පිටු

Friday, March 8, 2013

නැවත හමුවූ සොඳුරු මිනිසා



“ විප්ලවය මෙහෙයවන්නේ ප්‍රේමය විසිනි ” චේගේ කියමනකි. 

ප්‍රේමයද විප්ලවයක් වන විට විප්ලවය මෙහෙයවන්නට ප්‍රේමයට හැකි වීම අරුමයක් නොවේ. ජීවිතයට ඇති ආදරය, මනුෂ්‍යත්වයට ඇති ආදරය, ලෝකයට ඇති ආදරය, ආදරයට ඇති ආදරය විප්ලවයට හුස්ම පිඹියි. විප්ලවයට මං පෙත් තනයි. විප්ලවය තුළ කුරුසගත වෙන්නට ධෛර්යය දෙයි.

මේ සියල්ල  සිහිපත් වූයේ වසර 15 කට පසු නැවත ඔහු හමු වූ නිසාය. 1998 වසරේ ඔහු මට හමුවන්නේ ළ.ක්‍රි.වී. සොයුරකුගේ මාර්ගයෙනි. ඒ මුල්ම හමුවීම මතකයේ රැඳී ඇතත් එය එතරම් ගැඹුරට කා වැදුණක් නොවේ. “පුදුමාකාර මිනිසෙකි” යන හැඟුම පමණක් ශේෂ වී තිබිණි. ගමෙන් එහාට තනියෙන් එන්නට නොදැන සිටි ඒ අවධියේ විප්ලවවාදියෙකුව තේරුම් ගන්නට හෝ විප්ලවවාදියකුට පෙම් කරන්නට හෝ ධෛර්යයක් හිත අහළකවත් තිබුණේ නැත. 

නැවත ඔහු මට හමුවන්නේ ජනරළ විසින් සංවිධානය කළ නවම් මස 15 දින, ජාතික පුස්තකාල ප්‍රලේඛණ ශ්‍රවණාගාරයේ  පැවති ‘‘සෙංකොට්ටං” කතාබහට යමින් සිටියදී දොරටුව අබියසදීය. දෙවරක් නොසිතා මම ඔහු වැළදගතිමි. ඒ පැරණි මතකය හිත තුළ නොනිමි සුවඳක්ව රැඳී පැවති නිසාවෙනි. 

මරණය පෙනි පෙනී ජීවිතයට මේ සා වටිනාකමක් එක් කරන්නට තරම්, නාසි වධකාගාරයේ අප්‍රමාණ වූ ශාරීරික මානසික වධ වේදනා මැද මෙලෙස අකුරු කරන්නට තරම් ධෛර්යයක්  මිනිසකුට තිබිය හැකිද? ඒ ධෛර්යය උපදින උල්පත කොහිද?

මම ඒ උල්පතේ ඇරඹුම සොයා ගතිමි. ඒ උල්පතට පන්නරය වූ, ආලෝකය වූ මග සොයා ගතිමි. 

ඒ උල්පත අන් කිසිවක් නොව ප්‍රේමයයි. චේ විසින්ද පවසා ඇති පරිදි මෙබඳු ප්‍රාතිහාර්යයක් කළ හැක්කේ ප්‍රේමය විසින් දල්වාලන ලද හදවතකටම මිස අන් කවරකුටද? 



ඔගස්ටිනා අමනාප නොවනු ඇත. ඇය මෙන් වන්නට සිහිනෙනුදු නොහැකි වුවද මම ‘‘ජුලියස් ෆුචික්” ට පෙම් කරමි. හිට්ලර්ගේ ෆැසිස්ට් පාලනයට විරුද්ධව නැගී සිටි, ඒ නිසාම අප්‍රමාණ වධ විද, ජීවිතයෙන් වන්දි ගෙවූ ඔහු ලියූ ‘‘පෝරකයේ සටහන් ” මනුෂ්‍යත්වය පිළිබඳව පැන නගින්නාවු අප්‍රමාණ ප්‍රේමයකින්, දයාවකින් මෙන්ම බලාපොරොත්තුවකින්ද තොරව කියවිය නොහැකිය. 

මේ සොඳුරු සටහන ලියූ මිනිසාටත්, ඔහුගේ ‍ප්‍රේමය දිනු ගැහැණියටත් පෙම් නොකර සිටිය හැකිද අපට? හිස නොනමා සිටිය හැකිද ඒ අප්‍රමාණ ප්‍රේමයට... 


‘‘ 1943 මැයි 19 අද රාත්‍රියේදී ඔවුහු මගේ බිරිඳ ඔගස්ටිනා වහල් මෙහෙය සඳහා පෝලන්තයට ගෙන ගියහ...........

මෙම සටහන් කිසි දිනක අවසන් කිරීමට කාලයක් නොතිබෙනු ඇත. ඉදිරි දින කිහිපයේදීත් මට ඉඩ ලැබෙන පරිදි ලිවීමට යත්න දරමි. ඒත් අද දින මට ලිවීමට නොහැකිය. මගේ මනසත් හදවතත් ඔගස්ටිනා වෙනුවෙන් පිරී ගොස්ය.


