පිටු

Monday, April 23, 2018

මා දුටු වෛෂ්ණාවී...




තමන් ආදරය කරන අය වෙනුවෙන්, ඔවුන්ගේ ජීවිතයේ වැදගත් මොහොතකදී වටිනාම දෙයක් තිළිණ කරන්නට ඇත්නම් අප එය මහත් සතුටින් ඉටුකරන බවට සැකයක් නැත. 

සුමිත්‍රා පීරිස්ගේ ‘‘වෛෂ්ණාවී‘‘ මා දුටුවේ එවන් සුන්දර තිළිණයක් ලෙසිනි. ‘‘වෛෂ්ණාවී‘‘ පිළිබඳ ඍණාත්මක ප්‍රතිචාර දක්නට ලැබුණත් මා එය නැරඹිය යුතුම යැයි සිතූයේ ඇත්තටම ඒ ප්‍රවීණ කලාකරුවන් දෙපළ ලෙස්ටර්ටත්, සුමිත්‍රාටත්, ඔවුන්ගේ දීර්ඝකාලීනව ජීවිතය බෙදාගන්නා ප්‍රේම චාරිකාවටත් දක්වන ආදරයේ සහ ගෞරවයේ සංකේතයක් ලෙසිනි.  
පෞද්ගලික හැඟීම් එබඳු වුව,

‘‘වෛෂ්ණාවී‘‘ සාමාන්‍ය ගම කතාවකින් එහා යා නොහැකිව අතරමංවූ සිනමා කෘතියකැයි සිතේ. මනුෂ්‍ය භාවයන්ගේ සංකීර්ණ බව, විශේෂයෙන් ස්ත්‍රී හදවතේ ගැටීම්, මනුෂ්‍ය බැඳීම් සහ ඒ හරහා ඇති වන ගැටීම් ප්‍රබලව කියා පෑ හැකි කතා සංකල්පයක් තෝරා ගෙන තිබුණද, චරිත, දෙබස්, සිදුවීම් හරහා එම ප්‍රබල බව ගැඹුරින් නිරූපණය කරන්නට සිනමා කෘතිය අපොහොසත් වී ඇත. වෛෂ්ණාවී සාමාන්‍ය ගම කතාවකින් එහා නොයන්නේ යැයි මා කියන්නේ එබැවිනි.

පාරම්පරික රූකඩ ශිල්පියකු වන ඔසඳා දේවතාවියක පවා ආකර්ෂණය කරගන්නට සමත් ප්‍රබල පුරුෂයෙකිය යන්න විශ්වසනීයව ගොඩනගන රූප රාමුවක් චිත්‍රපටයෙන් උකහාගැනීම අසීරුය. ඔහු පළමු වරට බැහැදකින මනමාලිය කෙරෙහි ප්‍රේමයෙන් බැඳීම මෙන්ම එය අහිමි වීම නිසා ජීවිතය නැති කරගන්නට තරම් බිඳ වැටීමද තරමක ඇදහිය නොහැකි දෙයකි. ඒ අතර ඔසඳා කැටයම් කරන ලද දැවමය කාන්තා රුව රුක් දේවතාවියක බවට පරිවර්තනය වීමද, ඇය නිසා ඇති වන ගැටලුද ගොඩනැගෙන්නේ මතුපිටින් පමණි.

දේවතාවියගේ උදහසට පාත්‍ර වන්නට තරම් ඔසඳාගේ නෑනණ්ඩිය වන රුචිරා ඔහු වෙත පෙම් බඳින්නේද? එබඳු ගැඹුරු ප්‍රේමයක් ඈ තුළින්ද මතු වී නොපෙනේ. ඔසඳා සහ රුක් දේවතාවිය අතර වන බැඳීම වුව ද සංකීර්ණව නිරූපණය වන්නක් නොවේ. අවසන කිසිදු ගැටුමකින් තොරවම යාතිකා මැද වන දෙව්ලිය අලුත් රුක් විමනකට ඇදී යයි. චිත්‍රපටය නිම වෙයි.  

