පිටු

Friday, February 8, 2013

ගජමන් නෝනගේ ආදර තරවටුව





ගජමන් නෝනා....
ලැජ්ජා නැතිකමක හැටි
දන් දීල ජීවිතෙන් හරි අඩක් කවියකට
තාමත් ලියනවා කවි...
කවි කතරක අතරමං වෙන්නට
පෙරුම් පුරනා හැටි....

කිවිඳිය...
මක් කරන්නද නෝනේ
තවත් ටික කාලයයි ඉතිරි මේ ජීවිතේ
ඇමිණෙන්නෙ නැතිවාම කවියක් හදවතේ
අමුණන‍න්නෙ නැතිදාට කවියක් හදවතේ
හැඳි නොගෑ කිරි හොද්ද වාගෙමයි ජීවිතේ.....

ගජමන් නෝනා....
සංසාරෙම දුක කැටි කරන් එක මිටට
නිදි නැති රැයම සුසුමින් පිරෙව්වත්
තාමත් ලැජ්ජ නැති හැටි
කවි මල් පිපෙනකල් ඇඟිලිම ගණිනවා....

කිවිඳිය...
කඳුලක් උණත් කවියක රැඳුණාම
සුසුමක් උණත් කවියට පණ ගේන
සොඳුරුයිද කොයි තරම් සඳ සේම
දන්නව නේද ඔබත් මං වාගෙම
ඉතින් ඇයි නෝක්කඩු මේ හැටිම....

ගජමන් නෝනා....
ලියනා කවි තරම් සොඳුරු නැති බව
කවි මවන හදවත් දැන දැනම
සමනළ කතා ගෙතුවත් විසිතුරුව
දෙබර තුඩ අග විස දලම බව දැන දැන
තාමත් සක්මනේ සොය සොයා කවි හිතක්....

කිවිඳිය...
ඇලපාත මුදලිවත් දණ ගැස්වූ කවි හිත
නොදන්නා හැටි තමයි පුදුමය
දෙබර විස දලක උණත් මලක් පුබුදන්නට
කවියකට ඇති උරුමය.....
ඉතින් මං තවත් බය නෑ කවියන්ට....

ගජමන් නෝනා....
දෙමට පොතු කාල කට හම ගියාට
කිව්වාම නොවෙයි මේ කාරණා
පැටිවියේ ඉඳලාම ලියලත් කවි
හිර කර ගන්න බැරි වුණ හැටි
අල්ලාගෙන කවියෙක් හිත් කූඩුවේ...

කිවිඳිය...
කවි ආත්මයත් හරියට කුරුල්ලෙක් වගේ
ඉගිලී යාම තමයි කවියක ඉපදීම
ඉතින් මං මොන හිතකින්
අල්ලා හිර කර ගන්නද කවියෙක්ව
පාළුවට ගියත් හිත් කූඩුව..‍

බලා ඉන්නට හැකියි මට කල්පයක් උණත්
කවි පද ගොත ගොතා
සැරිසරන විට මගේ කවි පෙම
හිස් අහස පුරාවට කවි මල් විසුරුවා.....

තරහ අවසර ගන්ට කාරි නෑ
දන්නවා කවි හිත ඇවිළෙන බැව්
මා ගැනත්...
ඒත් මක් කරන්නද
මේ තමයි කවි හිතක උරුමය....

ගජමන් නෝනට කේන්ති ගිහින් මා එක්ක ඈ යන්න ගියා... 


Wednesday, February 6, 2013

තල් අරණට නෑ ගමනක් ( 02 )




මාරවිලින් ළ.ක්‍රි.වී. වෑන් රථයට ගොඩ උණාට පස්සෙ සිංහල දෙමළ පාඩම පටන් ගත්තා. මුලින්ම අපි ළ.ක්‍රි.වී. ගීය, අනුශාසක ගීය, ගිනිමැල ගීය ඇතුළු තවත් ගී කිහිපයක් දමිළ බසින් ගායනා කරන්න පුහුණු උණා. හැමදාම ඔහොම තමයි ආරම්භයේ තියෙන උනන්දුව දමිළ වැඩසටහනක් නිමා වෙලා ආවට පස්සෙ හෙමිහිට වියැකිලා යනවා.

ළ.ක්‍රි.වී. කාර්යාලයේ වැඩ කරන සබී නංගි දමිළ. ඉතින් උතුරුකරේ සොයුරු සොයුරියන් එක්ක කතාබස් කරන්න මගේ සිංහල සිතුවිලි දමිල බසට හරවා ගන්න මා ඇගේ උදව් ලබා ගත්තා.

උතුරුකරෙන් සහතිකයක්...

