පිටු

Friday, September 7, 2018

‘‘කවිය ජීවිතය වගේ වුණාම රිදි රිදී වුණත් යම් තැනක ජීවත් වෙන්න පුළුවන්.’’





‘‘ඇගේ පොතේ සියලූම කවි මැනවින් තෝරා හැඩගන්වා ඇත.
ඇය ගැහැනියකි.
ඇගේ කවි ද ගැහැනු කවි ය.’’
- රසිකා ගුණවර්ධන

සැප්තැම්බර් 07 වන දින සවස 3.30ට, කොළඹ පදනම් ආයතනයේදී එළිදකින්නට නියමිත තුෂාරිකා ඇන්තනී කිවිඳියගේ ‘‘උතුරා යන්න ගඟ මම කැමති පොකුණට’’ කාව්‍ය කෘතියට පෙරවදනක් සපයන රසිකා ගුණවර්ධන තුෂාරිකාගේ කවිය හඳුන්වා දෙන්නේ එලෙසිනි. සයිබර් අවකාශය තුළ මෙන්ම පුවත්පත්, සඟරා තුළද තම කවියට ඉඩහසර පාදා ගත් කවි කිවිඳියන් අතර මනා සංයමයකින් අකුරු කළ කිවිඳියක වූ තුෂාරිකා දිගු කාලයක් පුරා තම කවියට නිදහසේ හැදෙන්නට, වැඩෙන්නට ඉඩහැර දැන් ඒ කවි මුද්‍රිත කෘතියක්ව රසික පර්ශද් වෙත ගෙනෙන්නට පෙරුම් පුරන්නීය. මේ තුෂාරිකාගේ කවිය සම්බන්ධව ඈ සමඟ කළ සංවාදයකි. 

‘‘මුහුදක වතුර ළඟ තියන්
රේල් පාරක් පිච්චෙන තරම්...”
1.         මේ ඔබ ලියූ කෙටි කවියක්. ඇයි ඔබ කවි ලියන්නෙ?

සතුට, වේදනාව වගේ එකී නොකී හැඟීම් මතු වුණ වෙලාවට ඒවා හිත තුළම තෙරපාගෙන ඉද්දි හරි අපහසුවක් දැනෙනවා, ඒවා වචන බවට පෙරළලා මගේ හිත නිදහස් කරගන්නකම්ම. ඒ වගේ අවස්ථාවල ඉතින් කවි ලියනවා. ඒ ලියවිල්ලෙන් ආයෙම හිත පාරගන්නවා තමයි. ඒක වෙනම කතාවක්. ඒත් කවි කියවීම හා ලිවීම ජීවිතය වගේ වුණාම රිදි රිදී වුණත් යම් තැනක ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. කවිය ඉතින් හරියට ඈඳිලා තියෙනවා ජීවිතයට.



‘‘කවියකින් පේව සැතකින් පාරවයි හද
යළිත් මිහිරකි අනික් පදයෙදි ඍතු මාරුවෙන”
2.         අපි ඔබ කිවිඳියක් විදියට හඳුනාගන්නෙ සයිබර් අවකාශයෙන්. නමුත් කවිය සමඟ වන ඔබේ ගනුදෙනුවට ඊට වඩා දිගු ඉතිහාසයක් ඇති, ඒ ගැන සිහිපත් කරමු.?

පාසල් කාලෙදි නම් කෙටි කතා ලියන්නයි මම කැමති. උසස් පෙළින් පස්සෙ ගෙදර ඉන්න කාලෙදී නම් යම් යම් කවි වගේ දේවල් ලිව්වා. හැබැයි ඒක දිගටම කළේ නැහැ. මට හිතුන වෙලාවට විතරයි. ඒ අතර කුඩා කවි හා කෙටිකතා තිබුණා. මගේ තාත්තා නිසා ගෙදර හරි කලාකාමී ගතියක් නම් නිතර තිබුණා. ඔහු සංගීතයට ලැදි අහිංසක මනුස්සයෙක්. ඒවයිනුත් පොඩි ආභාෂයක් ලැබෙන්නට ඇති සාහිත්‍යය, ගීතය, කවිය ගැන උනන්දු වෙන්න.


‘‘පුපුරපු ගල් බෝරයට
ජීවිතය නොදී
පර්වතය සිටියි තව දිනයක්...”
3.         සයිබරයේ කාව්‍යාවකාශය තුළ සැරිසැරුම ඔබේ කවියට ලබා දුන් පන්නරය කෙබඳුද?

සයිබරයේ කාව්‍යාවකාශය හරි ඉක්මනට ප‍්‍රතිචාර ලබන්නට පුලූවන් අවකාශයක්. ඒ වගේම හොඳ කවි කියවන්න ලැබෙන තැනක්. බොහෝ දක්ෂ අයගෙ නිර්මාණ දැක ගන්න ලැබෙනව වගේම හොඳ සංවාද පවා දකින්නට ලැබෙනවා සාහිත්‍ය ලියවිලි සම්බන්ධයෙන්. ඇත්තටම මගේ කවිවලටත් එතන යම් වේදිකාවක් වුණා. මම ලියන කවි සයිබරයෙ පල කිරීම තුළින් මට හුඟක් ආදරණීය ප‍්‍රතිචාර ලැබිලා තියෙනව. දිරිගන්වන සුලූ ඒ හැම අකුරකටම ආදරෙයි කියලා තමයි කියන්න  ඕන.

විශේෂයෙන්ම සයිබරයේ දී සමර විජේසිංහ සහ රසිකා ගුණවර්ධන යන මනුස්සයන් දෙන්නා මුණ ගැසීම තමා සිදුවූ ලස්සනම සිද්ධිය. ඒ දෙන්නට කුඩා හෝ විසල් කවි නෑ. හැම කවියක්ම ලස්සන කවි වගේ පෙණුනා, කවුරු හෝ ලියන්නට උනන්දු නම් ඒ දේවල්වලට බලපත‍්‍ර හිමි අයෙක් විය යුතු වගට විශ්වාස නොකරපු දෙන්නෙක්.  ඕනම කෙනෙක්ට කැමති විදිහකට හැඟීම්  කියාගන්න නිදහස තියෙන වග විශ්වාස කරපු නිසා අපි වගේ අයව නිතර දයාබර නෝක්කඩුවලින් ඉස්සරහට තල්ලූ කරපු දෙන්නෙක්. ඒ විස්තර කියන්න පුළුවන්  ඕන තරම්.  ඒත් උත්තරය දිග වැඩි නිසා නවත්තන්නම් ඒ දෙන්න ගැන කීම.  ඒ වගේම තව ඉතා ප‍්‍රවීණ කවියන් පවා සයිබරයෙදි හමු වුණා, ‘කවිය‘ සරල විදිහට නොගෙන බරපතල විදිහට සැරිසරන්න  ඕන තැනක් වග කියා දුන්න. නිතර අභ්‍යාස කරමින් වගකීමකින් මේ දෙය කළ යුතු බවට අදහස් ඔලූව මත තැබුව. ඒ අතරෙ කාංචනා, උපේක්ෂා, අනිල් සහ තව නම් විදිහට කියන්න බැරි තරම් කට්ටියක් ඉන්නවා නිතර දිරියක් වුණ. කවි අගය කළ කැටපත් පවුර, වළාකුළු අතර, බූන්දිය වැනි අවකාශ අමතක කරන්නත් බෑ.


