පිටු

Wednesday, March 27, 2019

යොවුන් වසන්තයේ දුහුල් වලාකුළේ...


යොවුන් වසන්තයේ දුහුල් වලාකුළේ...
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා...
කළල විය, බිළිඳු විය, ළමා විය, නව යෞවනය, තාරුණ්‍යය, වැඩිහිටි විය, මහලු විය මේ කුමන ආකාරයේ ජීවන අවධියක් ගත්තත් එයටම අනන්‍ය විචිත්‍රබවක්, අගයක්, අර්ථයක් තියෙනවා. අදාළ ජීවන අවදිය ගතකරන්නා, පසුකරන්නා මෙන්ම සෙසු අයත් ඒ ගැන මනා වැටහීමකින් කටයුතු කළොත් තමයි ජීවිතය වඩා සුන්දර තැනක් බවට පත්වෙන්නෙ.

මනුෂ්‍ය ජීවිත පැවැත්ම තුළ ඉතාම වැදගත් ජීවිත සමයක් තමයි නව යෞවනය සහ තාරුණ්‍යය... එය ජීවිත ගමනේ අතිශය තීරණාත්මක කාලයක් වගේම සුන්දර වසන්ත සමයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.
නමුත් මේ සුන්දර වසන්තය තුළත් සැඟවුණු අභියෝග, කුණාටු අනන්තයි. අපමණයි. නිදහස්, සාමකාමී, ආදරයෙන් සහ මනුස්සකමින් පිරුණු ජීවිතයක් දෝතින් පුදන සමාජයක් නෙවෙයි අද තියෙන්නෙ. ඒ බවත් තේරුම් අරන් ඉදිරියට ගියොත් ජීවිතයේ සැබෑ අරුත, සතුට අපට හමුවේවි.

ක්‍රිස්තියානි විමුක්ති දැක්ම ඔස්සේ ඒ ගැන සංවාද වන්නට, විමසිලිමත් වන්නට, අලුතින් සිතන්නට යොමුවක් දෙන වැඩසටහනක් ආරම්භ වෙනවා. ක්‍රිස්තියානි පසුබිමක් මත ගොඩනැගෙන නිසා කතෝලික, ක්‍රිස්තියානි අයට මූලිකව වැදගත් පාඨමාලාවක් වුණත් කැමති නම් සෙසු ඕනෑම කෙනෙකුටත් සහභාගි විය හැකියි. වැඩි විස්තර පහත දැක්වේ...

ගරු පියතුමනි, ගරු පැවිදි සොයුරියනි,
ආදර සොයුරු සොයුරියනි,

‘‘තාරුණ්‍යයට දෙව් දහමක්“ දේවධර්ම පාඨමාලාව

නව යොවුන් වියට සහ තාරුණ්‍යයට විමුක්ති දෙව් දහමේ ආලෝකය තුළ නව ලොව අභියෝග ජයගනිමින් ඉදිරියට යාමට අවැසි දිරිගැන්වීම සහ මඟපෙන්වීම ලබා දෙන නවමු ආකාරයේ දේව ධර්ම පාඨමාලාවක් ‘අද ජේසු‘ තරුණ සාමුහිකයෙන් සංවිධානය කරනු ලැබේ.

මෙය අවුරුදු 16 සිට ඉහළ තරුණ තරුණියන්ටත්, තරුණ තරුණියන් සමඟ වැඩ කරන ගිහි, පූජක, පැවිදි සැමටත්, තරුණ දරුවන් සිටින මව්පියන්ටත් එක සේ වැදගත් වන වත්මන් තරුණ ජීවිතයේ ගැටලුවලට දේව වචනයේ ආලෝකයෙන් පිළිතුරු ලබා ගැනීමට මඟ පෙන්වන පාඨමාලාවකි.