'' අක්කට දෙමළ දන්නෙ නැති උණාට අක්ක ගැන හොද සහතිකයක් එහෙ ළමයි ළග තියෙනවා.. '' සබී නංගි කිව්වෙ මා දෙමළ ඉගෙනගන්න දරණ උත්සාහය අතරතුර. මට දැණුනෙ කුතුහලයක්...

'' ඒ කොහොමද?''

'' ගිය අවුරුද්දෙ කුසලතා ඇගයීම්වලට යාපනේ ළමයි ආව වෙලාවෙ.. ඔයා අතින් ඇහුවලු බඩගිනිද කියල. කෑම කන්න එක්ක ගියාලු...'' සබී කිව්වෙ කෑම කන්න කතා කළ ආකාරය රඟ දක්වමින්..

ම්ම්ම්ම්.... මට මතකයි.

ජාතික කුසලතා ඇගයීම්වලට යාපනේ ළමයි ‍ආවෙ කළින් දවසෙ. නේවාසික පහසුකම් සලසල තිබුණෙ ආඬිඅම්බලම සමාජ හා සාමයික කේන්ද්‍රයෙ. එයාලව පිළිඅරන් නේවාසික පහසුකම් පෙන්වල දීලා කෑම කන්න එක්ක ගියා මට මතකයි. ඒ පිළිගැනීම මතක සටහනක් වෙලා ඔවුන්ගේ හිත්වල රැඳී තිබීම සතුටක් ‍වගේම පුදුමයක්.

යාපනේ අනුශාසක පුහුණුව ආරම්භ කළේ සෙනසුරාදා උදෑසන. ළ.ක්‍රි.වී. කොඩිය සහ ජාතික කොඩිය ගුව‍නේ ලෙළ දුන්නා. උතුරුකරේදි තව දුරටත් ළ.ක්‍රි.වී. නෙවෙයි. සිරුවර් සේපාට්ට වීරර්ගල්. ( සි.සේ.වී. ) අපි ළ.ක්‍රි.වී. ගීතය දමිල බසින් ගායනා කළා.

'' එයාල අපේ ජාතික ගීය කියන්නෙ නැහැ.'' සබී නංගි කණට කරල කිව්වා... ජාතික ගී වාදයක් පසුගිය සමයේ පැවති බව මට මතක් උණා. ජාතික කොඩිය උණත් වැඩි වෙලා ගුවනේ රැඳුණෙ නැහැ. දිවා ආහාරයෙන් පස්සෙ ජාතික කොඩිය ලණු පොටකින් ඉහිල් වෙලා පාත් වෙලා තිබුණා. සරදම් සිනා කවට කතා සමග ජාතික කොඩිය හකුලා අරන් තැබුවා කොලු නඩයේ කිහිප දෙනෙක් විසින්.  සිංහයා සමග පැවති අමනාපය පැහැදිලිවම පිළිබිඹු වූ අවස්ථාවක් උණා එය.

සමාරම්භක උත්සව අවස්ථාව සරසල තිබුණ මේ විදියට... ‍



පුහුණුව සාර්ථකව සිදු වූ බවයි මට හැගුණෙ. භාෂාව නොදන්නවා උනත් අභිරූපණ රංගනයන්ගෙන්, ගීතවලින්, විරාම අභ්‍යාසයන්ගෙන් පුහුණුවට උපරිම දායකත්වයක් දෙන්න අපට හැකි උණා... භාෂාව නොදන්නා අපේ නාට්‍යමය ජවනිකාවකින් පස්සෙ දමිල සොයුරු ‍සොයුරියන් ඔවුන්ගේ අදහස් පළ කළා. පියතුමා, සබී නංගි එය දමිල බසින් පැහැදිලි කළා. කණ්ඩායම් සාකච්ඡා පැවතුණා. හවස් යාමයේ සෙල්ලම් කරන්න භාෂාව කොහෙත්ම බාධාවක් උණේ නැහැ. රාත්‍රි කාලයේ පැවති ආදර්ශ ගිනිමැලය දස්කම් එළිදක්වන්නත්, සතුට බෙදා ගන්නත් කදිම අවස්ථාවක් උණා. 



වඩාත්ම හිතේ රැඳුණේ පුහුණුව අතරතුර කාලයේ ගොඩනැගුණ අපූරු මිත්‍ර සම්බන්ධතා.. ‍යාපනේ සිට පණ්ඩිත්තිරිප්පු දක්වා බස් රථයෙන් ආ ගමනෙදි ලක්ෂණා සහ  රොක්සි හිත ළග නැවතුණ තරම කොතරම් දැයි ඔවුන්ගේ නළලත තැබූ තිලකයන් මගේ නළලත හැඩ කිරීමෙන්ම පැහැදිලි උණා... ලක්ෂණා වරක් ඇගේ නළලේ තිලකය මගේ නළලත තියා හිනැහුණු අපුරුව නොමැකෙන සිත්තමක් වගේ මගේ හිතේ ඇඳිල තියෙනවා....

