පිටු

Friday, November 11, 2016

මැජික් අන්දර



‘‘මට එෆ්බී එකෙන්සෙට්ටුණා කොල්ලෙක්. ඌ මරු! චැටක් දාගෙන ඉන්න. මොරටුවෙලු. නැවකලු වැඩ කරන්නෙ. කෙල්ල දාලා ගියාලු රස්සාවක් නැති කාලෙ. සල්ලි ගැන නොහිතන අවංක කෙල්ලෙක් මීට් වෙනකල් බලන් ඉන්නවලු. බලන්ඩෝන හාර්ට් එක අතට අරන් දෙන සයිස් එකෙන් කතාව. ෆෝන් නම්බරෙකත් දුන්නා. ඊයෙ රෑ එකොළහට විතර ගත්තු පාර එකයි  ෆෝන් එක තියද්දි... ඌ මරු... නන්ස්ටොප් කියවනවා...‘‘

මා සිටියේ සන්තාන සංතාප සංග්‍රාමයක වෙලී පැටලීගෙනය. බස් රියේ කවුළුවෙන් එපිට වේගයෙන් ඇදී බොඳ වී යන කඩපිල්, ගේ දොර, යාන වාහන අතර මගේ දෑස ගැටි ගැටී, නොගැටී පාවෙවී තිබිණි.  පසුපස අසුනෙන් එක්වනම ඒ කාන්තා කටහඬ පැන නැගුණේ එවිටය. අනුන්ගේ කතාවලට කන් දීම නොමනා බව සැබවි. නමුත් විලිසංගයක් නැතිව පැද්දි, පැද්දී, ඇද්දී විත් කන් බෙරවල හැපෙන කතන්දරවලට කුමක් නම් කරන්නද? 

‘‘ඔන්න කැමති උන් මගෙ චරිත සහතිකය ලියාපල්ලා‘‘ කියන්නාක් වැනි වගේ වගක් නැති  උස් හඬකි ඒ. දුරකථන ඇමතුමක් බව දැනුණේ විටෙක නිහඬව යන හඬ නැවත ඇවිලෙන්නට පටන් ගන්නා බැවිනි. අනෙක් පස වූයේ කවුරුන්දැයි සිතාගන්නට තරමක් වේලා ගත විය. ‘අයියෝ මෝඩ කෙල්ලෙක්. විහින් අමාරුවෙ වැටෙන්න හදනවා.‘‘ මම සිතින් සිතුවෙමි.  

"................"

‘‘නෑ මචං. උඹ දන්නවනෙ. ඔය බොරු කයිවාරුවලට රැවටෙන්නෑ මං. මොකෙක් හරි කමක් නෑ බං.. මට දැන් ඕන කතා කර කර ඉන්න... නැත්තං අරූ කෝල් කරයිම කියල බලන් ඉන්නවනෙ. මට මැරෙන්න තරං දුක හිතෙනවා. මං මොනවට ඌට ලව් කළාද මන්දා බං. මොනාද තියෙන්නෙ, ඇඟ විතරයිනෙ... කා එක්ක හරි සෙට් වෙලා කතා කර කර උන්නම ඌ කෝල් කරයි කියල මං බලන් ඉන්නෙ නෑනෙ...නැත්නං මං දවසම බලං ඉන්නෙ උගෙන් කෝල්ලෙකක් එනකල්නෙ බං..."

"...................."

හඬ මැකී යයි. බස්රියට ගොඩ වූ මැජික්කරුවකු රියදුරු අසුනට පිටුපා මගීන් වෙත හැරෙයි. ඇස්බැන්දුම් පාන්නාගේ හඬින් බස්රිය පිරී යයි. කිලිටි සුදු පෑ කමිසයකින් හැංගුණු කෙසඟ සරීර කූඩුවේ පැතලි මුහුණෙහි තිබුණේ විජ්ජාකාර අහිංසක හිනාවකි. ඔහු තරමක හතරැස් රතු සව්කොල කැබැල්ලක් ගෙන මගීන් වෙත පෙන්වයි.

‘‘ඔන්න දැන් මම මේ සව්කොලේ ඉරනවා. හරි මැදින් දෙකට. ආයෙම හතරට. අටට... දාසයට...."

ඉතාම කුඩා කැබලිවලට ඉරී යන සව්කොලය ඔහු අතෙහි තබා ගුලි කරයි. අත් දෙකම කරකවමින් මඳ වේලාවක් ගුලි කර නැවතත් දිග හැර පෙන්වයි. ඉරුණු ලකුණක්වත් නැති හතරැස් කොලයකි. එය ද රතු පාටය. පෙර සේමය. ඔහු එය නැවත අතින් කරකවයි. රවුම් තොප්පියක හැඩයක් මැවේ. එය හිසේ පළඳා ‘‘කොහොමද මගේ වැඩ‘‘ වැනි මායම්කාර සාඩම්බර සිනාවකින් අවට බලයි.

‘කැඩුණු බිඳුණු හිත් පාස්සන්ටත් මැජික් එකක් නැද්ද? පසුපස අසුනේ යුවතියටත් එක්කම‘ මට අසන්නට සිතිණි.

‘‘....... නෑ නිරංජලා, මං ආයෙම මෝඩ වෙන්නෙ නෑ. අරූ හොඳ එකෙක් නෙමෙයි කියල කොච්චර නම් අය මට කිව්වද? ඒත් මම ගණන් ගත්තෙ නෑනෙ. කී සැරයක් නං මාව දාල ගියාද? ආයෙ එන හැම සැරේම භාර ගත්ත එක මගෙ වරද. මගෙ තාත්තගෙ මරණෙටවත් ආවෙ නැති එකාව මං ආයෙම බාරගත්තනෙ... මං හරි මෝඩයි බං...මං කොච්චර ඌට ආදරේ වුණාද?"

"......................."

‘‘ඌ මට කියනවනෙ බං, ඌ ඇර මට වෙන කාවවත් හොයාගන්න බෑ කියල. ඌ හිතන්නෙ ඌ නැතිවුණාම මං නොබැඳ ඉඳියි කියල. වයසක මිනිහෙක් හරි කමක් නෑ සල්ලිකාරයෙක් හොයගෙන මං බඳිනව නිරංජලා. ඌට පේන්නත් එක්ක මං බඳිනවා. දැන් ඉතින් මට ආදරෙන් වැඩක් නෑ. මට ඕන ඌට පේන්න හොඳට ඉන්න..."

"........................"

මහළු ඇස්බැන්දුම්කාරයා කමිස සාක්කුවෙන් කාඩ් කුට්ටමක් ඇද ගනියි. මගේ ඇස් ඇලී තිබුණේ ඔහු වෙතම බැවින් ඒ කාඩ් කුට්ටමේ අතරමැද කෝච්චි ටිකට් දෙකක් ඇලෙව්වාක් වැනි කාඩ් පතක් මගේ ඇස ගැටෙයි. ‘ඒ ගමන මොකද්ද ගහන දහං ගැටේ‘ මම සිතින් සිතමි.

‘‘අනේ මචං මං රෑ තිස්සෙ තනියම අඬනවා. මට පිස්සු වගේ. මේ ටිකේ මං බයික් එකේ වැඩටවත් යන්නෑ. කල්පනාව නැතුව ගිහින් අඩ තියන්ඩ වෙයි කියන බයට.  මේ ළඟදි දවසක අක්කගෙ දුවව රාගම ක්ලාස් දාන්න එක්කරන් ගියා දන්නෙම නැතුව මං කඩවත පාරෙත් සෑහෙන දුරක් ගිහිං..."

"........................"

විජ්ජාකරු කාඩ් කුට්ටම අනමින් කුට්ටමේ කොල වරින් වර පෙන්නමින් කතන්දරයක් කියන්නට ගනියි. “ඔන්න මම දවසක් මේ වගේ මැජික් පෙන්නන්න කෝච්චියකට නැග්ගා. මෙන්න ටික වෙලාවකින් බාප්පල පැනපි. බාප්පල කියන්නෙ ටිකැට් පරීක්සක මහත්තුරු. ඉතින් කෝ කොයි මට පෙන්නන්න ටිකැට්. මම මෙන්න මෙහෙම කාඩ් කුට්ටම ගත්තා. සිස් සිස් ගාලා ඇනුවා. ඇදල ගත්තා මෙහෙම දුන්න ටිකට් එක. මෙන්න මේ වගේ.."

ඇත්තටම ඔහු කාඩ් කුට්ටම අතරින් කෝච්චි ටිකැට්ටුවක් ගෙන නරඹන්නන්ගේ ඇස් දෙසට දිගුකරයි. මගේ කට කොනක හිනාවක් නැගිණි. කෝච්චි ටිකට් අලවාගත් බූරු කොලය මේ තරම් සීරු මාරුවට හංගාගෙන සිටීමත්, අවැසි මොහොතේම එය ඇද ගැනීමට හැකිවීමත් මාරම මැජික් එකකි.

ඒ අතර පසුපස අසුනේ දුරකතන ඇමතුම දිගින් දිගටම විකාශනය වෙමින් තිබිණි. දැන් ප්‍රේම කතාව මෙහා ඉමෙන් එහා ඉමට මාරු වී ඇත.

‘‘නෑ... නෑ.. කියපං. මං අහන් ඉන්නං. දැන් මට ඕනතරං වෙලා තියෙනවා කතා කරන්න.."

"........................"

‘‘එක එකාගෙ කීම අහලා උඹ අමාගෙන් ඈත්තුණ එක නං මහ මෝඩකමක්. ඌ වගේ හොඳ කොල්ලෙක් උඹට ආයෙ හම්බෙන්නෑ. ඔය කුලමල මොනාද බං... පැනල ගිහින් බැඳපල්ලා. ළමයෙක් හම්බුන කාලෙක අම්මල සමාව දෙයි... "

"..........................."

ඊළඟ මැජික්කාරකම සිගරැට්ටුවක් සමඟිනි. සාක්කුවෙන් සිගරට්ටුවක් ගත් ඇස්බැන්දුම්කාරයා එය අතින් අත මාරු කරයි. හැම අතින්ම සිගරට්ටුවක් මැවෙන්නාක් මෙනි. ඔහු ඒ සෑම සිගරට්ටුවක්ම සාක්කුවට ඔබා ගනියි. සිගරට් ඇස්බැන්දුම අවසානයේ ඇස්බැන්දුම් පාඩම ගුරු මුෂ්ටියක් නොතබාම නරඹන්නන්ට පහදවාලයි.

‘‘මේ එකම සිකැරට්ටෙක. මං අතින් අතට මාරු කරේ. වෙන මං ළඟ සිකැරට් නෑ. මේ නෝනා මහත්තුරුන්ගෙ ඇස් රැවැට්ටුව විතරයි මොහොතකට. හොරයක් බොරුවක් වංචාවක් නෑ. බඩවියත ගැටගාගන්න කීයක් හරි හොයාගන්න මැජික් පෙන්නනවා. ජීවත් වෙනේක මැජික් පෙන්නනා වගේ ලේසි නෑ නෝන මහත්තයෝ, බඩට බොරු කරන්ඩ බෑ..."

"............."


‘‘කොයි පිරිමියත් එකයි නිරංජලා, උඹ අමාව බැඳපන්. ඌ හොඳේකා... ඕනම වෙලාවක මට කතා කරපං මං එන්නං සාක්කියට අස්සං කරන්ඩ..."

Wednesday, November 9, 2016

පෙම්වතී මා සාලමොන් පෙම් කතාවේ


පෙම්වතී මා
සාලමොන් පෙම් කතාවේ
මුවැත්තියනේ ඇලුම් පානා
පෙම්වතී මම වෙම්
සාලමොන් පෙම් ගීතයේ...

නැහැවෙමී ඔබ සුමිහිරී හාදුවෙන්
විතක මී මධු ඉහිරෙනා ස්නේහෙන්
සුවඳ වෑහෙන මපෙම්වත නාමෙන්
කල්පයක් වුව අසුරු සැණෙකිය
ප්‍රේමයේ ආරම්මණේ...

ඇසි පියන් යට ගුළිගැහුණු හීනයේ
මුව පොව්වකු සේ කඩිනම්ව ඒ
සිසිරයේ අවසන් සුසුම් අතරේ
ෂාරොන්හි සෙව්වන්දි පූදින
ප්‍රේමයේ වස්සානයේ...


( ගේය පද රචනා ලෙසින් ගිනිය හැකි නිර්මාණ මා අතින් ලියවී ඇත්නම් ඒ අල්පයයි. මේ නිර්මාණයට පාදක වුණේ බයිබලයේ සලමොන් ප්‍රේම ගීතාවලිය..)


Monday, November 7, 2016

කවුරුන්ද ඔබ මගේ

vladimir volegov

‘‘විහාරා‘‘ ඇගේ නම.

ගවුම් පොඩියක් ඇඳල බෝනික්කියකුත් තුරුළු කරන් උන්නු  ඈ හරිම අහිංසකයි. ඒ සිඟිත්තිය මගෙ සුරතේ දැවටී උන්නෙ අවිනිශ්චිත දුක්බර බැල්මක් ඇස්වල තවරගෙන.

මං හිටියෙ ඊටත් වඩා වික්ෂිප්තව. ගැහෙන හදවතකින්. තනිවුණු දැරියක් මං රැක බලා ගන්නෙ කොහොමද? ඇගේ අම්මා මගේ සමීපතම යෙහෙළියක්,  හසුනක් සමග තම එකම දියණිය මා වෙත එවා කොහෙදෝ දුර ඈතක ගිහින් තිබුණා.

‘‘මට විශ්වාසයි, ඔයා මගේ දෝණි හොඳින් බලාගනියි කියල‘‘ ඒ ලිපියේ මට මතක තිබුණේ, මගේ හිතේ කෙටිල තිබුණේ ඒ වචන ටික විතරමයි.
මම හිතමින් උන්නෙ බෝඩිමක, රස්සාවක් එක්ක තනි මම කොහොමද දැරියක් රැකබලාගන්නෙ කියන එක.

