පිටු

Monday, December 29, 2014

No.........



නත්තල දියබත් විය. මෙතරම්ම උදාසීන බවින් කණස්සල්ලෙන් සාංකාවෙන් ගෙවුණු නත්තලක් පෙර නොවූ විරූ තරම්ය. පුද්ගලිකව මෙන්ම සමාජයීයවද අපේක්ෂාසහගත වන්නට, නිදහස් වන්නට, නැවුම් වන්නට කොතරම් උත්සාහ දැරිය යුතුදැයි නැවත නැවතත් සිතුවෙමි. සියල්ල නාය යන්නට ඉඩහැරිය යුතුද? අළුත් පැතුමකට දළුලන්නට ඉඩක් ඉතිරි නොවනු ඇත්ද?

කාංසියෙන් පිරුණු නත්තල් නිවාඩුව නිමකර වැහි ඇල්ලේ ගල්ගැහෙන සීතලේ ම මඟට බැස්සද මාසික සිනමා දැක්ම මඟහැර යන්නට නොහැකි බවක් දැනෙන්නට වූයෙන් මීගමුව මාරිස්ටෙලාව අසලින් බසයෙන් බැසගතිමි. හොඳ චිත්‍රපටයක් නරඹන්නටත් ඒ පිළිබඳ ඵලදායී සංවාදයක යෙදෙන්නටත් අවස්ථාවක් ලැබෙන්නේ කලාතුරකිනි. එය මගහැරයාම අළුත් හුස්මක් මඟහැර යාමක් බඳු ය.

මෙවර තිර ගත වූ චිත්‍රපටය "No". 2012 වසරේ නිමැවුණු චිලී සිනමා සිත්තමකි. අධ්‍යක්ෂණය Pablo Larraín. ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදෙස් භාෂා චිත්‍රපටය ලෙස නිර්දේශිත වී ඇති අතර, කාන්ස් සිනමා උළෙලේදීද, ඩුබායි සිනමා උළෙලේදීද සම්මානයට පාත්‍ර වූ චිත්‍රපටයකි.




1973 වසරේදී හමුදා කුමන්ත්‍රණයකින් වාමාංශික ජනාධිපති සැල්වදෝර් අයියන්දේ නෙරපා දමා බලයට පත් හමුදාපති ඔගස්ටෝ පිනෝචේ වසර පහළොවක්ම ඒකාධිපති පාලන සමයක වියරුව අත්දකින්නට තම ජනතාවට ඉඩහැරියේය. 1988 වසරේදී තුන්වන වරටත් බලයේ සිටින්නට, තවත් වසර අටකට තම ධුරකාලය දීර්ඝ කරන්නට පැවැත්වූ ජනමත විචාරණයේදී පිනෝචේ පරාජයට පත් විය. චිත්‍රපටයට පදනම් වන්නේ මෙම ජනමත විචාරණයේදී ඒකාධිපති වියරුවට එරෙහිව ‘‘පිනෝචේ එපා” යනුවෙන් ජනතාව පෙළගස්වන්නට සිදුකරන ප්‍රචාරණ වැඩපිළිවෙලයි.

චිත්‍රපටය තුළ නිරූපිත ඒකාධිපති පාලනයක ලක්ෂණ අපගේ අවධානයට යොමු විය යුතුය. පිනෝචේගේ මිලිටරිමය ඒකාධිපති පාලනය තුළ ජනතාව පීඩාවට පත්වෙයි. නිදහස පතා වීදිබසින මිනිසුන් අවියෙන්, පහරදීමෙන් නිහඬ කරනු ලැබෙයි. කලාකරුවන්, මාධ්‍යෙව්දීන්, සමාජ ක්‍රියාධරයින් පිටුපස නාඳුනන ඔත්තුකරුවන් ලුහුබඳියි. පවතින පාලනයට එරෙහි වන්නන් ඔවුන්ගේ දරුවන්ගේ නාමයෙන් බියගන්වයි. විරුද්ධ පාර්ශවයන්ට මාධ්‍ය තුළින් ජනතාව ඇමතීමේ අවස්ථා වළක්වයි. ඒ අතර මාධ්‍ය තමන්ට වාසි සහගත ලෙස හසුරුවයි. ඒ අතර පිනෝචේ දරුවන් සුරතල් කරයි. දරුවන් සමඟ ඡායාරූප ගනියි. දරුවන් තම පාලකයා වෙනුවෙන් ගී ගයයි. ධජ ළෙලවමින් සුබපතයි. ඔහු මහළු මව්වරුන් සිපගනියි. ජනහමු පවත්වයි. දේශයේ නිදහස සහ අනාගතය පිළිබඳව මානවහිතවාදීව කතා කරයි. පාප්වහන්සේ පිළිගනියි. පාප්වහන්සේ සමඟ ඡායාරූපවලට පෙනී සිටියි. දිනාදුන් නිදහසත්, සිදුකළ සංවර්ධනය ගැනත් නැවත නැවත සිහිපත් කරයි. දේශප්‍රේමී, මානව හිතවාදී බවක්ම ගෙනහැරදක්වයි. දේශයේ එකම විමුක්තිදායක අපේක්ෂාව ලෙස පෙනී සිටියි.



