පිටු

Monday, April 1, 2019

හිරු මියැදී නැත...

Abstract Painting - Women Power by Chetna Pandya

( රාජ්‍ය සේවයට පැමිණි අලුත කුමක් හෝ තරඟයකට ලියූ කෙටිකතාවකි. පරණ සීඩීයක තිබී හමුවිය. එදා තිබූ සිහින අදත් ඇත. වෙනසකට ඇත්තේ එදත්, අදත් සිහින වෙනුවෙන් වැඩ කරන බිම ඇත්තේ රාජ්‍ය සේවයෙන් පිටත වීම ය. එදා ලියූ කතාවේ කිසිදු වෙනසක් නොකළෙමි. මේ රාජ්‍ය සේවිකාවගේ කෙටි කතාවට බ්ලොග් මිතුරනි, සිනා නොවනු මැනවි. ☺)


වෙල් යාය කෙළවරේ පොල් රුප්පාවට ඉහළින් බැස යන හිරුගේ රැස් දහර තැවරී ඇත. ඉපනැල්ලෙන් වැසුණු ලියදිවල තවමත් ගවයෝ කිහිපදෙනෙක් උලා කමින් සිටිති. වෙල් යාය මැද කුඹුක් ගසින් වටවුණු කමතේ පිදුරු කඳු ගොඩ ගැසී ඇත. කෙත් යාය රන්වන් අස්වැන්නට සමු දුන්නත් හමනා මද සුළෙඟ් තවමත් නැවුම් අස්වනු සුවඳ රැඳී ඇත. 

ධරණී වෑකන්ද මතදී බයිසිකලයෙන් බැස තල්ලූ කරගෙන යන්නට සිතුවේ මේ සැඳෑ අසිරිය නෙත් පුරා, සිත් පුරා දකිනු විඳිනු රිසියෙනි. අගනගරයේ මුඩුක්කු පරිසරයක ඉපිද හැදී වැඩුණු ඇයට මේ ගම්බද සිරිය කොතෙක් නැරඹුවද එපා වීමක් නම් නැත. 

සැඳෑ හිරු රැස් විඳිමින් වෑ කන්ද දිග ඇවිද යාම අතිශයින් සුන්දර අත්දැකීමකි. වෑ කන්ද දෙපස මැයි ගස් කිහිපය සෙවණ ද, සිහිල ද, චමත්කාරය ද  නොඅඩුව ලබා දෙයි. ධරණීගේ අදහසක් අනුව ගොවි සමිතිය මගින් මෑතකදී සිටුවන ලද මැයි පැළ කිහිපය මද සුළෙඟ් නැළවෙමින් රංගනයක යෙදෙයි. 

වැවේ ජල මට්ටම අඩු වුව ද නිල්ලට වසා ගත් නෙළුම් කොල යාය මැදින් පෙති හකුලා ගන්නා නෙළුම් මල් ද, නෙළුම් පොහොට්ටුද කොතෙකුත් දැකිය හැකිය. වැව ප‍්‍රතිසංස්කරණයට ගමට වෙන් වූ මුදල් කාන්තා සමිති භාරයට ගෙන නිසි අයුරින් වැව සඳහාම යොදවමින් කටයුතු කළ බැවින් මෙවර අස්වැන්නද සරු විණි. අලුත විවාපත් මනාලියක් මෙන් වැව් කොමලියද සුන්දරත්වයෙන් පිරිපුන්ය.   

වෙල් යායට එපිට පොල් රුප්පාවේ අතු අතරින් පෙරී එන බැස යන හිරුගේ අවසන් රැස් දහර දෙස ධරණී බලා සිටියාය. 

...............................................................

‘‘ මෙහෙම දෙයක් වෙයි කියල මං හීනෙකින්වත් හිතුවෙ නැහැ ධරණී. ඔයාගෙ උගත්කම, තනතුර නිසාවත් අපේ ගෙදරින් කැමති වෙයි කියලයි මම හිතුවෙ.’’ 

මාධව කීවේ නගින බසින රළ දෙස බලාගත්වනමය. වසර කිහිපයක අතීතයට එක් වූ ඒ ඔවුන්ගේ අවසන් හමුවීමයි. ඒ මොහොතේද සිතිජය කෙළවර හිරු ගිළෙමින් තිබිණි. බැස යන හිරුගේ අවසන් රැස් දහර සයුරු දිය මත නෙක සිතුවම් මවමින් තිබිණි. 

