පිටු

Friday, August 26, 2016

පොත් කතා - සාහිත්‍ය මාසෙත් ළඟයිනේ...


‘‘මංඥම්මෙ, මගෙ ශිෂ්‍යත්ව විභාගෙ ඉවරයිනේ..“

උදෑසනම ආ ඇමතුමකි. ප්‍රීතියෙන් උද්දීප්ත කුරුලු හඬකින් කියා සිටියේ දඬුවම්කාර කාලසීමාවක් අහවර වූ වග ය. ඒ මා ඉසත් තැබූ ඥාති පුතෙකි. ( හිස අත් - දෙවියන් ඉදිරියේ දරුවාගේ හිස අත් තබා මව්පියන් තරමට ම ඒ ජීවිතයේ වගකීම භාරගන්නා බවට පිළින දීම - ඔවුන් ඥාන මව්පියන් ලෙස හැඳීන්වේ. මෙය කතෝලික සම්ප්‍රදාය තුළ එන චාරිත්‍රයකි.)

‘‘ආනේ ෂෝක්නේ...‘‘ වගතුග විමසා බලා ‘‘පහුණු ටිකේ ගොඩක් මහන්සි වුණානේ, දැන් ඉතින් හොඳට සෙල්ලම් කරන්න.“ මම කීවෙමි. නමුත් පුතුගේ උවමනාව වෙනකකි.

‘‘මංඥම්මා එනකොට මට කතන්දර පොත් ටිකක් ගේනවද? මට දැන් කියවන්න පුළුවන්..“

මා වැනි මංඥම්මා කෙනෙකුට එවන් සතුටක් තව කොයින්ද?

‘‘මම මේ සතියෙ එන්නෑනෙ පුතේ. ඔයා අපේ පුස්තකාලෙට බැඳෙන්න. ඇතිවෙන්න පොත් තියෙනවා කියවන්න. කෝ දෙන්නකො අම්මට, මං කියන්නම් ඔයාව එක්කරගෙන යන්න කියල.“

මෙවර ශිෂ්‍යත්වෙ ලියූ පැංචා පුංචි කාලෙ‍ෙ
................

අපේ ගමේ දරුවන් වෙනුවෙන් කුඩා පුස්තකාලය ඇරඹුණේ මගේ කවි පොත එළිදැක්වූ ජනවාරි 16 වෙනිදායින් පසුව ය. ආරාධනා පතේ සඳහන්  වූ ඉල්ලීමට අනුව එදින එකතු වූ ළමා පොත් සංඛ්‍යාව 300 ඉක්මවීය. පුස්තකාලය වෙනුවෙන් ලැබුණු මුදලින් ද තවත් පොත් විශාල ප්‍රමාණයක් ගත හැකි විය.





දැන් ඉතින්, ඒ පුස්තකාලයේ පොත් ගනුදෙනු සිදුවන්නේ මෙලෙසිනි.
ළමා පොත් පුංචි පොත් කබඩයක ය. සති අන්තයේ පුස්තකාලයාධිපතිනිය වන මා ගෙදර ඉන්නා විට අහළ පහළ දරුවන්ට, පාරේ යන දරුවන්ට හඬ ගසමි.

‘‘මුතූ පන්ති ගිහින් එන්න, ඔයාගෙ පොත් මාරු කරගන්න.“

‘‘නෙතූ ඔයා ගිය සතියෙ ගත්ත පොත කියවල ඉවරද? ඉවර නම් අරන් එන්න. අලුත් පොතක් මාරු කරගන්න.‘‘

‘‘පුතේ ඔයා අරන් ගිය පොත මාරු කරගත්තෙ නෑ නේද? ඒ පුංචි පොත කියවන්න මේ තරම් කල් යනවද?“

‘‘නංගි දුවල දෙන්නව එවන්න, පොත් මාරු කරගන්න අද මම ගෙදර ඉන්නවා. මං නැති වුණත් හැන්දෑවට ඇවිත් පොත් මාරු කරගන්න පුලුවනි. නංගි ඉන්නවනේ..“

හොඳම දඬුවම ලැබී ඇත්තේ ගෙදර අයට ය. චූටි මිමී හිතෙන හිතෙන වෙලාවට පුස්තකාලයට පැමිණ ලබා ගන්නා පොත් කියවා දෙන්නට සිදුවන නිසා ය. පුස්තකාලයේ සාමාජිකාවක් මෙන් ම පුස්තකාලය වෙනුවෙන් මා සමඟ හරි හරියට වෙහෙස දැරුවේ ද ඈ මය. චන්දු මල්ලී අකුරු කියන්නේ මොනවාදැයි නොදන්නවා වුණත් පොත් ගැන ඇත්තේ අප්‍රමාණ උනන්දුවකි. 

