මම තාමත් ළමා පොත් කියවන්න ආසයි. මට ළමා වියේ
මගහැරුණු වටිනාම ජීවන අත්දැකීම ළමා පොත් කියලයි අදත් මට හිතෙන්නෙ. පොත් ගුල්ලො වැඩිදෙනෙක් බොහොම කැමැත්තෙන් වර්ණනා කරන රුසියන් සුරංගනා පොත් එකක්වත් මට ළමා වියේ හමුවෙලා නැහැ. ඒ හැම පොතක්ම මං කියෙව්වෙ පසුකාලෙක.
එවකට ගමේ පුස්තකාලයේ තිබුණෙත් ළමා පොත් සීමිත ප්‍රමාණයක්. ඒ නිසා පොත් මුණ ගැහුණු අවස්ථා හරිම අඩුයි. තෑග්ගට පොතක් දෙන්න හිතූ වැඩිහිටියොත් අපට උන්නෙ නැහැනෙ. ඒ විදියට ළමා වියේදි විඳිය යුතු රසවත්
ජීවිත අත්දැකීමක් අහිමිවීමෙන් උපදින හිස්තැනක් පුරවා ගැනීමට දරන උත්සාහයක් නිසාද
මන්දා, මම තාමත් ළමා පොත් කියවන්න ආසයි. සමහරවිට තාමත් මං තුළ ජීවත් වෙන ළමයා
ළමා ලෝකයේ සැරිසරන්න දක්වන ආශාවත් එයට හේතුවක් වෙන්න ඇති.
ළමා, නව යොවුන් සාහිත්‍යය ගැන මගේ උනන්දුව ඇවිළුවෙ
ළක්‍රිවී ළමා සංවිධානය. ළමා, නව යොවුන්, තරුණ වයස්වල අය එක්ක විවිධ වැඩවල
යෙදෙද්දි සාහිත්‍යය ඒකට ලොකු අත්වැලක් වුණා. අපි දරුවන් එක්ක බෙදා හදාගත්ත ලංකාවෙ
නව යොවුන් සාහිත්‍යය තුළ කැපී පෙනුණ ලේඛකයා තමයි දෙනගම සිරිවර්ධන. කතරක පිපුණු මල්
දෙකක්, පුංචි ගොපල්ලා, අපට අපේ අත්, ගුරු පඬුරු, මිතුරෝ වගේ පොත් ළමයි එක්ක කතා බහ
කරන්න සුදුසු, ළමා ලොවට සම්බන්ධ පුළුල් පරාසයක ජීවන අත්දැකීම් අරන් ආවා.
මීට අමතරව දොන් පීටර් පියතුමා, සිබිල් වෙත්තසිංහ,
ටී.බී. ඉලංගරත්න, මාටින් වික්‍රමසිංහ වැනි ලේඛක ලේඛිකාවන්ගේ කෘතිත් ළමුන්ට හඳුන්වා
දුන්නා.
( පරිවර්තන කෘති වැඩි ප්‍රමාණයක් තිබුණත් මෙතනදි මගේ අරමුණ වෙන්නෙ ලාංකේය
නව යොවුන් සාහිත්‍යය ගැන වැඩි අවධානයක් යොමු කිරීම. එතනදි රටක් වශයෙන් අපි
දුප්පත් කියල තමයි මට හිතෙන්නෙ. ඔබ කියවා ඇති යොවුන් සාහිත්‍ය නිර්මාණත් මෙයට
එක්කරන්නැයි ඉල්ලීමක් කරන්න කැමතියි. )
මෑතක මට හමුවුණා යොවුන් සාහිත්‍ය කෘති මාලාවක
පළමු කෘතිය. ‘‘යහළු උණ පඳුරයි හොඳ අත්තම්මයි.‘‘ ජයන්ත කහටපිටිය සහ චමින්ද ක්‍රිශාන්ත
යන ලේඛක මහතුන් දෙපළගේ පරිශ්‍රමය සිත්ගන්නා සුළු, මානව දයාවෙන් පිරුණු සුන්දර නිර්මාණයක්
වී ඇති බවයි මගේ හැඟීම. අපේ පරම්පරාව සහ ඉන් එපිට පරපුරක ළමා වියේ අත්දැකීම්
සමූහයක් මෙයින් නිරූපණය වෙන්නෙ. එය අද දවසේ අපේ දරුවන්ට රසවත් අත්දැකීමක් වනු ඇති
නිසැකවම. ඒ එක්කම කෘතියේ එන ළමා විය තමන්ගේ සත්‍ය ජීවිතයෙන් කොතරම් දුරස්ද යන
හැඟීමත් දැනෙනු ඇති.