‘‘නිතරම වැස්සොතින් නිතරම
ඉඳහිට වැස්සොතින් ඉඳහිට
උතුරා යන්න නියමිත
ගංඟාව මෙනි ඔබ...”
4.         ‘‘උතුරා යන්න ගඟ මම කැමති පොකුණට’’ මේ ඔබේ පළමු කවි පොත. සමකාලීන කවි කිවිඳියන් එකපෙළට කවි පොත් කරද්දි, ඔබ මුද්‍රිත මාධ්‍යයට පිවිසෙන්න දීර්ඝ කාලයක් ගන්නවා. ඒ ඇයි කියන්න පුළුවන්ද?

ඒකට නම් කියන්න තරම් විශේෂ හේතුවක් නෑ. ඒ අයට හිතෙන්න ඇති එහෙම කරන්න. මට හිතුනෙ නෑ මීට කලින් කවි පොතක් කරන්න. කොහොමත් මගේ දිගුකාලීන සැලසුම් නෑ මොනම දේකදිවත්. මේ වෙලාව හොඳයි කියලා හිතුණොත් ඒ දේ කරනවා. ඉතින් දැන් කවි පොතක් කළොත් හොඳයි කියලා මට හිතුණා.

‘‘වසර ගණනකට පසුව
අපට අප හමුවිය හැකිද
දුරක ගොස් සිට නොව
එකම වහළක සෙවණේ වුව”
5.         ඔබේ කවි පොතේ කවි අතර ගේහසිත පේ‍්‍රමය වැඩි ඉඩක් ගන්නා බව පේනවා. මවක්, බිරිඳක්, ගෘහණියක් කියන භුමිකා සමඟ ස්ත‍්‍රී කාව්‍යාත්මයක ගනුදෙනුව ඔබ දකින්නෙ කොහොමද?

ඒක නම් බොහොම පරෙස්සමට උත්තර දෙන්නත්, කැමැත්තෙන් උත්තර දෙන්නත් පුලූවන් ප‍්‍රශ්නයක්. තේ හදද්දි, බතට වතුර ඇද්ද කියලා ඇස් දෙකෙන් මනිද්දි,  ළමයින්ට කෑම පෙට්ටියට දමද්දි, ඒ අය නොපෙනී යනකන් අත වනද්දි, කෑම කෑවද කියලා අහන්න සැමියාට ටෙලිපෝන් කරද්දි, ඒ කී නොකී හැම වෙලාවකම බොහෝ කවි නිමිති පහළ වෙනවා. කාව්‍යාත්මයක ගනුදෙනුවක් සිද්ධ වෙනවා.

මමත් මේ භූමිකාව කරන සාමාන්‍ය ගැහැණියක්. ඉතින් ගෘහණියක කියන භූමිකාවෙදි පෙනී නොපෙනී යන හදිසි කවි බීජ වෙනම තැන්පත් කර ගන්න තැනක් හදා ගන්න වෙනවා. මොකද ඒ ගෙදර දොර හා කාර්යාලයේ කටයුතු අතර ජීවිතය ගෙවෙද්දී කවි ලියනා නිසා. ඒක ඉතින් විශේෂ අමතර වීර්යයකින් කළයුතු කාරණාවක් වෙන අවස්ථාත් නැත්තෙ නෑ.

සංවාද සටහන - තරුරසී ප‍්‍රනාන්දු (දිනමිණ පුවත්පතේ පළ විය. )



Monday, August 13, 2018

අලුත් වුණු ශ්‍රී මහල් සහ ගෝල්....



සැලසුම තිබුණෙ නම් වටේ පිටේ ළමයි ඔක්කොමත් එක්කගෙන තාත්ත ලව්ව ලොරියෙන් දම්මගන්න. ඒත් ඩැයිවර මහත්තයට වැඩ වැඩි වුණ නිසා පවුලෙ පොඩි සෙට්ළ එක එක්ක බයික්වල ගිහින් තමයි ගෝල් බැලුවෙ. ( අනිත් පොඩි සෙට් එක එක්කගෙන යන්න ආයෙ පිළිවෙලක් යොදන්න ඕන.) චිත්‍රපටිය ගැන කියන්න වගේම වෙන වෙන කතා ටිකක් කියන්නත් එක්කයි මේ සටහන ලියන්න හිතු‍වෙ.

කුලියාපිටිය නගරයේ සිනමා ශාලා තුනක් තියෙනවා. එයින් ඉපැරණිම හෝල් තමයි ශ්‍රී මහල් සහ මහලේකම්. මේව  පණ ඇද ඇද හරි අඛණ්ඩව දිව්ව එක ගැන ස්තුතිවන්ත වෙන්න ඕන. අලුතෙන් හැදූ හෝල් එකක් තියෙනවා ලක්බිම කියල. අලුත් කිව්වට ඉතින් අලුත්මත් නැහැ. 

ඔයාලට මතක ඇති චිත්තර පටි විස්තර ලිපියෙ මම ලිව්වා ශ්‍රීමහල් එකේ ආදරණීය කතාවක් බැලූ හැටි. (ශ්‍රී මහල් එකේ ආදරණීය කතාව... ) ඒ වෙද්දි සිවිලිම වෙනුවට තිබුණෙ තැනින් තැන එල්ලුණු ගෝනි පඩංගු. කැඩිච්ච, බිඳිච්චි පුටු වටේට ගොඩගහල. ඒ මැද පුටු පේළි ටිකක් තියල තමයි චිත්‍රපට පෙන්නුවෙ. සත්තු සර්පයි ඇති කියල බයට එදා අපි ඉස්සරහ පුටු උඩ කකුල් තියන් තමයි චිත්‍රපටිය බැලුවෙ.

හැබැයි මෙදා යද්දි නම් ශ්‍රී මහල් සෑහෙන්න ශ්‍රීයක් පෙන්නුවා. සිවිලිම ගහල අලුතෙන්, ඒක දුප්පත් සිවිලිමක් වුණත් ගෝනි එල්ලෙන්නෙ නැති එක සතුටක්. සම්පූර්ණ ශාලාවෙම පුටු පිළිවෙලට සකස් කරලා. ගැලරියෙ ඉඳලම ආසන පනවලා. බිත්තිත් අලුතෙන් පාට කරලා. සෑහෙන හොඳ මට්ටමක වටපිටාව තිබුණා. ආ... කියන්න අමතක වෙනවා තව ඩිංගෙන් දැන් බොක්සුත් පේළියක්ම අලුතෙන් හදල තියෙනවා. ඉස්සර ඒව තිබුණෙ නැහැ. 