ඉන්පස්සෙ මං උන්නෙ ළමා නිවාසයක. මං විහාරව එතන නැවැත්තුවා. මට වෙන කරන්න දෙයක් තිබුණෙ නැහැ. ඇය මගේ සාරි පොටේ එල්ලිලා ‘‘මාව දාල යනවද?‘‘ කියලඇහුවෙ ඇගේ ඇස්වලින්, මගේ ඇස්වලට එබිලා. ඒ ඇස් දිලිසුණේ  කඳුළුවල තෙතට කියල මට දැනුණා. ඇය එකම එක වචනයක්වත් කිව්වෙ නැහැ. මම මගේ හිත වාවගත්තා.
“මං හෙට උදේම ඔයාව බලන්න එන්නම් පැටියො.‘‘ මං ඇගෙන් සමුගත්තා.

පහුවදා මම ළමා නිවාසයට ගියේ ඇයට ඇඳුම්, කැඩුම් තෑගි බෝගත් අරගෙන. ඒ යද්දි විහාරට උණ. අසනීපෙකට වඩා ඇයට තිබුණෙ සාංකාව. මං ඇයව ළමා නිවාසෙන් පිටතට අරන් ගියා. ඇයට බෙහෙත් අරන් දුන්නා. ඇයත් එක්ක කොලොම් තොට එහෙ මෙහෙ ඇවිද්දා. හැන්දෑවෙ ආයෙම ඇයව ළමා නිවාසයට ඇරළුවා. ඒ දුක්බර සිඟිති ඇස් ආපසු හැරුණු මා දිහාටම එල්ල වෙලා තියෙන බව මට දැනුණා. ඒත් මං ආපහු හැරිල බැලුවෙ නැහැ. ඒ ළමා නිවාසය තිබුණෙ කොල්ලුපිටිය දුම්රිය නැවතුම ළඟින් වමට හැරිල යන සමුද්‍රාසන්න පාර අයිනක...

vladimir volegov

හීනයෙදි වුණත් මට ඒ පාර හොඳටම මතක තිබුණා. මම විහාරව අතින් අල්ලන් එක්කරගෙන ගිහින් ළමා නිවාසයට භාර දුන්නෙ ඒ පාරෙදි.
මේ ඒ හීනයේ දෙවෙනි කොටසද නැත්නම් මම මුලින් කිව්ව හීනය දැක්කෙ කළින් දවසකද කියල මට හරියටම නිච්චි නෑ...

............

ඊළඟ දවසෙදි මම කොල්ලුපිටිය හන්දියට යද්දි මහා කලබලයක්... පොලිසිය, හමුදාව හැමතැනම. සෙනග සීසීකඩ. මට හිතාගන්න බැහැ.

‘‘සුනාමියක් ඇවිත්, ඒ පැත්ත විනාසයි. ගන්න දෙයක් නෑ.‘‘ කවුදෝ කියනවා මට ඇහුණා.

‘‘දෙයියනේ විහාරා...‘‘ මගෙ හිත හෝස් ගාලා දැවුණා. ළමා නිවාසය තිබුණෙ මුහුදු වෙරළට කිට්ටුවෙන් බව මට මතක් වුණා. මම එතන උන්නු පොලීසියෙ කෙනෙකුට කිව්වා මට යන්න ඕන කියල.

‘‘ඒ පැත්තට යන්න දෙන්න බෑ මිස්. ඒ හරියෙ උන්නු හැමෝම මෙහාට ගේනවා.‘‘ ඔහු කිව්වා. මම ඔහු ළඟ අඬා වැටුණා.

‘‘එයා පුංචි දරුවෙක්... මට එයාව හොයාගන්න ඕන‘‘ තවත් බොහෝ දේ කිව්ව වුණත් ඒ මොනවද මට ම මතක නැහැ. අවසානයේ ඔහු මට අවසර දුන්නා දුම්රියපළ පාරෙ ඉදිරියට යන්න. 

පාර දෙපැත්තෙම මිනිස්සු පොදි පොදි.. දරුවොත් ඒ අතර.  හැම දැරියක් ගාණෙම මම විහාරගෙ මුහුණ හෙව්වා. මං උන්නෙ දිගටම අඬමින්... දෙයියනේ මේ දරුවට කරදරයක් වුණොත්, එහෙම හිතද්දිත් මගෙ හිත මහා වේදනාවකින් ගල්ගැහුණා.

අවසන් දවසෙ මම ඇයට අරන් දුන්නු ගවුමෙ ළාකොල පාට සමනල් අත්දෙකක් තිබුණා, ගවුමෙ කඳ කොටස සුදු පාටයි, හරියටම පපුවට උඩින් පුංචි පාට පාට සමනලයෙක් ඇප්ලික් කරල තිබුණා. සමනල් අත්දෙකේ ළා කොල පාටින්මයි ගවුමෙ රැලි සාය තිබුණෙ. ඉතින් මං හොයා ඇවිද්දෙ ඒ ගවුම ඇඳගත්ත පැංචියෙක්ව.

‘‘අන්න තවත් රැල්ලක් එනවා...‘‘ මිනිස්සු ආයෙම කලබල වෙලා දුවන්න ගත්තා. මුහුද දෙසින් මහා රැල්ලක් නැගුණා මං වගේ දෙතුන් දෙනෙක් යට කරන තරම් උසැති, අඳුරු පෑ වියරු රැල්ලක්... මං හිටිවනම උන්නා. ඒ රැල්ල කඩන් බිඳන් ආවට මිනිස්සු බය වුණාට එක දිය පොදක්වත් මගෙ දෙපා අසලට ආවෙ නැහැ. ආයෙම මුහුද දෙසටම ඇදිල ගියා. මං ආයෙමත් විහාරව හොයන්න ගත්තා. හැම දැරියක්ගෙම මුහුණට එබෙමින්, හැම ළා කොල පෑ ගවුමක්ම හඹා යමින් මම ඇයව හෙව්වා.

අන්තිමේ ළමා නිවාසෙ ළමයි හැමෝම සුරක්ෂිතව තියන් උන්නු ගොඩනැගිල්ලක් ගැන හෝඩුවාවක් ලැබුණා. මම එතෙන්ට දුවගෙන ගියා. ළමයින්ව බලාගන්න වයසක උන්දැ කෙනෙක් එතන හිටියා. මම ඔහුගෙන් විහාරා ගැන ඇහුවා. ඔහු පැත්තක වාඩිවෙලා උන්නු ළමයි පිරිසක් පෙන්නුවා. ඒ පොඩි උන් ගොන්නෙ විහාරා උන්නා. ඇය ඇඳන් උන්නෙ අර සමනල් ගවුමමයි. ඒ වෙද්දිත් මගේ ඇස්වලින් කඳුළු බේරෙනවා.

‘‘විහාරා...‘‘ මම ඇගේ උරහිසෙන් අල්ලලා මං පැත්තට හරවගත්තා. ඒ එක්කම ඇයගෙ මූණෙ හිනාවක් ඉහිරුණා. ඇය පුංචි අත්දෙකින්ම වට කරලා මගේ කකුල් දෙක බදාගත්තා.

‘‘මං හිතුවා ඔයා කොහොම හරි මාව හොයාගනියි කියල..‘‘ ඇගේ ඒ අහිංසක වචන මගේ කඳුළු අළුත් කළා.

.................

පාන්දර ඇස් ඇරෙද්දිත් මගේ කම්මුල්වල නොවියලුණු කඳුළු පාරවල් දෙකක් තිබුණා. කඳුළින් ඇරඹුණු රැයක් කඳුළින්ම පහන් වෙලා තිබුණා. චිත්‍රපටියක් වගේ එහෙමත් හීන පේනවද? මට මං ගැනම පුදුම හිතෙමින් තිබුණෙ.

වැඩට එන අතරෙ කෝච්චියෙදිත් මං ඒ හීනය ගැනම හිතමින් උන්නේ. ඇයි එහෙම හීනයක් පෙනුණෙ. එකපාරටම විදුලි සරක් වැදුණ වගේ මගෙ හිත කීරි ගැහුණා.

‘‘දෙයියනේ ඒ විහාරගෙ මූණ.... ඒ ගවුම, ඒ කොණ්ඩය, ඒ ඇස්... ඒ පුංචි කාලෙ මම ම යි නේද? එතකොට මං ඒ අඬා වැටි වැටී හෙව්වෙ මාවම ද?“



Thursday, November 3, 2016

රිදී කෙණ්ඩියකින් වැක්කෙරුණු හිම වතුර


රුසියානු ගම්මැද්දේ චාරිකාවක් කෘතියේ පිටකවරය

පොත පත ඇසුර අතිශය සොඳුරු වටිනා ව්‍යායාමයක් ලෙස ජීවිතයට බද්ධ කරන්නට දායක වූ ස්වර්ණ පුස්තක අතර රුසියානු පරිවර්තන බොහෝ වූ බව නොකියාම බැරිය. අතීත රුසියානු පත්ඉරු මතින් ගලා හැලුණු මනුෂ්‍යත්වයේ අසීමිත ගුණ සුවඳ, ජීවිතයට ඇති අප්‍රමාණ ආදරය, භක්තිය සහ ගෞරවය, මානව පැවැත්ම සමඟ අත්‍යන්තයෙන් බද්ධ වූ සොබාදහමේ ජීවමය අසිරිය හද මනස පුරවා ලූ බව මතකය.  එය ස්ටෙප්ස් තැනිතලාව තරම් විසල්, පැතිරුණු නිල් අහස තරම් පිවිතුරු චමත්කාරජනක හැඟීමකි.

සොබාදහමේ නොකිලිටි සුන්දරත්වය, අසිරිය - අනන්ත කටුක දිවි පෙවෙතක වුව සුව සිහිල දනවන මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ රුසියානුවන් තරම් අපූරුවට අකුරු කෙරූ තවත් කවුරුන් හෝ වේදැයි සිතමි. ‘‘රිදී කෙණ්ඩියකින් වැක්කෙරුණු හිම වතුරෙන් මුහුණ දොවා ගන්නාක් වැනි‘‘ ( පිටුව 32 ) සුවැති සිහිලැල් හැඟීමක් දනවන එබඳු සාහිත්‍ය උල්පතක් තවත් රටක වේද?

සිසිර සමයේ හිමෙන් වැසුණු රුසියානු ගම්බද පරිසරයක නත්තලට පෙර දසුනක්
korobkin-anatoly ගේ සිත්තමක්

ඒ උල්පතින් ගලා හැළුණු තවත් සිහිල් දිය දහරක් බඳු කෘතියක් හමුවිණි. ඒ කොන්ස්තන්තීන් පවුස්තොවුස්කිගේ කෙටි කතා දහයක් එක්තැන් කොට පරිවර්තනය කළ ‘‘රුසියානු ගම්මැද්දේ චාරිකාවක්‘‘ ය. පරිවර්තන කාරිය අකුරටම ඉටුකොට ඇත්තේ ජයන්ත ලාල් රත්නසේකරයන් විසිනි.

ලේඛන ව්‍යායාමය තුළ ‘රන් රෝස‘ පුබුදුවන්නට අපගේ හදවත් පැහැදවූ ලේඛකයා පවුස්තොවුස්කි, විවෘත, සංවේදී, දයාවන්ත හදවතින් යුතුව රුසියාවේ ගම්දනව් සිසාරා සැරිසරමින් සොබාදහම ඇසුරේ, ගැමි මනුෂ්‍ය ජීවිත ඇසුරේ ලබන අත්දැකීම් ඉතාම ආස්වාදනීය ලෙස මෙම කෘතියෙහි සඳහන් ය. සොබාදහම රිසි සේ විඳිමින් සංචරණයට ඇති අසීමිත ළැදියාව අවුළුවන සුළු ය.

කොන්ස්ටන්ටයින් පවුස්තොවුස්කි

මෙම කෘතිය අවසානයේ එන ‘මා ගැන කෙටියෙන් යමක් - පවුස්තොවුස්කි‘ ස්වයං චරිතාපදාන සටහනෙහි මෙලෙසින් සඳහන් වේ.

‘‘... මගේ හැම පොතක්ම චාරිකාවක ප්‍රතිඵලයකි. වඩා නිවැරදිව කියතොත් හැම චාරිකාවකම ප්‍රතිඵලය පොතකි...‘‘

තවත් එහිම වූ මා සිත් ගත් සඳහනක් මේ.

‘‘සාර්ථක නිර්මාණයක් කිරීමට නම් මා හට සාධක දෙකක් සම්පූර්ණ විය යුතුය. රට වටා චාරිකාවක නිරත වීම එහි පළමුවැන්නයි. සිත එකලස් කරගෙන නිස්කලංකව ලිවීමට සුදුසු පරිසරයක් තිබීම දෙවැනි සාධකයයි.‘‘

මේ ගෙවෙන යාන්ත්‍රික දිවි පෙවෙත තුළ, කලබලකාරී වටපිටාව තුළ මේ එකදු සාධකයක් හෝ සපුරාගැනීම සිහිනයක් වන නමුදු, හංසයකු සේ නිදහසේ සරන්නට ද, නිස්කලංකව පසෙකට වී ලියන්නටද තිබුණා නම් කොතරම් අගේදැයි දැනෙන සිතිවිල්ල සිත මත සාංකාබර හැඟීම් අතුරයි.

