පිටු

Wednesday, November 10, 2021

ලාංකේය පරිවර්තන ක්ෂේත්‍රෙයේ කාන්තා දායකත්වය

 


“ලේඛකයා වනාහී ස්වදේශීය සාහිත්‍යයේ නිර්මාණකරුවා ය. එහෙත් පරිවර්තකයා විශ්වව්‍යාපී සාහිත්‍යයේ නිර්මාණකරුවා ය.” යන්න ප්‍රවීණ පෘතුගාල ලේඛක ජොසේ සරමාගෝගේ ප්‍රකට කියමනකි. යම් රටක, ජන සමාජයක චින්තනමය, බුද්ධිමය පිබිදීම උදෙසා පරිවර්තන සාහිත්‍යයෙන් ලැබෙන ආලෝකය, පන්නරය කිසිසේත් සුළුකොට තැකිය හැකි නොවේ. විශ්ව සාහිත්‍යය දේශයක සාහිත වපසරිය වඩා පුළුල් සහ පොහොසත් බවට පත්කරයි.

ලාංකේය සාහිත්‍යයේ ආරම්භයේ සිට ම පරිවර්තනමය ස්වභාවය කැපී පෙනේ. මුල්කාලීනව පාලි, සකු, මගධ බසින් හෙළ බසට නැගුණු කෘති බහුල වන අතර, යටත්විජිත පාලන සමයේ ඉංග්‍රීසි උගත්, විදේශයන්හි උසස් අධ්‍යාපනය ලද, විශ්ව සාහිත්‍යය ඇසුරු කළ පිරිසක් බිහිවීම නිසා ඉංග්‍රීසි බසින් හෙළ බසට කෘති පරිවර්තනය වීමේ ප්‍රවණතාව වර්ධනය විය. ලෝක සාහිත්‍යයේ විශිෂ්ටතම කෘති හෙළ බසට පෙරළීමට බොහෝ පරිවර්තකයෝ උත්සුක වූහ. එවැනි කෘතහස්ත පරිවර්තකයින් පිළිබඳව කතිකාවන් ඇති වුවද ලාංකේය පරිවර්තන ක්ෂේත්‍රයේ කාන්තා දායකත්වය පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු වී නැත. පරිවර්තිකාවන් අතර මග හැර යා නොහැකි භූමිකා කිහිපයක් පිළිබඳව ඉතා සංක්ෂිප්තව හෝ කරුණු ගෙනහැර දැක්වීම මෙම ලිපියේ මුඛ්‍ය අරමුණ වේ.

ස්වඅධ්‍යනයෙන් මැනවින් වංග බස හදාරා “ගෝරා”, “අරණකට පෙම් බැඳ”, “අපූ ත්‍රිත්වය”, “ශ්‍රී කාන්ත”, “ශ්‍රී කාන්ත සහ රාජලක්ෂ්මී” වැනි අගනා කෘති ගණනාවක් හෙළ බසට නැගූ චින්තා ලක්ෂ්මී සිංහාරච්චි ලාංකේය පරිවර්තන ක්ෂේත්‍රයේ නොමැකෙන සටහන් තැබූ ලේඛිකාවකි.  බෙංගාලි ව්‍යවහාරයේ පවතින විශේෂතා අපේ හද, මනසට සමීප ලෙස අලංකරණය කිරීමට ඇය හෙළ බස යොදා ගන්නා ආකාරය විචිත්‍ර ය. ඇය අපූ ත්‍රිත්වය පරිවර්තනය කරන ආකාරය සිහිකරන්නේ දැදිගම වී රුද්‍රිගු සිංහලය රුසියානුකරණය මගින් නිපදවන ලද අලුත් භාෂාන්තරයයි. චින්තා ලක්ෂ්මිය දෙබස පරිවර්තනයේ දි දක්වන සුමට බව ද විශේෂයෙන් සිහිපත් කළ යුතුය. එහිදී ආමන්ත්‍රණ පද කිහිපයකට සීමා නොවී ගැළපෙන අවස්ථා අනුව බෙංගාලි, ඉංගිරිසි, සිංහල (මහත්තයා, මිස්ටර්, බාබු) තුන් භාෂාවෙන්ම තැබීම තුළින් ඇති කරන නැවුම්බව පාඨක රුචිය දල්වන සුලු ය. අපූ ත්‍රිත්වය මෙන්ම ගෝරා පරිවර්තනයේදීත් ඇය මුල් ලේඛකයන්ගේ විශේෂතා පවත්වා ගන්නා ආකාරය ද සුන්දර ය.

චින්තා ලක්ෂ්මී සිංහාරච්චි

මාලිනී ගෝවින්නගේ ද ඉතා වැදගත් පරිවර්තන කෘති ගණනාවක් සිංහල පාඨකයන් වෙත තිළිණ කළ ලේඛිකාවකි. 1972 වසරේ සරසවි සිසුවියක ලෙස සිටියදී ඉග්නාත්සියෝ සිලෝනේගේ “ෆොන්ටමාරා” කෘතිය පරිවර්තනය කරමින් ක්ෂේත්‍රයට පිවිසෙන ඇය, විප්ලවීය සාහිත්‍යය කෙරෙහි වැඩි නැඹුරුවකින් සහ ස්වකීය සමාජ, දේශපාලන මැදිහත්වීම පිළිබඳව ඉතා පැහැදිලි අවබෝධයකින් යුතුව පරිවර්තනය සඳහා කෘති තෝරා ගත් ලේඛිකාවකි. චේ චරිතය කෙරෙහි ඈ තුළ වන ඇල්ම මනාව පිළිබිඹු කළ චේ චරිතාපදානය මෙන්ම ඈ විසින් පරිවර්තනය කළ “අර්නෙස්ටෝ චේගුවේරා මෝටර් සයිකල් දිනපොත”, “බොලීවියානු දිනපොත”, අලෙයිඩා මාච් ලියූ “එක්ව අපි ඇවිද යමු” වැනි කෘතීන් “චේ” ගැඹුරින් හඳුනා ගැනීමටත්, විප්ලවීය සිහින දුටු චේ ප්‍රේමවන්තයින්ගේ හද මනස් දල්වාලීමටත් දායක වූ බව නිසැක ය. වර්ණභේදවාදයේ අමානුෂික මුහුණුවර හෙළිදරව් කරන “හඬනු පෙම්බර දේශය”, සමාජ විෂමතාවයේ සදාකාලික ගොදුරු වන ඉතාලියේ ගම්පියසක දිළිඳු, නූගත් ගැමියන් පිළිබඳව වන කම්පනීය කතා පුවත “ෆොන්ටමාරා” කෘතිය, ස්වදේශීය ජනතාව අමානුෂික ලෙස ඝාතනය කරමින් ඇමරිකාව සුදු ඇමරිකාවක් වූ ඉතිහාස කතාව “මා හද සඟවන් වුන්ඩඩ් ක්නීයෝ” වැනි කෘති  ඇගේ පරිවර්තන කාර්යයන් අතර සුවිශේෂ වේ. මතක පූජාව නමින් පරිවර්තන කවි එකතුවක් ද පළ කර ඇති මාලිනිය, රයිනර් මරියා රිල්කගේ ඛැඑඑැරි එද ් ශදමබට ඡදැඑ කෘතිය “කිවිඳ හදට එබී බලන්” ලෙස කළ පරිවර්තනය ද  ලාංකේය කාව්‍ය ක්ෂේත්‍රයට පරිවර්තන සාහිත්‍යයේ ප්‍රභාව සහ පන්නරය එක්කළ අවස්ථා ලෙස දැක්විය හැකිය.

