පිටු

Thursday, July 30, 2015

උත්තරාරාමයේ උත්තරීතර සුව සදන මෙත් සිහිල



හරිත තණ පලස අතරින් පතර වැතිර සිටින ගල් තලාවන් ය. සෙවණ සදන විසල් තුරු ලිය ගොමු ය. පසෙක පවන් රැලි මත සිහිල් දිය බිඳිති අතුරන පස් පියුමෙන් සුසැදි වැව් තලය ය. ඉන් ඔබ්බෙහි හරිත තුරු වියන ඉහළින් දිස් වන සුදෝ සුදු කිරි වෙහෙර ය. ඒ අතර මහා ගල් පව්වක නිමැවුණු බුදුන් වහන්සේගේ මෛත්‍රී කරුණා ගුණයෙන් පිරිපුන් සෙල් රූ පෙළ ය. මහාවංශයට අනුව උත්තරාරාමය යැයි නම් ලද පොළොන්නරුව ගල් විහාරය අවිදු අඳුරට, මෝහාන්ධකාරයට ගොදුරු ව තෘෂ්ණාවෙන්, මමංකාරයෙන් නොනවතින ජීවන අරගලයක යෙදී සිටින මනුෂ්‍ය හදවත් නිවා සැනසිය හැකි අපූරු පින්බිමකි.

උත්තරාරාම ලෙන් විහාරය මහා පරාක්‍රමබාහු රජ සමයේ (ක්‍රි.ව.1153-1186) ශිල්ප කලාවන්හි පවා පැතිර පැවති අධ්‍යාත්මික ප්‍රබෝධයට නිහඬ සාක්ෂි මෙනි. මේ පින්බිමට පිවිස ශෛලමය බුද්ධ ප්‍රතිමා දෙස නිවුණු මනසින් දැහැන්ගතව සිටින විට අතීත කලාකරුවන්, ශිල්පීන් සතු වූ කෞශල්‍යයට, කලාත්මක සංයමයට, විවේකී බුද්ධියට, අධ්‍යාත්මික දියුණුවට තවත් සාධක කුමකටදැයි සිතේ.  

හිඳි පිළිම දෙකක්, හිටි පිළිමයක් සහ ඔත් පිළිමයක් එකම තැනක එකම පව්වක මෙතරම්ම විශිෂ්ඨව නිර්මාණය වූ අන් කිසිදු තැනක් ලෝකයේ නැත.

මකර තොරණ පසුබිම් වූ හිඳි පිලිමය

උත්තරාරාම පුදබිමේ හරිත තැන්න මතින් වැලි පෙතේ පා තබා එන විට මුලින්ම අප ඇස ගැටෙනුයේ වීරාසනයෙන් පද්මාසනයක් මත වැඩ හිඳිනා මකර තොරණක් පසුබිම් කරගත් සමාධි පිළිමයකි. අඩි 15 ක් පමණ උසින් යුක්ත ය. සමාධිගත වූ බුදු රුව ධ්‍යාන මුද්‍රාව සහිත ය. පාංශුදේහදාරී රූපකාය ඍජු ය. අභිමානවත් නමුදු සන්සුන් මුදු ගුණය ද මැනවින් නිරූපිත ය.
මකර තොරණේ විමානවල  තැන්පත් කළ කුඩා බුදු රූ ය. මකර තොරණ සියුම් කැටයමින් අලංකෘත ය. පද්මාසනය රැඳි මණ්ඩපය පවා මනරම් සිංහ, අශ්ව රූප මෙන්ම මල් මෝස්‌තර කැටයමින් සමලංකෘත ය.


විද්‍යාධර ගුහාවේ හිඳි පිළිමය

කළු ගල ඇතුළට හාරා කුළුණු දෙකක් සහිතව සාදන ලද ලෙන තුළ වැඩ හිඳින පිළිම ය උස අඩි 4 ක් පමණ වේ. මුල් හිඳි පිළිමය මෙන් ම වීරාසනයෙන් පද්මාසනයක් මත වැඩ හිඳිනා ධ්‍යාන මුද්‍රාව සහිත හිඳි පිළිමයකි. බුදු රුවේ සිරස ට ඉහළින් ඡත්‍රයකි. පිටුපස තොරණ සහ පිලිමය දෙපස සිංහ, දොරටුපාල, දේව හා බ්‍රහ්ම රූ කැටයම් කොට ඇත. පද්මාසන මණ්ඩපය ද කැටයම් සහිත ය. පිළිමය දෙපස බුදුන් වහන්සේට පවන් සලන ඉරියව්වකින් යුත් චාමරධාරී රූ දෙකකි. අතීතයේ මෙම තොරණ වර්ණ ආලේප කර තිබූ බවටත්, ප්‍රතිමා ගෘහය ෆ්‍රෙස්කෝ ක්‍රමයට අනුව බදාම හා බිතු සිතුවම් ඇඳ තිබූ බවටත් සාධක හමු වී ඇත. විශේෂයෙන් ම මෙම සිතුවම්වලින් බෞද්ධ කතාවල ප්‍රකාශිත ඉන්ද්‍රසාල ගුහාව සංකේතවත් වන බවට මතකයක් පවතී. ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී. බෙල් මහතා මෙම විද්‍යාධර ලෙන් සිතුවම් අජන්තා ලෙන් සිතුවම්වලට වඩා අග්‍රගණ්‍ය බව ප්‍රකාශ කර ඇත.


මහා කරුණාවෙන් ලොව නිරීක්ෂණය කරන හිටි බුදු රුව

උස අඩි 22 ක් පමණ වන වන මෙම හිටි පිළිමය බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක ආනන්ද තෙරුන් වහන්සේගේ බවට ද මතයක් පවතී. බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම සිහිගන්වන සැතපෙන පිළිමය අසලින්ම නෙලා ඇති හෙයින් ද, පිළිමයේ දෑත් තබාගෙන ඇති ඉරියව්වද එකී මතයට හේතු සාධක වී ඇතැයි සිතිය හැකි ය. මෙම හිටි පිළිමයෙන් බුදුන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාව නිරූපණය වන බවට ද තවත් මතයකි. පද්මාසනය, ලම්බකර්ණ, මුදු ගැසුණු කෙස්, ඍජු රූපකාය ආදී ලක්ෂණ නිරීක්ෂණය කරන විට මෙම පිළිමය බුදුන් වහන්සේ ම නිරූපණය කරන බවට සැකයක් නැත.

මහාචාර්ය සෙනරත් පරණවිතානයන් සඳහන් කරනුයේ මෙය පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව බවයි. එම මුද්‍රාව අරුත් ගන්වන්නේ බුදුන් වහන්සේ මහා කරුණා නෙත යොමු කර ලෝක සත්වයා නිරීක්ෂණය කරන ආකාරයයි. මහාචාර්ය කඹුරුපිටියේ වනරතන හිමියන් ගේ අදහස එය තෛයිලෝක්‍ය විජය මුද්‍රාව බවයි.

