පිටු

Friday, November 1, 2013

රස්තියාදුවක අතරමග ග්ලැඩියේටර් ප්‍රේමය




ශානක මල්ලිගෙ ගුරුවරයෙක් නාමල් ජයසිංහ. නිතරම එයා වර්ණනා කරනවා තමන්ගෙ ගුරුතුමාව. ඒ නිසාම නොදැනිම මමත් නාමල්ගෙ නිර්මාණ ගැන  උනන්දු වෙන්න පටන් අරන්. ස්වර්ණවාහිනියෙ විකාශය වුණු ‘‘අප්පච්චි” ටෙලිනාට්‍යය නාමල්ගෙ රචනයක්. මෑත කාලෙ බිහි වුණු වෙනස් විදියක අපූරු ටෙලිනාට්‍යයක්.

අපේ ළ.ක්‍රි.වී. වාර්ෂික අනුශාසක සම්මේලනයට නාමල්ගේ අධ්‍යක්ෂණයෙන් තලෙන්තු නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කළ කෙටි වේදිකා නාට්‍යයත් අපූරු අත්දැකීමක් වුණා. ‘‘අක්කෙ ග්ලැඩියේටර් ප්‍රේමය යූ ටියුබ් දාල තියෙනවා..“ පහුගිය කාලෙ ශානක මල්ලි නිතරම කීවත් ‘‘ග්ලැඩියේටර් ප්‍රේමය” බලන්න බැරි උණා. වේදිකාව මත ඒ නාට්‍යය රස විඳින්න ආයෙම අවස්ථාවක් ලැබෙයිද හිතන්න අමාරුයි. කොහොම වුණත් දැන් ‘‘ග්ලැඩියේටර් ප්‍රේමය” වීඩියෝව අන්තර්ජාලය හරහා නරඹන්න පුළුවනි. අපිත් කාල බීලා වාඩි වුණා පරිගණක තිරයෙන් ‘‘ග්ලැඩියේටර් ප්‍රේමය” නරඹන්න.

‘‘ඒ හඬ...!! තමුසෙට ඇහිල තියෙනවද ඒ හඬ...?
ඒ හඬ මාව... මාව මගේ ඇතුළෙම ගිල්ලනවා..
තාමත් මගේ ශරීරය පුරාම .. හැම නහර වැලක් ඇතුළෙම දෝංකාර දෙනවා...!!
එච්චර සුන්දර ආදරණීය හඬක්...!
එච්චර සුන්දර හඬක්...
කොහොමද එච්චර හිත පාරන්නෙ... රිදවන්නෙ...?
හිත රිදවන එකම වචනයක්වත් නෑ...!
ආදරය උතුරා ගලන වචන කීපයක් විතරයි...!
ඒත් ඇයි එච්චර හිත රිදවන්නේ...!

මුලින්ම හිත කීරිගැහුණු තැන අන්න එතැන.. පළමුවැනි රංගයේදීම.. මගේ හිත බොළඳ පෙම් සිතුවිල්ලක නැවතුණාට එයින් ඊට වඩා ගැඹුරු කතන්දරයක් කියවෙන්නෙ.. ( ළඟකදි මේ නාට්‍ය දෙබස සයිබරය හරහා මිතුරෙකුට යැවූ වෙලාවක චන්දි කොඩිකාරගෙ නවකතාවක කොටසක්ද ඇහුවා... හුදකලාව අර ගත්තම හිත කීරි ගස්වන පෙම් පටළැවිල්ලක්.. නමුත් නාට්‍යෙය් සමස්තය හා බද්ධ වුණාම අතිශය කම්පනීය හැඟුමක් ඇති කරන්නෙ.. )

ග්ලැඩියේටර් ප්‍රේමය නාට්‍යය කෙටි නාට්‍ය හතරක එකතුවක් වගේ.. නාටකීය අත්දැකීම් හතරක් අත්වැල් බැදගෙන යන්නෙ එකම මුඛ්‍ය ධාරණාවකට. අවුරුදු විස්සකට එහා තරුණ සංහාරයක කම්පනීය අත්දැකීම අමතකව තව තවත්, තව තවත් තරුණ ජීවිත පස් යට හංගන සමාජයකට ආමන්ත්‍රණය කරන සංවේදී නාට්‍යයක්.