‘‘ මගේ උගත්කමයි, තනතුරයි නිසා නම් මට ආදරය කරන්න එපා සර්. මට තේරෙනවා මමයි වැරදි. ආදරය සම්බන්ධයෙන් මම හරි තෝරා ගැනීමක් කරල නැහැ.’’ 

ධරණී හෙමිහිට වදන් ගොනු කළාය. හඬා වැටෙන්නට තරම් වේදනාවක් තිබුණද ඇය කඳුළු සඟවා ගත්තාය. විවාහය නම් වන සුර ලොව පිළිබඳ ඇය නෙක විසිතුරු සිහින ගෙත්තම් කළේ මේ උගත්, ධනවත්, කුලවත් පුරුෂයා කේන්ද්‍ර කර ගනිමින් නොවේද? ඒ සිහින බිඳී විසිරුණු කැට කැබිලිතිවලින් සීරුණු ඇගේ හදවතින් ලේ ගලයි.

‘‘ මට සමාව දෙනවද ඔයා. ’’ 

මාධවගේ බැල්ම ආයාචනාත්මකය. ඔහු ඇගේ දෑතම සිය දෑතට මැදි කර ගත්තේය. 

‘‘ කමක් නැහැ සර්. මගෙ හිතේ තරහක් නැහැ. හිත හදා ගන්න බැරි තරම් දුරදිග ගිය බැඳීමක් අපි අතර තිබුණෙ නැහැනෙ.’’ 

ධරණී හෙමිහිට සිය දෑත මුදා ගත්තාය. 

විශ්ව විද්‍යාලයෙන් පිට වී රැකියා විරහිත උපාධීධාරී ලේබලය යටතේ විවිධ සුළු සුළු රැකියාවන්හි නිරතව සිටින අතරතුර ධරණී ක‍්‍රම සම්පාදන සේවයේ විවෘත තරඟ විභාගයට පෙනී සිටියාය. සිහිනයක් ලෙස සිතූ රාජ්‍ය සේවයේ මාණ්ඩලික තනතුරකට පිවිසීමේ දොරටු විවර වූයේ එමගිනි. 

රජයේ ප‍්‍රධාන අමාත්‍යාංශයක මුල්ම පත්වීම භාර ගත් දා ඇගේ ආසන්නතම විධායක නිළධාරියා වූයේ මාධව දිසාසේකරය. ධරණීගේ උද්‍යෝගිමත් සේවා රටාවටත්, ළගන්නාසුලු කතාබහටත් මේ වැඩ බලන අධ්‍යක්‍ෂකවරයාගේ හිතේ මල් පූදින්නට විය. 

එමල් මැල වී ගියේ පිපුණාටත් වඩා ඉක්මණින් අකලටය.

ධරණී ස්ථාන මාරුවක් ලබා ගත්තාය. ඒ විශ්ව විද්‍යාල මිතුරියකගේ ගම්පියසටය. මිතුරිය විවාපත්ව අගනුවර ආසන්නයේ කුලී නිවසක වාසය කරද්දී, ධරණී මිතුරියගේ නිවසේ දියණියකගේ අඩුවද සපුරාලමින් නව දිවිය සතුටින් පිළිගත්තාය. ආසන්න නගරයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇගේ සේවා ස්ථානය විය. 

හිරු දිලී නිවී ගිය මාස කිහිපයක් අතීතයට එක් විය. මගතොටේදී, බස්රියේදී, කෙතේ කමතේදී, නාන තොටුපළේදී ගම්මුන් හා සුහද වීමට  ඕනෑ තරම් අවස්ථා ලැබිණි. විශේෂයෙන් ගැමි කාන්තාවන් ධරණීගේ සිත් ඇඳ බැඳ ගත්තාය. ඔවුන් ගෙන යන දුෂ්කර ජීවන අරගලය ඇගේ සිත සංවේගයෙන් පුරවන්නට විය. මේ අතර කාර්යාලයේ ඒකාකාරී ජීවන රටාවෙන් ධරණී විඩාපත් වූවාය. මිනිසුන්ගේ ජීවිතයට වඩාත් සමීපව කටයුතු කළ හැකි මගක් පිළිබඳව ඇගේ සිත නිරන්තරයෙන් විමසිලිමත් විය. 