ශෛලමය නෙළුම් මලක් මත නෙළූ පිළිමයේ සිරුර තුන් තැනකින් නැමුණු ස්වභාවයක් දරන්නේ, සැහැල්ලු ඉරියව්වක පසුවන බවක් පෙන්නුම් කරමිනි. ඉදිරියෙන් බලන විට විටෙක කණස්සලු ස්වභාවයක්ද, කල්පනාකාරී ගැඹුරු ස්වභාවයක් ද දක්නට ලැබුණ ද පසෙකින් හිඳින්නකුට මඳහසක් සහිත සැහැල්ලු ස්වභාවයක් දර්ශනය වනු ඇත.


සිංහ සෙයියාවෙන් සැතපෙන බුදුන් වහන්සේ

දිග අඩි 46 ක් වන මෙම බුද්ධ ප්‍රතිමාව ගල් විහාරයේ විශාලම ප්‍රතිමාව ද වේ. බුදුන් වහන්සේගේ පිරිනිවන් මංඤ්චකය නිරූපණය වන බවට ද, බුදු හිමි සැතපෙන අවස්ථාවක් බවට ද මෙම පිළිමය ගැන මත ඉදිරිපත් වී ඇත. කොට්ටය මත තැබූ වම් අත මත බුදුන් වහන්සේගේ හිස සැතපී ඇත. සයනාසනාරූඪ සිරුරක හැඩය, සැහැල්ලුවෙන් නිදි සුව විඳින වත මඬලක ප්‍රභාසම්පන්න බව, සිරසේ බර දරන කොට්ටය යටට එරී ඇති ආකාරය පවා මූර්තිමත් වන විශිෂ්ඨ නිර්මාණයකි. කොට්ටයේ මුහුණත ද අලංකාර කැටයමින් යුක්ත ය.


රළු කළු ගලක අසිරි පෑ විස්මය

ගල්විහාර බිමේ සැම ප්‍රතිමාවක් ම, සැම කැටයක් ම අසිරිමත් ය. අග්‍රගණ්‍ය ය. ගල් පව්ව වුව විශිෂ්ට කලාකරුවන් අත මැටි පිඩක් තරම් සුමට වන බවට අගනාම නිදසුනකි මේ. වඩාත්ම ඓශ්චර්යය වන්නේ රළු කළු ගලක බුදුන් වහන්සේගේ ආරෝහ පරිණාහ දේහයත්, මුදු කරුණා ගුණයත්, සමාධිගත භාවයත් මෙතරම් විශිෂ්ඨව නිමවා තිබීම ය. ප්‍රතිමාවන්හි භාවයන් නිරූපණය වන අන්දම ද විස්මිත ය. නරඹන්නා රැඳී සිටින කෝණය අනුව එකම ප්‍රතිමාවෙන් වුව ද විවිධ භාවයන් හඳුනා ගත හැකි වනු ඇත. බුදු වුවනත රැඳී ඇති සමාධිගත නිවුණු ස්වභාවය එදා කලාකරුවන් තුළත්, සමාජය තුළත් පැතිර පැවති සංහිඳියාව මූර්තිමත් කරන්නේ යැයි සිතිය හැකිය.

සිරුරටම ඇලී යන පරිද්දෙන් නම්‍යශීලීව දක්වා ඇති සිවුරේ රැලි ස්වභාවය සමාන්තර සරල රේඛා දෙකක් ලෙසින් කැටයම් කොට ඇත. එමඟින් සිවුරේ මුදු සිලිටි ස්වභාවය මැනවින් නිරූපිත ය.

"කළු ගල් කපා තනන ලද මේ කලුගල් විහාරය පැහැදිලිවම එහි විශේෂ ලක්ෂණ අනුව අසාමාන්‍ය නිර්මාණයකි. මෙය ශ්‍රී ලංකාවේ බෙහෙවින් ම කැපී පෙනෙන අතිවිශිෂ්ට නිර්මාණයකි. ඊට සම කළ හැක්කක් ඉන්දියානු උප මහද්වීපයේවත් නැත"
                                                  ~එච්.සී.පී.බෙල්~  

ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යාඥ එච්.සී.පී. බෙල් මහතාගේ මහත් ගෞරවාදරයට ලක් වූ උත්තරාරාමය ඔහු උත්කර්ශයට නඟන්නේ එලෙසිනි.

ගල් විහාර පුද බිම අවට පරිසරය ද, බුද්ධ රූ පෙළ ද මානව සන්තානයන් නිවා සනසන කෙම් බිමකි. මෙය පූජනීය භූමියක් වන්නා සේම ලක් ඉතිහාසයේ අධ්‍යාත්මික ප්‍රබෝධයේත්, ශිල්ප කලා ප්‍රවීණත්වයෙත්, සමෘද්ධිමත්භාවයේත් එකමුතුවෙන් උපදින සංහිඳියාව මැනවින් ප්‍රකට කරන අග්‍රගණ්‍ය අධ්‍යාත්මික කලාගාරයකි.


( පොසොන් පොහොය නිමිති කොටගෙන පොළොන්නරුවේ පවත්වන දළදා පෙරහැරට සමගාමීව එළිදක්වන දළාදාභිවන්දනා සමරු කලාපයට ගල් විහාර පුදබිමේ සැරිසර ඇසුරින් සහ අන්තර්ජාලයෙන් ලබා ගත් තොරතුරු ආශ්‍රයෙන් සැකසූ ලිපියකි.)








Tuesday, July 21, 2015

“සම්සරා“ සංසාර ළතැවුල් මේසා බර ද?


‘සම්සරා’ සංසාර ගමන ගැන අලුතින් හිතන්නට දෙයක් එක්කළා යැයි හිතුණෙ නැහැ.  බොහෝ වර දැනෙමින්, හැඟෙමින් තිබුණු ජීවිතය පිළිබඳ හැඟීම් ගොන්නක් ඒ නිස්කලංක රූප රාමු අතර මට නැවත හමුවෙමින් තිබුණා.

ළමා වියේදී පැවිදි බිමට ඇතුල් වෙන ටාෂි තාරුණ්‍යෙය්දී ඉතා දුෂ්කර ධ්‍යානයක් සපුරා නැවත ආරාමයට පැමිණෙනවා. නමුත් ඔහුට මුළුමනින්ම තම ඇතුළාන්ත තෘෂ්ණාවන් අත්හරින්නට හැකි වී නැහැ. අනපේක්ෂිතව හමුවන සුන්දර යුවතියක් නිසා සසල සිතැති ඔහු පැවිදි දිවියෙන් බැහැරව ඇය සමඟ විවාහ දිවියට ඇතුළ් වෙනවා. එය අතිශය සුන්දර, ශෘංගාරාත්මක ප්‍රේමාලිංගනයන්හි සිට එදිනෙදා දිවියේ අපි දකින යාන්ත්‍රික විවාහ දිවියක් දක්වා පරිවර්තනය වන අයුරු සියුම්ව නිරූපිතයි... 

