Friday, October 25, 2019

ජීවිතය සහ ප්‍රේමය සොයා යන ගමනක් ‘‘කුමර කොබෙයි“





''ඔයාට ඇත්තටම අම්මා කෙනෙක් වෙන්න ඕනෑ නම් දැන්ම කසාද බඳින්න. ඔයාට දැන්ම කසාද බඳින්න ඕනෑ නම් ඔය පිටසක්වල පෙම්වතා අමතක කරන්න.'' නිර්මලාගේ මුවින් ඒ වචන ගලාගෙන ආවේ මී පැණි මෙන් හෙමිහිටය. ගනකම්වය."

පිටුව 01


‘‘කුමර කොබෙයි‘‘ නවකතාවේ පිටසක්වළින් මනාලයෙක් කියන පළමු පරිච්ඡේදයේ පළමු ඡේදයේ ඉඳන්මයි එය මගේ හිත්ගත්තෙ. සමහරවිට ඒක එහෙම වෙන්නෙම එය හුදෙකලා ගැහැනු ගැන කතාවක් වෙන නිසාම වෙන්නත් පුළුවන්. 

බඳින්න කෙනෙක් හොයාගන්න බැරිව හුදෙකලා වෙන එකයි, ස්වකැමැත්තෙන් ගන්න තීන්දුවක් විදියට හුදෙකලාව භාරගන්න එකයි එකක් නෙවෙයි දෙකක්. කැමැත්තෙන් තනිවෙන මිනිස්සු ඒ තනිකඩ ජීවිතේට අර්ථයක් එකතු කරන්න නොයෙකුත් උපක්‍රම අත්හදා බලනවා. වැඩ හදා ගන්නවා. වැඩ මවාගන්නවා. වයසට ගියාම තනිවෙයි කියන කාරණය බයට හේතුවක් කරගන්නෙ නැතිව මේ මොහොත සතුටින් ගතකරන්න උත්සාහ කරනවා. 

ලංකාව වගේ සම්ප්‍රදායික, ආගමික, සංස්කෘතික සීමා මායිම්වලින් වටවුණු බිමක එවැනි ජීවිතයක් සුවපහසු නැහැ. දුෂ්කර ක්‍රියාවක්. නමුත් තමන් වටා නිරන්තරයෙන් ඉන්න පවුලෙ අයගෙන්, හිත මිතුරන්ගෙන් ආදරය සහ ධෛර්යය ලැබෙනවනම් එය ජයගත නොහැකි අරගලයක් නෙවෙයි. 

ඒත් බැඳෙන්න උවමනාව තියෙද්දිත් තමන් ප්‍රාර්ථනා කරන ආදරය, බැඳීම නොලැබී යාම නම් ඛේදවාචකයක් තමයි. කුමර කොබෙයි ප්‍රමුඛ චරිතය වෙලා අපට කතාව කියන ඉන්දිකා අන්න එවැනි ඛේදනීය ගොහොරුවක ගිලිලා තියෙන තමන්ගේ ස්ත්‍රී අධ්‍යාත්මය ගොඩගන්න වෙර දරන ගැහැනියක්. ජීවිතයේ බොහෝ හැලහැප්පීම් මැද ඇය වෙතින් ප්‍රේමය දුරස් වෙලා. විවාහය දුරස් වෙලා. මාතෘත්වය දුරස් වෙලා. ඒ ගැන හිතමින් ජීවත් වෙන නිසාම ඇයට බොහෝ අවස්ථාවල තමන්ගේ ජීවිතයත් මඟහැරෙනවා. ජීවත්වෙන්නෙ මහද්වීපයක වුණත් සමහරවිට තියෙන්නෙ කොදෙව් මානසිකත්වයක් නම් ජීවිතේ හරිහැටි විඳින්න නොහැකි වන බව තමයි ඉන්දිකාගේ ජීවිත අත්දැකීම් අපට කියන්නෙ. 

ආසියාතික ගැහැනියට තෝරාගැනීමේ අවස්ථා ලැබෙන්නෙ හරි අඩුවෙන්. ඇත්තටම එහෙම අවස්ථාවක් නැහැ කියල කියන්න පුළුවන් තරම්. කවුරුහරි පිරිමියෙකුගෙ තෝරාගැනීමක් වෙලා ලැබෙන දුක හෝ සතුට භාර අරන් ජීවත් වෙන එක තමයි ගොඩක් වෙලාවට ගැහැනුන්ට කරන්න සිද්දවෙන්නෙ. ඒකට විරුද්ධව නැගී හිටින, අරගල කරන, තමන්ගේ නිදහස සොයන් යන ගැහැනුන්ව බොහෝ අවස්ථාවල විවේචනය කරන්නෙත් ගැහැනුමයි. 

ඇමරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ ඉන්න ඉන්දිකාට හමුවන ශ්‍රී ලාංකික සමාජය වුණත් මහද්වීපයක හිටියත් කොදෙව් මානසිකත්වයෙන් බැහැර නොවූ පිරිස්. ආදරය, විවාහය ගැන ඔවුන් දරන සාම්ප්‍රදායික මතවාද ඉන්දිකා හෙම්බත් කරවීම පුදුමයක් නෙවෙයි. දියුණු රටවලට සංක්‍රමණය වුණු ශ්‍රී ලාංකිකයින් ඒ රටවලත් සිංහල ගම් හදාගෙන ජීවත් වෙනවා කියන කතාව නිතර අහන්න ලැබෙන දෙයක්. එහෙ උන්නට ඇස් තියෙන්නෙ මෙහෙ. හිත් තියෙන්නෙ මෙහෙ. බොහෝ විට එහෙටත් නැති මෙහෙටත් නැති ජීවිතයක් අසීරුවෙන් ගෙවන්න වෙන්නෙ සංක්‍රමණය වුණු මුල් පරපුරේ අයට විතරක් වෙන්න පුළුවන්. පසු පරම්පරාවන් බොහෝ විට කොදෙව් මානසිකත්වයෙන් මිදෙනවා. නව සංස්කෘතියට, සමාජයට හුරුවෙනවා. 

තනිකඩ ගැහැනියක් විදියට ඇමරිකාවේ ශ්‍රී ලාංකික මිනිසුන් අතර ගෙවෙන වෙහෙසකර දිවිය අතරතුර තමයි ඉන්දිකාට කාලිංග හමුවෙන්නෙ. ඔහු කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර අනවසරයෙන් ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෙක්. සයිබර් අවකාශයෙන් ඇයට හමුවෙන පෙම්වතා ඉන්දිකා නම් වන ස්ත්‍රී ලතාවට වෙළෙන්න ශක්තිමත් ගහක් වේවිද? නැත්නම් පිදුරු ගහක් වේවිද?

''විචිත්‍රවත් අකරතැබ්බයක් වූ කැලිෆෝනියානු ආදරය'' සොයාගෙන යන්න අන්තිමේ ඉන්දිකා තීන්දු කරනවා.

නිව්ජර්සි සිට කැනඩාවේ මොන්ට්‍රියල් යන ඉන්දිකා එහිදී ඇය හමුවන නිර්මලා සහ අරුන්දතී සමඟ කාලිංග හමුවෙන්න උතුරු ඇමරිකාව හරහා සැන් ෆ්‍රැන්සිස්කෝ යන ගමන තුළ තමයි ‘‘කුමර කොබෙයි‘‘ කතාව දිගහැරෙන්නෙ. සංචාරයට මා තුළ වන අසීමිත ඇල්මත් ‘‘කුමර කොබෙයි‘‘කෘතියට මා ඇලුම් කරන එක හේතුවක්. දින ගණනක් ගතවන මේ දීර්ඝ ගමන අතර ඔවුන් දකින, අත්විඳින සමාජය ගැන කියන කතාවත් රසවත්. එය විවිධ සංස්කෘතීන්, පරිසරයන් හරහා යන ගමනක් වීමත් කෘතියට අපූර්ව අගයක් එකතු කරනවා. 

වඩා වැදගත්ම කාරණය මේ ගමන තුළ හෙළිදරව් වන ඉන්දිකා, අරුන්දතී සහ නිර්මලාගේ ජීවන අන්දරය. තමන් මත පැටවුණු සමාජ සංස්කෘතික සීමා මායිම් වගේම, තමන් තුළම පවතින සිර කුටි බිඳ හැරගෙන ස්ත්‍රී අධ්‍යාත්මයට පිවිසිය හැකි විශාල අවකාශයක් අත්පත් කරගන්න සමස්ත ජීවිතය පුරා ඔවුන් ගත් වෙහෙස. වැටීම්, නැගිටීම්, වැළපීම්, කඳුළු මේ සියලු අතීත අත්දැකීම් බෙදාහදා ගනිමින් හුදෙකලා ගැහැනුන් ලෙස ඔවුන් යන ගමන තුළ ම එකිනෙකා ශක්තිමත් කරගන්නා ආකාරය. ජීවිතය, ආදරය බෙදා හදා ගන්නා ආකාරය. 

ශමෙල් ජයකොඩි

ශමෙල් ජයකොඩි රසවත් කතා ලතාවකින්, භාෂා රටාවකින් ආකර්ෂණීය ලෙස වියන ලද ගෙත්තමක් ‘කුමර කොබෙයි.‘ ඇය ගැහැනු අධ්‍යාත්මය සියුම්ව කියවන ගමන්ම ඇයට ජීවිතයේ යා හැකි දුර, ස්ත්‍රීත්වයේ සීමා මායිම් පුළුල් කරගැනීම ගැන ඉඟිකරන්නත් අමතක කරන්නෙ නැහැ. ඉතිහාසය සහ වර්තමානය යා කරමින් සිත් ගන්නා ලෙස සොඳුරු ලෙස සැරිසර සටහන් තබන්නත් ඇය සමත්. ඉන්දිකා, අරුන්දතී, නිර්මලා, කාලිංග වගේම කෙටි හමුවීම් ලෙස අපට මුණ ගැහෙන චරිතත් ඇය අපූරුවට නිරූපණය කරනවා. 