‘‘ උපන්නාට ඔහේ නිකම්ම ජීවත් වෙලා වැඩක් නැහැ... අර්ථයක් ඇතිව ජීවත් වෙන්න  ඕනෙ..’’ විශ්ව විද්‍යාලයේ සමාජවාදී මිතුරකු කී කතාවක් ඇයට නිරන්තරයෙන් සිහිපත් විය. 

නාන මංකඬේදී හිතවත් වූ කාන්තාවන් කිහිප දෙනෙක් සම්බන්ධ කර ගනිමින් ඇය කුඩා කාන්තා සමිතියක් පටන් ගත්තේ කාර්යාලය තුළ සේවයෙන් තෘප්තිමත් නොවූ සිත සන්සුන් කර ගැනීමටය. එය ‘‘ වැව පාර ’’ සමිතියයි. මෙය ගමේ නව පිබිදීමක් ඇති වන සමාජ ව්‍යාපාරයක් වනු ඇතැයි ධරණී මුලදී නොසිතුවාය.  

උසස්පෙළ සමත්ව විශ්ව විද්‍යාල ප‍්‍රවේශය අපේක්‍ෂාවෙන් සිටිය දී රාජ්‍ය නොවන සමාජ සේවා ආයතනයක සේවය කළ ධරණී කාන්තා එකමුතු මෙහෙයවීම සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් අත්දැකීමක් ලබා තිබුණාය. ඇය එදවස සතියකට කාන්තා සමිති තුනක් කළේ කටේ දිවේ නොගෑවී කුණුහරුප වපුල, වත්තේ  ඕනෑම රණ්ඩුවකට නොපැකිල ඉදිරියට ගිය, කසිප්පු ගංජා විකුණමින් හෝ රෑ මනාලියන් ලෙස හෝ මුදල් හරිහම්බ කළ කාන්තාවන් සමගය. 

එය කොතරම් දුෂ්කර ව්‍යායාමයක් වීද? බොහෝ මානවහිතවාදී වූ වැඩිහිටි කාන්තාවක් ඈ සමග වූ බැවින් ධරණීට මේ කාන්තාවන් සමග කටයුතු කිරීම අසීරු වූයේ නැත. 

ඉදින්, වත්මනේ රාජ්‍ය සේවයේ මාණ්ඩලික තනතුරක් හොබවන ධරණීට ගැමි කාන්තාවන් හා කටයුතු කිරීම අපහසුවක් විය හැකිද? නිහතමානී ගුණයත්, නිරහංකාරබවත්, මානව දයාවත් මිස මිනිසුන්ට සේවය කිරීමට වෙනත් නිලතල, නම්බුනාම අවශ්‍ය නොවන බව ඇය ජීවිතයෙන්ම පසක් කර ගෙන තිබුණාය. 

ධරණීගේ කාන්තා සමිතියේ සාමාජිකයින් දහයකි. රැස්වන්නේ සතියකට එක් වරක් සැඳෑවේය. එයද පැයකට පමණි. ඒ පැය තුළ රුපියල් විස්සක සාමාජික මුදලක් ද, පාරිභෝගික ඉතුරුම් සඳහා තමන් කැමති මුදලක්ද එකතු කරනු ලැබේ. 

‘‘ මේ සල්ලි ඔයාලම හොයා ගන්න  ඕන... මහත්තයගෙ පොකට් එකෙන් ගෙනත් ඉතුරු කරන එක හරි නෑ... වගාවක් කරල... කඩයප්පන් ටිකක් හදල, පරණ පත්තර විකුණල හරි සමිතියට ගේන්න  ඕන තමන්ම හරිහම්බ කර ගත්ත මුදලක්...’’ ධරණී සෑම සමිතියකදීම මේ කතාව අවධාරණය කළාය. 

සමිති වේලාවෙන් පැය භාගයක් වෙන් වන්නේ දැනුවත්වීම සඳහාය. බොහෝ විට මේ අවස්ථාවේ දී කාන්තාවන්ගේ ජීවිතයට වැදගත් වන කරුණක් පිළිබඳව කතා කළේ ධරණී විසිනි. යම් අවස්ථාවල ඇය කාන්තාවන්ට අර්ථවත් ගීතයක්, පොතක් හඳුන්වා දුන්නාය. රූපවාහිනී වැඩසටහනක්, ටෙලිනාට්‍යයක් ගැන කතා කළාය. ගැමි කාන්තාවන්ගේ අවුල් තැවුල් හිදී දුක්ගන්නාරාළගේ වගකීමද දයාවෙන් ඉටු කළාය. 

