පිටු

Friday, May 9, 2014

ඉපැරණි පෙමක සුහද හමුව

 

Add caption
   
ගම ද කඳවුර ද
අතර මැද
කොටුව දුම්රිය නැවතුම
ඒ අවන්හල ද
මේසය ද
තවම ඔබට ත්
මතක ඇති සැටි
පුදුම ය....
 
ඇස් අගින් ගල්ද්දි මන්දහාසය 
සත්තකින් තිගැස්සී බිඳෙයි ළය
හිත් අගින් මිදෙද්දි මිත්‍ර ස්නේහය
සුස්මකින් නිවෙයි හද සන්තානය..
 
සර්වකාලත්‍ර ප්‍රේමයක 
සුවඳට ලොබ පිරූ අතීතෙක
උදුරාගෙන මවෙතින්
ඔබ ම සඟවා ලූ
මගෙ සිනා පිරි හද
සොයා
දෝතින් රැගෙන එන්නට
අදත් ඔබට
අමතකව ඇති හැඩ ය...
 
නෙස්කැෆේ සුවඳ මැද තනිවෙමි
බත් කටක සෙනෙහ සිත රඳවමි
නෝක්කඩු වදන් සඟවා ගමි
ආයෙ එන දිනක් ගැන නොඅසමී...
 
පිවිතුරුය පළමු පෙම
තනිකඩ ය තවම මම
කියා නොකියාම සමුගෙන
යන්නෙද අදත් පෙර සේම.... 
 
2014.05.08
 
 
 

Monday, May 5, 2014

ස්නේහයක් කියන්නෙම



ඉරි තැළුණු පොළවකට
ඇද හැලෙන වැස්සකට
නම් ගම් කුමකට ද.....

හදවතම තබා උකසට 
බේර ගන්නත් බැරි කොට
සින්න වෙන්නෙත් නැති කොට
සදාතන හිමිකම්
ඉල්ලතැයි සිතුණෙද? 

ඉතින් ඔය
දසපණත ගෙන යන්න..
සුරදූත ගීයකට කන්දෙන්න...
මට හැකිය
මගෙ සිහින රැක ගන්න...

ස්නේහයක් කියන්නෙම
ස්වර්ගීය සිහිනයක්... 
සිහිනයක් කියන්නෙම
හද බිඳෙන ගීතයක්...

Friday, May 2, 2014

මැයි පළමුවෙනිදා වෙනස් වෙනස් වැඩ..




රතු පාට දවසක් වුණත් මගෙ උදේ වරුවම ගෙවුණෙ වෛවර්ණ සමනල් ලෝකයක.. සමනල්ලු වගේ සුන්දර දරු පැටව් ටිකක් එක්ක... වෙන්නප්පුව දිසාවෙ ළ.ක්‍රි.වී. දරුවන්ගෙ අවුරුදු උත්සවය. සුපුරුදු විදියට අනුශාසක සොයුරු සොයුරියන්, දෙමව්පියන් එක්ව ලස්සනට, පිළිවෙලට සංවිධානය කරල... 

දරුවන්ට මාව හඳුන්වල දුන්නෙ නම් පුරුදු විදියට දිගු කාලයක් කැපවුණු ළ.ක්‍රි.වී. සේවයක් කළ තරංගි අක්කා කියලයි. ඒත් මම ම, මාව හඳුන්වල දුන්නා තරංගි නැන්දා කියල. දැන් ඉතින් පුංචි උන් ලව්ව අක්කෙ කියාගන්න හිත නැමෙන්නෙ නෑ... ඒ කාලය ගෙවිල ගිහින්.. 


ළ.ක්‍රි.වී.ත් එක්ක ගෙවුණු කාලය ගැන හිතද්දි දැනෙන්නෙ හිත පිරෙන සතුටක්... ළ.ක්‍රි.වී. දරුවෙක් විදියට... අනුශාසක අක්ක කෙනෙක් විදියට.. දැන් අනුශාසක නැන්දා කෙනෙක්... අප්පා අපි වයසට ගිහින්.. ඒත් හිත තාම ළමයෙක් වගේ වෙන්නෙ ළමයි එක්කම උන්නු නිසා වෙන්න ඇති...

ක්‍රීඩා පිටියේ කොණක ගැමි ගෙදරක් ඉදි වෙලා.. 


