පිටු

Thursday, February 23, 2023

එක් වරක් දෑත දිගුකර කැඳවනු හැකිද මා එහි...



මේ තණ තිල්ල
ඒ එදා ඔබ පයට පෑගුණු
තණ පලසම ද?
තෘණ පතින් පත දැවටී
සිලිලන පිනි කැටිති
ඔබේ ළය පෑරී ගලා ආ
කඳුළක හැඩය ගති...

තුරු අගිසි මත ඉසිඹුලන
රූරා හැලෙන සඳ වතුර
ළදළු පත් සසලවා
සුසුම් ලන නළ රැළි
එදත් මේ ලෙසම සසැළුණිද,
ජීවිතය අයදින සරින්,

වැව් දිය සරැළි බිඳි බිඳී
නගනා මුණු මුණුව
ඒ එදා මැදියමේ
‘දිය කර හරිමි ජීවිතය මී විතක‘
ඔබ පැවසූ වදන්
නිහඬව අසා උන්නෙද?

ඒ එදා ඔබ අද කොහිද?
ඒ එදා මමම ද අද මෙතැන
ඔබ ද නැත
මම ද ඒ එදා උන් මා නොවේ

කාලය ඉක්ම යයි
වේදනාවේ ගං දියෙහි එති එතී
රළු රළ සුලි සමඟ හැපි හැපී
යනු මිස එනු නැති
සන්තුෂ්ටියේ සේයා
අන්ධ අඳුරට මුහු වෙවී

කියන්න මට,
ජීවිතේ දුර්ග කඳු වැටියෙන් ඔබ
මරණයේ මිටියාවත කෙලෙසින්ද
සෙවූ සැනසුම් හමුවිණි ද?
මී විතක් තරමින්ම ඉමිහිරි
මත් බවේ මායාවක්ද එය?

එක් වරක් දෑත දිගු කර
කැඳවනු හැකිද මා එහි
සුළු ඉඩක් වෙන් කර
දිය හැකි නම් පමණක්
ඔබ අසල...

7 comments:

  1. 73 පිටුවේ කවියේ එක්කෙනාගෙන්ද මේ අහන්නේ? 😍

    ReplyDelete
  2. සැනසීම සොයා යන
    නිමක් නැති දිගු ගමන්
    මඟක පොඩි ඉසිඹුවක්
    ලැබේවා සෙනෙහසෙන්

    ReplyDelete
  3. ආසාවෙන් රස විඳිනවා . ආයෙමත් ලියන්න .

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...