මුල්ම කාන්තා එකමුතුවේ සාර්ථකත්වය මත තවත් සමිති තුනක් මැද පාර, බුලත්කොරටුව, වළං ගංගොඩ ලෙසින් ආරම්භ විය. වළං ගංගොඬේ සමිතිය නම් ධරණීගේම හිතුවක්කාර උත්සාහයක ප‍්‍රතිඵලයකි. අතීතයේ දී ගමට වළං සැපයූ කුල හීන පිරිස මේ ගංගොඬේ ජීවත් වුහ. දැන් මැටි වළං සාදන පවුල් දෙක තුනකට වඩා නැතත් ඔවුන් සමග අනෙක් කුලීන ගම්මුන්ගේ වැඩි පයුරුපාසානමක් නැත. එහෙව් වළං ගංගොඬේ කාන්තා සමිතියක් පිහිටුවන්නටද එම සමිතිය අනෙක් කාන්තා සමිති හා සම්බන්ධ කරමින් විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් කරන්නටද ධරණිට හැකි වීම සැබවින්ම ජයග‍්‍රහණයකි. 

ප‍්‍රදේශයේ කිසිවකු අමනාප කර ගනිමින්, සතුරන් කර ගනිමින් ගමේ දියුණුවක් පිළිබඳ සිතිය නොහැකිය. කාන්තා සමිති මාර්ගයෙන් වැඩිහිටියන්, ඔවුන් සමග බැහැ දැක්මෙන් ගමේ පන්සලේ හාමුදුරුවෝ, පන්සලේ පියතුමා දැන හඳුනා ගන්නාට ධරණි සමත්  වූවාය. 

මුඩුක්කුවේදී ගණිකාවන්, කුඩුකාරයින්, චණ්ඩින්, අන්ත දිළින්ඳන් ආදි වූ ජීවිතයේ අඳුරු කටුකත්වය ස්පර්ශ කරන සියල්ලන්ගේ දයාබර දියණිය, මිතුරිය, සොයුරිය වෙමින් විශ්වාසය දිනා ගත් ඇයට ගම්මුන් හා සමීපව කටයුතු කිරීම අසීරු වූයේ නැත. 

මතු පිටින් සිනාසෙන, ඇතුළතින් උගුල් අටවන සතුරන් රැසක්ද තමන් වපුරා ගන්නා බව ධරණී නොදැන සිටියා නොවේ.  

වසර දෙකක් ගත වූයේ තමා මුඩුක්කුවක ඉපදී හැදී වැඩුණු බව ද ධරණීට අමතක කරවමිනි. 


දිනක් සැන්දෑ යාමයේ සමිති හතරේම කාන්තාවන් දහයක් පමණ ධරණි හමුවන්නට පැමිණියහ. නිවස ඉදිරිපිට අඹ ගස් සෙවණේ තණ බිස්සේ වාඩි ගත් ඔවුහු සුහද කතාබහක් ඇරඹුහ. 

‘‘ අනේ නෝනෙ අපි හිතුවෙ නෑ මේ වැඬේ මේ තරම් සාර්ථක වෙයි කියල... දැන් අපේ ඉතුරුම් තියෙනවා.. රුපියල් පණස්දාහක් විතර.... අපි ගිය සතියෙ රුපියල් පන්දාහක ණයක් දුන්නා සිරියාවතීට කරවල වෙළඳාමක් පටන් ගන්න. රුපියල් දාහ දෙදාහ ණය දුන්න ඒව ටික ටික එකතු වෙනවා. සීයට දෙකක් පොලියට ණයක් ගන්න පුළුවනෑ කොහෙන්වත්. පාරිභෝගික ඉතුරුම් රුපියල් විසිදාහක් තියෙනවා... දන්නෙම නැතිව සල්ලි එකතු වුණා... ’’

‘‘ ඔව් නෝනෙ...’’ සමන්මලී කතාව පටන් ගත්තාය. ඇය තරුණ මවකි. වැව පාර සමිතියේ ලේකම්ය. 

