පිටු

Wednesday, October 1, 2014

පුංචි පුතු මගේ..............


යුවනෙක පුතා හත වසරෙ. එයා පොත් කියවන්න හරිම ආසයි. ඉතින් අම්ම එයාව හැමදාමත් පොත් ප්‍රදර්ශනයට එක්කරන් යනවා. මේ වතාවෙ නම් අම්ම අත සල්ලි නෑ. ඒත් එහෙමයි කියල පුතාට පොත් අරන් නොදී ඉන්නත් අම්මට බෑ. කොහොම හරි මාසෙ වියදම ගැට ගහගන්නවා කියල හිතාගෙන අම්මා යුවනෙකවයි, එක වසරෙ ඉන්න එයාගෙ මල්ලිවයි එක්කරගෙන පොත් ප්‍රදර්ශනයට කොළඹ ගියා.

‘‘පුතාල කැමති පොත් තෝරගන්න. මේ සැරේ අම්ම අතේ වැඩිය සල්ලි නෑ හොඳද? අම්මා පුතාල දෙන්නට කිව්වා.

මල්ලි ඉක්මණින්ම පුංචි කතන්දර පොතක් තෝරගත්තා. ‘‘මං ගත්තා. මට ඇති. එයා කිව්වා.

ලොකු පුතා යුවනෙක පොත් තෝරන දිහා අම්ම බලන් උන්නෙ හරිම ආසාවෙන්. එයා පොතක් අතට ගන්නවා. කවරය දිහා හොඳින් බලනවා. පොත හරවලා පසුකවරයේ සටහන කියවනවා. පොත පෙරළලා අතරින් පතර කියවල බලනවා. ඉන්පස්සෙ මිලත් බලනවා.. පොත ගන්නවද නැද්ද කියල එයා තීරණය කරන්නෙ ඉන්පස්සෙ.

මෙහෙම පොත් තෝරමින් යද්දි යුවනෙක පුතාට  ලස්සන වසිලිස්සා හමුවුණා. ලස්සන ගණකම් කවරය, ඇතුළ පාට පාට පින්තූර. පුතාගෙ හිත ගියා ඒ පොතට. ඒත් මිල රුපියල් හයසීයක්...

‘‘මං මේ පොතේ බාගයක් කියවල තියෙනවා.. එයා අම්ම දිහා බලල කිව්වා.

‘‘කමක් නෑ පුතා කැමති නම් ඔය පොත ගන්න අම්ම කිව්වෙ පුතාගෙ දීප්තිමත් ඇස් දිහා බලමින්.

‘‘මේ පොත ඉස්කෝලෙ පුස්තකාලෙ තියෙනව අම්මෙ.. මට ඉතිරි ටිකත් ඒකෙන්ම බලන්න පුළුවන්.. එහෙම කියපු යුවනෙක ලස්සන වසිලිස්සා ආපහු පොත් රාක්කෙන් තියල මිල අඩු පොතක් වෙත හැරුණා.

‘‘එයා පරිවර්තනවලට හරිම ආසයි. රුසියන් පොත්වලට ගොඩක්ම... ඒත් ගත්ත පොත් රුපියල් දෙසීයට අඩුයි. මට පව් කියල හිතුණා. මං අතේ සල්ලි නෑ කියල දන්නවනෙ. පස්සෙ දවසක අරන් දෙන්න ඕන... අම්මා එයාගෙ යාළුවෙක් එක්ක කිව්වෙ සතුටයි, දුකයි කලවම් වෙච්ච හැඟීමෙන්...

..............

දරුවන්ගෙ හිත් තේරුම් ගන්න, ආදරය කරන, ගරු කරන වැඩිහිටියන් වගේම, වැඩිහිටියන් තේරුම් ගන්න, ආදරය කරන, ගරු කරන දරුවන් සිටින ලොවක් කොයි තරම් සුන්දර වේවිද?


අද ලෝක ළමා වැඩිහිටි දිනය....... 


Tuesday, September 30, 2014

වියුණු සාහිත්‍යය ( Blook )


‘වියුණු සාහිත්‍යය’ යන්න ආගන්තුක වචනයක් වෙන්න පුළුවන්... නමුත් Blook යන්න සිංහලෙන් හඳුන්වන්නට ඉතාම සුදුසු විදිය මෙය බවයි මගේ හැඟීම.. වියුණු සාහිත්‍යය යන්න මම යොදා ගන්නෙ බ්ලොග් ඇසුරින් මුද්‍රණය වන කෘති හඳුන්වන්නට. ඒ සඳහා සුදුසු හෝ ඔබ දන්නා වෙනත් නම් ඇත්නම් යෝජනා කරන්න කියල ඉල්ලීමක් කරන්නත් කැමතියි.

ලාංකික අපට ආගන්තුක වුණත් වියුණු සාහිත්‍යය විදෙස් සාහිත්‍යය තුළ නම් දශකයකට එහා අතීතයකට උරුමකම් කියන බව විකිපීඩියා විශ්ව කෝෂය ( Blook ) හෙලිදරව් කරනවා. එය බ්ලූක් යන්න හඳුන්වා දෙන්නෙ මෙහෙමයි.

A blook is printed book that contains or is based on content from a blog.

Blog + Book එකතුවෙන් බ්ලූක් යන්න නිර්මාණය වන්නට ඇති බව උපකල්පනය කළ හැකියි.

..........

මේ වසර තුළ සයිබරීය අවකාශය අතික්‍රමණය කර මුද්‍රිත පෙළක් බවට පත් වූ කෘති දෙකක් පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන්... එක් කෘතියක් තිලක සිත බ්ලොග් අඩවියෙහි පළ වූ තෝරා ගත් ලිපි එක් කොට තිලකසිරි ඒකනායක සොයුරා විසින් පළ කළ ‘තිලක සිත’ පොත... 


‘‘ජීවිතය කතන්දර ලෙස” එහි තේමාවයි. 


වෙනත් කිසිදු මුද්‍රිත මාධ්‍යයක පළ නොවී ඍජුවම බ්ලොග් අඩවියටත් ඉන්අනතුරුව මුද්‍රිත මාධ්‍යයටත් පැමිණි කෘතිය යන අර්ථයෙන් ගත් විට තිලකසිත ලාංකීය වියුණු සාහිත්‍යෙයේ මුල්ම මුද්‍රිත ප්‍රයත්නය වෙන්නත් පුළුවන්. ( මේ පිළිබඳව ඔබ දන්නා තොරතුරු ඇත්නම් සඳහන් කරන්න. )

බෝධිනී ආර් සමරතුංග සොයුරිය අනිත් කොන බ්ලොග් අඩවියේ තෝරා ගත් ලිපි එක් කොට ‘අනිත් කොන’ කෘතිය එළිදැක්වුවා. 

''A Doctor's Heart Suthra'' ඒ ඇගේ තේමාව. 


කෘතියේ නම සමඟම තේමාවක් බද්ධ වී තිබීම වියුණු සාහිත්‍යයේ අනන්‍ය ලක්ෂණයක් ලෙස ඉදිරියට යන්නත් ඉඩ තියෙනවා.

වියුණු සාහිත්‍යය බ්ලොග් ලෝකයේ අලුත් ප්‍රවණතාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඇත්තටම එය සාධනීය වර්ධනයක්.. මේ කෘති දෙකම අත පත් වුණාම දැණුනෙ වෙනස්ම හැඟීමක්. එය සයිබරීය අවකාශයක පළ වන ලිපියක් කියවීමෙන් ලබන්න බැරි ආනන්දනීය හැඟීමක්.

........

වියුණු සාහිත්‍ය ගමන් මගේදී අප විසින් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ගැන ලියා තැබීමයි මගේ මේ ලිපියේ මූලික අරමුණ....

තිලක සිත පොත ගැන මා ලියූ සටහනේ අවධාරණය කළ එක් අදහසක් මේ...