විප්ලවයට පෙර රුසියානු ගම්දනව් තුළ සැරිසරමින් ලත් අත්දැකීම් ද, විප්ලවයෙන් පසු නව ලොවක් පිළිබඳ සුවහසක් අපේක්ෂාවන්ගෙන් පිබිදී එන ගැමි දිවියද මෙහි එන බොහෝ කතා තුළ නිරූපිතය. කෙමෙන් නැගී එන නිලධාරිවාදයේ සේයාවක්ද යම් තැනක දැකිය හැකිය. විප්ලවයෙන් පසුව නිලධාරිවාදයේ මළ පුඩුවට හසුවී රුසියානු ජනතාවගේ නවලොවක් පිළිබඳ සුවහසක් අපේක්ෂා බිඳ වැටෙන්නට පෙරාතුව අලුත් හුස්මක් සමඟ අලුත් ගමනක් යන්නට පෙරුම් පුරන රුසියාව මේ බොහෝ කතා තුළ මතුවෙන්නේ යැයි සිතේ. ‍
Vasily Dmitrievich Polenov (1844�1927)
Russian Village, 1881
Oil in canvas
Saratov Art Museum, Russia

‘‘ඔන්න ඕකයි කතන්දරේ. අමතර සැරසිලි, ආභරණ ආයිත්තම් මොකුත්ම මේ කතාවෙ නෑ. හරිම සරලයි. ජීවිතේට අමතර සැරසිලි අටුවාටීකා එකතු කරන එක ඉතින් ලේඛකයන්ගෙ පුරුද්දනෙ. මමනම් හිතන්නෙ ඒක අනවශ්‍ය වැඩක් කියල. ඒ සරුව පිත්තල නැතුවට සාමාන්‍ය ජීවිතේ මොනතරම් සුන්දර ද?‘‘ ( පිටුව 164 )

සරුව පිත්තල නැති සාමාන්‍ය ජීවිතේ වඩාත් හෘදයාංගම ලෙස ගොනු කළ කතා එකතුවක් ලෙස ‘‘රුසියානු ගම්මැද්දේ චාරිකාවක්‘‘ කෙටි කතා එකතුව හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. කෘතිය තුළ සහෘද මනසට අභිමුඛ වන අප්‍රමාණ ධෛර්යයෙන් යුත්, අසීමිත මානව දයාවෙන් යුත් මිනිසුන් සමූහයකගේ සමීප සේයා රූ නොමැකෙන මතකයක් ලෙස හදෙහි තැන්පත් වනු ඇත.

Image result for steppes in russia
ස්ටෙප්ස් තැනිතලාව
මෑත රෝස පැහැ මල් යාය... හරිත පැහැ තැනිතලාව.. ඈතින් හිමෙන් වැසුණු කඳු සහ නිල් අහස...


සාමාන්‍ය මනුෂ්‍යයින් තුළ පවත්නාවූ උත්තරීතර මනුෂ්‍යත්වය විනිවිදින මේ කතා ගොන්න රුසියානු බසින්ම හෙළ බසට නැගී තිබීම විශේෂත්වයකි. උචිත වදන් මැනවින් ගළපා, පැහැදිලි දිය උල්පතක් සේ භාෂා රටාව හසුරුවමින් ගම්මැද්දේ පිපුණු අයිරිෂ් මල් යායක් තරමට මුදු ව, සිලිටි ව, සැහැල්ලුව අපේ හදගැස්මට එකී කතා ගොන්න සමීප කරවීමට පරිවර්තක සමත් වී ඇතැයි සිතමි. මෑතක මහත් පිරුණු හැඟීමක් ජනිත කළ පරිවර්තන වෑයමකැයි පවසන්නට නොපැකිළෙමි.

ජයන්ත ලාල් රත්නසේකර වියතුනි, රුසියානු සාහිත බිම කැණ තව තවත් මෙබඳු අගනා මිණි කැට අප වෙත ගෙන එන්නැයි ජීවිතයට, මනුෂ්‍යත්වයට සහ සොබාදහමට ඇති අසීමිත ආදරය සමඟින් දයාබර ඉල්ලීමක් ඔබ හමුවේ තබමි.

අප ලේඛකයා අර්කාදි ගයිගාර් සමඟ සිදු කරන ගම්මැදි සංචාරයක් අතරතුර ලීසා නම් දැරියක් හමුවේ. පසුව එකී ලීසාට ගයිගාර් විසින් එවන ලද ලිපියක කොටසකින් මේ සටහන අවසන් කරනු රිසියෙමි. ( 6 වැනි කතාව - නිධානය)

‘‘ඒත් මේ ලෝකෙ වටිනාම බලගතුම නිධානෙ තියෙන තැන එයා අපිට කියල දුන්නා. ඒ වෙන කොහෙවත් නෙවෙයි ලීසා, මිනිසාගෙ හදවත තුළ. ලස්සන, සුන්දර හදවතක් තරන් වටින වෙනත් දෙයක් මේ මිහිපිට නෑ කියල එයා අපිට තේරුම් කරල දුන්නා. බලාගෙන ගියාම කතාව හරියටම හරි නේද ලීසා? ඒ හින්ද නුඹත් නොවැරදීම ලස්සන-සුන්දර හදවතක් ඇතිකර ගන්න උත්සාහ ගන්න ඕන. ඒත් එක්කම හොඳට ඉගෙනගන්නත් ඕන. ඒ විතරක් නෙවෙයි පුළුවන් හැම වෙලාවකම පොතපත කියවන්නත් පුරුදු වෙන්න.‘‘ ( පිටු 78-79)


හසුනක් කියවන රුසියානු තරුණියක්
Vladimir Volegov සිතුවමක්


In the Heart of Russia and Other Stories - Konstantin paustovsky
රුසියානු ගම්මැද්දේ චාරිකාවක් - පරිවර්තනය ජයන්ත ලාල් වීරසේකර
විදර්ශන ප්‍රකාශනයක් - මිල රු. 380.00

ප.ලි.

( අර්කාදි ගයිගාර්ගේ කෘතියක් විප්ලවය මගේ තක්සලාව නමින් චූලානන්ද සමරනායකයන් විසින් සිංහලට නඟා ඇත. විදර්ශන ප්‍රකාශනයකි. )

Tuesday, November 1, 2016

‘‘සොරායා‘‘ - ගල් ගසා මරා දැමූ ගැහැනිය

පහර දෙන්නට ගලක් අතැතිව
The Stoning of Soraya M චිත්‍රපටයෙන්

( 2016.10.30 කලමුල්ල, රිදීමාවතේ පියවර තොරතුරු මධ්‍යස්ථානයේ දී ෆෙයිඩෝන් සහෙබ්ජාම් ලියූ, චූලානන්ද සමරනායක පරිවර්තනය කළ ‘‘සොරායා කෘතිය ගැන කළ අදහස් දැක්වීම. )

කතාකාරියක් නොවී නිහඬව ඉන්න කැමති මට මේ ආරාධනාව ලැබෙද්දි බෑ කියන්න බැරි වුණ හේතු දෙකක් තිබුණා. එකක් මං ඉතාම ගරු කරන, ආදරය කරන ලේඛකයෙක්, පරිවර්තකයෙක්, සහෝදරයෙක් වන චූලානන්ද සමරනායක, චූලයියාගේ සාහිත්‍ය ශ්‍රමය අගය කරන වැඩක් වීම, ඒ ගැන කතිකාවක් ඇතිවීම, අනිත් එක කළුතර අපේ සහෘද පිරිසගේ වැඩක් වීම... පුංචි දරුවො අයියල අක්කල එක්ක එකතු වෙලා කොළ කැඳ හදල විකුණල බොහොම පුංචියට පටන් ගත්ත කොළ කැඳ පුස්තකාලය අද මේ පියවර තොරතුරු මධ්‍යස්ථානය විදියට ඇවිත් තියෙන ගමන හරිම වටිනවා. මට මේ පුස්තකාලය පූජනීය තැනක් විදියටයි දැනෙන්නෙ.

අද මං කතා කරන්න යන්නෙ පොතක් ගැන. ඉතාම සංවේදී, අනුවේදනීය සත්‍ය ජීවිත කතාවක් ගැන. ‘සොරායා‘ ඒ තමයි පොතේ නම. සොරායා කියන්නෙ ගැහැනියක්. ගල් ගසා මරා දැමූ ගැහැනිය, ඒ විදියටයි කවරයේම ඇයව හඳුන්වන්නෙ. පොත් ප්‍රදර්ශනයෙදි මේ පොත ඇහැ ගැටෙද්දි මම ගත්තෙ නැහැ. දයාබර ඩාලියා, කූඩු කිරිල්ලී, දෙවියන්ගේ අඩවිය, කාන්තාරයේ කුසුම වගේ ඉස්ලාම් ආගමික අන්තවාදය නිසා පීඩාවට පත්වුණු ගැහැනුන් ගැන පොත් ගණනාවක් කියවල තියෙන නිසා මට මේ පොත ගන්න හිතුණෙ නැහැ. ඒව හරිම කම්පනයක් දැනෙන ජීවිත කතා. තවත් එවැනි කතාවක් කියවන්න බැරිකමක් දැනුණා. මේ වැඩේට කතා කරල පොත ගැන කිව්වම විශේෂයෙන් පොතක් ගෙන්නගෙන කියවන්න සිද්දවුණා. අන්න ඒ වෙලාවෙයි මට දැනුණෙ චූලානන්ද සමරනායක ඇයි මේ මොහොතෙ මේ පොත ලංකාවෙ අපට මුණගස්වන්නෙ කියන කාරණය.

සොරායා පොතේ කවරය -
වියළි කටුක ගලින් පිරුණු මිටියාවතක ඉපල් වී ගිය ගසක්. අහස පසුබිමින් මුස්ලිම් කාන්තාවකගේ මුහුණක අඩක්.. 

මේක ඇත්ත කතාවක්. ඇත්ත ගැහැනියක්. ඇය උපන්නේ ජීවත්වුණේ ඉරානයේ. මේ පොතේ සාහිත්‍යමය පැත්ත ගැන කතා කරනවට වඩා මං කැමතියි මේ පොත ජීවිතය ගැන, සමාජය ගැන, අරාජික පාලන සමයක වෙන්න පුලුවන් නස්පැත්ති ගැන, පාලක පන්තියත් එක්ක අත්වැල් බැඳගන්න ආගමික සංස්ථා හැසිරෙන අන්තවාදී, අමානුෂික ස්වභාවය ගැන කතා කරන පොතක් විදියට දකින්න. අපි ජීවත් වන සමාජයත් කැඩපතකින් වගේ අපට දකින්න සලස්වන කෘතියක් විදියට කතා කරන්න.

මුලින්ම පරිවර්තක චූලානන්ද සමරනායක ගැන තොරතුරු බිඳක්...

චූලානන්ද සමරනායක කියන්නෙ අපිට ඉන්න විශිෂ්ට පරිවර්තකයෙක්. සමාජ, සංස්කෘතික, දේශපාලන ක්‍රියාධරයෙක්. කවියෙක්. විචාරකයෙක්. පුවත්පත් කලාවේදියෙක්. ඒ සියල්ලමත් එක්ක ඔහු මනුෂ්‍යත්වයට ආදරය කරන යහපත් සමාජයක් ගැන හීන දකින කෙනෙක්. ඉතාම සොඳුරු මනුස්සයෙක්. තරුණ අවදියෙදි ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවීය දේශපාලනයට යොමුවෙනවා. සරසවි අධ්‍යාපනය ලබන අතර දේශපාලන කටයුතු නිසා අත්අඩංගුවට ගන්නවා. ඔහු ලේඛකයෙක් වෙන්නෙ මේ රැඳවුම් කඳවුරක විවිධ ශාරීරික මානසික පීඩනවලට ගොදුරු වෙමින් ඉන්න කාලයක. චූලයියා ඒ ගැන කියන්නෙ මෙහෙම...

‘‘මං පරිවර්තනකරණයට යොමු කිරීමේ ස්තුතිය පුදන්න ඕනැ ලංකාවේ පොලිසියට හා හමුදාවට. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය දේශපාලන ක්‍රියාකාරකම් මත භීෂණ යුගයෙදි මාව තුන් වරක් අත්අඩංගුවට ගත්තා. අන්තිමට හිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උඩම තට්ටුවේ. ඒක අප්‍රකට, රහසිගත රැඳවුම් කඳවුරක්. එතැනදි මට කරන්න දෙයක් තිබුණේ නැහැ. මං සමුගනිමු ගුල්සාරි පොත පරිවර්තනය කරන්න පටන්ගත්තේ ඒ දවස්වල. ශාරීරික පීඩා එක්ක ඒ සඳහා මට විවේකය ලබා දුන්නේ පොලීසිය හා හමුදාව. මේ වෙනකොට මං පොත් පනස් පහක් විතර පරිවර්තනය කරලා තියෙනවා.‘‘

ඔහු පරිවර්තනය කළ පොත් අතර සමුගනිමු ගුල්සාරි, චේ හා එක්ව සටන් වැද, මකුළු කැදැල්ලට යන පාර, සන්තියාගෝ නම් සැරිසරන්නා, යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය, ඔවුන් යුද වැදුණේ රට වෙනුවෙනි, නරක උන් ඇසුරෙහි, රාත්‍රිය, රතු සෝගම් මේ වගේ විශාල සංඛ්‍යාවක් තියෙනවා... එයින් රුසියන් කෘති 22 ක් පමණ තියෙනවා. මේව සාහිත්‍ය කටයුතු වගේම සමාජ වැඩ. මේ හැම කෘතියක්ම පරිවර්තනය කරන්න අනිවාර්යයෙන්ම බල පෑ සමාජ දේශපාලන කාරණයක් තියෙනවා. චූලානන්ද සහෝදරයා තමන්ව ආකර්ෂණය කරගත් පමණින් පොතක් සිංහලට පෙරළන කෙනෙක් නෙවෙයි. ඔහු පරිවර්තන කාර්යයට අත ගහන්නෙ එයින්  යහපත් පුරවැසියෙක් ගොඩනගන්න, ඒ හරහා යහපත් සමාජයක් ගොඩනගන්න දායකත්වයක් දෙන්න හැකිද කියන කාරණය මුල් කරගෙන. ලේඛකයකුට පරිවර්තකයකුට එහා ගිය මනුෂ්‍යයෙක්, පුරවැසියෙක් විදියට අපි ඔහුව අගය කරන්නෙ, ඔහුට ගරු කරන්නෙ, ආදරය කරන්නෙ ඒ නිසයි.

චූලානන්ද සමරනායක

2015 දි චූලයියට අන්තර්ජාතික චිංගීස් අයිත්මාතව් සම්මානය පිරිනැමෙනවා. අයිත්මාතව් සාහිත්‍යය තමන්ගෙ රටට, ජනතාවට හඳුන්වා දීමට දරපු උත්සාහය වෙනුවෙන්. ඒ සම්මානය ලැබෙන පළමු ශ්‍රී ලාංකිකයා ඔහු. ඔහු චිංගිස්ගෙ කෘති 06 ක් පරිවර්තනය කරනවා එයින් එකක් ළමා පොතක්. අනිත් පහම නවකතා. සුදු නැව, සමුගනිමු ගුල්සාරි, සියක් වසක් පවත්නා දවස, දංගෙඩිය, ධීවර ගීතය ඒ අතර වෙනවා.
ඒ වගේම ඔහු කවියෙක්, කෙටි කතා කරුවෙක්.