‘‘ අපි දැන් කුස්සියට බඩු ගන්න සීට්ටුවකුත් දානව... මාසෙකට සැරයක් රුපියල් පන්දාහක් එකතු වෙනවා.. ඒක සැරින් සැරේ තියෙන හැටියට දෙන්න පුළුවන්.. සල්ලි අතට දෙන්නෙ නැහැ.. අපි දෙන්නෙක් ගිහින්  ඕන කරන දේ කඩෙන්ම අරන් දෙනවා... මේ සීට්ටුව ඉවර වුණාම මුදු සීට්ටුවක් දාන්න  ඕන නෝනෙ... අපේ කාගෙවත් අත්වල මගුල් මුද්දවත් නෑනෙ.... ’’

සිහින් සිනාවක් කාන්තාවන් අතරින් මතු විය. එය ලැජ්ජාශීලී, බලාපොරොත්තු පිරුණු අපූරු සිනා රැුල්ලකි. ධරණීගේ මුහුණ දැන් පිපුණු පියුමකි. 

‘‘ අපි සමූපෙ මැනේජර් එක්ක කතා කලා... අපේ පාරිභෝගික ඉතුරුම්වලින් අපි කිව්ව එක සැරේ රුපියල් විසිදාහක බඩු ගන්නවා.. අපිට හොඳම පරිප්පු, සීනි, කරවල වගේ බඩු  ඕන කියල... මැනේජර් කිව්වා තොග මිලටම වගේ දෙන්නම්  කියලත්...මේක හරි හොඳ වැඩක් මිස්... මිස්ට පින් සිද්ධ වෙනවා අපිව එකමුතු කරල මේ වගේ වැඩක් පටන් ගත්තට... නැත්නම් හැමදාම බත් හැලි තම්බ තම්බ කුස්සිය මුල්ලෙයි, අව්පූටකේ පිච්චි පිච්චි කුඹරුවලයි තමයි ජීවිතේ... ’’ 

එසේ කීවේ සඳමාලිය. ඇය උසස්පෙළ සමත් අවිවාහක තරුණියකි. එක් සමිතියක භාණ්ඩාගාරික ධූරය උසුලන්නීය. ධරණී අසා සිටියා පමණී. වසරක් පමණ කෙටි කාලයක් තුළ මෙවන් දියුණුවක් නූගත් ගැමි කාන්තාවන් වෙතින් ඇය බලාපොරොත්තු නොවූවාය. නමුත් ඔවුන්ගේ ජීවිතයට අවංක ආදරයකින් ළං වෙමින් නිසි මග පෙන්වන්නේ නම් උසස් අරමුණු කර කොතරම් පහසුවෙන් ළඟා විය හැකිද? 

ගම දියුණු කළ හැක්කේ ගම්වැසියන්ගේම හැකියාවන් හා සම්පත් එක්තැන් කිරීමෙනි. සංවර්ධනය හෝ දියුණුව මිනිසුන් පිට බලෙන් පැටවිය නොහැක.  එය මිනිසුන්ගේ සැබෑ අවශ්‍යතා, දේශයේ අවශ්‍යතා තුළින් පැන නැගී සොබාදහමද රැුක ගනිමින් ඉදිරියට යා යුතුය. ගම් පියසේ කාන්තාවන් හා එක්ව කළ සේවය තුළ ධරණී මේ සත්‍යය අවබෝධ කර ගත්තාය. 

‘‘ දැන් නෝනෙ දෙසැම්බර් මාසෙ අපි අර ගීත වැඩසටහන කරනවද? අපේ සමිති හතරම එකතු උණොත් නම්  ඕක මහ කජ්ජක් නෙමෙයි... ’’ 

උඳුවප් මහේ කරන්නට අදහස් කරන ගීත වැඩසටහන සිහි ගැන්වූයේ කමලාවතීය. කමලාවතී වැන්දඹුවකි. අවුරුදු හැට පහක් පමණ වනු ඇත. එකම දුවණියද දීග තල දී නිදහසේ දිවි ගෙවන ඇය තරුණ මව්වරුන් හා කරට කර වැඩ කරන්නේ  ‘‘ මම දැන් මේ පැත්තට වඩා ඒ පැත්තට නෝනෙ... උන්නත් දාහයි මළත් දාහයි. ’’ කියමිනි. 