පහත සඳහන් මාතෘකා යටතේ මාසයේ අවසන් සෙනසුරාදා සවස මෙම පාඨමාලාව පැවැත්වේ. ( ආරම්භය මාර්තු 30 සෙනසුරාදා සවස 2.30 - 5.30 දක්වා මරදාන ෆාතිමා දෙව්මැදුරු පරිශ්‍රයේ දෙව් කොදෙව්ව ශාලාව ) 
පාඨමාලාවේ අන්තර්ගතය

1. ජීවිතාර්ථ දෙව් දහම
2. ආදරයේ දෙව් දහම
3. ලිංගිකත්වයේ දෙව් දහම
4. අධ්‍යාපනය හා රැකියාව පිළිබඳ දෙව් දහම
5. සොබාදහම හා තාරුණ්‍යය
6. දේව රාජ්‍යය හා තාරුණ්‍යය
7. පවුල, සමාජය හා තාරුණ්‍යය
8. සාහිත්‍ය කලාව සහ තාරුණ්‍යය
9. මාධ්‍ය හා තාරුණ්‍යය
10. සංතෘෂ්ඨියේ දෙව් දහම
11. යාච්ඤාව සහ තාරුණ්‍යය
12. ලංකාව හා කිතුනු තාරුණ්‍යය

Tuesday, February 12, 2019

O2 for Teen Soul - නව යෞවනයට ජීවිතාර්ථ චිකිත්සාවක්


මා උගත් දීගල්ල රේවත මහා විද්‍යාලය, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය යන පාසල්වලට අමතරව මට අමතක ම නොවන තවත් පාසල් කිහිපයක් ඇත. ගුරු ගීතයේ දුයිෂෙන්ගේ අශ්ව ඉස්තාලයේ ඉස්ෙකා්ලය ද, දඟ මල්ලගේ අමුතු ඉස්කෝලය වූ වයිටලීෆ් පාසල, ටොට්ටො චංගේ හරි පුදුම ඉස්කෝලය වූ කෝච්චි පෙට්ටි පාසල... තව මතකය කලතා ලන්නේ නම් ඒ අතරට නම් කිහිපයක්ම එකතු වනු ඇත.

ඔව් ! තවත් සුවිශේෂ පාසලක් ඒ අතරට එක් කළ හැකිය.

ඒ කළුතර ශුද්ධවු පවුලේ කන්‍යාරාමය ය. මට එය හරි පුදුම ඉස්කෝලයක් ලෙස දැනෙන්නට හේතු වූ කාරණය ලංකාවේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දියුණුව පිළිබඳව සිහින දකින බොහෝ අයට වැදගත් කාරණයක් ම වනු ඇත. 

පාසලක් යනු කුඩා ළමයින්ගේ නැණසලක් පමණක් නොව නව යොවුන් දරු දැරියන්ගේ ජීවිත පුබුදුවන තීරණාත්මක මංසලක් බව ද මැනවින් පසක් කොට ගෙන සිටින ශුද්ධවු පවුලේ බාලිකාව විශේෂයෙන් යොවුන් දැරියන්ගේ දැනුම, ආකල්ප, කුසලතා සංවර්ධනයට විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කරමින් ලබා දෙන පන්නරය විශිෂ්ට මට්ටමේ පවතින්නක් බව නොකියාම බැරිය. 

කළුතර ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේ ශිෂ්‍ය නායිකාවන් පුරා වසර 25ක් තම කණ්ඩායම් ව්‍යාපෘතිය ලෙස දියත් කළේ සුවිශේෂ වැඩසටහන් ය. ඒවා සාමුහික ක‍්‍රියාකාරකම් පමණක් නොව සුවිශාල සමාජ ආයෝජනයන්ය. වඩා වැදගත් වනුයේ නව යොවුන් ජීවිත පුබුදුවමින් සමාජය යහපත් තැනක් කරන්නට එම ව්‍යාපෘති දක්වන සමත් කම ය. සුදු පවුලේ බාලිකාවන්ගේ ව්‍යාපෘති සඳහා කිහිප අවස්ථාවකම සහභාගි වීමේ ඉඩකඩ හිමිවීම මා ලද භාග්‍යයකි.



