‘‘රන් කෙන්ඳෙන් රනින් තැනූ රන් ඔන්චිල්ලා
මා හදේ ගැයෙමින් පැවතියේ ඒ ගීතයයි. ඒ ලුම්බිණි
රඟහලේ දී ‘‘ආදරයේ ඔන්චිල්ලා‘‘ සීමිත ප්‍රේක්ෂාගාරයකට මුණගැස්වූ සුන්දර සැඳෑවයි.
එහි කාව්‍යාත්මක පිටපත් රචනය මංජුල වෙඩිවර්ධනගේය. ඔහු සිය නිර්මාණ කාර්යය නාමකරණය
කරනුයේ ‘එපික් රංග කාව්‍යයක්‘ ලෙසිනි. මංජුල ගේ කවිකාර රංග රචනාව ඉංගිරිසියට නගන්නී
දිලිනි ඊරියවලය. එය වේදිකාව මත සජීවී අත්දැකීමක් බවට පත්වන්නේ එම්. සෆීර් ප්‍රවීණ නාට්‍යවේදියාගේ
නිර්මාණ පරිශ්‍රමයෙනි.
‘‘ස්ත්‍රීත්වය සහ ප්‍රේමය‘‘ තේමාත්මය කොට ගත් මෙම
රංග කාව්‍යය ලාංකේය ප්‍රේක්ෂාගාරයට නවතම අත්දැකීමක් වනු නිසැකය. ඇත්තේ එකම
චරිතයකි. එයට පණ පොවන්නී ඉතාලි ජාතික රංගන ශිල්පිනියක වන ජූලියා ෆිලිප්පෝය. ඔන්චිල්ලාවෙන්
ඔන්චිල්ලාවට මාරු වෙමින් ඉතාම නම්‍යශීලීව, හුරුබුහුටිව, රිද්මයානුකූලව ඇය තම
භුමිකාවට ප්‍රවිෂ්ට වන්නට සමත් වන්නීය. ඒ චරිතයට ඇය ම මිස, වෙනත් ලාංකේය රංගන
ශිල්පිනියක මගේ මතකයට නො නැඟේ. ප්‍රේමය,
ස්ත්‍රීය, ජීවිතය පිළිබඳ ඕෂෝ සංකල්පනාවන්හි ආලෝකය සමස්ත රංගය පුරා විදිහ පැතිර යේ.
‘‘ඔබ මා තුළින් ඔබව දුටුවාදැයි මම දන්නේ නැහැ.
ඒ
වුණත් මම මා තුළින් ඔබව දකිනවා...
ඔබට
පුළුවන්ද කියන්න,
මට
මා තුළින් මා දකින්නට නො හැකිද?
ස්ත්‍රිය
වටහා ගන්නට වෙර දරන්නට එපා
ඇයට,
ඔව්, ආදරය දෙන්න,
ඔබ
කියනවා.
ඉදින්,
ස්ත්‍රිය
වටහා ගන්න
වෙර
දරන්නට එපා.
තේරුමක්
නැහැ.
ආදරය
කියන්නේ
අයිති
කර ගැනීමට නෙවෙයි.
ආදරෙයි
නම් ඔබ මලකට
නෙලා
ගන්නට එපා ඒ මල. “
තිරය විවර වන්නේම වේදිකාව මත පැද්දෙන ඔන්චිල්ලාවක
තනි වී හිඳින යුවතියක පොතක් කියවමින් සිටින අතරතුරය. ප්‍රේක්ෂාගාරය මුළුමනින්ම රංග
කාර්යය හා බද්ධවන තුරුම ඇය පොතෙහි නිමග්නව උන්නාය. වේදිකාව පුරා තවත් ඔන්චිල්ලා
කිහිපයක් වේ. එහි වර්ණ ගැන්වුම එකිනෙකින් වෙනස් ය. සුදු, නිල්, රතු, දම්, කළු ආදී
වර්ණ ස්ත්‍රී ජීවිතයේ විවිධ ඍතුවල ඇගේ අධ්‍යාත්මික
අත්විඳීම් නිරූපණය කරයි. ස්ත්‍රී ආත්මය ආදරයට, අනුරාගයට, ලිංගිකත්වයට, ප්‍රචණ්ඩත්වයට,
නිශ්චලත්වයට මුහුණ දෙමින් ගලා යන අයුරු නිරූපණය වන්නේ ඔන්චිල්ලාවෙන්, ඔන්චිල්ලාවට
මාරුවෙමින් ඇය ඉදිරිපත් කරන රංගනය තුළිනි.
ඔබ ඉදිරියේ සිටින පෙම්වතාද? ස්වාමියාද?
මහැදුරාද? නැහැ.
ඒ ඔබේ හෘදය.
ජීවිතය තමයි නිසල විල.
විල් දිය තමයි කැටපත.
ඔබ ඔබ දිහා බලන්න.
හොඳින් බලන්න.
තීක්ෂණ ඇසින් බලන්න.
විනිවිද බලන්න.
නාසිසස් වගේ ඔබට ඔබව පේන්න ගන්නවා.
ඔබ දැන් ඔබටම වසඟ වෙමින් ඉන්නෙ.
ඒ ඔබ ඔබෙන් පරිබාහිරව හිදිමින් ඔබ දෙස බලන හින්දා.
නමුත් ඔබට පුළුවන්
ඔබ දෙස බලන්න
ඔබ තුළම හිඳිමින්.
එවිට වසඟයක් නැහැ.