මේ නාට්‍යයට පාදක වෙන්නෙ එකම හෝටලයක කාමර හතරක අත්දැකීම් වියමනක්. ඒ සෑම කාමරයකම කවුළුවෙන් මීදුමෙන් වැහුණු කුරුළු පව්ව පේනවා.. මීදුම මැකිලා කුරුළු පව්ව දර්ශනය වීම මහත් ව්‍යසනයකට හේතුවක් බවයි කියවෙන්නෙ.. මේ කුරුළු පව්ව සත්‍යය ද? විමුක්තිය ද? විප්ලවය ද? නොදනිමි. ඒ සියල්ලම ද විය හැකිය.

කාමර හතරේ සිදුවීම් ඇතුළෙ ප්‍රේමය, විවාහය, පවුල, දේශපාලනය, ආර්ථිකය, විරැකියාව, දරිද්‍රතාව, පන්ති භේදය ආදි වූ කාරණා රැසක් සංවේදීව ස්පර්ශ කරනවා. ගැඹුරු කතිකාවකට යොමු කරනවා. යහපත් සමාජයක් පිළිබඳ සිහිනය වෙනුවෙන් දිවි දුන් තරුණ පරපුර පිළිබඳව සමාජ හෘද සාක්ෂිය අවදි කරන්නට දරන තැත අගය කළ යුතුයි.. මිය ගිය, මිය යන, පිටුදකින, හුදකලාවන තරුණ ජීවිත සමාජ පැවැත්ම කෙරෙහි කොතරම් බලපාන්නේද යන්නත් අප කිසිසේත් අමතක නොකළ යුතු කාරණයක්...

මෑතක කතාබහ වුණා ලංකාවෙ කාන්තා ප්‍රතිශතය බොහොම වැඩිවෙලා කියල. නොවී තියෙයිද? 71 දි, 89දි වගේම අවුරුදු 30 ක යුද්ධය පුරාමත් මැරුණෙ කොල්ලොනෙ.. පාතාල කල්ලි කියල මරා ගන්නෙත්, පොලිස් අත්අඩංගුවෙදි මිය යන්නෙත්, සියදිවි නසාගන්නෙත්, මත්ද්‍රව්‍ය මත්පැන්, හදිසි අනතුරු නිසා වැනසෙන්නෙත් තරුණ ජීවිතම වෙච්චි කොට රටකට අනාගත පරපුරක් ඉතිරි වේවිද? තවත් පැත්තකින් රට දාලා යන්නෙත් වැඩියෙන්ම තරුණ පිරිසනෙ...

කෙනෙකුට හිතෙන්න පුළුවනි සජීවීව වේදිකාව මත නැරඹිය යුතු නාට්‍යයක් කෘතිම දෘශ්‍ය රාමුපෙළක් ලෙස නැරඹීම තේරුමක් නැති වැඩක් කියල.... සම්පූර්ණ නාට්‍යය වේදිකාව මත දිග හැරෙද්දී කැමරා කෝණ කිහිපයකින් පටිගත කරල,  අපූරුවට සංස්කරණය කරල  භාවපූර්ණ දෘශ්‍ය අත්දැකීමක් ලබා දෙන්න සමත් වෙලා තියෙනවා. නැවත කරළිය මත දකින්න හැකියාවක් නැත්නම් එය මෙලෙස පටිගත කර තැබීමත් සත්ක්‍රියාවක් බවයි මට හැගෙන්නෙ....

වේදිකා නාට්‍ය සම්භාරයක් බලල අත්දැකීම් නැති වුණත්, මෙහි රගපෑම් අති විශිෂ්ඨයි කියල හිතෙනවා... රඟහලකදී දකිනවාට වඩා සියුම් භාව නිරූපණ සමීපව දකින්න හැකි වීම එක් අතකින් වාසියක්.. අතිශය සංවේදී, කම්පනීය, ආකර්ශණීය ජවනිකා නැවත නැවතත් බලන්නට හැකි වීමත් වාසියක්... සජීවී නැරඹුමකදී හිමි නොවන වරප්‍රසාද ඒ...


................................