1993 වසරේ ඔවුන් තම මුල් ම සාමූහික ව්‍යාපෘතිය සිදුකරනුයේ 'විකසිත සිත්තම්' යනුවෙන් චිත‍්‍ර තරඟයක් සහ ප‍්‍රදර්ශනයකි. 

1994 - 'විමසුම් දැකුම්' නමින් අධ්‍යාපනික ප‍්‍රදර්ශනයක් සහ විද්වත් හමුවකි. ඔවුන් සාහිත විමංසා ශිෂ්‍ය සාහිත්‍ය උලෙළ පවත්වනුයේ 1995 වසරේ ය. මේලෙසින් ඇරඹි ගමන තුළ විශේෂයෙන් සිහිපත් වන වැඩසටහන් කිහිපයක නම් ඔබ හමුවේ තබමි. 

‘‘ගී මල් සුවඳ ගීත සාහිත්‍ය උළෙල’’ 1996, 

‘‘නාද සිත්තම් ගී මියැසිය’’ - 1999 

‘‘රළ තරණය’’ චිත‍්‍රපටය - 2003, 

‘යුද්ධයක් පවතින රටක සෑම පුරවැසියෙක්ම ප‍්‍රාණ ඇපකරුවෙක්’ යන තේමාවෙන් නිෂ්පාදනය කළ ‘‘දූතිකාවෝ’’ වේදිකා නාට්‍යය 2005, 



‘‘සවිකල්ප’’ හරවත් රූපවාහිනී මාධ්‍ය භාවිතාවක් වෙනුවෙන් ඉදිරිපත් කළ විකල්ප මාධ්‍ය වැඩසටහන - 2006,

‘‘ආදරය සපිරි නව ලොවක් සඳහා කාන්තා දායකත්වය’’ මැයෙන් ‘‘ඇය’’ සමුළුව සහ ප‍්‍රසංගය - 2008

‘‘ප‍්‍රාණ පරිත්‍යාගී කැපකිරීමකින් තොරව පෘථිවිය ආරක්ෂා කළ නොහැක.’’ යන තේමාවෙන් නිමැවූ සියැටෙල් දියණියෝ වේදිකා නාට්‍යය - 2010

මේ ආකාරයට පුරා වසර 25 ක් පාසලේ සිසුවියන්ගේ සාහිත්‍ය, කලා, සෞන්දර්ය හැකියාවන් මෙන්ම පුද්ගල සහ සමාජවබෝධය ද පුළුල් කිරීම සඳහා මෙම ව්‍යාපෘති සුවිශේෂ මෙහෙවරක් ඉටුකර ඇත. යොවුන් දැරියන් පමණක් නොව මෙම ව්‍යාපෘති හරහා ගුරු භවතුන්, දෙමව්පියන් මෙන්ම ප‍්‍රදේශයේ සෙසු පාසල්ද, ජනතාවද ලැබූ ආලෝකය අති මහත් බව දනිමි. නව යෞවනය සඳහා දිවයින පුරා කළ විවිධ වැඩසටහන්වලදී සුදු පවුලේ දියණියන්ගේ ප‍්‍රයත්නයන් අපට ද අත්වැලක් වූ ආදරයෙන් සහ ස්තූතිපූර්වකව සිහිපත් කරමි. 


වසර 25ක අත්දැකීම් එක්රැස් කොට ‘‘ප‍්‍රත්‍යවේක්‍ෂණ’’ - 25 වසරක ශිෂ්‍ය නායිකා ව්‍යාපෘති යන නමින් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ද අනුමැතිය සහිතව කෘතියක් පළකිරීම ද පසුගිය වසරේ සිදු විය. 1993 වසරේ සිට 2018 වසර දක්වා සිසුවියන් සිදුකළ ව්‍යාපෘති සම්බන්ධව විස්තරාත්මක තොරතුරු මෙන්ම ඒ සම්බන්ධව විද්වත් අදහස්, සමාජ ප‍්‍රතිචාර, පුවත්පත් වාර්තාද මෙම කෘතියට ඇතුළත් ය.  
    