කොදෙව්වක් වුණත්, මහද්වීපයක් වුණත් වඩා වැදගත් වෙන්නෙ තමන් ජීවිතය දකින විදිය, ජීවිතය භාරගන්න විදිය සහ එය ජීවත් කරවන විදිය. ස්වකීය පැවැත්ම සඳහා අප නිර්මාණය කරගන්නෙ බංකරයක් ද, සිර කුටියක් ද, කොදෙව්වක් ද, විශ්වයක් ද කියන එක තීරණය වෙන්නෙ අප ජීවත් වන විදිය අනුවයි. ජීවිතය මත බලපවත්වන සමාජ, දේශපාලන, සංස්කෘතික, ආගමික බලාධිකාරයන් හොළවන්න පුළුවන් වෙන්නෙත් අප ශක්තිමත් වුණොත් පමණයි.

''මා හැමදාම සෙව්වේ මා ඉන්නා විදියෙන් භාරගන්නට කැමති මිනිසුන් පිරි ලෝකයකි. අවිවාහක මගේ මොකක් නමුත් වැරැද්දක් ඇති බව සැක නොකරන, තනිකඩව සිටීමට හේතු සොයන්නට නොපෙළඹෙන, අවසානයට මගේ මේ කැලිෆෝනියානු පෙම්වතා සැකයට බඳුන් නොකරන මිතුරු සමාගමකි. ඒ කිසිවකු නොමැතිව ජීවිතයේ මෙතෙක් කළා සේ මා සිටින නගරය සමඟ, වටපිටාව හා ගහගෙන යන රළ පෙළක් මෙන් නොසෙල්වී ඉන්නට මට හැකිය. මගේ දෑස් ඉදිරියෙන් යන එන මිනිසුන් දෙස බලාගෙන ඉන්නට මට හැකිය. මා මේ මිහිතල මත විශේෂිත අයෙකුයැයි නොසිතා සිටින්නට මට හැකිය."

- ඉන්දිකා

ඉන්දිකා, අරුන්දතී, නිර්මලා තුන්කට්ටුවේ වීර චාරිකාව සේයා රූ කිහිපයකට ගොනුකරගන්නට අදහස් කළෙමි. නවකතාවේ එන නගර, ස්ථාන, ජන ජීවිත පිළිබිඹු කරන මේ සියලු ඡායාරූප අන්තර්ජාලයෙනි. සදොස් නම් සඳහන් කරන මෙන් කාරුණිකව ඉල්ලමි. 

නිව් ජර්සි

කැනඩාවේ මොන්ට්‍රියල්


මොන්ට්‍රියල් වීදියක රතු ඉන්දියානු සංගීතය

පැරණි මෙනනයිට්ස් පවුලක් - කැනඩාව
හියුරන් විල
කැනඩා, ඇමරිකා දේශ සීමාව
අත්හැර දැමුණු ඩිට්‍රොයිට් නගරය

ඒබ්‍රහම් ලින්කන් ඉපදුණු බිම

සූරියකාන්ත මල් යායක්

ඩෙන්වර් නගරයේ දසුනක්

ඒබ්‍රහම් ලින්කන් උපන් බිම

රොකී කඳුවැටි

සැන් ෆ්‍රැන්සිස්කෝ
සැන් ෆ්‍රැන්සිස්කෝ අවන්හලක් 



4 comments:

  1. කෝ තරු අක්කේ අන්තිම පින්තුරේ ගැන මුකුත් කියලා නැහැනේ.

    කුමර කොබෙයි කියවන්න ඕනේ.දැන් කියවන්නේ "පැරිස් වළාකුල" එක කියවන කොට මට තරු අක්කාව මතක් වෙනවා.අර මිලාන් කුන්දේරා ගැන එහෙම ලියලා තියෙන එව්වා කියවන කොට."ජීවිතය අන් තැනක" බත්තලංගුඩුවේත් තිබ්බා නේ,තරු අක්කාත් ඒ ගැන ලිව්වා නේද ? ඉතින් මතක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. බත්තලංගුණ්ඩුව ගැන ලියද්දි මං ‘‘ජීවිතය අන් තැනක‘‘ ගැන ලිව්ව තමයි. මිලාන් කුන්දේරා මංජුල අයියා කැමතිම ලේඛකයෙක්නෙ.

      අන්තිම පින්තූරෙ තියෙන්නෙ සැන් ෆ්‍රැන්සිස්කෝවෙදි ආදරයෙන් ඉන්න යුවළක්

      Delete
  2. Seems like a very interesting book, thanks for letting us know. I can relate this book well to Sri Lankan diaspora in Northern America.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...