‘‘මේ කතා ගොන්න තවත් ඔපමට්ටම් කළ හැකි යැයි මම සිතමි. බොහෝ විට අප බ්ලොග් සටහන් පළ කරනුයේ ලියූ ‍සැනෙන්, සංස්කරණයකට හෝ නැවත කියවීමකට හෝ බඳුන් නොකරමිනි. බ්ලොග් කලාව තුළ මේ ක්ෂණික බව, ඉසියුම් නොවන බව එතරම් ගැටලුවක් නොවේ. නමුත් එකී ලිපිම මුද්‍රිත මාධ්‍යයට එන විට මීට වඩා සැලකිල්ලෙන් සංස්කරණය විය යුතු යැයි සිතමි. ”

  • බ්ලොග් අඩවියේ පළ වූ ලිපි අතරින් මුද්‍රිත කෘතියට සුදුසු ලිපි තෝරා ගැනීම සැලකිලිමත්ව සිදු කළ යුතු දෙයක්. එසේ තෝරා ගන්නා ලිපි වුණත් නැවත සංස්කරණය වීම වැදගත්. 
  • වියුණු සාහිත්‍යයේ ගුණාත්මක වර්ධනය වෙනුවෙන් බ්ලොග් ලෝකයේ අපට ලබා දිය හැකි දායකත්වයත් සුවිසල් බවයි මම හිතන්නෙ. අපි අතර ඉන්නවා සාහිත්‍ය කලා කටයුතුවල ප්‍රවීණයින්, දක්ෂයින්, නිර්ලෝභීව දායකත්වය දක්වන සොයුරු සොයුරියන්. ඉහත කෘති එළිදැක්වීම්වලදි පවා ඒ බව මනාව පැහැදිලි වුණා.
  • අපි අපිටම පුළුවන් වියුණු පොත්වල කවර හදන්න, පිටු හදන්න, සෝදුපත් කියවන්න, සංස්කරණ කටයුතුවලට දායක වෙන්න. 
  • මෑත කාලයේ මගේ අත්දැකීම් අනුව කෘතියක් සමාජගත කරන්න, අලෙවි කරගන්න යම් ශ්‍රමයක් දරන්න වෙනවා. එය ලේඛකයාට තනිව කළ හැකි කටයුත්තක් නොවෙයි. එය සාමූහික කටයුත්තක් විය යුතුයි. බ්ලොග් ලෝකයේ සහෝදරත්වයට මේ සඳහා දියහැකි දායකත්වයත් අතිවිශාලයි.  
  • පොතක් මිල දී ගන්න, කියවන්න. ඒ පොත ගැන අදහස් පළකරන්න. තම තමන්ගේ සයිබර් අවකාශය තුළ ඒ පොත් වෙනුවෙන් ඉඩක් ලබා දෙන්න අපට හැකියි. 
වියුණු 
සාහිත්‍යයේ ගුණාත්මක ඉදිරි ගමනක් වෙනුවෙන් අපේ දායකත්වය වැදගත් වේවි. තම බ්ලොග් නිර්මාණ මුද්‍රිත කෘති බවට හැරවීමේ සිහිනයෙන් සිටින සැමට සුබපැතුම් එක් කරන ගමන්ම, ‘මුද්‍රිත මාධ්‍යයට එක්වීම සුදුසු බවට හැඟෙන නිර්මාණ සහිත බ්ලොග් ලේඛක ලේඛිකාවන් දිරිමත් කරමු‘ කියන ඉල්ලීමත් ඔබ හමුවේ තබන්න කැමතියි.

( ඔබේ අදහස් සහ යෝජනා එක්කරන්න.)


Thursday, September 25, 2014

ප්‍රේමයේ දිව්‍යමය හුස්ම ගෙන ඔබ එන්න





මොහොතකට කොටුව බෝ ගහ යට හීල් හෙවණට ළං වී, ඇරයුම්පත අතට ගෙන බලමි. එහි ඇති ඔබේ කවි පද මත ඇඟිලි තුඩු තබා පිරිමැද, මිතුරු අකුරු අතර අතරමං වෙමි. ඇරයුම් කරන්නා විය යුතුව තිබියදී ඇරයුම් ලබන්නා වී හිඳීම කොතරම් වේදනාත්මකද?  එකී වේදනාව මුල් වරට හද පාරනු දැණුනේ ඇරයුම්පත අතපත් දින ය. මා අගනුවරට කැඳවූයේ ඒ හිත් සීරුම හිත් සීහුමක් කර ගැනීමේ අප්‍රමාණ උවමනාව විසින්ම නොවේද?

දූවිල්ල, දිවිල්ල, ඇවිලිල්ල, විඳවිල්ල නිරන්තර ධ්‍යානය කරගත් පිටකොටුව බෝ ගස මෛත්‍රීසහගත ළා දළු හිනාවක් ඇතිව උපේක්ෂාවෙන් බලා හිඳියි. කහ ඉර තරණය කොට දෙවරක් නොසිතාම මා ගොඩවී ඇත්තේ එකසිය විස්ස පිළියන්දල බසයකට ය.

‘‘කැම්පස් ........” කොන්දොස්තර විස්සෙ කොලය මිට මොළවාගෙන බසය කෙළවරට ඇදී යයි. නිම් නොවන සිතුවිලි කුණාටුවක පැටලී මට මා අහිමි වෙයි.

බසයෙන් බැස කොළඹ සරසවිය අසල අවතැන් වුණු මම ළය මත අත තබා හිරි වැටුණු හිත පිරිමැද ගතිමි. ජීවිතයේ එක් සමයෙක මේ බිම මත අප කොතරම් ඇවිද ගොස් ඇත්ද? පුරා වසර හතරක්ම.. ඔබ තනිව... මම තනිව..

සරසවියෙන් නික්මී කලකට පසුව ඔබ ළඟින් මම.. ඔබ සමග මම.... මගේ වම් අත දැවටි දැවටි උණුසුම් සුරතක... ඒ ඔබේ සුරත...  

..............

‘‘කැම්පස් එකේ අවුරුදු හතරක් උන්නා. ඇයි ඒ කාලෙ අපි ආදරේ නොකළෙ. අපරාදෙ නේද ඒ ගෙවුණු කාලෙ..”

සරසවියෙන් නික්මී ඔහු විකල්ප පුවත්පතකත් මා රාජ්‍ය නොවන ආයතනයකත් සේවයේ යෙදී සිටියදී නෙත් යාවී, හිත් පෑහී ස්නේහයෙන් බැඳුණු පසු අතීත මතක අවුස්සනු වස් සරසවියට ගොඩවැදුණු දිනෙක මම ඔහුගෙන් ඇසීමි.

‘‘ඇත්තම කියනවනම්, ඔයා උන්නද කියලවත් මට මතක නෑ...”

ඇසිපිය තිගැස්සිණි. ඉකිබිඳුමක් සිතේ සිරවිණි. තිත්ත ඇත්ත හිත කළඹන තරම්...

ඔහු එදවසත් සරසවියේ ජනප්‍රිය චරිතයකි. අතිවිශේෂ චරිතයකි. නිහඬව නිසලව තැන්පත්ව සිටින  නමුත් අවැසි තැන මහ හඬින් ඇවිළෙන ඔහු ශිෂ්‍ය අරගලවල ඉදිරියෙන්ම වූයේය. එනිසාම ආදිත්‍ය සරසවියේ උන් බව මට ඕනෑවටත් වඩා දැනී තිබිණි. නමුත් මා සරසවි දිවිය ගෙවා දැමූවේ මටවත් සිහිතබා ගන්නට කිසිවක් ඉතිරි කර නොගෙනම ය.ගමෙන් ගෙනා කුලෑටි නිහැඬියාව බිඳෙන්නට කොතරම් කලක් ගත වූවා ද? තවමත් මා ඒ ළඳ බොළඳ ගොඩේ කෙල්ලම නොවේදැයි විටෙක මට සිතෙයි.

...............

‘‘කෝවලන්... ඇයි මේ හැටි මාධවීලා ඔයාගෙ වටේ නිතරම..”

අසීමිතව හිත ඇදුම් කමින් තිබුණු මොහොතක එකී රිදුම සිනාවක සඟවා වචන බවට පෙරලූයේ මේ මාර ගස් සෙවණේ සිමෙන්ති බංකුවේ අප වාඩිගෙන උන් සැඳෑවක ය. හදවත දැවෙන තරම් ඉරිසියාවකින් මා පෙළූ, මා ප්‍රේමණීය අරගලකාරියක බවට හැරවූ, ඔබ වටා ගැවසුණු ස්ත්‍රී විප්‍රකාර සංයමයකින් ඉවසන්නට තරම් ඉස්පාසුවක් ඒ වන විට මා අයත් කරගෙන තිබිණි. මගේ ආදර ශබ්දකෝෂය තුළ ආදිත්‍ය නම් වූ ඔබ ‘කෝවලන්’ ලෙස අර්ථ ගැන්වුණේ ස්ත්‍රී සන්තානයන්හි ලැගුම් ගන්නට ඔබ සතු නිරුත්සාහික හැකියාව විසින් බව මට මතකය. එය මගේ අප්‍රමාණ රිදුමට හේතු වුවද, පසුව එය සුන්දර ආමන්ත්‍රණයක් දක්වා ලිහිල් වූයේ අප විසින් අප කියවාගත් රිද්මයේ අනුනාදයට ය.

