පිටු

Wednesday, January 9, 2013

කඳුළු ඇහැරෙන දවසක්...




මූණු පොත දිගහැරියම අද මුලින්ම ඇස් අගට කඳුලක් අරන් ආවෙ යසනාත් ධම්මික බණ්ඩාරයන්ගේ පාසල් ප්‍රේමය ගැන ලියවිලා තිබුණ සටහනක්... එය අවසන් උණේ මේ විදියට...
 
'' ඉතින් එදා සිට මා විඳි දුක් කන්දරාවක් වේ නම් ඈ ඊට වග කිවයුතු වෙයි.... මා අතින් වුණු පවු කන්දරාවක් වේ නම් එයින් බාගයකට වත් ඈ වගකිවයුතු වෙයි... '' ( උපුටා ගැනීම  වරදක් නම් සමාවෙන්න... )
 
මේ කියවීමෙන් බරවුණු හිත... තෙත් වුණු දෙනෙත තවත් හිරි වැටුණ අහම්බෙන් සවන් වැකුණු මේ ගීතයෙන්... කීර්ති පැස්කුවල් ගායනා කරන මේ ගීය මින් පෙර සවන් නොගැටුණු  අපූරු විරහ ගීයක්. යූටියුබ් හරහා රස විඳිය හැකියි... (http://www.youtube.com/watch?v=kO5p3Eergsk) කවුරු ලිව්වද දන්නෙ නැහැ... හිත පත්ළටම දැණුනා.. ... පද පෙළත්, සංගීතයත්, හඬත් යා වෙලා එන හැඟීම් සමුදාය හිත හිරිවට්ටන සුළුයි...  

තරු දහසක් පායන රෑ අඳුරු උණාදෝ
පෙමින් බැදුණු හිත කෙලෙසක නපුරු උණාදෝ......
මට සතුරු උණාදෝ

නොපිපි කුසුම පුබුදන්නට හැකිය ආදරෙන්
පිපුණු කුසුම් පරවෙන්නෙත් හිත අනාදරෙන්
සඳුන් සිසිල හිරු උණුසුම දෙන අහස්තලෙන්
තරු බිඳුවක ආදරයෙන් ඵලක් නෑ ඉතින්....
මට ඵලක් නෑ ඉතින්

පෙමක සුවද විඳගනු බෑ දුරස් වූ සිතින්
පවසක් සන්සිඳවනු බෑ තුෂර බිඳුවකින්
කදුළු බිඳක් නොමැති නෙතින්
වැළපුණත් ඉතින්
ආදරයට අනුකම්පා මට එපා ඉතින්...
යළි මට එපා ඉතින්

තරු දහසක් පායන රෑ අඳුරු උණාදෝ
පෙමින් බැදුණු හිත කෙලෙසක නපුරු උණාදෝ......
මට සතුරු උණාදෝ


දරාගන්න අපහසුම මානසික වේදනාව ප්‍රේමයේ විරහවද? ප්‍රේමයේ විරහව බොහෝ දෙනෙක් ජීවිත ගමනේ සදාකාලික පරාජිතයන් බවට පත්කරනවා... තවත් අයව මිනීමරුවන්, අපරාධකරුවන් නපුරු සිතැත්තන් බවට පත් කරනවා... පසුගිය දිනක කොටුවේ ගුවන් පාලම මතදී මන්නා පහරින් මරුමුවට පත් පොලිස් නිළධාරිනිය එක් නිදසුනක්...
 
ඒ වගේම ප්‍රේමයේ වියෝගය සුන්දර නිර්මාණකරුවන්, විශිෂ්ඨ නිර්මාණ බිහි කරනවා..
 
වසර ගණනක සිට මා ළගින් ඇසුරු කරන පවුලක සොහොයුරෙකුට ඔහුගේ වසර පහක ප්‍රේමය අහිමි වෙන්නෙ පෙම්වතිය විශ්ව විද්‍යාලයට ඇතුළු වීමත් එක්ක. සබඳතාවය බිඳී වැටුණු මුල් අවදියේ හිත හදන්නට පවුලේ අයත්, මා වැනි ළගින් ඇසුරු කළ අයත් ගත් වෙහෙස අපමණයි.. ( මට මගේ හිත හදා ගන්නට අසීරු උනත් අන් අයගේ හිත් හදන්නට හැකියාවක් තියෙනවා.. අනේ මන්ද දෙයියොත් කරන්නෙ මාර වැඩ තමයි... )
 