2018 වසරේ සුදු පවුලේ ශිෂ්‍ය නායිකාවන් සිය ව්‍යාපෘතිය ලෙස දියත් කළේ නව යොවුන් වියට ප‍්‍රබලව බලපාන කාරණා රැසක් සාකච්ඡා වන යූ ටියුබ් වීඩියෝ 14 කි. නව යෞවනයට ජීවිතාර්ථ චිකිත්සාවක් යන මැයෙන් මෙම වීඩියෝ දැන් යූ ටියුබයට මුදා හැර ඇත. O2 for Teen Soul - Motto Therapy Center  යන නමින් අන්තර්ජාලය තුළ ඔවුන්ගේ යෞවන අපේක්ෂාවන් සහ නිර්මාණශීලී හැකියාවන් ඔබට හමුවනු ඇත. 



ශ‍්‍රී ලංකාවේ නව යෞවනය මුහුණ පාන ගැටලූ හඳුනාගැනීම සහ ඒවාට විසඳුම් සෙවීම සඳහා උනන්දු කරවීමට මඟ පෙන්වීමක් ලෙස මෙම වීඩියෝ වැඩසටහන් මාලාව නිෂ්පාදනය කරන බව බාලිකාවන්ගේ අරමුණු අතර සඳහන් ය. 'උපතක විපතක්' නමින් නව යොවුන් මව්පියන් සම්බන්ධ ගැටලූ, 'සයිබර් අකුණු' ලෙස සයිබර් මංමුලාවූ යෞවනය, 'ආදර රිදුම් පරදා' මැයෙන් ආදර පැරදුම් අභිබවා ජීවිත ජයග‍්‍රහණය කරා යොමුකිරීම, 'සැබෑ වීරයෝ' නමින් ජීවත් වෙන හැටි කියා දෙන සුපිරි තරු ආදී වශයෙන් නම් කරමින් මෙම වීඩියෝ 14 නිර්මාණය කර ඇත. 



නව යෞවනයට ජීවිතාර්ථ චිකිත්සාවක් වැඩසටහන් මාලාවේ ‘නව යෞවනයයි - ගීතයයි’ යන තේමාව ඔස්සේ විශේෂයෙන් BlackMail ගීතය ගැන අදහස් දැක්වීමේ අවස්ථාවක් මටත් ප‍්‍රවීණ ලේඛක, සමාජ ක‍්‍රියාධර චූලානන්ද සමරනායක සොයුරාටත් හිමි විය. එබැවින් සමස්ත ක‍්‍රියාවලිය තුළ සිසුවියන්ගේ ක‍්‍රියාකාරිත්වය පිළිබඳ දළ අදහසක් ලබා ගැනීමේ අවස්ථාව විවර විය. 

මෙම වැඩසටහනේ සංවිධානය කටයුතු, අදහස්, තීන්දු තීරණ, තිර පිටපත් ලිවීම, දර්ශන තල සොයා ගැනීම, මෙහෙයවීම, නිවේදන, රංගන, සංගීතය, පසුතල නිර්මාණ, සංස්කරණය ආදී වූ බොහෝ කටයුතු සිදුවූයේ සිසුවියන් අතින්ම වීම සුවිශේෂ කරුණකි. විවිධ පැතිකඩ ඔස්සේ ස්වකීය දක්ෂතා උර ගා බැලීමට ඔවුන්ට ලැබුණු කදිම අවස්ථාවකි. එසේම අධ්‍යාපන කටයුතු සමඟ සමබරව විෂය බාහිර වූ මෙම ක‍්‍රියාකාරකම් සිදුකිරීමට ඔවුන් දැරූයේ අපමණ වෙහෙසකි. විඩාව නොසලකා, මහත් වගකීමෙන්  කැපවීමෙන් කටයුතු කළ ඔවුන් ඒ තුළ ලද මහා තෘප්තිය සහ නිදහස මම ඒ සිනාවන් අතර දුටුවෙමි. 


ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ සාර්ථකත්වය උර ගා බලන මෙම ව්‍යාපෘති සෑම පාසලකටම ආදර්ශයකි. පාසල් තුළ තමන් සතු සම්පත් අනුව මෙබඳු ව්‍යාපෘති සාමූහිකව දියත් කළ හැකි නම් පාසලට පමණක් නොව සමස්ත සමාජයට එය මහත් ආලෝකයක් වනු ඇත.

මෙවැනි භාරදූර ව්‍යාපෘතියක් සඳහා අවසරය සහ මඟ පෙන්වීම ලබා දුන් විදුහල්පති පැවිදි සොයුරිය සහ අනෙක් පැවිදි සොයුරියන්, ගුරු භවතුන් සහ දෙමව්පියන් දරුවන්ගේ සිහින සැබෑ කරගැනීමට ලබා දුන් දායකත්වය පැසසිය යුතුය. 

එක් දුයිෂෙන් කෙනෙකු එක් පාසලකට හොඳටෝම ඇති ය. එයට නිදසුනක් අවැසි නම් කළුතර ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේ පසුගිය වසර 25ක ශිෂ්‍ය නායක ව්‍යාපෘති දෙස බලන්න යැයි ඔබට ඇරයුම් කරමි. 

Tuesday, January 1, 2019

ආදරණීය ජොආනා....



ඈ ළදැරියකි. සැබවින්ම ළමා වියේ කෙලිළොල් බව ද, විමසිලිවන්ත බව ද, ආදරණීය බව ද උතුරා යන දැරියකි. මා ඈ ගැන ලිවිය යුත්තේ ඇයි?

‘‘දරුවන්ට මා වෙතට එන්නට ඉඩ දෙන්න. මන්ද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය. ඔබත් ළදරුවකු මෙන් නොවුණොත් ඔබට ස්වර්ග රාජ්‍යයට පිවිසිය නොහැකිය’’ ජේසු කීවේ මන්දැයි මා ඈ දෙස බලමින් නැවත නැවතත් මෙනෙහි කළ බැවිනි.

දින දෙකක නේවාසික වැඩමුළුවක් සඳහා අප තුලනට රැුස්ව සිටියෙමු. ඇය පැමිණියේ ඇගේ අම්මා ඇතුළු පිරිසක් සමඟ මඩකලපුවේ සිට ය. ඈ සිංහල නොදනී. මම දෙමළ නොදනිමි. නමුත් ඇය ඉංග‍්‍රීසි බසින් අදහස් දැක්වීමට සමත් ය. තමන් දන්නා භාෂාවේ පරිමාව තුළ ෙනාපැකිලව ඇය අන් අය හා අදහස් හුවමාරුවට උත්සුක වූවාය. 

උදෑසන වැඩමුළුවේ සක‍්‍රීය දායකයන් වූ තරුණ පිරිස අවදිවන්නට මත්තෙන් ඇය අවදිව, සූදානම්ව ගහකොළ අතර ඇවිදිමින් උන්නාය. සුවිශේෂව ඇය මගේ අවධානය දිනාගත්තේ ඒ මොහොතේය. මම ද ඈ හා පරිසර චාරිකාවට එක්වූයෙමි. 

කොස් ගහේ බැඳි ඔන්චිල්ලාව, ගෙවත්ත වසා පැතිරුණු තණ පලස, එහි ගැවසි අපමණක් උඳුපියලිය මල්, තුත්තිරි ගස්, කිලිටි වතුර දරා ගත් සිමෙන්ති පොකුණ, තුලන තැන තැන පැවති මූර්ති, චිත‍්‍ර මේ සියල්ල දෙස ඇය බැලූවේ එක හා සමාන උනන්දුවකිනි. දීප්තිමත් දෙනෙතිනි. ඈ ඒ සියල්ල විඳිමින් උන්නේ ජීවිතේ පළමුවර පාරාදීසයට ආ සිඟිති සුරංගනාවියක් එහි අසිරිය විඳින්නාක් මෙනි. 

