Sunday, September 6, 2020

අපේ තාත්තා සහ පැටවුන්ගේ ලොකු තාත්තා


''අද තාත්තලගෙ දවස කියල මං මුහුණුපොතින් දැක්කා. මට මගේ තාත්තව මතක් වුණා. අපිට නම් ඉතින් විශේෂ දවසක් ඕන නැහැ අම්මා තාත්තා වෙනුවෙන්... හැමදවසක්ම අපි යාළුවො වගේ හරිම ආදරෙන් ඉන්නවනෙ... ඒත් මට මේ පින්තූරෙ මතක් වුණා. තාත්තගෙ 65 වෙනි උපන්දිනය දවසෙ ගත්තෙ. මෙතන එයාගෙ ලොකුම මුණුබුරයි, පුංචිම මිණිබිරියි නෑ. අපේ අම්මයි, තාත්තයි වගේ මුණුබුරු මිණිබිරියන්ට ආදරය කරන, ඒ අය වෙනුවෙන් කැපවෙන වෙහෙසන දෙමව්පියන් මං දැක්කෙ හරි අඩුවෙන්... තාත්තගෙ හිනා මූණ මතක් කරගෙන මම මේ සටහන දිගට ලියාගෙන ගියා..."

එනවා කී දවසට මං

නොයා කොහෙවත් ඈත

දැන් කොයි හරියෙද අහ අහා

තාත්තා ඉන්නවා

මං ඇවිත් බහිනකල් බසයෙන්...

ඒ වෙද්දිත් ගමන් දෙක තුනක්වත්

ගිහින් ඇති එයා

මොන්ටිසෝරියට, ඉස්කෝලෙට

නංගිව ඇරලන්න බැංකුවට...

 

මේ කියන්නෙ එක දවසක් ගැන

මං ගෙදර ගිය...

 

අරගෙන මාව ටවුමෙන්

ගෙදර  ගිය ගමන්

ආයෙම වතාවක් දොස්තර ගෙදරට

බෙහෙත් අරගන්න මට

''යමුද ලොකු දුවේ ලොකු අම්මත් බලල එන්න..."

ඒ ගමන් මහ ගෙදරට අපි දෙන්නාම

මගේ ලොකු අම්මා, එයාගෙ නැන්දම්මා

දුක සැප විමසා බලා ආපහු අපි ගෙදර...

 

''ලොකු දුවේ මං යනවා ලොකු නංගිගෙ දුවගෙ

බයිසිකලේ හදන්න බඩු අරන් එන්න..."

ආයෙමත් ගමනේ...

ඒ ගිහින් ඇවිදින් වාඩි වෙලා හෙමිහිට

හැදුවා බයිසිකලේ...

කරකවා රවුමක් දෙකක් රෝදය

දැන් හරි...

 

තාත්තා තමයි අපි හැමෝගෙම විනකල් බාස්...

''කැඩුණට කමක් නෑ සයිකල්

හදන්න පුළුවන් මට

කඩාගන්නෙපා අත පය..."

කියා ඔවදන් දෙන ඉස්සර අපිට වාගෙම

දැන් අපේ දරුවන්ටත්...

 

ඔන්න දැන් වෙලාව දොළහමාරයි.

ඇමතුමක්

''තාත්තේ පුතාව අරන් එනවද ඉස්කෝලෙන්..."

දාගෙන කමීසය, මුහුණුවැස්මද, හිස් වැස්මද

තාත්තා යයි ඉස්කෝලෙ

අරන් එන්නට මල්ලිගෙ ලොකු පුතුව

ඒ තමයි අපෙ සසෙන් ගීත් හංසන...

 

''වෙලාව දෙකයි සනී... ළමයි අරන් එන්න..."

අම්මා මතක් කරයි.

තාත්තා යයි මොන්ටිසෝරි

ලොකු නංගිගේ දුව, පොඩි නංගිගේ පුතා

නිසලියි, චන්දුයි

දෙන්නාම එක වර කැන්දාන එයි ආයෙම...

 

ඇමතුමක්... ආයෙම දෙකහමාරයි වෙලාව

''තාත්තේ ඔයාට පුළුවන්ද චූටි පුතා අරන් එන්න

මොන්ටිසෝරියෙන්..."

තාත්තා යයි ආයෙම සවිරු බබා අරන් එන්න

ඒ මොන්ටිසෝරිය අපි පුංචි කාලෙත්

ගිය මොන්ටිසෝරිය

ඒ කාලෙ බයිසිකලෙන් තාත්තාමයි

අරන් ගියෙ අපිවත්...

 

වෙලාව තුනයි...

''තාත්තේ දුවව අරන් ඉස්කෝලෙන්

ඇඳුම මාරු කරවලා විදුසඳට ඇරලන්න..."

පොඩි නංගී මතක් කරයි...

මිමීට ශිෂ්‍යත්වෙ... විභාගයක් නෙවෙයි ඒ නම්

දරුවන්ගේ අභාග්ගෙ

බලන් ඉන්නත් දුකයි ඒ පොරපිටිය මැද

දරුවො හෙම්බත් වන හැටි...

 

ගිහින් ටවුමේ ඉස්කෝලෙට

ඇරලවා දුව පන්තියට

ආපහු ඇවිත් වැඩි වෙලාවක් යන්නෑ

ආය ඇමතුමක් තාත්තට...

 

''අපේ මැඩම් කතා කළේ

මං එක්කරන් එන්නම්..."

තාත්තා යයි ආයෙම නංගිව කැන්දන් එන්න

 

''පුදුමාකාර සර්විස් එකක්නෙ දෙන්නෙ ඔයා

ඉල්ලාගන්න වෙයි ගාණක් වැඩිපුර...''

සිනා සී මම කියමි

''මම මේ හැමදෙයක්ම කරන්නෙ ලොකු දුවේ

හරිම සතුටින්..."

කියා හිනැහීගෙන තාත්තා නැගී යයි ආයෙම

යතුරු පැදියට...

 

ඇත්තමත් ඒකයි...

තාත්තා හිනාවෙන් හැම වෙලාවෙම

කිරුළු දැරූ රජෙක් ගාණට...

ඒ කිරුලෙ මිණි කැට

තමයි මේ මුණුබුරු මිණිබිරි රන් කැට...


6 comments:

  1. තාත්තට සුභ පැතුම්. ෆේස්බුක් එකේ කියෙව්වා.

    ReplyDelete
  2. What a nice tribute to a father.

    ඒ සතුට හැමදාම ඒ තාත්තාට ලැබේවා. බැරි වෙලා හෝ ඒ සතුට ඒ විදිහටම නොලැබෙන දවසක අනිත් අයට ඒ බව කියන්න ශක්තියත්, අනිත් අයට එය තේරුම් ගන්න ශක්තියත් ලැබේවා. සියලුම අම්මලා, තාත්තලා, ආච්චිලා, සීයලා වෙනුවෙන් මගේ ප්‍රර්ථනාව ඒකයි.

    ReplyDelete
  3. ඔයාට තියෙන්නේ තාත්තාගේම මුහුණුවර :)

    ReplyDelete
  4. බුදු සරණයි...

    ReplyDelete
  5. අක්කත් තාත්තා වගේ,

    තාත්තාට නිදුක් නිරෝගී සුව

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...