චූලානන්ද සහෝදරයා නැත්නම් චූලයියා සොරායා පරිවර්තන කාර්යයට අතගහන්නෙත් සාහිත්‍යමය කටයුත්තකට එහා ගිය සමාජමය වැඩක් කියන හැඟීමෙන් කියල මං විශ්වාස කරනවා.

මං කැමතියි මුලින්ම පොතට යන්න කළින් පසුබිම් කතා කීපයක් ඔබ එක්ක බෙදාගන්න.

ඉන්පස්සේ අපි සොරායා කියන්නෙ කවුද? ඇයට මොනවද වුණේ කියල හොයල බලමු.

ඊටත් පස්සෙ අපි කතා කරමු ඇයි මේ සොරායාගෙ කතාව අපට වැදගත් වෙන්නෙ කියල.

මේ තමයි පසුබිම් කතා...

මෑතක අන්තර්ජාලයෙ මගේ ඇස ගැටෙනවා රෝම අධිරාජ්‍ය සමයේ පල්ලියෙන් මරා දැමුණු තාරකා විද්‍යාඥවරියක් ගැන කතාවක්. ඇය හයිපතියා නැත්නම් හයිපේෂියා. ඇය උපන්නේ ක්‍රි.ව.350 -370 අතර කාලයේ කියලයි අදහස් වෙන්නෙ. හයිපතියා සොබාදහම සහ මනුෂ්‍යත්වය ගැන විශ්වාසය තැබූ ගැහැනියක්. ඇය ගණිතය හා තාරකා විද්‍යාව කියන විෂයන්වලට වැඩි කැමැත්තක් දක්වනවා. ඇයගේ නව සොයා ගැනීම තමයි පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය නොවන බව. එහි කේන්ද්‍රය සූර්යයා. පෘථිවිය ඇතුළු ග්‍රහ මණ්ඩලය ඒ වටා ඉලිප්සාකාරව කරකැවෙන බව ඇය ප්‍රකාශ කළා. මේ වෙද්දි කොන්ස්තන්තීනු පාලන සමයේ අධිරාජ්‍යෙය් ආගම වුණ ක්‍රිස්තියානි පල්ලිය බලසම්පන්න විදියට පැතිරෙමින් තිබුණා. එය ඊජිප්තුවටත් කඩාවැදුණා. ඇය පල්ලියේ බලයට යටත් වුණ කෙනෙක් නෙවෙයි.

දෙවියන්ගෙ මැවිල්ල ලෝකය එය සියල්ලේම උත්තරීතර කේන්ද්‍රස්ථානය කියන පල්ලියේ ඉගැන්වීමට මුළුමනින්ම පටහැනි ඇයගේ සොයාගැනීම. පල්ලිය මේ අදහස් දැක්කෙ මිථ්‍යා දෘෂ්ටියක් විදියට. ගල් ගහල, පුලුස්සල ඉතාම අමානුෂික විදියට පල්ලිය විසින් ඇයව මරා දමනවා. ඒ ක්‍රිස්තියානි අන්තවාදය. පල්ලියේ බලය කොයිතරම් ද කියන එක පැහැදිලියිනෙ. ඒ බල පරාක්‍රමය පැතිරිලා තිබුණු යුගය යුරෝපයේ අඳුරු යුගය විදියටයි සැලකෙන්නෙ. 

පාලන බලය එක්ක ආගමික අන්තවාදය එකතුවුණු හැම යුගයක්ම මිනිස්කම වැළලෙන අඳුරු යුගයක් තමයි. හිට්ලර්ගෙ යුදෙව් සංහාරය ගත්තත්, වර්තමාන මුස්ලිම් අන්තවාදය ගත්තත් ඒ විදියම තමයි. අද අපි මුස්ලිම් අන්තවාදය, ම්ලේච්ඡ ඝාතන ගැන කතා කරනවා. මධ්‍යකාලීන යුරෝපයෙ ක්‍රිස්තියානි පල්ලිය මීටත් වඩා ම්ලේච්ඡ විදියට කටයුතු කරල තියෙන බවත් අපි අමතක කළ යුතු නෑ. යටත්විජිත මුවාවෙන් රටවල්වල ස්වදේශීය මිනිස් ජීවිත, ස්වදේශීය සංස්කෘතිය, වටිනාකම් විනාශ කරල දැම්මෙත් එක අතක තුවක්කුව අනිත් අතින් බයිබලය අරන් ඇවිත් කියන එක අපි දන්නවා. 

යුදෙව් සමාජයේ පරිසිවරු, සදිසිවරු, විනයධරයො, පූජකවරු බලසම්පන්න වෙලා පව්කාර ස්ත්‍රීයට ගල් ගහන්න පෙළඹෙන්නෙත්, ජේසුව කුරුසෙ ඇණ ගහල මරාදාන්නෙත් මෙවැනිම පසුබිමක. පාලක පන්තියයි, පූජක පන්තියයි එකට එකතු වුණාම, අත්වැල් බැඳගත්තම එතන ධර්මයට, මනුස්සකමට ඉඩක් තියෙන්නෙ හරිම අඩුවෙන්.

සොරායා කෘතියේ පරිවර්තක සටහනේ කියවෙන විදියට අපි මේ සියලුම අන්තවාදයන් පිළිබඳව විවෘත මනසකින්, විචාරශීලීව බලන්න ඕන. එක් පාර්ශවකට පමණක් වරද පවරන්න ඉක්මන් වුණොත් අපට මේ කෘතියේ සමස්තය අපට දෙන්න උත්සාහ කරන පණිවිඩය හරියට අල්ලගන්න බැරිවෙනවා.

දැන් අපි සොරායා පොතට හැරෙමු.

සොරායා සහ දියණියන්.. සිනාමුසුව සතුටින් සිටින දසුනක්.. ඇය සුන්දරයි. අහිංසකයි.
The Stoning of Soraya M චිත්‍රපටයේ දර්ශනයක් 

සොරායා කියන්නෙ ඇත්ත චරිතයක්. ඇත්ත ගැහැනියක් මම මුලින් කිව්ව විදියට. ඇය උපදින්නෙ ඉරානයෙ. ඉස්සර නම් පර්සියාවෙ. 1951 අවුරුද්දෙ. ඒ වෙද්දි ෂා රජතුමා තමයි රජකම් කරන්නෙ. ඔහු විවාහ වුණ දවසෙයි සොරායා උපදින්නෙ. ෂා රජු විවාහ කරගත් කුමරියගේ නම තමයි සොරායා. ඒ අනුවයි ඉරානයේ කුපායෙහ් කියන හද්ද පිටිසර කඳුකර ගම්මානයක ඉපදුණු අන්ත දුප්පත් පවුලක දැරියකටත් රාජකීය නමක් ලැබෙන්නෙ. දෙමව්පියො කාටත් තමන්ගෙ දරුවො රජවරු තමයි.

සොරායා කොයි තරම් දුප්පත්ද කියනවනම් අවුරුදු දහයක් වෙද්දි නගරයේ ඉඩම් හිමි ධනවතකුගෙ නිවසෙ බැල මෙහෙවර කරන්නත් සිද්දවෙනවා. ඒ ගෙදර වයසක හාම්පුතාගේ ලිංගික අපචාරවල ගොදුරක් වෙන්නත් සිදුවෙනවා. ඉන්පස්සෙ ඇයට ගමේ ඉන්න නූගත්, කමකට නැති මනුස්සයකුගේ බිරිඳ වෙන්න සිදුවෙනවා අවුරුදු 13 දි. දුප්පත්, නූගත් පවුලක දැරියකට අත්වන ඉරණම බොහෝ වෙලාවට. ලංකාවෙ වුණත් තත්වය මෙහෙමයි. වෙනසක් නෑ. සොරායාගෙ සැමියා ගොර්බාන් අලී, දුරාචාරයට, නීතිවිරෝධී වැඩවලට ඇබ්බැහි වුණ කෙනෙක්. ෂා රජ්ජුරුවන්ගෙ පාලනය නිමා කරලා 1979 අයතුල්ලා කුමේනි ඉරානයේ පාලන බලය අතට ගද්දි සොරායා අම්ම කෙනෙකුත් වෙලා. අවුරුදු 13 දි විවාහ වෙන ඇය අවුරුදු 14 ක් ඇතුළත දරුවන් නවදෙනෙක් බිහිකරනවා. දෙන්නෙක් මළ දරු උපත්.

අලුත් පාලනය තමන්ගෙ බලය රැකගන්න විරුද්ධවාදීන් දරුණු විදියට මර්දනය කරනවා. තමන්ට පාක්ෂික අයට ඕන අපරාධයක් කරන්න ඉඩ ඇරල බලන් ඉන්නවා. මේ අතර තමන්ගෙ වංචා, අපරාධ, හොරමැරකම් වහගන්න පූජක ලෝගු දාගත්ත අපරාධකාරයො තමන්වම දේව නියෝජිතයො කරගෙන මුල්ලාවරු බවට පත්වෙනවා. කුපායෙහ් කියන ගමටත් එනව ඒ වගේ දරුණු අපරාධකාරයෙක් පූජක වේෂයෙන්. ඒ ෂෙයික් හසාන්. මේ අතර අලුත් පාලනයට මුවාවෙලා වංචාවෙන් ඉහළට යන සොරායාගෙ සැමියට උවමනා වෙනවා ලස්සන තරුණියක්ව විවාහ කරගන්න. ඒකට තියෙන බාධාව තමයි සොරායා. ගම් නායකයයි, හොර පූජකයයි එක්ක එකතු වෙලා බොරු චෝදනා හදල, නූගත් ගම්වාසීන්වත් උසිගන්නලා, ආගමේ නාමයෙන් ඇය වැරදිකාරිය කරල ගල් ගහල මරල දානවා. මේ නිහඬ අහිංසක ගැමි ගැහැනිය ඒ මරණයට මුහුණ දෙන්නෙ තමන්ගෙ නිදහස වෙනුවෙන් වචනයක්වත් කියන්නෙ නැතිව.
  

සොරායා ගල් ගසා මරා දමන්නට පෙළ ගැසී සිටින ගම්වාසීන්. බහුතරය පිරිමින්.
ගල් ගසන්නට පෙර උඩුකය පමණක් ඉතිරිවන්නට වළලා දමනවා. ඒ සඳහා කැපූ ගැඹුරු වළක් ඉදිරිපිට සොරායා සිටිනවා.
ගම්මුන් ඇය වටකරගෙන.
චිත්‍රපටයේ දර්ශනයක්

මේ ඇත්ත ගැහැනියගෙ කතාව ෆ්‍රෙයිඩෝන් සහෙබ්ජාම් කියන මාධ්‍යවේදියට අහන්න ලැබෙන්නෙ අහඹු විදියට. ඔහු ප්‍රංශයේ ඉපදුණු, ප්‍රංශයේ ස්විස්ටර්ලන්තයේ ඉගෙනගත්ත ඉරාන ජාතිකයෙක්. බොහොම කැපවීමෙන් අවදානම් සහිත මාධ්‍ය කටයුතුවල යෙදෙන ලේඛකයෙක්, මානව හිමිකම් ක්‍රියාධරයෙක්. ඔහුගේ ජීවිත කතාවත් නවකතාවක් වගේ තමයි. හදාරන්න වටිනවා. ෆ්‍රෙයිඩෝන්ගෙ මාධ්‍ය කටයුතු නිසාම ඉරාන රජය ඔහුට රටට ඇතුළ් වීමත්, මාධ්‍ය කටයුතුවල යෙදීමත් තහනම් කරනවා. ඔහු රහසිගතව ඉරානයට ගිහින් එන ගමනක අතරමගදි හමුවෙනවා සහ්රා ඛානුම් කියල වයෝවෘද්ධ ගැහැනියක්. ඇය තමයි සොරායාගෙ නැන්දා. මේ මුල් හමුවීම සිද්දවෙද්දි සොරායා මරල දාලා සති දෙකක් ගතවෙලා. ඒ 1987 අවුරුද්ද. ඇය තමයි අපි මේ පොතින් කියවන සොරායගෙ කතාව සහෙබ්ජාම්ට කියන්නෙ.

Freidoune Sahebjam

සොරායා අපිට, ලංකාවට, මේ මොහොතට වැදගත් වෙන්නෙ කොහොමද?

ජීන් පී සැසන්ගෙ කූඩු කිරිල්ලී, දෙවියන්ගේ අඩවිය, වාරිස් ඩයරි ගැන කියවෙන කාන්තාරයේ කුසුම, ඇෆ්ගනිස්තානයේ මීනා, ඉරාකයේ ජොආනා වගේ ඉස්ලාම් අන්තවාදය නිසා පීඩාවට පත්වුණු ගැහැනු ගැන පොත් ගණනාවක් පරිවර්තනය වෙලා තියෙද්දි ඇයි මේ මොහොතෙ ඒ කියන්නෙ 2016 සොරායා පොත අපිට මුණගස්වන්නෙ. මං එහෙම ඇහුවොත් චූලයියට දෙන්න පැහැදිලි උත්තරයක් තියේවි. මං විශ්වාස කරනවා ඒක බොහොම පැහැදිලි සමාජ, දේශපාලනික උත්තරයක් වේවි.

ඉරාන විප්ලවය හා ඉන්පසු දේශපාලන තත්වය...

