පිටු

Sunday, April 10, 2016

Universal Movies වෙතින් හිමාලයට...





කොටුව මල්වත්ත පාරෙ Universal Movies වෙත ගොඩවැදුණම ලෝක සිනමාවේ විශිෂ්ඨත්වය, අපූර්වත්වය ඇස් අද්දරම රඟදෙනවා වගේ හැඟීමක් තමයි දැනෙන්නෙ. විකල්ප ධාරාවේ චිත්‍රපට, සම්මානනීය චිත්‍රපට, ආන්දෝලනාත්මක චිත්‍රපට, සොයා ගන්නට අසීරුම චිත්‍රපට ඕන වුණාම අපි යන්න පුරුදු වෙලා උන්නෙ  මල්වත්ත පාරට. Universal Movies වෙතට. අවැසි සිනමාපටය කොහෙන් හෝ හොයා දෙන්නට තරම් ඔවුන් සිනමාවට ළෙංගතුයි. 

‘‘මේ ෆිල්ම් එක ලස්සනයි. බලන්න.“ කියා අත තැබූ එකදු චිත්‍රපටයක්වත් හදවතින් බැහැර වූයේ නැහැ. ඒ තරම්ම ඒ ඇගයීම අගෙයි. නිසැකයි. ඉකුත් සෙනසුරාදාවේ ගිනි ගහන මද්දහනේ ‘‘විශ්වීය සිනමා පියස“ට ගොඩවැදුණු මොහොතේ දැනගන්නට ලැබුණෙ නම් ඇවිළෙන කාරණයක්.

‘‘අපි චිත්‍රපටි වැඩේ නවත්තන්න හදන්නෙ..“

මගේ විතරක් නෙවෙයි, ඒ මොහොතේ එතැනට ගොඩවෙලා නම් ලැයිස්තුවක් අත දරන් චිත්‍රපට සොයමින් උන්නු තරුණයාගේ ඇස් පවා උඩ ගියා.

‘‘ඇයි ඒ.. අපරාදෙනෙ..“ මට කියවුණේ ඉබේටම.

‘‘මේ වැඩේ කරගෙන යන්න හරිම අමාරුයි. ගේ දොර දරුවන්ගේ වැඩ පවා අතපසු වෙනවා.. වෙන බිස්නස් එකක් වගෙ නෙවෙයිනේ. චිත්‍රපටි ගැන හොයන්න ඕන. රෑ නිදිමරන් ඩවුන්ලෝඩ් කරන්න ඕනි. බලන්න ඕනි.. වගකීම වැඩියි. . වෙහෙස වැඩියි.‘‘

හේතු සාධාරණ ය. එබැවින්ම කිසිවක් කිව නොහැකි නමුත් මම යළි යළිත් කිව්වෙ එය අපට නම් බරපතල පාඩුවක් වන බවයි. 

රාවයේ චැප්ලින් කොලම ලියන එරික් Universal Movies වෙත ගොඩවැදුණ බව මම දැන සිටියා. ඔහුගේ අලුත් නව කතාවේ පවා ඒ ගැන සඳහනක් තිබුණා.

‘‘ධර්මසිරි පතිරාජ මහත්තයා, යාපනේ ලෙක්චර් සාමිනාදන් විමල් මහත්තයා ළඟදිත් ඇවිත් චිත්‍රපටි අරන් ගියා. මේ වැඩේ නවත්තන බව මම කිව්වෙ නැහැ.“ 

චිත්‍රපටි කීපයක් රැගත් මම ආපහු හැරුණෙ වසා දමන්නට මත්තෙන් ආයෙම යන අදහසත් හිතේ ඇතිව... බ්ලූ රේ චිත්‍රපටියක් හොයන්නට වෙනත් වීඩියෝ හල් දෙකකට ගොඩ වැදුණම මට වැඩි වැඩියෙන් Universal Movies වල අගය දැනෙන්නට ගත්තා. නමුත් ඉතින් කරන්නට දෙයක් නැහැ. 

ජීවන අරගලය අබියස ජීවන සෞන්දර්යය ගිලිහී යන බවට තවත් සාක්ෂියක්...