වැසුණු එක් දොරටුවක් වෙනුවට වෙනත් දොරටු රැසක් විවර කර ගන්නට ඒ මල්ලීට හැකි උණා.. ඔහු ඉන්පස්සෙ නාට්‍ය පාඨමාලාවක් හැදෑරුවා. දැන් ඔහු තවත් මිතුරෙක් සමග එක්ව නාට්‍ය කණ්ඩායමක් හදා ගෙන තියෙනවා.. ඔවුන්‍ ළමා/තරුණ  වැඩමුළුවලට නාට්‍ය කලාවෙන් දායකත්වය දෙනවා.. පසුගිය දිනක පැවති වයඹ පළාත් නාට්‍ය උළලේ හොදම සහය නළුවා වුණෙත් මේ මල්ලී...
 
දැන් ඔහු වෙනදට වඩා පොතපත කියවනවා. කවියට ලැදියි. ගීතයට ලැදියි. '' අක්කෙ අපූරු කවියක් තියෙනවා.. නියම සින්දුවක් ඇහුවා...'' විටෙක මාවත් දැනුවත් කරනවා... ඒ වගේම ව්‍යාපාරයකුත් කරගෙන යනවා කලා කටයුතුත් එක්කම.
 
මේ මල්ලී ආදරයේ අහිමිවීම ජීවිතයේ ජයග්‍රහණයක් බවට හරවා ගත්තා කාලයාගේ ඇවෑමෙන්.. එය ලෙහෙසි කටයුත්තක් නම් වු‍ණේ නැහැ මුලදි. අදටත් මා දන්නවා ඒ හිත අහිමිවුණ ආදරය වෙනුවෙන් හඩා වැටෙනවා කාටවත් නොදැනෙන්න.
 
අතිශය සාධාරණ හේතුවක් මත අනෙකාගේ යහපත වෙනුවෙන් වෙන්වන්නට සිදු වුවහොත් එය දරා ගත හැකි වේවි ‍චේතනාවේ සද්භාවය නිසාවත්. නමුත් අසාධාරණ ප්‍රති‍ක්ෂේපවීමක්, හේතු නොදක්වාම ආදරයේ බන්ධන ලිහා දැමීමක් දර ගන්නට අසීරුයි නිසැකවම.
 
නැවත වතාවක් ආදරයේ වේදනාව දරන්න වෙනවට වඩා මිය යන්නට මා කැමතියි..

පසුව ලියා එක් කරමි...

විරහවෙන් ගොඩ යාම ලෙහෙසි නොවේ. මා ඉහත සඳහන් කළ සොහොයුරා එය සාර්ථකව ජය ගත හැකි මගක් සොයා ගෙන ඇතැයි මා හිතුවත් එයද සත්‍යයක් නොවන බව මට සිතේ. කුමක් කළද ආදරයෙන් හිස් වූ තැන පුරවන්නට අන් සියලු කාර්යයන් සමත් වී නැහැ නොවේද? කෙනෙක් ආදරය අහිමි වූ තැන වෛරයද, පළිගැනීමද ආදේශ කර ගන්නා අතර තවත් අයෙක් පළිගන්නේ තමන්ගෙනි. දඩුවම් දෙන්නේ තමන්ටමය. එයද වඩාත් හානිකරය.

ආදරය කළ අයෙක් අසාධාරණ ලෙස හැර ගිය පසු තවත් ආදරයක් ගැන බලාපොරොත්තු ඇති කර ගැනීමට දැනෙන බිය, සැකය.. තවත් කෙනෙක් විශ්වාස කිරීමට නොහැකි වීම පුද්ගල ජීවිතයක ගොඩනැගීමට කොතරම් නම් බලපානු ඇතිද? මෙවැනි හදවත් තුවාල සුව කර ගැනීම ලෙහෙසි පහසු නැත.
ඕෂෝ ආදරය ගැන පළ කළ අදහසක් මෙහිදි මා මතකයට නැගේ...

‘‘ ආදරය වෙනස් වෙන දෙයක් නොවේ.. වෙනස් වන්නේ පුද්ගලයන් පමණි. ආදරය නැවත වෙනත් පුද්ගලයෙක් ලෙස හමුවනු ඇත. වරද ඇත්තේ ආදරයේ නොවේ. පුද්ගලභාවය තුළය.” (මගේ මතකයේ රැඳී ඇති අයුරිනි.)

