පිටු

Thursday, September 25, 2014

ප්‍රේමයේ දිව්‍යමය හුස්ම ගෙන ඔබ එන්න





මොහොතකට කොටුව බෝ ගහ යට හීල් හෙවණට ළං වී, ඇරයුම්පත අතට ගෙන බලමි. එහි ඇති ඔබේ කවි පද මත ඇඟිලි තුඩු තබා පිරිමැද, මිතුරු අකුරු අතර අතරමං වෙමි. ඇරයුම් කරන්නා විය යුතුව තිබියදී ඇරයුම් ලබන්නා වී හිඳීම කොතරම් වේදනාත්මකද?  එකී වේදනාව මුල් වරට හද පාරනු දැණුනේ ඇරයුම්පත අතපත් දින ය. මා අගනුවරට කැඳවූයේ ඒ හිත් සීරුම හිත් සීහුමක් කර ගැනීමේ අප්‍රමාණ උවමනාව විසින්ම නොවේද?

දූවිල්ල, දිවිල්ල, ඇවිලිල්ල, විඳවිල්ල නිරන්තර ධ්‍යානය කරගත් පිටකොටුව බෝ ගස මෛත්‍රීසහගත ළා දළු හිනාවක් ඇතිව උපේක්ෂාවෙන් බලා හිඳියි. කහ ඉර තරණය කොට දෙවරක් නොසිතාම මා ගොඩවී ඇත්තේ එකසිය විස්ස පිළියන්දල බසයකට ය.

‘‘කැම්පස් ........” කොන්දොස්තර විස්සෙ කොලය මිට මොළවාගෙන බසය කෙළවරට ඇදී යයි. නිම් නොවන සිතුවිලි කුණාටුවක පැටලී මට මා අහිමි වෙයි.

බසයෙන් බැස කොළඹ සරසවිය අසල අවතැන් වුණු මම ළය මත අත තබා හිරි වැටුණු හිත පිරිමැද ගතිමි. ජීවිතයේ එක් සමයෙක මේ බිම මත අප කොතරම් ඇවිද ගොස් ඇත්ද? පුරා වසර හතරක්ම.. ඔබ තනිව... මම තනිව..

සරසවියෙන් නික්මී කලකට පසුව ඔබ ළඟින් මම.. ඔබ සමග මම.... මගේ වම් අත දැවටි දැවටි උණුසුම් සුරතක... ඒ ඔබේ සුරත...  

..............

‘‘කැම්පස් එකේ අවුරුදු හතරක් උන්නා. ඇයි ඒ කාලෙ අපි ආදරේ නොකළෙ. අපරාදෙ නේද ඒ ගෙවුණු කාලෙ..”

සරසවියෙන් නික්මී ඔහු විකල්ප පුවත්පතකත් මා රාජ්‍ය නොවන ආයතනයකත් සේවයේ යෙදී සිටියදී නෙත් යාවී, හිත් පෑහී ස්නේහයෙන් බැඳුණු පසු අතීත මතක අවුස්සනු වස් සරසවියට ගොඩවැදුණු දිනෙක මම ඔහුගෙන් ඇසීමි.

‘‘ඇත්තම කියනවනම්, ඔයා උන්නද කියලවත් මට මතක නෑ...”

ඇසිපිය තිගැස්සිණි. ඉකිබිඳුමක් සිතේ සිරවිණි. තිත්ත ඇත්ත හිත කළඹන තරම්...

ඔහු එදවසත් සරසවියේ ජනප්‍රිය චරිතයකි. අතිවිශේෂ චරිතයකි. නිහඬව නිසලව තැන්පත්ව සිටින  නමුත් අවැසි තැන මහ හඬින් ඇවිළෙන ඔහු ශිෂ්‍ය අරගලවල ඉදිරියෙන්ම වූයේය. එනිසාම ආදිත්‍ය සරසවියේ උන් බව මට ඕනෑවටත් වඩා දැනී තිබිණි. නමුත් මා සරසවි දිවිය ගෙවා දැමූවේ මටවත් සිහිතබා ගන්නට කිසිවක් ඉතිරි කර නොගෙනම ය.ගමෙන් ගෙනා කුලෑටි නිහැඬියාව බිඳෙන්නට කොතරම් කලක් ගත වූවා ද? තවමත් මා ඒ ළඳ බොළඳ ගොඩේ කෙල්ලම නොවේදැයි විටෙක මට සිතෙයි.

...............

‘‘කෝවලන්... ඇයි මේ හැටි මාධවීලා ඔයාගෙ වටේ නිතරම..”

අසීමිතව හිත ඇදුම් කමින් තිබුණු මොහොතක එකී රිදුම සිනාවක සඟවා වචන බවට පෙරලූයේ මේ මාර ගස් සෙවණේ සිමෙන්ති බංකුවේ අප වාඩිගෙන උන් සැඳෑවක ය. හදවත දැවෙන තරම් ඉරිසියාවකින් මා පෙළූ, මා ප්‍රේමණීය අරගලකාරියක බවට හැරවූ, ඔබ වටා ගැවසුණු ස්ත්‍රී විප්‍රකාර සංයමයකින් ඉවසන්නට තරම් ඉස්පාසුවක් ඒ වන විට මා අයත් කරගෙන තිබිණි. මගේ ආදර ශබ්දකෝෂය තුළ ආදිත්‍ය නම් වූ ඔබ ‘කෝවලන්’ ලෙස අර්ථ ගැන්වුණේ ස්ත්‍රී සන්තානයන්හි ලැගුම් ගන්නට ඔබ සතු නිරුත්සාහික හැකියාව විසින් බව මට මතකය. එය මගේ අප්‍රමාණ රිදුමට හේතු වුවද, පසුව එය සුන්දර ආමන්ත්‍රණයක් දක්වා ලිහිල් වූයේ අප විසින් අප කියවාගත් රිද්මයේ අනුනාදයට ය.