සිහින උපදින්නෙ සිහිනවලින්ම වෙන්නත් පුලුවන්.. සමහර සිහිනවලට නම් අත්තටු දෙන්නෙ පොත්, ගීත, සිනමාව, සංගීතය මෙවැනි සකල කලාවන්.. හිමාලය ආශ්‍රිත පරිසර සැරිසරකට නොහිම් ආශාවක් උපදින්නෙත් ඒ විදියට... ‘‘හිමාලය‘‘ සිනමා සිත්තමේ රිදී තැටිය සහිත කවරය දුටුමතින් හිතේ ඇලෙන්නෙත් ඒ නිසාමයි. 

‘‘හිමාලය“ චිත්‍රපටය නේපාලයේ හිමාල කඳු වැටිය ආශ්‍රිතව දිවි ගෙවන ජන සමූහයකගේ කටුක ජීවන අරගලය හා බැඳුණු ධෛර්යය, ආදරය, මනුෂ්‍යත්වය පිළිබඳව වන අපූරු සිනමා සිත්තමක්. පසුබිම නේපාලය වුණාට එය ප්‍රංශ නිමැවුමක්. 


යැක් ගව තවලමක් සමඟ ඉතාම දුෂ්කර මඟක් ගෙවා ධාන්‍ය හුවමාරුව වෙනුවෙන් කඳුකර ලුණු අලෙවි කිරීමට යන ගමනක් මුල් වන මේ චිත්‍රපටය වැඩිහිටි සහ තරුණ පරපුර අතර වන පරම්පරා ඝට්ටනයත්, තවත් විටක සාම්ප්‍රදාය සහ නූතනත්වය අතර ගැටුමක් විදියටත්, මනුෂ්‍ය පැවැත්ම සහ සොබාදහම අතර ගැටුමක් විදියටත් දකින්න පුලුවනි. වඩා වැදගත්ම දේ මේ කුමන ගැටුමක් තුළ වුවත් මනුෂ්‍යත්වය වියැකී නොයා රැකගන්නට සිනමාකරුවා පෙළඹෙන ආකාරය. 

මතකයේ රැඳෙන සුන්දර සිනමා ගෙත්තමක්... ‘‘හිමාලය‘‘.



Directed by

Produced by

 Written by
Starring

Music by

Distributed by

Release dates
13 September 1999 (U.S.)

Running time
108 minutes

Country

Language

26 comments:

  1. මේ චිත්‍රපටය ගැන ටීවි එකෙත් වැඩසටහනක් ගියා. ඔයාගේ විග්‍රහයම තමයි ඒකෙත් කළේ. ඒ වගේම මේ චිත්‍රපටය කරන්න ගොඩක් වෙහෙසිලා තියනවා. ගොඩක් අභියෝගවලට මුහුණපාන්න අධ්‍යක්ෂකතුමාට උනාලු.

    මේ විස්තරයනම් බොහොම අගෙයි තරු....

    ReplyDelete
    Replies
    1. චිත්‍රපටය බලද්දි තේරුම් ගන්න පුලුවනි කොයි තරම් දුෂ්කර වෙන්න ඇතිද කියලා.. චිත්‍රපටය ගැන තව බොහෝ විස්තර කියන්න පුලුවනි..

      බලන අයට විඳින්න අවස්ථාව තියන්න ඕනි කියල හිතුණා.

      Delete
  2. මල්වත්ත පාරෙ කීප විටක් කරක් ගහල තියෙන මං ඔය කියන "Universal Movies" ගැන දැනන් හිටියෙ නැහැ. මට ඉතින් ඔය චිත්‍රපටි බලන්න පුරුදු කළේ ඉස්සර හිටිය යාළුවෙක්. දැන් ඉතින් ඒ යාළුවා බොහොම කලාතුරකින් මතක් වෙන කෙනෙක් වෙලා..

    චිත්‍රපටිය බලලත් නෑ අක්කෙ. හැබැයි මේ සටහන කියෙව්වම නම් බලන්න හිතෙනවා.. :)

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ හොඳම දෙයක් ජීවිතයට දුන් නිසා ඒ යාලුවා නිතර මතක් කරන්න වටිනවා...

      Delete
  3. ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරන්නකැමතිනම් www.seventorrents.com එකට යන්න.හින්දි ඒවනම් අඩුයි ඒත් ගොඩාක් පැරණි ෆිල්ම් එහෙම පහසුවෙන් හොයා ගන්න පුළුවන්. මම ඩවුන්ලෝඩ් කරන්නෙත් ඒකෙන්. විවිධ රටවල ඒවා සෑහෙන්න තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. සලකුණු කරගත්තා.

      Delete
  4. 1999 ආපු ෆිල්ම් එකක් වුනත් මම බලලා නෑ වගේ තමයි මතක.

