්චයක් කථාව නොදෙයි....

පටවන ලද යුද්දයක් සහ එහි මිශ්‍රිත මර්ධනය දරුණු ලෙස පැවති යුගයක ශ්‍රී ලංකාවේ රහසිගතව සිදුවූ සියල්ල වසන්නට පීඩිත ජනයාට එළියේ පෙන්වන ලද තිරපට ඉරා දමන්නට එන යේසුස් කෙනෙක් සමග දුවන මේ කථාව සම්පූර්ණයෙන්ම සවිස්තරව නොලියන්නේ, අවිවාදයෙන්ම සොයාගොස් කියවිය යුතු එම කථාවේ කුතුහලය අනාගතයේ එය කියවන අයගේ අභිවෘද්ධිය පිණිස ඉතිරි කර තබන අටියෙනි....

අසම්පූර්ණ ලෝකයක, අසම්පූර්ණ කම් සමග යන මිනිසුන්, අසම්පූර්ණය විශ්ලේෂණය කරමින් යහපත කරා දිවි පරදුවට තබා පනින පිම්මක් සහිත මේ කෘතියේ අකුරු යම් දිනෙක චිත්‍රපටයක් විය යුතුමය... සිස්ටර් සෙව්වන්දි දකිනු රිසියෙන් සිටිමි....

( මා විචාර ලියන්නෙකු නොවෙමි....මා සාහිත්‍යය විචාරය කරනු තබා, දන්නා සාහිත්‍යයක්ද නැත....මේ වනාහි අද සවස කියවා නිමවූ පොතක් මුදාහල කම්පනය සාමාන්‍ය මිනිසෙකුට දැනුණු ආකාරය පමණි )....

2 comments:

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...