අද සෑම මනුෂ්‍ය ජීවිතයක් වගේම ළමා වියත් සංකීර්ණ
ජීවන අරගලයක් බවට පත්වෙලා. මේ මොහොතේ දරුවන්ගේ ජීවිතයේ සැබෑ යථාර්ථය හඳුනාගෙන, එයට
අර්ථවත් ලෙස මුහුණ දෙන්නට හැකි විදියට ළමා මනස ගොඩනඟන ළමා/ යොවුන් සාහිත්‍යයක් අපට
තියෙනවද කියන එක ගැටලුවක්?
ඒ වගේම ළමාවියට අහිමි වී ඇති සොබාදහමේ
සුන්දරත්වය, ළමා වියේ කෙළිකවටකම්, කෙළි සෙල්ලම් පොතපතින් හෝ සමීප කරවන්නට අපේ වර්තමාන
සාහිත්‍යය පොහොසත්ද?
එවැනි සාහිත්‍ය කෘති තිබුණත් අද දරුවන් කියවීමට
රුචිකත්වයක් දක්වනවද? දරුවන්ගේ කියවීමේ ආශාව දල්වන පසුබිමක් පවුල් පරිසරය තුළ,
පාසල තුළ තියෙනවද?
මේව ඉතින් ප්‍රශ්න, විසඳුම් සෙවිය යුතු.
මේ අතර අපේ යොවුන් සාහිත්‍යයට එකතු වුණ ‘‘යහළු උණ
පඳුරයි හොඳ අත්තම්මයි.‘‘ කෘතියට මගේ සුබ
පැතුම් පළකරන්න කැමතියි. ඩොග් ගාලා අතරමඟ නතරවුණ නිසා දැන් ඉතින් කොහොමහරි දෙවැනි
පොත හොයාගන්න ඕනි. කතා මාලාව අතරමඟ නතර නොකර ඉදිරියටම යනව නම් තමයි හොඳ. දරුවන්ට
තෑග්ගක් විදියට අරන් දෙන්නත් වටින
පොතක්...
සුරස පොතක්... මිල රු. 275.00 ( ගමේ පුස්තකාලයට පොත් මිල දී ගන්නා අවස්ථාවේදි විශේෂ වට්ටමක් ලබා දුන් ප්‍රේම් දිසානායක මහත්මාටත්, සුරස කාර්ය මණ්ඩලයටත් බෙහෙවින් තුති!!!)
අපි ක්‍රියේටිව් නැහැ ළමයින් විදියට. මට හිතෙන්නේ ඒකයි. සින්දු, කතන්දර පොත්, ළමා නාට්‍ය ( යම් තරමකට හෝ දියුණුවක් ඇත්තේ එහි පමණයි) , කාටුන් ඔය කොයි පැත්තෙන් බැලුවත් අන්ත දුප්පත්නේ! ඒ ඇයි කියලා ඊයෙත් හවස මම ලූනු කපන ගමන් කල්පනා කළා.
ReplyDeleteඑකනේ ඉන්දියන් කාටුන් දැන් ඒ හිඩැස පුරවන්නේ.
ඔයත් ලූණු කපන ගමන් මාර දේවල්නෙ කල්පනා කරන්නේ...