ඉරිදා දවස නිසාද මන්දා ගෝල් බලන්න සෑහෙන පිරිසකුත් උන්නා. චිත්‍රපටය හොඳයි, කම්මැලිකමක් නැතුව බලා ඉන්න පුළුවන්. හැබැයි අවිශ්වසනීය තැන්, තවත් සැලකිලිමත් විය යුතු තැන් තියෙනවා. මට සැකයක් තියෙනවා අපිට පෙන්නුව චිත්‍රපටියෙ කොටස් අඩු වෙලාද කියලත්. චිත්‍රපටි ශාලාකාරයො එහෙම වැඩත් කරනවනේ...

දිළිඳු දුෂ්කර ගම්මානයක ජීවිත ඒ කාෂ්ටක ගතියෙන් තොරව බොහොම සුන්දරව පෙන්නන එකේ පොඩි අතාත්වික ගතියක් තියෙනවා. ෆුට්බෝල් ගැන මෙලෝ හසරක් නොදන්න ඒ වගේ මැරෑටි කොළු සෙට් එකක් කොහොමද මෙච්චර ඉක්මණට දක්ෂ ටීම් එකක් බවට පත්කරගත්තෙ. ඒක සෑහෙන දුෂ්කර වෑයමක් වෙන්න ඕනනෙ. චිත්‍රපටිය ඇතුළේ ඒ බව මතුවෙනවා අඩුයි. මේ වගේ තව සියුම්ව ඔපමට්ටම් කරගන්න පුළුවන් අවස්ථා ගණනාවක්ම තියෙනවා.

දඬුවම් මාරුවක් විදියට දුෂ්කර අඩවියකට යන පාපන්දු පුහුණුකරු සහ බිරිඳ ඒ දරුවන් එක්ක, ගම එක්ක ඇතිකරගන්න සම්බන්ධතාව, ළමයින්ගෙ ජීවිත ගොඩනගන්න දරන වෑයම, දරුවන් තුළ කැපවීම උනන්දුව ඇතිකරන්න ගන්න උපක්‍රම මේ හැමදේම එක්කම ගත්තම ලස්සන කතාවක් තියෙනවා. වන්නි වනන්තරේ කණිෂ්ටෙක දරුවන් පිරිසක් හිටිඅඩියෙ පාපන්දු පුහුණු වෙලා කොළඹ ඇවිත් රාජකීයයන් පරදවලා සමස්ත ලංකා ශූරතාවය දිනාගන්න එක කොයිතරම් දුරට ප්‍රායෝගික විය හැකිද කියන ගැටලුව තිබුණත් දරුවන්ට ඒ දෙන ඉලක්කයම හොඳ උත්සාහයක්. චිත්‍රපටයක් විතරක්ම නෙවෙයි,  සමාජ වැඩක් විදියට ගත්තමත්. 


චිත්‍රපටයට තෝරගත්ත වටපිටාව වගේම පොඩි කොලු පැටව් ටිකත් බලා ඉන්න හිතෙන තරම් හිතට සුවයක් ගේනවා. ඒ චරිතවල හැසිරීම් හරිම ආදරණීයයි. චිත්‍රපටයේ උසස්කම ගැන නෙමෙයි මම මේ කියන්නෙ ඒ චරිතවල තියෙන ආදරණීය බව. ඒවා හිතට දැනෙනවා. සංවේදීයි.  

දරුවන්ව එක්කරගෙන යන්න මේ චිත්‍රපටිය බලන්න. මට හිතෙනවා ඒක එයාලට වෙනස් අත්දැකීමක් වේවි.



Tuesday, August 7, 2018

තුන්දෙනෙකු ගැන කතාවක් පමණක්මද?




 ‘‘තුන්දෙනෙක්‘‘ නිමාවේ අඳුරු ගන්වා තිබූ ශාලාව විදුලි පහන් එකිනෙක දල්වාලද්දී පවා මා උන්නේ සාංකාවෙනි. ඒ මීගමුව මාරිස්ටෙලා විදුහල් ශාලාවේදී Her, Him The other සිනමා පටය තිරගත වූ සැඳෑවය. ඒ රූප රාමු එකින් එක ඇස් ඉදිරියේ ගලා යද්දී සැබෑ මිනිස් මුහුණු සිය ගණනක් මා සිතේ පෙළගැසෙමින් තිබිණි. 

අතීතයේ දවසක මට්ටක්කුලියේ හමු වූ මඩකලපුවේ වැන්දඹු අම්මලාද, ළක්‍රිවී වැඩවලට ආ මන්නාරමේ, වව්නියාවේ නෙදන්කර්නි, යාපනේ තරුණ තරුණියන් සහ දූ දරුවන්ද, කයිට්ස් දූ දරුවන්ද, වලෙයිපාඩු තරුණ පිරිසද, ආනවිළුන්දාන් වැන්දඹු අම්මලා සහ දරුවන්ද, කේපාපිලව් හමුදා කඳවුර ඉදිරිපිට කූඩාරම් ගසාගෙන තම ඉඩම් හිමිකම ඉල්ලා සිටින මිනිසුන්ද, තේ වතුවල හමු වූ දිළිඳු අසරණ මිනිසුන්ද... ඒ මුහුණු මේ රටේ අසරණ වූ ලක්ෂ සංඛ්‍යාත ජනකායකින් මට හමුවූ සිය ගණනක් පමණි.

ඒ ඇස් - මා ඇස්, ඉස්, මස් කළඹමින් තිබිණි. නිමාවූයේ තුන්දෙනෙකුගේ කතාවක් පමණක් නොවන බව හොඳින්ම දනිමි. එය අතීතයේ කතාවක් පමණක්ද නොවේ. වර්තමාන කතාවද, අනාගත කතාවද එයම වන බව සිතන්නට සිදුවීමත් වේදනාවකි. අප මහන්සි විය යුත්තේ ඒ කතාව වෙනස් කරන්නටය. වෛරයේ, ද්වේශයේ, ආත්මාර්ථයේ කතාව වෙනුවට එකිනෙකා තේරුම්ගැනීමේ, පිළිගැනීමේ ආදරයේ කතාවක් බවට පත්වීමටය. 