ආලය, රාගය, ගේහසිත ප්‍රේමය, ධනය, බලය මේ සියල්ල අත්කරගත්තත් ඒ කිසිවකින් අධ්‍යාත්මික සංහිඳීමක් අත්නොදකින ටාෂි නැවතත් කසාය වස්ත්‍ර පොරවා නික්ම යනවා... සරල කතා පුවත එලෙස වුණත් ඒ තුළ ජීවිතය, ආදරය, අනුරාගය, ධනය, බලය පිළිබඳව බරපතල කතාවක් සංකේත රැසක් එක්ක සුන්දරව ගලා යනවා.



දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ... හදවත තමන්ගේ ඒත් සතුට අනුන්ගේ...

මේ ගීතය චිත්‍රපටයේත් එක් තැනක හෙමිහිට ඇසුණා මතකයි. කොතැනද හරියටම මතක නැහැ. අර්ථය යම්තමින් දැන උන් නිසාම පසුබිමින් ඇසුණු මේ ගී ඛණ්ඩය වුණත් සමස්ත කතා තේමාව එක්ක කොයි තරම් දුරට පෑහෙනවද කියල දැණුනා.

තමන්ගේ සතුට අනුන්ගේ දෑස් තුළ, අනුන්ගේ හදවත් තුළ, පරිභෝජනවාදය තුළ හොයන්නට යාම ආයෙමත් වේදනාවට පාර කපා ගැනීමක් නෙවෙයිද? තමන්ගේ සතුට තමන් තුළින්ම සොයා පහදාගන්නේ කොහොමද? තමන් තුළින්ම අධ්‍යාත්මික සුවපත්භාවය අයත් කරගන්නට හැකි නම් ජීවිතය කොතරම් සාමකාමී සුන්දර අත්දැකීමක් වනවාද? මම හැමදාමත් මගේ හිතෙන්ම අසමින්, පිළිතුරත් හදවත තුළම ගොනු කරගනිමින් ඉන්නා කතාවක් ඒ....

‘‘වතුර සියල්ලම  හිස් කළත් එක බිංදුවක් හරි ඉතිරි වෙන්නෙ කොහොමද?‘‘ චිත්‍රපටයේ ආරම්භයෙදිම ටාෂිගේ දෑස හරහා අපේ ඇස ගැටෙන ගල් පුවරුවක ඒ වැකිය හමුවෙනවා... චිත්‍රපටය අවසානයේ ටාෂි එතැනදිම ඒ ගල් පුවරුවම අනෙක් පස පෙරළා බලනවා... ‘‘ඒ දිය බිඳුවමයි මහා සමුදුරක් බවට පත්වෙන්නෙ.‘‘ එහි සඳහන්..

ජීවිතයත් එලෙසින්ම වන බව චිත්‍රපටය තුළ ගැඹුරින් සාකච්ඡා වනවා. තණ්හාව ආශාව කොතරම් දුරස් කළත් අංශු මාත්‍රයක් හෝ ඉතිරි වෙනවා. එයම තමයි අවසානයේ මහා දුක්ඛ මහෝඝයක් වෙන්නෙත්. එසේ නොවන්නට ඇලීම් ගැටීම්වලින් තොරව පවතින්න සිහිබුද්ධිය වගා කරගැනීම පහසු දෙයක් නම් නෙවෙයි. ඒ නිසාම නිරන්තරයෙන් හදවතේ ඉරිතැලීම් ඇති වෙන්නත් පුළුවනි. ජීවිත කාලය පුරාම අපි කරන්නෙ ඒ ඉරිතැලීම්වලට තෙල් සාත්තු කරමින් සුවපත් වන්නට උත්සාහ ගනිමින් ඉන්න එක නෙවි ද? ඇත්තටම ජීවිතය කියන්නෙ ඒකට ද?

‘සම්සරා’ මනදොළ සපුරාගනිමින් ජීවිතය ලුහුබඳින්නකුගේ ජීවන අන්දරය පමණක්ම නොවේ. එය අයිතියෙන් තොරව ප්‍රේම කරන්නටත්, අවැසි විට අත්හරින්නටත්, ජීවිතය තුළම නැවතී හිඳිමින් ජීවිතය දිනාගන්නටත් ගැහැණිය සතු ශක්තිය පිළිබඳවත් හෘදයාංගමව කතා කරන සිනමා සිත්තමක්.

චිත්‍රපටය අවසානයේ ටාෂි බිරිඳත් දරුවාත් අතහැර පිටව යනවා. ඒ මොහොතේ ප්‍රේක්ෂක හදවතට සම්මුඛ වෙන්නෙ ජීවිතය සොයා යන්නෙකුට වඩා පරාජිතව ජීවිතයෙන් පළායන්නෙක්. ඒ ගමන අතරතුර අනපේක්ෂිතව ඔහු හමුවට එන්නෙ බිරිඳ පේමා.. භික්ෂුවක වූ ටාෂිගේ හදවත පැහැර ගෙන ඔහු ගිහි ජීවිතය කෙරෙහි ඇද බැඳ ගත් ප්‍රේමවන්තියත් ඇයමයි... ටාෂි ජීවිතයෙන් පළා යන මොහොතේ තීරණාත්මකව ඇය කරන කතාව නිරායාසයෙන්ම පේමා චිත්‍රපටයේ කේන්ද්‍රීය සහ ප්‍රබල චරිතය බවට පත් කරනවා.


 ‘‘ බුදු හාමුදුරුවො වුණත් ණයගැතියි තමන් ලැබූ බුද්ධත්වය වෙනුවෙන් යශෝධරාට...“

‘‘තාත්ත කෙනෙකුට පුළුවන් වුණාට මහ රැයක දරුවවයි, බිරිඳවයි තනි කරල පිට වෙලා යන්න, අම්ම කෙනෙකුට බෑ තමන්ගෙ දරුවව එහෙම තනි කරල යන්න.“

නොසැලුණු මනසින් තිර අධිටනින් ඇය පැවසූ කතාවෙන් හිතේ කා වැදිලා, මතකයේ ලියවිලා තියෙන්න එපමණයි. ඇය පවසනවා මේ වෙන්වීම ඇය අපේක්ෂා කළ දෙයක් බව. සියල්ලටම පෙර පිටු පා යාමේ උවමනාව ඇති වුණේ තමන්ට වුණත් එලෙස පහසුවෙන් ජීවිතය අත්හැර යන්නට තමන්ට නොහැකි වූ බවත් ඇය පවසනවා. මේ මොහොතෙදි ටාෂි ගේ අසරණ බවත්, පේමාගේ ධෛර්යවන්ත බවත් විශේෂ කොට දක්වන්නට සිනමාකරු අදහස් කළාද හිතෙන තරම්...