ඇහැල මල් පිරිවරාගත් පොල් තෙල් පහනත් ලස්සනයි. පහන් දැල්වීමෙන් අනතුරුව පිළිගැනීමේ කතා සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම කියවුණා... අපූරුයි..


ඉන්පස්සෙ මට තිබුණෙ සිංහල හින්දු අවුරුදු උත්සවය ගැනත් අවුරුදු චාරිත්‍ර ගැනත් කියාදෙන්න. සංකේතාත්මකව අවුරුදු චාරිත්‍ර ඉටු කරමින්ම ඒ සංවාදය ගොඩනැගුණා... අවුරුදු උදාවට රබන් පද වැයුණා.. රතිඤ්ඤා, අහස්කූරු පත්තු කළේ දරුවන්ගෙ හඬින්..ඒ ලස්සන ක්‍රියාකාරකමක් පුංචි අය හරි කැමති. නැකතට ලිප ගිනි දැල්වීම කළේ අම්මා කෙනෙක්.. අනිකුත් අවුරුදු චාරිත්‍ර ගැනත්, ඒවායේ වැදගත්කමත් කෙටියෙන් කියාදුන්නා. හැමදෙනාටම කෙසෙල්කොලේ කිරිබත් කන්න ලැබුණා ලුණු මිරිසුත් එක්ක... 


නිවාස තුනක් ඉදිවෙලා පිටියේ තැනින් තැන... දිනිඳු, දිනකර, දිනපති ... ඒ නිවාසවල නම්.. නම් දුන්නෙ මං... ඉතින් අවුරුදු ක්‍රීඩා හරිම උණුසුම්.. තමන්ගෙ නිවාසයේ ජයග්‍රහණය වෙනුවෙන්...

1 වසරේ ඉඳන් 11 වසර දක්වාම එකදු දරුවෙක් මග නොහැරෙන විදියට තරඟ සංවිධානය වෙලා තිබුණා. 

එක වසරේ පුංචි පැංචන්ට තිබුණු එක් තරඟයක් තමයි කූරටුවට මල් ඇමිණීම.. එක සමාන ඉරටුවලට අරලිය මල් අමුණන්නයි තිබුණෙ. බලන් ඉන්න ලස්සනයි. සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා බොහොමයක්ම පෙළ ගැහිල තිබුණා. හරි අපූරුයි.

අපේ දරුවො ඒ වගේම අනුශාසක සොයුරු සොයුරියො කොයි තරම් හැකියාවන්ගෙන් පිරිලද කියල හිතද්දි හරි සතුටුයි... 

ළ.ක්‍රි.වී. අම්මා දිගුකල් දිනේවා... 

************

සැන්දෑව.... මැයි එක ගීත ප්‍රසංගය සමග.. තම්මිට තෝමස් කුරේ කාදිනල් මධ්‍යස්ථානයෙදි... 

දන්නා අඳුනන හදවත් බොහොමයක හමුවීම නිසාම වේදිකාවේ ගී ගැයෙන්නත් පෙරම හදවත ගීතයක් වෙලා ගැයෙමින් තිබුණෙ.  

හැමදාමත් හිත නිවෙන සැනහෙන ගීතයකට නිස්කලංකෙ අරුත් පැහැදුව නාමල් අයියත් දෙගිඩියාවෙන් වගේ උන්නා.. '' මෙහෙයවන්න එන්න කිව්ව‍ට, මොනා කියන්නද හිතා ගන්න බැරුව ඉන්නෙ...'' කියල. ඒත් අවස්ථාව ආවම සුපුරුදු විදියට වචන ගලාගෙන ගියා නිදහසේ හදවත, මනස ඇද බැඳ තබා ගත හැකි විදියට.... හදවත මනස අවදි කළ හැකි විදියට...

මුලින්ම වේදිකාව මත Skitzo..

මාධවගෙ ගීත හිත් ගන්නවා... අරුතත්, හඬත්, නර්තන විලාසයත්... අමුතුයි.. ඒත් ලස්සනයි... සරලවම කියනවනම් මාධව ගයද්දි අහන් ඉන්න ආසයි... මාධව නටද්දි බලන් ඉන්න ආසයි... අමුතු ගතියක් තියෙනවා... ගීතවල අර්ථයත් හිතා බලන්න වටිනවා.