මේ අතර දිනෙන් දින ජනතාව අතර ඒකාධිපති වියරුවට එරෙහි මතය ශක්තිමත් වෙයි. 

එය අද අප මුහුණදෙන යථාර්ථයට ගළපාගැනීම ඔබට ම භාර කරමි.

තවදුරටත් පිනෝචේගේ පාලනය ඉල්ලා සිටින පාර්ශවය "YES" යනුවෙන්ද, පිනෝචේ පාලනය ප්‍රතික්ෂේප කරන පාර්ශවය "NO" යනුවෙන්ද ප්‍රචාරණ වැඩපිළිවෙලට එක් වෙයි. ප්‍රධාන චරිතය වන රෙනේ සැවැඩ්රා නිර්මාණශීලී තරුණ ප්‍රචාරණ ශිල්පියෙකි. ඔහු "NO" ප්‍රචාරණ වැඩපිළිවෙලට සම්බන්ධ වන අතර, රෙනේ සම්බන්ධ දැන්වීම් ආයතනයද එහි ප්‍රධානියාද "YES" ප්‍රචාරණයට සම්බන්ධ වෙයි. බිඳුණු විවාහයක දරුවකු සමඟ තනිව දිවිගෙවන පියෙකු ලෙසද, තම ප්‍රචාරණ ආයතනය තුළම පවතින තරඟකාරිත්වයට මුහුණ දෙමින්ද, විවිධ මත දරන පුද්ගලයන් සමඟ ගැටෙමින්, මිලිටරි පාලනයේ මර්ධනයට මුහුණ දෙමින්ද රෙනේ දේශයේ වෙනසක් වෙනුවෙන් තම වගකීම සහ යුතුකම ඉටුකරන්නට දරන මහන්සිය අපේ හදවත් දල්වන සුළු ය.

දින 27 ක් තුළ එක් රාත්‍රියකට විණාඩි 15 බැගින් ලැබෙන රූපවාහිනී කාලය තුළ ජනමතය හසුරුවාගන්නට රෙනේ "NO" ප්‍රචාරණ වැඩපිළිවෙලට ලබා දෙන නව දැක්ම, සහ නිර්මාණශීලි දායකත්වය සමත් වෙයි. එය වඩාත් අපගේ අවධානයට යොමු විය යුතුයැයි සිතමි. ගීතය, සංගීතය, රූපවාහිනී දැන්වීම් කලාව, බැනර්, පෝස්ටර්, ස්ටිකර් වැනි ජනතාව අතරට ගෙන යා හැකි සියලුම මාධ්‍ය උපයෝගී කරගනියි. සරල සහ හෘද සංවේදී ප්‍රචාරක වැඩපිළිවෙලකි. එය පහසුවෙන් ජනතාව අතර සැරිසරයි. ජනතාව අතර ප්‍රචලිත වෙයි. තහවුරු වෙයි. නව යොවුන් වියේ සිට මහළු විය දක්වාම ආමන්ත්‍රණය කරයි. මුවින් මුව, හදින් හද ‘‘පිනෝචේ එපා” යන පණිවිඩය රැව් දෙයි. අවසන පිනෝචේ ජනමත විචාරණයෙන් පරාජයට පත්වෙයි.

සිනමා සිත්තම නිමවන්නේ වීදි බැස ප්‍රීති ඝෝෂා නඟන ජනතාව අතර සිය පුතු කර තබාගෙන ඇවිද යන රෙනේගේ ප්‍රීතිමත් නිදහස් රුව සමඟිනි.