ආදරය වෙනුවෙන් කැපකිරීම් කරන්නත්, ආදරය වෙනුවෙන් අත්හරින්නත් ආදරවන්ත ගැහැනියක් තුළ තියෙන ශක්තිය ගැන පිරිමියෙකුට හිතාගන්නවත් බැහැ. මට හිතුණෙ එහෙමයි...


ආපසු එන්නැයි නොකියාම, යන අතක යන්නැයි නොකියා කියාම පේමා නික්ම යනවා.. ඉනික්බිතිවයි ටාෂි ගල් පුවරුව අනෙක් පස හරවා බලන්නේ.  

විඩාබර වත ඔසවා අහස බලන ටාෂි ඇස් නිලංකාර වන ඉර එළියත් එක්ක දකින්නේ ගොදුරකට කුරුමානම් අල්ලමින් ඈත අහසෙ එකම චක්‍රයක කැරකෙමින් ඉන්න උකුස්සෙක්.. ( රාජාලියෙක්, ගිජුලිහිණියෙක් ද මන්දා.. ) එය හරියට කොයි මොහොතේ හෝ අප ඩැහැගන්නට බලා සිටින තෘෂ්ණාවේ, ආත්මාර්ථයේ සංකේතයක් වගේ.. තවත් පැත්තකින් ගොදුරු ලොබින් සංසාර චක්‍රය තුළ කැරකෙමින් ඉන්න මිනිස්කමේ සංකේතයක් වගේ...

සංසාර ළතැවුල් මේ සා බර ද? නිවී සැනසීම කොතරම් දුර ද? චිත්‍රපටය නරඹා බොහෝ දිනකට පසුවත් ඒ සිතුවිල්ල මගේ හිතේ පෙරළි කරමින් තියෙනවා. 


Thursday, July 9, 2015

‍මරණීය වේදනාවක් තියෙන රමණීය කතාවක්


අද සැඳෑව සැබවින්ම සුන්දර ය. මිතුරු සමාගමයේ ආදරවන්ත හෝරා දෙකකින් පසු විහාරමහා දේවි උද්‍යානය මැදින් බස් නැවතුම කරා ආ නිස්කලංක ගමනේ දී සිත බොහෝ සැහැල්ලුව තිබිණි. බැදපු රටකජු ගොට්ටකුත් රැගෙන දුම්රිය නැවතුමේ ලෑලි බංකුවක වාඩි වී ‘‘මේ කතාව‘‘ දිග හැරගතිමි.

‘‘ගැහැනුනි සාහිත්‍ය මදුරාපුර ගිනි තබනු.‘‘ සර්පයාගේ ඉල්ලීම (ආදරණීය අණක් මෙනි.) මගහැර, සුරේකාගෙ කෙටිම කෙටි පෙරවදන හද මත තැන්පත් කරගෙන ඒවා ගේ පරපුරේ ‘‘මේ කතාව‘‘ තුළ දැහැන්ගත වීමි.

මොහොතකින් මට රටකජු අමතක විය.

‘‘එකෝමත් එක දවසක බිළිදිය උපන්නා...... දුඹුරු ඇස්, රෝස කම්මුල්, පුංචිම පුංචි කම්මුල්, ලොකු කන්පෙති, සිනිදු කෙස්.....‘‘

නවකතාවක් ලියන්නේ නම් එවන් වූ කතා ලතාවක් ගැන සිහිනයක් මසිතේ ද විය. පේද්රෝ පරාමෝ ලියැවුණාක් මෙන් නිරායාසයෙන් ගලා යන කටවහරට සමීප හදබසට ළෙංගතු කතා ලතාවක්..

‘‘සුරේකා  ඉරිසියා හිතෙන තරම් මේ අකුරු ඇමිණුමට මං කැමතියි..‘‘ මසිත මුමුණයි.

‘‘පත්තර කඩදාසිවලින් කවර දා තිබුණු ඒ පොත්වල හිටපු නොයෙක් නොයෙක් ගෑනු ඔවුනොවුන්ගෙ ජීවිත කතාවල අත්වින්ද අපරිමිත ගැහැටවල් ගැන හුගක් කල්පනා කරපු අරුන්දතී හිතුවෙ හැම ගැහැනියක්ම දැවි දැවී තිබී දිය වෙලා වැහැරිලා ගිහින් නිවෙන්ඩ නියමිත ඉටිපන්දම් වගේ නේද කියල.....

ගෑනු කියන්නෙ දැවෙන කොට ලස්සන, දැවීම තුළම දියවෙන ඉටිපන්දම් ජාතියක් ද?‘‘ - 53 පිටුව

මගේ දෑසත්, හිතත් ඒ අකුරු අතර දැවටී, නැවතී අතරමං වී තිබිණි.

‘‘හලාවත ට්‍රේන් එක නේද එන්නෙ..‘‘ ආසන්නයේ අසුන් ගෙන උන් කාන්තාවක් මගෙන් නොවිමසන්නට දුම්රිය මා එහි දමා යන්නට ඉඩ තිබිණි.

ඒ මොහොත වන විට සමන්තා මැණිකේ ගේ දිනපොත අරුන්දතී අත පත් වී තිබිණි. දුම්රියට ගොඩවැදුණු පසු හිස් අසුනක් නොවන බව දැකීමෙන් ඇති වූ කණස්සල්ලට වැඩි ආවිස නොවිණි. මගේ දෑසේ අසරණ බැල්මක් ලියැවී තිබෙන්නට ඇත. කොලු ගැටයෙක් නැගී දොරටුව දෙසට නික්මිණ.

ඉදින්, සුරේකා මට දෑස් ඉවතට ගන්නට සිතුණේම නැත. හතරවටින්ම පුරුෂ පවුරක් ඉදි වී, දහදිය උෂ්ණය, ඉඳහිට හමන මත්පැන් දුඟඳ, එහෙන් මෙහෙන් වැදෙන ශරීරාංග, ගමන්මලු අතර වුව මසිත සමන්තා මැණිකේ, අරුන්දතී, කානම්මා, නන්දිතා සමඟ දොඩමළු වෙමින් තිබිණි. නමුත් අන්ධකාරය මැද සැඟවී යන දුම්රිය නැවතුම්වල ඡායාවන් හිතේ ඇඳගන්නට විටින් විට හිස ඔසොවන්නට සිදු විය.

රැවුල්කාරයා අරුන්දතී දකින්නට පාසල් නේවාසිකාගරයට පැමිණ ගියේය. නමුත් ඔහු තමා අප්පච්චී බව නොකියා යාම ගැන නොරිස්සුමක් මෙන් ම, අරුන්දතී ගැන අප්‍රමාණ දුකක් මසිත ඉතිරි විය.

රාගමින් පසු මම පොත වසා ගමන් මල්ලේ ලා ගතිමි. නැතිනම් සැබවින්ම මට මගේ නැවතුම මගහැරෙන්නට ඉඩ  තිබිණි. අල්ලා ගන්නා දෑ ගැන, අත්හැරිය යුතු දෑ ගැන මෙන්ම මඟ හැරෙන්නට නියමිත දෑ ගැන වුව ද සිහිබුද්ධියෙන් පසු විය යුතු ය. එවිට වේදනාවන් අවම ය.

