මැදින් මහේ
16 වෙනි ශනිදාව වෙන් කරල තිබුණෙ ළ.ක්‍රි.වී. කටයුත්තකට.. “ වර්තමාන ළමා පරපුර
මුහුණ දෙන අභියෝග හමුවේ ළමා ක්‍රියාකාරී වීරයෝ ව්‍යාපාරයේ ගමන්මග කෙසේ සකස්
විය යුතුද? ” උදැහැනැක්‍කෙම යන්න ලෑස්ති වෙද්දි නවාතැනේ
නැන්දණිය පැවසූ කතාවක් මා සිත සසල කළා වගේම
දවසේ කටයුත්ත කොයි තරම් බැරෑරුම්ද යන්න නැවත නැවතත් සිතන්න මා පෙළඹෙව්වා. ඇය
ප්‍රාථමික පාසකල විදුහල්පතිනියක්.
පාසලේ හතර
වසර පුතෙක් අසල්වැසි පාසලක පහ වසර පුතෙක් සමග ලිංගික හැසිරීමකට යොමු වෙලා. මේ
කතාව හෙලි වී
තිබෙන්නෙ මේ දරුවාගේ වෙනසක් දුටු ගුරුතුමිය ඒ ගැන විමසා බැලීම නිසයි. නමුත් ඛේදවාචකය එය
පමණක්ම නොවේ. මේ පුතා පියාගේ දෙවෙනි විවාහයේ දරුවෙක්. තව ඔහුට දෙක වසර
නැගණියක් සිටිනවා.
පළමු විවාහයේ
දරුවා නමය වසරේ. නමුත් පාසල් බෑගයේ කුඩු පැකට් එකක් තිබී අසුවීම නිසා පාසලෙන් අස්
කරලාලු. ඔහු තවමත් නිවසේ ඉන්නෙ. අයියා තමන්ගෙ
දෙක වසරේ නංගිව ලිංගිකව පාවිච්චි කරන බවත් මේ දරුවා ගුරුතුමියට හෙළි
කර තිබෙනවා. අයියාට පුංචි අම්මා අරන් දුන් පරිගණකයක් තිබෙනවාලු. මව්පිය දෙදෙනාම
රැකියාවට යන නිසා දවල් කාලයේ නිදහසේ ඔහු පරිගණකය භාවිත කර අසැබි වීඩියෝ පට
නරඹනවාලු.
දෙමව්පියන්ව
පාසලට ගෙන්වා මේ ගැන දැනුවත් කර ඇති අතර තරවටු නොකර උපදේශනය, ආදරය තුළ ළමුන් නිවැරදි
මගට ගන්නා ලෙස උපදෙස් දී ඇති බවයි නැන්දණිය මා හා පැවසුවේ.
‘‘ඔයාල ළමයි
එක්ක වැඩ කරන නිසා මේ වගේ දේවල් දැන ගෙන ඉන්න ඕන...” ඇය අවසානයේ පැවසුවා.
ළ.ක්‍රි.වී.
කාර්යාලයේ පැවති විවෘත සංවාදයේ ආරාධිත දෙසුම පැවැත්වූවේ නීතිඥ කළණි අප්සරා මෙනවිය.
ලිංගික අපචාරයන්ට සහ අපයෝජනයන්ට ලක් වූ ළමුන් ගැන, එවැනි ළමුන් සමග කටයුතු කරන්නෙ කෙසේද, ළමුන් එවැනි ව්‍යසනයන්ට ලක් වන්නට ඉඩ නොදී රැක ගන්නේ කෙසේද? යන කරුණු පිළිබදව ඇය සාකච්ඡා කළා.
ඇය කී කරුණු
අනුව නම් මේ සියලු ගැටළුවලදී නීතියේ පිළිසරණ ලැබෙනවාලු. නීතියේ අවශ්‍යතාව
ආදරණීය සමාජයක් ගොඩ නැගීමලු. නීතිය අර්ථකථනය කරන අය, නීතිය ක්‍රියාවට යොදන අය එය
නිවැරදිව ඉටු නොකරන නිසාලු මිනිසුන් නීතිය විශ්වාස නොකරන තැනට පත් වෙලා තියෙන්නෙ.
මේ ආශ්චර්යමත්
පොළවේ යථාර්ථය තුළ නම් නීතියෙන් අසරණයින්ට, ඵීඩිතයන්ට පිහිටක් ලැබේවි යැයි
බලාපොරොත්තු වීම අසීරුයි. මෙවැනි ව්‍යසනයන්ට ලක් වන දරුවන්ට, කාන්තාවන්ට නීතියෙන්
තබා සමාජයෙන් වත් රැකවරණය නොලැබෙන බවනෙ පසුගිය කාලයේ අපේ අත්දැකීම. විශේෂයෙන්ම
මාධ්‍ය මෙවැනි සිදුවීම් තලු මරමින් අලෙවි කරන ආකාරය නින්දිත බවයි මගේ හැගීම...