"NO" ප්‍රචාරණ වැඩපිළිවෙල තුළින් අපට උගත හැකි පාඩම් බොහෝය.

කලාකරුවන්, මාධ්‍යෙව්දීන්, සමාජ ක්‍රියාධරයින් බහුතරයක් එකම වේදිකාවක, එකම මතයක ඒකරාශී වී සිටින මෙවන් තීරණාත්මක මොහොතක අවම වශයෙන් සෑම හදවතකම රැව් දෙන නිදහස, සතුට, සාමය අරුත් ගැන්වෙන, ජීවිතය පිළිබඳව නව අපේක්ෂාවන් දල්වන ගීතයක් නිර්මාණය කර ගත හැකි නම් කොතරම් අපූරුදැයි මට සිතේ. කලාව සහ ජනමාධ්‍ය ජනතාව ආමන්ත්‍රණය කිරීමට ඇති හොඳම ප්‍රවේශයන්ය. නමුත් එය පුද්ගල කේන්ද්‍රීයව, පුද්ගලයකු ඉස්මතු කිරීම වෙනුවෙන් නොව සමස්ත දේශය පිළිබඳව නව අපේක්ෂා දල්වන, පොදු සමාජ යහපත පිළිබඳ ජනතාව අවදි කරන නිර්මාණ විය යුතුයැයි සිතමි.

නිද්‍රාශීලී ජනතාවක් අවදිකරන්නට අඬහැර පෑම පහසු නොවන බව දනිමි. අන්ධ භක්තියෙන් මිථ්‍යාවේ වෙලී සිටින හදවත් එයින් බැහැරට ගැනීමද අසීරුය. ඒ සියල්ලට වඩා බරපතල කාරණය වන්නේ ආත්මාර්ථකාමී ලාභාපේක්ෂාවන් වෙනුවෙන් පොදු යහපත පාවාදෙන මිනිසුන්ද සිටීම ය. කෙසේනමුත් එදා චිලියට මෙන්ම අද අපේ රටට ද තීරණාත්මක මොහොතක් එළඹ ඇත. අපේ ගමන මහින්ද පාලනයක් හෝ මෛත්‍රී පාලනයක් වෙනුවෙන් නොව, පක්ෂ පාට භේද අතැර දැමූ සර්වපාක්ෂික යහපාලනයක් වෙනුවෙන් විය යුතු යැයි සිතමි.

රෙනේට දින 27 ක් තිබිණි. අප ප්‍රමාද වැඩිද?

( සිනමා දැක්ම සමඟ සම්බන්ධ වී ලාංකීය දේශපාලන යථාර්ථයටද අප අවදි කරමින් චිත්‍රපටය තේරුම් ගන්නට අවැසි වටපිටාව සකසා දුන් චූලානන්ද සමරනායක මහත්මාට විශේෂ ස්තුතිය. )

20 comments:

  1. "නිද්‍රාශීලී ජනතාවක් අවදිකරන්නට අඬහැර පෑම පහසු නොවන බව දනිමි. අන්ධ භක්තියෙන් මිථ්‍යාවේ වෙලී සිටින හදවත් එයින් බැහැරට ගැනීමද අසීරුය. ඒ සියල්ලට වඩා බරපතල කාරණය වන්නේ ආත්මාර්ථකාමී ලාභාපේක්ෂාවන් වෙනුවෙන් පොදු යහපත පාවාදෙන මිනිසුන්ද සිටීම ය. කෙසේනමුත් එදා චිලියට මෙන්ම අද අපේ රටට ද තීරණාත්මක මොහොතක් එළඹ ඇත. අපේ ගමන මහින්ද පාලනයක් හෝ මෛත්‍රී පාලනයක් වෙනුවෙන් නොව, පක්ෂ පාට භේද අතැර දැමූ සර්වපාක්ෂික යහපාලනයක් වෙනුවෙන් විය යුතු යැයි සිතමි".

    මින් එහාට යමක් කියන්න නෑ තරු.
    ඒ ටික හොඳටම ඇති.
    බලාපොරොත්තුව අතහරින්න එපා......

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තු අත්හරින්නෙ නැහැ රංගි.. ඒත් වෙලාවකට බලාපොරොත්තු බිඳ වැටෙයි කියන බය ඇතිවෙනවා...