ඔබ හිනාවෙන්නෙ කොහොමද
මට කියාදෙන්න ඒ කොහොමද
අඬන්න විතරක් ඉඩ ඇති ලෝකෙක
මට කියාදෙන්න ඒ කොහොමද
මට කියාදෙන්න ඒ කොහොමද


යෞවනයේ හඬක් මතු වුණා වේදිකාවෙන්. ගීත ගැයුණා. වචන පැහැදිලි වුණා නම් මදි. අපේ පරම්පරාවට නම් කොහෙත්ම හරියන්න නැතිව ඇති... ඒත් නව යෞවනයටත් වේදිකාවක් අවශ්‍යයි තමන්ගේ සිතුම් පැතුම් කියාගන්න. ඇත්තටම ඔවුන් දක්ෂයි... ඒ දක්ෂකම් කාලයත් එක්ක ඔප මට්ටම් වේවි... බලාපොරොත්තු තබා ගනිමු. 

සිලනි තුමාරා ''දෝතට ගනිමු'' ගීතය ලස්සනට ගායනා කළා. නමුත් සුනිලා අබේසේකර තරම්ම නෙවෙයි.. ඇය සුනිලා ඈ වෙනස්... මැය සිලනි.. මේ වෙනස් ශෛලියක්... මම හිත හදා ගත්තා. සිලනිත් ගැයුමට දක්ෂයි විවාදයක් නැහැ.

දෝතට ගනිමු... සුනිලා අබේසේකර සහ සුනිල් විජේසිරිවර්ධන හඬින්  අහන්න... කොයි තරම් හෘදයාංගමද? ආදරණීය ද? 


අජිත් කුමාරසිරිගෙ කර්ණකඨෝර හඬට මුහුවෙන වචන හිත කොනිති ගහන එක වළක්වන්න අමාරුයි... හරියට වැලි කඩදාසියකින් හිත මදිනව වගේ... මේ හිත් මානව ප්‍රේමයෙන් දිස්නෙ වැටෙන්න තව කොයි තරම් නම් මදින්න වේවිද ඔබේ වැලි කඩදාසි හඬින්.... 

අජිත්ගේ ගීත ඇතුළෙන් මතු වෙන කතන්දරය හරි ගැඹුරුයි.. අපේ වටපිටාව විනිවිද දකින්න කැඩපතක් අල්ලනවා වගේ...  ගී පැදුර බ්ලොග් අඩවියේ අජිත් කුමාරසිරි .. ගයන ගීතයන්හි පද මාලා විමසා බලන්න. ආදරය, ජීවිතය, සමාජය ගැන ගැඹුරු අර්ථයක් වෙනස් විදියට අරන් එන්න ඔහු දරන මහන්සිය... මං ඒ ගීතවලට කැමතියි.. ගීතවල රළු බවට යටින් මතුවෙන සෞම්‍ය හැඟීම් ගොන්නටත් කැමතියි.

කුමාරි කුමාරගමගේ ගීත ගයන බව දැනගත්තෙ ඔන්න මෙදා තමයි... 

සමහර ගීත මඟහැරුණා සමුගන්න, සමුදෙන්න ආ ගිය අතරතුර... 

කොයි තරම් වෙනස් වැඩක් වුණත් හිත නිවෙන සැනහෙන ගී දැහැනක අතරමං වෙන තරම් ගතියක් දැණුනෙ නැහැ මට නම්.. ඒ ඉතින් අපි හුරුවෙලා තියෙන විදිය... අහන්න, විඳින්න වඩා අහන්න, හිතන්න, දකින්න, වෙනස් කරන්න ඇරයුම් කරන විදියෙ ගීත එකතුවක් මැයි එක ගීත ප්‍රසංගය... 

ගීත අහන අතරෙ මට හිතුණෙ පවතින ක්‍රමය ගැන අපේ තියෙන අමනාපය, කලකිරීම, උදහස, ශෝකය, ‍කෝපය, උපහාසය... කවියක්, ගීතයක්, චිත්‍රයක්, චිත්‍රපටයක්, නාට්‍යයක් වගේ කලා මාධ්‍යකින් හරි... ඇනුමක් බැනුමක් එක්ක කුණුහරුපයක් කියල හරි එහෙම නැත්නම් කඳුලක් සුසුමක් පිට කරල හරි අපි අපේ විරෝධය පළ කරනවා... බොහෝ විට හුදකලා සටන්... තැන් තැන්වල... 