මෙන්න මෙයාකාර අරුම පුදුම පුස්තකාලයකි එය, පින්තූර කිහිපයක් මෙන්න.






මගේ මේ වෑයමට සහය ලබා දුන් හැමටම හදවතින්ම ස්තූතියි කියන්නට මෙය අවස්ථාවක් කරගනිමි. 

සමන් අතාවුදහෙට්ටි මහත්මාට
උපරිම වට්ටමකට පොත් ලබා දුන් මරදාන සුරස පොත් හලට
‘විදර්ශන‘ ප්‍රකාශක ජනක ඉණිමංකඩ සොයුරාට,
‘අගහස්‘ කළු රංජි අයියාට
ලස්සන පුංචි පොත් අල්මාරියක් ගන්නට උදව් උපකාර කළ කළණෙට සහ කළණෙගෙ මිත්‍රයාට,

මගේ කවි පොතකුත් මිලට අරන් මදිවට, තව ළමා පොතකුත් තිළිණ කළ ගම්වාසීන්, නෑ හිතවතුන් ඇතුළු සියලුම ආදරණීයයන්ට
පොත් සඳහා මුදල් තිළිණ ලබා දුන් පොත් ලබා දුන් මගේ සයිබර් අවකාශයේ හිත මිතුරන්ට...

........

කොලු පැටවුන් පොත් දුටු විට ඉගිළ යන්නේ තිත්ත කසාය කෝප්පයක් දුටුවාක් මෙනි. කෙලිත්තියන් නම් පොත් කියවන්නට කැමති බව පෙනේ. පුස්තකාලයේ සක්‍රීය සාමාජිකයෝ ද ඔවුහු ය. දෙගොල්ලන්ම තව තවත් පොතපතට ඇලුම් කරවනා වැඩ ටිකක් කරන්නට සිතා සිටියත්, තවම ඉඩක් නොලැබීම නම් දුකක්. 

Friday, August 19, 2016

සපූ ගේ ගී විඳින්න.. එන්න...


70, 80 දශකයන්හි ගුවන සිසාරා නින්නාද දිදී අපේ හෘද සන්තානයන් කලම්බමින්, සනහමින්, නළවමින් ගලා ගිය අපූර්ව ගී උල්පතට අපි තාමත් ආදරෙයි. ඇයි අපි තාමත් ඒ ගීත රස විඳින්න කැමති ?

ඒ ගේය පද රචනාවන් සමඟ අපට ආත්මීයව බැඳෙන්න පුලුවන් නිසා. ඒ සරල, සුගම බස් වහර පහසුවෙන්ම අපේ හදවත්වල ලැගුම් ගන්න නිසා...

ගීතයේ ආත්මය සමඟ අත්‍යන්තයෙන්ම සමපාත වන සුමියුරු සප්තස්වර රටාවන් නිසා.

ඒ ගේය පද රචනාවන් සජීවි කළ සුගායනීය හඬ නිසා.

ඒ ගී තවමත් ජීවමානයි. සදාතනිකයි. අදටත් අපේ සිත් සනසන්නෙ, නළවන්නෙ එබඳු සොඳුරු ගීත. අපේ ගී වින්දන පරාසය නිමහම් වෙලා තියෙන්නෙ ඒ අතීත ගීතාවලියෙන්.

එවන් සොඳුරු ගී රස වින්දනයකට මඟ හසර කියා දෙන මිත්‍ර සන්ධානයක අලුත් වැඩක් ගැන කියන්නයි මේ හදන්නෙ. ඒ තමයි ‘‘තීර්ථය භාවමය රළ නගන ගී ඉවුර. මියැසි මාධුර්යයේ ප්‍රේමණීය අසපුව.

සුභාවිත ගීතයට ඇලුම් කරන සහෘද පිරිසට අපූර්ව අත්දැකීමක් ගෙනෙන්නයි තීර්ථය සූදානම් වෙන්නෙ. දිවයිනේ ප්‍රවීණතම ගේය පද රචකයන්ගේ ගී නිර්මාණ පිළිබඳ වින්දනාත්මක කතා බහක් සමඟ ම ගීත රස වින්දනයට අවස්ථාවක් ලබා දීමයි මෙහි අරමුණ.