‘‘අපට අපේ කතාව කියාගන්න විදියක් නෑ...‘‘

‘‘අපට කියන්න කතා සියදාස් ගාණක් තියෙනවා. අපට අපේ කතාව කියාගන්න විදියක් නෑ‘‘ කියා පළමුව දිගහැරුණු ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ඇය‘ කතාවේ කේසා හඳගමට කියද්දී එවන් කතා කොතරම් නම් මා ඇසුවේදැයි සිහිපත් විණි. ‘‘අපි උන්නෙ දෙමටගොඩ සමන්තා එක ළඟ. තාමත් අපේ අය ඒ අහළ ඇති. දුවේ හොයල බලනවද?‘‘ ආනවිළුන්දාන් බලාපොරොත්තුවේ නිවහනේ වැන්දඹු අම්මලා 107 දෙනෙකුගෙන් ඒ කතාව කීවේ එක අම්මා කෙනෙකි. ඒත් එදා මට ඇයට හරිහමන් පිළිතුරක් දෙන්නට ඉඩක් නොලැබිණි. ඒ වේදනාව තාමත් මා පාරවයි. මෙවන් ගමන්වලදී හමුවුණු බොහෝ වියපත් අම්මාවරුන් කී කතාවල මහා පොදු සාධකයක් තිබිණි. ඒ 83 කලබල හමුවේ දකුණේ කොහේ හෝ තැනකින් ඔවුන් උතුරුකරයට පිටුවහල් කර දැමූ බවකි.  

ඒ අම්මලාට වගේම සෑම දමිළයකුටම කියන්නට කතාවක් ඇති බව නිසැකය. ගැටලුව ඇත්තේ ඒවා අසන්නට අප සූදානම්ද යන්නය. ඔවුනට කියන්නට ඇති කතාවලින් නවකතා, කෙටිකතා, කවි සිය දහස් ගණනක් ලියනු හැකි. චිත්‍රපට සියදහස් ගණනක් තනනු හැකි. නමුත් එය තේරුම් ගන්නට අපට හැකි වනු ඇත්ද? අප ඒ කතාව තේරුම් ගනු ඇත්ද? ඔවුන්ගේ කතාව කියන්නට ඉඩ සාදාදීම අපගේ වගකීමකි. යුතුකමකි. එය පිළිගන්නට, දරාගන්නට, තේරුම් ගන්නට අපේ හදවත් විවෘත කරගත යුතුය. ඒ වගේම අපේ කතාවත් ඔවුන් හා බෙදා හදා ගත යුතුය. දේශපාලකයන් ලංසු තබන්නේ ඔවුන්ගේ අසරණ ජීවිත පමණක්ම නොවන බව අපේ කතාවලින් ඔවුන්ටද වැටහෙනු ඇත. ඉදින් අප එක්ව කළ යුතු අරගලයක් මිස බෙදී වෙන්ව ඇණකොටා ගැනීමෙන් සිදුවන සෙතක් නැති බව ඔවුන්ද, අපද වටහා ගත යුතුව ඇත. 

‘‘ඔයාල ආයෙම එන්න. බලන්න යුද්දෙ ඉවර වෙලා අවුරුදු පහක් ගත වෙලත් මේ අම්මලගෙ ඇස්වලින් තාමත් කඳුළු ගලන හැටි. ආධාර අරන් එනවට වඩා වැදගත් මේ විදියට ඇවිත් හැම අම්ම කෙනෙක් එක්කම කතා කරන එක. මේ මිනිස්සුන්ගෙ පපුවල කොයි තරම් දුක් කන්දක් හිර වෙලා තියෙනවද? ඒවට ඇහුම්කන් දෙන්න, කතා කරන්න, හිත් සුවපත් කරන්න.. ඒක තමයි වැදගත්ම දේ...” නැවත එන්නැයි අපට ඇරයුම් කළේ ඒ නිවහනේ බලාපොරොත්තු දල්වන්නාවූ පැවිදි සොයුරියයි. ඒ 2014 වසරේ අත්දැකීමකි.

‘‘එළාර කියන්නෙ නරක වචනයක්‘‘

විමුක්ති ජයසුන්දරගේ ‘‘ඔහු‘‘ කතාවේ තමන්ගේ පෙර ආත්මය කතා කරන දරුවා ලාංකේය සිංහල බෞද්ධ උත්තමවාදයට පතිතකරන්නේ දරුණු අකුණු පහරක් නොවේද? සිංහල බෞද්ධ මවක කුසින් උපත ලදද ඔහු කතා කරන පෙරභවය උතුරේ සන්නද්ධ අරගලයට එක් වූ තරුණයකු ගැන කතාවකි. අපි මරාගන්නේ ජාතිය, ආගම ඉස්සර කරගනිමිනි. නමුත් ඇත්තටම ධාර්මිකව ජීවිතය දෙස බලන්නේ නම් එකිනෙකා සහෝදරත්වයෙන් වැළඳගනු මිස මරාගන්නට ඉඩක් ඇත්ද?

ජාතිය ගැන වගක් නැති දෙමළ බස කතා කරන සිංහල දරුවන් කල්පිටියේදීත්, එළුවන්කුලමේදීත් මට හමු වී ඇත. ඔවුන් සිංහලය. නමුත් ගයන්නේ දෙමළ ගීතය. කතා කරන්නේ දෙමළෙනි. චිත්‍රපටය තුළ සිටින සිංහල භාෂාව හා සාහිත්‍යය උගන්වන්නට කල්පිටියට යන තරුණ සිංහල ගුරුවරයාට අග මුල පටලැවෙන්නේ එබැවිනි. කොතරම් මනුස්සකමින් පිරුණු හදක් තිබුණද උගන්වන්නට සිදුවන්නේ දෙමළුන්, මුස්ලිමුන් නැති ඉතිහාසයකි. සාහිත්‍යයකි. ‘එළාර‘ නරක වචනයකැයි කියා ඔහුට කෑ ගාන්නට සිදුවන්නේ එබැවිනි. ඔඩු දුවා වණ වූ මේ වාර්ගික තුවාලය හදන්නටත්, එය සුවපත් වන මං වසා දමන්නටත් අපගේ අධ්‍යාපන රටාව කොතරම් බලපෑමක් සිදුකර ඇත්ද?

‘‘අපි උපන්දා ඉඳල එක ගෙයි උන්න සහෝදරයො වගේ. ඔයාල ඒ තමන්ගෙ සහෝදරයා එක්ක එක බිම බෙදාගන්න බෑ කියල ඒ සහෝදරයට ගහල, මරල නැති කරල දැම්මා. අපි දැන් නැත්තටම නැති වෙලා ඉවරයි. අපට තවත් නැතිවෙන්න දෙයක් නෑ. ඒත් ඔයාල මේ දෙමලව නැති කරල බේරගත්ත රට දැන් චීන්නුන්ට සින්නක්කර විකුණද්දි බලාඉන්නෙ කොහොමද? වරාය නගරය හදන්න රට මැද මහ ගල් පර්වත කඩනවා. රට වටේ මුහුදු වෙරළ හෝටල්වලට විකුණනවා. දූපත් බදු දෙනවා. පරිසරය විනාශ කරනවා. දෙමළට ගහල බේරගත්ත රට මේ විදියට විනාශ වෙලා යද්දි ඔයාල මොනවත්ම නොකරන්නෙ ඇයි?‘‘

දිනක් අපෙන් එලෙස ඇසුයේ උතුරුකරයේ දමිළ පියතුමෙකි. අපට කට උත්තර නැති විය.