ඔයාට මේ මල් පෝච්චිය පේනවද?
ඔය තියෙන්නෙ..
ඒක ඔයාගෙ අතට ගන්න ඕණ උණොත්, ඒක හොයන්න ඕනද?
හොයන්නෙ මොකටද? ඔය තියෙන්නෙ..
මමත් ඒ වගේ සේනක.. හොයන්න ඕනෙ, නැති උන දේවල්... මගෙ ආයෙ හොයන්න දෙයක් තිබ්බෙ නෑ. මම එහෙමම හිටියා. 
මගේ නහරවැල් වේලිලා දරදඩු වෙලා කියල දැණුනට පස්සෙත් මම එහෙමම හිටියා... බිත්තිවල තිබුණු ඔයාගෙයි මගෙයි හිනාව පිරුණු පින්තූර දිහා බල බල එහෙමම හිටියා... ! 
ඒත් ඔයා... ? 
ඔයා විකාරයක්... මේ කරුමෙ අපි දෙන්නටම උරුමයි කියල දැන දැන ඒක හේතුවක් කරගෙන.. පිස්සුවෙන් වගේ ලෝකෙ පුරා දිව්වා...
...........................

මං කතා කළේ මට හිතෙන ඇත්ත... ඒක වැරදි වෙන්න පුළුවනි. ඒත්... මට එහෙම කරන්න එපා. මං... මං හිතන එක නවත්වන්නම්.. සුපුන්.. අපි අර අංකල්ට එන්න කියමු.. කුමාරයගෙයි, කෙල්ලගෙයි කතාව මුල ඉදල ආයෙත් අහමු. ඔයා ඒ කෙල්ල බොරු කළා කියල ආයෙත් කියන්න මං පිළිගන්නම්...
මාව දාල යන්න එපා...
මට මොකද වෙන්නේ..

තමුසෙලා වගේ ගෑණුන්ට උරුම තැනක් තියෙනවා.. මහපාර.. නැත්නම් තමුසෙ NGO එකකට වෙලා ස්ත්‍රීවාදය ගැන කතා කරනවා... ඒවයේ ඉන්න කළු කැත කෙට්ටු ඩෙස්පරේට් ගෑණු... තමුසෙගේ ඔය ලස්සනත් එක්ක ස්ත්‍රීවාදෙට අලුත් අර්ථයක් හැදෙයි... !
නැත්නම් ඔතනින් පහළට පැනල මැරෙනවා....
.............................

අපේ දරුවෙකුට ඇවිද යන්න හොද පොළවක් නෙමෙයි මේක... වෛරය වලලපු පොළවක් මේක... ප්‍රේමයට මෙතන ඉඩක් නෑ...!!

ඒ ප්‍රේමය සත්‍යයක්ද?

නවත්වනව ඕක... රංජිත්...

අපි ඉන්නෙ මලමිනී පැළ කරපු පොළවක...! දලු දාල හිස ඔසවන්නෙ ඒ මිය ගිය උන්ගෙ ඛේදය... මේ පොළව මත තියන තියන අඩියක් පාසා පශ්චාත්තාපයේ කූඩැල්ලො යටි පතුල් සිදුරු කරගෙන නහරවැල් දිගේ උඩට ඇවිත් හදවත කීතු කරනවා.. හෘද සාක්ෂිය මරන්නැතිව මෙතන ජීවිතයක් නෑ...

.....................

මොකක්ද බං අප්පච්චි ඔය කෝලම් කියන්නෙ..? මහා සම්මත රජ්ජුරුවන්ගෙ ගෑනිගේ දොළ සංසිදුවන්න නටන පක්කලි නැටුමක්නේ.. ඔයා කලාව කියන්නෙ පක්කලිකමටද.. ?
තමන්ගෙ මිනිස්සුන්ව අපහාසයට පත් කරලා රජ්ජුරුවෝ සතුටු කරන එකට ද?
කවදද ඇත්ත කතා කරන්නේ..?
ඔය පට්ට ගහපු මූණු කට්ටලේට කවද්ද ජේ ආර් කෝලම එන්නේ... එහෙම බය නම් අඩුගාණෙ විධායක කෝලම..? ඔය පුස්කාපු කලාව මට ඕන නෑ අප්පච්චි.. !

...................................