‘‘ මගේ විශ්ව විද්‍යාල යාළුවො ටිකක් කරන්නෙ මේ වැඩසටහන.. පවුල් ජීවිතය, ආදරය, දරුවො, මහළු වයස මේ වගේ තේමා ගැන ගීත එක්ක කතා කරන වැඩසටහනක්... නිවහන නිවන ගී.... ලොකු වියදමක් යන්නෙ නැහැ.. කරන්න පුළුවන්... දැන් මේ යන විදියට නම් ඊට වඩා දේවල් උණත් කරන්න පුළුවන් වේවි.. බණ්ඩාර දෙවිගමට ’’ 

ධරණි සිනාමසුව පැවසුවාය. කාන්තාවන්ගේ ප‍්‍රීතිමත් සිනා හඬද සැන්ඳෑවේ කැදලි කරා පියා සලන කුරුළු කෙවිල්ලන්ගේ හඬ හා මුසු විය. 

සඳමාලි වට පිට බලා ධරණී වෙතටම බර වූයේ රහසක් කියන්නට මෙනි. ගැමි කාන්තාවන්ගේ සිනා මුහුණු මැළවෙන්නට වූයේ එක්වනමය. සැදැ අඳුරත් සමග වැවේ නෙළුම් මල් පෙති හකුලා ගන්නාක් මෙනි. 

‘‘ මිස් අපි වැඩියක්ම ආවෙ වැදගත් කාරණයක් ගැන කියන්න. ගමේ හැම වැඩක්ම කොන්ත‍්‍රාත් අරන් කරපු ජයසිංහ මහත්තයයි, මන්ත‍්‍රීතුමයි මිස් එක්ක හරිම කේන්තියෙන් ඉන්නෙ. පහුගිය ග‍්‍රාම සංවර්ධන සමිතියෙදි කෑ ගහල තියෙනවා මිස්ව මාරු කරනවා කියල. ඒ ගොල්ලො තරහයි වැව හදන වැඬේ අපි බාර අරන් කළාට. වෙනද කුට්ටි පිටින් එයාටලටනෙ. ඉතුරු සල්ලිවලින් අපි ළමයින්ට පුස්තකාලයක් හදන්න යන එකත් ආරන්චි වෙලා. ’’

ධරණී නෙත කඳුලක් උපන්නේ කාන්තාවන්ගේ ළෙංගතුකම දැකීමෙනි. කාර්යාලීය දුරකථනයට එන තර්ජනාත්මක ඇමතුම් මේ සංසිද්ධියේම දිගුවක් විය හැකිය. ඈ සිත බියක් උපන්නේ නැත. ප‍්‍රාදේශීය ලේකම්වරයා ඇයට අවවාද අනුශාසනා දුන්නේ වරක් දෙවරක් පමණක්ම නොවේ. ඈ සිටියේ නෑසුකන් ඇතිවය. 

‘‘ ධරණී මිස්.. මේ ඔයාගෙ වැඩ හින්ද මමත් නිකරුණේ අමාරුවෙ වැටෙනවා.. සභාපතිතුමාට හොඳටම කේන්ති ගිහින් ඉන්නෙ.. ඊයෙ හැන්ඳෑවෙ මගේ ක්වාටස් එකටම ඇවිත් කෑ ගහල ගියා. මිස්ව මේ වැඩවලින් අයින් කරන්නලූ... නැත්නම් මාරු කරල අරින්නලූ.. 

‘‘..... එක්කො ඔය බහුබූත වැඩ නවත්තනවා... නැත්නම් මාරුවක් අරන් යනවා... වැඩිහිටියෙක් විදියටයි මම මේ අවවාදය දෙන්නෙ... ඇමතිතුමාගෙ කණට මේ කුණුකන්දල් ගියොත් මටත් මෙහෙන් මාරු වෙලා යන්නයි වෙන්නෙ... ගෑණුත් එක්ක මොන සංවර්ධනයක්ද? ’’

ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ වදන් රළුය. දැඩිය. එය තර්ජනයකි. ප‍්‍රාදේශීය දේශපාලන බලාධිකාරයේ ගිනි පුපුරු එහි සැඟවී ඇතුවාක් මෙනි. නමුදු දෑස්වල දයානුකම්පාවක සේයාවක් දැවටී ඇත. ධරණීට ඔහු පිළිබඳව අමනාපයක් දැණුනේ නැත. 

අතීත මතකයෙන් සිහි කැඳවා ගත් ධරණී නැවතද කාන්තාවන්ගේ තැවුල් මුහුණු දෙසට සිත් යොමු කළාය. 