හරියට සෝර්බා නම් ග‍්‍රීකයා කෘතියේ සෝර්බා ලෝකය දකින්නාක් මෙන්...

කූරටු කෑලිවලින් අමුණා මා ඇය වෙනුවෙන් තනා දුන් කොස් කොල තොප්පිය වැඩමුළුව හමාරව අප නික්මෙන තුරුම ඇය මහත් ප‍්‍රවේසමින් රැකගත්තාය. හිමිදිරියේ අප හා ඇති වූ මිතුදම කොතරම් ද යත්, අවසන ඇගේ මව අප දෙදෙන ඡායාරූපයකට හසුකරගනිමින් පැවසූවේ...

"Joana With her New Mum" කියාය. සැබවින්ම ඇය ආදරය විඳින්නටද, ආදරය බෙදන්නටද අනලස් මනසකින් පේ වී සිටින දැරියකි. මා පවා ඇද බැඳ ගත්තේ ඒ ආදරණීය බවමය. 

ඒ පියාපතක් වන් සැහැල්ලූව, නිදහස් කෙලිලොල්බව තව කොතෙක්කල් සුරැකිව තබා ගන්නට ජොආනාට හැකි වනු ඇත්ද? 

‘‘ජොආනා ළමා වියේ ස්වර්ගරාජ්‍යය තුළ හැමදාම ජීවත් වන්නට නම් අපට මේ සමාජය ඒක්ක විශාල අරගලයක් කරන්නට සිදුවන බව නිසැකයි. බොහෝවිට සිදුවන්නෙ අප ඒ ස්වර්ගය හැර දමා නිරයේ පැසෙනු පිණිස රැල්ලට ගසාගෙන යාම. ඒත් ජොආනා, දරුවන් තුළ වන ස්වර්ගය සුරකිනු පිණිස මට කළ හැකි යමක් ඇත්නම් හැමදාමත් එය නොපැකිලව ඉටුකරන්නම්.’’

අලූත් අවුරුද්දේ ඔබත් ලෝකය දශමයකින් හෝ යහපත් තැනක් කරන්න කැපවනු දැක්ම මගේ අපේක්ෂාව.... 

Wednesday, December 5, 2018

හෙට දවස දරුවන්ගේ ය....




යාල්දේවිය නික්මෙයි
කොලොම් තොටින්…
සීත මීදුම් දුමාරය මැදින්…

හරිතය සැමත
වස්සානයේ සද් පහස ලැබ
රඟයි හිරු කිරණ
දිය කඩිති, ඇල දොල
වැව් දිය තලා මත
පළිඟු මිණි ඇසින් හිනැහි හිනැහී….

කොතරම් නම් සොඳුරු ද
මේ දේශය!!!
අප උපන් මව්බිම…
ධන, බල උමතුව
අන්ධ අඳුරට ඇද
නොදැමුවා නම්
සැබවින්ම පින් බිමක්
නොවෙද මෙය?



ගම්පහ… මීරිගම,…. පොල්ගහවෙල… කුරුණෑගල… මහව…. අනුරාධපුරය….
යාල්දේවිය ලැසි ගමනෙනි
බඩඉරිඟු… වඩේ… බොම්බයි මොටයි
අඹ, ජම්බු, නාරං, දිවුල්, ඇපල් අන්නසි ද සමඟින්…

වැහි දියෙන් තෙත්බත්ව
සාර වූ පොලෝ ගැබ
උපද්දයි අලුත් අංකුර
ළා හරිත මඳහස් ය
ඇස ඇස සිසිල තවරන…