    ReplyDelete
    Replies
    1. පුංචි කාලෙ මඟහැරුණු පොත්, යෞවනේ මගහැරුණු සිනමාව දැන් තමයි ඒවට ඉඩ හදාගන්නෙ.. ඒ විදියට ආයෙම අල්ලන්න අමාරු මග හැරුණු වේදිකා නාට්‍ය තමයි මල්ලි... ඒව ඉතින් ගියොත් ගියාමනේ..

      Delete
  5. මමනම් චිත්‍රපටි කඩෙන් ගන්නේ නැහැ. හොඳයි කියලා හිතෙන ඒවා ටොරන්ට් මගින් බාගන්නවා. දින කීපයක්, සතියක් දෙකක් යනවා. බැලුවට පස්සේ සිත්ගන්නවා නම්, ඩීවීඩී එකකට ගහලා, මගේ චිත්‍රපටි එකතුවේ තැන්පත් කරනවා. ටොරන්ට් වලින් බෑම සහ ඩීවීඩී වලට පිටපත්කර විකිණීම, මා දන්නා තරමින් නීති විරෝධියි. නමුත් බොහොමයක් චිත්‍රපටි විකුණන කඩවල්, ඒ ක්‍රියාවේ යෙදෙනවා. ඒ නිසා මම මගේ චිත්‍රපටි එකතුවේ ඒවා කාටවත් දෙන්නේ නැහැ. හිමාලය චිත්‍රපටියත් බාගෙන බලන්නම්.

    ReplyDelete
    Replies
    1. විචාරක ළඟ හොඳ චිත්‍රපට එකතුවක් ඇති කියල හිතනවා.. හොඳ සිනමා කෘති ගැන අපටත් කියන්න...

      මාත් හිතනවා මේක නීතිවිරෝධී වැඩක් වෙන්න ඕන.. ලෝක සිනමාව විඳින්න නීතියට පිටින් යන්න සිද්දවෙන වෙලාවල් තියෙනවා කියල හිත හදාගන්නවා..

      Delete
  6. අරගෙන බලන්නම්. ලස්සන කතාවක් කියා හිතෙනවා. කොහොමත් මම ප්‍රංශ සිනමාවට කැමතියි. තරු පුලුවන්නම් බලන්න අර රාමනුජන් ගැන කතාව. මම ඉංග්‍රීසියෙන් බ්ලොග් පොස්ට් එකක් ලිව්වා. සිංහලෙනුත් ලියන්න ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ‘‘රාමනුජන්‘‘ බලන්නම්... ඒ ගැන කොළඹ ගමයටත් ලියන්න...

      Delete
  7. "‍යෙටී" ගැන මොනවත් ඒකෙ තියනවද?

    ReplyDelete
    Replies
    1. චිත්‍රපටයේ නම් ඒ ගැන කතාවක් නැහැ.. ‘‘යෙටී‘‘ මොනවද හොයාන යද්දි මේ සිළුමිණ ලිපිය හමුවුණා..

      http://www.silumina.lk/2008/11/09/_art.asp?fn=as0811092

      Delete
    2. Thanks

      https://en.wikipedia.org/wiki/Yeti

      Delete
  8. ඔය "Universal Movies" ගැන තරු අක්කා කලින් දවසකත් කිව්වා මතකයි.චිත්‍රපටි ගැන උනන්දු සිනමා රසිකයින්ට තමයි එකෙත් පාඩුව.

    ReplyDelete
    Replies
    1. ඔයාලව එතනට එක්කරගෙන යන්න හිටියට බැරි වුණානෙ මල්ලි. දැන්නම් මල්ලි අන්තර්ජාලෙන් හොඳ චිත්‍රපටි බාගත කරගන්න පුලුවන් නිසා ඒ තරම් අවුලක් නැහැ.

      Delete
  9. බලන්න ඕනැ.. පරදේසි ගැන ලිපියෙද කොහෙද මේ ගැන ඔයා ලියා තිබුණා වගෙ මතකයි.
    deja vu,changeling බලලා තියෙනවද.. ඒවා නැරඹිය යුතු චිත්‍රපටි කියා හිතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වර්ෂා.. හොයාගන්නම්..

      Delete
  10. Replies
    1. ස්තුතියි අයියේ...