'' යාපනේ මිනිස්සු යුද්දෙන් කෙළින්ම බැට කෑවෙ නෑ. ඒත් බලන්න අපේ ළමයි දිහා. කෙසග සරීර. තාමත් මේ ළමයි යුද්දෙ ඉවර උන තැනමයි. '' නෙදන්කර්නි ඇතුළ් ගම්මානවල සිට ළමුන් රැගෙන ආ පැවිදි සොයුරිය පැවසුවා.

සෙල්ලම් කරල ඉවර වෙලා පිරිසිදුවීම් කටයුතුවලට ඉඩ දීල මිදුලේ සිමෙන්ති බැම්මක වාඩි වෙලා කතා බහේ උන්නු අතරෙයි සිස්ට එයාගෙ අත්දැකීම් බෙදා ගත්තෙ. උතුර නැගෙනහිර සංවර්ධනය යුද්දයෙන් පීඩාවට පත් වුණ දමිල ජනතාවට සහනයක් අරන් ඇවිත් තියෙනවනම් ඒ ඉතාමත් අල්ප වු සහනයක්. පාරවල් කොන්ක්‍රීට් කරන තරම් ලේසියෙන් හිත්වල තුවාල වහල කොන්ක්‍රීට් කරන්නවත් කාපට් කරන්නවත් බැහැනෙ.

මේ ඇත්ත දකුණේ ජනයා අතර බෙදා ගන්න මාධ්‍ය දක්වන්නෙත් අල්ප උනන්දුවක්... රාවය, කිතුසර පුවත්පත් මේ ගැන ඉඳ හිට හෝ ඍජුවම කතා කළත් බොහෝ මාධ්‍යයන්ට දැන් සාමකාමී සමෘද්ධිමත් රටක කතා කරන්න තරම් ගැටලුවක් උතුරුකරේ නැහැ.

ඒ 09 පාර දිගේ යාපනේ ගිහින් එන අපට යුද්දයේ දරුණු ප්‍රතිඵල පේන්නෙ නැහැ ඇත්තටම. ඒ 09 න් පාරෙන් එහා ඈත ගම්දනව්වල, කැලෑවල ජීවිතේට ළං වෙන්නට මොහොතක හරි ඉඩක් ලැබෙනවනම්
ඒ හිත් සුවපත් කරන්න බොහෝ දේ කළ යුතුබව දැනේවි.. හැගේවි...

සුවිශේෂ කවටයෙක්...

සුවිශේෂ චරිතයක් මේ පුහුණු කාලය අතරතුර මගෙ හිතේ රැඳුණා. අවුරුදු 22 ක පමණ තරුණයෙක්. කවට අන්දරේ කෙනෙක් වගේ නිතරම පෙනී සිටින්නට උත්සාහ ගත්තත් ගැඹුරටම පෑරුණු හිතක, සඟවා ගත් අප්‍රසාදයක, තරහක සේයා මට ඔහු තුළින් පෙණුනා. ජාතික ‍කොඩිය ගළවා දමන්න පෙරමුණ ගත්තෙත් ඔහු.

''ඔයා විහිළුකාරයෙක් වගේ හිටියට ගැඹුරට හිතන කොල්ලෙක්.'' මම ඉංග්‍රීසියෙන් කිව්වා.

'' නෑ මිස්... නෑ මිස්... මම විහිළුකාරයෙක්ම විතරයි. විහිළුවක්ම විතරයි. '' සිනාවක් නැති වියළි බැල්මක් දෙනෙතේ රදවාගෙන ඔහු කිව්වෙ උස් හඬකින් ඉංග්‍රීසි බසින්. මගේ හිත ගැස්සුණා ඇත්තටම. ඒ හ‍ෙඬ් තිබුණේ කේන්තියක්ද? ද්වේෂයක්ද? පහදවා ගැනීම අසීරුයි.

ගිනිමැලයෙන් පසුව දින නිමාවේ පැතුම කළේ ඔහු. ඉතාම හැගීම්බරව. සත්තකින්ම ඔහු විහිළුකාරයෙක් නෙවෙයි. ජීවිතේ ගැන ගැඹුරින් හිතන කොල්ලෙක්.

