පිටු

Sunday, January 2, 2022

අරගලයේ වසර...........

 

කතන්දර හැන්දෑවෙ දරුවකු හදා එවූ සුබ පැතුම...

අවුරුදු ජයයි !

ගෑස් එක ඉවර වෙලා මාසයක් විතර... තාවකාලික නවාතැනේ උයන අපි පස් දෙනෙක් ඉන්නවා. මුලින්ම ඉවර වුණේ මගේ ලාෆ් ගෑස් සිලින්ඩරේ... ලාෆ් කරුමේ කියන්නෙ ගෙදරත් තියෙන්නෙ ලාෆ් සිලින්ඩරයක්... නංගිලගෙ ගෙදරත් එහෙමයි. දැන් ඉතින් ඒ ඔක්කොම අහවරයි. ගමේ ගෙවල් ඔක්කොම ආපහු දර ලිපට ඇවිත්... පෙරලුණු පිට හොඳයි කියලා පෝරණු ලිප් අලුත්වැඩියා කරල අරන්... මෙහෙ ඉතින් කොහෙ දර ලිප් හදන්නද?

පහුවුණු මාසෙම කළේ රයිස් කුකර් එකේ බත උයාගෙන, ඒ වෙලාවෙම තම්බගන්න පුළුවන් එළවළුවකුත් තම්බගෙන කාගෙ හරි ගෑස් ලිපකින් යාම්තමට කිරි ටිකක් දාලා ගන්න එක. එක ව්‍යාංජනය ගාණෙ අපි තුන්දෙනෙක් හදලා බෙදාගන්නවා. 

(අපේ දෙවෙනි ගෑස් එකත් ඉවර වුණේ නත්තල ලබන්නත් කළින්... තවමත් කවුරුත් අලුත් ගෑස් සිලින්ඩර ගත්තෙ නෑ. මොනව කරන්නත් ජීවත් වෙලා ඉන්න එපැයි... )

එළවළු සලාදත් මේ කාලෙට නැගල යනවා. තම්බගන්න එළවළුවලට ගම්මිරිස්, ලුණු කුඩු ටිකක් ඉහළ ගත්තත් ගාණක් නෑ. අපේ රස දිව පුරුදු වෙලා තියෙන්නෙ තුනපහ පදමට දාලා, කිරි හරි තෙල් හරි දාලා හෝ ගාලා උයාලා ගන්න ව්‍යාංජනවලටනෙ. දැන් ඉතින් ඒ ක්‍රමේ වෙනස් කරගන්නයි වෙලා තියෙන්නෙ.

තනිකඩයින්ට මේ කාලෙ කොහොමහරි ගැටගහගන්න පුළුවනි. ඒත් හතර පස්දෙනෙක් ඉන්න පවුල් කොහොමද කරගන්නෙ... 

31 රෑටත් කඩෙන්ම කාලා යසට නිදාගත්තා... උදේ නැගිටලා කට්ටියමට කිරිබතක් හදන්නත් පොරොන්දු වෙලා උන්නෙ... කළින් දාම මිරිසට මාළු හදල තිබ්බා. එළවළු කනවට වඩා මාළු ලාබයි වගේ... කැකුළු හාල් හෝදලා රයිස් කුකර් එකට දාලා පොල් ගෙඩිය බින්දා... පොහ් පොහ් පුස් සද්දයක් බිඳෙන්න ටිකක් වෙලා ගියා. හපෝයි ඇතුළ ගන්න දෙයක් නෑ. ඉතින් මොන කිරිබත් ද?

කැකුළු බතට මිරිස් මාළුත් එක්ක පරිප්පු ටිකක් තෙල් දාලා ගත්තා.

ඔන්න ඔහොමයි 2022 ජයටම පටන් ගත්තෙ....

..............

2021 නිහඬව ගෙවුණට මොකද ආපහු හැරිල බලද්දි සෑහෙන වැඩ කොටසක් කරල තියෙන බවත් සිහිපත් වුණා. කතන්දර හැන්දෑවෙ දරුවො තමයි ගෙවුණු අවුරුද්දෙ වටිනාකම නැවත මතක් කරල දුන්නෙ. ඒ ගැන එෆ්බී එකට ලියලත් ආපහු ඔන්ලි මී දැම්මා. ගෙවුණු අවුරුද්ද මං හිතන්නෙ බ්ලොග් එකත්, එෆ්බී එකත් එක්ක අඩුවෙන්ම ගනුදෙනු කළ අවුරුද්දක්... 