ඇස් හීන් කර ඇසින් ඇස පටළා දිගු වේලාවක් නිහඬව උන් ඔබ, සෙමින් දබරැඟිල්ලෙන් කම්මුලට තට්ටුවක් දැම්මේ වචන වෙට්ටුවකට කාලය ලබා ගනිමින් බව මම දැන උනිමි. දෑසෙහි ඇඳී මැකී ගිය ඔච්චම් සිනාව තවදුරටත් මා විලිබර කළේ නැත. ඔබ මා කියවන තරමට ම, මට ද ඔබ කියවිය හැකි ලෙස ඒ වන විට අපි සන්තානගත ප්‍රේම අල්ලාප සල්ලාපයේ පරිණත ළබැඳියන්ව සිටියා නොවේද?

‘‘ මෙහෙමයි... සමහර මාධවීලා ඇස පිනවනවා.. තවත් සමහරු ගත පිනවනවා. ඒ අතරින් අල්පයක් අධ්‍යාත්මික සුවපත්භාවය අරන් එනවා. තිතටම ගැළපුණේ නැතත් අවුලක් නැතිව ඉස්සරහට යන්න පුළුවන් ගමන් සහායිකාවක් වෙනවා.... එහෙම ගෑණු හරි අඩුයි.

ඔයාට එහෙම වෙන්න පුළුවන් හැකියාව වැඩියි. මාධවීලා කප්පරක් හිටියත් මං මේ කන්නගී ළඟ නතර වුණෙත් අන්න ඒ නිසයි.”

නිශ්චිත ඉසව්වක් ගැන නිනව්වක් නැති ඈත දුරක ඔබේ දෑස අතරමං වෙයි. මුනිවත බිඳෙන්නෙ හෘද අභ්‍යන්තරයේ පැටලුණු සංවාදයක කෙළවර බව මට දැනිණි. 

‘‘ ස්ත්‍රියට ප්‍රේමය පාරමිතාවක් වෙද්දි, පිරිමියාට බලය, ආධිපත්‍යය, අරගලය වගේ කාරණා ඇතුළෙ තව එක දෙයක්, එක අවශ්‍යතාවයක් විතරයි ප්‍රේමය... පිරිිමින්ට ජීවිතේ වෙනස් අරමුණු තියෙනවා. ඒවට මුල් තැන දෙද්දි ප්‍රේමය දෙවැනි තුන්වැනි තැනට පත්වෙනවා... ඒක ආත්මාර්ථය, කුහකකම කියන්න පුළුවනි. ඇත්තටම බැලුවොත් ඒක එහෙමම නෙවෙයි... ඒ තමයි පිරිමින්ගෙ ගති ස්වභාවය. 

ඒත් සමහර වෙලාවට පිරිමියෙක්ගෙ හිතේ මුල් ඇදපු ප්‍රේමයේ ගැඹුර ගැහැණියෙකුට හිතාගන්නත් බැරි තරම්..... 

ඔයා ඒ බව තේරුම් අරන් ජීවත් වෙන්න ඕන.. එතකොට රිදෙන ප්‍රමාණය අඩුයි. රිදුණත් ඇයි රිදෙන්නෙ කියන එක ගැන දැනුවත්ව ඉන්න... ඉරිසියාකාර ගැහැණියක් වීම ඔයාගෙ අධ්‍යාත්මයට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ.‘‘

ඒ වචන සීරුවට හිත් ගැබ තැන්පත් විය. රිදුම විඳුමක් ව ශාන්තිමත් හැඟීමකින් හදවත නිවාලීය. මම හෙමිහිට ඒ පුළුල් උරතලයේ හිස රඳවා ගතිමි. 

..........

අතීතය ලිහි ලිහී විසිරෙයි. සැලි සැලී සසැලෙයි. බිඳි බිඳී ඉකිබිඳියි. 

හෘද ස්පන්දනය පවා නැවතී ඇති සෙයකි. හුස්ම හිත පත්ළෙම මිදී ඇතුවාක් මෙනි.  හීතල ම හීතල ගලකි හදවත. ගල් බෝරයකින් වුව පුපුරුවා හළ නොහැකි ඒ හදවත, ඔබේ එක් සුසුමකින් දිය කර හැරිය හැකි බව දැන උන්නේත් ඔබ ම පමණක් නොවේද?

ශාස්ත්‍ර පීඨය පසු කරමින් පාර දිග හෙමිහිට ඇවිදගෙන ආව ද ඇතුළට යාමේ සිතක් පහළ නොවිණි. 

මෙතරම්ම මට මා අහිමි වූයේ කෙසේද?




Friday, September 19, 2014

රහස් කවුළුව අබියස හෘද සංවාදය




රහස් කවුළුවෙන් එබී හිඳිමි. ඒ කෞශල්‍ය කුමාරසිංහ ගේ ඇරයුමට ය. කොතරම් නොහොබිනා ඇරයුමක්ද?

කෞශල්‍ය කළු ද, සුදු ද කියාවත් මා දන්නේ නැත. පොත ගන්නට හිතුණේ සමීපතමයකුගේ නිර්දේශය ඉහළ මට්ටමක තිබුණු බැවිනි.

‘‘වෙනස් වැඩ කරන එකෙක්.. පොත අරන් බලන්න.. හොඳ වේවි..” 

එකී නිර්දේශයටත්, මගේ මුදලටත් අවැඩක් නොවූ බව නම් සහතිකය. 

............

‘‘සිසිරයේ රැයක මගියකු නම්” කියවන විට අප විටෙක කතුවරයාගේ හිත අස්සේ ය. තවත් විටෙක අප ඔහුගේ ඇහිපිය යට වාඩි වී සිටින්නේ යැයි සිතෙන තරමි. විටෙක එකී කථකයා අප රූකඩයක් සේ නටවන්නේ යැයි සිතෙන නමුත්, ඉන් මිදීමේ අපහසුතාවක් ද ඇති වේ.

කෞශල්‍ය අප රහස් කවුළුව අබියසට කැඳවන්නේ ද එබඳුම දහම් ගැටයකිනි. ඉනික්බිති මට ගැළවුමක් නොවීය.මෙහි අපුර්වත්වය ඇත්තේ මෙකී කතා ලතාවේ යැයි සිතේ. 

සමාජ ස්ථර කිහිපයක දෝලනය වෙමින් ගලාගෙන යන කතාව එක් එක් ස්ථරයන් පෙළන මානසික, අධ්‍යාත්මික, සමාජයීය අර්බුදයන් රහස් කවුළුව අසල එබී හිඳින අප හමුවේ තබයි. සමස්තය ගැන අදහසක් කියන්නට තවම කල්වේලා වැඩි ය.

දැන් බොහෝ අකමැත්තෙන් 188 වැනි පිටුවේ නතර වී පසෙකට වී හිඳිමි.

‘‘රහස් කවුළුවෙන් එබෙන්න.” - කෞශල්‍ය කුමාරසිංහ
ආත්ම ප්‍රකාශන - මිල රු. 450.00

...................

‘මේ රහස් කවුළුවෙන් එබෙන්න' නවකතාව කියවන අතරතුර මුහුණු පොතේ ලියා තැබූ සටහනක් ඒ... 

දැන් මම පොත කියවා අවසන්... ඒ ගැන කියන්න දේ බොහොම ඇතත් ගැඹුරු කියවීමකට ලිවීමකට යන්න තරම් ජීවිතය නිදහස් නෑ... හද සසල කළ බොහෝ පිටු අතර මතකයෙන් නොගිළිහෙන සංවේදී සංවාදයක් ඔබ සමඟ බෙදා ගන්න කැමතියි...

යමු අපි 164-165 පිටුවලට....

...........

‘‘මට දැං තේරෙනවා උතුරෙ දෙමළ ගෑණු මරාගෙන මැරෙන බෝම්බකාරියො වුණේ කොහොමද කියල.” පද්මිගේ දෑස් දැන් කල්පනාවෙන් බරවන්නට වෙයි. ඇගේ ස්වරය ස්ථාවරය.

‘‘මොකද මහලොකු සිංහල බෞද්ධ ගෑනිට හිටි ගමං කොටි ගෑනු මතක් වුනේ..”


‘‘ඕක මං පුංචි කාලෙ ඉඳන් තේරුං ගන්න හදපු දෙයක් බං. කොහොමද කෙල්ලෙක් කාගෙවත් බලකිරීමක් නැතුව ඇඟේ බෝම්බයක් බැඳගෙන මරාගෙන මැරෙන්න ඉදිරිපත් වෙන්නෙ කියලා. ඒත් ඊයෙ අර බැරියර් එක ගාව බැටන් පොලු පාරවල්, වතුර පාරවල් කාගෙන ඉන්නකොට මට හිටිගමන් ඒක තේරුං ගියා. ඒක හරි අමුතුයි. හරියට නිකං නිවන් අවබෝධ වුණා වගේ දෙයක්. මෙච්චර කාලයක් මට හරිම දුරස්, මට කොහොමටවත් අයිති නෑ කියල හිතපු දෙයක් හිටි ගමන් මගෙම වුණා වගේ. ඒ වෙලාවෙ ඉතිහාසෙ පුරාම මරාගෙන මැරිච්ච හැම ගෑණියෙක්ම මතක් වෙලා මගෙ ඇස්වලට කඳුළු ආව බං...”