නමුත් සමාජ ක්‍රමය පවතිනව තව තවත් අපිව පීඩාවට පත් කරමින්.. තව තවත් ශක්තිමත් වෙමින්... ඉතින් මේ හුදකලා අරගල එක් තැන් විය යුතුයි නේද යහපත් වෙනසකට... හිස රදේට කොට්ට මාරු කරනු වෙනුවට හිස රදේ නිට්ටාවට සුව කර ගන්න පුළුවන් විදියක් අපි හැමෝම එකතු වෙලා හොයන්න ඕන.. ජාති, ආගම්, පක්ෂ, පාට භේදයකින් තොරව... 

ඒත් හැමදාමත් වගේ මම තවමත් විශ්වාසය තබන්නේ ප්‍රේමය.. මෛත්‍රිය මත මිස හිංසාව, ප්‍රචණ්ඩත්වය මත නම් නෙවෙයි... ඒ වගේම මට හිතෙන දෙයක් තමයි වඩ වඩාත් මිනිසුන් අතරට ගිහින් ඔවුන් සමග හිඳිමින් සමාජ වෙනසක් වෙනුවෙන් වැඩ කරන්න පෙළ නොගැහෙන තාක් කල් කිසිම වෙනසක් සිද්ධ වෙන්නෙත් නෑ.. බරපතළ විදියට නිද්‍රාශීලී මේ සමාජය අවදි වෙන්නෙත් නෑ...

ගෙදර එද්දි රෑ අටයි... 

''මේ තරං රෑ වෙනකල් මොකද කළේ..'' 

හොඳ වෙලාවට එහෙම අහන්න කෙනෙක් නෑ...

ඉතින් ඔන්න වෙනස් විදියක මැයි පළමුවෙනිදාවක්..

Thursday, April 10, 2014

ප්‍රේමය නම් කිමැයි.. ඔබ මට කියා දුන්නෙහි ය...


ලියන්නට අවැසි ප්‍රේමය ගැන ය. ප්‍රේමයේ අපූර්වත්වය ගැන ය.

වඩාත් සිත අයදින්නේ කවියකි. නමුත් එකී ප්‍රේමයෙහි අපූර්වත්වය අකුරු අතර දවටා පද පෙළක රඳවන්නට තරම් මගේ කවි සිත පොහොසත් නැත. කෙතරම් දිළිඳු හදවතක් ද?

කෙසේ නමුත් ඒ මගේ ප්‍රේමයක් නම් නොවේ. මා එතරම් වාසනාවන්තියක ද නොවේ. නමුත් ඒ ප්‍රේමයෙහි කුළුඳුල් ඵලය මා වන බැවින් සැබවින්ම මා අවාසනාවන්තියක ද නොවේ.

ඒ මට ප්‍රාණය දුන් ප්‍රේමය ගැන ය. මගේ අම්මාගේත්, තාත්තාගේත් අපූරු ප්‍රේමය ගැන ය.

ඒ ගැමි පෙමකි. ගමෙන් උපන්, ගමේම මුල් ඇදි සොඳුරු ගම්බද පෙමකි. අම්මා ජංගි කොටයක් ඇඳ දුව ඇවිද්ද කාලයේ සිට තාත්තා එහි ආ ගිය වගකි පැවසෙන්නේ. දැන් ඔවුන්ගේ විවාහ දිවියට තිස් හත් වසකි.

පසුගිය දින කිහිපයේ තදබල ලෙස රෝගාතුරවූ අම්මා රෝහල් ගත කරන්නට සිදු විය. තාත්තා ඈ බලන්නට නොආ දිනක් නැති තරම් ය. අන්කිසිවකු ආවත් ඵලක් නැත. අම්මාගේ හිත පිරෙන්නේ තාත්තාගේ රුව දැකීමෙනි. තාත්තා නොආ දිනක අම්මා හැඬූ බව පවසන්නී ලොකු නංගී ය.

ගිලන් සයනය අසලටම පැමිණ තාත්තා වාඩි ගන්නා ඇසිල්ලෙන් අම්මා ඔහු අසලට සිය හිස ළං කරන්නී ය. ඉනික්බිති තාත්තා හිස පිරිමදින්නේ ය. සෙනෙහසිනි. සුවය පතා ඔහු සිතින් දෙවිඳුන් යදින බව අප මෙන්ම අම්මා ද දන්නී ය. ඇයට අවැසි ඒ පිරිමැදුම ය. ඒ යැදුම ය. ඒ සෙනෙහස ය.