Deleteඇත්ත අප්පා... ජානකී සූරිආරච්චි ළමා පොත්වලට ආකර්ශණීයබවක් එකතු කළා. ඒත් ඒ වැඩෙත් පහු පහු වෙද්දි කොහු කොහු වගේ ඒකාකාරී වුණා. ඒකත් බිස්නස් එකක් වුණා.
ඔයා හොඳ අත්තම්මයි උණ පඳුරයි පොතේ ලස්සන ළමා කවි ටිකක් තියෙනවා. ඒවා චුට්ටං බිම්මල කියල හඳුන්වල දෙන පුංචි දැරියක් කියන කවි... ඇත්තටම පුංචි කාලෙ ළමයි ඔය විදියට එක එක තාලෙට කවි හදල කියන්න දක්ෂයි. කතන්දර හදල කියන්න දක්ෂයි. මං දන්න දරුවො කීප දෙනෙක්ම උන්නා වෙලාවකට හිතාගන්න බෑ කොහෙන් එහෙම අදහස් එනවද කියල. ඒත් ලොකු වෙද්දි ඒ අදහස් උල්පත් හිඳිල යනව වගේ වෙනවා... අපරාදෙ...
උයනකොට මට හීන ලෝකේ සැරිසරන්න හරිම ලේසියි. ඇයි ටීවී බලන වෙලාවට?? හරි ඒක පැත්තකට දාමුකෝ...
Deleteඇත්ත, ජානකීගේ පොත් ඩිංගක් ඒකාකාරී වැඩියි සහ කමර්ෂලයිස් තමයි, එහෙම නැතුව රැඳෙන්නත් බැහැ. අපි ඉතින් සිබිල් නැන්දම ඉල්ලලා පස් කෑවට හරියන්නේ නැහැනේ. විකල්පයක් නැති හින්ද මිසක්. මට නම් හිතෙන්නේ චිත්‍ර වල තියෙන වැඩිහිටි ගතිය නිසා වෙන්න ඇති සමහර හොඳ කතා පොත් උනත් එතරම් ජනප්‍රිය නැත්තේ. දැන් ළමා පොතකින් උනත් දෙමවුපියෝ බලන්නේ ළමයාට 'දැනුමක්' දෙන්න මිසක් විනෝදයටම නෙවෙයි, ඒකත් බෝරින් වැඩක්!
පුංචි එවුන්ට පොඩි ක්‍රියේටිව් කතාවක් කිව්වහම උන් ලස්සනට හැමදේටම ඒක ගලපලා කතන්දර හදාගන්නවා. වැඩේ කියන්නේ සමහර ළමයි ඒ ක්‍රියේටිව කම නිසාම දොන්තපතන් බොරුත් කියන්න දක්ෂ වෙනවා, හොයන්න බැහැ ලොවෙත්! උදාහරණෙට කිව්වොත්...... එක්කෝ ඕන්නැහ් ! නේද?
ඒ උල්පත් එක්ක අපේ අධ්‍යාපනේ ගැලපෙන්නේ නැති නිසා අකමැත්තෙන් උනත් වෙන දෙයක් බලාගෙන ඉන්න 'පියවි' තත්වෙට ළමයාව අපිට ඇදලා ගන්න වෙනවා. බොහොම කීප දෙනයි එතැනදී සර්වයිව් වෙන්නේ. අනිත් උන් ගානට 'ටාගට්' එකක් බලාගෙන යන්න පුරුදු වෙනවා.
මම හරි ආසයි ඔය යූ -ටියුබ් එකේ තියෙන එක එක ගැජමැටික් වැඩ හදන්න. අහකදාන කාටුන් වලින් ( ෆ්‍රිජ්, වොෂින් මැෂින් වගේ ලොකු භාණ්ඩ ගෙනාපු) මම හැදුවනේ කාසල් එකක්. නියමෙට ආවා පේන්ට් කරලා ගත්තහම.