ඉස්ලාම් ආගමික ජනතා ව්‍යාපාරයක් හරහා ඇති වන සමාජ වෙනසක ප්‍රතිඵලයක් විදියට තමයි 1979 අයතුල්ලා කුමේනි ඉරානයෙ පාලන බලය අතට ගන්නෙ. මේකට ඉරාන විප්ලවය කියල කියනවා. වැඩවසම් රාජාණ්ඩු ක්‍රමයක් පරද්දල ජනතා බලවේගයක් ජයග්‍රහණය කරනවා. අරමුණ කොයි තරම් යහපත් ප්‍රජාතන්ත්‍රවාදී එකක් වුණත් ආගම හරි ජාතිය හරි වර්ණය හරි ඉස්සර කරගත්තම එතන ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩනැති වෙන බව කියන්න හොඳම උදාහරණයක් තමයි මේ ඉරාන විප්ලවය. ඉරාන විප්ලවයෙන් පස්සෙ බිහිවෙන්නෙ මුස්ලිම් සමූහාණ්ඩුවක්. ඒක ආගමික අන්තවාදයට නැඹුරු වුණ මර්දනකාරී ආණ්ඩුවක් බවට පත්වෙනවා බොහොම ඉක්මණින්ම. ප්‍රධානම හේතුව තමන්ගෙ බලය වැඩි කරගැනීම සහ බලය රැක ගැනීම මුල් වෙද්දි ජනතාව අමතක වෙනවා. යුක්තිය සාධාරණය අමතක වෙනවා. අමතක කරනවා. හරියට මේ මොහොතෙ අපි අත්විඳිමින් තියෙන යථාර්ථය වගේ. මට මෙන්න මෙතනදි තමයි ඇයි මේ මොහොත මේ පොත ලංකාවට හඳුන්වා දුන්නෙ කියන කාරණයට පිළිතුර ලැබෙන්නෙ. 

කර්තෘගෙ සටහනේ කියවෙන විදියට ආගමික උන්මාදයක් ඇති වෙනවා. හරයක්, දැනුමක්, අගක් මුලක් නැති මුල්ලාවරු නැත්නම් මුස්ලිම් ආගමික පූජකයො ඉබේ පහළවෙනවා. පසුගිය පාලන කාලයේ තමන් කරපු හොර මැරකම්, වංචා දූෂණ යටගහ ගන්න ආගම ඉත්තා කරගෙන සාන්තුවර, පූජකවර වේශයෙන් මිනිස්සු ඉදිරියේ පෙනී ඉන්නවා. අපේ රටේ සිදුවුණ සහ සිදුවෙමින් තියෙන දේවල් මේ එක්ක සන්සන්දනය කරල බලන්න කියල මං විශේෂයෙන් කියන්න ඕන නැහැනෙ නේද?

අපේ රටෙත් පහුගිය කාලෙ අපි දැක්කා ආගමික අන්තවාදය හිස ඔසවන හැටි. ඉරානයෙ ෂෙයික් හසාන්ල බිහිවෙනව වගේ ගලගොඩඅත්තේ ඥානසාර වගේ චීවරධාරීන් බිහි වෙන හැටි. ඒව කොයි තරම් භයානක විදියට සාමාන්‍ය ජන ජීවිතයටත් බලපෑවද කියල අපි දන්නවා. අලුත්ගම ගිනි ඇවිලුණු විදිය අපිට අලුත් කාරණ නෙවෙයි. වර්ගවාදය නිසා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව පීඩාවට පත්වුණෙත් මේ විදියටම තමයි. දැන් තත්වය තරමක් යටපත් වුණු බවක් තියෙනවා. නමුත් අන්තවාදී අදහස් දරන මිනිස්සුන්ව මානව හිතවාදී තැනකට ගන්න හරි අමාරුයි. ඒ නිසා අවදානම කියන එක හැමදාම තියෙනවා. ඒ නිසා හැමදාම මනුස්සකම වෙනුවෙන් වැඩ කරන්නත් වෙනවා. 

මේ ඉරාන විප්ලවය තරමක් සමාන කරන්න පුලුවනි, 2015 ජනවාරි 08 ලංකාවෙ ඇතිවුණු වෙනසට. ජනවාරි 08 ලංකාවෙත් පාලනයෙ පැහැදිලි වෙනසක් ඇතිවුණා. අපි ඒකට දේදුනු විප්ලවය කියලත් කිව්වා. අපි බලාපොරොත්තු වුණ විදියේ සමාජ දේශපාලන වෙනසක් තවමත් අත්දකින්න අපට හැකිවෙලා නැහැ. යම් යම් සාධනීය වෙනස්කම් තියනවා වුණත්. ජනවාරි 08 දේශපාලන වෙනස කියන්නෙ දේශපාලන පක්ෂයක හෝ පුද්ගලයෙකුගෙ විශේෂත්වයත්, ප්‍රබලකමක් නිසා ලැබුණු දෙයක් නෙවෙයි මං දකින විදියට රාජපක්ෂ පාලනය ගැන කලකිරිලා හිටිය ජනතාවගෙත්, මිනිස්සු දැනුවත් කරන්න ජීවිත අවදානම නොතකා පාරට බැස්ස සිවිල් සංවිධාන සහ මිනිස්සුන්ගෙ කැපකිරීම්වලත් ප්‍රතිඵලයක් කියලයි මම හිතන්නෙ. ඒක ජනතා බලවේගයක් මත සිදුවුණු වෙනසක්. ඉරානයෙත් පාලනය වෙනස් වෙන්නෙ ඒ විදියට. නමුත් එතනදි ආගමක් මුල්වෙලා තියෙනවා. 

විප්ලවයෙන් පස්සෙ ඉරානය පුරා ජනතාව පීඩාවට පත් කරන ආගමික අන්තවාදය හිස ඔසවනවා. බුද්ධිමතුන්, මානව හිතවාදීන් සිරගත වෙනවා. නැත්නම් මරා දැමෙනවා. ඒ අතර තමන්ට පක්ෂග්‍රාහී වන අන්ත දූෂිතයකුට, දාමරිකයකුට වුණත් රජයේ ආශිර්වාදය හිමිවෙනවා. අල්ලස්, දූෂණ, වංචා, මිනීමැරුම් සම්බන්ධව මේ වෙද්දි තියෙන මන්දගාමී ක්‍රියාකලාපය ගැනත් මේ ඔස්සේ හිතල බලන්න පුලුවනි. පීඩාවට පත්වුණු අයට යුක්තිය, සාධාරණය ඉටුවේවි කියල හිතන්න පුලුවන්ද? නීතිය හැමෝටම සාධාරණද? මේ ප්‍රශ්න අපිට මතුවෙනවා. 

මිනිස්සු වෙනසක් වෙනුවෙන් පාලනයක් පෙරළන්න මහන්සි වෙන්නෙ ඇත්තටම යුක්තිය, සාධාරණය, සමානාත්මතාව වගේ ගොඩාක් බලාපොරොත්තු තියාගෙන. මිනිස්සුන්ගෙ කරමතින් පාලන බලයට ඇවිත් මිනිස්සුන්ව අමතක කරල, පාගල දාලා තමන්ගෙ බලය රැකගන්න, තමන්ගෙ සාක්කුව පුරවගන්න පාලකයො උත්සාහ කරනවනම් ඒක රටකට කොයි තරම් විනාශකාරී විදියට බලපානවද කියල තේරුම් ගන්න සොරායා හොඳ උදාහරණයක්. 

ලංකාවෙ වැඩිදෙනෙක් හිතනවා අපි හම්බ කරගත්තොත් අපි කනවා. අපිට රට හදන්න බෑ. අපිට දේශපාලනය ඕන නෑ. අපි පාඩුවෙ අපේ වැඩක් බලාගෙන ඉන්නවා කියල. නමුත් අපි කාටවත් මේ දේශපාලන හැලහැප්පිලිවලින් වෙන්වෙලා ජීවත් වෙන්න බෑ. මේ හැමදේම අපිටත් අදාළයි. අදාළ වෙන මොහොතක් එනවා. ඉරානයේ ආගමික අන්තවාදය එක්ක සිද්දවෙන දේශපාලන වෙනස්කම්වල බලපෑම ඉරානයේ ඉතා කුඩා ගම්මානයක දුප්පත් අහිංසක ගැමි ගැහැනියකගේ ඉරණම වෙනස් කළ හැටි, දේශපාලනය එක්ක අත්වැල් බැඳගන්න ආගම කොහොමද අපේ ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ කියල තේරුම් ගන්න සොරායා කියවල බලන්න. 


පරිවර්තකගේ සටහනේ මෙන්න මෙහෙම තියෙනවා.

‘‘කවර ආගමක වුව මූලික පදනම වනුයේ අවිහිංසාව බව අවිවාදිතය. එහෙත් ආගම දේශපාලකයාගේ අවිය බවට පත් වූ විට එසේම ආගමික නායකයන් දේශපාලනයට ඍජුවම මැදිහත්වන හෝ දේශපාලන සූදුවෙහි අතකොළු බවට පත්වන විට මුලින්ම ආගමෙන් ඉවත් කෙරෙනුයේ අවිහිංසාවය. ප්‍රජාවෙහි නූගත්කම ඉහළ මට්ටමක පවතින විට මේ තත්වය තවත් බරපතල වෙයි. සියලු ආගම් ඇසුරෙහි අද අප දකින පොදු සත්‍යය එයයි.‘‘ 

ජේසුව මරාදාන, පව්කාර ස්ත්‍රියට ගල් ගහන යුදෙව් අන්තවාදය වුණත්, හයිපතියා මරා දමන ක්‍රිස්තියානි අන්තවාදය තුළත්, සොරායා මරාදමන, දූෂණයට ලක්වුණු කාන්තාවට පොල් පිති පාර 100 ක් දෙන මුස්ලිම් අන්තවාදය තුළත් අලුත්ගම ගිනිබත් කරන බෞද්ධ අන්තවාදය තුළත් අපි දකින්නෙ මේ ඇත්ත. මේක එක ආගමකට, ජාතියකට සීමාවුණ දෙයක් නෙවෙයි. හැම කාලෙකම පාලකයො තමන්ගෙ බලය රැකගන්න, මිනිස්සු මර්දනය කරන්න ආගම හෝ ජාතිය මුල්කරගත් අන්තවාදයක එල්ලෙන හින්දා පුරවැසියන් විදියට අපි දැනුවත්ව එකිනෙකා අතර අනෝන්‍ය අවබෝධය ගරුත්වය රැකගෙන මිනිස්සු විදියට ජීවත්වෙන්න උත්සාහ කරන්න ඕනෙ. 

සොරායා තුළ අපට හමුවන ජීවිතය හඳුනගනිමු...

නගරයෙන් දුර ඈතක කඳු වැටියක තිබුණ කුපායෙහ් ගමේ නූගත්කම, දුප්පත්කම සොරායාගෙ ජීවිත ඉරණම එක්ක බැඳිල තියෙනවා. සොරායා යම් තරමකින් කියවන්න ලියන්න ඉගෙනගන්නවා. නමුත් ඇයගේ ස්වාමිපුරුෂය ගෝර්බාන් අලී උගත්කෙනෙක් නෙවෙයි. ඔහුට උගත්කමවත්, මනුස්සකමවත් හමුවෙන්න ඉඩක් නැහැ, ඒ දුප්පත් නූගත් සමාජයෙ. ගමේ බහුතරයත් එහෙමයි. එහෙම සමාජයක් වැරදි පාරට හරවන්න ලේසියි. ගැටුම්වලට අවුලුවන්න ලේසියි. අනික ආගම කියන එක මනසින් නැතුව හැඟීමෙන් අල්ලගත්ත සමාජයක් ආගම ඉස්සරහට දාලා අවුළුවන්න ලේසියි. මේ නිසා හරිම වැදගත් ගමින් ගම දැනුවත්, සංවේදී, හෘද සාක්ෂියක් තියෙන මිනිස් සමාජයක් හදන එක. මේ වගේ වැඩ වැඩි වැඩියෙන් අවශ්‍ය වෙන්නෙ ඒ නිසයි.

ෂෙයික් හසාන්, ගොර්බාන් අලී වගේ මිනිස්සු කොතැනත් ඉන්නවා. මොන පාලනය ආවත් සූක්ෂ්ම විදියට තමන්ගෙ වාසියට හරවගන්න එයාල දක්ෂයි. අද පාර්ලිමේන්තුවෙත්, මාධ්‍ය ආයතනවලත්, ගමක් ගමක් පාසාත් මෙහෙම අය ඉන්නවා. සමාජයක් විදියට මේ වගේ අයව ප්‍රතික්ෂේප කරන්න, ඒ අයට රැකවරණ දෙන ආගමික සංස්ථා, දේශපාලන සංස්ථා පිටුදකින්න අපි ශක්තිමත් වෙන්න ඕන. 

මේ නවකතාවෙ ප්‍රධාන කාන්තා චරිත දෙකක් තියෙනවා. එක්කෙනෙක් සොරායා ඇය නිහඬ, ඕනෑම දුකක් කරදරයක් හිස නමා භාරගන්න විදියෙ කෙනෙක්. අනිත් කෙනා සහ්රා ඛානුම් සොරායගෙ නැන්දා. ඇය විශේෂ චරිතයක් වෙන්නෙ මේ වගේ වටපිටාවක වුණත් ඇය අධ්‍යාපනය ලබන්න, උගත් මනුස්සයෙක් විවාහ කරගන්න, ඇගේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්න, බුද්ධිමත් ගැහැනියක් විදියට ගමේ කටයුතුවලට සම්බන්ධ වෙන්න, අදහස් දක්වන්න දරන උත්සාහය නිසා. ආත්ම විශ්වාසයයි, දැනුවත්භාවයයි කාන්තාවකට කොයි තරම් වටිනවද කියල අපට දැනෙනවා.


මාධ්‍යෙව්දියා හමුවේ සොරායාගේ කතාව පවසන නැන්දණිය සහ්රා ඛානුම්
චිත්‍රපටයේ දර්ශනයක්

නමුත් සොරායාගෙ ඉරණම වෙනස් කරන්න ඇයට හැකි වෙන්නෙ නැහැ. ඒක තනිකරම පිරිමින්ගෙ බලය බරපතල විදියට මතුවෙලා සම්පූර්ණ ගමම යටපත් කරගත්තු අවස්ථාවක්. පුදුමාකාර කම්පනයක් ඇති වෙන තැනක් තමයි, කිසිම වැරැද්දක් නොකළ මේ අහිංසක ගැහැනියට ගල් ගහන්න ඇයගේ වයසක තාත්තවත්, පුතාල දෙන්නවත් පෙළඹවීම. සමාජයක් මේ තරම්ම නරුම වෙන්නෙ කොහොමද? ඒක මුළුමනින්ම නූගත්කමත් එක්ක බැඳුණු ම්ලේච්ඡත්වයක්. දැන් අපි හිතන්න පුලුවන් ලංකාවෙ මෙහෙම නැහැනෙ කියල. ලංකාවෙ සිද්දවෙන දේවල්වල හැටියට ගල් ගහල මරල දාන එක දාහෙන් සම්පතයි කියල හිතෙනවා. ඒක එතනින් ඉවරයි. නමුත් අපේ සමාජයේ ගැහැනියව හැමදාම නොමරා මරනවා. මාධ්‍ය, කටකතා, ඕපදූපවලින්. මෑතක රිය අනතුරකින් මිය ගිය කවීෂා සම්බන්ධව මාධ්‍ය, විවිධ අය මතවාද පතුරවපු විදිය අපි දැක්කා. 