හදවතේ ගැඹුරු තුවාල හංගාගන්නට ඔහු කවටයෙක් ‍වගේ පෙනී ඉන්නවා වන්නට ඇති.  

ජැෆ්නා ''කූල්''

ඉරිදා දිවා ආහාරයෙන් පසුව පුහුණුව නිම උණා. අනුශාසක පුහුණුවේ සංවිධාන කටයුතු කළ යාපනේ පියතුමාගේ ඥාති නිවසක ''කූල්'' බොන්න එන්න යැයි අපට විශේෂ ඇරයුමක් ලැබුණා. කූල් කිව්වම සීතල පානයක සුවය විඳින අපේක්ෂාවෙන් අපි එහි ගියේ. නමුත් ඒ යාපනයටම විශේෂ වූ සූපයක්. ඉස්සො, දැල්ලො, කකුළුවො, මාළු, මඤ්ඤොක්කා, බෝංචි වගේ දේවල් සුප් බඳුනට මුසු වෙලා තිබුණා. විශාල කල්දේරමක හදල තිබුණෙ. පවුලෙ හැමෝම එකතු වෙන විශේෂ අවස්ථාවකදිලු මේ සුප් පානය සකසන්නෙ. 



''කන්න... බොන්න...'' කියාපු සුප් පානය. නිවසේ සියල්ලන් අප පිළිගත්තේ සංග්‍රහ සත්කාර කළේ මහත් ආදරයෙන්. සුප් පානය තරම්ම සිත් ගත්තා ඔවුන්ගේ ආදරය...

රියෝ අයිස්ක්‍රීම්



''යාපනේ ඇවිත් රියෝ අයිස්ක්‍රීම් නොකා ගියොත් වැඩක් නෑ'' රියෝ අයිස්ක්‍රීම් ගැන අපව දැනුවත් කළේ යාපනේ පියතුමා. නල්ලුර් කෝවිල ළග රියෝ අයිස්ක්‍රීම් හලට ගොඩ වෙලා අයිස්ක්‍රීම් එකක් රස විඳින්නත් අප අමතක කළේ නෑ.

පුන් සඳ එළියේ දිළුණු අපුරු කලාකෘතිය

ගිය වැඩේ කළා මිස අපට යාප‍නේ ඇවිදින්න, නරඹන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. ආපසු ගමනේ අලිමංකඩ ස්මාරකය ළගට එද්දි රෑ 8 යි. පාළොස්වක පෝය ආසන්නයේ නිසා පුරහඳ අහසේ සිංහාසනාරෑඪ වෙලා. ඒ සඳ එළියේ අලිංමංකඩ ස්මාරකය බැබළුණා අපූරු කලා කෘතියක් වගේ. හැමතැනම ස්මාරක හැදීම ගැන මගෙ හිතේ වැඩි මනාපයක් නැති උණත් මේ මොහොතෙදි පුර හඳ පසුබිම් කර ගත් ස්මාරකය හිතේ ඇන්දෙ අපූරු සිත්තමක්... 



ඉන්පස්සෙ පුර හඳ අපිත් එක්කම ආවා. ඕමන්තෙයි මුරපොළට එනකල්ම අපි සඳ ගැන කියැවෙන සින්දු කිව්වා... 


කැසුරිනා වෙරළ තීරය
සිංහල, දමිළ, මුස්ලිම් භේදයකින් තොරව සයුරු රළ සමග බොහෝ දෙනා සතුටින් එකමුතු වෙන සුන්දර වෙරළ තීරයක්..


Thursday, January 31, 2013

ඈ මට කතා කළා...



අද 2013 ජනවාරි මාසෙ අන්තිම දවස... මධ්‍යහනයේ නාඳුනන අංකයකින් ඇමතුමක්..

‘‘ අක්කා නාන් කවීතා ”

‘‘ ඕ ගෝඩ් කවීතා ” ........... ! මගේ හිතේ හිනා මලක්. 

ඈ ඔබට මතක ඇති ජීවිතේ සුන්දරද මෙතරම්  ලිපියේ 2013.01.20 දාතමින් ලියැවුණු දින සටහනේ කතා නායිකාව ඇය..

ඥාති විවාහ මංගල්‍යයේ දෙවෙනි දවස යෙදී තිබුණේ 24 රෑ. මා වැඩ නිමවී යන විට රාත්‍රියත් උදා වී ගෙන. මා දුටු මතින්ම කවීතාගේ මූණ පුරා  පාළොස්වක සඳ පිපුණා. දුව විත් දෝතින්ම මා අත ගත්තෙ කිරිල්ලියක් වගේ. නිතරම මා ගැන විමසූ බවයි මගේ නැගණියද පැවසුවේ. ආදරණීය සොයුරියක් විදියට මා ඇගේ සිතේ රැඳී සිටින්නට ඇති. එය මට අපරිමිත සතුටක්. එක් හිතක හෝ සැබෑ ආදරයක්, සංහිඳියාවක් ගොඩ නැගෙනු දැක්ම මට සැනසුමක්....