‘‘ අපි රාජ්‍ය සේවයට එන්නෙ ලංකාවෙ කොහේ උණත් වැඩ කරන්න එකඟයි කියලනේ. ඒ නිසා  ඕනැම තැනකට යන්න මම නම් ලෑස්තියි. කොහෙම උණත් මට නම් හරිම සතුටුයි, ඔයාලගෙ දියුණුව ගැන. දැන් මම නැති උණත් ඔයාලට පුළුවන් බණ්ඩාර දෙවිගම වෙනුවෙන් හොඳ වැඩ කොටසක් කරන්න. තොටිල්ල පදවන අත ලොව ආණ්ඩු කරනව කියල අපේ පැරැුන්නො කිව්වෙ ආවට ගියාට නෙමෙයිනෙ..... තමන්ගෙ හදවතට එකඟව යහපත් වැඩක් කරන්න පසුබට වෙන්න එපා... ’’

ධරණී පැවසුවේ තමා වෙතට එල්ල වී ඇති සෑම දෙනෙතක්ම තම දෑසින් ග‍්‍රහණයට ගනිමිනි. 

කාන්තාවන්ගේ අනාවැකිය තුන්මසක් ගත වන්නටත් පළමුව සැබෑ විය. ධරණීගේ මාරුව මොරවැව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයටය. ධරණීට නම් එය දඬුවමක් නොව ආශිර්වාදයකි. යුද්ධයෙන් පීඩා විඳි මායිම් ගම්මානවල ජනතාවට සේවය කරන්නට ඈ සිත කිසිදු පැකිලීමක් නැත. දුෂ්කර ප‍්‍රදේශයක සේවයෙන් ජීවිතයේ නවමු අත්දැකීමක් විඳීමේ අපේක්‍ෂාවෙන් ඇය කාර්යාලීය හිතවතුන්ගෙන් සමු ගත්තාය.

පන්සලේ පැවති සමුදීමේ උත්සවයෙන් පසුව නවාතැනට පැමිණෙන අතර ධරණී වෑ කන්දේ නැවතුණේ බණ්ඩාර දෙවිගමට ඉහළින් බැස යන හිරු අවසන් වරට ද දකිනු රිසියෙනි. 

ජීවිතය නිමා නොවන දිගු ගමනකි. බණ්ඩාර දෙවිගම එක් නවාතැන්පළක් පමණි. ධරණී එයින් සමුගන්නේ බොහෝ සිත්සතන්වල ප‍්‍රසන්න හැඟුමක් ඉතිරි කරමිනි. ධරණී සිත තුළ ශෝකයක් පැවතියද තෘප්තිමත්භාවය පරදවන්නට ඒ ශෝකයට නොහැකි විය. 

පොල් රුප්පාව තුළ හිරු ගිලී ගොසිනි. නමුදු නැවතත් හෙට හිරු පායනු ඇත. තල් රුප්පාවට ඉහළින් නැගෙන්නේත් මේ හිරුමය. 

8 comments:

  1. මම ආසයි මේකට!

    තාල බැලුවා. මේකත් ඒ තේමාවේම වගේ නේද හිතුන.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ නේ... දුප්පත්කම පොඩ්ඩක් රොමෑන්ටික් ගතියකින් පෙන්නනවා. මේක කාලෙකට කලින් ලිව්ව කතාවක්. අනික ඉතින් රාජ්‍ය සේවා තරඟයකටනෙ... හී හී

      Delete
    2. වීරයෝ කියන්නේ සියලු බාධා පරාද කරන අයටමත් නෙවෙයි. යම් දේකට අවැසි අත්තිවාරම දමන කෙනා. රාජ්‍ය සේවයේ ඇති අතොරක්නැති බෙලි කැපිලි, කකුලෙන් ඇදිලි එක්ක සමහර ජොබ් කරන්නේ මොකටද කියලත් හිතෙන තරම්. ගොඩක්ම ඔය මහජන සම්බන්ධතා අවශ්‍ය සේවයන්. නමුත් පුද්ගලික කියා අමුතු වෙනසකුත් නැහැ. එකම වෙනස පුද්ගලික අංශයේ උන් ඒවාට මුහුණ දෙනවා. රාජ්‍ය අංශයේ උන් 'ලබා උපන් හැටිය' කියලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා!

      'තාල' ගැන ලියන්න හිතයි. තරුරසි බැලුවාද?

      Delete
    3. බලන්න බැරි වුණා... ලියන්න ලියන්න. ඔයා චිත්‍රපටි ගැන ලිව්වම අපිත් බැලුවා වගේ තමයි.