බල අරගලවලට මැදිවෙලා අන්ත අසරණ වෙන්නෙ දුක් විඳින්නෙ කාන්තාවන්, දරුවන්. ලංකාවෙ ප්‍රසිද්ධියෙ ගල්ගහල මරන්නෙ නෑ. ඒත් ක්‍රිශාන්ති කුමාරස්වාමි, ඉසප්‍රියා, මනම්පේරි, සේයා, විද්‍යා වගේ අයට සිදුවුණේ මොකක්ද කියල අපි දන්නවා. මේව ශරියා නීතියට අනුව ගල් ගහල මරාදානවටත් වඩා ම්ලේච්ඡයි. එහෙම නැතිව ගැහැනියටත් ආදරයෙන්, ගෞරවයෙන් සලකන සමාජයක්, අධ්‍යාත්මිකත්වයක් හදන්න තමයි අපි මහන්සි වෙන්න ඕන. 

මේ අතර පසුගිය සතියෙ මාධ්‍යවල පළවුණා පුත්තලමෙ නල්ලන්දළුවෙ මුස්ලිම් කාන්තාවක් තනියම ගෙදර ඉන්න වෙලාවක පුද්ගලයෙක් ගෙට ඇතුළ් වෙලා බලෙන් ඇයව දූෂණය කරනවා. මේ කාන්තාව පොලිසියට පැමිණිල්ලක් කරනවා. මේ අතර පල්ලිය ඇයව වැරදිකාරිය කරලා ෂරියා නීතිය යටතේ දඬුවම් කරලා. පොල් පිති පහර 100 ක්. ඇය එයට විරුද්ධවත් නීතිය හමුවට ගිහින් තියෙනවා. සමහර විට මාධ්‍ය හරහා එළියට නොඑන අනන්ත හිංසාවන් ලංකාවෙත් සිදුවෙනවා. ඒවට විරුද්ධව නැගිටින්න කාන්තාවට ලොකු ධෛර්යයක් තියෙන්න ඕන. සන්ධ්‍යා එක්නැලිගොඩ, අනුරාධපුරයෙ මයුරි වගේ දිගටම සටන් කරන කාන්තාවො ඉන්නවා. ගැහැනුන්ට ගල්ගහල මරාදාන්න සූදානම්වුණු සමාජයක තමන්ගෙ සැමියන්, පුතුන් වෙනුවෙන් සටන් කරන ඒ වගේ ගැහැනු ඉන්න එක ගැන අපි සතුටු වෙන්න ඕන. 

‘‘ඔබ මිනිසුන්ගේ වේදනාව හඳුනන්නේ නැතිනම් ඔබව මිනිසා යන නමින් හැඳින්විය නොහැක.‘‘

මෙහෙම කියන්නෙ 13 වෙනි සියවසේ ඉරානයේ ජීවත්වුණු කවියෙක්. සාදි ශිරාස්. මිනිසුන්ගේ දුක වේදනාව හඳුනන, මනුස්සකම තියෙන සැබෑ පුරවැසියන් ගොඩනැගෙන්න නම් අපි ගම් මට්ටමින්, බිම් මට්ටමින් මේ වගේ සංවාද, සාකච්ඡා ඇති කරල අපි අපිම දැනුවත් වෙන්න ඕන. මනුස්සකමයි, ආදරයයි තරම් වටින දෙයක් මේ ලෝකෙ තවත් නැහැ කියන පණිවිඩය අපි සමාජයට අරන් යන්න ඕන. සොරායා පොත අපිට කියල දෙන ලොකුම පාඩමත් ඒකයි.

සොරායා චිත්‍රපටයේ පෝස්ටරයක්
( සියලුම පින්තූර විස්තර කළේ දෑසින් නොදකින නමුත් මනසින් බොහෝ දේ දකින, හදවතින් බොහෝ දෑට සංවේදී වන අපගේ ආදරණීය සොයුරු සොයුරියෙන් වෙනුවෙන්.. මේ බව සිහිපත් කරදුන් නිර්මාණි නැගණියට තුති. )

Friday, October 21, 2016

තීර්ථයට මුසු වූ සපු මල් සුවඳ !


( 2016 නිකිණි මහේ 20 වන දින පැවැත්වූ ‘‘තීර්ථය‘‘ කුමාරදාස සපුතන්ත්‍රී ගීතාවලෝකන වැඩසටහනේදී තිළිණ කළ සමරු පොතට සපූ ගී ගැන ලියූ සටහන...)

‘මලක් වෙලා ඔබ පිපෙන්න’, ‘හදේ කොතැනක හෝ හිඳී ඔබ’, ‘සිනා පිපෙනා මේ වසන්තය’, ‘නිදුකාණනේ’, ‘පිලේ පහන නිව්වා මං’, ‘එපා හිරු පායන්න’, ‘දොඹ මලින් මලක’, ‘ඔබ මට තරුවකි’.... මේ සරල, සුභාවිත ගී රැස දශක තුන හතරක කාලයක් රසික සිත්සතන් තුළ නින්නාද නගමින් පවතින බව නොකිවමනා ය. 70, 80 දශකයන්හි ගුවන්විදුලියේ සරල ගී වැඩසටහන් හරහා තම සරල, සුගම, සිලිටි බසින් ලියැවුණු ගේය පද නිර්මාණ, එදවස තාරුණ්‍යයේ  සුගායනීය හඬින් ගැයෙන්නට ඉඩ හැර සහෘද හදවත්හි ලැගුම් ගන්නා අයුරු දකින්නට ඔහු භාග්‍යවත් විය. යොවුන් පේ‍්‍රමය පිළිබඳ මනා සංයමයකින් ලියා තැබූ, විරහව නම් මිහිරි විඳවුම සොඳුරු ලෙස පදවැල් අතර රැඳවූ, සමාජ යථාර්ථය මානව දයාවෙන් විනිවිද දුටු ඔහු ප‍්‍රවීණ ගේය පද රචක කුමාරදාස සපුතන්ත‍්‍රී ය.

‘‘භාවමය රළ නගනා වින්දනීය ගී ඉවුර - තීර්ථයෙ’’හි ඔබ මා සම්මුඛ වන පළමු ගීත රචකයා වන්නේ ද සපුතන්ත‍්‍රී ය. සිංහල ගී උයන පොබ කරන සපුමල් සුවඳ විඳින්නට, ඒ ගී උල්පතෙහි ඇරඹුම දැන පහදවා ගන්නට මේ සටහන ප‍්‍රවේශ දොරටුවක් වනු ඇතැයි සිතමි.



මාතර අත්තුඩාව ගම් පියසේ උපන් සපුතන්ත‍්‍රී ළමා වියේදී ම පිය පස උපන්බිම වන බේරුවල වලතරට සංක‍්‍රමණය වන්නේ ය. වලතර මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා, උසස් අධ්‍යාපනය පිණිස කළුතර තිස්ස විද්‍යාලයට ඇතුළත් වන ඔහු පාසල් වියේ සිට ම භාෂාව හා සාහිත්‍යය කෙරෙහි වූ ඇල්ම වැඩි දියුණු කොට ගත්තේය. එසේම ගැමි පරිසරයක ගහකොළ, ඇල දොළ, වෙල්දෙණි, ළඳු  ඕවිටි සමඟ සොබාදහමට සමීප ජීවිතයක් ගෙවීමේ වරප‍්‍රසාදය ළමා වියේ සිටම සපුතන්ත‍්‍රීට හිමි විය.  මූලිකවම ඔහු හදට සමීප වූයේ කවිය යි. එවක ලියැවුණු කවි මෙන්ම කෙටි කතා ද වනිතා විත්ති, ගීතාංජලී, ජනතා වැනි පුවත්පත් සඟරාවල පළවිය.

විශ්වවිද්‍යාල ප‍්‍රවේශ විභාගය සඳහා ඉගෙනුම පිණිස කොළඹ ජේතවන පිරිවෙනට පිවිසි සමයේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට සමීප වන සපුතන්ත‍්‍රී එහි පන්ති අධ්‍යයනයන් සපුරා පූර්ණකාලීනව පක්ෂය වෙනුවෙන් කැප වූයේය. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන දර්ශනයට මහත් ඇල්මෙන් කටයුතු කළ ද, සමාජ විප්ලවය වෙනුවෙන් මානව ජීවිත සමඟ වන මරණීය ගනුදෙනුව අනුමත නොකළ ඔහු 71 කැරැල්ලේ දී අවි දෑතට නොගෙන ඉන් බැහැර වූවේය. ඉක්බිති අධ්‍යාපනයෙන් ද, සමාජ ජීවිතයෙන් ද දුරස්ව කාලය ගත වන අතර තුර ගුවන් විදුලියට සම්බන්ධ වීමට ලැබීම සපූගේ ජීවිතයේ එක් වැදගත් සංධිස්ථානයක් විය. ගුවන් විදුලිය ජීවිතයට විවිධ නවමු ප‍්‍රවේශයන් අත්පත් කරදෙමින් සිටිය දී, නාට්‍ය පුහුණුවීම් නැරඹීමට සවස්කාලයේ සුදර්ශිය කරා ගිය සුන්දර රස්තියාදු ගමන්වාර සහ එහිදී හමුවූ කලාකාර මිත‍්‍ර සංධානයන් ඔහු කලා ක්ෂේත‍්‍රය තුළ මුල් අද්දවන්නට සමත් විය.

එතෙක් කවියට ළැදිව සිටි සපූගේ පන්හිඳ ගේය පද රචනය කරා කැඳවන පළමුවන හිතවතා ප‍්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහයන් ය. පළමුව ඔහු සපූ ගුවන් විදුලියට කැඳවා සරල ගී පටිගත කිරීම්වලට අවශ්‍ය පූර්ව සටහන් ලියැවූයේ ය. එහිදී ‘‘නැරේෂන්ස්” ලිවීමේ දක්ෂයෙකු ලෙස නමක් දිනූ සපූ, ලේඛකයකු ලෙස සිය අනන්‍යතාව ප‍්‍රකට කළේය. ඉක්බිති ඔහු තම ප‍්‍රථම ගේය පද රචනාව ලියන්නේ සුදර්ශියේ හමු වූ සොඳුරු හිතවතා රෝහණ වීරසිංහ වෙනුවෙනි. ඒ මව්ගුණ ගීයකි. තනු නිමැවුම ද රෝහණ වීරසිංහගෙනි. 


‘‘ඒ රෝහණගෙ මුල්ම සරල ගී වැඩසටහන. ඒ වෙද්දි හොඳ ගී පද රචකයො උන්නත් රෝහණ මට ආරාධනය කළා ගීතයක් ලියන්න. ‘මම කවියෙක්. කවදාවත් ගීත ලියල නැහැනෙ. ගීතයෙ හැඩරුව ගැන මට අවබෝධයක් නැහැ කියල.’ මම ඒ ඇරයුම ප‍්‍රතික්ෂේප කරන්න හැදුවත් රෝහණ ඉඩදුන්නෙ නැහැ. ‘කවි ලියන්න පුලූවන්නම්, ඔයාට ගීත ලියන්නත් පුලූවන්.’ කියල උනන්දු කළා. ලියන්නෙ මොනවද හිතාගන්න බැරිව ඉද්දි රෝහණ එයාගෙ අම්මගෙ අහිමිවීම ගැන අත්දැකීම මා එක්ක බෙදාගත්තා. මගෙ හිතට බොහොම තදින් දැනුණා ඒ හැඟීම. ඒ අනුවයි ‘අරාජිකයි මා හද රජ දහනම, අම්මේ ඔබ මා හැර ගිය දා සිට’ කියන මගේ මුල් ම ගීතය ලියවුණේ.”

සපූ ගීතාවලියේ 90% කටත් වඩා තනු නිමැවුම් රෝහණ වීරසිංහයන්ගේ ය. තම මුල්ම ගී පද රචනාව ලියවා ගනිමින්, එය ගයමින් ඉන් නොනැවතී ගී ගඟුලැල්ලකට තනු උල්පත් මවමින් රෝහණ වීරසිංහයන්ගේ මිත‍්‍රත්වයේ හදවත ලබා දුන් ධෛර්යය සපූ නිබඳවම සිහිපත් කරනුයේ මහත් කෘතවේදී, ළෙංගතු හදකිනි.

‘‘රෝහණ කියන්නෙ ගී තනු උල්පතක්. මගේ ගීත බහුතරයක සංගීතය නිර්මාණය කළේ රෝහණ. ඔහු ආවාට ගියාට ස්වර රචනා කරන්නෙක් නෙවෙයි. මුලින්ම ගීතයේ අරුත හොඳින් වටහාගන්නවා. ගයන කෙනාගෙ ස්වර පරාසය හඳුනාගන්නවා. ඉන් අනතුරුවයි තනුව නිර්මාණය කරන්න භාර ගන්නේ.  මගේම ගීත විශාල සංඛ්‍යාවක් වුණත් ඒ තනු නිර්මාණ එකිනෙකට වෙනස්. විවිධයි. රසිකයා ඇද බැඳ තබාගන්නා මිහිරි සංවේදී තනු නිර්මාණය කරන්න රෝහණ දක්වන දක්ෂතාවය හරිම විස්මයජනකයි. මගේ ගීත රචනාවලට විශාලම ආලෝකය රෝහණගේ සංගීතය. මගේ නිර්මාණවලට සාධාරණය ඉෂ්ටකරන්න ඔහුට හැකිවුණා.”