ඇස් හීන් කර ඇසින් ඇස පටළා දිගු වේලාවක් නිහඬව උන් ඔබ, සෙමින් දබරැඟිල්ලෙන් කම්මුලට තට්ටුවක් දැම්මේ වචන වෙට්ටුවකට කාලය ලබා ගනිමින් බව මම දැන උනිමි. දෑසෙහි ඇඳී මැකී ගිය ඔච්චම් සිනාව තවදුරටත් මා විලිබර කළේ නැත. ඔබ මා කියවන තරමට ම, මට ද ඔබ කියවිය හැකි ලෙස ඒ වන විට අපි සන්තානගත ප්‍රේම අල්ලාප සල්ලාපයේ පරිණත ළබැඳියන්ව සිටියා නොවේද?

‘‘ මෙහෙමයි... සමහර මාධවීලා ඇස පිනවනවා.. තවත් සමහරු ගත පිනවනවා. ඒ අතරින් අල්පයක් අධ්‍යාත්මික සුවපත්භාවය අරන් එනවා. තිතටම ගැළපුණේ නැතත් අවුලක් නැතිව ඉස්සරහට යන්න පුළුවන් ගමන් සහායිකාවක් වෙනවා.... එහෙම ගෑණු හරි අඩුයි.

ඔයාට එහෙම වෙන්න පුළුවන් හැකියාව වැඩියි. මාධවීලා කප්පරක් හිටියත් මං මේ කන්නගී ළඟ නතර වුණෙත් අන්න ඒ නිසයි.”

නිශ්චිත ඉසව්වක් ගැන නිනව්වක් නැති ඈත දුරක ඔබේ දෑස අතරමං වෙයි. මුනිවත බිඳෙන්නෙ හෘද අභ්‍යන්තරයේ පැටලුණු සංවාදයක කෙළවර බව මට දැනිණි. 

‘‘ ස්ත්‍රියට ප්‍රේමය පාරමිතාවක් වෙද්දි, පිරිමියාට බලය, ආධිපත්‍යය, අරගලය වගේ කාරණා ඇතුළෙ තව එක දෙයක්, එක අවශ්‍යතාවයක් විතරයි ප්‍රේමය... පිරිිමින්ට ජීවිතේ වෙනස් අරමුණු තියෙනවා. ඒවට මුල් තැන දෙද්දි ප්‍රේමය දෙවැනි තුන්වැනි තැනට පත්වෙනවා... ඒක ආත්මාර්ථය, කුහකකම කියන්න පුළුවනි. ඇත්තටම බැලුවොත් ඒක එහෙමම නෙවෙයි... ඒ තමයි පිරිමින්ගෙ ගති ස්වභාවය. 

ඒත් සමහර වෙලාවට පිරිමියෙක්ගෙ හිතේ මුල් ඇදපු ප්‍රේමයේ ගැඹුර ගැහැණියෙකුට හිතාගන්නත් බැරි තරම්..... 

ඔයා ඒ බව තේරුම් අරන් ජීවත් වෙන්න ඕන.. එතකොට රිදෙන ප්‍රමාණය අඩුයි. රිදුණත් ඇයි රිදෙන්නෙ කියන එක ගැන දැනුවත්ව ඉන්න... ඉරිසියාකාර ගැහැණියක් වීම ඔයාගෙ අධ්‍යාත්මයට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ.‘‘

ඒ වචන සීරුවට හිත් ගැබ තැන්පත් විය. රිදුම විඳුමක් ව ශාන්තිමත් හැඟීමකින් හදවත නිවාලීය. මම හෙමිහිට ඒ පුළුල් උරතලයේ හිස රඳවා ගතිමි. 

..........

අතීතය ලිහි ලිහී විසිරෙයි. සැලි සැලී සසැලෙයි. බිඳි බිඳී ඉකිබිඳියි. 

හෘද ස්පන්දනය පවා නැවතී ඇති සෙයකි. හුස්ම හිත පත්ළෙම මිදී ඇතුවාක් මෙනි.  හීතල ම හීතල ගලකි හදවත. ගල් බෝරයකින් වුව පුපුරුවා හළ නොහැකි ඒ හදවත, ඔබේ එක් සුසුමකින් දිය කර හැරිය හැකි බව දැන උන්නේත් ඔබ ම පමණක් නොවේද?

ශාස්ත්‍ර පීඨය පසු කරමින් පාර දිග හෙමිහිට ඇවිදගෙන ආව ද ඇතුළට යාමේ සිතක් පහළ නොවිණි. 

මෙතරම්ම මට මා අහිමි වූයේ කෙසේද?




2 comments:

  1. //""මෙහෙමයි... සමහර මාධවීලා ඇස පිනවනවා.. තවත් සමහරු ගත පිනවනවා. ඒ අතරින් අල්පයක් අධ්‍යාත්මික සුවපත්භාවය අරන් එනවා. තිතටම ගැළපුණේ නැතත් අවුලක් නැතිව ඉස්සරහට යන්න පුළුවන් ගමන් සහායිකාවක් වෙනවා.... එහෙම ගෑණු හරි අඩුයි."//

    ... ඒක ඇත්ත ... තරු රසී අක්කගේ මේ පෝස්ට් එකේ මොකක්ද හුරු පුරුදු ගතියක් දැනෙනවා ,මොකක්ද කියලයි කල්පනා කලේ

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...