එය ඇත්තකි. ආදරය සුන්දරය. එය අසුන්දර කරනුයේ අප විසින්මය. ජීවිතය අපායක් කරනුයේ ආදරය නොවේ. ආදරය නොහදුනන මිනිසුන් විසිනි. නමුත් ජීවිතය අතහැර යා හැකි නොවේ.

ආදරය නොකර සිටින්නට බැරිය. ආදරය නොවිඳ සිටින්නටද බැරිය. නමුත් ආදරයේ වේදනා අවම කර ගැනීමට හැකි තරම් බැඳීම්වලින් දුරස් වී සිටීමට සිතමි. එය වරදක්දැයි නොහැගේ. ගිණිපෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරිඑළියටත් බය වන බව නම් ඇත්තම ඇත්තකි..

Tuesday, January 8, 2013

පැන්සල් කතිරයේ අනුහස්

 
පසුගිය සෙනසුරාදා හවස මං හිටියෙ නංගිගෙ ගෙදර.. ඒ වෙද්දිත් නංගි වැඩ ඇරිල ඇවිත් හිටියෙ නැහැ. ආයම්ම රාජකාරියයි මට පැවරිලා තිබුණෙ. නංගිගෙ ගේ ඉදිරිපිටමයි ප්‍රජා ශාලාව තියෙන්නෙ.. ප්‍රජා ශාලාවෙ තරමක සෙනගක් රැස්‍ වෙලා හිටියා. ගමේ මරණාධාර සමිතියෙ සාමාජිකයින්.. හේතුව තමයි දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාගෙන් මරණාධාර සමිතියට වානේ අල්මාරියක් ලැබීම..

මුලින්ම අල්මාරිය ආවා ලොරියක නැගිලා. ඊට පැයකට විතර පස්සෙ පෙජරෝ එකකින් ආව මන්ත්‍රීතුමා කඩිමුඩියෙ ප්‍රජා ශාලාවට ඇතුළ් වෙලා පුංචි කතාවක් කරල, අල්මාරිය බාර දෙන ආකාරය ඡායාරූපයක සටහනක් තියල කොළු තාලෙන් දුවගෙන ඇවිත් වාහනේට නැගිල ගියා.. කොල පාට ෂර්ට් එකට සරමක් ඇදල හරිම කඩවසම් පෙනුම.

ඒ යන ගමනෙ පල්ලියටත් වානේ අල්මාරියක් ලබා දීල තිබුණා.. ඇයි මේ හදිසියෙ තෑගි බෙද බෙදා යන්නෙ? ප්‍රශ්නයක් නේද?

තමන්ගෙ පැන්සල් කතිරයේ මහිමය තවමත් ගම්වල උදවිය වැඩි දෙනෙක් දන්නෙ නැහැ.. මේ විදියට එක එක දේවල් දෙන්න දේශපාලඥයො අතට සල්ලි ලැබෙන්නෙ කොහොමද? ( සල්ලි ලැබෙන මාර්ග නම් ගොඩක් ඇති.. මම මේ කියන්න යන්නෙ ඒ එක විදියක්...)

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම වසරකට රු. ලක්ෂ 50 ක් වෙන් වෙනව තමන්ගෙ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන්..  මේකට කියන්නෙ විමධ්‍යගත මූලධන අයවැය වැඩසටහන කියල. මේ මුදල් වෙන්වෙන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන් නියෝජනය කරන දිස්ත්‍රික්කයේ වැසියන්ගේ කාලීන අවශ්‍යතා සපුරා දීමට. ඔවුන් මුහුණපාන දුෂ්කරතා නිරාකරණය කර ගැනීමට අවශ්‍ය මූලික පහසුකම් සලසා දීමට... විශේෂයෙන්ම ප්‍රාග්ධන නැඹුරුවක් ඇති සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන්...