................

මේ ටික කියවන් යද්දි මගෙ ඇස්වලටත් කඳුළු ආවා. ඒ සංවාදය හරිම ලස්සනට ගොඩනගල තියෙනවා. ඇස්වලට ඇඟිල්ලෙන් අනිමින්, හිත්වලට කතා කරන තාලෙට.

..............

‘‘උඹට හිතෙන්නෙ නැද්ද ඒ ගෑණුනේග ඇඟේ බෝම්බ බැඳල තියෙන්න නැතුව ඇති කියලා.”

‘‘එහෙනම් පිපිරුවෙ අහවල් එකද?”


‘‘අවුරුදු ගාණක් තිස්සෙ දරාගන්න බැරි දුකක් දරාගෙන ඉන්න හදන ගෑණියෙකුගෙ ඇඟ ඇතුළෙ ඉබේම බෝම්බයක් හැදෙන්න පුළුවන් සඳා, අමුතුවෙන් බෝම්බ බඳින්න දෙයක් නෑ. ඒත් ඒ බෝම්බෙ පුපුරන්නෙ තවත් අහිංසක මිනිස්සු ගාණක් මරාගෙන. පත්තිනි අම්මා එයාගෙ වම් තනේ කඩල ගහපුවම මදුරාපුරේම ගිනිගත්තා....”


...............

‘‘මගෙ අයියල තුන්දෙනෙක් අතුරුදහන් වෙලා සඳා.” ඇගේ ස්වරය යළිත් දුබලය. හැඬුම්බරය.

‘‘තුන්දෙනෙක්?” සඳාගේ ස්වරයේ සේම මුහුණේද ප්‍රශ්නාර්ථයක් ඇත.


‘‘මුලිම්ම ලොකු අයියා අසූනමේ කලබල කාලෙදි... පස්සෙ පොඩි අයියා අලිමංකඩදි... දැන් මගෙ කමල් අයියා කොළඹ දි...”


...............

ලාංකීය තාරුණ්‍යය මුහුණ දුන්, මුහුණ දෙන සදාතනික අරගලය මේ සංවාදය ඇතුළෙ තියෙනවද? නැත්ද? තාරුණ්‍යයේ අර්බුදය කියන්නෙ සමස්ත සමාජයේම අර්බුදය මිස අන් යමක්ද?

හදවතින් අහල බලන්න... 

කෞශල්‍යගෙ ආරාධනයට රහස් කවුළුවෙන් එබුණම කෙළින්ම හිතට කතා කරන කතන්දර දෙකක් තියෙනවා. එකක් තිවංකගෙ කතන්දරේ.. අනික පද්මිගෙ කතන්දරේ. මේ කතන්දර එක්ක බැඳිල තව බොහොම ජීවිත තියෙන බව ඇත්ත.

තිවංකගෙ කතන්දරෙන් පද්මිගෙ කතන්දරේ යට යයි ද කියල බයක් මට තියෙනවා. මට අනුව පද්මි කියන්නෙ මගේ පන්තියෙ නියෝජනය. මගේ ජීවන අරගලයෙ කැඩපත‍. මගේ හෘද ස්පන්දනයෙ අනුවේදනීය ගැස්ම... තිවංකගෙ කතාව මට ඈතයි වගේ දැණුනට මං දන්නවා එහෙම නොවන අය බොහොම ඇති... ඒත් පද්මි කියන්නෙ මට දුරස් කෙනෙක් නෙවෙයි.. වෙලාවකට ඒ මමම යි...

තිවංකගෙ කතන්දරේ නවතින තැනට මං කැමතියි. ඇත්තටම ඒ නැවතුමක් නෙවෙයි, මද අස්වැසිල්ලක්... ලිංගික තෘෂ්ණාව, ලිංගික ඊර්ෂ්‍යාව අතික්‍රමණය කරන මානව සම්බන්ධතා, ප්‍රේමයේ නව මානයක් සොයා යන මානව සම්බන්ධතා අත්‍යවශ්‍යයි මේ මහපොළවට.... කුහකකම් දළුදමන අන්ධකාරයට... 

‘‘මෙහෙම වෙන්න පුළුවන්ද? මේ ලාංකීය පොළවෙ..” මං කතුවරයාගෙන් ඇහුවා . පොත් ප්‍රදර්ශන භූමියෙදි හමුවුණ වෙලාවක...

‘‘නැත්තෙ නෑ.. එහෙම වුණ අවස්ථා තියෙනවා.. එවැනි පුද්ගල සම්බන්ධතා තියෙනවා.” කතුවරයා හිනාවෙලා කිව්වා. 




කෞශල්‍ය මේ කතා දෙකම අපූරුවට වියනවා.. කතාව ගලා යාම ඇතුළෙ පෑහීමක් මිස වෙන්වීමක් නැහැයි කියල හිතෙන විදියට... අධ්‍යාත්මික අර්බුද පිටුපස තියෙන සමාජ අර්බුද, සමාජ අර්බුද නිසා ඇති වෙන අධ්‍යාත්මික අර්බුද, මේවයින් ගොඩඑන්න කොයි තරම් ශ්‍රමයක් අවශ්‍ය වෙනවද? තනි තනිව පුළුවන්ද? 

මේ ජීවිත හසුරුවන්නෙ ප්‍රේමය ද? ලිංගිකත්වය ද? ඒ දෙකම ද? නිශ්චිත උත්තර හොයන්න මහන්සි වෙනවට වඩා ප්‍රේමයෙන් ජීවත් වෙන්න මං කැමතියි... 

අපේ පාඨක සමාජය තිවංකගෙ කතාව ආදරෙයන් වැළඳගෙන පද්මිගෙ කතාව අමතක කරයිද? ලිංගිකත්වයට එරෙහිව අවි අමෝරාගෙන ප්‍රේමයට විවර වෙන දොරටු වහල දාවිද? එවැනි සාංකාවක් මගෙ හිතේ තියෙනවා... 

එවන් අසාධාරණයක් මේ ලස්සන ගෙත්තමට සිදු නොවේවා කියන එකයි මගේ ප්‍රාර්ථනය. 

Wednesday, September 17, 2014

මිතුදම්, මනුදම් යා කරනා කවිකම්...

by Beatrice Cloake

‘‘තරු, කවි කුටියෙ විස්තරේ කියවලා හිතුණා, දුර බැහැරින් ඇවිත් පොත් තියල ගිය අයගෙන් ‍අඩුවෙන් විකුණුනු පොත් වලින් කීපයකට මුදල් දෙන්න. මට ඔයාගෙ බැංකු ගිණුමක නම අංකය ශාඛාව එවන්න, මම රු. 5000ක් විතර දාන්නම් ඔයා අඩුවෙන් විකුණුනු පොත් වලින් අරගන්න.

මේක ප්‍රසිද්ධ කරන්න ඕනෙ නැහැ....

තරුට සුදුසු විදිහට වියදම් කරන්න. ගන්න පොත් ඔයාගෙ ළක්‍රිවි සම්බන්ධ කණ්ඩායම් වලට බෙදා දෙන්න තරු.”


මේ ලියමන ලැබුණෙ සයිබර් තැපෑලෙන්.. හරියටම කවි කුටියේ ආරම්භක දිනය ගැන මගේ මූණුපොත් සටහන දැම්මට පසුදින.. මේ තියෙන්නෙ ඒ සටහන.

‘‘ඒ පොත් ප්‍රදර්ශනයේ ආරම්භක දවස. දහවෙනිදා උදේ නිරායාසයෙන්ම මම මුලින්ම ඇවිදගෙන ගියේ කවි කුටිය හොයාගෙන.. අනේ ඒ යද්දි ලස්සනට හදපු කුටිය විතරයි.. සඳුන්, මහින්ද, මහින්දගෙ ප්‍රිය භාර්යා අර්බුදයකට මැදි වෙලා උන්නෙ පොත් තියන්නෙ කොතැනද කියල හිතාගන්න බැරිව.... ජයසිරි අලවත්ත සහෝදරයත් එකතු වුණා... ලොකු උන්නැහේ ඇවිත් යනකල් මේසයක්, රාක්කයක් ලබා ගන්න විදියක් නැතිලු.... ඒ වෙද්දි කවි කිවිඳියන් පොත් අරගෙන එමින් උන්නා. ඒක හරිම සංවේදී දසුනක්...
දුර බැහැර ඉඳන් ආව ළාබාල, තරුණ, වැඩිහිටි, මහලු කවි කිවිඳියන් කවි පොත් බෑගයෙන් අරන් අතට දෙද්දි පුදුමාකාර සෙනෙහසක්, ගෞරවයක් දැනෙනවා.. කොයි තරම් මදිපුංචිකම් සිද්ද වුණත් තවමත් කවියට පෙම් බඳින අපමණ මිනිසුන් සිටීම ගැන....