      මට හිතෙන්නෙ මම ඇතුළු ගොඩක් බ්ලොග්කරුවන් ලියන සාහිත්‍ය කලා රස විඳුම් විචාර ගොඩට දාන්න බැහැ කියලයි.. ඒවා රස විඳීම්... ‘‘සාහිත්‍ය කලා රස විඳීම්‘‘ වගේ නමක් තමයි හොඳ.. මොකද විචාර කියන එක යම් ශාස්ත්‍රානුකූල හැදෑරීමක් එක්ක කෙරෙන්න ඕන විධිමත්, විද්වත් වැඩක්..

      අපි කරන්නෙ අපි නිර්මාණයක් ඇසුරු කළාම දැනෙන හැඟෙන දේ, අපේ විඳිම, අපේ කියවීම ලියන එකනෙ... විචාරය ඊට එහා ගිය බරපතල වැඩක් කියලයි මට හිතෙන්නෙ... නෙළුම් යායෙ විචාර කියන වර්ගීකරණය ඇතුළෙ මේ ලිපිය පළවෙලා තියෙනව දැක්කමයි මට මෙහෙම හිතුණෙ.

      Delete
  11. හිමාලේ ගැන මම බලපු චිත්‍රපටිය එවරෙස්ට්. කඳු නගින්නන් කණ්ඩායමක් ගැන. මේවත් හොයන බලන්න හිතුන තරු අක්ක ලියල තිබුණු විදියට, ස්තුතියි අක්කේ. ඒවගේම සුබම සුබ අලුත් අවුරුද්දක්.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් මල්ලි...

      වෙනස් සංස්කෘතින්, වෙනස් පරිසර, වෙනස් සිතුම් පැතුම් එක්ක ඈඳුණු චිත්‍රපටි බලන්න මං ආසයි.. හිමාලය කියන්නෙත් මට එවැනි අපූරු චිත්‍රපටියක්.. එවරස්ට් තරණයත් එවැනි අත්දැකීමක් ගෙනෙයි කියල හිතනවා...

      Delete
  12. මම බලන්නෙ imdb රේටින් 6න් එහා ෆිල්ම් විතරයි.හොයාගෙන බලන්න ලිස්ට් එකක් දෙන්නම්. tangerines(2013),cell 211(2009),finest hours(2016),city of god(2002),Triangle (2009),el desconocido(2015),Source Code (2011),The Next Three Days (2010),Running Scared (2006),equilibrium(2002),who am i(2014)
    unbroken(2014),valkeyrie(2008),free town(2015),awake(2007),
    big eyes(2014)10,000bc(2008),machine gun preacher(2011),Inside Man (2006),The Shawshank Redemption(1994) තව මතක් උනොත් කියන්නම්.අන්තිමට තියන එක imdb ratings වල ලෝකේ අංක 1
    ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි හසිත... මම මේ ටික හොයාගන්න උත්සාහ කරනවා.

      Delete
  13. ‘‘මේ වැඩේ කරගෙන යන්න හරිම අමාරුයි. ගේ දොර දරුවන්ගේ වැඩ පවා අතපසු වෙනවා.. වෙන බිස්නස් එකක් වගෙ නෙවෙයිනේ. චිත්‍රපටි ගැන හොයන්න ඕන. රෑ නිදිමරන් ඩවුන්ලෝඩ් කරන්න ඕනි. බලන්න ඕනි.. වගකීම වැඩියි. . වෙහෙස වැඩියි.‘‘

    තරූගේ පෝස්ට් එක කියෙව්වේ ලියපු දවසේමයි. ඒත් ඔය උඩින් හයිලයිට් කරපු කෑල්ල දැක්කම මට නිකම් පොඩ්ඩක් අවුල් වුනා.
    ඔවුන්ත් තවත් එක් ජාවාරම් කරුවෙක් විතරයි නේද? මේ ක්‍රෙඩිට් එකට ඔවුන් ගැලපෙනවද?
    සිනමා කර්මාන්තය දවසින් දවසට පහලට වැටෙන්නේ මේ වගේ අය හින්දා කියලායි මම හිතන්නේ. කොටින්ම සිනමා විඳීමකට යන්න ඩවුන්ලෝඩ් කරපු ෆිල්ම් එකකින් පුළුවන්ද?
    සමහරවිට අවුල මගෙ අවෙන්න ඇති.
    ෆිල්ම් එක ගැන කතාව ගැන සපුරා එකඟයි. මේ ළඟදිත් ඒවගේ කතාවක් තියෙන ෆිල්ම් එකක් බැලුවා.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...