‘‘ඔයාල තේරුම් ගන්නවනම් මගේ වයස තරම් දිගට ඇදෙන යුද්දයක් ඇතිවෙයිද?‘‘

අම්මලාට දරුවන් අහිමි වීම, දරුවන්ට දෙමව්පියන් අහිමිවීම තරම් අහිමිවීමක් තවත් ඇත්ද? හඳගමගේ ‘‘අනෙකා‘‘ අපෙන් විමසනුයේ අම්මා කෙනෙකුගේ ඇස්වලින් ගලා යන කඳුළුවලට අපි අරුතක් එක්කරන්නේ කවදාද යන්නයි. අතුරුදන් වූ තම පුතා සොයා කොළඹට එන අම්මාත්, සැමියා පිළිබඳ සත්‍යය සොයා එන වැන්දඹු තරුණ කාන්තාවත් අගනුවරදී මුහුණ දෙන අත්දැකීම් අප තේරුම් ගන්නේ කෙසේද? අපට ඇත්තේ මළ මිනී ගණන් කර, ඉලක්කම් සන්සන්දනය කර සතුටු වූ අතීතයකි. කැබිතිගොල්ලෑව, බුත්තල, කොළඹ බස් බෝම්බ ගැන කතා කරන අපට එවැනි බෝම්බ සිය ගණනක්, උණ්ඩ දසදහස් ගණනක් එකදිනකදී උතුරට වැටුණු  බව අමතක වේ. අහිමි වීම උතුරට වුවද, දකුණට වුවද වේදනාව එකමය. අප ඒ වේදනාවට සංවේදීවන්නේ කවදාද? 

‘‘අපිට අපේ දරුවො ඉන්නවද? නැද්ද කියල විතරක් කියන්න. ඉන්නවනම් එක පාරක් අපට බලන්න දෙන්න.‘‘ උතුරෙන් ආ අම්මා කෙනෙකු දරුවකුගේ පින්තූරයක් අත තියාගෙන කඳුළු පුරවන් කී කතාව අදත් මා පාරවයි. වව්නියාවේ අට්ටාලයක නැගී අතුරුදහන් වූ තම ආදරණීයයන් ඉල්ලා සත්‍යග්‍රහයක උන් පිරිස අතර එක් අම්මා කෙනෙකි. ඒ අම්මා අත වූයේ පසුගිය ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනාධිපතිවරයා පාසල් දැරියන් පිරිසක් වට කොටගෙන ඉන්නා ඡායාරූපයකි. එහි ඉන්නා දැරිය තමාගේම යැයි ඇය පවසයි. නමුත් එය එසේ නම් දැරිය සොයා දෙන්නට හෝ ඒ ඇය නොවන බව තහවුරු කොට ඇගේ හිත හදන්නට හෝ කාටවත්ම උවමනාවක් නැත. අදටත් ඇගේ ප්‍රශ්නය විසඳුණාදැයි මම නොදනිමි. 

අම්මලා තරම් උහුළන පිරිසක් තවත් ඇත්ද? අසූ අට, අසූනවයෙ මරාදැමුණූ දූ පුතුන් කාටත් අමතකව යන පසුබිමක අම්මලා තාමත් හඬා වැළපෙති. උතුරු නැගෙනහිරද එසේමය. අම්මලාගේ ඇස්වල ඇත්තේ කවදාවත් නොසිඳෙන කඳුළු උල්පත්ය. දකුණය, උතුරය කියා එහි වෙනසක් නැත. අදත් ඔවුන් තම දරුවන් සොයමින්, ඉල්ලමින් රට වටේ ඇවිදින්නේ එබැවිනි. හඳගමගේ චිත්‍රපටයේ අතුරුදහන් වූ තම පුතා සොයා යන අම්මා වැනි අම්මාවරුන් සැබවින්ම මට හමු වී ඇත. තවමත් ඒ අම්මලා අට්ටාල මත නැග උපවාස කරති. කියනා කියනා පමාවට කොළඹ දිව එති. කොටුව දුම්රියපළ ඉදිරිපිට බැනර් අල්ලාගෙන වාඩි වී හිඳිති. සියල්ල අත්හැරී ගියද සිය දරුවන් දෑහින් දකිනා බලාපොරොත්තුව අත්හැර ගන්නට අම්මලාට නොහැකිය. යුද්දය පිරිමින්ට ආඩම්බරයකි. නමුත් ගැහැනුන්ට සහ දරුවන්ට එය වධ බන්ධනයක්, දරුණු වධ ගාවිනාවක් වන්නේ එලෙසිනි.  

‘‘ඇය, ඔහු සහ අනෙකා‘‘ ගේ කතාව අපි නැරඹිය යුත්තේ හඳගම කියන්නාක් මෙන් අපේ රටේ සංහිඳියාව ඇණ හිටින තැන හඳුනාගැනීමටය. යුද උන්මාදය, ජාතිවාදය විසින් කප්පාදු කර දැමූ සංවේදී නහර පුබුදුවා ගැනීමට නම් අප ඔවුන්ගේ කතාව ඇසිය යුතුය. දැකිය යුතුය. ‘‘අනෙකා‘‘හි වැන්දඹු තරුණිය ත්‍රීරෝද රථයේ රියදුරුගේ දුරකථන ඇමතුම නොසලකා හැරියා සේ ඉතා රළු ලෙස දමිළ සමාජයෙන් අප නොතකා හරින අවස්ථාද ඇත. 

මම එවැනි අත්දැකීම්වලටද මුහුණ දී ඇත්තෙමි.  ඔවුන් විඳ ඇති දුක්වේදනා දකින විට පුදුම විය යුත්තේ එසේ නොවන්නේ නම් පමණකැයි මම සිතමි. නිදහස, අභිමානය, ආරක්ෂාව, ජීවන අපේක්ෂාවන් බිඳී වැනසී යෑමේ ඛේදනීය විලාපය විටෙක වියළි බවින්ද, තවවත් විටක මුරණ්ඩුබවකින්ද, ද්වේශයකින්ද, තවත් විටක තෙතබරිත බවින්ද ඒ මුහුණු මත ඇඳී ඇත.  එබඳු අවස්ථාවල සමාව ඉල්ලන්නටද, ආදරෙන් වැළඳගන්නටද නොපැකිළෙමි. නමුත් බොහෝවර මට හමු වී ඇත්තේ සාමය සහ නිදහස වෙනුවෙන් දෑත් දිගුකරන අපේක්ෂාවෙන් පිරුණු ආදරවන්ත මුහුණුය. 

හදවත් විවෘත කිරීමේ යතුර ඇත්තේ තේරුම් ගැනීම තුළය. ආදරය තුළය. ඉනික්බිතිව අපට බොහෝ දේ කළ හැකිය. නමුත් අනතුර ඇත්තේ අපගේ ආදරයේ බලයට වඩා මේ සමාජය වෙළා පවත්නා බල තණ්හාවේ සහ අන්තවාදයේ බලය ප්‍රබල වීම තුළය. සැබවින්ම මනුෂ්‍යත්වය ඇත්තේ බරපතල අනතුරකය. ඒ අනතුර අපට සම්මුඛ වන මොහොත මෙම තුන් ඈඳුතු කතා අපට සිහිපත් කර දෙයි.