ආපනශාලාව ඉදිරිපිට රවුම් මේසයක වාඩි වෙලා අපි එන පොත් බාර ගත්තා. පොත් බාර දෙන්න ආව විපුලි නිරෝෂණී කිවිඳිය එතැනදිම මුල්ම කවි පොත මිල දී ගත්තා. එ් මංජුල වෙඩිවර්ධන සහෝදරයගෙ ''නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක''‍‍‍‍‍‍‍‍‍........
මේ වෙද්දි නඳුන්, පියන්කාර ඇතුළු තවත් කිහිපදෙනෙක් එකතු වෙලා උන්නා.
යාම්තම් මේසයක් ලැබුණෙ පිරිවර සේනාව එක්ක ‍මහා රජතුමා ආපසු වැඩම කළාට පසුව.... ඉතින් අපි කවි පොත් ටික පිළිවෙලක් කරගත්තා. කවි පොත් සල්පිල වැඩ පටන්ගත්තා. 
................

මේ වෙද්දි නිතරම කවි කුටිය ළඟ රසික, සහෘද හිතවතුන් පිරිලා.. ඒ ගැන සතුටුයි. කවි ගැන ඇල්ම නොමැරී පණ ගැහෙන හැටි දැක්කම‍‍‍....

රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ සෞම්‍ය ගේ 'හැටේවත්තෙ මග්දලේනා', විද්‍යෝදය, ගොඩගේ සම්මාන දිනූ රුවන් ගේ 'මීළඟ මීවිත' ඇතුළු ආධුනික, ප්‍රවීණ කවි කිවිඳියන්ගේ කවි පොත් රැසක් කවි පොත් සල්පිලේ තියෙනවා.... දු දරුවන් සඳහා ළමා කවි පොත් තෝරගන්නත් හැකියි. කාව්‍ය විචාර, රස විඳිීම් කෘති කිහිපයකුත් තියෙනවා...

මේ ඇරයුම කවියට හිතැති ඔබට....

කවි පොත් සල්පිලට ඇවිත් යන්න එන්න................. කැටපත් පවුර අසලමයි. කවියක් ලියා කැටපත් පවුරේ රඳවන්නත්, කවි කියවා රස විඳින්නත් වෙලාවක් වෙන් කරගෙනම එන්න...”

2014 සැප්තැම්බර් 13

............

කවියට පෙමැති, කවි ලියන, කවිකාර සොඳුරු සහෘදයා එවූ රු. 5000 ක මුදලත්, පුස්තකාලයක් වෙනුවෙන් පොත් ගන්න ලැබුණු මුදලත්, තරුරසී නිත්‍ය පාඨකයකු වන විදෙස්ගත මිතුරෙක් එවා තිබුණු මුදලත් අරගෙන ඊයෙ සවස් වරුවෙ මං පොත් ප්‍රදර්ශන භුමියට ගියේ.

දකුණු පස අතුරු දොරටුවෙන් ඇතුල් වෙලා කවි කුටිය පැත්තට ඇවිද ගෙන යද්දි අහම්බෙන් දැක්කෙ මුල්ම දවසෙ කවි කුටියට පොත් අරන් ආව වයස්ගත මිතුරන් දෙදෙනා ඇවිද යන ආකාරය.. නැමුණු හිසින්, වෙහෙසපත් මුහුණින්... පිටුපසින් දුවල උරහිසින් අල්ලලයි මං ඒ දෙන්නව නවත්ත ගත්තෙ.. හෙවණකට අරන් ගිහිල්ලයි කතාව පටන් ගත්තෙ.. ඒ තරමට දුක හිතුණා මූණු දකිද්දි.

‘‘අංකල්, එදා කවි කුටියට පොත් දැම්ම නේද? ඉතිරි පොත් ගන්නද ආවෙ...” මට මතක තිබුණා මුල්ම දවසෙ දැනුවත් කිරීම. ( 16 හවස ඇවිත් විකුණුනු පොත්වල සල්ලිත් අරන් ඉතිරි පොතුත් අරන් යන්න.....)

ඒ මුහුණුවල ඇඳුණෙ කණස්සල්ලක්...

‘‘එක පොතක්වත් විකිණිලා නැහැනෙ... අපි දෙන්න මේ කතා වුණේ පොත් ටික බෙදල දාල යමුද කියල කාට හරි. වැඩක් නෑනෙ තියාගෙන. කවුරු හරි කියවයිනෙ...”
‘‘අංකල් ඔයාල දෙන්නගෙම කවි පොත්වලින් දෙක ගානෙ දෙන්න. අපි පුස්තකාලෙකට පොත් ගන්නවා.” මම එහෙම කිව්වම හීන් හිනාවක් ඇඳුණා ඒ මූණුවල.. ඒ කවි පොත් විස්සම ගන්න තිබුණනම් කොයි තරම් හොඳද කියල මට හිතුණා...

ස්වර්ගීය සැලැස්මක් වගේ අහම්බෙන් මට එයාලව දකින්න ලැබුණෙ. එහෙම නොවුණා නම් එක පොතක්වත් නොවිකිණීම ගැන කණස්සල්ලෙන් මහලු කවි මිතුරන් දෙන්නා අත්තනගල්ලටත්, තිහාරියටත් පිටත් ව යාවි...
එකක්වත් නොවිකුණුනු පොත් අතරින්, පොත් ගත්තා වුණත් මේ සංවේදී කවියන් ගැන ඇති වූ මහත් සංවේගයක් එක්කයි මම කවි කුටියට ගොඩ වැදුණේ...

කවි කුටියෙන් 30% ක වට්ටමට අඩුවෙන්ම අලවි වුණු පොත් තෝර දුන්නෙ කවි මිතුරන්මයි.. හරියටම පොත් 39 ක්. එයින් කවි පොත් 14 ක් බේරුවල අපේ සහෘද පිරිසක් විසින් පවත්වාගෙන යන පුස්තකාලයට ඊයෙ හැන්දෑවෙම බාර දුන්නා. ඉතිරිය කළුතර ‘යොවුන් පියවර’ පුස්තකාලයට ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

කවියට පෙම් බඳින මේ දයාවන්ත හිත් ගැන අප්‍රමාණ ගෞරවයක් ඇති වෙන්න...

..............

විදෙස්ගතව සිටින ‘තරුරසී’ සහෘදයෙක් පොත් ලැයිස්තුවක් සමග මුදලක් එවා තිබුණා. එයින් මුදලක් වෙන් කර තිබුණා මටත් පොත් ගන්න. වෙසක් පුන් පොහෝ දා කිලිනොච්චියේ ආනවිළුන්දාන්වල දරුවන් සමග ගත කළ දවසේදී අපි පොරොන්දු වුණා පුස්තකාලයක් හදාගන්න උදව් වෙන බවට. ඉදිරි දිනෙක ඒ දරුවන් පොත් ගන්න කොළඹ එන්නට නියමිතයි. මා වෙනුවෙන් පොත් ගන්න එවූ මුදල ඒ දරුවන් වෙනුවෙන් වැය කරන බව මගේ මිතුරාට කියා යැවූ විට ඔහු එවූ පිළිතුර මේ...

‘‘ අර ළමයින්ට 5000 වෙන්න අවශ්‍ය ඉතුරු මුදල මගෙන් දාන්න... ඉතුරු සල්ලි වලින් පොත් ගන්න.

අපේ එදිනෙදා ජීවිතයෙදි අපිට ඔය වගේ සිද්ධි මුණගැහෙනවා අඩුයි. සමහර වෙලාවට හිතෙනවා අපි ඒ දේවල් වලට තියන සංවේදී බව නැතිවෙලා ගිහිල්ලද කියලා. මෙහෙම වත් උදව්වක් කලේ නැත්නම්, ඕක හිතලා මතලා කෙරෙන්නේ නෑ.

ඒ නිසා ඒ සල්ලි වලින් ළමයින්ගේ පොත් අවශ්‍යතාවය සම්පූර්ණ කරලා ඉන්න.

තරූටත් අඩුම ගාණේ එකම පොතක්වත් ගන්නවා නම් මම කැමතියි. ගාමිණී වියන්ගොඩ පරිවර්තනය කරපු "මායාවාස" හරි "විසේකාරි" හරි පොත කියවලා නැතිනම් මගෙන් සුළු තෑග්ගක් විදිහට ගන්න.”

