අද
වෙන්නප්පුවේදී ළ.ක්‍රි.වී. දරුවන් වෙනුවෙන් පැය දෙකක වැඩසටහනක් කරන්නට භාර ගෙන
සිටියෙමි. වසරකට වරක් දිසාවේ ළක්‍රිවී දූ දරුවන් වෙනුවෙන් පැවැත්වෙන තුන්දින
නේවාසික වැඩමුළුව අර්ථවත්වද, සාර්ථකවද පවත්වන්නට දිසාවේ අනුශාසක සොයුරු සොයුරියන්
මහත් කැපවීමෙන් කටයුතු කරන බව මා පැහැදිලිවම දන්නා කරුණකි.
පසුගිය
දිනවල පැවති කාර්යබහුලබව නිසාම ගෙදර වැඩ කර ගන්නට නොහැකි විය. පෙර සූදානමකින් තොරව
දරුවන් හමුවට යාම හෝ වෙනත් වගකිව යුතු කටයුත්තකට යාම මගේ ප්‍රතිපත්තිවලට එකඟ නැත. වරදක් බව දැන දැනම වුව ඉල්ලීම පසෙකලන්නට
හැකියාවක් නොවුණු නිසාම අද ඒ දරුවන් වෙනුවෙන් කාලය වෙන් කළෙමි.
පිහිටට
ආවේ හත්පෙති මල ය.
හත්පෙති
මලේ කතන්දරය හැමටම ඇසන්නට කීවේ දැරියකි. මා එහි අඩුපාඩු සකස් කර රසගැන්වූවා පමණි.
තිහක් පමණ වූ දරුවන් කණ්ඩායම් පහකට බෙදා හත්පෙති මල තමන්ට ලැබුණොත් මල් පෙති කඩා
ඉල්ලන්නේ මොනවා දැයි කණ්ඩායමක් ලෙස සාකච්ඡා කර ලියන්නට උපදෙස් දුනිමි.
කණ්ඩායමේ
අදහස් නිර්මාණශීලීව ඉදිරිපත් කළ හැකි බව ද කියා සිටියෙමි. වැඩේ හිතුවාට වඩා
සාර්ථකය. කණ්ඩායම් හතරක්ම නාට්‍යානුසාරයෙන් හත්පෙතිමලට නව අර්ථකථන සපයමින්
පෙත්තෙන් පෙත්තට තම ඉල්ලීම් ඉදිරිපත් කළහ.
තමන්
වෙනුවෙන්ය කියා ඉල්ලා සිටි එකම එක ඉල්ලීමක් හැරෙන්නට අන් සියලුම ඉල්ලීම්
ආත්මාර්ථයෙන් තොර පරාර්ථකාමී ඉල්ලීම් ය. එසේම කාලීන මානව, සමාජ ප්‍රශ්න ගැන දරුවන්
තුළ වන සවේදීත්වයද එකී ඉල්ලීම්වලින් පැහැදිලි විය. යහපත් සමාජයක් පිළිබඳව දරුවන්
තුළ පවා පවතින සුබ සිහින ඒ තුළ පිළිබිඹු විණැයි මම සිතමි.
ඔවුන්
ඉල්ලා සිටි ඉල්ලීම් අතර,
නියඟයෙන්
පීඩා විඳින ප්‍රදේශවලට වැස්ස...
යුද්ධය
නිසා පීඩාවට පත් වන අසරණ දරුවන්ට රැකවරණය...
කුසගින්නෙන්
දුක් විඳින දරුවන්ට ආහාර...
රෝගී
තත්වයන් නිසා දුක් විඳින මිනිසුන්ට සහනය...
දරුවන්
අහිමි දෙමව්පියන්ට දරුවන්... තනි වූ අසරණ දරුවන්ට මව්පිය සෙනෙහස...
සොබාදහමට
ආදරය, ගෞරවය, රැකවරණය...
තනිවුණු
ආච්චිලා සීයලාට ආදරය... සහනය...
කිසිදු
භේදයක් නැති සාමකාමී සමාජයක්....
ඒ
දරුවන් තමන් වෙනුවෙන් කියා ඉල්ලා සිටියේ එකම එක දෙයකි. ඒ වසරක පාසල් නිවාඩුවකි.
දරුවන්ට අධ්‍යාපනය කොතරම් මානසික පීඩනයක් වී ඇත්දැයි එයින්ම සිතා ගන්නට හැකි ය.
අවසන්
විග්‍රහයේදී මම මෙලෙස පැවසීමි.
‘‘අද
අපි අතරමං වුණාම හත්පෙති මලක් අරන්
වෙස්වලාගත් සුරංගනාවන්වත්, දේවතාවන්වත්, වෙන කවුරුවත් එන්නෙ නෑ දුවේ පුතේ.... මේ
හත්පෙති මල දැනටමත් අපිට ලැබිලයි තියෙන්නෙ..
ඒ
තමයි මගේ ජීවිතය..