ඉන්පසුව දරුවෙක්/කාන්තාවක් නැවත සමාජයට මුහුණ දෙන්නේ කෙසේද?
අද කුඩා
දරුවන් පවා කුමන හෝ ලිංගික කටයුත්තකට පෙළඹෙන බවක් දක්නට තියෙනවා. ඔවුන් එවැනි
දේට යොමු වෙන්නෙ ලිංගිකත්වය ගැන අවබෝධයකින් නෙවෙයි.
අන් කෙනෙකුගේ පෙළඹවීම
මත, එසේ නැතිනම් තමා ඇසු දුටු එවැනි සිද්ධීන් නිසා ඇති වන කුතුහලය සහ පෙළඹවීම
මත.
ළමා අපචාරයක්
කියන්නෙ ළමයකු තමන් විසින්ම වැරදි ක්‍රියාවක් සිදු කිරීම.. වැරදි හැසිරීමකට යොමු
වීම. බොරු කීම, සොරකම් කිරීම, ළමුන් අතර සිදු වන ලිංගික ක්‍රියා උදාහරණ විදියට
දක්වන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නෙ, බලපාන හේතු මොනවද සොයා බැලීමත්, ඉවසීමෙන්
ආදරෙයන් අවශ්‍ය පිලියම් යෙදීමත් වැඩිහිටි සමාජයේ වගකීමක්.
ළමා අපයෝජනය
කියන්නෙ වැඩිහිටියන් විසින් වචනයෙන්, ක්‍රියාවෙන් ළමුන් වැරදි දෙයට යොමු
කරවීම, යොදා ගැනීම...
ළමයින්ට සත්තු
වත්තේම නම් කියමින් බැණ වැදීම, කාලකණ්ණියා, මෝඩයා වැනි වචන පාවිව්චි කිරීම පවා ළමා
අපයෝජනයක්. තාත්තා කෙනෙක් දරුවෙක් ලවා සිගරට්ටුවක් ගෙන්වා ගැනීමත් ළමා අපයෝජනයක්.
, මත්පැන් මත්ද්‍රව්‍ය බෙදා හැරීමට ළමුන් යොදා ගැනීම, ලිංගික කටයුතුවලට යොදා
ගැනීම ළමා අපයෝජන....
දැන හෝ
නොදැන අප අතිනුත් ළමා අපයෝජන සිදු වන්නේද යන්න සිතා බැලිය යුතුයි නේද?
අද ළමා ලොව
හරිම සංකීර්ණයි. ළමා මනස තේරුම් ගන්නට, ළමා මනස ආමන්ත්‍රණය කරන්නට වැඩිහිටි අපි
අළුතෙන් ඉගෙන ගත යුතු කාලය එළඹිලා.. දැනුමෙන් අවබෝධයෙන් අද දරුවන් අපට බොහෝ
ඉදිරියෙන් සිටින්නෙ. නමුත් ඔවුන්ට දැනුම
ලබා දෙන මාධ්‍ය ළමුන් වෙළද භාණ්ඩයක් ලෙස සලකනු විනා, ඔවුන්ට ජීවිතයේ වටිනාකම
පිළිබදව අවබෝධයක් ලබා නොදීමයි ගැටළුව...
එනිසාවෙන්
මව්පිය, ගුරුවර, වැඩිහිටියන් පවතින සමාජය අළුතෙන් කියවිය යුතුයි. හැදෑරිය යුතුයි.
දරුවන්ට සමීප වන්නට අළුතෙන් ඉගෙන ගත යුතුයි. අපි නිවසේ බොහෝ වැරවීරියෙන් බෝසත්
දරුවෙක් හැදුවත් ඵලක් නැහැ.. අපි ඔහු නිවසින් පිට කර හරින්නේ පිරිහුණු , අන්ධකාර
සමාජයකට නිසා.... මගේ දරුවා සත්ගුණවත් වූ පමණින් ඔහුගේ ජීවිතය සුරක්ෂිත නැහැ.
ඇත්තම
කාරණයනම් අපේ දරුවන්ට දරුවන් ලෙස ජීවත් විය හැකි සමාජයක් ගොඩ නැගීමේ අභියෝගය
සියල්ලට පළමුවෙන් පෙරමුණ ගත යුතු බවයි. අපේ දරුවන් කියන්නෙ සිංහල, දෙමළ,
මුස්ලිම්, දුප්පත්, පොහොසත් ආදී වු කිසිදු වර්ගීකරණයකට හසු නොවූ දරුවන්...
සියලුම දරුවන්....