සපුතන්ත‍්‍රී ගේය පද රචනා බහුතරයකට තාරුණ්‍යයේ අපූර්ව හඬ එක්කළ එඩ්වඩ් ජයකොඩි, සුනිල් එදිරිසිංහ  ගායක දෙපළ ඔහු හඳුනාගන්නේද සුදර්ශී බිමේදීම ය. ‘දොඹ මලින් මලෙක රේණු සැලෙන’ ගීතයෙන් ඇරඹූණු සපූ - එඩ්වඩ් ගීතාවලිය ‘මාරම්බරී’, ‘එපා සඳේ ඔබේ සිනා’, ‘මල් මාලතී ලතා’, ‘මාලතී වසන්තේ’, ‘ළඳු  ඕවිටි කළල් මතින්’... ආදී වූ ගීත හරහා වඩාත් ප‍්‍රභාමත් වන්නේ ය.

මුලින්ම සුනිල් එදිරිසිංහ වෙනුවෙන් සපූ ගී පද බඳින්නේ කළින් නිර්මිත ස්වර රචනා දෙකකට ය. ‘චන්ද්‍ර මඬල බැද්ද වටින්’ සහ ‘පාට දේදුණු සේදිලා’ එසේ නිර්මාණය වන සපු - සුනිල් ගීතාවලියේ ඇරඹුමයි. ගුවන් විදුලියේ සරල ගී හරහා ශ‍්‍රාවක සිත්සතන් සැනහූ එකී ගීත පුළුල් ජනප‍්‍රසාදයක් දිනාගත්තේ ගේය පද රචකයකු ලෙස සපුතන්ත‍්‍රී වඩ වඩාත් ස්ථාවර කරමිනි. ස්ථාපිත කරමිනි. ඉනික්බිතිව සපූ - සුනිල් - රෝහණ සුසංයෝගයෙන් බිහි වූ ගීත රැසක් අදටත් රසික සිත් සතන් සනහමින්, දල්වමින්, පුබුදුවමින් ගී ලොව නොමැකී පවතියි. 



හත්සියය ඉක්මවන ගීත ප‍්‍රමාණයක් සපුතන්ත‍්‍රීන් විසින් ලියා ඇති නමුදු ඔහු ගීතය මුදල් ඉපයීමේ මාධ්‍යයක් ලෙස භාවිත නොකළේ ය. ගායක ගායිකාවන් 50 කට ආසන්න පිරිසකගේ හඬින් ඒ ගීත ගැයී ඇති මුත් වඩාත් ජනප‍්‍රිය වූයේ සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, දීපිකා ප‍්‍රියදර්ශනී පීරිස්, ලක්ෂ්මන් විජේසේකර, බණ්ඩාර අතාවුද, වික්ටර් රත්නායක වැනි ප‍්‍රවීණ ගායක ගායිකාවන් වෙනුවෙන් ලියූ ගීත ය. නූතන මාධ්‍ය කෙළි පිටියේ පොර පිටියෙන් ඉවතට විසිවුණු සපුතන්ත‍්‍රී ලියූ අපූර්ව ගීත රැසක් එතරම්ම ජනප‍්‍රියත්වයක් අත්කර නොගෙන මුනිවත රකින බව ඒ ගී අහුර පාදා, ළිහා, විමසා බලන්නෙකුට පැහැදිලි වේ.


සපූ ගී සංකල්පනා අතර ජනප‍්‍රසාදය දිනූ බහුතර ගී ගොන්න අයත් වන්නේ පේ‍්‍රමය ආත්මය කොට ගත් ගේය කාව්‍ය රචනාවන්ට ය. මෙහිදී පේ‍්‍රමයේ සුඛ දුක්ඛ සංවේදනාවන්, එහි උත්කර්ශය, නව යොවුන් හදවත් එයින් ප‍්‍රමුදිත වන ආකාරය, වියෝ වේදනාව, එය දරා ගන්නා ආකාරය සරල, සිලිටි බසින් හෘද සංවේදීව රචනා වී ඇති අවස්ථා සුලබව හමු වේ. පේ‍්‍රමයේ උත්කර්ශය සම්මුඛ කරවන අපූර්ව රචනාවන් අතර ‘මලක් වෙලා ඔබ පිපෙන්න’, ‘ඔබ මට තරුවකි’, ‘එපා සඳේ ඔබේ සිනා මේ රැයේ’, ‘සිනා පිපෙනා මේ වසන්තය’, ‘මලට සුවඳ සේ යොවුන් ජීවිතේ’, ‘රුවන් තාරකා නුවන් පායලා’ වැනි ගීත පේ‍්‍රමයේ සෞන්දර්යයත්, සුපසන්භාවයත් මනාව ඉස්මතු කරලයි.

පේ‍්‍රම බන්ධන බිඳ වැටීම, පේ‍්‍රමය අහිමිවීම දරනු නොහැකිව අනෙකාව විනාශ කර දමන, නැත්නම් තමන්ව ම විනාශ කරගන්නා සමාජයකි අප හමුවේ ඇත්තේ. විරහ වේදනාව ඇඬියාවක් බවට පත් වූ, මහත් ජුගුප්සාවක් ඇති කරන ගීත අද බහුල ය. නමුත් විරහ වේදනාවත්, ආදරය අහිමිවීමෙන් මතුවන හිස්කමත්, තනිකමත් මිහිරි වේදනාවක් ලෙසින් විඳ දරාගැනීමේ සංයමය ලබා දෙන ගී නිර්මාණ සපූ ගීතාවලියෙහි විරල නොවේ.


‘‘හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා, මුදා සුව දැහැණින්’’

මතකයෙන් මැකී යන්නයි ආයාචනයක් මිස වෛරය හෝ කලකිරීම අවුළුවන කිසිදු භාවයක් මේ ගී පද අතර හමුනොවේ. එය මිහිරි වේදනාවක් ලෙසින් විඳිය හැකි ය. ඉක්බිති ඉන් මිදී යා හැකි ය. 

‘‘පිලේ පහන නිව්වා මං ගොම්මං අඳුරේ
තනිකම වරෙන් ඉඳිකඩ පැන මං නිදි පැදුරේ’’

හුදකලාව පිළිගන්නා, එයට මුහුණ දෙන්නට හිත හදාගන්නා පෙම්වතකු සපූ ගේ ගී පද අතර හිඳ කඳුළින් තොර පේ‍්‍රමයක් ගැන ඔබ කෙදින හෝ අසා ඇත්දැයි සහෘද අපෙන් විමසයි. ඉදින් ඒ ගීත ඇසුරේ පේ‍්‍රමයේ උත්කර්ශය අත්විඳින සහෘදයා වියෝවේ සංවේදනාවන් ද දරාගත යුතු බව උගනියි. ජීවිතය එතැනින් නො නවතින බව පසක් කරගනිමින් ආනන්දයෙන් ඔබ ජීවිතය සහ ආදරය පිලිබඳව ප‍්‍රඥාව පුබුදුවා ගනියි.

‘‘ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද පේ‍්‍රමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුළින් තුරන් වූ පේ‍්‍රමයක්’’

ස්ත‍්‍රී පුරුෂ පේ‍්‍රමය මතු නොව මව්පිය, දූ දරු ස්නේහය ද මුදු ලෙස සිය ගීතයට නතු කරගන්නට සපුතන්ත‍්‍රී සමත් වී ඇත. ‘පිතු සෙනෙහේ පිදු’, ‘මිදුලේ වැළි මාළිගාව’, ‘පුංචි පුංචි මල් පිපිලා’ නිදසුන් ය. තම දියණීය සුහර්ෂී වෙනුවෙන් ලියැවුණු මේ ගීතය පියෙකුගේ පේ‍්‍රමය කේවල කාරණාවකින් ඔබ්බට ගෙන ගොස් පොදු සමාජ යථාර්ථයට සමීප කරවන අයුරු අගේ ය.

‘‘පුංචි පුංචි මල් පිපිලා
බිංදු බිංදු පැණි පිරිලා
රංචු ගැහී කුරුළු පැටව් සින්දු කියනවා
ගේ වට සමනළ පිහාටු මිදුලේ වැලි කෝම්පිට්ටු
පුංචි දුවට ඇහැරෙන කල් බලා ඉන්නවා

රුව ලස්සන අඩුවුණාට
රන් කහවණු හිග උනාට
දූට මගේ හොඳ ලස්සන හිතක් තියෙනවා
ඒ ලස්සන හිත පිපිලා බිංදු බිංදු පැණි පිරිලා
උපන්බිමේ හතරකොණේ සුවඳ බෙදනවා

හිත නළවන ගී සීපද
හතර අතින් ඇහෙයි දිනක
එපා දුවේ ඇහිපියන්න නුඹ රැවටෙනවා
ඇහැකණ නොපියා හිටියොත් මුලූ ලෝකෙම අතට අරන්
අදට වඩා සතුටින් හිනැහෙන්න ලැබෙනවා’’

සපු විසින් රචිත ‘‘නිදුකාණනේ’’ ගීතය බුදු ගුණ ගීතාවලියේ මුදුන් මල්කඩක් බඳුව ඇගයෙන කිසිදින අප සිත් තුළින් වියැකී නොයන ගීතයකි. බුදුන් වහන්සේ කෙරෙහි වන අපරිමිත ගෞරවය සේම මනුෂ්‍යත්වයේ පිරිහීම හේතුවෙන් ව්‍යසනයට පත්වන සමාජය ගැන වන කම්පාව ද මේ ගීතය පුරා නින්නාද දේ.

නිදුකාණනේ! නිදුකාණනේ!
යොමා බුදුනෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ

සිතෙන් සිතක රඳනා කෝප ගිනි - උනුන් දවාලන අයුරු දකින්නට
මුවින් මුවග ගලනා නාග විෂ - උනුන් නසාලන අසිරි බලන්නට
යොමා බුදුනෙත කුළුණිනේ - වඩිනු මැන නිදුකාණනේ

නෙතින් නෙතක ගැටෙනා රාග සිත - ලෙවන් වතින් පිසදා හරින්නට
බියෙන් සැකෙන් නැගෙනා තාප ගිනි -දයා දියෙන් සනහා නිවන්නට
කාලයයි නිදුකාණනේ - දේශයයි නිදුකාණනේ
දීපයයි නිදුකාණනේ - වඩිනු මැන නිදුකාණනේ

‘‘සොයා පිළිසරණක් ලොවෙන් මා නොලැබ හව්හරණක්’’ සපූ ලියූ තවත් අපුරු බුදු ගුණ ගීයකි.

සපූ - සුනිල් -රෝහණ ,  සපූ - එඩ්වඩ් -රෝහණ ත‍්‍රී පුද්ගල සුසංයෝගයන්ගෙන් නිමැවුණු මුල්කාලීන ගුවන් විදුලි සරල ගී බහුතරය පේ‍්‍රමය වස්තු විෂය කොට ගත්තේ ය.  නමුත් පේ‍්‍රම ගීතයට සීමා නොවී ඉන් ඉදිරියට යා යුතු බව කෙටි කලකින්ම ඔහු ප‍්‍රත්‍යක්ෂ කොට ගනියි. ඒ පිළිබඳව සපුතන්ත‍්‍රී අදහස් දක්වන්නේ මෙලෙසිනි.



‘‘මුල් යුගයේදී මට හුඟක් ආරාධනා ලැබුණෙ පේ‍්‍රම ගීත ලියන්න. ඒ අනුව මා අතින් වැඩිපුර ලියවුණේ පේ‍්‍රම ගීත. ඒ ගීත ජනප‍්‍රිය වෙලා ටික කාලයක් යද්දි මට ම වැටහුණා, කොටුවීම හොඳ නෑ ගීතයෙන් මීට වඩා යමක් කළ හැකි නම් හොඳයි කියල. ඉන්පසුව මම විරෝධාකල්ප ගීත, සමාජ යථාර්ථය අත්දකින විදියෙ ගීතවලට යොමුවුණා. ඒ ගීතත් ජනප‍්‍රිය වුණා. ජනතාව වැළඳගත්තා.’’

සමාජ යථාර්ථය විනිවිදින ගීත රැුසක් ඔහු අතින් ලියැවෙන්නේ ඒ අනුව ය. ‘‘ළඳු  ඕවිටි කළල් මතින් සුසුම් ගඟක් ගලනවා’’ ගීතය ඒ අතර ඉතා සුවිශේෂ යැයි හැගේ. පොදු සමාජ යහපත, සමාජ සංවර්ධනය වෙනුවෙන් ශ‍්‍රමය වගුරවන කම්කරු පන්තියේ ඉරණම පිළිබඳව මෙතරම් සංවේදී අයුරින් ලියැවුණු වෙනත් ගීතයක් ඇතැයි නොසිතමි. ඒ ගීතයේ අවසන් පද පේළිය මෙලෙසිනි.

අපේ ශ‍්‍රමය කළු ගල් වී බිම වැතිරෙනවා
රන් දහඩිය තාර වෙලා උඩින් ගලනවා
මැති උතුමන් නමින් පාරෙ කඩුළු ඇරෙනවා
පාර අයිනෙ අපි හැමදා බලා සිටිනවා    

‘දුක ම විඳින්නට දුක උහුළන්නට දුකින් උපන් දරුවෝ’ ගීතයත් මෙබඳු ම අර්ථයක් මුසු කරගත් පීඩිත ජනතාව පිළිබඳව ලියවුණු තවත් අපූරු ගීතයකි.


පාලක පන්තියේ මුග්ධභාවය සහ ජනතාවගේ නිද්‍රාශීලී ස්වභාවය පිළිබඳව සදය උපහාසයෙන් ලියැවුණු තවත් අපූරු ගීතයකි ‘යටගිය දවසක බරණැස් පුරවර’. මුණුබුරා ඉල්ලා සිටින්නේ වැසියකු රජවුණු එකම කතාවක් වත් කියන ලෙස ය. අද මෙන් එදත් මිනිසුන් අසාධාරණය ඉවසූයේ අඳ ගොළු බිහිරන් ලෙසින් දැයි මුණුබුරා අසනුයේ සීයාගෙන් පමණක් ම නොවේ. සමස්ත සමාජයෙනි.

‘‘සකලවිධ අසාධාරණයන් හුදු
සත්ව කරුණාවෙන්ම ඉවසූ
කීකරු සමාජයක් එදත් තිබුණාද එසේ නම්
අද මෙන් එදවස ගොළු බිහිරන්ට ද
ඔය රජවරු රජකම් කෙරුවේ?’’