වව්නියාවෙන් එපිටට
යාල්දේවිය සමඟ ම
ලැසි ලැසිව ඇදී එන මතක මං පෙත

මාවිල්ආරුවට
වැට කඩුළුබැඳි සන්දියේ
ප්‍රේමයේ මාවත් වැසී ගිය
අතීත මතක සුසුමක…

වව්නියාව… ඕමන්තේ… පුලියන්කුලම්…
මාන්කුලම් දක්වාම
ඇවිළි ඇවිළී ළසෝ ගිනි
ස්නේහය ද මළගම් ගිය මෙනි…



කෙත් බිම්… හේන්… කඩපිල්…
අතර දනි පනි ගසා පිබිදුණ
ගෙපැල්පත්ය
දෝතින් දරා ජීවිත…
ළපැටි අත් එසැවී
සිත් සන්තොසින්
යාල්දේවිට සමුදෙති…

පරන්තන් නැවතුමෙන් බැස අප
මුලතිව් බලා ගමනක…

විශ්වමඩු, වල්ලිපුරම්, පුදුකුඩිඉරිප්පු
පසුකරමින්
කලබල කිසිත් නැති බස්රිය

‘මේ කැලය ඒ කාලයේ ඒ සෙබලුන්වැව්ව
මේ කැලය මේ කාලයේ මේ සෙබලුන් කපන”
හරිත වියනක සිසිල විඳිමින්
ඇදී යද්දි බස්රිය
සවන් අද්දර මිමිණුමකි…

“ආවා අපේ මිනිසුන් ඇඳිවත පිටින්
දූ දරුන් තුරුල්කොට ගෙන
මේ මග දිග
මුල්ලවෙල්ලිවයික්කාල් වෙනකල්ම
මියැදෙන ප්‍රාණයක්
මිහිදන්කරන්නට හෝ
ඉසිඹුවක්නොලැබම
ඒ පාද නමස්කාරය
ලේ, කඳුළු දාදිය මතින්
වැටි වැටී නැගිට ආ...
හුස්මක් ගෙන ආපසු හැරී බැලුයෙමි
අන්ධකාර අගාධයකි ජීවිතය
වෙට්ටුවක්කාල් පාලමෙන්
එපිට මඟහැරුණ…”

අතීතය ගැඹුරු තුවාලයකි
මතුපිට කබොල්ලකින් වැසී ගිය
ඉගැඹුර රිදුම් දිදී වැළපෙන…



මහා කරුණාවෙනි බස්රිය
නොතේරුම් දමිළ ගී හඬ
හිත මත අතුර අතුරා
නන්නාඳුනන භුමියක
දන්නා හඳුනන හැඟුම් පුබුදන…

සාරි පොට අකුල අකුලා දිව එන
වාරු නැති මව්වරුනට සෙනෙහසින්
තාවර වෙවී නවතින…
අම්මාවරුන්ම මේ හැටි
කොහේ නම් යනවාද
ඉස්පිරිතාල, ආණ්ඩුවෙ ඔපීසි
ළඟින්ම බැහැගන්න
ඒ් තෙත් දෑස්
අම්මලාගේ ම උරුමයද?

මුල්ලිවෙල්ලවයික්කාල්
පසුකරද්දී බසය
සිහි වේ දිනෙක දුටු
රෙදි පෙරදි කඳු…
වැලි තලා අතර
සැඟවි සැඟවී, දිය වි දිය වී
තාමත් ඒවා එහෙමම ඇති…

“මෙන්න මේ මෙතැන ගහ යට
ෂෙල් වෙඩි වැදී දහසක් දනා
එක තැනම එක විටම මිහිදන් වුණ”
පාද නමස්කාරයේ සැම තැන
ලෙයින් නැහැවුණු මතකය…

ඉතින් දැන් මුලතිව්ය…
අප පිළිගන්නා සිය සියපත් වැනි
සිනා මුහුණුය…
සියල් විඩාවන් සින්දාලන
ආදර ගංඟාවක්
ඒ සිඟිති දෑස් මත්තෙන්
කඩා හැළිණ…