නවාතැනට පැමිණි පසු අද ම, මේ මොහොතෙම යමක් ලියා තැබිය යුතු යැයි සිතුණි. 

මේ කතාවේ 71 පිටුවේ නතර වී හිඳිනා අතර මේ අකුරු අමුණමි.

උණුහුම් හාදුවකින් සමුගන්නා මොහොතේ ‘‘අක්කට මේ පොත ගැන යමක් ලියන්න හැකි වේවි.‘‘ සුරේකා මිමිණුවා ය.

සුරේකා, මේ මොහොතේ ඔබ මා සමීපයේ වූයේ නම් කොපුල මත හාදුවක් තබා මෙසේ පවසමි.

‘‘ලස්සනයි නංගී.. මරණීය වේදනාවක් තියෙන රමණීය කතාවක්. මේ පුංචි කොදෙව්ව ඇතුළෙ නිදහසින් පස්සෙ අවුරුදු ගණනාවක දේශපාලන අවුල් වියවුල් ජාලය ඇතුළෙ තැලිලා පොඩි වෙලා මිරිකිලා විනාශ වෙලා යන ගැහැණුන්ගෙ කතාව ඔයා කොහොමද පිටු 144 කට ගන්න විස්මකර්ම වැඩේ කළේ...‘‘



Wednesday, July 8, 2015

සැඳෑ සක්මන


හැමදාම හැන්දෑවට
කොල්ලුපිටිය ඉස්ටේසම
අතීත සිඳු ගැඹර
කලත කලතා
මතක දිය බිඳිති
වත මත ඉසින....
ඇස තෙමන....

සිතිජ ඉම සැඳෑ හිරු
උණුහුම් මන්දහාසයෙන්
පැහැසර කරවා
විසල් නිල් අහස
හෙටත් ආදරය ගෙන
නොවැරද එන බව ම
කියා නික්මී යන....

Friday, June 26, 2015

ස්නේහයේ නගරයේ හුදකලා මිනිසා...


favim.com
ඔහු කලිසම් සාක්කුවල ඔබා ගත් අත් ඇතිව, නමා ගත් හිස ඇතිව නිහඬවම ඇවිද යනු මා දැක තිබිණි. දිවිහිමියෙන් රකින්නේ යැයි සපථ කරගත්තාක් වැනි ඒ මුනිවත නිසා ම මා ද ඔහු සමඟ එක වදනක් හෝ හුවමාරු කරගෙන නොතිබිණි.

‘‘අක්ක, දන්නවද අර අළුතෙන් ඇවිත් ඉන්න මහත්තයා කවි සින්දු ලියන එක්කෙනෙක්. ලස්සන සින්දු ලියල තියෙනවා. පොතක්ම තියෙනවා. ඔයා ඉල්ලගෙන බලන්නකො.‘‘

ලැබුණු ඔත්තුව අනුව මම ඔහු සොයා ගියෙමි.

‘‘හේමසිරි මහත්තයා ලස්සන සින්දු ලියල තියෙනවා කියල ආරංචියි.. මටත් දෙන්නකො ඒ පොත බලන්න.‘‘ ප්‍රථමවරට සුහද පිළිසඳරකට  දොරගුළු හැර ගතිමි. සිනා මුහුණින් ඔහු බෑගය හැර පොත මා අත තැබුවේය.

මම ඇස් නළලේ රන්දා ගතිමි.

‘‘මේ සින්දුව!!!! ...... මේ සින්දුව ලිව්වෙ සර් ද? මං කැමතිම සින්දුවක්..‘‘
ඔහු හිනැහී හිස සැලුවේය.


පොතේ නම ද එය ම විය. ‘‘ස්නේහයේ නගරයයි සිත මගේ‘‘ - හේමසිරි ගුණතුංග.

ස්නේහයේ නගරයයි සිත මගේ..
මාවතක් හෝ නොවූ රාගයේ..
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ....

යෞවනේ නිල් නුවන් සේ රැකී
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දමා
රන් සිනා පාමි පූජාසනේ...

මේ නවාතැන් ගෙවා ආත්මයේ
යනතුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිලඹින් - දොවන සේ යදිමි මං
පූජනීයයි උතුම් ආදරේ...

‘‘ස්නේහයේ නගරයයි සිත මගේ‘‘ ගී පද එකතුව 1996 වසරේ ගොඩගේ ප්‍රකාශනයක් ලෙස පළ වූවකි. පොත පිටුවෙන් පිටුව පෙරලාගෙන යන විට තවත් මගේ සිත ඇද බැඳ ගත් සොඳුරු ගීත රැසක් හමු විය.

සිලිං බිලිං කූරු වළලු - පාට හතේ මාල පබළු
වෛවාරණ අරුමෝසම් වටේට එල්ලා
රෝද දෙකේ මාළිගාව පොළට ඇවිල්ලා...

නීලා වික්‍රමසිංහ ගයන මේ ගීතය කොයි තරම් අපූරුද? පද ගැළපුම කොතරම් හෘදයාංගම ද? ළමා වැඩසටහන්වලදී අපි කොතරම් මේ ගීතය ගැන කතා කර ඇත්ද? මා ඉදිරිපිට සිටින්නේ ඒ ගීතය ලියූ මිනිසා ය. මම විස්මපත්ව සිටියෙමි.

ඔහු ලියූ ගීත අතරින් බොහොමයක් ගයා ඇත්තේ අමරසිරි පීරිස් විසිනි. අළුත් පාලමත් එක්ක වෙනස් වුණු තමන්ගේ ජීවිතය ගැනත්, ගමේ ජීවිතය ගැනත් තොටියකුගේ සිතුවිලි මේ ගීතය තුළ කොතරම් සංවේදී ලෙස ගොනු වී ඇත්ද?

කවුරුවත් නැහැ.. කවුරුවත් නැහැ..
එගොඩට යන්නට.. එගොඩට යන්නට..
ඉර ගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ලන්තෑරුම කෝ .. ඔහෙ තිබුණාවේ
කවුරුවත් නැහැ.. කවුරුවත් නැහැ..

අමරසිරි පීරිස්, මැණික් ජයසේකර ගයන මේ ගීතයත් ‘සල් සමන් සුගන්ධිනී‘ සල් සමන් සුගන්ධයක් තරමටම හිතට සමීප ය..

සල් සමන් සුගන්ධීනී වසන්ත විල් තෙරේ
මල් තරංගයක් වෙමී ඔබේ නුවන් විලේ

වැදි සනුහරේ සෙනේවන්තයෙකුගේ කී ගාන හඳුන් පොත එළිදරව් කරන මේ ගීතය ගී මී විත විඳින සහෘද මනසට ආගන්තුක නොවනු ඇත.