මනුෂ්‍යත්වය වියැකී යාම තුළින් සිදුවන සමාජ පරිහානිය පිළිබඳව උපන් කම්පාවෙන් ලියවුණු තවත් හෘදයාංගම ගීතයක් ලෙස ‘මිනිසා සුවඳයි මල සේ’ හැඳින්විය හැකි ය.

මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ
පරවී වැටිලා
ඒ හිරු මල මේ දෙරණේ

මානව පේ‍්‍රමයෙන් උද්දීපනය වූ හදින් ලියවුණු ගී රැෙසක් ද සපුතන්ත‍්‍රී ගේය කාව්‍ය අතර හමුවේ. අතුරේ යමින් රා මදිමින් ජීවිතය ගැට ගසාගන්නා රා මදින්නන් ගැන ගැයෙන ‘මලින් මලට ඉගිලූණාට සමනලයින් නොවේ’ ගීතය එවකට සිංහල ගීතයට ආගන්තුක වූ සංවේදී ජීවන අරගලයක පැහැදිලි සිත්තමක් මතු කරන්නට ඇති බව නිසැක ය. අයියණ්ඩියට සවියක් වන්නට මෙහෙකාර සේවයට ගිය නැගණියක් ගැන කියැවෙන ‘බැරි බර උහුලා දහදුක් විඳිනා අයියණ්ඩිට උරදෙන්න ඔබේ’ ගීතය ද, ළමා ලොව ගැන සංවේදීව ලියැවුණු ‘උදා හිරු මඩල සේ උදාවන හෙට දිනේ, එපා වැඩිහිටියනේ අපෙන් උදුරා ගන්න’ වැනි ගීත ද දයාර්ද හදින් ලියැවුණු තවත් ගීතයන්ට නිදුසුන් ය.



මනුෂ්‍යත්වයට සංවේදී හදින් එලෙස ගී ලියන සපුතන්ත‍්‍රී තුළ සොබාදහම කෙරෙහිද ඇත්තේ එබඳුම ළැදියාවකි. සොබාදහම විඳීමේ අපූර්ව හැකියාවක් සේම, සොබාදහමේ චිරජීවනය අපේක්ෂා කළ පරිසර හිතකාමී හදවතක් ද ඔහු සතුය. සපූ ගේ ගී බහුතරයක සොබාදහමින් උකහා ගත් උපමා රූපක, සංසිද්ධි, පරිසරය ඇසුරේ ලද අත්දැකීම්වල සාරය දැකිය හැකි ය. ගේය කාව්‍ය රචකයකු සොබාදහම වින්දනය කිරීමෙන් ලබන අත්දැකීම් තම ගීතයට යොදා ගන්නා අපූර්ව ආකාරයට මේ ගීත නිදසුන් ය.

‘‘පාට දේදුණු සේදිලා - ඈත කඳු යායේ
සීත රෑ සඳ පීදිලා නීල කඳු යායේ ’’
...........
‘‘අරුණු වළා පෙළ නැගෙනු බලා
රණඹර අවදිවෙලා
කිරණ සලා මිහිමඬල දොවා
සූරිය මල පිපිලා’’
...........
‘‘කෝපි කැකුළු යාය පුරා රෑ සඳ දියවෙලා
සීතල තණ නිල්ල දිගේ බොල් පිනි මතුවෙලා
රෑහි හඬන රෑ මැදියම රෑ තරු නිදිවරා
බාල න‍ෙඟ් හිත නිදි නෑ නුඹ එන මඟ බලා’’
.........
‘‘මගේ කරට මුතුමාල ගොතන්නට
මැයි ගහ මුදුනේ කැකුලූ පිපේ
කණට අරුංගල් තෝඩු හදන්නට
නිල් අහසේ තරු පොකුරු පිපේ’’
.....
‘‘කාටත් එකට උණුහුම දෙන ඉර පිපුණේ ඉරිමාවක
මගේ සතුට පෑල දොරෙන් යන්න ගියේ හැන්දෑවක
බොල් ඉපනැලි පුසුඹ ඉහෙයි පිපී සුසුම් මල් යායක
හිතේ දුකට දෑස හඬයි කඳුළු හළා ගංඟාවක’’
........
‘‘පුංචි පුංචි බොල් පිනිකැට
පුංචි දෙපා සිපගන්නට
ලා තණගොබ උඩට වෙලා රණ්ඩු කරනවා
පුංචි මලේ උඹ වෙනුවෙන්
උඳුපියලිය පලස එළා

වෙලේ නියර නිල්ල ඉහං බලා ඉන්නවා’’පරිසර විනාශය නිසා කම්පා වූ හදින් දෙවියන් පවා මිහිතලය හැර ගිය බව සපුතන්ත‍්‍රී පවසන්නේ ‘ගගන සරනා සියොතුනේ’  ගීතයෙනි. මෙලෙසිනි.

‘‘නැගෙයි කුසගිනි පුරන් වූ කුඹුරින්
ගලයි ලෝදිය බිඳුණු වැව් බැම්මෙන්
හඞන්නටවත් තෙතක් නැති දෑසින්
මිනිසුනේ මේ බලන් මිහිතල හැරගියා දෙවියන්’’



දේශාභිමාන ගී රැසක් ද සපුතන්ත‍්‍රීන් අතින් රචනා වී ඇත. පසුකලෙක ජාතිවාදී හැඟීම් අවුළුවනු පිණිස දේශපාලනික උවමනා මත අවභාවිත වුව ද ‘රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ’’ ගීතය ඔහු අතින් ලියැවුණු වඩාත් ජනාදරයට පාත‍්‍ර වූ අපූර්ව පද රචනාවකි. මිනිසා සුවඳයි මල සේ ලියූ ඔහු තම ගීතයක් ජාතිවාදීන් අත අවියක් වන්නට ඉඩහැරීම අපරාධයකැයි සිතේ. ‘සූවිසි වරමින් දෙව් රැකවරණින්’, ‘සීහලේ පිනෙන් උපන් අපේ සීහලූන්’ ඇතුළු දේශාභිමානී ගී රැසක් සපූ ගීතාවලියට ඇතුළත් ය.

යහපත් සමාජයක් පිළිබඳව කුමාරදාස සපුතන්ත‍්‍රී ගේය කාව්‍ය රචකයාණන් තුළ නොනිවී දැල්වෙන අපේක්ෂාව මේ ගීතය තුළ විනිවිද දැකිය හැකි වේ. ධාර්මික හරයන් පවා යටපත්ව ගිය සමාජයට ‘නොතැවෙන්න නොහඬන්න සත්‍යයේ මළ ගමට’ ගීයෙන් ඇරයුම් කරන්නේ මිනිස්කම මලක් ලෙස පුබුදුවා ගන්නා ලෙසයි. එවිට දෙවියන් පවා මිනිස් පා වැඳ පින් ලබා ගනු ඇතැයි කීම කොතරම් අපූර්ව අදහසක් ද?

මිනිස්කම ඔබේ සිත මලක් සේ පිපෙන දා
සත්‍ය යේ හිස නැගෙයි කුරුසියෙන්
සත්‍ය යේ හිරු නැගෙයි වන ගැබින්
මිනිස් පා වැඳ පුදා පින් ලබා ගනු රිසිව
දෙවියෝ ද බිමට එති පෙරහැරින්

පේ‍්‍රමසිරි කේමදාසයන් සංගීතවත් කළ ඉන්දිකා උපමාලි ගයන ‘මේ රම්‍ය වූ දේශයේ’ ගීතයෙන් අප දූ දරුවන්ගේ අනාගතය බිලිගන්නා ව්‍යසන හමුවේ නිද්‍රාශීලව නොසිටින්නැයි ජනතාවට කරන ආයාචනයක් වෙයි. දේශය රැකවල් කරනා බවට පුරසාරම් දොඩවනා අයවලූන් සිටියදී ම, මහපොළවත් හොරු අරන් යන වග මේ ගීතයෙන් කියවෙයි.

විසුළු සැනකෙලි විරාමේ
හිනැහෙනා මිනිසුනේ
බිඳුණු හැරමිටි වාරුවෙන්
ඉඳුරු දිග පුර දොරටුවෙන්
පිටව යන්නේ අනාගතයයි
අපේ දූ දරු පරපුරේ....

පාලන තන්ත‍්‍රයේ ආටක නාටක මැද දේශයට, සමාජයට සිදුවන විනාශය පිළිබඳ ප‍්‍රබල විරෝධාකල්පයක් මේ ගීතය තුළ ගැබ් වේ. නමුත් සපුතන්ත‍්‍රීගේ පේ‍්‍රම ගීතයට ලැබුණු තරම් අවධානයක් මෙබඳු වෙනස් සමාජාර්ථ කැටි කොට ගත් ගීතවලට ලැබී නැතැයි සිතේ.

පෙර නිමහම් වූ ස්වර රචනාවන්ට අත්‍යන්තයෙන්ම ගැළපෙන සේ වචන යොදා අපූර්ව ගීත නිමවීම ද සපූතන්ත‍්‍රීන් සතු විශිෂ්ට කුසලතාවක් ලෙස දැක්විය හැකි ය. ‘මල් මාලතී ලතා අඳුරේ මිලාන වී’, ‘මාලතී වසන්තේ’, ‘දෑල දෙතෙර දේදුනු නිල පාවී ගලා’, ‘ඉරට සඳට තරුවැලට සොරා’, ‘මලට සුවඳ සේ යොවුන් ජීවිතේ’, ‘පාට දේදුණු සේදීලා’, ‘චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා’, ‘මේ තනි යහනේ’, ‘සීතල පිනි බින්දු බින්දු’, ‘මිනිසා සුවඳයි මල සේ’, ‘දොඹ මලින් මලක රේණු තලන’... ආදී වූ ගීත ඔහු එලෙස පෙර නිමවූ තනුවලට පද යොදා ගීත නිර්මාණය කළ අනගි අවස්ථා ලෙස දැක්විය හැකි ය. මෙතරම්ම විචිත‍්‍රවත් ව, වෙසෙස් ව, වෙනස් ව, අර්ථවත්ව ස්වර ගැළපුමකට අනුව භාෂාව හැසිරවීම පහසු කාර්යයක් නොවේ. ප‍්‍රතිභාපූර්ණ කවිත්වය, භාෂා ඥානය, සංයමය මෙන්ම සංගීතයට ඇති ළැදියාව ද ඒ සඳහා අත්වැලක් වන්නට ඇත.



ගේය කාව්‍ය රචනයෙහි ලා බස හැසිරවීමේ දී සපුතන්ත‍්‍රී පළ කරන ප‍්‍රතිභාව ප‍්‍රශස්ත ය. ගැමි වහර, කටවහර මෙන්ම සම්භාව්‍ය සාහිත්‍යය තුළ හමුවන විදග්ධ භාෂාව ද තම ගීතයට උචිත ලෙස යොදා ගැනීමට ඔහු සමත් වෙයි. සිංහල පද්‍ය සම්ප‍්‍රදායේ විවිධ විරිත් ඇසුරු කරමින් ඔහු ලියන ගී පද රචනා නිරායාස සුගායනීය ගුණයෙන් පූර්ණ ය. එසේ ම සපූ ගී බහුතරයකට සංගීතය නිර්මාණය කළ රෝහණ වීරසිංහයන් එම පද රචනාවන්හි සුලකල, සුමධුර බව, පදගත අරුත මනාව ග‍්‍රහණය කොට ගනිමින් තනු නිමවා ඇති බව පැහැදිලි ය. එබැවින්ම ඒ ගීත සදාතනික සෞන්දර්යයක් අත්පත් කරගැනීමට සමත් වී ඇත.  

සිලිටි සුගායනීය වදන් භාවිතය, භාෂාව හසුරුවන සංයමය, සොබාදහම තුළින් ආලෝලනය වූ සිතුවිලි තම ගීතයේ හැඩ රුව වැඞීමට අපූර්වාකාරයෙන් යොදා ගැනීම, මානව ජීවිතය හා බැඳෙන විවිධ ජීවන අත්දැකීම් තම ගීත සඳහා පසුබිම් කරගැනීම මේ ආදී වූ කරුණු රැසක් සපූ ගීතාවලියෙහි විශිෂ්ටත්වයට හේතු පාදක වී ඇති බව නිසැක ය. ගීතය යනු මානව හදවත් නිවා සනසන සෞන්දර්ය වස්තුවක් ය යන අදහසින් මිස ගීතය යනු හරිහම්බ කරගන්නා වෙළඳ භාණ්ඩයක් ය යන අදහසින් තොරව ගී පද රචනයෙහි නිරත වූ නිසා ම සිංහල ගීත සාහිත්‍යෙය් ‘‘සපු මල් සුවඳ’’ ලෙසින් සම්භාවනාවට පාත‍්‍ර වන සොඳුරු ගී සමුදායක් අප වෙත තිළිණ කිරීමට කුමාරදාස සපුතන්ත‍්‍රී ට හැකි වී ඇත. තම ගේය කාව්‍ය රචනාවන්හි ලා සාක්ෂාත් කරගන්නට අපේක්ෂා කළ, ගීතය පිළිබඳව ඔහු තුළ වන සුවහසක් ප‍්‍රාර්ථනාවන් රෝහණ වීරසිංහයන්ගේ සප්ත ස්වරයෙන් හැඩ වී පණ්ඩිත් අමරදේවයන් විසින් ගයන මේ ගී පද තුළ ඉතා සියුම්වත්, එලෙසින් ම තියුණුවත් මනාව කැටි වී ඇතැයි සිතමි.

මුවින් මුවග ගී සර ප‍්‍රතිරාව නැගේවා
සිතෙන් සිතක ගී රස මදිරාව පිරේවා
නෙතින් නෙතක ගී ලියවේවා
ගී හඬින් මිනිස් සුවඳ ගෙනේවා !

බිඳුණ පැතුම් සොයා තැවෙන
දෙසිතක දුක ගීය නිවාවා
උරඟ වෙසින කිපී නැගෙන
හැඟුම් නිවා ගී රැව් දේවා
රස මියුරු සරින් ලොව සැරසේවා !

බෙදෙන බිඳෙන ලොවේ විපත
ගී සිය දහසක ලියවේවා
විහඟ සරින් ලොවට ඇසෙන
ගීයෙන් මහ පොළව නිවේවා
ගී ස්වරය අරුණ කිරණ සදාවා!