මාලනී ගෝවින්නගේ

නවකතාකාරිනියක, කෙටිකතාකාරිනියක ලෙස ප්‍රකට සුනේත්‍රා රාජකරුණානායක විශිෂ්ට පරිවර්තිකාවක්ද වන බව අමතක කළ හැකි නොවේ. මෝපසාන් කෙටිකතා, සකායි, සඳරැස් වෙරළ පරිවර්තන ඔස්සේ පරිවර්තන කාර්යය මටසිලිටි කිරීමට ඇය ගත් උත්සාහය ඉතා වැදගත් ය. ඇය පරිවර්තන කවි පොතක් පළ නොකළ ද ඇයගේ බොහෝ කෘතිවලට අපූරු කාව්‍ය පරිවර්තන ද එක් වී ඇති බව සිහිපත් කළ යුතුය. ඇය පරිවර්තන භාෂාව කියවන්නියට සමීප කිරීම සඳහා කට වහර හා අපගේ වදන් මාලාව අතරින් කතා සංදර්භයට සහ සිංහල භාෂාවට පොදුවේ වඩාත් ගැලපෙන වදන තෝරා ගන්නා ආකාරය කදිම ය. ඇය සතුවන විෂය-විෂයාන්තර පුළුල් දැනුම හා ප්‍රාදේශීය ව්‍යවහාරයන් සම්බන්ධව පවතින අවබෝධය එයට මනා පිටුවහලක් වූ බව නිසැකය. පර්ල් එස් බක් “සකායි“හි ඉස්මතු කරන ජපන් යුවතිය හා ඇමරිකානුවා අතර ප්‍රේමය සුනේත්‍රා  සිංහලයට ස්වීයකරණය කරන ආකාරය නිසා ඇය කතා බහට ලක්විය යුතුම පරිවර්තිකාවක වන්නීය.

සුනේත්‍රා රාජකරුණානායක

ආචාර්ය එලිසබෙත් බෝපෙආරච්චි, ප්‍රංශයේ ප්‍රොවෙන්සාල් පළාතේ මහා ලේඛකයා වන මර්සෙල් පැනියෝල්ගේ “කඳු රැල්ලේ දිය දහර” හා “උල්පත් කුමාරි” නවකතා ද්විත්වය සිංහලයට පෙරලන්නේ ඇයටම අනන්‍ය වූ කතා ලතාවකිනි. මුල් ප්‍රොවෙන්සාල් ව්‍යවහාරයේ ඇති සුවිශේෂතාව ඉස්මතු වන ආකාරයට සිංහල ප්‍රාදේශීය ව්‍යවහාරයන් සමෝධානය කිරීමට ඇය සමත් වෙයි. ඇය සතු අන්තර් භාෂා දැනුම නිසා නිම වන්නේ අසාමාන්‍ය පරිවර්තන කෘතියකි. එමෙන්ම ඇය නාගරික ප්‍රංශය හා ග්‍රාමීය ප්‍රංශය අතර ඇති වෙනස නොකඩා පවත්වා ගැනීමට ද සාපේක්ෂව එතරම් විවිධත්වයක් පළනොවන සිංහල භාෂාව තුළ හරඹයක නියැළෙන්නීය. සේසාරේ, උගොලන් හා මැනොන් අතරේ ඇති ඥාති උත්ප්‍රාසය නොඅඩුව සිංහල කියවන්නාට ළඟාකරවීමට ඇය දැරූ ප්‍රයත්නය ප්‍රශංසනීය වේ. එය ශ්‍රී ලංකාවේ නිසි අවධානයට යොමු නොවුණු ශාස්ත්‍රාලීය ක්‍රියාවකි.

ටි්‍රලිෂියා ගුණවර්ධන අපගේ මතකයට නැගෙන්නේ මනමේ කුමරිය ලෙස වුවත්, ඇය විශිෂ්ට පරිවර්තිකාවක්ද වන්නීය. කර්ණාටක මහා ලේඛක ආනන්ත මුර්තිගේ සංස්කාර නවකතාව ඇය හෙළ බසට නගා ඇත. එය සිරුරින් කුඩා වුවද මහත් විෂයයක් ගැබ්කර ගත් නවකතාවකි. බමුණු ගමක මිය ගිය සම්ප්‍රදාය කඩ කළ බමුණෙකුගේ සිරුරක් අරභයා ඇති වන ගැටුමක් ඇසුරෙන් බ්‍රාහ්මණත්වය ප්‍රශ්න කරන සංස්කාර; එක වරම කාව්‍යමය, විචාරාත්මක හා හාස්‍යමය වීම පරිවර්තකයෙකුට විසල් අභියෝගයකි. සිය ද්විභාෂා දැනුම හා නාට්‍යමය ශික්ෂණය එකවර යොදා ගන්නා ටි්‍රලිෂියා ගුණවර්ධන පරිවර්තන අවකාශය කෙරේ ඇති කරන ආනුභාවය නොසළකා හැරිය නොහැකි තරම් ය. සිංහල භාෂාවේ සියුම් යෙදුම් හා රිද්මය කන්නඩ කතාවක් කීමට යොදා ගැනීම දක්වා ඇය භාෂාව හසුරවන ආකාරය ආස්වාදනීය ය.

ට්‍රිලීෂියා ගුණවර්ධන

රාණි සේනාරත්න රාජපක්ෂ ද  පරිවර්තන සාහිත්‍යය පොහොසත් කරන්නට සුවිශේෂ දායකත්වයක් ලබා දුන් පරිවර්තිකාවකි. දර්ශනය පිළිබඳව වන පාඨ ග්‍රන්ථයක් ලෙස ලෝක සාහිත්‍යය තුළ අවධානයට පාත්‍ර වූ යුස්ටයින් ගෝඩර්ගේ “සොෆීගේ ලෝකය” මෙන්ම ඔහුගේ ම “අන්නා දකින ලෝකය”, “අඳුරු පළිඟු තල මැදින්” යන කෘති සහ සුප්‍රකට ඉංග්‍රීසි ජාතික විද්‍යාඥයකු වන ජෙරල්ඩ් ඩරල්ගේ “මගේ පවුලයි අනෙක් සත්තුයි”, “දේව උද්‍යානය”, “කුරුල්ලෝ සිවුපාවෝ සහ නෑදෑයෝ”  යන කෘතිද ඇතුළත්ව කෘති ගණනාවක් පරිවර්තන සාහිත්‍යයට එක් කළ ඇය ඒ හරහා ලාංකේය පාඨක ප්‍රජාවගේ දැනුම් වපසරිය, වින්දන පරාසය පුළුල් කරන්නට ලබා දුන් දායකත්වය අගනේ ය.