රෝහලෙන් නිවසට කැඳවා පැමිණි දින  අම්මා මුලින්ම කළේ තාත්තාගේ උකුලේ හිස සතපවා ගැනීම ය. තාත්තා ඇගේ හිස පිරිමදිමින් උන්නේය. මොහොතකින් දෙදෙනම නිදි සුවයෙනි. උනුන් අසල නොමැතිව නින්දක් නොවන බව දෙදෙනාගෙන්ම වන පැමිණිල්ලකි.

‘‘මේ නම් පුදුම ලව් එකක්...” අපි එකිනෙකා සිනාවෙන් කියාගතිමු.



යෞවනයේ දීප්තිය දැල්වෙන ඔවුන්ගේ මංගල පින්තූරය පවා කොතරම් ස්නේහවන්තද? සුන්දරද? අම්මාගේ ශීර්ෂ පළඳනාව වේල්පට සමඟ ඉද්ද මල්දමකි. ඈ අත වූයේ වර්ණ ගන්වන ලද ඇන්තූරියම් මල් කිහිපයකි. බතක් මාළුවක් සකසන්නට පවා නොදැන සිටි අම්මා එතරම්ම සතුටින්, විශ්වාසයෙන්, ආදරයෙන් හිනැහෙන්නේ තාත්තාගේ දෑත මත තම ජීවිතයම පවරා නොවේද? ජීවිතය පුරාම තාත්තා ඒ විශ්වාසය සුරැකියා නොවේද?

පසුගිය දෙසැම්බරයේ අම්මා මුල්වරට සතියක් පමණ නිවසින් බැහැරව රෝහල්ගතව සිටි මොහොතක නිදි නැති රෑ පුරා අතීතයේ සැරිසෑරූ තාත්තා පැවසුවේ මෙබඳු කතාවකි.

‘‘මට මෙයා නැතුව නින්ද යන්නෙ නෑ... මං ඉතින් කල්පනා කළා අපේ අතීතය ගැන. ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලො කී දෙනෙක් එක්ක නම් යාළු වුණාද? ඒත් අන්තිමට මා එක්ක ඇවිත් හැම දුකකටම කර දුන්නෙ මෙයානෙ...” ඒ ස්වරයෙහි ඇත්තේ ප්‍රේමය ද? ශෝකය ද? මේ සියල්ල එක්තැන් වූ අනුපමේය කරුණාවක් ද? ඒ සියල්ලම විය හැකි ය.

ඉතා ළාබාල වයසින් විවාපත් වී දරු සිව් දෙනෙකු හදා වඩා ගත් අම්මා, පසුකලෙක මුණුබුරු මිණිබිරියන් ද රැක බලා ගත්තාය. අතීතය හාරා පාදා බලන මට, එය කිසිසේත් සුවපහසු ජීවන අරගලයක් නොවූ බව පසක් වේ. මුළුතැන්ගෙයින් එහා ජීවිතයක් නොදුටු ඇය දැරූ ජීවන බරෙන් අංශුවක්වත් දරන්නට මට නම් හැකියාවක් නැතැයි සිතේ.

ඔවුන් අතර හැලහැප්පීම් නොතිබුණා ද නොවේ. නමුත් මැදි විය ඉක්මවා ජීවන වන්දනාවේ මෙතෙක් ආ ගමන තුළ දැන් උනුන් අතර ඉතිරිව ඇත්තේ අප්‍රමාණ ස්නේහයක් සහ අන්‍යෝන්‍ය අවබෝධයක් බව බැලු බැල්මට වුව ද පැහැදිලිය. එය හිත නිවා සනහන ප්‍රේමයකි. කල්ඉකුත් වත්ම ප්‍රේමය පිළුණු වන්නේ යැයි කිව හැක්කේ කාට ද? සැබෑ ප්‍රේමයක් නම් එය නිවී සැනහී, මුනිවර සංයමයක සමාධි ගත වන්නේ නොවේද?  

බාහිර ආකර්ෂණයෙන්, අනුරාගී බැම්මෙන් බැඳෙන යුවළක් අතර විවාහ ජීවිතයේ මුල් අවදියේ පවතින ප්‍රේමය පසුකලෙක මෛත්‍රීසහගත හැඟුමක් බවට, කරුණාවක් බවට  පෙරළෙන බව සෝමා ජයකොඩිගේ නවකතාවකින් කියවූ බව මතකය. අම්මා සහ තාත්තා අතරද දැන් ඇත්තේ එබඳු මෛත්‍රී සහගත අධ්‍යාත්මික බැඳීමක් නොවන්නේ ද?

