පිටු

Thursday, August 8, 2013

තුවක්කු මානන තුරු පපුවට හරි කෙළින්...






වසා ගන්න දෑස් තදින්
වසා ගන්න සවන් හොඳින්
පා තබා අපි යමු
දැහැමෙන් සෙමෙන්
නිදිබර අම්බරුවන් සේ...

ඇවිළුණේ ගිනිදැල්
පපුකුහරවල උතුරේ
ලේ පිපාසිත මූණිස්සම්
දඟකැවුණේ මූදුකරේ
කලාපේ... රතුපස්වල

අල්ලපු වැටේ වුව
එයින් කම් කිම?
තවමත් අප සුරක්ෂිතය.

ඇවිද යමු ඉතින්
දැහැමෙන් සෙමෙන්
තුවක්කු මානන තුරු
පපුවට හරි කෙළින්...


ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය මගින් සංවිධානය කළ සත්‍යග්‍රහයක් ඊයේ සවස කොටුව දුම්රියපළ ඉදිරිපිට දී පැවැත්වුණා.. මෙහිදී මහින්ද නාමල් සොයුරා මතු කළ ඉතා වැදගත් කාරණා කිහිපයක් ඔබ හා බෙදා ගන්නට කැමතියි.

මූලික මිනිස් අයිතියක් වෙනුවෙන් හඩ නැගූ මිනිසුන්ට සන්නාහ සන්නද්ධ හමුදාවක් කැදවා පහර දීම කිසිදු ධර්මයකට අනුමත කළ නොහැකි සහගහන අපරාධයක්...

මියගිය දෙදෙනෙක් අවුරුදු දහඅටට අඩු ළමයින්... වැඩ ඇරී පැමිණෙන ඇගලුම්කම්හල් සේවකයෙක්... අවම වශයෙන්වත් උද්ඝෝෂණයට සම්බන්ධ නොවූ අය...

පානීය ජල ප්‍රශ්නයට නළ ජලය ලබා දීම පමණක් මේ ගැටලුවට විසදුමක් ‍නොවේ. දීර්ඝකාලීනව මහපොළවට එක් කරන විෂරසායනිකවලට විසදුමක් ලැබිය යුතුයි. පරිසරයට හානි නොවන සේ කැලිකසළ බැහැර කිරීමේ ක්‍රමවේදයක් සැකසීම අත්‍යවශ්‍යයි.

මිනිස් අයිතිවාසිකම්ලට මෙන්ම පරිසරයට එරෙහිව සිදුවන අපරාධවලටත් අප හඩක් නැගිය යුතුයි.

දිනෙන් දින මෙවැනි අපරාධ වැඩිවීමට අපේ නිහඩතාවයත් හේතුවක්.. අපරාධ සිදු කරන අයටත් වඩා සමාජයට හානියක් සිදු වෙන්නෙ ඒ දැක දැකත් නිහඩව සිටින අයගෙන්... නිහඩතාවය අනුමැතිය ලබාදීමක්, පෙළඹවීමක් ඇති කිරීමක් ...

අද මිය යන්නේ අනුන්ගේ දරුවෙක්.. හෙට ඒ ඔබේ දරුවා විය හැකියි...

එනිසා අවම වශයෙන් පවුල තුළ, දරුවන් සමග බිරිද ස්වාමිපුරුෂයා සමග හෝ කතා කරන්න. අයුක්තියට, අසාධාරණයට විරුද්ධ වෙන්න. මිනිස්කම වෙනුවෙන්, සොබාදහම වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් හැකි සෑම විටම සෑම තැනම පෙනී සිටින්න.

8 comments:

  1. thanks for addressing this issue.. and a very good poem-

    ReplyDelete
  2. දැන් දැන් සිද්ධ වෙන දේවල් දිහා බැලුවම නිදහසේ ගමනක් යන්නත් බයයි. අපි හිතුවෙ යුද්දෙ ඉවර උනාම අපි නිදහස් කියල. අපේ හිතට දැනෙන‘නිදහස‘ අපට කවදා ලැබේවිද?

    ReplyDelete
  3. /* මියගිය දෙදෙනෙක් අවුරුදු දහඅටට අඩු ළමයින්... වැඩ ඇරී පැමිණෙන ඇගලුම්කම්හල් සේවකයෙක්... අවම වශයෙන්වත් උද්ඝෝෂණයට සම්බන්ධ නොවූ අය... */

    ඉතිං මොකද? අවශ්‍ය වෙලා තියෙන්නේ භීතිය ඇති කරන්නනේ. කාටද වඳින්නේ කියන එක ප්‍රශ්නයක් නොවෙයි. කොහොමටත් උද්ඝෝෂණය කරපු අයට වෙඩි තිබ්බත් ඒකත් වැරදියි, මේකත් වැරදියි!

    ReplyDelete
  4. මේ සම්පූර්ණ සිද්ධිමාලාව තුලම කතෝලික ආගමික නායකයින්ගේ ඉදිරිපත්වීම සහ විරෝධය අති ප්‍රශංසනීයයි.අපේ මහනායක හාමුදුරුවරුන්ගේ මුනිවත දැඩි පිලිකුලෙන් හෙලා දැකිය යුතුයි

    ReplyDelete
  5. ඔබ හරි තරු..
    මේ දේවල් දැක,දැක නිහඩව ඉන්නවා යනු මේ දේවල් සදහා අනියමින් අනුමත කරනවා තමයිනේ.

    ReplyDelete
  6. යම් ස්ථානයක, ප්‍රදේශයක මේ වගේ සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ගැන ක්‍රියා කරන නිළධාරීන් සිටිය යුතුයි. අදාල ආරතන දැනුවත් කරලා, පරීක්ෂණ කරලා අවශ්‍ය පියවර ගටහ් යුතුයි. පරිපාලනයේ දුර්වලකම් තමයි මේ අවසානයේ දරුණු ඛේදවාචක වෙන්නේ. ළමයින් පාසලට ඇතුළු කිරීමේ සිට, නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම දක්වාම තියෙන්නේ නිසි පරිපාලනයක් නැති කම.

    ReplyDelete
  7. මේ දේවල් ගැන මෙහෙම කතිකාවක් ගොඩනැගෙන එකත් වැදගත්.

    ReplyDelete
  8. හරියට හරි. ඒත් දැන් සිවිල් සංවිධානවල නිහඬ බවත් ජනතාවගේ නිද්‍රා ශීලිබවත් මේ සියල්ලටම මූලික හේතුවක් මේ ඊයේ පෙරේදා රංජන් රාමනායක යාන්තමට පාර්ලිමේන්තුවේ කල කතාවෙන් යම් තරමක පන අදින විපක්ෂයක් ඉන්න බව පෙන්නුවා.
    මෙවැනි කතිකාවන්ගේ එකතුවත් හරි වැදගත්.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...