      Delete
  2. ධරණී සිස්ට සෙව්වන්දිට වැඩිය කොච්චර හොඳද? ප්‍රේමය ගැන අඬ අඬා ඉන්නෙ නැතුව කොච්චර වැඩ කරලද? :)

    සිනා නොවනු මැනවි කියලම පටන් ගන්නේ තරූටම දැන් පේන නිසානෙ මේ තරම් ලේසියෙන් ප්‍රශ්න විසඳන්න බැහැ කියල නේද? ඒත් ඉතින් මං හිතන්නේ යථාර්තයට කිට්ටු නොවුණත්, මේ තියෙන්නේ සමාජය ගැන සැබෑ කැක්කුමකින් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න තියන උවමනාව. සමහර විට වයසින් මුහුකුරා යනකොට ප්‍රශ්න විසඳන එක කොච්චර සංකීර්ණද කියල අපිට තේරුම් යන එක, එක්තරා විදිහක අවාසනාවක්. මොන තරම් නම් ජවයක් ඔය අවබෝධය ඉස්සරහ දියවෙලා යන්න ඇත්ද....

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය සේවයේ අපේ තනතුරුවලදි ලොකු බලපෑමක් කරන්න බෑ තිසර. එහෙම උවමනාවක් මට තිබුණෙත් නැහැ මුල ඉඳන්ම. මොකද මම වෙනම සමාජ වැඩ කොටසක් කරමින් ඉන්න අතර තමයි රස්සාවට යන්නෙ. ඒ නිසා රස්සාව ඇතුළෙ වැඩ ටික හරියට කරල අනිත් සමාජ වැඩ එළියෙ කරන්න මුල ඉඳන්ම මම පුරුදු වුණා.

      ඔය කතාවෙ එන කාන්තා සමිති වැඩේ අපි ඇත්තටම කළ දෙයක්. අපේ ළමා සංවිධානෙ ළමා සමිතිවල දරුවන්ගෙ අම්මලා එක්ක. දැනටත් සාර්ථකව ඔය වගේ කාන්තා එකමුතු කරගෙන යන මගේ යෙහෙලියක් ඉන්නවා. ඒ කාලෙ අපි දෙන්න තමයි බයික් එකේ මව් සමිති බලන්න යන්නෙ. අම්මලාට කතා කරන්නෙ. දෙන්නම බැඳල නැහැ. පස්සෙ අපිම හිනාවෙවී එනවා අපේ කතාවලට...

      තවමත් ජවය නොසිඳී පවත්වාගන්න හැකි වීම සතුටක්... තනිකඩ මට පෙන්ෂන් එක වැදගත් නිසා රාජ්‍ය සේවයත් අල්ලන් ඉන්නවා ඉතින්.

      Delete
  3. ඊයේ තරු අක්කාගේ කතාව කියෙව්වා.ඊට පස්සේ තරු අක්කාම බෙදාගෙන තිබුනු ශක්තික සත්කුමාරගේ සිදුවීමත් ඒකට පාදක වෙච්චි "අර්ධ" ගේ කතාවත් කියෙව්වා.මේ දේවල් කියවන කොට මට හිතුන දෙයක් තමයි අපේ ආකල්ප වල තියෙන දිළිදු බව.කොන්ත‍්‍රාත් ජයසිංහ,මන්ත්‍රීතුමා වගේ අයගේ බලාධිකාරියට අභියෝග කරන්න පරිපාලන සේවයේ ඉන්න ධරණීගේ ප‍්‍රාදේශීය ලේකම්ට බැහැ හෝ ඕන කමක් නැහැ.ඕන කමක් තියෙන මිනිහාට ඒ දේ කරන්න ඉඩකුත් නැහැ.

    තරු අක්කලා රාජ්‍ය සේවයට ආපු මුල් කාලේ, අද කියලා වෙනසක් නැහැ. ධරණීලා,සිස්ටර් සෙව්වන්දීලා ඉන්නවා.වෙනස් විදියට දේවල් දකින ශක්තිකලා ඉන්නවා.එත් බහුතරය (සමහරවිට මමත් ඇතුළු) වෙනස් වීම් වලට කැමති නැහැ.ඉතින් මේ සිස්ටම් එක ඇතුලේ ඒ විදියටම ඉඳලා ඊට පස්සේ නිකම්ම යනවා.

    ReplyDelete
  4. මම බැලුවේ හිරේ දාන්න පොටක් අහුවෙයිද කියලා.. :))))

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...