Wednesday, August 1, 2018

කතන්දරේ පටන් ගත්තෙ අන්න එතැනින්

Painting By Miho Hirano 


කතන්දරේ පටන් ගත්තෙ අන්න එතැනින්
අහඹු විදියට...
එකෝමත් එක රටක, එක කාලෙක
ඉනික්බිති කාලය ඝණීභූතව
කල්පයක්ම අසුරු සැණක්ව...

කවියක් විදුලි කොටන්නැහේ හිත පත්ළේ
ඔයා ඇවිත් සිරිස් ගාලා ඇස් ඉස්සරහ
සහළවා උණ ගත්ත ළය මත්තෙ
කහ පාට, සුදු පාට සමනල්ලු රෑන් පිටින්...

හැම කතන්දරයක්ම පටන් ගත්තාට එක විදියට
එකෝමත් එක රටක, එක කාලෙක
මොන බොරුද?
ඒ හැම ඇරඹුමක්ම අහම්බයක්
අහම්බයක් කියන්නෙම අසිරියක්...      

කවදාවත්ම නොපිරෙන
ආදර තටාකයක් පපුතුරේ හංගගෙන
ඉබාගාතේ පාවෙන
වරා මලකට අත පාන්නට තරම්
පිස්සු හැදුණේ කොහොමද                    
ඇත්තට ඔයාට?

නොකිව්වයි කියන්නෙපා ඔන්න           
වධක බාරියක් මං සත්තකට
බැන්දොතින් හෙම ඔයාට
එපාවෙයි මාව එක දවසින්ම...

තෘෂ්ණාධිකයි මේ හිත
නිවී සැනහී ඉන්න හිතුවාට
පා වෙවී උන්නාට
හිම පියල්ලක් ගාණට
අයිස් කන්දක් වගේ හිත
මතකනේ ටයිටැනික් නැව...

ආදර උල්පතක් හෙම
තියෙනවද ඔයා ළඟ
කවදාවත්ම නොහිඳෙන...


Thursday, July 26, 2018

මිදුණා... මිදුණා... සිඳුණා... බිඳුණා...


                                                       
                                 

කෙසඟ තනි අතක් ගේට්ටුව උඩින් මතුවෙලා අමාරුවෙන් කොක්ක පන්නනවා පත්තර පිටුවට උඩින්, උපැස් යුවළට යටින් එබී බලපු සුමංගලා දැක්කා. 

‘‘අම්මේහ්...‘‘ ගේට්ටු පියන්පතක් තල්ලු කරගෙන ඇතුළට ඇවිත්, බඩුමලු ටික බිම තියපු හිමාලි වේගයෙන් හුස්ම ගත්තා. දෙකන්සෙන් ගලන දාඩිය පිටත්ලෙන් පිහ දැමුවා. ගේට්ටුව වසා දැමූ ඇය බඩු මලු නැවත උස්සාගෙන ආපසු හැරුණමයි සුමංගලාව දැක්කෙ.

‘‘ගෙයි අඩුපාඩු ගොඩයි අක්කෙ, ටවුමට ගියා බඩු ටිකක් ගේන්න.‘‘ ඒ හිනාවෙ අසරණකමට සුමංගලාගෙ පපුව පිච්චිලා ගියා.

‘ඇයි රාජිත බඩු ගෙනත් දැම්මෙ නැද්ද?‘ සුමංගලා එහෙම ඇහුවෙ නැහැ. හදිසියෙම ඇවිත් ගෙවල් කුලී දීලා ගියාට පස්සෙ සති ගාණක් රාජිත ආවෙ නැති බව සුමංගලා දැන හිටියා. ඒ ඇයි කියල අහන්නත් ඇගේ හිත නැමුණෙ නෑ. ගෑනියෙක්ගෙ පපුවෙ ඇවිළෙන ගින්දර දන්නෙ ගෑනියෙක්ම විතරනෙ.

‘‘මං නිතර ටවුමට යනවනෙ. හිමාලිට මොනවහරි ගේන්න ඕන නම් මට කියන්න. මං ගෙනත් දෙන්නම්.‘‘ ඒ වෙනුවට සුමංගලා  කිව්වා. හිමාලි හිනාවෙලා සුමංගලාගෙ ගේ පසෙකින් තියෙන ඇනෙක්සිය දිහාට හැරුණා.

...........

හිමාලිලා ඇනෙක්සියෙ පදිංචියට ඇවිත් අවුරුදු පහක් විතර ඇති. රාජිතයි, හිමාලියි දරු දෙන්නයි. කිසි කරදරයක් නැති පවුල. සුමංගලාගෙ තනි ජීවිතේටත් හරි හයිය. දරුවන්ගෙ හුරතල් කටහඬින් වත්ත හතරමායිමේ තිබුණු මූසල පාළුවත් නැති බංග වෙලා ගියා. දරු කළලයක් හදා වඩා ගන්න හයිය හත්තිය නැතිවුණ තමන්ගෙ කුස එක්කයි, දරු පැටියෙකුට කිරි නොඑරුණ තමන්ගෙ පයෝධර එක්කයි තිබුණ කේන්තිය හෙමිහිට දියකරල ඇරලා සුමංගලා තමන් අත්තම්මා කෙනෙක්ය කියල හිතන්න ගත්තා.

හිමාලි හැමදාම ලෙඩින්. හතිය කියලයි කිව්වෙ. අඩියක් තියල අඩියක් ගත්තත් නැවතිල්ලෙ හුස්ම අල්ලනවා. ආවත් හරි ගෙයින් පිටට අඩියක් තිව්ව නම් ඒ, එක්කො බේත් ගේන්න යන්න. නැත්නම් ගමේ යන්න. සමහර කාලවලට සති ගණන් ඉස්පිරිතාලවල. රාජිත තමයි ගෙදර හැම වැඩක්ම බලල හදල කරේ. ගෙදරට බඩු ගේන එක, ළමයින්ගෙ ඉස්කෝලෙ වැඩ ඒ ඔක්කොම. අනේ වාසනාවන් එහෙව් දරුවෙක්. සුමංගලා රාජිත ගැන හිතුවෙ තමන්ගෙ බඩින් වදාපු දරුවෙක් ගානට.  

............

කිසිම ඍතුවක් සදාකාලික නෑ. ජීවිතෙත් හැටි එහෙම තමයි. 