මේ
මලේ පෙති තමයි අපේ හැකියාවන්, අපේ ගුණධර්ම... ( පාට පාට මල් පෙති ආදරය, ඉවසීම,
සමාව දීම, කරුණාව වැනි ගුණදහම් බවට විග්‍රහ කරගත්තේ දරුවන්ම ය. )
පෙත්තෙන්
පෙත්ත ඔයාල ඉල්ලූ හැමදෙයක්ම මේ සමාජයට ලබා දීමේ, දිනා දීමේ හැකියාව තියෙන්නෙ
ඔයාලටමයි.” ළමා මට්ටමින් මෙය කළ හැක්කේ කෙසේදැයි අපි සාකච්ඡා කළෙමු.
පෙර
සූදානමක් නොමැතිව වුවද දරුවන් සමඟ පැය දෙකකට ආසන්නව සාර්ථක සංවාදයකට, ක්‍රියාකාරීත්වයකට
යොමු වීමේ තෘප්තිය මා සතු විය.
.............
නමුත්
හිතේ එක් දුකක් ඉතිරි විය. වැඩේ අතරතුර අපි ගැයූ චූටි කුරුල්ලනි, පොඩි කාලේ
දඟකෙරුවාම ගීත දෙකින් ඔවුන් දැන සිටියේ මුල් පද කිහිපය පමණි. වැඩසටහන අවසානයේ ගැයූ
කටු අකුලේ ගීතයටද අත්වූයේ එබඳුම ඉරණමකි. දරුවන් ළමා ගීතයෙන්, අර්ථපූර්ණ ගීතයෙන්
බොහෝ දුරස් ය. ඒ දුරස් බව දුරුකිරීමේ වගකීම ඇත්තේ ද අපටම ය. පොතපත කියවීම, හොඳ ගීත
ඇසීම ජීවිතයට කොතරම් වැදගත්ද මම දරුවන්ට කීවෙමි.
.............
රචිත
මල්ලී මුලින්ම දරුවන්ට මා හඳුන්වා දෙමින් ‘‘තරංගි අක්කා ගොඩක් පොත් කියවන කෙනෙක්. ඕනම
වෙලාවක එයාගෙ බෑග් එකේ පොතක් තියෙනවා” කියා සිටියේය. ඒ අගනා හඳුන්වා දීමකි. අපමණ
සතුටකි.
‘‘ඇත්තටම
නම් මේ වෙලාවෙ මගෙ බෑග් එකේ පොත් පහක් විතර තියෙනවා” මම සතුටින් කීවෙමි. සැබවින්ම ඒ
මොහොතේ මා ඇවිදින පුස්තකාලයක් වී තිබිණි. මිතුරෙකුගෙන් ලැබුණු පොත් කිහිපයක් හා
ගෙදර පොත් එකතුවට ගෙනයන පොත් කිහිපයක් ද බෑගයේ විය. උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා,
ටෙනිසන් පෙරේරාගේ දණ්ඩභූමි, එරික් ඉලයප්පආරච්චිගේ පාදයාත්‍රා, බෝධිනී සමරතුංගගේ
අනිත් කොණ, මංජුල වෙඩිවර්ධනගේ නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක කවි පොත, වීත්යාගේ
ළමා විය මා සන්තකයේ විය.
කොළඹ
සිට වෙන්නප්පුව කරා යන බස්රිය ගමනේ මා ඇසුරු කළේ සන්නස්ගලගේ අම්මා ය. සන්නස්ගල සමඟ
කිසිම පෞද්ගලික පයුරු පාසානමක් හෝ දැන හැඳිනීමක් නොවන බැවින් පොත ගැන වන විචාර
විවේචන සියල්ල පසෙක ලා එය විඳීමේ හැකියාව මා සතු විය. එය නවකතාවක් නොවේ. විටින්
විට සිහිපත් වන හෝ අසා දැන ගන්නා, අහුලාගන්නා මතක සටහන් තැනින් තැන එල්ලා ඇති බවක්
හැඟෙන හෙයින් සාර්ථක චරිතාපදානයක්ද නොවේ. නමුත් එක හුස්මට කියවිය හැකි කෘතියකි. මේ
කෘතිය ලිවීමෙන් ඔහු යම් අස්වැසිල්ලක් ලබන්නට ඇත. මට වැදගත් වූයේ එය නොවේ.
ඔහුගේ
අතීතය, වර්තමානය කෙබඳු වව සන්නස්ගලද කටු අකුලක ඇහැරුණු මලකි. මම ඒ ගැන දරුවන් සමඟ
සාකච්ඡා කළෙමි. අර්ථවත් ජීවිතයක් සොයා යන්නට මහත් වූ ධෛර්යයක් අවැසි බව කියා
දුන්නෙමි.
