පිටු

Wednesday, March 13, 2013

80 විය සපුරන එස්.ජී. පුංචිහේවා නම් සුන්දර මිනිසා





ප්‍රවීණ ලේඛක, නීතිඥ, සමාජ සහ දේශපාලන ක්‍රියාධර එස්.ජී. පුංචිහේවා මැතිුන්ගේ 80 වෙනි ජන්ම දිනය ඊයේට ( 2013 මැදින් මස 12 වන දින ) යෙදී තිබුණා. ඒ වෙනුවෙන් එතුමාගේ අළුත්ම පොත් පහක් එළිදැක්වීම, සුභාශිංසන පිරිනැමීම මුල් කොට ගත් සාහිත්‍ය උත්සවය ඊයේ ප.ව. 3.00 ට කොළඹ ජයවර්ධන කේන්‍ද්‍රයේදී පැවැත්වුණා. 

උත්සව ශාලාව ලේඛකයන්, මාධ්‍යවේදීන්, සමාජ දේශපාන ක්‍රියාධරයින්ගේ පිරී පැවතීමම එතුමාගේ අමිල මෙහෙවරට පූර්ණ සාක්ෂි දැරීමක්.. ඒ වගේම අපූරු කෘතගුණ දැක්වීමක්.. 

උත්සව සභාවේ මුලසුන දැරුවේ සිරිලාල් කොඩිකාර මහතා. 

දෙනගම සිරිවර්ධනයන් එස්.ජී. පුංචිහේවා මහතාගේ ජීවන අන්දරය මහත් පරිශ්‍රමයෙන් සකසුරුවමින් ගොනු කොට සභාගත කළේ අපූරු තොරතුරු රැසක් එළිදරව් කරමින්. 

ජයතිලක කම්මැල්ලවීරයන් එතුමාගේ ලේඛන කලාවේ සෞන්දර්යය සහ උත්ප්‍රාසය සමග මුසු කොට දෙන දේශපාලන දැක්ම පිළිබදව කතා කළා... 

රාවයේ ජනරංජනයන් කළ උද්වේගකර කතාව මුළුමනින්ම දේශපාලන දැක්මකින් එතුමාගේ මෙහෙවර විශ්ලේෂණය කරමින්, පවතින සමාජ යථාර්ථය තුළ පුද්ගල කාර්යභාරය කුමක් විය යුතුද? කෙසේ විය යුතුද? යන්නත් අවධාරණය කළා. 

රාත්‍රියට පෙර නවාතැන්ගත විය යුතු නිසා මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ සහ එස්.ජී. පුංචිහේවා මහතාගේ කතා අසන්නට ඉඩක් ලැබුණේ නැහැ. ඒ පිළිබදව කණගාටුයි.

උත්සව සභාව ගීතවත් කළේ ජයතිලක බණ්ඩාරයන්..... රත්න ශ්‍රී විජේසිංහයන් සහ මංජුල වෙඩිවර්ධනයන් ලියූ ගේය පද රචනා එතුමන්ට අගනාම උපන්දින තිළිණ වූවාට සැකයක් නැහැ... 

සියල්ලන් අත තැබූ පුංචි සමරු සටහනේ එක් පසෙක ''වස්සානයේ කවියා රත්නේ " අනෙක් පස ''වෙඩි තියන කවියා මංජුල''... සුන්දර මිනිසකු වෙනුවෙන් ඉපදුණු‍ ආදරණීය සිතුවිලි... 

අවුරුදු 80 ක් වුවත් එස්.ජී. පුංචිහේවා නම් අපුරු මිනිසා තවමත්  තාරුණ්‍යයේ.. එහි රහස ඔහු සමාජයට අයිති වූ මිනිසකු මෙන්ම, තමන්ටත් අයිති වූ මිනිසකු වීම බවයි කම්මැල්ලවීරයන් ප්‍රකාශ කළේ... තමන්ගේම ජීවිතය සම්බන්ධයෙන් ඔහුට ඔහුගේම ප්‍රතිපත්ති මාලාවක් ඇති බවත්, වෙලාවට කෑමබීම ගැනීම, ව්‍යායාම කිරීම, මද පමණින් මධු විත සප්පායම් වීම වැනි තමන් වෙනුවෙන් සකසා ගත් ප්‍රතිපත්ති ඔහු‍ගේ නිරෝගී තාරුණ්‍යයට හේතු වූ බවයි කම්මැල්ලවීරයන්ගේ අදහස.... 