ටික කාලෙක ඉඳන් රාජිතගෙ රස්සාව ඇනෙක්සියෙ කාලසටහන අවුල්කරමින් තිබුණා. එක්කො හදිසි වැඩ, නැත්නං මීටිං. රෑ දහයට, එකොළහට, ගේට්ටුව ඇරෙනවා, කාරෙක එනවා සුමංගලාට ඇහෙනවා. සමහර වෙලාවට දවස් දෙක තුන ඔෆිස් එකේ වැඩට දුර යන්න වෙනවා. එහෙම දවස්වලට සුමංගලාගෙ ඇහැ පියවුණෙත් නෑ හරියට. දරු දෙන්නයි, හිමාලියි තනියම ඇනෙක්සියෙ... ඒ වගේ තනියෙන් ගෙවුණ රාත්‍රී කාල ගිනි පෙනෙලි වගේ ඇමිණි ඇමිණී ඇගේ හිත පුච්චා දමනවා.
‘‘රාජිත අලුත් රස්සාවකට ගියාද?‘‘ බැරිම තැන සුමංගලා ඇහුවා.

‘‘නෑ අක්කෙ, රස්සාවෙ වැඩ වැඩියි එන්න එන්නම. අනේ මන්දා...‘‘ හිමාලි එදත් අසරණ විදියට හිනාවුණා. ඉන්පස්සෙ හයියෙන් හුස්මක් ඇද්දා.

..........

ඊටත් ටික දවසකට පස්සෙ ඇනෙක්සියෙ උන්නෙ හිමාලියි දරු දෙන්නයි විතරයි.

‘‘රාජිතව මාරු කරල අක්කෙ අනුරාධපුරේට. නිතර යන්න එන්න අමාරුයිනෙ. එයා එහෙ නැවතිලා.‘‘

සුමංගලා මොනවත් අහන්නෙත් නැතිවම හිමාලි උත්තර දුන්නා. ඈ ඇවිත් උන්නෙ ගෙවල් කුලිය දීල යන්න. ඒ සල්ලි ටික අතට ගනිද්දි හිමාලිගෙ අතේ ගිනියම් රස්නයක් දැනිල සුමංගලා ඔලුව උස්සල බලද්දි ඒ ඇස් තද රතු පාට වෙලා තිබුණා.

ඊටත් ටික දොහකට පස්සෙ ඇනෙක්සියෙන් බිඳුණු හඬක් නැගුණා දවස පුරාම. හෝස් හෝස් ගාලා හුස්ම අල්ලන සද්දෙත් එක්කම.

‘‘මාව අතාරින්න, මං ඔයාගෙන් ඉල්ලන්නෙ එච්චරයි.‘‘ දෙහි ගෙඩියක් කඩාගන්න ගේ පිටිපස්සට ගියාම ඇනෙක්සියෙ ජනේලෙන් ඉකිබිඳුමක් එක්ක ඒ වචන ටික ඊයක වේගෙන් ඇවිත් සුමංගලාගෙ පපුවෙ ඇමිණුනා. දෙහි කට්ටක් අතේ ඇනුණා. ගැඹුරටම.හෝ ගාලා ලේ ගලන්න ගත්තා.

............

සුමංගලා පොල් සම්බෝල හැදිල්ල පැත්තක තියලා දෙහි කටුවට හිල් වුණ අත රෙදි පටියකින් වෙළාගත්තා.

පරණ ලට්ට ලොට්ට දාපු අල්මාරිය අවුස්සන්න ගත්තා.

උඩ ඉඳන් යටට, යට ඉඳන් උඩට. 

යටම තට්ටුවෙ පරණ දිනපොත්, පත්තර, ෆයිල් අස්සෙ හැංගිලා තිබුණු මගුල් පින්තූරය මතු වුණා. දෑතින්ම ගත්ත මගුල් පින්තූරයත් එක්ක සුමංගලා හාන්සි පුටුවට වැටුණා. දූවිල්ලෙන් වැහිලා වීදුරුව. තුවාල නොවුණු අතින් වීදුරුව පිහදාද්දි ආයෙම සුමංගලාගෙ අත බිඳුණු වීදුරු කෑල්ලකට හීරුණා.  දැනටමත් පින්තූරය පැත්තකින් දිරාගෙන. කැඩුණු වීදුරු කැබලි අතරින් ඒ යෞවන හිනාව නොදිරා තිබුණත් මනමාලයගෙ පපුව අද්දර මල් ඉත්තත් වේයන්ට ගොදුරු වෙලා තිබුණා. එදා ඒ පින්තූරය ගන්න වෙලාවෙ තමන්ගෙ හිතේ තියෙන්න ඇත්තෙ මොන වගේ හැඟීම්ද, අපේක්ෂා පිරුණු මනාලි දෑසයි, කෝලයෙන් ඇලළුණු මනමාලි හිනාවයි දිහා බලාගෙන සුමංගලා මතක් කරගන්න උත්සාහ කරා.  

‘‘අනේ මාව අතාරින්න, මං ඔයාගෙන් ඉල්ලන්නෙ එච්චරයි.‘‘ 

සුමංගලාට තමන්ගෙම නිදන කුටිය ඇතුළෙන් කවුදෝ ඉකිබිඳින හඬ ඇහෙන්න ගත්තා.


http://epaper.dinamina.lk/art.asp?id=2018/07/24/pg28_0&pt=p&h=#

Wednesday, July 11, 2018

එක ළඟට දෙක නෙවෙයි, කියන්නෙ ඇත්තද?



සිංහල සාහිත්‍යයේ යොවුන් නවකතා ක්ෂේත්‍රය එතරම් පුළුල්ව පැතිරුණක් නොවේ. සාහිත්‍ය අතීතය දිගේ ඈතට, ඈතට ගිහින් ළමා වියට එබුණම මට මුලින්ම මතක් වෙන පොත තමයි, ස්වර්ණලතා කිරිවත්තුඩුවගේ තිලකසිරි. එය තාමත් ආසාවෙන් කියවන්න හැකි පොතක්. ඉන්පස්සෙ මඩොල් දූව (මාටින් වික්‍රමසිංහ),  අඹ යහළුවෝ (ටී.බී. ඉලංගරත්න), මැටි ගෙදර ළමයි ( සිබිල් වෙත්තසිංහ) කතරක පිපුණු මල් දෙකක්, මිතුරෝ, අපට අපේ අත්, මකර කට ඇතුළු  දෙනගම සිරිවර්ධනගේ පොත් රැසක්, පරිවර්තන කෘති රැසක් නව යොවුන් සාහිත්‍යය ලෙස හමුවෙනවා.  

අභිරහස් සහ වීර කතා ලෙස ගත හැකි ගැටවර වියේ පසුවන්නන්ගෙ වීර වික්‍රමාන්විත චාරිකා, ක්‍රියාදාමයන් ගැන කියවෙන කතා යොවුන් නවකතා ලෙස දීර්ඝ කාලයක් පාඨක අවධානය දිනාගත්තත්, කාලීන සමාජය, යෞවනය ප්‍රස්තූත කරගත් මා මුලින් සඳහන් කළ කෘති වීරත්වයෙන් ඔබ්බට ගොස් යෞවනයට බලපාන සමාජය සහ ඒ ආශ්‍රිත ගැටලුත්, යෞවනයේ අසිරියත් තේමා කරගත් කෘති...