පුදුමේ කියන්නේ... මුදුන් මුල් නැති ගස්වලට ඔය කුරුමිණි වසන්ගතේ බල පෑවෙ නෑ සර්...
දැනට ඔය ඉතිරි වෙලා තියෙන්නෙ ඒ වඳ ගස් ටික...! මේ කියපුවා විශ්වාස කරන්න අමාරුයි වගේ දැනෙනව නම්, දරන්න අමාරුයි වගේ නම් මං හොල්මනක් කියල හිතන්න සර්..! නැත්නං මට පිස්සු කියල හිතන්න...
එතකොට ලේසි... නැත්නං දිගටම නිදා ගන්න..
ඒක තමා ලේසිම...
වඳ බැහැපු ගස් වගේ..කුරුමිණි තවම ඉන්නවා...
වඳ ගස්වලට උවදුරක් නෑ...

ගුඩ් නයිට් සර්...

..............................

‘‘ග්ලැඩියේටර් ප්‍රේමය” කෘතිය ( නාට්‍ය පිටපත )
සංහිඳ ප්‍රකාශනයක්

මිල රු. 270.00

9 comments:

  1. නරඹන්න හිතෙන විදියට ම විස්තරේ ලියල තියනවා තරූ.

    ReplyDelete
    Replies
    1. මටත් නරඹන්න හිතෙන විදියටම ශානක මල්ලි වර්ණනා කලානෙ...

      Delete
  2. බොහොම ලස්සනට ලියලා තියනවා තරෑ. මටත් ඒක බලන්න ආසාවක් ආවා...

    ReplyDelete
    Replies
    1. බලන්න... වේදිකා නාට්‍ය වැඩිය බලල නැහැ මම නම්.. ඒත් මේක හොද අත්දැකීමක්..

      Delete
  3. කලින් පෝස්ට් එකයි මේකයි දෙකම එකට කියෙවුවේ.. අපි ඉතින් කොහොම බලන්නද කියලා තමයි කියන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. යූටියුබ් දාල තියෙනවා මල්ලි.. මම ලින්ක් එක දාල තියෙන්නෙ.. විවේක වෙලාවක බලන්න..

      Delete
  4. හොද විස්තරයක් තරු.
    මෙන්න මේ ටික....
    >>මෑතක කතාබහ වුණා ලංකාවෙ කාන්තා ප්‍රතිශතය බොහොම වැඩිවෙලා කියල. නොවී තියෙයිද? 71 දි, 89දි වගේම අවුරුදු 30 ක යුද්ධය පුරාමත් මැරුණෙ කොල්ලොනෙ.. පාතාල කල්ලි කියල මරා ගන්නෙත්, පොලිස් අත්අඩංගුවෙදි මිය යන්නෙත්, සියදිවි නසාගන්නෙත්, මත්ද්‍රව්‍ය මත්පැන්, හදිසි අනතුරු නිසා වැනසෙන්නෙත් තරුණ ජීවිතම වෙච්චි කොට රටකට අනාගත පරපුරක් ඉතිරි වේවිද? තවත් පැත්තකින් රට දාලා යන්නෙත් වැඩියෙන්ම තරුණ පිරිසනෙ... <<
    හිතට වැදුන හරියට.
    ඔබගෙන් තමා අපිට මේ වගේ විස්තරයක් අහන්න ලැබෙන්නෙ.
    ඔබට ස්තුතියි...

    ReplyDelete
  5. තරුරසී,
    මේ සටහන ලියා තැබුවාට බොහොම ස්තුතියි..!
    නැරඹූ අය විසින් ඒ'ගැන කියැවෙන/ලියැවෙන දේවල් තමයි ගොඩක්ම වටින්නෙ...
    කැමතිනම් බුකියේත් shere කරනවනම් හොඳයි.
    .....................................
    මමත් "Gladiator ප්‍රේමය" වීඩියෝව ගැන ලියපු පොඩි සටහනක් තියෙනවා.
    කැමති අය කොටා බලත්වා...!
    Gladiator ප්‍රේමය _ ( නැරඹුවා'ද..??? )

    ReplyDelete
  6. තරු........නාට්‍ය සම්බන්ධව සටහන් තබන හරකාගේ බ්ලොගයේ මේ සම්බන්ධව සටහනක් තිබුනා.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...