ළමා නවයොවුන් පරිවර්තිකාවක ලෙස පාඨක හද දිනූ ගංඟා නිරෝෂණී සුදුවැලිකන්ද පලස්තීන ලේඛක කාලීඩ් හොසේනිගේ “සරුංගල් ලුහුබඳින්නා”, “මනරම් හිරු දහසක්”, “ඉක්බිති කඳුකරය දෝංකාර දුනි” කෘති තුළින් සහ මෑතක පළ කළ තුර්කි ලේඛක ඔර්හාන් පමුක්ගේ “මසිත් හසර එක්තරා නුහුරුවක” කෘතිය තුළින් සිංහල පරිවර්තන සාහිත්‍යය පුළුල් කරනු පිණිස ලබා දුන් දායකත්වය අගය කළ යුතු ය. “මසිත් හසර එක්තරා නුහුරුවක” විශාල පරිවර්තන ශ්‍රමයක් දැරූ කෘතියක් බව නිසැක ය.

ගංඟා නිරෝෂිණී සුදුවැලිකන්ද

ලාංකේය පරිවර්තන සාහිත්‍යයේ ළමා සහ නව යොවුන් ක්ෂේත්‍රය ද විශේෂ අවධානයට ලක්විය යුතු ය. මෙහිදී කැපී පෙනෙන පරිවර්තිකාවන් අතර ගංඟා නිරෝෂිණී සුදුවැලිකන්ද මෙන්ම කත්‍යානා අමරසිංහ ද වේ. ගංඟාගේ “වණ අරණක කුඩා නිවස“, දඟ මල්ල සහ අමුතු ඉස්කෝලෙ, රමෝනා සහ බීසස් වැනි පොත් මාලා මෙන්ම කත්‍යානා කළ පොලියානා, ඩෙනිස්ගේ දස්කම්, චුබාරි වැනි කතා මාලාවන් ද  ළමා, නව යොවුන් දූ දරුවන් සේම වැඩිහිටියන්ද එක සේ රස විඳි, විශාල පාඨක අවධානයක් දිනූ පරිවර්තන ග්‍රන්ථ ය.

කත්‍යානා අමරසිංහ

ලාංකේය පරිවර්තන ක්ෂේත්‍රය වෙනුවෙන් ස්වකීය දායකත්වය ලබා දුන් ස්වර්ණකාන්ති රාජපක්ෂ, සුමිත්‍රා රාහුබද්ධ, අනුල ද සිල්වා, චිත්‍රා පෙරේරා, ඉන්ද්‍රාණි කරුණාරත්න, ප්‍රියංකා කහවණුගොඩ වැනි තවත් පරිවර්තිකාවන් රැසක් සිටියද, සියල්ලන් පිළිබඳ පුළුල් සංවාදයකට මේ කුඩා ඉඩකඩ ප්‍රමාණවත් නොවේ. නවකතා, කෙටිකතා, කාව්‍ය, ළමා සහ නවයොවුන් පරිවර්තන සාහිත්‍යය තුළ පරිවර්තිකාවන්ගේ ශ්‍රමය කොතෙක් දුරට අර්ථවත් කාර්යභාරයක් ඉටුකර ඇත්තේද යන්න තවදුරටත් ගැඹුරින් විමසා බැලිය යුතු කරුණක් බව සිහිපත් කරමින්ම, ඔවුන්ගේ පරිවර්තන ශ්‍රමය වෙනුවෙන් අපගේ කෘතවේදීත්වය පළකරමු.

හෂිත අබේවර්ධන/  තරංගනී රෙසිකා

 

Tuesday, November 9, 2021

මතකය මෘදු විලවුන් සුවඳකි...

 


පෙම්වත,

 

මතකය

මෘදු විලවුන් සුවඳක් වැනිය

පිරිමදියි සිත...

ස්පර්ශ කරනු නොහැකිය...

 

සිඹීම්වලින් නැහැවුණු

කොපුල්තල පවා

සැලි සැලී මන්ද්‍ර ස්වරයෙන්

සුසුම් උහුළා ගනු වැනි ය...

 

එකලාව යන මෙමඟ

නිදිකුම්බා මල් පවා

පත් හකුළා තුඩු මුදවා

රෝස පෑ සිනා සඟවා

පාරනා හැඟුම්

වාවමිද කෙලෙසින්...

 

පෙම්වත

අගුල්ලෑවද තරව

යකඩින්

තවමත් පණ ගැහෙන හදවතකි

ලෝහ රාමුව විනිවිදිනු බැරි...

 

හෙමිහිට... හෙමිහිට

නිශ්චලව... නිශ්චිතව

අවසන් සුසුම් කැටිය ද

නික්ම යාමට නියමිත

ආදාහනාගාරයක

වා කවුළුවෙන් නික්මෙන

උණුහුම් සුළං දහරක් මෙන්... 

Thursday, October 8, 2020

ඔබෙ කඳුළ හඳුනමි... දැවෙමි. තැවෙමි.

 


අතීත සිදුවීම් දෙකක් ලියන්න හිතුණා... මතකය අලුත් වුණේ අලුත් කොරෝනා රැල්ලට හසුවුණු මිනිසුන් මේ මොහොතේ මොනතරම් පීඩාවක්, වේදනාවක් උසුළනවා ඇත්ද යන්න මතක් වෙලා...

මම දිගු කාලයක ඉඳන්ම ඉන්නෙ ගෙදරින් පිට. සරසවි ආවත් හරි ජීවිතය ගෙවුණෙ අගනුවර ආසන්න තාවකාලික නවාතැන්වල. මේ කාලය ඇතුළෙ නංගිලා, මල්ලි උස්මහත් වෙලා විවාපත් වෙලා දරු පැටවුනුත් හැදුවා. රට වටේ ළමා සංවිධානය එක්ක වැඩවලට දුව දුවා උන්නු මාව සතිය ගාණෙ ගමේ කැන්දුව සිදුවීම වුණේ නංගිට දුව ලැබීම. ඒ චූටි රෝස මල එයාගෙ ආදර අත්වලින් මම්මව තදින් අල්ලගත්තා, ආයෙ ගමේ නෑවිත් ඉන්න බැරි වෙන්නම.

දුවට මාස දෙක, තුනක වගේ කාලයක වුණු සිදුවීමක්  මේ. ඒ සති අන්තයේ ගෙදර යද්දි මගෙ ඇහැක් රතු වෙලා තිබුණා. මම ඒක වැඩිය ගණන් ගත්තෙ නෑ. දූවත් හුරතල් කළා සතියක පාඩුව පිරිමැහෙන්නම. මෙන්න පහුවදා උදේ ඇස් ඇරගන්න බෑ. ඇස් ඇලිලා කබවලින්. ඇස් දෙකම රතු වෙලා.