එස්.ජී. පුංචිහේවා සුන්දර මිනිසාණෙනි, අපෙත් ආයු ගෙන තවත් බොහෝ කල් නිදුක් නිරෝගීව දිවි ගෙවමින් විප්ලවයට පණ පොවන්නට ඔබට හැකි වේවාය ආදරයෙන් සුබ පතමි.

( 2013 මාර්තු 10 රාවය පුවත්පතේ 23 වන පිටුවේ එස්.ජී. පුංචිහේවා මහතා සමග කළ සාකච්ඡාවක් සහ එතුමා‍ වෙනුවෙන්ම වෙන් වූ ''මකරන්ද'' කවි දකින්නට හැකියි. එතුමාගේ නවතම කෘති පෙළ සුරස ප්‍රකාශනයකි. 

ඊයේ උත්සවයට සම්බන්ධ වෙමින් සිටියදී මට මෙහෙම දෙයක් හිතුණා...  71, 89 භීෂණ සමයන්වල ඒ වගේම යුද්ධ සමයේ මෙවැනි වටිනා මිනිසුන් කී දාහක් අපට අහිමි වෙන්නට ඇත්ද? අප අහිමි කර ගන්නට ඇත්ද කියල.... 

ඒ වගේම තමන්ගේ ජීවි‍තයේ හොදම කාලය සමාජය වෙනුවෙන් කැප කරල අද කාගේවත් අවධානයක්, ඇගයීමක් නැතිව වියපත්ව සිටින කලාකරුවන්, මාධ්‍යවේදීන්, සමාජ දේශපාලන ක්‍රියාධරයින් කොතරම් ඇත්ද? ඔවුන් සම්බන්ධයෙනුත් සොයා බලා මෙවැනි ඇගයීම් සිදු වෙනවනම් කොතරම් අපූරුද? )

7 comments:

  1. මම ද බොහොම ළඟින් ඇසුරු කළ සහෘදයන් කීපදෙනකු ගැනම ලියැවුණු හෘදයංගම සටහනක්..

    ReplyDelete
    Replies
    1. නලින් ඊයෙ ඉන්නත් ඇති නේද? දන්නා හදුනන මූණු ගොඩක් තිබුණා... ඒ අතර ඔබ දුටුවෙ නැහැ.

      Delete
  2. මේ තමයි අපේ රටේ සම්පත් තරු . අඩු ගානෙ මේ වටිනා මිනිසුන්ගේ අවසාන කාලෙවත් ඔවුන්ව සතුටෙන් තැබිය හැකිනම් කොච්චර දෙයක්ද .

    ReplyDelete
    Replies
    1. මෙවැනි සුන්දර මිනිසුන් අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕන ගිම්...

      Delete
  3. මම ඇහුවෙත් අදමයි... මේ වගේ වැදගත් ඒත් අප්‍රසිද්ධියෙම අවසන් සැදෑසමය ගෙවන පුද්ගලයො රැකගන්න ඕන.. ඔවුන්ව අගයන්න ඕන... අනේ මංදා... කාට කියන්නද

    ReplyDelete
  4. //ඒ වගේම තමන්ගේ ජීවි‍තයේ හොදම කාලය සමාජය වෙනුවෙන් කැප කරල අද කාගේවත් අවධානයක්, ඇගයීමක් නැතිව වියපත්ව සිටින කලාකරුවන්, මාධ්‍යවේදීන්, සමාජ දේශපාලන ක්‍රියාධරයින් කොතරම් ඇත්ද? ඔවුන් සම්බන්ධයෙනුත් සොයා බලා මෙවැනි ඇගයීම් සිදු වෙනවනම් කොතරම් අපූරුද?//

    සම්පූර්ණ ඇත්ත කතාවක්...!!!

    ReplyDelete
  5. සිවිල් සමාජයේ විනිත ක්‍රියාකාරිකයෙකු හැටියට එතුමා ප්‍රසිද්ධයි.. එතුමාට දිගාසිරි වේවා...
    අස්වැන්නේ ඉදිරි ලිපි මාලාවම ජයතිලක බණ්ඩාරයන් සහ ඔහුගේ ගිත කලාව වෙනුවෙන් කොටස් 05ක් වි තර ලියවෙනවා ලබන සතියේ සිට ලැබුනොත් කියවන්න.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...