රාත්‍රී සාදය පුරාම ඈ උන්නෙ මා අසල දැවටි.. දැවටි.. මා ඇය මගේ පවුලේ අයට හඳුන්වා දුන්නෙ මගේම යෙහෙළියක් ගාණට. පසුදා පාන්දරින්ම යාපනේ ගමනට පිටත් වූ නිසා මට ඇයට සමුදෙන්නටවත් නොහැකි උණා... ආපසු යන්නට පෙර ඈ නංගීගෙන් මගේ දුරකථන අංකය ඉල්ලාගෙන තිබුණා.

ඉතින් අද මා ඇමතුවේ ඇයයි මගේ මතකයෙන් ගිලිහී යමින් සිටියදී...

‘‘ කවීතා............ එප්පඩි සුහම් තංගච්චී ”

‘‘ නල්ලම් අක්කා...” තේරුණේ එපමණයි. තවත් දිග හෑල්ලක්.. අණ්ඩර දෙමළ වගේ... මම කමල් සොයා ගෙන දිව්වා. ඔහු දමිළ යාපනේ වැසියෙක්. වැඩ කරන්නෙ අපිත් එක්ක කොළඹ. සිංහල දමිල භාෂා දෙකම මැනවින් හසුරුවනවා...

ඔන්න දැන් භාෂා පරිවර්තක කමල්.

‘‘ අක්කා... ඇන්ටිගෙ පෝන් එක නැති උණා.. එයාට කෝල් එකක් ආවා. මමයි ෆෝන් එක ගෙනිහින් දුන්නෙ. එයා ළිඳ ළඟ ඉඳන් කතා කළේ. ළිඳ ළඟ තියන්න ඇති. වඳුරො ගෙනිච්චද දන්නෙ නෑ. ළිඳට වැටුණද දන්නෙ නෑ. මම හොරකම් කළා කියල හිතල මට ගැහුවා. මාව ගෙදරින් යැව්වා.. ”

ඈ කී දිගු කතාව කමල් මට සාරාංශ කළේ එලෙසින්.

“ දැන් ඔයා කොහෙද ඉන්නෙ. ” මගේ සිංහල ප්‍රශ්නය කමල් දෙමළ බසට හරවනවා.

‘‘ පුංකුඩතිව්... මේ අම්මගෙ ෆෝන් එක. අක්කා ඕන වෙලාවක කතා කරන්න. මම හොරකම් කළේ නෑ අක්කා. ”

කමල් සහ කවීතා අතර සංවාදය අතරතුර මගේ හිත දැවෙනවා.. ඈ අහිංසක කෙල්ලක්. කෙසේවත් මෙවන් වරදක් සිදු විය නොහැකි යැයි මට විශ්වාසයි.  ඇය ඇන්ටී ලෙස හඳුන්වන්නේ මගේ ඥාති නැන්දණියවයි. ඈ සිංහල. ඇගේ ස්වාමියා දමිළ. ඔවුන් වව්නියාවේ වාසයට ගියේ එබැවින්. ෆෝන් එකක් නිසා අහිංසක පුංචි කෙල්ලව තලා පෙළන්නට තරම් ඈ දරුණු වේවිද?

කිසිවක් සිතා ගත නොහැකිය. 

නමුත් ඈ මට කතා කළා ඇගේ දුක කියන්නට. මගේ දෙනෙත් තෙත් වන්නේ ඒ ආදරය, ගෞරවය සහ විශ්වාසය නිසයි.

‘‘ අක්කා.. සී යූ.. බායි... ” මට වැටහෙන බසින් ඈ මට සමු දුන්නා.

‘‘ දෙවි පිහිටයි. සතුටින් ඉන්න නංගී. මම ඔයාට කතා කරන්නම් ” මගේ සිංහල සිතුවිලි කමල්ගේ පිහිටෙන් දමිල බසට හරවාගෙන මම ද ඇයට සුබ පැතුවා.  

නමුත් මහා හිස්තැනක් හිතේ ඉතිරි වුණා වගේ මට දැණුනා..

හිතේ හැටියට ඇගේ දුකට සවන් දෙන්නට, ඇගේ හිත හදන්නට නොහැකි උණේ භාෂා ප්‍රශ්නය හරස් වූ නිසා. ඒ ළතැවිල්ල තාමත් හිත පුරා..