ප්‍රේමය අසිරියක් වන්නේ මෙබඳු පෙම්වතුන් ඇසුරේ ය. ප්‍රේමය නිවනක් වන්නේ මෙබඳු මව්පියන් සෙවණේ ය.

කප්පරක් දුෂ්කරතා විඳ දරා ගත් අම්මාට දූ දරු මුණුබුරු මිණිබිරියන් ඇසුරේ දැන් සැනසුම් සුසුමක් හෙළිය හැකි කාලය උදා වී ඇත. ඒ වෙනුවෙන් අවැසි එකම දෙය නිරෝගී සුවය ම මිස අන් කුමක්ද?

බාල වියේ ඔවුන් අපමණ ස්නේහයෙන් අප රැක බලා ගන්නට ඇත. දැන් ඒ භූමිකා වෙනස් ය. දැන් උදා වී ඇත්තේ අප මව්වරුන් වී මව්පියන් දරුවන් සේ රැක බලා ගන්නා කාලයයි. අම්මා ඉන්නේ ලොකු නංගීගේ සෙවණේ ය. අම්මාගේ නිරෝගී බව වෙනුවෙන් ඇය අකුරටම සියල්ල ඉටු කරන බව නිසැක ය.

‘‘මේ නර්ස් හරි වසයි.... මේ ඉස්පිරිතාලෙන් නම් දැන්ම ටිකට් කපන පාටක් නෑ... ”

අම්මා පවසන්නේ ලොකු නංගී ගැන ය. මම සිනාසෙමි. සැබවින්ම කලකට පසු සැනසිල්ලේ සිනාසෙමි.


Tuesday, April 8, 2014

මුනිවත ද ගොළු විය එසැණෙහි..



Photo By Luigi Caterino

හමුවිය ඔහු මට
අඳුරු වැහිබර සැඳෑවක
දෙව් මැදුරු දොර අබියස
ඒ දේශද්‍රෝහී මිනිසා...
පාළුකරයේ සිට 
පීඩිතයින්ට යුක්තිය ඉල්ලා
මොර ගැසූ මිනිසා...
සැප දුක කෙලෙසදැයි
විමසනු ඉතින් කුමකට
වුවනත ම ගුප්ත කවියකි 
පිලාත්තු අධිකරණයෙහි
ගෙවී ගිය විත්තිමය හෝරාවන්හි
භයංකර ශෝකාලාපය ලියැවුණ... 
ගල්ගැහුණු නිහඬතාවය පතුළ කිමිදී
අත ගා බලා සොයා පහදා හදවත
දිග හරියි ඔහු මා අබියස....
''සත්‍යය නම් මෙයයි
අතැඹුලක් සේ රුවා අත්ලෙහි
භයංකර උකුසු ඇස් විදාගෙන
ඔවුහු මා විමසූහ...
ඉදින් සැබවින්ම සත්‍ය යැයි 
මා ඇදහූ සත්‍යය
උකුසු නිය පහරට හසුව
පෑරී ඉරී වැහැරී
මියැදෙන අයුරු දුටුයෙමි
මුනිවත ද ගොළු විය එසැණෙහි..
උස් අසුන් අරා වැජඹෙන
පිලාත් උතුමෝ
සෝදා දෑත
පිසදා ධවල පිළියෙන් 
මා ඇමතූහ..

'.. පැවසිය හැකිය ඔබට
දෙවියන් ගැන
දෙවියන්ගෙ ආදරය ගැන
දේව රාජ්‍යය ගැන...
නමුත්
කිසිවිටක නොපැවසිය යුතුය
මිනිසුන් ගැන
මිනිසුන්ගෙ පීඩනය ගැන
මිනිස් රාජ්‍යය ගැන...'
අගුළු ලා මුවට
ගසා දේශද්‍රෝහී ලේබලය
ඔවුහු මා මුදා හැරියහ..''

ඉනික්බිති, සුසුමකි...

දේවදූතයන් පවා 
විපිළිසර මොහොතක
දෑසින් දෑස විමසා
හදින් හද නොවිමසා
ගොළු වීමු අපි....

ප්‍රවේසම් විය යුතු නොවෙද
දේශප්‍රේමීන් හැමතැනම...