මී පැණි දී රිදී ගන්ට
ගම්පොජ්ජට මංගච්චා
සහේ ගෙනා මයෙ නෑනිට
වන දෙයියෝ බැළුම් ලන්ට
කැළෑ පොජ්ජ පට ඇරගෙන
සීපාවුන් ගිනි බිඳිනා
සිදාදියේ හුරන්ගෙන්
වහන් වෙයන් ගෝමරියේ........

දිය පොජ්ජක් ඇන්න යන්ට
රූටන්නේ බලාගෙනයි
කැලේ සතා බරු ගසාවි
වහන් වෙයන් ගෝමරියේ........

අපිලැත්තොට හිත් ලෑවට
රැහේ එවුන් මනාප නෑ
වස විස දෙයි මිය ඇදෙන්න
වහන් වෙයන් ගෝමරියේ..

මැණික් ජයසේකරගේ හඬින් ගැයෙන මේ ගීතයත් හද බැඳී සොඳුරු ගීතයක්ම නොවේද?

බිඟු රෑන වගේ මල් යාය ට
පහන වගේ හැන්දෑවට
නුඹ නැති දා මගෙ හිත පාළුයි
යන්න එපා මං හරි යාලුයි....

ප්‍රේමණීය ගීත මෙන් ම මානව ප්‍රේමය මුසු වුණු විවිධ තේමාවන් යටතේ ලියැවුණු ගීත ද සොඳුරුය.

ජීවිත මානයේ හදවතට දැනෙන, මනස කලම්බන විවිධ තේමාවන් තම ගීතයට පසුබිම් කරගන්නා ඔහු ගේය පද රචනය සඳහා අතිශය සරල ළගන්නා සුළු රමණීය බස් වහරක් යොදා ගනියි.

නමුත් ගී පද රචකයන් අතර ‘‘හේමසිරි ගුණතුංග‘‘ යන නම මගේ මතකයේ රැඳී නොතිබිණි. මේ තරම්ම ගීතයට පෙම් බඳින, ගීත සමඟ ම ජීවත් වෙන, ගීත පිළිබඳව සොයා බලන මගෙන් පවා ඒ නම ගිලිහී තිබිණි. ලැජ්ජාසහගත හැඟීමකින් මම මිරිකී ගියෙමි.

‘‘මම ඉතින් මාධ්‍ය පස්සෙ යන්නෙ නැහැ, මගේ නම කියවගන්න. මගේ වැඩ කොටස කරල පැත්තකට වෙලා ඉන්නවා. අද කාලෙ මාධ්‍යවල ගී පද රචකයගෙ නම කියන්නෙත් නැහැනෙ.‘‘   


ප්‍රේමසිරි කේමදාසයන් විසින් පොතට ලියා ඇති පසුවදන මෙලෙසිනි.
‘‘කලා මාධ්‍යයන් අතරින් ගීතය ජන හදට වඩාත් සමීප බැවින් එහි අන්තර්ගතය ජනතාව ඉතා පහසුවෙන් ග්‍රහණය කර ගන්නවා. මේ නිසා ගීත රචකයෙකුට තම නිර්මාණ මගින් සුවිශේෂ සමාජ මෙහෙවරක යෙදෙන්නට පුළුවන්.

මානව හිතවාදීව සමාජය දෙස බලන ගීත රචකයා ප්‍රේමයේ සුන්දරත්වයත්, අයුක්තියේ අසාධාරණයේ හා වේදනාවේ අසුන්දර පැත්තත් තම නිර්මාණවලට හසුකර ගන්නවා.

ගීත රචකයාගේ ප්‍රධාන මෙවලම වචන යි. ඔහුට කාව්‍යමය භාෂාව ඔසුවක් ලෙසත්, අවියක් ලෙසත් භාවිත කරන්නට පුළුවන්. ඒ නිසා වෙසෙසින්ම අයුක්තියට හා අසාධාරණයට එරෙහි වීමේ දී එම අදහස තම ශ්‍රාවකයාට දිය යුත්තේ මනා සංයමයකින් යුතුවයි. ඔහුගේ සංකල්පනාවන් ආවේගාත්මක නොවීම මෙහිදී ඉතා වැදගත්.

මා විසින් සංගීතය නිර්මාණය කළ හේමසිරිගේ පද රචනා තුළ එම ගුණය නොඅඩුව දකින්නට පුලුවන්. මා හේමසිරි දකින්නේ නව අනුභුතීන් සොයා යන නව පරපුරේ නිර්මාණශීලී ගීත රචකයෙක් හැටියටයි.‘‘

Monday, June 22, 2015

අපූර් පංචාලි - අපූ ගේ ජීවන ගීතය


සත්‍යජිත් රායි ගේ පාතර් පංචාලි හි ‘අපූ‘ ඒ අපූරු සීදේවි කොලු පැංචා සිනමා ලෝලී කිසිවෙකුගේ මතකයෙන් බැහැර නොවනු ඇත. ඒ පුංචි අපූ ලෙස රංගනයේ යෙදුණු සුබීර් බැනර්ජි ගේ සත්‍ය ජීවන කතාව අපූර් පංචාලි චිත්‍රපටය තුළ දිග හැරෙනවා.



සුබීර්ගේ ඇත්ත ජීවිතය සිනමාව තුළ දිගහැරුණු අපූගේ ජීවිතයට කොයි තරම් සමානද කියනවනම් ඒ අහම්බය විස්මිත තිගැස්මකින් හිත අවුළුවන සුළුයි.

අපූර් පංචාලි හි වත්මන් කතාව සිනමා පාසලක ශිෂ්‍යෙයක් වියපත්ව හුදකලා දිවියක් ගත කරන සුබීර් මුණගැසීමට යාමෙන් ආරම්භ වෙනවා. ඉක්බිති එය අපූ සිනමා ත්‍රිත්වයත්, සුබීර්ගේ අතීතයත්, වර්තමාන ජීවිතයත් අතර දෝලනය වෙමින් ගලා යනවා හරි අපූරුවට.


ඉතාම සුන්දර, සංවේදී, බොහෝ අවස්ථාවල ඇස කඳුළු නැගෙන, ජීවිතයේ අසිරිමත් අහම්බයන් ගැන විස්මයක් දැනෙන, මිනිස්කමට ආදරය කරන්න පෙළඹවීමක් ඇති කරන සිනමා සිත්තමක්.. 



Directed byKaushik Ganguly
Produced byShree Venkatesh Films
StarringParambrata Chatterjee,Parno Mitra
Music byIndradeep Dasgupta
CinematographyShirsha Ray
Edited byBodhaditya Banerjee
Release dates
  • 25 November 2013(IFFI)[1]
  • 25 April 2014 (India)
CountryIndia
LanguageBengali

Friday, June 19, 2015

පොදු අපේක්ෂකයා



මැතිඳ !!!!
අමතකව ඇති හැඩ ය..
දැන් ඔබට,
පොදු අරමුණක් උදෙසා
පොදු ජන අප විසින්
සිහසුන වෙත ඔසවා තැබූ
පොදු අපේක්ෂකයා බව
ඔබ අපේ........