‘‘ඇස් අමාරුව“ තාත්තා කියද්දි මට දෙලෝ රත් වුණා. මම නම් මළත් කමක් නෑ. ඒත් මං නිසා දරුවට ලෙඩේ හැදුණොත් මගෙ හිත බය වුණේ ඒ නිසා.

නංගියි, මල්ලියි බබාවත් අරන් මල්ලිගෙ ගෙදර ගියා. මෙන්න හැන්දෑ වෙද්දි  නංගි අඬ අඬා කතා කරනවා. දුව අඬනවලු. ඇහැක් රතු වෙලා කඳුළු එනවලු. දැන් මමත් අඬනවා. නංගිත් අඬනවා. ඇමතුම නැවතුණත් මට ඇඬුම නවත්තගන්න බැරි වුණා. මං හින්දා නේද දුවට ඇස් අමාරුව හැදුණෙ කියල හිතෙද්දි මට දැනුණ වේදනාව විස්තර කරන්න වචන නෑ. හිතද්දි හිතද්දි කඳුළු අලුත් වෙනවා

‘‘ලෙඩ හැදෙන්නෙත් මිනිස්සුන්ට. ඕවට අඬල වැඩක් නෑ.“ තාත්තා මගේ හිත හදන්න එහෙම කිය කියා බාරයක් ගැටගැහුවා සුරුවමේ. මමත් අඬ අඬාම දන්න දෙවියන්ටයි, ජේසු අම්මටයි හැමෝටම කිව්වෙ අනේ දුවට නම් ඇස් අමාරුව වෙන්න එපා කියලා.   

දරුවෙක්ට ලෙඩක් දුකක් හැදෙන එක තරම් දුකක් දෙමව්පියන්ට තවත් තියෙනවද, මං දන්නෙ නෑ. මම්මෙකුට වුණත් එහෙම තමයි. ‘අම්මා‘ ‘මම්මා‘ කියන්නෙ අකුරක වෙනස. තමන් නිසා දරුවෙක් ලෙඩ වෙනවා කියන එක ඉතින් ඒ සේරටමත් වඩා දරන්න අමාරු දුකක්.

පහුවෙනිදා උදේ ඔන්න නංගි හිනා වෙවී කෝල් කරනවා. බයික් එකේ ආව නිසා හුළඟ වෙන්න ඇතිලු ඇහැ රතුවෙන්න ඇත්තෙ. දැන් අවුලක් නෑ. හිනා වෙවී ඉන්නවා කියලා.

.......

ආයෙමත් ඒ වගේම දෙයක් වුණා. ඒ වෙද්දි දුවට අවුරුදු තුනක් විතර ඇති. නංගිලා වෙනම ගෙදරක උන්නෙ. ඒත් නංගි වැඩට යන නිසා දුව බලාගත්තෙ මහගෙදර. ඒ වතාවෙ මං ගෙදර යද්දි කම්මුලක් ඉදිමිලා. බෙහෙත් ගන්න ගියාම ඩොක්ට කිව්වෙ කම්මුල් අමාරුව කියලා. ඔන්න ඒ සැරේ මං ලොකු නංගිලගෙ ගෙදර නැවතුණා. එහෙ අයට කම්මුල් අමාරුව කලින් හැදිල තිබුණ නිසා මං ඉන්න එක බාධාවක් වුණේ නෑ. අසනීප හොඳ වෙලා කොහොඹ කොළ උණු කරලා නාලා හෙම මං ගෙදර ආවා. ඒත් දුව උදේ එද්දි මං උන්නෙ කාමරේට වෙලා. එළියට එන්නෙ නැතුව.

ඒත් පහුවෙනිදා එයා එනවා ජනේලෙන් දැක්කම මට ඉතින් ඉන්න බැරිවුණා. මං හෙමිහිට සද්දයක් දැම්මා.

‘‘මම්මා ආවද? මම්මා වගේ මට ඇහුණා...“ කිය කියා කෙල්ල ආවා. අපේ අම්මා ‘‘අන්න හොරෙක් ඉන්නවා කාමරේ‘‘ කිව්වම එයත් දොර ඇරගෙන ආවා. මේ සැරෙත් මං අර මුල් මෝඩකමම කළා. දූව වඩා ගෙන හුරතල් කළා. දවසයි ගෙවුණෙ මගෙ අනිත් කම්මුලත් ඉදිමෙන්න ගත්තා. අයියෝ... ඉතින් මං පිච්චුණ තරම කියලා වැඩක් නෑ. ඒ සැරෙත් ඇඬුව තමයි. 

‘‘දැන් ඉතින් ගෙදරම ඉන්න. කොහෙවත් යන්න එපා...“ ඒ සැරේ අම්මා මාව ගෙදර තියලා දුවව බලාගන්න නංගිලගෙ ගෙදර ගියා.

සති දෙක තුනක් යනකල් මං මොන තරම් බයකින් උන්නද? ඒ මං නිසා දුවටත් කම්මුල් අමාරුව හැදෙයි කියලා.

මිමියි.... මමයි... දෝණි පුංචි කාලෙ....


දැන් කොරෝනා කියද්දි දැනෙන බය වැඩියි. මං නිතරම බයෙන් ඉන්නෙ නොදැනම මං වෛරස් එක අරන් ගෙදර යයිද කියලා. ඉස්සර දුව විතරයි. ඒත් දැන් තවත් පැටව් පහ හයක්ම ඉන්නවා. එයාලට මං නිසා මේ වෛරස් එක බෝ වෙනවට වඩා හොඳයි මං මෙහෙම තනියම මැරෙන එක කියල  මට හිතෙනවා.

අර ගාමන්ට් එකේ වැඩ කළ අය තමන්ගෙ ආදරණීයයන් ගැන මොන තරම් විඳවීමක ඉන්නවා ඇත්ද කියල හිතෙද්දි, ඒ අයට තමන්ගෙ පවුල අයව දකින්නවත් නැතිව මොන දුකක් ඇත්ද කියල හිතෙද්දි, තමන්ගෙම අය තමන් නිසා කොරෝනා වෛරස් එකට නිරාවරණය වීමෙන් ඇතිවෙන වරදකාරී හෘදසාක්ෂිය එක්ක මොන තරම් පීඩනයක මිරිකෙමින් ඉන්නවා ඇත්ද කියල හිතෙද්දි  මට එයාලගෙ දුකයි, මගෙ දුකයි එකතු කරලා අඬන්න පුළුවන්. හදවතින් පතන පැතුමක් හැර අපට මේ මොහොතේ ඒ අය වෙනුවෙන් වෙන කරන්න දෙයක් තියෙනවද?

මම හැමවෙලේම හිතනවා ‘මම රෝග වාහකයෙක් විය හැකියි‘ ඒ නිසා මම අන් අයගේ සුවය වෙනුවෙන් ප්‍රවේසම් විය යුතුයි කියන එක. එතනදි අපි හැමෝටම කැපකිරීමක් කරන්න වෙනවා. මම කරන්නෙ මේ තත්ත්වය සමනය වෙනතාක් ගමේ නොයන එක. ඒ මගේ අහිංසක පැටව් වෙනුවෙන්. එයාලගෙ මම්මට එයාල නැතිව කොයිතරම් පාලු දැනුණත් යන්නෙ නෑ. ( මෙහෙම ලියද්දිත් කඳුළු )  

 

Friday, October 2, 2020

පෙම්වත ! ප්‍රේමය සදාතනිකය...!



