By Gustav Klimt පුතකු ඔසවාගෙන සිටින මවකගේ පින්තූරයක්... |
මේ බලන් පුංචි පුතු,
ඉස්සර මෙතැන
ලස්සන වැවක් තිබුණා...
ස්විමිං ෆූල් එක වාගෙම නැති වුණත්
හරිත පෑ නෙළුම් යායට යටින්
නිල් කැටෙක විල් දියක් දිලුණා...
අර ඈත පොල් රුප්පාවට උඩින්
ඉර එළිය එබිකම් පාන කොට
රත් නෙළුම්, ඕලු, මානෙල්
නිදිගැටැර සිනාවෙන් සැලුණා...
නෙළුඹුපත් දරුන් සේ
දෝතින් දරාගත් පිනි කැටිති
ඉර කිරණ නෑවි නෑවී
පළිඟු කැට වාගේම දිලුණා...
පුහු පොල් වාරු ගෙන
දිය මත පීන පීනා කෙළි පෑ
ළමා ළපටින් අතර
පුතුගෙ සුදු අම්මිත් උන්නා...
වස්සානයේ උස් මහත් වන වැව් දිය
හීන් සීරුවෙ වාන් දමනා කාලෙට
දිය රැලි මාලයේ එතීගෙන
තිත්ත පැටවුන් දුර නෑ ගමන් ඇදුණා...
සොරොව් දොර හෙමිහිට
මුදා හැරි දියවරින්
පහළ කෙත් යායම
නිල්ල පීදී
රන්වනට හැරුණා...
ඉරත් සැර පරුෂව
වැවත් බය වෙන කාලෙට
ගමක් සනහන සෙත් ශාන්තියක් තරමට
මාළුවොත් බත්පතක නිවුණා...
මඩ පොලව කැන කැන
පාද ගන්නා නෙළුමල
ගම ගෙයක වේල දෙවේලට
රස මසවුලක් සේ පෑහුණා...
වැවත්, ගම්දොරත් මේ අපිත්
එකට එක පොකුරට
එකා මෙන් බැඳීගෙන
ජීවිතේ හරි හැඩට වින්දා...
විස්මපත් තරු ඇසින්
මගේ ඇස් පත්ළටම එබීගෙන
කෝ කොහිද ඒ වැව
පුංචි පුතු හද සරැලි බින්දා...
හැමදාමත් ලිපි බැලුවට අදයි උත්තරයක් දෙන්න හිතුනේ. ලස්සන කවි ටිකක් තරුරසී. එක කියෙව්වාම මට මෙහෙම ලියන්න හිතුනාලු.
ReplyDeleteවැවක් තිබුණලු මාලු හිටියලු වැව් දියේ සෙල්ලම් අගේ
වෙලක් තිබුණලු රනින් දිලුණලු හිරුගෙ රැස් නැහැවී වගේ
දුකක් නැහැමලු අටුව පිරුණලු විසක් නැති කෑමක රඟේ
ගමක් තිබුණලු සතුට රැඳුණලු අම්මෙ මට හීනය වගේ........
ජයවේවා!!!
ලස්සනයි කවිය... ඒ මතකයන් හීන වගේ තමයි දැන්නම්.
Deleteඒ කවියත් ලස්සනයි
ReplyDeleteමේ කවියත් ලස්සනයි
කවියෙන් කියවෙන අසිරිය
හැබැහින් අපි විඳපු විදිය
සිහිනෙන් ලංවෙනවා නම්
ඒ හීනෙත් ලස්සනයි
අගෙයි..............
ReplyDeleteඅපුරුයි....
ReplyDeleteලස්සනයි...
ReplyDeleteජයවේවා
ReplyDeleteහරිම ලස්සන කවි පෙළ අක්කේ...
ReplyDeleteචිත්‍රය හරිම ලස්සනයි තරූ..ලස්සනයි ඔයාගේ පද ටිකත් .. එක එක අය බලන විදිහ අනූව දකින විදිහ වෙනස්.. අතීතය වගේම වර්ථමානෙත් වෙනස් විදිහකට විඳින්න පුලුවන් හිත නිදහස් උනාම...
ReplyDeleteඉස්සරම ලමා කාලය හිතේ කොනක ඇඳුනා...ලස්සනයි ඒ සිතුවිල්ල
ReplyDeleteමැවිලා පෙනුන කියමුකෝ.
ReplyDelete