මගේ
ළමා වියේ ළ.ක්‍රි.වී. ය මට කියා
දුන් පරිද්දෙන්ම මොන තරම් අඩුපාඩු තිබුණත් අපට ජීවිතය දුන් දෙමව්පියන්ට ආදරය කළ
යුතු බවද, ඔවුන් අගය කළ යුතු බවද එසේ කරන්නට උස්මහත් වී රැකී රක්ෂා කර මුදල් හම්බකරන
තුරු සිටිය යුතු නැති බව ද පෙන්වා දුනිමි. ළමා මට්ටමින් දෙමව්පියන්ට ආදරය කළ හැකි,
ඔවුන්ගේ බරට උර දිය හැකි මාර්ග කොතෙකුත් ඇත. මට එය කියා දුන්නේ ළ.ක්‍රි.වී. අම්මාය. ඒ මගේ
බාල වියේ දී ය.
කටු අකුලේ මල් ඇහැරේ... රළු අහසේ තරු හිනැහේ..
තුඩින් තුඩේ රැව් නැගේ.. කුරුළු ගී ගායනා
කුළින් කුළේ පැතිරෙතේ සුදු වලා පාවෙනා...
ළමයින් සුවඳයි... කඳුළක දිලිසෙයි
අඳුරු විමානේ රන්මිණි පහනයි.....
අපේ සුන්දර අර්ථසම්පන්න සංවාදය නිම වූයේ ඒ
ගීයෙනි.
2014.09.07
ප.ලි.
ලිපිය ලියා පළ කරන්නට අවැසි පින්තුර තෝරමින්
සිටින විට දුරකථන ඇමතුමකි. නිසංසලා නංගීගෙනි.
‘‘අක්කේ මම මේ ගත්තෙ ඊයෙ වැඩසටහන ගැන
ළමයින්ගෙ ප්‍රතිචාර කියන්න.”
ළක්‍රිවියේ ඕනෑම කටයුත්තක් අවසානයේ
පසුවිපරමක් සිදු කිරීම අනිවාර්ය ය. වැඩේ සාර්ථක වුවද, අසාර්ථක වුවද ළමා මනස, අධ්‍යාත්මය
ගොඩනැංවීමට අවශ්‍ය පසුබිම සැකසෙන්නේ මේ විග්‍රහයෙනි. අවසන් විග්‍රහයට පමා නොවීම මා
එතැනින් නික්මුණේ මකුල් දැල් බැඳුණු, කැලේ වැහුණු මගේ හුදකලා ගේ පොඩ්ඩ සිතින්
දකිමිනි.
‘‘ළමයි හැමෝම වගේ කතා කළා. එයාල ඔයා කළ
වැඩසටහනටත් ගොඩක් කැමතියි. එයාලටත් හත්පෙතිමලක් වෙන්න ඕනලු. හත්පෙතිමල නොකියවපු අයට
කියවන්න ආස හිතුණලු. එක පුතෙක් කිව්වා එයාට අම්මා පොත කියවන්න ආසයි කියල. පොත්
කියවීමෙන් මේ තරම් දේවල් දැනගන්න පුළුවන් කියල හිතුවෙ නැහැලු...
තවත් පුතෙක් කිව්වා අපි අපේ දෙමව්පියො ගැන
වැරදියට හිතන්න හොඳ නැහැ. අපි දැන්ම ඉඳල අපිට ආදරය කරන අයට සලකන්න ඕන පුළුවන්
විදියට..... එහෙම කිව්ව පුතා අක්කෙ, ගොඩක් ප්‍රශ්නවල ඉන්න දරුවෙක්. අම්ම තාත්තා ළඟ
නෑ. ආච්චි ළඟ හැදෙන්නෙ...”
නිසංසලා නංගී තවත් බොහෝ දේ කීවාය. මගේ ඇස
කඳුළකි. සතුටට ය. ඉදින් මා ජීවත් වන බව මට දැනේ. එය වාසනාවන්ත ජීවිතයකි.
සිරිගම්පල මීසමේ ගරු හයසින්ත් තිසේරා
පියතුමාද තුන්දින නේවාසික වැඩමුළුවේ සමුගැනීමේ උත්සවයට සහභාගි වී ඇත.
‘‘ළ.ක්‍රි.වී. යට ඉන්නෙ
පුංචි පිරිසක්. නමුත් ඒ පුංචි කණ්ඩායම අර්ථවත් වැඩක් කරනවා. ළ.ක්‍රි.වී. යෙ අය තනියම
ස්වර්ගයට යන්න හදන්නෙ නෑ. කිසිම භේදයක් නැතිව එයාල තමන් වටේ ඉන්න අනිත් අයගෙත් අත් අල්ලාගෙනමයි
ස්වර්ගයට යන්න උත්සාහ කරන්නෙ. ඒක තමයි ළ.ක්‍රි.වී. යේ තියෙන
ලොකුම වටිනාකම...”
හයසින්ත්
පියතුමා පවසා ඇත.
සැබෑවකි.
මා අදහන ස්වර්ගීය සත්‍යයන් සමඟ මුහුවන්නට මට මගහසර පහදා දුන්නේ ළ.ක්‍රි.වී. අම්මා ය. එය නොවන්නට අද
මා කොතැනකද? සිතීමත් අසීරු ය. මහත් වූ කෘතවේදී හැඟීමකින් හදවත පිරී යයි.