ස්තුතියි ඔබට... මම මායාවාස ගත්තා.
........

‘තරරුසී’ ජීවිතේට අලුත් දොරටුවක් විවර කර දුන්නා. ඒ දොරටුවෙන් ඇතුල් වෙද්දි මා එක්ක අත්වැල් බැඳගන්න අධ්‍යාත්මිකව පොහොසත් මිත්‍ර සමූහයකුත් හමුවුණා... ‘තරුරසී’ ජීවිතේ සුවිශේෂ සංධිස්ථානයක් වෙන්නෙ ඒ නිසයි.

පොත් කතා තව බොහෝමයි... විටින් විට ලියා තබන්නම්.

Tuesday, September 9, 2014

දළුලන ආදර අංකුර....


‘‘ මම ගැබ්බරව උන්නෙමි. ඒ සිඟිති කළලය කොහෙන් ආවාදැයි නොදැන විස්මිත වෙමින්ද, මවක වීමේ උද්දාමයෙන් සස්මිත වෙමින් ද සියොළඟ සැලුම් දුණි. ශාන්තිමත් හදකින් ඒ උත්තරීර ආගමනය මා භාරගෙන සිටි බව මට මතකය, ශ්‍රක්‍රානුවේ හිමිකරු කවුදැයි පැහැදිලිව නොදැනම... ශුද්ධාත්ම අනුහසින් මා ගැබ් ගත්තාවත්ද!!!!!
මහත් වූ ස්නේහයෙන් කුස පිරිමදිමින් සිටියදීම ගැබ මෝරා වැඩිණි. මම රෝස පැහැ සැහැල්ලු ගැබිණි ඇඳුමකටත්, පැතලි  පාවහන් යුවළකටත් මාරු වී, පරිස්සමින් ඇවිද යමින් සිටියෙමි. ඉතාම පරිස්සමින්... කුස මත අත තබාගෙනම.... මේ කුමන ප්‍රාතිහාර්යයක්දැයි සිතමින්........
 ඒ ගැබිණි ඇඳුමේ උඩුකය මත කුරුලු පැංචෙකුගේ රුවක් මසා  තිබිණි. අතු රිකිල්ලක වැසූ කුරුලු පැංචා ගීයක් ගයමින් උන්නේය.
කුස තුළ සැරිසරන බිළින්ඳාගේ චලිතය හදවත අපමණ ප්‍රීතියකින් පිරෙව්වා මතක ය. මම තනිවම හිනැහුණෙමි....
රෑ මැදක දුටු එකී සිහිනයෙන් මා අවදි වූයේ මන්දැයි දැන් මතක නැත. ඒ සිහිනයක් බව දැණුනු මොහොතේ හදවත සියුම් තුඩකින් කොනහන්නාක් බඳු වේදනාවක් දැණුනි. ඉක්බිති මහා හිස් හැඟීමකි. සියල්ල අත්හැරි ජීවිතයක අත්නොහැරුණු මාතෘ සිහිනයක් තවමත් වන බව මා වටහා ගත්තේ එදින ය. මේ සිහිනය ගැන කිසිවකුටත් නොකියන්නට මම පරිස්සම් වීමි. ඒ කප්පරක් බැනුම් අසන්නට, හෝ අවවාද අනුශාසනා අසා සිටින්නට හෝ උවමනාවක් නැති බැවිනි.
හිත යට පරිස්සමට හංගා තැබූ ඒ ගැබ්බර හීනය යළිත් හිත මතුපිටට විත් නිදහසේ සැරිසරන්නට වූයේ සමන් අතාවුදහෙට්ටිගේ ‘‘ආදර අංකුර” වෙත දැහැන්ගතව සිටියදීය.
ඉන්දීය ලේඛිකා කිෂ්වාර් දේසායි ගේ 'Origins Of Love' කෘතියේ සිංහල පරිවර්තනය ‘ආදර අංකුර’ ය.  
.......

පුංචි අමීලියා උපත ලබන්නේ ඉන්දියාවේ ගර්භදානී සායනයක දරිද්‍රතාවයට පිළිතුරක් ලෙස ගර්භාෂය කුලියට දීමට තීරණය කළ මවක වෙතිනි. අමීලියාට උපත දෙන ශුක්‍රානුවේ සහ ඩිම්බයේ හිමිකරුවන් වෙසෙන්නේ එංගලන්තයේ ය. කෘතිමව සංසේචනය කර, කෑන් ගත කළ කලලය ඉන්දියාවට පැමිණෙනුයේ ගුවන්මගිනි. බිළිඳු දැරිය උපත ලද වහාම ඉන්දියාවේ ගුර්ගඔන් හි ‘මව් දෙව් පුත් සායනය’ මහත් සේ කැළඹේ. ඒ පුංචි අමීලියා මෙලොව එළිය දැක ඇත්තේ ඒඩ්ස් වෛරසයද සමඟින් බව දැනගන්නට ලැබීමෙනි. එය ශරීරගත වූයේ කෙලෙසද යන්න අභිරහසකි.
මේ අභිරහස්‍යමය කැළඹීම් සහිත වටපිටාව තුළම අමීලියාගේ නීත්‍යානුකූල මව්පියන් ලෙස පෙනී සිටි සූසන් සහ මයික් හදිසි අනතුරකින් මරණයට පත් වේ. අමීලියාට උපත දුන් ප්‍රීති නම් වූ ඉන්දීය කාන්තාව ද අතුරුදහන් වේ. පුංචි අමීලියා ගර්භදානී සායනය තුළ තනි වේ.
මරණීය ඉරණමක් අහිංසක දැරියකට පවරා දීමේ අභිරහස හෙළිදරව් කර ගැනීම සහ අමීලියාගේ භාරකාරත්වය පැවරීමට සුදුසු ඥාතීන් සොයා යාමේ වගකීම භාර ගන්නේ  සිම්රන් සිං ය. ඇය සමාජ සේවිකාවකි. ඇගේ රහස් ඔත්තුකාර හෙළිදරව් මාවතේ නිරුවත් වන ඉන්දියාවේ ගර්භාෂ කුලියට දීමේ ව්‍යාපාරය, පියවි කලල සෛල මගින් සිදු කරන අත්හදා බැලීම් විස්මය දනවන සුළුය. මේ සම්බන්ධයෙන් අසා තිබුණා මිස මෙතරම් සවිස්තරාත්මකව මින් පෙර කියවන්නට ලැබී නොතිබුණි. නොදන්නා දේශයක සැරිසරන විට නිරන්තරයෙන් ජනිත වන කුතුහලාත්මක හැඟීම් ගොන්නකට පිටුවෙන් පිටුවට පියාපත් ලැබිණි. පොත කියවා නිමවන තුරුම ඒ කුතුහලය නොසන්සිඳිණි.
සොබාදහමට අනුගත ප්‍රේමාලිංගනයක කෙළවර එකී ප්‍රේමයේ ප්‍රතිඵලයක් ලෙස ස්වකීය දරුවන් ලබන්නට වරම් අහිමි ව සුසුම් හෙළන මව්පියන්, දරිද්‍රතාවය නිසා සිය දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කළ නොහැකිව අසරණ වන මව්පියන්, මුදල රජයන සමාජයක නොමිනිසුන්ට ගොදුරු වන අහිංසක දරුවන්, තුන්වන ලෝකයේ සමස්ත පීඩනයත් හිසින් දරා සිව්වන ලෝකයේ පුරවැසියන්ව දුක් විඳින ස්ත්‍රීන්........ ‘ආදර අංකුර’ කෘතිය පුරාම හමු වේ. ධනවාදය සමඟ අත්වැල් බැඳගත් දේශපාලනය ජීවිත තව තවත් අන්ධකාරයට හෙළාලන අයුරු, ඉන්දියාවට පමණක් සීමා වූ තත්ත්වයක් නොවේ.
ඉදින් ආදර අංකුර දළුලා වැඩෙන්නේ කෙසේද?  සිතෙන්නට ඉඩ ඇත. නමුත් තවමත් ප්‍රේමය ආත්මගත කොට ගෙන ජීවිතයට වටිනාකමක් එකතු කර ගත යුතු බව අදහන මනුෂ්‍ය ප්‍රාණියෝ වෙසෙති. එබැවින්ම ආදර අංකුර පීදී, දළුලන්නට තවමත් අවකාශයක් ඉතිරිව පවතී.
‘ආදර අංකුර’ අවසානය හින්දි චිත්‍රපටයක මෙනි. සුන්දර ය. ප්‍රේමණීය ය. නමුත් ඒඩ්ස් වෛරසය සමග හුස්ම ගන්නා පුංචි අමීලියා ඇතුළු  ආදර අංකුර තුළ පණ ගැහෙන අනෙක් ජීවිතවල ඉදිරිය, අවසානය කෙබඳු විය හැකිද? එකී සිතුවිල්ලම හිත හිරිවට්ටන සුළු ය.
ආදර අංකුර හි පරිච්ඡේද 10 කි. සෑම පරිච්ඡේදයක් තුළම සිම්රන්, ගුර්ගඔන්, දිල්ලි, මුම්බායි, ලන්ඩන් යනුවෙන් අනුමාතෘකා පවතී. චරිත සහ සිදුවීම් ගණනාවක් හසුකරගෙන ගෙතෙන කතාව තුළ අතරමං නොවන්නට මෙකී ආකෘතික හරඹය උපකාරයක් ව ඇත. විටෙක ආත්ම විවරණයක්ව දිග හැරෙන කතාව තවත් විටෙක සිදුවීම් විවරණයක් බවට පත් වේ. එය අන්තර්ගතයට විචිත්‍රත්වයක් එක් කර ඇත.
කථනයට මෙන්ම ලේඛනයට ද උපන්හපන්කම් දක්වන පරිවර්තක අත භාෂාව සුනම්‍ය මැටි පිඩක් ව ඇත. එබැවින්ම පරිවර්තනයක්ය යන්න නොදැනෙන තරමට ම කෘතිය රසවත් ය. නෙත සිත වෙනතක නොයවාම විඳිය හැකි ය. විටෙක මනුෂ්‍යත්වයේ නාමයෙන් විඳවිය හැකිය. මහා දුක් සාගරයක කිමිදෙන්නට පියාපත් පලඳන්නාක් වැනි සැහැල්ලු බවක් භාෂා රටාවෙහි ගැබ් වී ඇත.