පෙම්වත !

ඇදහීමි මම ප්‍රේම පාරමිතාව

''විශ්වාසය... බලාපොරොත්තුව... ප්‍රේමය"

නමුදු උඩු යටිකුරු කළෙහිය ඔබ

මගේ ඇදහිල්ල...

 

කතා නොකළෙමි මා

සුරදූත හඬින්

ඝෝෂා නඟන ඝණ්ටාරයක් හෝ

කටුක රාව නංවනා කයිතාලමක්

නොවූ බවද දනිමි මා...

පිරී තිබුණෙන් ප්‍රේමය මා ළය මඬලේ

සිඳු ගැඹර සේ නිසලවම...

 

නොදනිමි මා

කෙසේ සොයා පාදා ගත්තේදැයි ඔබ

ඒ දිය ගැඹර කිමිදෙන මඟ...

 

නොඉවසුම් ද, නපුරුකම් ද

ඊර්ෂ්‍යාවන්ත නෝක්කාඩු ද

අතර හිස්තැන් පිරී ඇති බව ප්‍රේමයෙන්

වටහා ගත්තේ ඔබෙන්ම ය

හනික කිපෙනා, සැණින් නිවෙනා

ඒ ප්‍රේමයේ මන්ත්‍රය

ඔබ කොහෙන් උගත්තාදැයි

නොදනිමි තවම....

 

බලාපොරොත්තු කිසිත් නැති

ශුන්‍ය අවකාශයක

විශ්වාසය පිනි බිඳක් සේ

වියැකී ගිය විට පවා

ප්‍රේමය නොනැසී පැවතීම ම

අරුමයකි.

 

ඉදින්,

 

ප්‍රේමයේ ඇදහිල්ල අලුත් වූ බව

ලියා තබමි ඔබ නිසා

සියල්ල උසුලමි

සියල්ල ඉවසමි

නිම් හිම් නොවන විශ්වාසී විශ්වයක

ප්‍රේමයේ ඇදහිල්ල ස්ථාපිත කරමි

කිසිවක් නොපතාම යළි...

 

පෙම්වත !

ප්‍රේම ගීතයයි ඔබ පැරණි ගිවිසුමේ

ප්‍රේම පාරමිතාව ද ඔබය නව ගිවිසුමේ...

 

'හදවතම සුවිසල් අහසකි

තනිකම ද මුනිවර සැනසුමකි'

දල්වා ඇති බැවින් ඔබ

දොළොස්මහේ පහන

මා සන්තානයේ...

 

සම්පූර්ණ දේ පැමිණ ඇත

අසම්පූර්ණත්වය පූර්ණත්වයට පමුණුවමින්

 

පෙම්වත !

ප්‍රේමය සදාතනිකය...!

 

 #ප්‍රේම ගීතාවලිය




Sunday, September 6, 2020

අපේ තාත්තා සහ පැටවුන්ගේ ලොකු තාත්තා


''අද තාත්තලගෙ දවස කියල මං මුහුණුපොතින් දැක්කා. මට මගේ තාත්තව මතක් වුණා. අපිට නම් ඉතින් විශේෂ දවසක් ඕන නැහැ අම්මා තාත්තා වෙනුවෙන්... හැමදවසක්ම අපි යාළුවො වගේ හරිම ආදරෙන් ඉන්නවනෙ... ඒත් මට මේ පින්තූරෙ මතක් වුණා. තාත්තගෙ 65 වෙනි උපන්දිනය දවසෙ ගත්තෙ. මෙතන එයාගෙ ලොකුම මුණුබුරයි, පුංචිම මිණිබිරියි නෑ. අපේ අම්මයි, තාත්තයි වගේ මුණුබුරු මිණිබිරියන්ට ආදරය කරන, ඒ අය වෙනුවෙන් කැපවෙන වෙහෙසන දෙමව්පියන් මං දැක්කෙ හරි අඩුවෙන්... තාත්තගෙ හිනා මූණ මතක් කරගෙන මම මේ සටහන දිගට ලියාගෙන ගියා..."

එනවා කී දවසට මං

නොයා කොහෙවත් ඈත

දැන් කොයි හරියෙද අහ අහා

තාත්තා ඉන්නවා

මං ඇවිත් බහිනකල් බසයෙන්...

ඒ වෙද්දිත් ගමන් දෙක තුනක්වත්

ගිහින් ඇති එයා

මොන්ටිසෝරියට, ඉස්කෝලෙට

නංගිව ඇරලන්න බැංකුවට...

 

මේ කියන්නෙ එක දවසක් ගැන

මං ගෙදර ගිය...

 

අරගෙන මාව ටවුමෙන්

ගෙදර  ගිය ගමන්

ආයෙම වතාවක් දොස්තර ගෙදරට

බෙහෙත් අරගන්න මට

''යමුද ලොකු දුවේ ලොකු අම්මත් බලල එන්න..."

ඒ ගමන් මහ ගෙදරට අපි දෙන්නාම

මගේ ලොකු අම්මා, එයාගෙ නැන්දම්මා

දුක සැප විමසා බලා ආපහු අපි ගෙදර...

 

''ලොකු දුවේ මං යනවා ලොකු නංගිගෙ දුවගෙ

බයිසිකලේ හදන්න බඩු අරන් එන්න..."

ආයෙමත් ගමනේ...

ඒ ගිහින් ඇවිදින් වාඩි වෙලා හෙමිහිට

හැදුවා බයිසිකලේ...

කරකවා රවුමක් දෙකක් රෝදය

දැන් හරි...

 

තාත්තා තමයි අපි හැමෝගෙම විනකල් බාස්...

''කැඩුණට කමක් නෑ සයිකල්

හදන්න පුළුවන් මට

කඩාගන්නෙපා අත පය..."

කියා ඔවදන් දෙන ඉස්සර අපිට වාගෙම

දැන් අපේ දරුවන්ටත්...

 

ඔන්න දැන් වෙලාව දොළහමාරයි.

ඇමතුමක්

''තාත්තේ පුතාව අරන් එනවද ඉස්කෝලෙන්..."

දාගෙන කමීසය, මුහුණුවැස්මද, හිස් වැස්මද

තාත්තා යයි ඉස්කෝලෙ

අරන් එන්නට මල්ලිගෙ ලොකු පුතුව

ඒ තමයි අපෙ සසෙන් ගීත් හංසන...

 

''වෙලාව දෙකයි සනී... ළමයි අරන් එන්න..."

අම්මා මතක් කරයි.

තාත්තා යයි මොන්ටිසෝරි

ලොකු නංගිගේ දුව, පොඩි නංගිගේ පුතා

නිසලියි, චන්දුයි

දෙන්නාම එක වර කැන්දාන එයි ආයෙම...