තිර පිටපතේ කුමන දුර්වලතා තිබුණද, අධ්‍යක්ෂණය, කැමරාකරණය සහ සංස්කරණය තුළින් ඔසවා තැබිය හැකිව තිබූ ‘‘වෛෂ්ණාවී‘‘ ඒ සෑම පියවරක් තුළදීම අසාර්ථක වී ඇතැයි සිතේ. තෝරා ගෙන ඇති ගැමි පරිසරයද, ගැමි ගෙවල්ද බලා ඉන්නට ලස්සනය. එපමණකි.

‘‘වෛෂ්ණාවී‘‘ එසේ වුවද ලෙස්ටර්ට සහ සුමිත්‍රාට ආදරය නොකර ඉන්නට තරම් එය හේතුවක් නම් නොවේ.

12 comments:

  1. රේඛාවේ ගමේ සිට වෛෂ්ණාවී ගම දක්වා back to square one.

    ReplyDelete
    Replies
    1. නිධානය කළ ලෙස්ටර්ද මේ කියල හිතෙනවා. නමුත් ඒ අතීත ශ්‍රමය වෙනුවෙන් වෛෂ්ණාවීට සමාව දෙන්න මං සූදානම්...

      Delete
  2. මං හිතුව ඔයාවත් හොඳයි කියල ඇති කියල.. :))))

    ReplyDelete
    Replies
    1. හොඳ නෑ අනේ... හැමෝම වැඩක් නෑ කියද්දිත් මං බලන්න ගියෙ නම් අර මුලින්ම කිව්ව හේතුව නිසා තමයි.

      Delete
  3. ඔව්... තරූ අක්ක්කගේ අදහසුත් එක්ක මාත් එකඟයි.. අඩුම තරමේ අවසානය හරි මීට වඩා වෙනස් විදිහක් උනානම් හොඳයි කියලා හිතෙනවා ...

    ReplyDelete
    Replies
    1. චිත්‍රපටිය නම් බොහොම ආධුනික මට්ටමේ එකක් කියල තමයි මටත් හිතුණෙ නංගි සංකල්පයේ ගැඹුරක් තිබුණට ඒක අල්ලන්න කෘතියට බැරි වෙලා තියෙනවා.

      Delete
  4. සරනපාලයියාApril 25, 2018 at 11:25 PM

    ලෙස්ටර්(99)
    සුමිත්‍රා (84)
    ටෝනි(81)
    නිමල් මෙන්ඩිස් (84)
    ඊබට් විජේසිංහ (78)
    ඩොනල්ඩ් කරුණාරත්න(80)
    මේ මහල්ලන් එක්ව තැනුව magic realistic movie එක "වෛෂ්නාවී" මම(45) මෑත කාලයේ නැරඹූ සුන්දරම සිංහල චිත්‍ර‍පටයි.මගෙ මවද (75) චිත්‍ර‍පටය අසාවෙන් නැරඹුවාය.
    අපබ්‍රංස සම්බාව්‍යය චිත්‍ර‍පටියි,තොරණ් කතයි ,රජ කතයි බලල තිත්ත වෙලා හිටියෙ,
    No Country for Old Men තරු නංගියේ.

    ReplyDelete
    Replies
    1. ඔබ මේ කියන වයස්වල කතාව නම් මටත් හිතුණා. ඇත්තටම එහෙම ගනිද්දි නම් හොඳ චිත්‍රපටයක් කියල කියන්න පුළුවන්. ඒත් හොඳ ම නම් නෙවෙයි.

      Delete
  5. කලින්ම කිව්ව එක හොදයි. නැත්නම් මමත් බලන්න හිටියේ

    ReplyDelete
    Replies
    1. බලන්න. කාගෙවත් අදහස් නිසා නොබල ඉන්න එපා. එහෙම හිතුව නම් මමත් බලන්නෙ නැහැනෙ. රසවිඳීම වෙනස්නෙ එක එක අයගෙ. ඒ නිසා මම නම් කාගෙවත් විචාර නිසා නොබල ඉන්නෙ නම් නැහැ.

      Delete
  6. බලල නැති නිසා කියනන් දෙයක් නැහැ. තරු කියනවා නම් ඇත්ත වෙන්න ඇති. :)

    ReplyDelete
    Replies
    1. අවස්ථාවක් ලැබුණොත් බලන්නකො අයියෙ... ඔයාගෙ අදහසත් දැනගන්න පුළුවන්.

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...