Swings Of Love - ආදරයේ ඔන්චිල්ලා රංග කාව්‍යය සාම්ප්‍රදායික ස්ත්‍රී පැවැත්මේ
අර්බුදය සාකච්ඡා කරන අතරම, අර්බුදයට අභියෝග නොකරන ස්ත්‍රී අධ්‍යාත්මය ප්‍රශ්න
කරයි. ස්වකීය අධ්‍යාත්මයට විවෘත වෙමින්
ජීවිතයේ සාරය තමා තුළම සොයා යන්නට ඇරයුම් කරයි.
‘‘ආදරය
සහ ජීවිතය එකිනෙකින් වෙන් කරන්න බැහැ.
ඔබට නොහැකි නම් ඔබ තුළ සතුට හොයන්න,
කාටද පුළුවන් ඔබ තුළින් සතුට හොයන්න .
ඔබ හැඟුම් සංකීර්ණයක්.
ඉතින් ඔබ අහිංසක වෙන්නෙ
කොහොමද?
අහිංසක වෙන්නෙ මොකටද?
ඔබ අහිංසක නම් ඔබ සංකීර්ණ
නැහැ.
ඉතින් කෝ ඔබේ ඇත්ත මුහුණ?
වෙස් මුහුණ ඉවත විසිකර
ඇත්ත මුහුණ අතට ගන්න.
ඔබේ භාවනාවේ රසවිද්‍යාව
විය යුත්තේ ඇත්ත මුහුණයි.“
මංජුලගේ කාව්‍යමය භාෂා රටාව සරල ව, සිලිටිව ඉංග්‍රීසියට නඟන්නට
දිලිනි සමත් වී ඇතැයි හගිමි. සංගීතය හා
බද්ධ වූ නම්‍යශීලී රංග ලාලිත්‍යයද, වේදිකාව පුරා පැතිරුණු ඔන්චිල්ලා අතර සීරුවට
ගලා යන රංග වින්‍යාසයන්ද, තේමාවේ අරුත් වඩාත් තීව්ර කරන ආලෝක රටාද ආදරයේ ඔන්චිල්ලා
තේමාත්මය සාර්ථකව අප වෙත සමීප කරවන බව මගේ
විශ්වාසයයි. එදා පළමුවරට ලුම්බිණියේ දුටු දර්ශනයෙන් පසුව රටවල් කිහිපයක ආදරයේ
ඔන්චිල්ලා (Swings Of
Love)
රංග ගත විය. මේ වන විට එය තවදුරටත් ඔපමට්ටම්ව ඇති බව නිසැකය.
ඉතින් ඒ, ඉංග්‍රීසි බසින් ගලා යන ආදරයේ ඔන්චිල්ලා
(Swings Of Love) මෙවර අන්තර්ජාතික නාට්‍ය උළෙලේ, ලයනල් වෙන්ටඩ්
වේදිකාවේ දී මැයි 25 වන දා ප.ව. 7.00 ට රංගගත වනු ඇත.
මා
මුලින්ම සඳහන් කළ ‘‘රන් කෙන්දෙන් රනින් තැනූ“ ගීතය මුල් ගැයුම ඇන්ජලින් ගුණතිලක සමඟ මල්ලිකා කහවිට විසිනි. ගේය පද රචනය ධර්මසිරි
ගමගේ ය. සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස විසිනි. 1971 වසරේ තිරගත වූ ධර්ම ශ්‍රී
කල්දේරා විසින් රන් ඔන්චිල්ලා චිත්‍රපටයෙහි ඇතුළත් වූ ගීතයකි. ( තොරතුරු
අන්තර්ජාලයෙනි.)
රන් කෙන්ඳෙන් රනින් තැනූ රන් ඔන්චිල්ලා
අපට කොයින්දෝ රන්වන් රන් ඔන්චිල්ලා...
දෑතට බැඳි ලණු දෙපොටයි දෑතින් ගන්නේ
මාල අරුංගල් දෙකණේ තෝඩු වැනෙන්නේ
රෑන කිතුල් මල් වරළයි සුළඟෙ දුවන්නේ
ජීවිතයේ රන් ඔන්චිල්ලාව පදින්නේ...
අහස උසට ආසාවේ අහසට යන්නේ
අහසට යන ගිය සේරම පොළවට එන්නේ
උඩ ගිය අය හති අල්ලා බිමට බහින්නේ
බාල ලියන් රන් ඔන්චිල්ලාව පදින්නේ....
රන් ඔන්චිලි චිල්ල මලේ දුකට අඬනවා
රන් ඔන්චිලි චිල්ල මලේ කඳුළු පිහිනවා
කඩන්න බැරි කටු අකුලක මලක් පිපෙනවා
රන් ඔන්චිල්ලාවේ ගොස් එමල නෙළනවා...
‘‘Swings Of Love - ආදරයේ ඔන්චිල්ලා‘‘ දැන් මුද්‍රිත කෘතියක් ලෙසද
මිල දී ගත හැකිය. එහි සිංහල සහ ඉංග්‍රීසි දෙබසින්ම පිටපත් රචනය ඇතුළත් කර ඇති බවද
සඳහන් කරනු කැමැත්තෙමි.
Thanks...
ReplyDeleteනාට්‍ය නම් බලලා නැහැනේ හැබැයි අර අක්කා මුලින් දාලා තියෙන
ReplyDelete‘‘ඔබ මා තුළින් ඔබව දුටුවාදැයි මම දන්නේ නැහැ" කියන කවිය නම් නියමයි.
ඒකේ තියෙන අන්තිම පද දෙක
//ආදරෙයි නම් ඔබ මලකට
නෙලා ගන්නට එපා ඒ මල//
හරි අපුරුයි.
ස්තූතියි
ReplyDeleteපුවත්පතක මේ ගැන ලිපියක් කියෙව්වා. ස්තුතියි ....
ReplyDelete