 

ඇමතුමක්... ආයෙම දෙකහමාරයි වෙලාව

''තාත්තේ ඔයාට පුළුවන්ද චූටි පුතා අරන් එන්න

මොන්ටිසෝරියෙන්..."

තාත්තා යයි ආයෙම සවිරු බබා අරන් එන්න

ඒ මොන්ටිසෝරිය අපි පුංචි කාලෙත්

ගිය මොන්ටිසෝරිය

ඒ කාලෙ බයිසිකලෙන් තාත්තාමයි

අරන් ගියෙ අපිවත්...

 

වෙලාව තුනයි...

''තාත්තේ දුවව අරන් ඉස්කෝලෙන්

ඇඳුම මාරු කරවලා විදුසඳට ඇරලන්න..."

පොඩි නංගී මතක් කරයි...

මිමීට ශිෂ්‍යත්වෙ... විභාගයක් නෙවෙයි ඒ නම්

දරුවන්ගේ අභාග්ගෙ

බලන් ඉන්නත් දුකයි ඒ පොරපිටිය මැද

දරුවො හෙම්බත් වන හැටි...

 

ගිහින් ටවුමේ ඉස්කෝලෙට

ඇරලවා දුව පන්තියට

ආපහු ඇවිත් වැඩි වෙලාවක් යන්නෑ

ආය ඇමතුමක් තාත්තට...

 

''අපේ මැඩම් කතා කළේ

මං එක්කරන් එන්නම්..."

තාත්තා යයි ආයෙම නංගිව කැන්දන් එන්න

 

''පුදුමාකාර සර්විස් එකක්නෙ දෙන්නෙ ඔයා

ඉල්ලාගන්න වෙයි ගාණක් වැඩිපුර...''

සිනා සී මම කියමි

''මම මේ හැමදෙයක්ම කරන්නෙ ලොකු දුවේ

හරිම සතුටින්..."

කියා හිනැහීගෙන තාත්තා නැගී යයි ආයෙම

යතුරු පැදියට...

 

ඇත්තමත් ඒකයි...

තාත්තා හිනාවෙන් හැම වෙලාවෙම

කිරුළු දැරූ රජෙක් ගාණට...

ඒ කිරුලෙ මිණි කැට

තමයි මේ මුණුබුරු මිණිබිරි රන් කැට...


Monday, August 24, 2020

''මසිත් හසරේ ආකාශ වස්තු..."

 


අපි උන්නෙ මිතුරු කතා බහක. ඒත් අන් යමක් ගැන නෙවේ. සාහිත්‍යය ගැනමයි. පොත පත ගැනමයි. ජෝහා අල්හාර්තිට Celestial Bodies වෙනුවෙන් මෑන් බුකර් ත්‍යාගය ලැබුණෙත් ඒ කාලෙ. ''ගංඟා මේ සැරේ මෑන් බුකර් දිනපු අරාබි ලේඛිකාවගෙ පොත පරිවර්තනය කරන්නකො." මම කීවෙ නිකමට. ඒත් ටික දවසකට පස්සෙ මුහුණුපොත මට කියනවා ගංඟා එකී කෘතියේ පරිවර්තන අයිතිය ලබා ගත් බව. ඉතින් සතුටු නොවී කොහොමද? ''ආකාශ වස්තු'' නමින් මනරම් පිටවැස්මක් සහිතව එළිදකින්නේ එකී කෘතිය.

ඇයම පරිවර්තනය කළ ඔර්හාන් පමුක්ගෙ ''මසිත් හසර එක්තරා නුහුරුවක" කියවා අවසන් වූයෙත් මෑතක. ලාංකේය දේශපාලනයේත්, මගේ රැකියා ජීවිතයේත් සංක්‍රාන්ති සමයක එවකට කාර්යාලීය පුස්තකාලයෙන් ලබා ගත් අවසන් පොත විදියටයි මම මසිත් හසර කියෙව්වෙ. මාසයක පමණ කාලයත් මෙව්ලූත් නම් බෝසා වෙළෙන්ඳා සමඟ තුර්කියේ ඉස්තාන්බුල් නුවර සැරිසැරුම විචිත්‍ර අරුමැසි  චාරිකාවක්ම වුණා. මට මාසයක් වුණත් එය ළමා මෙව්ලූත්ගේ සිට මහළු මෙව්ලූත් දක්වා දිව යන දීර්ඝ ජීවන අන්දරයක්. තුර්කියේ සමාජ, දේශපාලන පරිණාමය සමඟ ගැටගැහෙන සංස්කෘතික, ආගමික වටපිටාව තුළ පීඩිත ජන කොටසකගේ ජීවිතවල සිදුවන හැලහැප්පීම් නවකතාවේ පණ ගැහෙන ආත්මය බවට පත්වෙනවා.

''මසිත් හසර එක්තරා නුහුරුවක'' කියන්නෙ මතකයෙන් ගිළිහී නොයන ආකාරයේ පොතක්. ''ආකාශ වස්තු'' කියවා අවසන් වන විටත් බෝසා මිහිර හිතින් වියැකී තිබුණේ නැහැ. 


ඕමානයේ පවුලක පරම්පරා තුනක ජීවන වෘත්තාන්තය අප වෙත ගෙනෙන ''ආකාශ වස්තු''   ආකෘතියෙන්, කතා ලතාවෙන් පමුක්ගේ කෘතියට වඩා වෙනස්. කෘති දෙකම දේශයන් දෙකක මානව ශිෂ්ටාචාරයේ පරිණාමයේ අවස්ථා කිහිපයක් විචිත්‍ර විදියට ප්‍රබන්ධ ගතකිරීමේ ප්‍රයත්නයන්. විචිත්‍ර වන්නේ හෝ අරුමැසි වන්නේ හෝ සුන්දර වන්නේ ලේ, දහදිය, කඳුළු මතින් ගලා යන ඉතිහාසයේ කතන්දරය නම් නොවේ. එය ප්‍රබන්ධ ගත කරන ආකාරයයි.

වහල් වෙළඳාම පැවති වැඩවසම් සමාජ ක්‍රමයක සිට තෙලෙන් ධනවත් වූ නූතනත්වය දක්වා දිවෙන ඕමානි පවුලක ජීවන අත්දැකීම් නවකතාව තුළ ගොනු වී ඇති ආකාරය තරමක් සංකීර්ණයි. එය පරිවර්තනය කිරීමට අසීරු කෘතියක් බව නිසංසලා ධර්මසේන මිතුරිය තැනක ලියා තිබූ බවත් මතකයි. පටලැවිලි ලිහාගෙන කියවීමේ උවමනාව සහ කැමැත්ත ඇත්නම් කෘතියේ අන්තර්ගතය වටහාගැනීමේ අපහසුවක් නැති බවයි මගේ හැඟීම.