මුල්ම වරට මේ වැඩසටහන ආරම්භ වෙලා තියෙන්නෙ 1973 වර්ෂයේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණි‍යගෙ පාලන සමයේ.. ඒ කාලෙ ආව ආහාර හිගය ගැන අපි අහල තියෙනවනේ.. මේ ආහාර හිගයට පිළියමක් විදියට දේශීය නිෂ්පාදන ඉහළ නංවල කඩිනම් ආහාර නිෂ්පාදන ක්‍රියාවලියක් ඇති කරන්නයි මේ වැඩසටහන ආරම්භ වෙලා තියෙන්නෙ. කාලයත් එක්ක අරමුණු වෙනස් වෙලා වැඩසටහන තව තවත් පුළුල් වෙලා තියෙනවා...

1973 දී එක් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමෙකුට වෙන් වෙලා තියෙන්නෙ රු. ලක්ෂ 5 යි. 1979 දී ලක්ෂ 25ක්, 2000 දි ලක්ෂ 35 ක්, 2003 සිට මේ දක්වා ලක්ෂ 50 ක් විදියට ක්‍රමයෙන් ප්‍රතිපාදන මුදල වැඩි වෙලා තියෙනවා...

විමධ්‍යගත අයවැය ප්‍රතිපාදන යටතේ එක් ව්‍යාපෘතියක් වෙනුවෙන් වැය කරන්න පුළුවන් උපරිම මුදල රු. 250,000 ක්.. ඊට වඩා වැඩි වෙනවා නම් අදාළ අමාත්‍යාංශයෙන් විශේෂ අනුමැතියක් ලබා ගන්න ඕන... ඒ වගේම පුද්ගල ප්‍රදානයන් විදියට දෙන්න පුළුවන්කමකුත් නැහැ... පොදු කටයුතු වෙනුවෙනුයි වෙන් කරන්න පුළුවන් වෙන්නෙ...

තමන්ගෙ ගම්පළාත් වලට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන මේ මුදලින් ගමට, ප්‍රදේශයට වැඩක් කර ගන්න ප්‍රදේශවාසීනුත් දැනුවත්ව ඉන්න ඕන... දැන්ම ඉඳන් ඉල්ලීම් කළොත් ලබන වසරේ මුදලින් ගමේ පොදු වැඩක් කර ගන්න පුළුවන් වේවි....

අර දයාසිරි මන්ත්‍රීතුමා හදිසියෙ බෙදා ගෙන ගියේ 2012 වසර වෙනුවෙන් එතුමාට වෙන් වුණු ලක්ෂ 50 අන්තිම වැඩ ටික වෙන්න ඕන....

මේ වෙද්දි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ක් ඉන්නව නේද? ඒ 225 ටම ලක්ෂ 50 ගාණෙ ලැබෙනවා... මේ හැම සතයක්ම ඇත්තටම අපේ රටේ සංවර්ධනයට යෙදවෙනවනම් අපේ රට සුරපුරයක් වෙන්න ඕන නේද?  අපටත් වගකීමක් තියෙනවා මේ මුදල් අපේ ගම්පළාත්වල දියුණුවට යොදා ගන්න. මන්ත්‍රීවරු පස්සෙ ගිහින් වැඩ කර ගන්න අකමැති අයට පුළුවන්නෙ එහෙම යන අයව දැනුවත් කරල ඒ මාර්ගයෙන් හරි ගමේ ‍වැඩවලට මුදල් වෙන් කර ගන්න....

මං දන්න හැටියට අවුරුද්ද මැද වෙද්දි මේ මුදල් වෙන් වෙලා, යෝජනාත් අනුමත වෙලා... ඒත් අවුරුද්ද අන්තිම වෙනකල්ම අතනින් මෙතෙන්ට, මෙතනින් අතනට සංශෝධනයන් සිදු වෙන නිසයි අන්තිමට මේ වගේ දුව දුව බෙදන්න වෙන්නෙ.. තමන්ට ලැබෙන රු. ලක්ෂ 50 න් කරන වැඩ ගැන නිසි සැලසුමක් නැති නිසාත්, ‍‍තමන්ගෙ පාක්ෂිකයින්ගේ මනදොළ පිරවීමට බොහෝ විට යොදා ගන්න නිසාත් විමධ්‍යගත අයවැය ප්‍රතිපාදන ඵලදායී ලෙස රටේ සංවර්ධනයට දායක වෙනවද කියන එක නම් ගැටළුවක්... ( රටේ සංවර්ධනය ගැන ගැටලු ගොඩක් තියෙන බව ඇත්ත. )

මේ සල්ලිවල සැබෑ අයිතිය තියෙන්නෙ ජනතාවට... බදු මුදල් වුණත්, විදේශ ණය වුණත් අන්තිමට තට්ටු වෙන්නෙ මහජනතාවගෙ පොකට් එකට නිසා මේ මුදල්වල සැබෑ අයිතිකරුවො රටේ ජනතාව. ඉතින් දැනුවත්ව සිටීමේ, අවදියෙන් සිටීමේ සහ  ඵලදායී ලෙස මේ මුදල් යොදවා ගැනීමේ වගකීමක්  රටේ ජනතාවටත් තියෙනවා....