කෝ ඉතින් මම එක පොතක් ගැනවත් ඔත්තුවක් දුන්නේ නැහැනේ, මම ගැන නයි ඇරියා මිසක්. මට කතෘ මතක නැහැනේ. පස්සේ බලලා ලියන්නද ලිස්ට් එකක්?
ඇත්ත පුංචි එව්වො ක්‍රියේටිව් වැඩිකමට බොරු හද හදා කියන එක ඇත්ත. අපේ මල්ලි පුංචි කාලෙ එහෙම කිව්ව කතාවක් පත්තරේකත් පළවුණා. හැබැයි ඉතින් එච්චරම තමයි. දැන් එයාගෙ පුතණ්ඩියත් ඒ වගේම කතා මවනවා.. ඇස්වලින්, අතින් පයින් පවා රඟදක්වමින්. ඒව ඉතින් බලන් ඉන්න ආසයි...
Deleteඅපි දන්නෝ ඔයැයි තාම පුංචි එකී කියල මදටිය ඇට අහුලන්න ගස් ගානෙ දුවන...
යථා කාලයේදීවත් පොත් ගැන ලියන්නකො. ඔයත් රවී අයිය වගේ පඳුරු තැලිල්ලට නම් යසයි...
//අපි ක්‍රියේටිව් නැහැ ළමයින් විදියට//??? Ah yakoo dn nandalath lamai welaaneh......
Deleteයොවුන් සාහිත්‍ය කෘති අතර මගේ ප්‍රියතම පොත් තුන තමයි කුලසේන ෆොන්සේකා මහත්මයාගේ "තුන් යහළු වික්‍රමය","සෝමපුර වීරයෝ,"කල්ලන්දුවේ මුතු කොල්ලය" පොත් පෙළ.
ReplyDeleteමට අමතක වුණා... ඇත්තටම ඒ පොත් ටිකත් ලස්සනයි. ඔය වගේ ත්‍රාසජනක, අභිරහස්මය කතා කියවන්න ගොඩක් ළමයි කැමතියි.
Deleteඔලු තුනේ යෝධයා කුඩුවල දාල මිනිසුන් හිර කර ගෙන, බඩගිනි උනහම එකෙක් අල්ලාගෙන ගින්නෙන් පුළුස්සල .....
ReplyDeleteමම නම් තාම කැමතියි ඒ වගේ පොත් බලන්ඩ.
මගේ අම්මේ... අමල්බිසෝ කතාව මොන්ටිසෝරියෙදි කියල දෙද්දි බයේ ඇකිළුණු හැටි තාම මතකයි.
Deleteමාත් ළමා පොත් තුනක් ලිව්වා. එකක් මගේම කතාවක් "ගමගෙදර යහළුවෝ". ලිව්වෙ පැරණි කතාවක් ඇසුරෙන්. ඊට පස්සෙ "විජ්ජාකාර කූණිස්සා" හා "පුංචි ඇඟිල්ලා" නමින් කියුබන් පොත් දෙකක් පරිවර්තනය කළා. ඒ පොත් මුද්‍රණ කීපයක්ම අලෙවි වුණා. දැන් හොයා ගන්න නැහැ. ළමා පොත් ලියන එක ලේසි නැති, කල් ගත වන ව්‍යායාමයක් නිසා පසුව මඟ හැරුණා.
ReplyDeleteතරුගෙ මේ පෝස්ට් එක කියවල ළමා පොතක් ලියන්න ආයෙම උත්තේජනයක් ආවා.
හෙන්රි අයියගෙ මේ ළමා පොත් මට අහුවෙලා නැහැ. නරකද ආයෙම පළ කළා නම්...
Deleteආයෙම ළමා පොතක් ලියන්න හිතුණු එක නම් හොඳ දෙයක්...