මේ තියෙන්නෙ මූණුපොතට ලියූ සටහන....

2021 වසරේ ජීවිතය සතුටින් පුරවා ලූ තැන.... කතන්දර හැන්දෑව... නිරෝධායන ඇඳිරි නීති සමයේ පවුලේ දරුවන්ගේ මූණු දැක බලා ගන්නට ආරම්භ කළ කතන්දර හැන්දෑව ළක්රිවි එකතුව එක්ක වඩා පුළුල් වෙමින් දරුවන් එක්ක ගත කළ සුන්දර හැන්දෑවන් රැසක් ජීවිතයට එක් කළා... දරුවන්ගේ සුබ පැතුම් දකිද්දියි මේ සටහන වුණත් ලියන්න හිතුණෙ...
තරු නැන්දා, තරංගි නැන්දා 'කතන්දර නැන්දා' වීම 2021 සදානුස්මරණීය සැමරුමක්...
විපුලි නැන්දා මෙහෙයවන කවි සැඳෑව පුංචි කවි කිවිඳියන් රැසක් බිහි කරමින් ඉන්නා බව දැකීමත් සතුටක්...
ආපසු හැරී බලද්දි.... ප්රීතිමත් පියවර රැසක් 2021 වසරට අයිති බව පසක් වුණා...
* යොවුන් සමාධි, යෞවන වසන්ත වින්දන දැහැන (කවියක්, ගීතයක්, පොතක්...)
* දිවැසිවර සාහිත්යයක මංපෙත් - කතිකාව ඒ හරහා බිහි වූ විණැන සාහිත සැඳෑව
* අද ජේසු සාමූහිකයේ අත් නොහරින අත්වැල
* ළක්රිවි දරුවන්, ළමුන් කැටුව යන්නන් සමග දුරස්තව නමුත් හර්දයාංගමව කළ වැඩ...
* විපුලි අක්කාගේ මැදිහත්වීමෙන් කළ සාහිත්ය කටයුතු...
ඒ අතර ආදරයම අරන් ආව අප්රමාණ මිනිසුන්....
2022 ජීවන අරගලයේ අපහසුම වසරක් වේවි ! සමාජ අරගලයකින් තොරව ජීවන අරගල පමණක් ජය ගත නොහැකි බව වඩ වඩාත් අපට පසක් කර දේවි... ආදරය, විශ්වාසය, බලාපොරොත්තුව තමයි මේ ගමනේ එකම හයිය... අත්වැළ...

2022 බ්ලොග් එකට මොන මොනවා හරි නිතර ලියන්න හිතන් ඉන්නවා... අනේ ඒකට මගේ හිත කම්මැලි නොවේවා...!

7 comments:

  1. එවා හරි වටින වැඩ අක්කා . උනනු ගමන් මාත් එබිලා කොවිඩ්‍ ගැන කියා දුන් හැටි මතක් වුනා

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තුතියි නංගි. හැකි හැම වෙලාවකම ඇවිත් අපිත් එක්ක ඉන්නවට. ඒ වගේම දරුවන්ට ඉතා වැදගත් කාරණා කියා දෙනවාට....

      Delete
  2. බයි මහත්මයෙක් ගෙන ක්රිබත් ඉල්ලුවේ නැත්ද?
    ඒ වගේම (2021) අවුරුද්දක් මේ වසරේදීත් ලැබේවා. ඔය පටන් ගත්තේ ලියන්න.
    සුභ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. කිරිබත්වත් එපා බයි මහත්තුරුන්ගෙන් නම් අයියේ...

      ඔයාටත් පවුලේ සැමටත් සුබ නව වසරක්...!

      Delete
  3. දෙනවිට සතුට සේවය තව පිරිසකට
    ලැබෙන සතුට බෑ කොහොමත් මනින්නට
    විසි එක ජය වුණා වාගේම විසි දෙකට
    යන්න තරූ, ජය වෙනවාමයි ඔබට!

    ReplyDelete
    Replies
    1. ඇත්තයි ජීවිතය ගෙවුණේ ළමා ලොවේ
      ඒ සුරතල් සිනා මැද ජීවිතය ගෙවේ
      ආසිරි සුබ පැතුම් සැමගෙන් නිති හිමි වේ
      තුති ගී කිය කියා තව වැඩ කරමි ලොවේ

      ස්තුතියි නිමල් අයියේ...

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...