Monday, January 7, 2013

රෝස මලක කටු ඇණුනා


රෝස මලක කටු ඇණුනා

හද පතුලින් ලේ ගැලුවා

රෝස මලට නෑ දැණුනේ
මලේ සිනා රැව් නැගුණේ....

මගේ ආදරණීය පුංචි රෝස මල වෙතටයි.....

මගේ පුංචි රෝස මල.. ඔයා කොයි තරම් අහිංසකද? සියුමැලිද? ඔයා කොයි තරම් සුවඳක් අපේ ලෝකෙට අරන් ආවද? අපි හැ‍මෝම ඔයා වටේ ඉඳන් ඔයාගෙ හැඩ බල බල කොයි තරම් නම් සතුටක් ලැබුවද? ලබනවද?

ඉස්සර රට වටේ එක එක වැඩසටහන්වලට යන මම්මා නිතරම ගමට එන්න පටන් ගත්තෙ ඔයා අපි ළගට ආවට පස්සෙ.. මම්මා හැම සති අන්තෙකම ගමේ එන්නෙ ඔයාගෙ හිනා මූණ දකින්න..  ඔයා එක්ක සෙල්ලම් කරන්න... ඔයාගෙ හුරතල් කතා අහන්න... ඔයත් වෙනද මම්ම එනකල් බලන් ඉන්නව නේද? මම්ම ආවම ළගින් හෙල්ලෙන්නෙ නෑ නේද?

ඒත් මේ සති අන්තයේ ඔයා හරිම වෙනස්... නපුරු වෙලා, සැර වෙලා... ඔයා මම්මට ළගට එන්න දුන්නෙ නෑ.. කෑ ගැහුවා. ''ඔයා කොළඹ යන්න කියල '' සැර කළා. පල්ලියෙදි මම්මගෙ අතට ආවෙත් නෑ.. මම්ම උම්ම එකක් දෙද්දි ඔයා අහක බලා ගත්තා.... ඇයි මගෙ දෝණි එහෙම කළේ... මම්මට කොයි තරම් දුක හිතුණද? මම්ම හිතන්නෙ කවුරු නැති උණත් මම්මට ඔයාල ඉන්නව කියල නේද?

චූටි රෝස කැකුළු නපුරු වෙන්න හොඳ නෑ මැණික... රෝස මලේ කටු තියෙන්නෙ ආරක්ෂාවට මිස අනිත් අයව රිදවන්න නෙවෙයි...

ඇයි ඔයා මේ තරම්ම නපුරු උණේ...?                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                               
මම්ම අළුත් ගෙදරට ගියාට පස්සෙ නිතරම ළගින් ඉන්න බැරි උන නිසාද?

වෙනද හිතේ හැටියට වතුර අරන්, මම්මගෙ කෝප්ප වීදුරු ඔක්කොම පෙළට තියන් තේ හදන්න ඉඩ දුන්නත් මේ සැරේ වතුර අල්ලන්න නොදුන් නිසාද? ඔයාගෙ පපුවෙන් එන රාං රෑං සද්දෙ අහ අහ කොහොමද මම ඔයාට වතුර අල්ලන්න දෙන්නෙ... පහුගිය දවස්වල ඔයාට හොදටම කැස්ස... ඉතින් වතුර සෙල්ලම් කරන්න දුන්නොත් ඔයා ආයෙම ලෙඩ වෙයි. ඒ හින්දනෙ එපා කිව්වෙ... නැත්නම් වෙනද මුළු ගේම අවුල් කරන්න උනත් මම්ම ඉඩ දෙනවා නේද? සාලෙ පුරාම වතුර ඉහිරවගෙන තේ හදන්නත් ඉඩ දෙනව නේද? ඔයා හදල දෙන තේ රස කර කර මම්මත් බොනව නේද?