තීර්ථය මුල් ම දිග හැරුම සිංහල ගීත සාහිත්‍යෙය් සපු මල් සුවඳ සමඟින්. ඒ ‘‘කුමාරදාස සපුතන්ත්‍රී‘‘ ගීතාවලිය.

දිනය - 2016 ෝස්තු මස 20 වැනි දා ( හෙට ) ප.ව. 7.00 ට
ස්ථානය -  කොළඹ, ආනන්ද කුලරත්න ශාලාව

වින්දනාත්මක කතිකාව මෙහෙයවීම - නිලාර් එන් කාසිම්
සපූ ගීයට හඬ මුසු කරන්නේ - සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, දුමාල් වර්ණකුලසූරිය, මීනා ප්‍රසාදිනී
වාද්‍ය වෘන්දය - නාලක අංජන කුමාර ඇතුළු පිරිස

ප්‍රවේශ පත්‍ර සඳහා විමසීම් 077 223 7 223

වැඩිදුර විස්තර සඳහා තීර්ථය බ්ලොග් අඩවියට එන්න. 

මේ සබැඳිය ඔස්සේ තීර්ථය මූණුපොත් පිටුවට ඇවිත් මනාපයක් දෙන්නත් අමතක කරන්න එපා. 


වෙබ් අඩවියට පාර..... http://www.theerthaya.com

Sunday, August 7, 2016

ඉරිදාවක ඉරණම......




සුළඟ ය සුසුමකට වුව‍
නොඅවනත
නිර්ලෝභීව සිහිලැල්
සුවැති ඔසුවක් තවර තවරා
හදිසියෙන් දිව යන...

හුදෙකලා ඉරිදාවක
අසිරිය කැටයමක් කොට
ගීයක ඔබ්බවා
සිටි එෆෙමය
මියුරුතම ගී
සුළඟට මුහු කරන...

‘‘හිම කඳු යහනේ
වළා සඳැල්ලේ
මොහොතක් සැඟවෙමු
ලොවෙන් මුවා වී
අපේ සිහින උයනේ.....‘‘

‘‘දැල් වූ පහන් දැල්වී තියේවා...
සුන් වූ පැතුම් දළු ලා වැඩේවා...

ඒ වුණත් ඇස්
අඬන්නට ඕනෑම යැයි කියන
අද බෑ කොහොමවත්
වැඩ... වැඩ...හෙට බලමු
තරවටුවකට  ගුලිවෙන...

නොකියවන පොත් ද
පත්තර කෑලි ද
නාඳිනන සාරි ද
කැඩුණු සෙරෙප්පු ද
අනේ මන්දා,
ඕනෑ ම නැති දේවල්
කාමරේ හැම තැනම
ජීවිතේ වාගේ ම...

අස් කරමි... අස් කරමි...

ගින්නක් අවුළුවන පිණිස ය කඩදාසි
කාට හෝ දෙන්න අසුරමි මේ සාරී
කුණු ටැක්ටරය කවදා ඒ දැයි සී වී
කැඩුණු බිඳුණු ලටපට මල්ලක දාමී...

‘‘අම්මාහ්....‘‘
දැන් හොඳයි...
දීර්ඝ සුසුමක්...

උදේටත් කිසිවක් නොලැබ
හිස් කුස
අවලාද නගන්නේ
ගිනි ගිනි මතක් කර කර
දැන් ඉතින් උයන්නට ඕනෑ ය...

‘‘ජීවිතේ සුන්දර ද මෙතරම්...‘‘
රූකාන්තට නම් පිස්සු

‘‘දුෂ්කරය කියා හැර යා යුතු ද ජීවිතය‘‘
රත්න ශ්‍රී ට නම් බනින්නට බැරිය‍

මිමී ට, චන්දුට, සසෙන්ට, සවිරුට
පාලුත් ඇති අද මම්මා එන්නැතිව
මුදු පහස, කිරි සුවඳ
රණ්ඩු සරුවල්, ඇඬිලි වැලපිලි
සිතින් විඳගමි...

නා පේ වී
කියවමි කසන්සාකිස්
ගැළවීම සොයා ගිය දිගු වන්දනා ගමනක්