සැන්දෑව මන්දාකිණියක
පැහැසරින් දැල්වෙන…

නැතක් දුක් මැද වුව
සඳක් සේ නැගී දිලෙනුව
නිමක් නැති කටුක පිරිපත
විතක් සේ උසුලන
ඒ ළමා ළපටි ඇස් මත්තේ
දිලෙන්නේ ජීවිතය…



වනක්කම් පුල්ලේ
'එප්පඩි සුහම් ?'
'නල්ලසුහම්'
දන්නා දෙමළෙන්
දෑසින් දෑතින් සිනාවෙන්
හද බසින්, ආගිය කතාවෙන්
දළුලද්දී ආදරය
වරදකාරී හැඟුමින් මිරිකි මිරිකී
ආ මඟ සැනසුම්
සුසුමකට ඉඩ…

පෑරී පෑරී රිදවන අතීතය
සඟවාන පපු කුහර තුළ
සිනා පිරි වතින් කියා දුන්
ආදරේ මහා පාඩම
නළලත තිලකයක් ලෙස පැළඳගමි…
ආදර මව්පියවරුනි, දූ දරුවනි…

කොතරම් දයාර්ද්‍රද
ඔබ අප හමුවුණු ඒ දවස…

කොටි එතැයි කිය කියා
නටනා නාඩගම් මඩුවේ
පැළඳි වෙස් මුහුණු අතරින්
පෙනෙද්දී සිංහ කේසර…

මට දුක හිතෙන්නෙම
ඒ පුංචි පැටවුන් ගැන
උන්ගේ සිහින ගැන

අහෝ! මා උපන් පින් බිම
පව්කාරයන් ගිනි බින්ද…



Friday, October 19, 2018

ප්‍රේම පාරමිතාව!



‘‘ප්‍රේමය‘‘
හද දෙවොලේ
උස් තන්හි වඩා හිඳුවා
පුද පූජා කළාය ඈ
අන්ධ බැතිමතියක සේ...

‘‘ප්‍රේමය‘‘
කර මුලින් අල්ලා
ඔසවා ඈ වරෙක
ගැසුවාය පොළවේ
ඉනික්බිති
වරින් වර
බොහෝ වර...

බිඳී විසිරුණු
හද කැට කැබිලිති මත
‘‘ප්‍රේමය‘‘
නොයෙක් වෙස් ගෙන
විලිස්සුවාය ඈ වෙත...

ආත්මාර්ථයෙන් ද,
ඉරිසියාවෙන් ද
අහංකාරයෙන් ද
මමංකාරයෙන් ද
වෙළෙවි ව
අන්‍ය රූප විලාස ගනිමින්...

‘‘මගේ න්‍යාය පත්‍රය
මගේ කාලසටහන
මගේ කොන්දේසි
මමයි ප්‍රේමය
මට උවමනා ලෙස
ඔබ පැවතිය යුතු...‘‘

ප්‍රේම පාරමිතාවේ
වියරණ පැටලී
අතරමං වූවාය ඈ...

වේදනාවෙන් කම්පිත ව
කඳුළු සැළු
එක්දහස් එක් රැයකට පසු
නැගී උන්නාය ඈ
ඈ ම නොවනා අන් අයකු ව...

බිඳුණු ක්ෂුද්‍ර හදවත
පිළිසකර කොට
සියතින්ම තැනුවා ය
දෙවොලක්
ඈ අදහනා ප්‍රේමයේ නාමෙන්
එහි දෙවියන් ද
දේව දාසිය ද
ඇදහිල්ල ද
ඇය ම වූවාය...

සියක් දහසක්
ගැහැනුන්ට, මිනිසුන්ට
දරුවන්ට
කුරා කුහුඹුන්ට පවා...
පිනි බින්දුවකට
ඉර කණිකාවකට
මල් රොන් සුණු සුඟකට පවා
එහි බොහෝ ඉඩ තිබිණි...