මම්මගෙ අළුත් ගේ වටේට පොඩි මම්ම හිටවල තියෙන සීනියාස් මල් පාත්තියෙ යාය‍ට මල් පිපිලා... නමක් නොදන්නා පුංචි මල් පදුරු තාරකා වගේ පුංචි කහපාට මලින් පිරිලා... දාස්පෙතියා මල් පාත්තියෙ දැන් පොහොට්ටු ඇවිදින්... දවල් කුමාරි මල් පාත්තියේ පාට පාට මල් එක දෙක පෙති ඇහැරවන්න පටන් අරගෙන.... පාට පාට සමනල්ලු දවස පුරාම ඒ මල් යායට එනවා..... ඔයාට මම්ම පෙන්නුව නේද? ඔයා බඩ පිරෙන්න බයියං කනව වගේ, කුක්කු බොනව වගේ සමනල්ලු බණ්ඩිය පුරව ගන්නෙ මල් පැණි බීල...

ඇයි පුංචි දෝණි ඔයා ඒ මල් කඩල පොඩි කරල දාන්නෙ... මම්ම ඔයාගෙ පස්ස පැත්තට පාරක් ගැහුවෙ රිදෙන්න නෙවෙයි.. ඔයා ආදරෙන් කියන ‍දේ අහන්නෙ නැතිව මම්මගෙ මල් කඩල දාන නිසයි....

ඔයා මුතු අක්ක එක්ක නිතරම රණ්ඩු අල්ලනවා.. මූණ සූරනවා.. මුතු අක්කව හපනවා.. ඒ හින්දයි මම්ම මුතු අක්කට ඔයාගෙන් ඈත් වෙලා  ඉන්න කිව්වෙ. ඒකට කේන්ති ගිහින් ඔයා හයියෙන් කෑ ගැහුවා නේද? මම්මටත් ගැහුව නේද? ඔයා මම්මට යන්න කිව්ව නේද?

ඔයාට හිතෙනවද? මම්ම ඔයාට දැන් ආදරේ නෑ කියල... එහෙම නෑ මැණික.... ආදරේට තමයි ටිකක් සැර වෙන්නෙ... ආදරේට තමයි සමහර දේවල් කරන්න එපා කියන්නෙ...

ඔයාගෙ අම්මත් පුංචි කාලෙ දඟ මල්ලක්.. ඒත් මේ තරම්ම නම් නපුරු උනේ නෑ... හමෝගෙම ආදරේ වැඩියෙන් ලැබුණ හින්දද මගේ චූටි රොස මල මේ හැටි නපුරු වෙලා තියෙන්නෙ...

මේ සති අන්තයේ මම්මා ගමේ ඉදන් කොළඹ ආවෙ ලොකු දුකක් හිතේ තියාගෙන... බස් එකේදිත් සැරින් සැරේ මම්‍මගෙ ඇස්වලට කදුළු පිරුණා, ඔයා නපුරු උන හැටි මතක් වෙලා...  ‍පහුගිය අවුරුදු දෙකහමාර පුරාම මම්මගෙ හිත පිරිල තිබුණෙ ඔයාගෙ ආදරෙන්ද කියල අද මම්මට හිතුණා..... දැන් අයනු ආයනු දන්නෙ නැති උණත් ඔයා ලොකු උන දවසක මම්මගෙ බ්ලොග් එක කියවාවි.. එදාට ඔයා තේරුම් ගනීවි මම්මත් අම්ම තරම්ම ඔයාට ආදරෙයි කියල....

මම්මගෙ රන් කැටේනෙ ඔයා.. සූකිරි බෝලෙන.. චූටි මැණිකනෙ... වස්තු කැටේනෙ....

ගැහැණු දරුවෙක්ගෙ ජීවිතේ ලස්සන වෙන්නෙ එයා නිහතමානී වෙන තරමට.. සරල වෙන තරමට... නපුරු කම ගැහැණු දරුවෙකුට ගැළපෙන්නෙ නැහැ.. ටිකක් ආඩම්බර උනාට කමක් නැහැ. ඒත් නපුරු වෙන්න හොද නැහැ... තාම ඔයාට තේරෙන්නෙ නැහැ මේව... ලොකු උණාම මම්ම තේරුම් කරල දෙන්නම් හොදේ...

මගේ චූටි රෝස මලට දෙවි පිහිටයි...