හිත කීරිගන්වන, වේදනාවෙන් පුරවන, සිනාවෙන් කිති කවන, කුතුහලය අවුළුවන, කම්පනය දනවන ‘ආදර අංකුර’ නම් වූ ආගන්තුක දේශයේ  සැරිසැරීමෙන් පසුව සිම්රන් සිං රැගෙන ආවේ සැනසුම් සුසුමකි. ඒ සැනසුම පිටුපස සැඟවී ඇත්තේ ද මහා ඛේදවාචකයක් නොවේ දැයි සිත විමසයි.
කිෂ්වාර් දේසායි ගේ 'Origins Of Love' 
ආදර අංකුර
පරිවර්තනය - සමන් අතාවුදහෙට්ටි
මිල රු. 650.00
සුරස ප්‍රකාශන


Monday, September 8, 2014

මමත් හත්පෙති මලක්....


අද වෙන්නප්පුවේදී ළ.ක්‍රි.වී.  දරුවන් වෙනුවෙන් පැය දෙකක වැඩසටහනක් කරන්නට භාර ගෙන සිටියෙමි. වසරකට වරක් දිසාවේ ළක්‍රිවී දූ දරුවන් වෙනුවෙන් පැවැත්වෙන තුන්දින නේවාසික වැඩමුළුව අර්ථවත්වද, සාර්ථකවද පවත්වන්නට දිසාවේ අනුශාසක සොයුරු සොයුරියන් මහත් කැපවීමෙන් කටයුතු කරන බව මා පැහැදිලිවම දන්නා කරුණකි.

පසුගිය දිනවල පැවති කාර්යබහුලබව නිසාම ගෙදර වැඩ කර ගන්නට නොහැකි විය. පෙර සූදානමකින් තොරව දරුවන් හමුවට යාම හෝ වෙනත් වගකිව යුතු කටයුත්තකට යාම මගේ ප්‍රතිපත්තිවලට එකඟ නැත.  වරදක් බව දැන දැනම වුව ඉල්ලීම පසෙකලන්නට හැකියාවක් නොවුණු නිසාම අද ඒ දරුවන් වෙනුවෙන් කාලය වෙන් කළෙමි.

පිහිටට ආවේ හත්පෙති මල ය. 


හත්පෙති මලේ කතන්දරය හැමටම ඇසන්නට කීවේ දැරියකි. මා එහි අඩුපාඩු සකස් කර රසගැන්වූවා පමණි. තිහක් පමණ වූ දරුවන් කණ්ඩායම් පහකට බෙදා හත්පෙති මල තමන්ට ලැබුණොත් මල් පෙති කඩා ඉල්ලන්නේ මොනවා දැයි කණ්ඩායමක් ලෙස සාකච්ඡා කර ලියන්නට උපදෙස් දුනිමි.

කණ්ඩායමේ අදහස් නිර්මාණශීලීව ඉදිරිපත් කළ හැකි බව ද කියා සිටියෙමි. වැඩේ හිතුවාට වඩා සාර්ථකය. කණ්ඩායම් හතරක්ම නාට්‍යානුසාරයෙන් හත්පෙතිමලට නව අර්ථකථන සපයමින් පෙත්තෙන් පෙත්තට තම ඉල්ලීම් ඉදිරිපත් කළහ.

තමන් වෙනුවෙන්ය කියා ඉල්ලා සිටි එකම එක ඉල්ලීමක් හැරෙන්නට අන් සියලුම ඉල්ලීම් ආත්මාර්ථයෙන් තොර පරාර්ථකාමී ඉල්ලීම් ය. එසේම කාලීන මානව, සමාජ ප්‍රශ්න ගැන දරුවන් තුළ වන සවේදීත්වයද එකී ඉල්ලීම්වලින් පැහැදිලි විය. යහපත් සමාජයක් පිළිබඳව දරුවන් තුළ පවා පවතින සුබ සිහින ඒ තුළ පිළිබිඹු විණැයි මම සිතමි.

ඔවුන් ඉල්ලා සිටි ඉල්ලීම් අතර,

නියඟයෙන් පීඩා විඳින ප්‍රදේශවලට වැස්ස...
යුද්ධය නිසා පීඩාවට පත් වන අසරණ දරුවන්ට රැකවරණය...
කුසගින්නෙන් දුක් විඳින දරුවන්ට ආහාර...
රෝගී තත්වයන් නිසා දුක් විඳින මිනිසුන්ට සහනය...
දරුවන් අහිමි දෙමව්පියන්ට දරුවන්... තනි වූ අසරණ දරුවන්ට මව්පිය සෙනෙහස...
සොබාදහමට ආදරය, ගෞරවය, රැකවරණය...
තනිවුණු ආච්චිලා සීයලාට ආදරය... සහනය...
කිසිදු භේදයක් නැති සාමකාමී සමාජයක්....
ළ.ක්‍රි.වී. යේ දිනෙන් දින දියුණුව.......

ඒ දරුවන් තමන් වෙනුවෙන් කියා ඉල්ලා සිටියේ එකම එක දෙයකි. ඒ වසරක පාසල් නිවාඩුවකි. දරුවන්ට අධ්‍යාපනය කොතරම් මානසික පීඩනයක් වී ඇත්දැයි එයින්ම සිතා ගන්නට හැකි ය.

අවසන් විග්‍රහයේදී මම මෙලෙස පැවසීමි.

‘‘අද අපි අතරමං වුණාම  හත්පෙති මලක් අරන් වෙස්වලාගත් සුරංගනාවන්වත්, දේවතාවන්වත්, වෙන කවුරුවත් එන්නෙ නෑ දුවේ පුතේ.... මේ හත්පෙති මල දැනටමත් අපිට ලැබිලයි තියෙන්නෙ..

ඒ තමයි මගේ ජීවිතය..

මේ මලේ පෙති තමයි අපේ හැකියාවන්, අපේ ගුණධර්ම... ( පාට පාට මල් පෙති ආදරය, ඉවසීම, සමාව දීම, කරුණාව වැනි ගුණදහම් බවට විග්‍රහ කරගත්තේ දරුවන්ම ය. )

පෙත්තෙන් පෙත්ත ඔයාල ඉල්ලූ හැමදෙයක්ම මේ සමාජයට ලබා දීමේ, දිනා දීමේ හැකියාව තියෙන්නෙ ඔයාලටමයි.” ළමා මට්ටමින් මෙය කළ හැක්කේ කෙසේදැයි අපි සාකච්ඡා කළෙමු.

පෙර සූදානමක් නොමැතිව වුවද දරුවන් සමඟ පැය දෙකකට ආසන්නව සාර්ථක සංවාදයකට, ක්‍රියාකාරීත්වයකට යොමු වීමේ තෘප්තිය මා සතු විය.
.............