ධනවතුන්ගේ හස්තයේ රූකඩ මෙන් නැටවෙන වහල් මිනිසුන්ගේ වහල්භාවයට නොදෙවෙනි වහල්භාවයක් අත්විඳින ගැහැනුන්, සම්ප්‍රදාය සංස්කෘතිය විසින් ස්වාභාවික මානව හැඟීම් අවශ්‍යතා යටපත් කර දැමූ වේදනාවේ ස්මරණයන්, ඒ අතර සම්ප්‍රදාය ඉක්මවා ජීවිතය සොයා යන්නට වෙහෙසන ගැහැනුන්, පිරිමින් ''ආකාශ වස්තු'' තුළ ඔබ හමුවනු ඇති. අපට ආගන්තුක දේශයක්, සංස්කෘතියක්, සමාජ දේශපාලන අවකාශයක් මෙලෙස තවත් බසකට ගෙන ඒම පහසු කටයුත්තක් නොවන්නට ඇති. ගංඟා බොහෝ හැදෑරීම් කරන්නට ඇති බව නිසැකය. ''මසිත් හසර එක්තරා නුහුරුවක'' කෘතියත් එයට සාක්ෂ්‍ය සපයයි.

(''මසිත් හසර එක්තරා නුහුරුවක''ත්, හෂිත අයියා පරිවර්තනය කළ ''මතක මිය ඇදෙන සඳ'' සහ කෞශල්‍ය කුමාරසිංහගේ ''නිම්නාගේ ඉතිහාසයත් ටිකෙන් ටික එකම කාල වකවානුවක කියවා අවසන් කළ කෘති. මනුෂ්‍යත්වය ගිළිහී යා නොදී පවත්වාගන්නට නම් ඉතිහාසය ප්‍රබන්ධගත කළ යුත්තේ කෙලෙසින්ද යන්නට නිදසුන් කොට දිය හැකි කෘති ඒ. එය වෙන වෙනම දීර්ඝ සටහන් ලිවිය හැකි කියවීම්. ඉදිරියේ දී බලමු. )   

 

 

Wednesday, July 29, 2020

අඳුරට සාප නොකර ඡන්දදායකයාගේ හෘද සාක්ෂිය දල්වමු.


පින්තූරය Daily mirror  වෙබි අඩවියෙනි.

“මේ සැරේ නම් කාටවත් ඡන්දෙ දෙන්නෙ නෑ. ඔක්කොම කරන්නෙ බොරුව, වංචාව, ගසා කෑම, අසාධාරණේ. පොඩි මිනිහා ගැන සලකන එක දේශපාලඥයෙක්වත් නෑ. රට විකුණල හරි කමක් නෑ උන්ට ඕන තමන්ගෙ සේප්පු පුරවගන්න.”

“හොඳයි ඉතින් ඡන්දෙ නොදී හිටියා කියමුකො. එතකොට මොකද වෙන්නෙ පාර්ලිමේන්තුවම හොරුන්ගෙන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ගෙන්, දූෂකයන්ගෙන්, මදාවිකාරයන්ගෙන් පිරෙයි. තත්ත්වෙ තවත් නරක් වෙන එක නෙමෙයිද වෙන්නෙ.”

“හා ඉතින් කියමුකො බලන්න අවංකව ඡන්දයක් දෙන්න පුළුවන් එකම එක නියෝජිතයෙක්වත් ඉන්නවද කියලා, එකම එක පක්ෂයක් කියන්න බලන්න රට ගැනයි, මිනිස්සු ගැනයි හිතන.”

“නපුර වැඩියි ඇත්ත... නමුත් මේ තියෙන තත්ත්වය ඇතුළෙ අපට අවම නපුර ගැනවත් හිතන්න වෙනවා. හොඳට ඇහැ කණ ඇරල බැලුවොත් මේ කුණු වුණ දේශපාලනය ඇතුළෙත් තාමත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් මිනිස්සු ඉන්න බව පෙනෙයි. එහෙම නැත්නම් අපි එවැනි මිනිස්සු දේශපාලනයට එන විදියට වැඩ කරන්න ඕන. බලය දූෂිතයි, පරම බලය අතිශය දූෂිතයි කියල කතාවක් තියෙනවනේ. ඉතින් නොමිනිසුන් අතට මහා බලයක් නොයන විදියට තමන්ගෙ කතිරෙ පාවිච්චි කරන එකත් මේ මොහොතෙ පුරවැසියන් විදියට අපේ වගකීමක්. ඒකට තමයි පුරවැසි දේශපාලනය කියන්නෙ.”

“හ්ම්... හ්ම්”

“දේශපාලනය කියන්නෙ උත්තරීතර වැඩක්. රටක, ජන සමාජයක යහපත වෙනුවෙන් තීන්දු තීරණ ගන්න, ඒවා ක්‍රියාත්මක කරන්න විනිවිදභාවයෙන් යුතු වැඩපිළිවෙලක් හැදීමනෙ දේශපාලනයේ සැබෑ අරමුණ විය යුත්තෙ. එතන පටු අරමුණු තියෙන්න බෑ. පීඩිත පන්තිය අමතක කරලා තමන්ගේ සුඛ විහරණය ගැන විතරක් හිතන්න බෑ. හැමදෙනාටම යහපත සැලසෙන වැඩපිළිවෙලක් තියෙන්න ඕන. හරි අධ්‍යාත්මයක්, හෘද සාක්ෂියක්, නිවැරදි දැක්මක් නැති මිනිස්සුන්ට මේක කරන්න බෑ. අද මේ දේශපාලනය කියල කරන්නෙ සීමිත පිරිසක් අත ආර්ථික බලය පවත්වාගන්න පොඩි මිනිහගෙ ඇස් වහල කරන ඇස්බැන්දුම් වැඩක්නෙ.”

“මේ රටට නිදහල ලැබිල අවුරුදු හැත්තෑවක් ගියත් අපට ඔය තියෙන මජර දේශපාලන ක්‍රමය නවත්වන්න බැරිවුණානේ.”

“එහෙම හිතුවොත් නම් කලකිරීමක් විතර තමයි ඉතුරු වෙන්නෙ. නමුත් ජනතාව වෙනස් වෙනව නම් මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒකට අපි හිතන පතන විදිය සහ වැඩ කරන විදිය වෙනස් වෙන්න ඕන.”

“ඒ කොහොමද?”

“මුලින්ම, අපි ආසන්න පාර්ලිමේන්තු මැතිවරණය ගැන හිතමු. මෙතනදි අපි ඡන්දය පාවිච්චි කරන්න ඕන අපේ පුද්ගලික වාසිය ගැනවත්, ජාතිය, ආගම හරි, පුද්ගල ජනප්‍රියත්වය හරි, පාරම්පරික පක්ෂය ගැන හරි හිතල නෙවෙයි. පොදුවේ ගමට, රටට අවම යහපතක් හරි ඉටුවෙයි කියල හිතන්න පුළුවන් පුද්ගලයා ගැන හිතලා. දැන උගත්, යහපත් මිනිස්සු පාර්ලිමේන්තු යවන්න අපි මහන්සි ගන්න ඕන. අනිත් කාරණේ තමයි නිවැරදි දැක්මක පිහිටන ශක්තිමත් විපක්ෂයක් ඕන රටකට. බලය යහපත් මිනිසුන් අතට භාරදෙන්න මේ මොහොතෙ අපට පුළුවන්කමක් නැත්නම් ප්‍රබල විපක්ෂයක්වත් හදන්න අපි මහන්සි වෙන්න ඕන. ඈලි මෑලි දුබල විපක්ෂයක් නෙවෙයි අවම වශයෙන් පාර්ලිමේන්තුව ඇතුළෙ මිනිස්සු වෙනුවෙන් හඬක් නගන්න පුළුවන් විපක්ෂයක්.” 