නිල් කොල රතු ලොවක
කෙණෙහිලිකම් වින්ද
නිදහස් නිවහල්
දේදුනු පැහැ ලොවක
සිහිනය පොදි බැන්ද
පොදු ජනතාව අපි...

වියරු ඒකාධිපති
රෙජීම පයට පෑගී
තැලී පොඩිවී මරණාසන්න
එකොළොස්වෙනි පැයේ දී
බොහෝ වැර වෑයමෙන්
පණ ගලවා ගෙන
එල්ලෙන්න අත්වැලක්
සෙවූ සමයක
පිදුරු ගහක් වීද ඔබ....
‍
දෙව්දත්, ආලවක
කේවට්ට පරපුරක
උරුමය රකින්නට
පාවා දෙනු කෙලෙස ඔබ
සුවහසක් සිහින
අප සැම පොදි බැන්ද
යහපත් රටක් ගැන

පැහැපත් හෙටක් ගැන...



.........

මේ දිනවල මගේ හිතේ පෙරළි කරන සිතුවිලිම තවත් බොහෝ සිත්වල පැන නැඟී ඇති බව පැහැදිලිය..



වඩා යහපත් දේශයක් ගැන අපේ අරමුුණු පාවා නොදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සියලුම පක්ෂ විපක්ෂ දේශපාලඥයන් වෙත බල කළ යුතු මොහොතකි මේ... 

Thursday, June 18, 2015

අපර්ණා


‘‘අපර්ණා.........
නවතින්න තිබුණා ඔයාට‍.......

කොතෙක් සුවිසල්
වුණත් ලෝකය
උන්නෙ මට මම විතරම බව
දැන උන්නෙ නැහැනෙ
ඔයා තරම් වෙන කවුරුත්ම....

ප්‍රේමයම පිරී ඉතිරෙන
ඔය දෑස තරම්
ජීවිතය කියා දුන් අන් යමක්
නොවූ වග
ලියන්නට බැරි වුණා තමයි මට...


අපර්ණා,
නවතින්න තිබුණා ඔයාට
යා යුතු ම ගමනක් වුණත්
මේ තරම් කළින්
නොයා යුතු ව තිබුණා...

අපූ....‘‘



සත්‍යජිත් රායි ගේ සුන්දර සිනමා කාව්‍ය ය.. අපූර් සංසාර් ඇසග රැන්දූ සීතල කඳුළක් සමඟ.......

Wednesday, June 17, 2015

ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව්ලොවක් වේ....


‘‘ඇයි ලොකු මම්මෙ එයාල අඬන්නෙ..‘‘

චූටි දූ ඇහුවෙ නේපාල භුමිකම්පාවෙන් විපතට පත්වුණු ජනතාව ගැන පෙන්වන රූප රාමුවක් දැකල.

‘‘ නේපාලය කියන රටේ පොලව හෙල්ලිලා, ලොකු පිපිරීමක් වෙලා ගොඩක් අයගෙ ගෙවල් කැඩිලා, මිනිස්සු මැරිලා, තුවාල වෙලා ඒ හින්දයි එයාල අඬන්නෙ.‘‘

‘‘ඉතින් ඇයි පොලව පිපිරෙන්නෙ?“

දෙයියනේ දැන් කොහොමද මං ඒක තේරුම් කරන්නෙ.. 

‘‘ මේ  මහ පොලවත් අපි වගේම හුස්ම ගන්නවා. මේ ගහ කොලත් හුස්ම ගන්නවා. හැමෝම හුස්ම ගන්නවා. දැන් අපි මහ පොලව උඩ ගොඩක් ගොඩනැගිලි හැදුවම, කොන්ක්‍රීට්වලින් පිරෙව්වම පොලවට හුස්ම ගන්න ඉඩක් නැති වෙනවා.........

එතකොට පොලව උඩ තියෙන ගහකොල කපල දැම්මම, තණකොල සේරම සුද්ද කළහම පොලවට හෙවණ නැති වෙනවා. සීතල නැතිවෙනවා. පොලව ගොඩක් රත්වෙනවා. හුස්ම ගන්නත් ඉඩ නැතිවෙලා, ගින්දර වගේ රත්වෙන්නත් උණාම තමයි ඉවසගන්නම බැරිව පොලව පුපුරන්නෙ.. පොලව හෙල්ලෙන්නෙ... පොලව හෙල්ලිලා පිපිරිලා යන එකට තමයි භුමිකම්පාව කියන්නෙ.. ‘‘

අවුරුදු පහ ඉස්මත්තෙ ඉන්න දෝණිට තේරුම් කරන්න වචන ගොඩක් ඕන උණා. ඇය ඇස් ලොකු කරගෙන අහන් උන්නා.

.............

මගේ ගේ පිටුපස පතහක් එක්ක පොඩි ලඳු කැලෑවක් තියෙනවා. පතහ අයිනෙම උස්ව නැගුණු ගහ වැහෙන්නම වැල් ගොල්ලක් ඇතිරිලා. අප්‍රමාණ සර්ප බියක් තිබුණා වුණත් මේ වැල් ගොල්ල කපල දාන්න මට හිතෙන්නෙ නැහැ. ඒ වැල් ඇතිරිල්ලෙ නම නොදන්නා මල් පිපෙන වැලුත් තියෙනවා. චූටි කුරුල්ලො කූඩු හදන් ඉන්නවා. සමනල්ලුත් නිතරම මේ වැල් ගොල්ලෙ මලින් මලට පියඹනවා.  

මගේ කුඩා ගෙමිදුල මුළුමනින්ම වැහිල තියෙන්නෙ උඳුපියලිය සහ තණකොලවලින්. වරින් වර කපන තණකොල වුණත් ගහක් මුලටම එකතු කරනවා මිස මං කවදාවත් පුච්චන්නෙ නැහැ. අපේ ගෙදර මහා පරිසරවේදිනිය ලොකු නංගිත් හරිම විරුද්ධයි කොල අතු පුච්චන එකට. 

වියපත් වෙලා මරණය වැළඳගන්න මිනිස් සිරුරක් වගේම ගහකින් වැටෙන කොලයක්, අත්තක්, දණ්ඩක් පවා මහ පොලවට දිරා යා යුතු බවයි මගෙත් හැඟීම. ඒ අදහස මට දුන්නෙ නාමල් අයියා. ජීවිතේ හමුවුණ තවත් මහා පරිසරවේදියෙක්.

‘‘සුරකිමු සොබාදහම සහජීවනය පතා..‘‘ ළක්‍රිවී තේමාව වුණු වසරක අනුශාසක සම්මේලනයෙදි නාමල් අයිය කිව්ව කතාවක් මට තවම මතකයි.