නමුත් හිතේ එක් දුකක් ඉතිරි විය. වැඩේ අතරතුර අපි ගැයූ චූටි කුරුල්ලනි, පොඩි කාලේ දඟකෙරුවාම ගීත දෙකින් ඔවුන් දැන සිටියේ මුල් පද කිහිපය පමණි. වැඩසටහන අවසානයේ ගැයූ කටු අකුලේ ගීතයටද අත්වූයේ එබඳුම ඉරණමකි. දරුවන් ළමා ගීතයෙන්, අර්ථපූර්ණ ගීතයෙන් බොහෝ දුරස් ය. ඒ දුරස් බව දුරුකිරීමේ වගකීම ඇත්තේ ද අපටම ය. පොතපත කියවීම, හොඳ ගීත ඇසීම ජීවිතයට කොතරම් වැදගත්ද මම දරුවන්ට කීවෙමි.
.............

රචිත මල්ලී මුලින්ම දරුවන්ට මා හඳුන්වා දෙමින් ‘‘තරංගි අක්කා ගොඩක් පොත් කියවන කෙනෙක්. ඕනම වෙලාවක එයාගෙ බෑග් එකේ පොතක් තියෙනවා” කියා සිටියේය. ඒ අගනා හඳුන්වා දීමකි. අපමණ සතුටකි.

‘‘ඇත්තටම නම් මේ වෙලාවෙ මගෙ බෑග් එකේ පොත් පහක් විතර තියෙනවා” මම සතුටින් කීවෙමි. සැබවින්ම ඒ මොහොතේ මා ඇවිදින පුස්තකාලයක් වී තිබිණි. මිතුරෙකුගෙන් ලැබුණු පොත් කිහිපයක් හා ගෙදර පොත් එකතුවට ගෙනයන පොත් කිහිපයක් ද බෑගයේ විය. උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා, ටෙනිසන් පෙරේරාගේ දණ්ඩභූමි, එරික් ඉලයප්පආරච්චිගේ පාදයාත්‍රා, බෝධිනී සමරතුංගගේ අනිත් කොණ, මංජුල වෙඩිවර්ධනගේ නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක කවි පොත, වීත්යාගේ ළමා විය මා සන්තකයේ විය.

කොළඹ සිට වෙන්නප්පුව කරා යන බස්රිය ගමනේ මා ඇසුරු කළේ සන්නස්ගලගේ අම්මා ය. සන්නස්ගල සමඟ කිසිම පෞද්ගලික පයුරු පාසානමක් හෝ දැන හැඳිනීමක් නොවන බැවින් පොත ගැන වන විචාර විවේචන සියල්ල පසෙක ලා එය විඳීමේ හැකියාව මා සතු විය. එය නවකතාවක් නොවේ. විටින් විට සිහිපත් වන හෝ අසා දැන ගන්නා, අහුලාගන්නා මතක සටහන් තැනින් තැන එල්ලා ඇති බවක් හැඟෙන හෙයින් සාර්ථක චරිතාපදානයක්ද නොවේ. නමුත් එක හුස්මට කියවිය හැකි කෘතියකි. මේ කෘතිය ලිවීමෙන් ඔහු යම් අස්වැසිල්ලක් ලබන්නට ඇත. මට වැදගත් වූයේ එය නොවේ.


ඔහුගේ අතීතය, වර්තමානය කෙබඳු වව සන්නස්ගලද කටු අකුලක ඇහැරුණු මලකි. මම ඒ ගැන දරුවන් සමඟ සාකච්ඡා කළෙමි. අර්ථවත් ජීවිතයක් සොයා යන්නට මහත් වූ ධෛර්යයක් අවැසි බව කියා දුන්නෙමි.

මගේ ළමා වියේ ළ.ක්‍රි.වී. ය මට කියා දුන් පරිද්දෙන්ම මොන තරම් අඩුපාඩු තිබුණත් අපට ජීවිතය දුන් දෙමව්පියන්ට ආදරය කළ යුතු බවද, ඔවුන් අගය කළ යුතු බවද එසේ කරන්නට උස්මහත් වී රැකී රක්ෂා කර මුදල් හම්බකරන තුරු සිටිය යුතු නැති බව ද පෙන්වා දුනිමි. ළමා මට්ටමින් දෙමව්පියන්ට ආදරය කළ හැකි, ඔවුන්ගේ බරට උර දිය හැකි මාර්ග කොතෙකුත් ඇත. මට එය කියා දුන්නේ ළ.ක්‍රි.වී. අම්මාය. ඒ මගේ බාල වියේ දී ය.

කටු අකුලේ මල් ඇහැරේ... රළු අහසේ තරු හිනැහේ..
තුඩින් තුඩේ රැව් නැගේ.. කුරුළු ගී ගායනා
කුළින් කුළේ පැතිරෙතේ සුදු වලා පාවෙනා...
ළමයින් සුවඳයි... කඳුළක දිලිසෙයි
අඳුරු විමානේ රන්මිණි පහනයි.....

අපේ සුන්දර අර්ථසම්පන්න සංවාදය නිම වූයේ ඒ ගීයෙනි.

2014.09.07


ප.ලි.

ලිපිය ලියා පළ කරන්නට අවැසි පින්තුර තෝරමින් සිටින විට දුරකථන ඇමතුමකි. නිසංසලා නංගීගෙනි.

‘‘අක්කේ මම මේ ගත්තෙ ඊයෙ වැඩසටහන ගැන ළමයින්ගෙ ප්‍රතිචාර කියන්න.

ළක්‍රිවියේ ඕනෑම කටයුත්තක් අවසානයේ පසුවිපරමක් සිදු කිරීම අනිවාර්ය ය. වැඩේ සාර්ථක වුවද, අසාර්ථක වුවද ළමා මනස, අධ්‍යාත්මය ගොඩනැංවීමට අවශ්‍ය පසුබිම සැකසෙන්නේ මේ විග්‍රහයෙනි. අවසන් විග්‍රහයට පමා නොවීම මා එතැනින් නික්මුණේ මකුල් දැල් බැඳුණු, කැලේ වැහුණු මගේ හුදකලා ගේ පොඩ්ඩ සිතින් දකිමිනි.

‘‘ළමයි හැමෝම වගේ කතා කළා. එයාල ඔයා කළ වැඩසටහනටත් ගොඩක් කැමතියි. එයාලටත් හත්පෙතිමලක් වෙන්න ඕනලු. හත්පෙතිමල නොකියවපු අයට කියවන්න ආස හිතුණලු. එක පුතෙක් කිව්වා එයාට අම්මා පොත කියවන්න ආසයි කියල. පොත් කියවීමෙන් මේ තරම් දේවල් දැනගන්න පුළුවන් කියල හිතුවෙ නැහැලු...

තවත් පුතෙක් කිව්වා අපි අපේ දෙමව්පියො ගැන වැරදියට හිතන්න හොඳ නැහැ. අපි දැන්ම ඉඳල අපිට ආදරය කරන අයට සලකන්න ඕන පුළුවන් විදියට..... එහෙම කිව්ව පුතා අක්කෙ, ගොඩක් ප්‍රශ්නවල ඉන්න දරුවෙක්. අම්ම තාත්තා ළඟ නෑ. ආච්චි ළඟ හැදෙන්නෙ...

නිසංසලා නංගී තවත් බොහෝ දේ කීවාය. මගේ ඇස කඳුළකි. සතුටට ය. ඉදින් මා ජීවත් වන බව මට දැනේ. එය වාසනාවන්ත ජීවිතයකි.

සිරිගම්පල මීසමේ ගරු හයසින්ත් තිසේරා පියතුමාද තුන්දින නේවාසික වැඩමුළුවේ සමුගැනීමේ උත්සවයට සහභාගි වී ඇත.

‘‘ළ.ක්‍රි.වී. යට ඉන්නෙ පුංචි පිරිසක්. නමුත් ඒ පුංචි කණ්ඩායම අර්ථවත් වැඩක් කරනවා. ළ.ක්‍රි.වී. යෙ අය තනියම ස්වර්ගයට යන්න හදන්නෙ නෑ. කිසිම භේදයක් නැතිව එයාල තමන් වටේ ඉන්න අනිත් අයගෙත් අත් අල්ලාගෙනමයි ස්වර්ගයට යන්න උත්සාහ කරන්නෙ. ඒක තමයි ළ.ක්‍රි.වී.  යේ තියෙන ලොකුම වටිනාකම...

හයසින්ත් පියතුමා පවසා ඇත.

සැබෑවකි. මා අදහන ස්වර්ගීය සත්‍යයන් සමඟ මුහුවන්නට මට මගහසර පහදා දුන්නේ ළ.ක්‍රි.වී. අම්මා ය.  එය නොවන්නට අද මා කොතැනකද? සිතීමත් අසීරු ය. මහත් වූ කෘතවේදී හැඟීමකින් හදවත පිරී යයි.