මේ අතර අප සහෝදර ප්‍රියාන් ආර් විජේබණ්ඩාරගෙ ‘එක ළඟට දෙක නෙවෙයි‘ යොවුන් නවකතාව අද   යෞවනයට බලපාන කාලීන සමාජ ගැටලු රැසක් තේමා කොට ගත් යාවත්කාලීන වූ යොවුන් නවකතාවක් ලෙස සැලකිය හැකියි.

ගැමි පරිසරයක දිළිඳු පවුලක උපත ලබන ශානි පවුල, පාසල සහ සමාජය තුළ මුහුණ දෙන ගැටලු, ඇය ඒවාට ප්‍රතිචාර දක්වන ආකාරය, ඒ අත්දැකීම් සමඟ ඇගේ මානසික ස්වභාවය වෙනස්වන ආකාරය මේ නවකතාව තුළ මතු කරනවා. උපතින් ආබාධිත වීම නිසා රැකියාවක් කරගැනීමට අසීරු ශානිගේ පියා කසිප්පු වෙළඳාම තමන්ගෙ ජීවනෝපාය කරගන්නවා. ඉතාම ආදරවන්ත මව්පිය යුවළක් වුණත් පියාගේ රැකියාවත්, මව වඩාත් බාල සහෝදරයාට සමීප වීමත්, පියාගේ රැකියාව නිසා පාසලේ යහළුවන් අතර කොන්වන්නට සිදුවීමත් වැනි හේතු ගණනාවක් නිසා ශානි ඉගෙනුමට අදක්ෂ ප්‍රචණ්ඩ දැරියක් බවට පත්වෙනවා. ජීව විද්‍යාත්මකවත් ස්ත්‍රී ගති ලක්ෂණවලට වඩා කොලුකමක් ඇය තුළින් දිස්වෙන්නෙ. ඒ තත්වය තමන් තුළම විසඳා ගත නොහැකි ගැටලුවක් වෙද්දි, සමාජයත් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම, අපහාස උපහාස කිරීම ඇයට දරාගන්නට අසීරුවෙනවා. 
   
ඇගේ ජීවිතයට අරුණාලෝකයක් වෙන්නෙ පන්තියට ආ අලුත් යෙහෙළිය. ඇය කුෂාණි. දඬුවම් මාරුවක් ලබා පැමිණෙන පොලිස් නිලධාරියකුගේ දුවක්. ඇය නාගරික පාසලක අධ්‍යාපනය ලබපු දැනුවත්, උගත් සංවේදී දැරියක්. ( ශානි වැනි දැරියකට ඉතා අහම්බයකින් පමණක්ම ලැබිය හැකි මිත්‍ර සම්පතක්.)   ඉතින් මේ මිත්‍ර සමාගමය නිසා ඔවුන්ගේ ජීවිතවල සිද්දවෙන වෙනස්කම් මොනවද කියල දැනගන්න නම් පොත කියවන්නම වෙනවා.

අද යෞවනයට බලපාන ප්‍රශ්න ගණනාවක් මේ කෘතිය පාඨකයා හමුවේ පෙළගස්වනවා. සියලුම ප්‍රශ්න එක කතාවකින් කියන්න හදනවද වගේ හැඟීමක් ඇති වෙන එකත් වළක්වන්න බැහැ.  

·         පවුලට බාල දරුවන් පැමිණි විට වැඩිමහල් දරුවන් වෙත අවධානය යොමුකළ නොහැකි වීම නිසා ඒ දරුවන් තුළ ඇති වන මානසික පීඩනය

·  දෙමව්පියන්ගේ රැකියාවන් නිසා පාසල, පොදු සමාජය තුළ අපහසුතාවයට ලක්වන දරුවන් සමාජ පීඩකයන් බවට පත්වීමේ අවදානම

·      සුහදශීලී මිතුරු සමාගම් අහිමි වීමත්, නිවැරදි මඟපෙන්වීමක් ලබා දිය හැකි දැනුම් තේරුම් සහිත වැඩිහිටියන් අහිමිවීමත් නිසා යෞවනය මුහුණ පාන ගැටලු

· ජීව විද්‍යාත්මක වෙනස්කම් නිවැරදිව හඳුනාගැනීමට නොහැකිවීමෙන් ඇති වන මානසික කැළඹීම්

· යොවුන් දරුවන්ගේ විවිධ දක්ෂතා අගයමින් සහ පිළිගනිමින්, තමන් කැමති සහ දක්ෂතා දක්වන ක්ෂේත්‍රය තුළ ඉදිරියට යාමට ඔවුන්ට ඇති ඉඩකඩ අවම වීම

·    යොවුන් දරුවන් මුහුණ දෙන ලිංගික අතවර, ලිංගික අපචාර
ආදී ගැටලු ගණනාවක් කතාවට මුහුවෙලා තියෙනවා.

‘‘මෙම කෘතිය ඊනියා සීමා හෝ ව්‍යාජ සදාචාරයකන් ආරක්ෂා කරනු වෙනුවට යෞවනයන්ට තම සමාජය දෙස විචාරශීලීව බලන්නය ඇරයුම් කරයි.‘‘ කෘතියට පෙරසටහනක් ලියන චූලානන්ද සමරනායක සඳහන් කරනවා. යෞවනියන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ පවුල් පරිසරය, ගම සහ වටපිටාව ගැන කතා කරන අතරම දේශපාලන, අධ්‍යාපන, නීති ආදි ක්ෂේත්‍රවල පවතින විෂමතාවන්, අසාධාරණයන් හෙළිදරව් කරන්නත් එය දරුවන්ගේ ජීවිතවලට බලපාන ආකාරය ගැන සංවේදීභාවයක් ඇති කරන්නත් කතුවරයා උත්සාහ දරා තිබෙනවා. මේ කෘතිය ඇසුරු කරන යොවුන් දරු දැරියන්ට තමන්ගේම ජීවිතය දෙසත්, සමාජය දෙසත් නව ඇසකින්  බලන්නට ඒ උත්සාහය වැදගත් වේවි.

තවදුරටත් කතාව රසවත්ව ගොතන්නට ඉඩ තිබුණා නේද කියා සිතුණත්, කතුවරයාගේ පෙරවදන කියවූ විට ඒ චෝදනාව ඉල්ලා අස්කරගන්නට හිතුවා. ජීවිත අභියෝග ජයගන්නට, ජීවිතේ දුෂ්කරම කාලයන් ගෙවාගන්නට සාහිත්‍යය කලාව උපයෝගී කරගන්නේ කෙසේදැයි සිතා බලන්නට ඒ පෙරවදනත් යෞවනයට ශක්තියක් වේවි.  

අගහස් ප්‍රකාශනයක්
මිල රු. 380.00