“ඒ කතාව ඇත්ත, ඒත් ඕවා තාවකාලික පැලැස්තරනේ”

“ඔව්, ඇත්ත, ක්ෂණික නූඞ්ල්ස් හදනව වගේ දේශපාලන ක්‍රමයක් වෙනස් කරන්න බෑ. ඒකට ජනතාව දැනුවත් කරන්න ඕන. ඒක බිම් මට්ටමින් පටන් ගන්න ඕන වැඩක්. කුඩා කණ්ඩායම් විදියට දැනුවත්කිරීම් කරන්න ඕන. දේශපාලනය කියන්නෙ පුරවැසි වගකීමක් කියන එක හැමදෙනාම තේරුම් ගත්ත දවසට තමයි මේ ක්‍රමයේ වෙනසක් දකින්න පුළුවන් වෙන්නෙ. සල්ලි වීසිකරලා, මදාවිකම් කරලා අන්ත දූෂිතයින්ට බලයට එන්න පුළුවන් වෙලා තියෙන්නෙ, උන්ට ඡන්දෙ දෙන පිරිසක් මේ සමාජයේ ඉන්න නිසානෙ. අන්න එතැනයි අපි වෙනස් කරන්න ඕන. හෘද සාක්ෂියක් ඇති මිනිස්සු හරියට කතිරෙ ගහන්න ඉගෙනගත්තු දවසට ගොඩක් දේවල් වෙනස් වෙයි.”

“මිනිස්සු හැමදාමත් රැවටෙනවා. ඉතින් කොහොමද වෙනසක් කරන්නෙ?”

“රැවටෙන්නෙ මිනිස්සු ඇත්ත දන්නෙ නැති නිසා. ඇත්ත සමාජ ප්‍රශ්න ගැන මිනිස්සුන්ට දැනීමක් නැහැ. තමන්ව පීඩාවට පත්වෙන්නෙ කොහොමද කියන එක, ඒ පීඩාවේ මූලය තියෙන්නෙ කොතනැද කියන එක මිනිස්සු දන්නෙ නෑ. ඒ ඇත්ත දේශපාලකයොත්, මාධ්‍යයත් මිනිස්සුන්ගෙන් හංගනවා. අපි ඒ ඇත්ත මිනිස්සුන්ට ඇහෙන්න, දැනෙන්න කියන්න ඕනි. දේශපාලකයා තමන්ගේ වාසිය වෙනුවෙන් ජාති, ආගම්, කුල, පක්ෂ ආදී නොයෙක් විදියට අපිව භේදබින්න කරන බව ජනතාව දැනගන්න ඕන. ඒ දැනුවත්භාවය සමාජය තුළ ගොඩනැගීම අත්‍යවශ්‍ය කාරණයක්.” 

“අපේ තරුණ පරපුර ? අලුත් ඡන්ද? එයාලගෙ කතිරෙ තීරණාත්මකයි නේද?”

“හ්ම්, ඒක තමයි කණගාටුවට කරුණ, අද තරුණ පරපුරට නිවැරදි නායකත්වයක් නැහැ. සමාජ මාධ්‍ය තමයි ඒ ඔලුගෙඩි පාලනය කරන්නෙ. බහුතරයක් ජාතිවාදී, ආගම්වාදී විස පුරවගෙන වල්මත් වෙලා. අපි කොතනින්ද පටන්ගන්න ඕන. දෙවෙනි ලෝක යුද්දෙන් පස්සෙ ජපානය තමන්ගෙ රට ගොඩනගන්න තීරණය කරද්දි එයාල පටන්ගන්නවා රන් බිජුවට කියලා ව්‍යාපෘතියක්. එයාල සමාජය ගොඩනගන වැඬේ පටන්ගත්තෙ පෙර පාසලේ දරුවන්ගෙන්. අදත් අපිට එතන ඉඳන්ම වැඩ පටන්ගන්න සිද්දවෙලා තියෙනවා. ජනතාව ආත්මාර්ථකාමී නම්, තණ්හාධික නම්, නූගත් නම්, අපිලිවෙළ නම් එවැනි ජනතාවක් අතරින් අපට සුපිරිසිදු දේශපාලනයක් බලාපොරොත්තු වෙන්න බෑ. අපේ ළමා පරපුර, නව යොවුන් සහ තරුණ පරපුර සබුද්ධික කිරීමේ වගකීම අපිට තියෙනවා.”

“අපේ රටේ සදාචාරසම්පන්න දේශපාලනයක් කියන්නෙ හීනයක් තමයි.”

“හීන හැබෑ කරගන්න නම් වැඩ කරන්න ඕන. අඳුරට සාප නොකර ඡන්දදායකයාගේ හෘද සාක්ෂිය දැල්වීම මේ මොහොතේ අපේ වගකීම. කතෝලික අපිට ඒ වගකීම ඉටුකරන්න නිවැරදි මාර්ගෝපදේශයක් තියෙනවා. ඒ තමයි ජේසු ඉගැන්වූ විමුක්තිදායක ප්‍රේමයේ දැක්ම. අද ජේසු හිටියා නම් කාට ඡන්දෙ දෙන්න කියයිද කියල තමන්ගෙම හෘද සාක්ෂියෙන් අහල බලන්න. ජේසු අපට ප්‍රේම කළ තරමින් දශමයක ප්‍රේමයක්වත්, කැපවීමක්වත් නැති දේශපාලකයෙක්ට කතිරෙ ගහන්න සැබෑ කතෝලිකයකුට බෑ. ජේසු ගිය මඟ ගන්න සැබෑ කිතුනුවෙකුට අනේ අපිට දේශපාලනයෙන් වැඩක් නෑ කියල ඇහැ කණ පියාගෙන ඉන්නත් බෑ. එදා ආගමික නායකයොයි, දේශපාලන බලාධිකාරයයි එකතු වෙලා ජේසු කර මත තැබූ කුරුසිය, අද අපේ කර මත බව අමතක නොකර මේ ගමන යමු.”

(ඡන්දදායකයාගේ වගකීම පිළිබඳව සරල ලියවිල්ලකට ඇරයුම ලැබුණේ භක්ති ප්‍රබෝධනය සඟරාවේ සංස්කාරක එමාඩ් පියතුමාගෙන්. ඒ අනුව ලියවුණු මේ සංවාදාත්මක සටහන ඔබ හමුවේ තබන්නට රිසිවෙමි. එය මෙවර භක්ති ප්‍රබෝධනය  සඟරාවේ පළ වී ඇත.)