පුංචි කාලෙමමත් කතන්දර කවි නිර්මානය කලා. මම තුන වසරෙදි මගේම පුංචි පුංචි කතා කවි පිරිච්ච පුස්ථකාලයකුත් මට තිබුනා. තවමත් මම ආසයි ළමා පොත් කියවන්න. දැනටත් හොඳ පොතක් හම්බ වුනොත් කියවනව. මම ආසම පොතක් තමයි අඹයහලුවෝ
ReplyDeleteමඩොල්දූව, අඹයහළුවෝ, මගුල් කෑම, හීන් සැරය, හත්පණ, තුන් යහළු වික්‍රමය මේ වගේ පොත් ආයෙ ආයෙම කියෙව්වත් පුංචි ළමයෙක් වගේ රස විඳින්න පුලුවන්... ඇත්තටම...
Deleteමමත් ඔය ජාතියේ තමා. දොන් පීටර් පිය තුමාගේ වන ගත ළමෝ මම ආසම පොතක්. එතකොට කල්ලන් දූවේ මුතු කොල්ලය, නිධන් දූවේ වීරයෝ වගේ නිධාන කතා වලටත් ගොඩක් ආසයි. අනේ මන්දා ගිය ආත්මේ නිධන් හාරලද මන්දා දැනුත් මම ආසයි ඔය නිධාන සම්බන්ධ චිත්‍රපටි වලට එහෙමත්
ReplyDeleteත්‍රාසජනක, අභිරහස්මය පොත්වලට වඩා මං කැමති පරිසරය, මිනිස් ජීවිත ගැන සංවේදී කතා කියවන්න... ළමා පොත් වුණත් බෙදා වෙන් කිරීමක් නැතිව කියෙව්වට වඩා හිත් ගන්නෙ අර ශෛලියම තමා...
Deleteනිධානය ෆිල්ම් එක තියෙනවා යූටියුබ්... මං ළඟදි බැලුවා...
ඔයාට මතක ඇති අපි මේ ගැන කතා කලා.. මටත් මග හැරුණු පොත් බොහෝමයි...
ReplyDeleteමේ පොත ගැන කියුවට ගොඩක් ස්තුති...
මට මතකයි. ඒ වගේම මට මතකයි ‘‘අන්නා දකින ලෝකය‘‘ පටිගත කරන්න කියවද්දි ඔයා ආසාවෙන් අහන් උන්නු හැටි... අපි ළඟ පාතක හිටියනම් කියල හිතෙනවා.
Deleteජීවිතේ මගහැරුණු දේ බොහොමයි. ඒ හිස්තැන් පුරවගන්න හැකි විදියට උත්සාහ ගනිමු. කොහොමත් කාටවත් හැමදේම සම්පූර්ණ කරගන්නත් බැහැනෙ.
I still read comics. Mostly Marvel. Also, have a collection of Tintin, Asterix, Lucky Luke, Biggles, War comics etc.
ReplyDeleteI read all Harry Potter and Artemis Fowl books and some Percy Jackson books.
දරුවන්ට පොත් ලියන්න අමාරුයි. පරිකල්පන ශක්තියක් හිමි ඔවුන් ලේසියෙන් පොතකට බැඳෙන්නෙ නෑ ඒක බොහොම වෙනස් ඝනයේ එකක් නොවේනම්. බොහොම කාලයක් යනකම් ළමා පොත් හොයමින් කියෙව්වා. පසු කලෙක ඉංග්‍රීසි සාහිත්‍යයේ ළමා පොත් පත් පවා කියෙව්වා. මට හිතෙන්නේ අද වෙනකොට දරුවන් මේ දේවල් වලින් ඈත් වෙනවා. ඒවෙනුවට ඩිජිටල් සාහිත්‍යයක් මැවේවි.
ReplyDeleteහොයාගෙන කියවන්න ඕනෑ. ස්තුතියි අක්කේ තොරතුරට
ReplyDeleteමේ පොත හොයා ගෙන කියවන්න ඕනා. රසවත් ඇති
ReplyDeleteඅමල්බිසෝ kathwa hariyata dnna kenk innawada
ReplyDelete