අහෝ මගේ ධෛර්ය සම්පන්න සහෝදරිය,


නුඹේ කුඩා සිරුර තුළත් අනර්ඝ ලෙස කැටයම් කළ මුහුණෙහිත් කොපමණ ශක්තියක් වීද? දරුවෙකුගේ බු ඔබේ දෑස්වල කොපමණ මුදු බවක් වීද? නොනැවතුණු අරගලකාරිත්වය සහ නිරන්තර වියෝගය අප සදාකාලික ප්‍රේමවන්තයන් බවට පත් කළේය...... ( 71 පිටුව )

වසර ගණනාවක් අපි එකට වසමින් එකිනෙකාට උපකාර වූයේ මිතුරන් ලෙසින්ය. වසර ගණනාවක් ඇය මගේ ප්‍රථම පාඨකයා සහ ප්‍රථම විවේචකයා විය. ඒ දෙනෙත් මා වෙත යොමු නොවුවා නම් ලිවීම දුෂ්කර කටයුත්තක් විය. වසර ගණනාවක් එක්ව ගිය ගමනේ අපගේ ජීවිත ඉමහත් පෝෂණයක් ලැබීය. අප ආදරය කළ දේශය පුරා අත් අල්ලාගෙන සැරිසැරුවෙමු. අප අතර විවිධ ප්‍රීතිමත් අවස්ථා සහ නඩුහබ තිබිණි. එනම්, අප සතුව පැවතියේ දිළින්න්ගේ දේපළ ලෙස සැලකෙන අභ්‍යන්තර පොහොසත්කම්ය.............

''කොමිසාර් මහත්තයෝ, ඒක නම් මට තර්ජනයක් නෙවෙයි. ඒ තමයි මගේ අන්තිම කැමැත්ත. එයාව මරා දමනවනම් මාවත් මරා දමන්න.'' 

ඒ මගේ ඔගස්ටිනා... අපරිමිත ආදරය සහ ශක්තියයි. ඔවුන්ට අපේ ජීවිත උදුරා ගත හැකිය. ඔව් ඔගස්ටිනා, ඔවුන්ට අපේ ආදරයත්, ගෞරවයත් උදුරා ගත නොහැකිය. ..... ( 72 පිටුව )

මගේ මව්පියන් සතු ආදරය, සරල උත්තුංග බව නිසාම ඔවුන්ගේ ජීවිතවලට හිරු දිලෙන සරත් සමයක් අපේක්ෂා කළෙමි. මගේ බොහෝ කාර්යයන්හි අර්ථය වූයේ එයයි. .... ( 75 පිටුව )

මගේ නාටකය අවසන් වීමට ආසන්නය. ‍එම අවසානය ගැන සටහන් කළ නොහැකි වනු ඇත. එය කෙබු අවසානයක් වනු ඇද්දැයි මම තවමත් නොදනිමි. 

මෙය තවදුරටත් නාටකයක් නොවේ. මේ සැබෑ ජීවිතයයි.

අවසන් ජවනිකාව ර දැක්වීම සහා තිරය එසවෙයි.
මම නුඹලාට ආදරය කරමි.
මිත්‍රවරුනි ආරක්ෂා වන්න....... 

ජුලියස් ෆුචික්
1943 ජුනි 09 ( 130 පිටුව )


''පෝරකයේ සටහන්'' - ජුලියස් ෆුචික්
පරිවර්තනය                  - චන්දන සිරිමල්වත්ත
ප්‍රකාශනය                     - සීමාසහිත ලංකා මාස් පබ්ලිෂර්ස්
මිල                                 - රු. 250.00
 


5 comments:

  1. ඉස්සර නම් පණ දාගෙන පොත් කියෙව්වා... දැන් වෙලාවක් නැතිකම නිසා කියවන්නම වෙන්නෙ නෑ.. හයියෝ හයියෝ... ඉස්සර ගෙදර පොඩි පුස්තකාලෙකුත් තිබ්බා.. පොත් 300ට වඩා.. ඒව මොකක් උනාද මංදා

    ReplyDelete
  2. ඊලග සැරේ අක්කි එක්කම තමයි පොත් ගන්න යන්න හිතන් ඉන්නෙ. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ ලිස්ට් එක අක්කි ලග තියනවනේ..

    ReplyDelete
  3. පොත් කියවිල්ලක තරම.. මේවා දැක්කාම අපිටත් කියවන්ඩ හිතෙනවා..

    ReplyDelete
  4. godakma wadagath post ekak ..
    ++++++++++++++++++++++++++++

    ReplyDelete
  5. බොහොම හොඳ පොතක් වගේ.. මම කියවලා නම් නැහැ... මේ දවස් වල කියවන්නේ 'සෙංකොට්ටං".

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...