      Delete
  2. කාලීන කතාවක්.
    අපේ ගමන මහින්ද පාලනයක් හෝ මෛත්‍රී පාලනයක් වෙනුවෙන් නොව, පක්ෂ පාට භේද අතැර දැමූ සර්වපාක්ෂික යහපාලනයක් වෙනුවෙන් විය යුතු යැයි සිතමි.
    +++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. මානව නිදහස, ගෞරවය සුරැකෙන යහපත් සමාජයක්... ඒ වෙනුවෙන් නිරන්තර අරගලයක්...

      Delete
  3. මීගමුවෙ නගරාධිපතිතුමා දුවගෙන ආවෙ නැද්ද සෙල්ලම් පිස්තෝලයක් අරගෙන " NO " බලන්න ආපු අයව බැහැ දකින්න? පුදුමයි..එතුමා දන්නෙ නැතුව ඇති චිත්‍රපටයෙන් කියවෙන්නෙ මොකක්ද කියල...

    ReplyDelete
    Replies
    1. @Ravi

      ++++
      ඒක නම් ඇත්ත අද දැක්කනේ අර ගහන්න ආපු එක්කෙනා කියපු දේ
      -මන්දාකිණි-

      Delete
    2. නගරාධිපති දන්නෙ නැතිව ඇති චිත්‍රපටි පෙන්වන බව....

      Delete
  4. මේ වෙනසක් අවශ්‍ය කාලයයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වෙනසක් අවශ්‍යයි.

      Delete
  5. 'NO' 2013 ඔස්කාර් සම්මානය සඳහා නාම යෝජනාවූ විදෙස් භාෂා චිත්‍රපටියකි. එවර හොඳම විදෙස් භාෂා චිත්‍රපටිය Amour- Michael Haneke

    -මන්දාකිණි-

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මන්දාකිණි

      Delete
  6. කාලයේ තාලයට ගැලනෙ පිල්මක්
    ඒ වගේ එකක් ලංකාවෙ චනල් එක්ක පෙන්නන්න ඉඩක්ගන්න පුලුවන් වනොත්
    මං හිතන්නෙ මෙහෙ පැත්ත ත් වෙනස් කරන්ට පුලුවං වෙයි

    ReplyDelete
    Replies
    1. මේ මොහොතට ගොඩක් ගැළපෙනවා.

      Delete
  7. මේ පොස්ට් එකට මීට වඩා ප්‍රතිචාරයක් එනවානම් වටිනවා.. ඔබේ අනන්‍යතාවය රැකෙන පරිදි නැවත පළකිරීම් කරාට කමක් නැද්ද? එසේ ගැටළුවක් නැතිනම් හැකි සෑම ස්ථානයකදීම මේ පිළිබඳව ප්‍රචාරණයක් ලබා දෙන ලෙස මා සහෝදර බ්ලොග් කියවන්නන්ගෙන් ඉල්ලා සිටිනවා.. අපිට දින 27ක් තව නෑ..

    ReplyDelete
    Replies
    1. නැවත පළකිරීම් කළාට, බෙදාහදා ගත්තට කමක් නැහැ. සමාවෙන්න. පිළිතුරක් දෙන්න පමාවුණාට. අන්තර්ජාලයෙන් බැහැරව දින කිහිපයක් ගතකරන්න සිදු වුණා...

      Delete
  8. මේ චිත්‍රපටිය නම් බලලා නෑ.. ඒ උනාට මේ ලිපිය කියෙව්වහම ඒ ටික බැලුවා හා සමානයි.

    ReplyDelete
    Replies
    1. හොයාගෙන බලන්න මල්ලි.

      Delete
  9. තරූ.......................

    සුභම සුභ නව වසරක් වේවා........................

    කුගැගීප

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුබ නව වසරක් ... ජයෙන් ජය...

      Delete
  10. සුභ අලුත් අවුරුද්දක් තරූ...

    මම දැකපු දේවල් අතරින්, වඩාත්ම නිර්මාණශීලී අදහස් ඉදිරිපත් කලේ වියන්ගොඩ සහ සන්නස්ගල. ඒ අතරිනුත් වියන්ගොඩ විශේෂයි... ඔහුගේ අර ගිනිගෙන දැවෙන නිවස ගැන කවියත්, රත්වෙන වතුර භාජනේ ඉන්න ගෙම්බගේ කතාවත් ආකර්ෂණීයයි.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...