‘‘නංගි මල්ලි අපි පුරුදු වෙලා ඉන්නවා, මිදුල එහෙම නැත්නම් වත්ත අතුගාලා කොල ටික එකතු කරල පුච්චන්න. ඒක හරිම වැරදි වැඩක්. වේලිලා වැටෙන කොල, අතු රිකිලි වුණත් අයිති ඒ ගහට.. ඒ ගහට ජීවත්වෙන්න තමන්ගෙ මුලු ශක්තියම යොදවන මහ පොළවට. ඒ නිසා අතු ගාන කොල රොඩු ටික ගහ මුලටම එකතු කරල ඒ ගහට පොහොර වෙන්න ඉඩදෙන්න ඕන....‘‘



මහ පොළවටත් හුස්ම ගන්න ඉඩ ඉතිරි කරන්න ඕන. මහ පොළවටත් අපිට වගේම හෙවණ, සිසිල, සැනසුම, ආදරය ඕන. පොලෝ තලය උඩ හිතුමතේ කොන්ක්‍රීට් තට්ටු අතුරන එකත්, පොලිතින් ප්ලාස්ටික් පුරවන එකත්, පොළවට සෙවන සිහිල හදන ගහකොල, හරිත තණ පලස් උදුරල විසිකරන එකත් මහා පාපයක් කියලයි මට හිතෙන්නෙ.

පුද්ගලික කාබන් පියසටහන අවම කරගන්නත් අපි හැකි තරම් උත්සාහ කරන්න ඕන. වායුගෝලයට කාබන් මුදාහරින, වායුගෝලීය උෂ්ණත්වය වැඩි කරන්න දායක වෙන පුද්ගල ක්‍රියාකාරකම්වලින් හැකි තරම් ඈත් වීමත් හරිම වටිනවා.


මේ කාරණා මතක් වුනේ අද ‘‘ජගත් කාන්තාරකරණය වැළැක්වීමේ දිනය‘‘ බව උදේ ගුවන් විදුලියෙන් අහන්න ලැබුණු මොහොතෙ.

Friday, June 12, 2015

ආදරණීය වික්ටෝරියා


ඒ වික්ටෝරියා මතක් වූණේ මේ වික්ටෝරියා නිසා. මේ සටහන ඈ ගැන මතකය හිතේ තදින්ම සටහන් වී ඇති නිසා.

මාස කිහිපයකට පෙර දිනක සෙනසුරාදාවක මම දුම්රියට ගොඩනැගුණා වැඩකට යන්න. මා සිටගත් තැනම සුදු ජාතික තරුණ යුවළක් කුඩා දියණියක සමඟ අසුන් ගෙන සිටියා. ඈ අවුරුදු තුනක් විතර ඇති කියල හිතුණෙ, හරියට වචන උච්චාරණය කළෙත් නැති නිසා. කෙලි පොඩ්ඩ හිටියෙ හරිම නොසන්සුන්ව. ඇයට දුම්රිය ගමන එපා වී ඇති බවකුයි දැණුනෙ. දෙන්න දෙමාල්ලො දූ ව එහාටයි මෙහාටයි මාරු කරගන්නව මිසක ඈ සනසන්න, නළවන්න උත්සාහ කරන පාටක් පෙණුනෙත් නැහැ.

ලංකාවෙ අපි වගේ ළමයි හුරතල් කරන්නෙ නැද්ද සුදු මව්පියන්.. අනේ මන්දා..

රාගමදි මටත් වාඩිවෙන්න ඉඩ ලැබුණා ඒ අම්මයි, දූයි ළඟින්ම. පුරුදු විදියට මම පොතක් දිගෑරගත්තා. සමස්ත දුම්රිය දෙපාර්තමේන්තුවමයි, ලංකාවමයි එපා වුණු ගාණට උන්නු දූ සිඟිත්ත මගේ පොතට ආකර්ශණය වෙන්න ගත්තා. ඇය හෙමිහිට පොත අතගාන්න, පොත අදින්න පටන්ගත්තා. පුංචි උන් ඉන්නවනම් මටත් ඉතින් ලෝකෙම අමතක වෙනවනෙ.

‘‘එයා පොත්වලට හරිම ආසයි.‘‘ එහෙම කිව්වෙ දූ ගෙ තාත්තා.

‘‘දූ ගෙ නම මොකක්ද?‘‘ මං ඇහුවා. සිංහලෙන් නෙවි.

‘‘වික්ටෝරියා‘‘ වික්ටෝරියා අම්මයි තාත්තයි එක්ක ඇවිත් තිබුණෙ ජර්මනියෙ ඉඳලා. දන්න ඉංගිරිස්වලින් අපි විස්තර කතාබහ කළා.

ඉතින් මං වික්ටෝරියා එක්ක යාලු වුණා. අපි දෙන්න කොයි තරම් යාලුවුණාද කියනවනම් ටිකකින් කෙලි පැටික්ක මගෙ උකුලෙ. මං ඈව සිංහලෙන් හුරතල් කළා. ඈ ස්වර්ගීය භාෂාවෙන් හිනා උණා. මං ඈට දුම්රිය කවුළුවෙන් ගහකොල පෙන්නුවා. ලංකාව ලස්සනයි නේද ඇහුවා. ඇය දිගින් දිගටම හිනා උණා.

මේ තියෙන්නෙ අපි දෙන්න හිනාවුණ හැටි.. මේ පින්තූරෙ ගත්තෙ වික්ටෝරියාගෙ තාත්තා.


මරදානට එනතුරුම ඈ උන්නෙ මගේ උකුලෙ. නොනවත්වා හිනා වෙවි. දුම්රිය මැදිරියම අපි දිහා බලන් උන්නා.

අම්මා ඇයව මගේ උකුලෙන් අරගෙන තල්ලු කරන කරත්තයෙන් තිබ්බම ඈ මා දිහා බලන් උන්නා හරිම දුක්බරව. ඉන්පස්සෙ අඩන්න ගත්තා. මම ඇගේ පුංචි අත අල්ලගෙන ඈව සැනසුවා. අම්මයි තාත්තයි එක්ක දුම්රියෙන් බැහැල යන තුරුම ඈ මා දිහා බලන් උන්නා. හුදකලා දුක්බර බැල්මකින්. මට වැඩියක්ම ඈ අමතක නොවුණෙ ඒ බැල්ම නිසාමයි.

අනේ පුංචි වික්ටෝරියා......


සමුගන්නට පෙර ඈ මා දිහා බලන් උන්නෙ මෙහෙමයි....


මේ සති අන්තෙ ගෙදර යද්දි තවත් පුංචි අමුත්තෙක් අපේ පවුලට එකතු වෙලා. චූටි මිමීට මල්ලියෙක්. දැනටමත් එක අතකින් චූටි මිමියි, අනිත් අතින් සසෙන් බබයි වඩා ගන්න සිද්ද වෙලා තියෙද්දි අලුතෙන් එකතු වෙන පුංචි අමුත්තො වෙනුවෙන් තව අත් දහයක්වත් මට රාවණා රජ්ජුරුවන්ගෙන් ඉල්ල ගන්න තමයි සිද්ද වෙන්නෙ....